IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තවත් බ්ලියනපතියෙක් අභ්‍යවකාශ සංචාරයේ

ලෝකෙන් ටිකක්

 

 

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකන බිලියනපති ඇමෙරිකන් ජාතික ජෙෆ් බෙසෝස්, සිය බ්ලූ ඔරිජින් සමාගම නිපදවූ විශේෂ රොකට්ටුව සහ ගගන කැප්සියුලය ආධාරයෙන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණියේය. ඒ අනුව සති දෙකක් ඇතුළත උඩු ගුවනට ගිය දෙවැනි බිලියනපතියා ලෙස බෙසෝස් සැලකෙයි. ඇමසන් සමාගම පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ජෙෆ් බෙසෝස් ය. ඇමෙරිකාවේ අංක එකේ පුවත්පතක් වන ‘වොෂින්ටන් පෝස්ට්’ හිමිකාරීත්වය ඇත්තේ ද ඔහුටය. 57 හැවිරිදි බෙසෝස් පෘථිවි වායු ගෝලයත් අභ්‍යවකාශයත් හමුවන ‘කාමන් සීමාව’ තෙක් ගමන් කළේ, පසුගිය 20 වැනිදාය. 


අද වනවිට දින දෙකක් වැනි කෙටි කාලයක පුහුණුවීම්වලින් පසු ගගනගාමියකු ලෙස අභ්‍යවකාශයට ගොස් ශුන්‍ය ගුරුත්වයේ පා වී, පහළ පෘථිවිය නරඹා, ආපසු පැමිණීමේ අරමුණින් අභ්‍යවකාශ සංචාර ආරම්භ වී ඇත. අභ්‍යවකාශ ගමන් බිමන් පෞද්ගලීකරණයටත් වාණිජකරණයටත් ලක් වී අවසන්ය‍. අතමිට සරු ඕනෑම කෙනකුට, ගගනගාමියකු ලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට හැකියාව ඇත. 


අභ්‍යවකාශ සංචාර ආරම්භ කරමින් පළමුවෙන් අභ්‍යවකාශය ජය ගැනීම සඳහා ලොව බිලියනපතියන් අතරේ තරගයක් පැවැතිණි. එම තරගය ජයග්‍රහණය කළේ බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරික ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් ය. බ්‍රැන්සන් ඔහුට අයත් වර්ජින් ගැලැක්ටික් සමාගම නිපදවූ සුපර් සොනික් ගගන යානයෙන් තවත් පස් දෙනකු ද සමඟ පසුගිය 11 වැනිදා පෘථිවි වායුගෝලයේ අභ්‍යවකාශයේ සීමාව තෙක් ගොස් ආපසු පැමිණියේය. අභ්‍යවකාශයට යෑම යනු, පෘථිවි වායුගෝලයේ ඉහළටම ගොස් ‘කාමන් සීමාව’ පසු කිරීමය. මෙම සීමාව පිහිටා ඇත්තේ කි.මී. 100ක් ඉහළිනි. පෘථිවි වායුගෝලයේ අද්දර එසේත් නැති නම්, අභ්‍යවකාශය හමුවන සීමාව ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන්නේ මෙම සීමාවය. 


වර්ජින් ගැලැක්ටික් සමාගම සංචාරකයන් අභ්‍යවකාශයට ගෙන යෑමට නිපදවා ඇත්තේ ගුවන් යානයක් හා සමාන ගගන යානයක් වන නමුත්, බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් සමාගම අභ්‍යවකාශ සංචාර සඳහා නිපදවා ඇත්තේ අධි බලැති රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයකි. රොකට්ටුව නම් කර ඇත්තේ නිව් ෂෙපර්ඩ් යනුවෙනි. ඒ, අභ්‍යවකාශයට ගිය පළමු ඇමෙරිකන් ගගනගාමියා ඇලන් බී. ෂෙපර්ඩ්ව සිහි ගන්වමිනි. කැප්සියුලය නම් කර ඇත්තේ බ්ලූ ඔරිජින් යන නමිනි. 


