IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


එංගලන්ත රාජකීයයන් සමග අපූරු මතක සටහන්

 

එංගලන්තයේ සුද්දන්ගේ ගැට තොණ්ඩුවට අසුවී හිරවී සිටි ශ්‍රී ලංකා අපට සර්වජන ඡන්ද බුරුල ලැබී හරියටම අවුරුදු පනහ පිරෙන දින වකවානුවේම පොදුරාජ්‍ය මණ්ඩල නායිකා දෙවැනි එළිසබෙත් මහ රැජිණ හා එඩින්බරෝ ආදිපාද දම්පතීන්ගේ පුත්‍ර රත්නය වූ ඔටුන්න හිමිවෙන චාල්ස් කුමරු හා ඩයනා කුමරියගේත් විවාහ රජමඟුල සිදුවිය. ටක්කෙටම කියනවානම් 1981 ජූලි මාසයේ 29 දාය. සුද්දා කෙසේ වෙතත් අප නම් ජූලි මාසයේ මඟුල් ගන්නේ නැත. පුහු ඇහැළ මාසය නිසාය. කොයි කෙසේ වුවත් රජ මඟුලට පුහු ඇහැළ අපලය පළදීමට අවුරුදු ගණනාවක් ගතවිය.   


රජ මඟුල් පරස්තාවත් සර්වජන ඡන්දයට 50 පිරීමේ විශ්ව ජුබිලියත් එකටම ගැලපී තිබුණ නිසා ශ්‍රී ලංකාවේ පැරණි ශ්‍රී විභූතියත් අකලංක සංස්කෘතික ලක්ෂණත් මහ ඉහළින් කැට සාක්කි ඇතිවම ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි උනන්දුවක් දැරීය. මේ නිසා ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රී ලංකා උදාවක් එංගලන්ත භූමියේ ‘‘කෙන්සිස්ටන් හයි ස්ට්‍රීට්’’ හී පොදුරාජ්‍ය මණ්ඩල ආයතන පරිශ්‍රයේ ප්‍රාදූර්භූත විය.   

 


මේ මහා භාරදූර කාර්යය දුව පනින ගමන් නැතහොත් ආවට ගියාට කළ නොහැක. කල් බලා දොස්වරා කලාවට වෙලාවට සාරසුබාවට කළ යුතුමය. ඔක්කෝටම වඩා මුල කර ගසා සිටියේ ආර්.ප්‍රේමදාස අගමැතිතුමාය. එසේ නම් වැඩ කටයුතුවල අයමි විතර හැමෝම දන්නවාය.   


මේ කාල පරාසයේදී සංස්කෘතික අමාත්‍යාංශයේ පර්​ෙ‌ය්ෂණ හා නිර්මාණ කලා අධ්‍යක්ෂ වුයේ ප්‍රකට මහ කලාකරු ඩබ්ලිව්.බී. මකුලොලුව ශූරීහුය. මම අධිසහායක සංස්කෘතික නිලධාරී ලෙස රාජකාරී කළෙමි.   


ප්‍රදර්ශන භූමියට ඇතුළුවෙන තැනම පොළොන්නරුව ගල්විහාරයේ සැතපෙන පිළිමයේ සමාන අනුරුවකි. අඩි 22ක් දිග පුවක්ගස් 10ක හා උණගස් 10ක ලී පටි ද එකල රු. 20000/- ක් වූ මා වේවැල් තොගයක් ද සුදු හා රතු රෙදි යාර 5000ක්ද උපයෝගි කර නුවර සම්ප්‍රදායේ වගුරැලි රැලි පාලම් බැන්ද මහා ප්‍රදර්ශන මාවතය. මේ ඔක්කෝමත් හරිය. අනෙක් කාරිය වූයේ මහා ලංකා ප්‍රදර්ශනය විවෘත කිරීමට සපැමිණෙන මහ රැජිණ හා එඩින්බරෝ ඈපාණන් ඉදිරියේ නුවර දළදා පෙරහරේ ඉඟි අනු පෙරහැරක් පැවැත්වීමය.   
විසිතුරු ඇඳුමින් සැරසූ ඇතකු මුල් ඇඳුමින් විභූශිත නිළමේ කෙනෙකු ඇතුළත් පෙරහර නැට්ටුවන් බෙරකරුවන් ගෙන්ද ආඩ්‍ය විය යුතුමය. පෙරහැරේ නැටුම් අංග කීපයක් සඳහා එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ තරුණ දූ දරුවන් පුහුණු කර ගත්තේ රාජ්‍ය නැටුම් කණ්ඩායමේ ශිල්පීන් විසින්ය. මේ පිරිසට අමතරව රන්සිරි තෙල්කුමුදුවල, සව්සිරි බණ්ඩාර තෙන්නකෝන්, හේරත් බණ්ඩා වැනි ලංකාවේ ප්‍රකට වාද්‍ය හා නර්තන ශිල්පීන්ද එංගලන්තයට කැඳවාගන්නා ලදී. එදා පෙරහැරේ නිළමේ ඇඳුම් ඇඳ ගමන්කළේ එයටම හිමිකම් ඇති යුද හමුදා නැටුම් කණ්ඩායමේ කපිතාන් ක්ලැරන්ස් ගොඩ්ප්‍රි දෙල්වලය. 

