තල්අරණ කසාවතින් බැබලුණේ භික්ෂූන්වහන්සේලා 100 නමක් ලේ දන් දීම සඳහා පසුගිය 25 වැනිදා හිමිදිරියේම යාපනය ශික්ෂණ රෝහල කරා වැඩම කළ නිසාය.  


මෑත ඉතිහාසයේ මෙවැනි පුණ්‍යකර්මයක් තල් අරණේ සිදු වූයේ පළමු වතාවටය.  


උතුරේ සාමාන්‍ය ජනතාව රෝගී වී ලේ අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ලබාදීමට ලේ සොයා ගැනීම රෝහල් වෛද්‍යවරුන් මුහුණ පාන බලවත් ප්‍රශ්නයක් බව සුනේත්‍රාදේවී පිරිවෙන් පරිවේණාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් දැනගෙන ඇත්තේ මාධ්‍ය වාර්තා මගිනි.  

 

 

උතුරේ ජනතාව රෝගී වූ විට අවශ්‍ය ලේ පරිත්‍යාග කිරීමට කටයුතු ඒ අනුව සංවිධානය කරන්නේ අභයතිස්ස හිමියන්ය.  


අභයතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුකිරීමට යන මේ පුණ්‍යකර්මය දැනගත් පසු භික්ෂූන්වහන්සේලාගෙන් ඒ සඳහා ලැබී ඇත්තේ ඉහළම ප්‍රතිචාරයකි.  


මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේ පෙරටු කරගත් මහා සංඝරත්නය යාපනය රෝහලට වැඩම කරද්දී ලේ බිඳක් සොයා ගැනීමට මගක් නොමැතිව ජීවිතය යදිමින් සිටි රෝගීන්ගේ සමීපතම ඥාතීන් දොහොත් මුදුනේ තබාගෙන සංඝරත්නයේ දෙපාමුල වැඳ වැටුණේ අනේකවාරයක් උන්වහන්සේලාට පින් දෙමිනි.  


ලේ බිඳක් සොයා ගැනීමට නොමැතිව ජීවිතය ගැන සියලු බලාපොරොත්තු අතහැර මරණයේ මාවත තෝරා ගෙන සිටි සමහර රෝගීන් ද ජීවිතය ගැන යළි බලාපොරොත්තු ඇති කරගෙන ඇත්තේ ලේ දන් දීමට දකුණේ සිට භික්ෂූන්වහන්සේලා පිරිසක් රෝහලට වැඩම කර ඇති බව දැනගත් මොහොතේ පටන්ය.  


“අපි කවමදාවත් මෙහෙම දෙයක් කරන්න භික්ෂූන්වහන්සේලා පිරිසක් උතුරට වැඩමකරාවි යැයි කියා කිසි වේලාවක බලාපොරොත්තු වුණේ නැහැ හාමුදුරුවනේ. මේ ඇත්තමයි කිව්වේ”  


රෝහලේ ඒ අවස්ථාවේ සිටි වෛද්‍යවරුන් හෙද හෙදියන් හා කාර්ය මණ්‍ඩලය සමග පවසා තිබෙන බව කියන්නේ ඉහවහා ගිය සතුට නිසා ඇතිවූ කඳුළු අතරිනි.  


“මහා සංඝරත්නය උතුරේ ජනතාවට ලේ දන් දෙන්න ආපු වේලාවේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා කාර්ය මණ්‍ඩලයේ අයගේ ඇස්වල කඳුළු පිරී තිබුණා අපි දැක්කා” යැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ කියා සිටියේ ද ඒ නිසාය.  


උතුරේ ජනතාව වෙනුවෙන් ලේ දන්දීමට ගිය කතාව අපි අභයතිස්ස හිමියන්ගෙන්ම අසා දැන ගතිමු.  