ඇමෙරිකන් ජාතික ව්‍යාපාරික ජෙෆ් බෙසෝස්, අභ්‍යවකාශයට යන බව නිවේදනය කළේ බ්‍රැන්සන් ට පෙරය. කෙසේ නමුත් බ්‍රැන්සන් ඉක්මන් විය. බෙසෝස් ඔහුගේ වික්‍රමයට ජුලි 20 වැනිදා තෝරා ගත්තේ නාසා ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් මුලින්ම සඳට පය තැබුවේ ජුලි 20 වැනිදා දිනක නිසාය. 

 


නිව් ෂෙපර්ඩ් රොකට්ටුවට හෝ බ්ලූ ඔරිජින් ගගන කැප්සියුලයට නියමුවන් නොමැති අතර, සියල්ල පරිගණකයෙන් සැලසුම් කළ ආකාරයට ස්වයංක්‍රීයව සිදුවෙයි. රොකට්ටුව ගගන කැප්සියුලය රැගෙන ගුවනට යෑම, පෘථිවි වායුගෝලය අද්දරට කැප්සියුලය තල්ලු‍ කරමින් රොකට්ටුව වෙන් වී පහළට වැටීම ආදිය සිදුවන්නේ පෙර සැලසුම් අනුව ස්වයංක්‍රීයවය. මෙය සුවිශේෂී දෙයකි. අනාගතයේ අපගේ අභ්‍යවකාශ ගමන් බිමන් සියල්ල මේ අයුරින් පරිගණක කෘත්‍රිම බුද්ධියක ආධාරයෙන් සිදුවනු ඇත. 


රොකට්ටුවට අකරතැබ්බක් සිදු වුවහොත්, කැප්සියුලය ගැලවී ගගනගාමීන් ආරක්ෂා කරගන්නට හැකි අයුරින් එය නිපදවා ඇත. මෙම ආරක්ෂිත උපක්‍රම පසුගිය වසර ගණන පුරා අත්හදා බලා ඇති බව බෙසෝස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. තමන් මෙම ගමනට සහභාගි වූයේ එය ආරක්ෂිත බව පෙන්වීමට යැයි ද බෙසෝස් අවධාරණය කර තිබේ. ඇත්තෙන්ම එය ඉතාමත් ආරක්ෂාකාරී මිනිත්තු කිහිපයක පහසු ගමනක් විය. 


බෙසෝස් මෙම වික්‍රමයට සහභාගි වූයේ තනිවම නොවෙයි. බෙසෝස්ගේ සොහොයුරු 53 හැවිරිදි මාර්ක් ද ගමනට එක් විය. ඊට අමතරව, බෙසෝස්ගේ විශේෂ ආරාධනාවකට අනුව 82 හැවිරිදි වොලී ෆන්ක් ද ගමනට එක්වූවාය. වොලී ෆන්ක් යනු දශක හයක් අභ්‍යවකාශයට යෑමට උත්සාහ කළත්, ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු ඇමෙරිකානු ගගනගාමිනියකි. ඒ අනුව, අභ්‍යවකාශයට ගිය වයස්ගතම පුද්ගලයා ලෙස වොලී ෆන්ක් වාර්තා අතරට එක් වූවාය. 


බෙසෝස් සමඟ මෙම ගමනට එක් වුණු සිවුවැනියා කවුරුන්දැයි අනාවරණය කෙරුණේ පසුගිය 17 වැනිදාය. 18 හැවිරිදි ඔලිවර් ඩේමන් නමැති ඔහු නෙදර්ලන්ත ජාතික භෞතික විද්‍යා ශිෂ්‍යයෙකි. බ්ලූ ඔරිජින් ගගන කැප්සියුලයේ ආසන වෙන්දේසි කරද්දී, ආසනයක් වෙන් කිරීම සිදු කරගෙන ඇත්තේ ඔලිවර් ඩේමන්ගේ කෝටිපති ව්‍යාපාරික පියා විසිනි. 

 


අභ්‍යවකාශයට ගිය වයස්ගතම තැනැත්තා වොලී ෆන්ක් වෙද්දී, අභ්‍යවකාශයට ගිය ළාබාලතම තැනැත්තා ලෙස ඔලිවර් ඩේමන් වාර්තා පොත් අතරට එක් විය. ඇමෙරිකන් ඩොලර් මිලියන 28ක් ගෙවා පළමුවෙන් ආසනය වෙන් කර තිබුණේ ඩේමන්ගේ පියා නොව වෙනත් කෝටිපතියෙකි. කෙසේ නමුත් අවසන් මොහොතේ ඉතා හදිසි රාජකාරි වැඩක් යෙදුණු බව පවසමින් එම කෝටිපති ව්‍යාපාරිකයා ගමනට සහභාගි වූයේ නැත. ඔලිවර් ඩේමන්ට අවස්ථාව ලැබුණේ ඒ අනුවය. අභ්‍යවකාශයට ගොස් ආපසු ඒමට සුවිශේෂී අවස්ථාවක් උදා වී, හදිසි රාජකාරි වැඩක් හේතුවෙන් එය අවලංගු කළ කෝටිපතියා කවුරුන් ද යන්න තවමත් රහසකි. 