 

පින්තූරය ගන්නා ලද්දේ ආචාර්ය ජිනදාස වීරකෝන් විසින් 1981 ජූලි එංගලන්තයේදීය. ඩබ්ලිව්.බී. මකුලොලුව මහතා, එඩින්බරෝ ආදිපාදිතුමා සහ ප්‍රේමදාස මැතිනිය.

 


රාජ මංගල්‍ය ජූලි 29 ය. ප්‍රදර්ශනය විවෘත කිරීම ජුලි 16 දිනය සබ්බ සකල මනා හා වැඩකරුවන් සමග ජූලි 3 වෙන විට අපි එංගලන්තයේය.   


රාජකීය මංගල්ලයේ උත්සව ශ්‍රී විභූතිය සඳහා රඟ දෙන්නට ශ්‍රී ලංකා රාජ්‍ය නැටුම් කණ්ඩායමට අමතරව එංගලන්තය සමග නෑ මිතුරුකම් පවත්වන වෙනත් රටවලින්ද කලා සංස්කෘතික කණ්ඩායම් පැමිණ සිටියහ. මේ සියල්ල අතරින් ශ්‍රී ලංකා නැටුම් කණ්ඩායම (මුළු ගණන 23) මුලටම පිළිගත් නිසා රාජකීය මනාල යුවල මධුසමය ගත කිරීමට ගිය ලස්සන සිසිලි දූපතේ උත්සව වලදීත් නැටුම් දක්වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.   


එදා ජූලි 16 දින මේ මහා උත්සව උත්කර්ෂයෙන් උද්දාම ප්‍රහර්ෂයට පත්ව අපේ කුඩා නුවර පෙරහැර අවසන් වූවා පමණය. මහා රාජනීය හා එඩින්බරෝ ඈපාණන් ඉදිරියට මකුලොලුව මහතා කැඳවනු ලැබීය. 

 
මා සමග සිටි මකුලොලුව මහතා වීරකෝන් මගේ කැමරාවේ පින්තූර 35 ඉවර වගේ කියා තම කැමරාව මා අතට දී රාජකීය යුවල අබිමුවට යාමට යුහුසුළු විය.   
එකල තිබුණේ මිලිමීටර් 35 සහ 120 සැලෝලයිට් දළ සේයා පට යොදන කැමරයා. මකුලොලුව මහතා පින්තූර ඉවර වගේ කීවේ ඡායාරූපයක අවශ්‍යතාවයයි. මම ඒ තත්පරයේම ක්‍රියාත්මක වීමි. රාජකීය යුවල සිටියේ මා සිටි තැනට අඩි 15 - 20 ක ආසන්නයේමය. මගේ කැමරාව එල්ල කරන්නට ගියහොත් පමාවෙනවාය. පින්තූර ඉවර කතාව ගණන් නොගෙන මකුලොලුව මහතාගේ කැමරාවෙන්ම පින්තූරය ගැනීමට තත්පර වූයෙමි.   