“කුල ප්‍රශ්නය නිසා කුලයෙන් උසස් යැයි හිතාගෙන සිටින උතුරේ බොහෝ දෙනෙක් ලේ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් නොවන නිසා ලොකු ප්‍රශ්නයකට වෛද්‍යවරු මුහුණ පා සිටින බව මාධ්‍ය මගින් දැනගත්තා. ඊට පස්සේ මම යාපනය අාඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහත්තයාට කතා කළා. කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත බව ඒ මහත්තයා එක්ක කළ කතාබහේදී තහවුරු වුණා. උතුරේ ජනතාවට අවශ්‍ය ලේ දන්දීමට ඒ වෙනකොටත් අපේ රණවිරුවෝ විශාල වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන බවත් දැන ගත්තා.  


භික්ෂූන්වහන්සේලා වශයෙන් අපිත් මේ කටයුත්තට දායක වෙන්න කල්පනා කළා. මේ බව මහ පිරිවෙණේ භික්ෂූන්වහන්සේලාටත් අවට පිහිටි විහාරස්ථානවල වැඩ වාසය කරන භික්ෂූන්වහන්සේලාටත් දැනුම් දුන්නා. මේ සඳහා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. අපට මේ පුණ්‍ය කටයුත්ත කරන්න යාපනයට යන්න ප්‍රවාහන පහසුකම් සපයා දෙන්න පිරිවෙණේ දායක සභාවේ සභාපති කීර්ති සේනාරත්න මහත්තයාත් දානපතියෙක් වන අජිත් මහත්තයාත් ඉදිරිපත් වුණා. භික්ෂූන්වහන්සේලා 100ක් නමක් ලේ දෙන්න යාපනය රෝහලට ගියා. අපි මේ විදිහට ලේ දන් දෙන්න ගියේ උතුරේ ජනතාවගේ දුක් කඳුළු අතරින් දාන පාරමිතා පුරන්න නම් නොවේ.”  


භික්ෂූන්වහන්සේලා දකුණේ සිට උතුරට ලේ දන්දීම සඳහා වැඩම කරන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මකව පැවැති කාලයේ අරන්තලාවේදී මහා භික්ෂු සංහාරයක් කර තිබූ පසුබිමක් තුළය.  


දිඹුලාගල නායක හිමියන් ද මරා දමනු ලැබුවේ කොටි සංවිධානය විසිනි.  


එහෙම වුණා කියා මහා සංඝරත්නය කාටවත් වෛර කරන්න ගියේ නැත. පළිගන්න ගියේ ද නැත.  


“අපි නැසිය යුත්තේ සතුරා නොව සතුරුකමයි. ඒ වගේම අපි නැසිය යුත්තේ වෛරය මිස වෛරක්කාරයා නොවේ” යැයි කියා මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසන්නේ ඒ නිසාය.  


“සිංහල, දෙමළ සහ මුස්ලිම් හෝ බර්ගර් ආදී වශයෙන් කියා ලේ වර්ග නොමැති බව උතුරේ ජනතාවට අපි ලේ පරිත්‍යාග කිරීම තුළින් තවත් ඔප්පු වුණා. අපේ මේ ලේ දන්දීම උතුර-දකුණ යා කරන ශක්තිමත් පාලමක් බවට පත්වුණා. භික්ෂූන්වහන්සේලා ජාතිවාදීන් බවට ඇතැම් අය ගෙන යන ප්‍රචාරය මෙයින්ම බොරුවෙනවා. කසාවත දරා සිටින අපි ජාතිවාදීන් නොවේ. කාගෙත් සිරුරුවල දුවන්නේ එකම ලේ.  