රොකට්ටුව ගුවන්ගත කෙරුණේ ඇමෙරිකාවේ ටෙක්සාස් කාන්තාරයේ ‘ලොන්ච් සයිට් වන්’ මධ්‍යස්ථානයෙනි. මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ වැන් හෝන් නගරයේ සිට කිලෝ මීටර් 40ක් වියළි කාන්තාර ප්‍රදේශයකය. ‘බ්ලූ ඔරිජින්’ වෙබ් අඩවිය හරහා රොකට්ටුව ගුවන්ගත වීම, කැප්සියුලය වෙන් වී අභ්‍යවකාශයට යෑම සජීවීව විකාශය කෙරුණි. කැප්සියුලය උඩු ගුවනට තල්ලු‍ කිරීමෙන් පසු රොකට්ටුව යළි පහළට වැටීම සිදුවෙයි. මෙම රොකට්ටුව නිපදවා ඇත්තේ නැවත නැවත භාවිතයට ගැනීමට හැකි ලෙසය. 


බෙසෝස් ඇතුළු කණ්ඩායමේ මෙම වික්‍රමයට ගත වූයේ මිනිත්තු 10 තත්ත්පර 20ක් පමණි. මිනිත්තු 4ක් අභ්‍යවකාශයේ රැඳී ආපසු ගුරුත්වාකර්ෂණ බලයට හසු වී කැප්සියුලය පහළට ඇදී ඒම සහ එය දැවැත්ත පැරෂුට් ආධාරයෙන් යළි ටෙක්සාස් කාන්තාරයට පතිත වීම සජීවීව විකාශය කෙරුණි. ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය විශේෂ පුවතක් ලෙස බෙසෝස්ගේ වික්‍රමය සජීවීව විකාශය කිරීමට කටයුතු කර තිබුණි. යළි පෘථිවියට පැමිණි සතුට සැමරීමෙන් පසු, ජෙෆ් බෙසෝස්, මාර්ක් බෙසෝස්, වොලී ෆන්ක් සහ ඔලිවර් ඩේමන් මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන්ගේ අපූරු අත්දැකීම විස්තර කළහ. ආපසු පැමිණ ගගන කැප්සියුලයෙන් පිටතට ආ බෙසෝස්ට හාදුවක් දෙමින් ඔහු පිළිගත්තේ ඔහුගේ නවතම පෙම්වතිය ලෙස සැලකෙන ලොරෙන් සැන්චේස් ය.‍ 


වික්‍රමය සාර්ථක වීමත් සමඟ, රිචඩ් බ්‍රැන්සන් ද ජෙෆ් බෙසෝස් ඇතුළු පිරිසට සුබ පැතුම් එක් කිරීමට අමතක නොකළේය. ජෙෆ් බෙසෝස් ලොව ධනවත්ම පුද්ගලයා වන්නේ ඔහුගේ ශුද්ධ වටිනාකම එසේත් නැති නම් වත්කම් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලයන 200 ඉක්මවන බැවිනි. අතීතයේ, අභ්‍යවකාශයත් ඉන්පසු සඳ තරණයත් සඳහා ඇමෙරිකාවේ නාසා ආයතනය ආරම්භ කළ ‘ඇපලෝ’ මෙහෙයුම්වල වටිනාකම, එදා මුදලින් ඇමෙරිකන් ඩොලර් බිලියන 19.4ක් යැයි සී.එන්.එන්. පුවත් වාර්තාවක සඳහන් වෙයි.

 

 

ලු‍සිත ජයමාන්න 
ඩේලිමේල් ඇසුරිනි



අදහස් (0)

තවත් බ්ලියනපතියෙක් අභ්‍යවකාශ සංචාරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site