මකුලොලුව එඩින්බරෝ ආදිපාද, මහ රැජින එක පෙළට පෙනුනේය. මකුලොලුව මහතා ඉදිරිපසට (මා සිටි පැත්ත) අත දිගුකර පෙරහැරේ යමක් ගැන රාජකීය යුවලට විස්තර කරනු කැමරාවේ එල්ල මානය තුළින් මට පෙනුනේය. ඊළඟ තත්පරයේදී මකුලොලුව මහතා අත පාත දාන්නට පෙර පින්තූරය ගත යුතුය. සියල්ල සිදුවූයේ ඒ තත්පර නිමේෂයේදීමය. මා කැමරාවේ ෂටරය ඔබන මොහොතේම අසල සිටි ප්‍රේමදාස අගමැති බිරිඳ - හේමා ප්‍රේමදාස මහත්මිය මහරැජිනට ඉදිරියෙන් පින්තූරයට පෙනී සිටියාය. මහරැජින වසන් වූ නිසා ක්ෂණිකවම ඊළඟ පින්තූරයත් ගැනීමට කැමරාවේ සේයාපට රෝල කැරකු වෙමි. හිස් රෝල නිකම්ම කරකැවුණේය. මකුලොලුව මහතා කිවු පරිදිම පින්තූර අවසන් වී තිබු​ණේය. මම වහාම මකුලොලුව මහතාගේ කැමරාව යම්තම් එල්ලාගෙන බෙල්ලේ එල්ලාගෙන තිබූ මගේ කැමරාව ගෙන පින්තූරයක් ගැනීමට එල්ල කෙළෙමි. මොන? එතැන සිටි​යේ මකුලොලුව මහතා පමණය. මට පෙනුනේ ඈතින් ඈතට යන මහරැජින හා එඩින්බරෝ ආදිපාදයාණන්ගේ පස්සය.   


කෝටි ප්‍රකෝටි ලොතරැයි දිනුමක් එක ඉලක්කමින් අහිමි වීමේ පරාජිත හැඟුමින් මකුලොලුව මහතාගේ කැමරාව ආපසු දුනිමි.   


දළ සේයා පටය මුද්‍රණය කර බැලූ පසු ඛේදවාචකයේ තරම දැනුණේය. පින්තූර 35ම අවසන් වී තිබුණු දළ සේයා පටයේ 36 ලෙස වැදී තිබුණු බාග පින්තූරයේ මකුලොලුව මහතා එඩින්බරෝ ආදිපාදතුමා යස රඟට පෙනුණත් මහරැජින වැසීගොස් එහි සිටියේ අගමැති බිරියය.   


තවත් මාස එකහමාරකට පමණ පසුව යුගොස්ලෝවැකියාව ඉතාලිය හරහා ලංකාවට පැමිණි පසු සුප්‍රකට පුවත්පත් කතුවර කලාශූරී ගුණදාස ලියනගේ මහතාගේ උසිගන්වා ඉඟිකිරීමෙන් පින්තූර පලහිලව්ව සමග සංචාරක විචිත්‍රාංගයක් පළ කිරීමට සූදානම් වූ විට මකුලොලුව මහතා කීවේ තමාගේ රූපය ඉවත්කර ඡායාරූපය ප්‍රසිද්ධ කරන ලෙසය. එතැනින්ම ඒ වැඩේ මිහිදන් විය.   


ඊට අවුරුදු කීපයකට පසු 1984 සැප්තැමබර් 8 දින මකුලොලුව මැතිතුමා මියගිය දවසේ මකුලොලුව මහතා හා එඩින්බරෝ ආදිපාදතුමා පමණක් සිටින සේ පින්තූරය සකසා ‘‘රජුන්ටත් පාර පෙන්වූ...’’ යනුවෙන් සිරස යොදා දේහය අසලින් සංවේග සටහන් ලියන්නට තිබූ CR 2 පොත අසලම තැබුවේ නුගේගොඩ මල්වත්ත පාරේ මකුලොලුව මහතාගේ නිවසේ සිට අවමඟුල් උත්සවයේ සංවිධාන කටයුතු මෙහෙයවූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හා ලයනල් රංවල ජන සංගීත වේදියාණන් ගේ උපදෙස් අනුවය.   
මේ අලකලංචි ඡායාරූපය ගත් මුල් දිනයෙන් අවුරුදු 39කට පසුව පළමුවැනි වරට මුල් ඡායාරූපය සම්පූර්ණයෙන් ඉරිදා ලංකාදීප සඳහා එළිදරව් කර පිරිනමමි.   

 

 

ආචාර්ය ජිනදාස වීරකෝන් 

 



අදහස් (0)

එංගලන්ත රාජකීයයන් සමග අපූරු මතක සටහන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 864 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1279 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site