උතුරේ ජනතාව රෝගී වූ විට ලේ සොයා ගැනීම ලොකු ප්‍රශ්නයක් වෙලා. ඒ කුලභේදය නිසයි ඒ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන උතුරේ දේශපාලනඥයන් මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ නැහැ. ලේ බිඳක් ඔවුන්ගේ ජනතාවට දෙන්න ඉදිරිපත් වුණා කියා අප අසා නැහැ. ඒ තියා උතුරේ ලේ දන්දීමේ කඳවුරක් පවත්වන්න කටයුතු කළා කියාවත් අප අසා නැහැ. දකුණේ සිට වැඩම කරන භික්ෂූන්වහන්සේලා හා රට බේරාගැනීමට කැපවූ රණවිරුවන් තමා ලේ දන් දීමට ඉදිරිපත් වෙලා තියෙන්නේ. රණවිරුවන් රට බේරා ගැනීමට ඇස් ඉස් මස් දන්දෙමින් කළ මෙහෙය අපට කිසිසේත් සුළුකොට තැකීමට හැකියාවක් ඇත්තේම නැහැ.  


රටක් හැටියට ගත්තොත් අපි හැමෝම එකයි. දකුණේ ජනතාවගේ දුකේදී මෙන්ම උතුරේ හා නැගෙනහිර ජනතාවගේ දුක වෙනුවෙන් භීක්ෂූන්වහන්සේලා වශයෙන් අපි පෙනී සිටිනවා.  


සෞදියේදී මරණ දඬුවම ලැබූ රිසානාගේ පවුලේ අයට නව නිවාසයක් හදන්නත් මම මුල්වී කටයුතු කළා. මාගේ මාස හයක පඩිය පවා ඒ පවුලේ අය වෙනුවෙන් පරිත්‍යාග කළා. මුලතිව් ජනතාව නියඟය නිසා දැඩිසේ පීඩා විඳිනවා. ඒ බව මට දැන ගැනීමට ලැබී ලොකු ජල ටැංකි 50ක් විතර ඒ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය තකා පරිත්‍යාග කළා. සංහිඳියාව කියන්නේ තවත් ජාතීන් පාගාගෙන තවත් ජාතියක් ඉදිරියට යාම​ නොවේ. මෙයයි සැබෑ සංහිඳියාව. මෙහිදී අප නියෝජනය කළේ මුළු සිංහල ජාතියමයි. වෛර කරන්න බුද්ධාගමේ උගන්වන්නේ නැහැ” යැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.  


අභයතිස්ස හිමියෝ මෙසේ ද කීහ.  


“උතුරේ ජනතාවට ලේ අවශ්‍ය වුවහොත් අපට කියන්න. සංඝරත්නය ඕනෑම වේලාවක ඇවිත් ලේ පරිත්‍යාග කිරීමට සූදානම් කියා වෛද්‍යවරුන්ට දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ වෛද්‍යවරුන් අපට කිව්වේ ‘ඔබ වහන්සේලා මෙහාට වඩින්න අවශ්‍ය නැහැ, අපි ඔබ වහන්සේලා සොයාගෙන ඇවිත් ලේ ගන්නම්’ කියායි. මෙය ජාතීන් අතර සමගිය හා අවබෝධය ශක්තිමත් කිරීමට ද ඉවහල් වෙනවා” යැයි මහාචාර්ය අභයතිස්ස හිමියෝ පෙන්වා දෙති.  


සාමයේ අරුණළු වැටී ඇති තල්අරඹේ අායෙත් ජාතිවාදයේ ගිනි දැල් ඇවිළීමට උත්සාහ කරන ඇතැම් දෙමළ දේශපාලනඥයන්ට හා දෙමළ ඩයස්පෝරාවට අායෙත් එසේ කිරීමට උතුරේ සාමාන්‍ය ජනතාව යළි ඉඩ නොදෙනු නොඅනුමානය.  


එයට මේ ලේ දන්දීමේ ව්‍යාපාරය ද ශක්තිමත් අඩිතාලමක් වනවා ඇත. එහි ගෞරවය හිමිවන්නේ මේ කටයුත්තට නායකත්වය ලබාදුන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ටය.  


සටහන ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප : යාපනය - ප්‍රදීප් කුමාර