IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


විද්‍යා ඝාතකයා නිදහස් කළාට පොලිසියේ හතර වැනියා අත්අඩංගුවට ගත් හැටි

 

යාපනයේ පුංකුඩුතිව්හි ශිවයෝගනාදන් විද්‍යා දැරිය මරා දමා තිබූ ආකාරය දැක සාමාන්‍ය ජනතාව පමණක් නොව පොලිස් නිලධාරීහු ද කම්පනයට හා කනස්සල්ලට පත් වූහ. කයිට්ස් මූලස්ථාන පොලිසියේ පුරික්කට්ටුවාන් පොලිස් මුරපොළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මංගල ඉරාන්ද එම ස්ථානයට ගියේ පරීක්ෂණ සඳහාය. විද්‍යාගේ සිරුර දැක ඔහු ද කනස්සල්ලට පත් වූ බව හෙළි වූයේ යාපනය මහාධිකරණයේ පැවැති නඩු විභාගයේදීය. කනස්සල්ලට පත්වන පොලිස් නිලධාරීන් මෙන්ම සැකකරුවන්ට උදවු දුන් පොලිස් නිලධාරීන් ගැන ද හෙළි විය.  


යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බව කියන ස්විස් කුමාර්ට පැන යෑමට උදව් දුන් පොලිස් ලොක්කා කවුද? මේ වසර දෙකක් තිස්සේ තිබූ පැනයයි. එම පැනයට රහස් පොලිසිය වසර එක හමාරකට පෙර නීතිපති දෙපාර්තමේන්තුවට පිළිතුරු යවා තිබිණි. නමුත් ගණනකට ගත්තේ නැත. නඩුවේ සාක්කි එකිනෙක දිග හැරෙද්දි පොලිසියේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ දී හෙලුව වසා ගැනීම සඳහා වසරකට පසු නීතිපති උපදෙස් ලැබුණේ පසුගිය සිකුරාදා (14) ය.   


මෙම සිද්ධිය වන වකවානුවේ උතුරු පළාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයා වූයේ ලලිත් ඒ. ජයසිංහ මහතාය. විද්‍යා ඝාතන සිදුවීම් මාලාව ගැන රහස් පොලිසිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අවස්ථා දෙකක දී ප‍්‍රකාශ සටහන් කරගෙන තිබිණි.  


15 වැනිදා (ඉකුත් සතියේ සෙනසුරාදා) රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පොලිස් පණිවිඩයක් ලබා දී තිබුණේ ඊට පෙර දින එනම් 14 වැනිදාය. රහස් පොලිසියේ දැන්වීම අනුව 15 වැනි සෙනසුරාදා උදේ 9.30ට පමණ ලලිත් ජයසිංහ මහතා එහි ගියේය.   


රහස් පොලිසියේ පෙනී සිටි ලලිත් ඒ. ජයසිංහ මහතාගෙන් එහි සමූහ මංකොල්ල විමර්ශන අංශය පැය හතර හමාරක් පමණ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගත්තේය. ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් මුදා හැරීමේ චෝදනාවට අත්අඩංගුවට නොගෙන සිටීමට තවදුරටත් කරුණු ඇත්දැයි රහස් පොලිසිය සොයා බැලීය. ස්විස් කුමාර් නම් සැකකරු ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියට සම්බන්ධ බවට දැන දැනම සහ ඔහු ඊට සම්බන්ධ බවට විශ්වාස කිරීමට තරම් කරුණු තිබිය දී නීත්‍යනුකූල දඬුවමෙන් ආවරණය කර ගැනීමේ අදහසින් ඔහුට රැකවරණය දීම සහ උපකාර කිරීම යන චෝදනාව කියා දී රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා මහතා විසින් සවස 2.30ට පමණ සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.  


අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව සවස් වරුවේ සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රැගෙන කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණය බලා පිටත් විය. ඔවුන් ගියේ බෙන්ස් වෑන් රියකිනි. එය අතරමඟදී කැඩීම නිසා ගමන තරමක් ප‍්‍රමාද විය. ඒ අනුව ඔවුන් කයිට්ස් වෙත ළඟා වන විට පසු දින අලුයම 4ට පමණ ඇත.  


දීර්ඝ ගමනකින් විඩාවට පත්වී සිටි රියදුරුට නින්ද ගියෙන් බෙන්ස් වෑන් රිය පාරෙන් පිට පැන බොක්කුවක වැදිණි. ඉන් කිසිවකුට බරපතළ හානියක් නොවූවත් වාහනයට දැඩි හානි සිදුවී තිබිණි.  


කයිට්ස් පොලිසියේ උදව් ඇතිව වෙනත් වාහනයකින් සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කයිට්ස් මහේස්ත‍්‍රාත්ගේ නිල නිවසට රැගෙන යන විට ඉරිදා (16) අලුයම හය පමණ වී තිබිණි. ඒ වන විට ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නොසිටි අතර වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයකු පත් කර තිබිණි. පසුව රහස් පොලිසිය සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩබලන මහේස්ත‍්‍රාත් සබේෂන් හමුවට ඉදිරිපත් කළේය.  


මරණීය දණ්ඩනයෙන් දඬුවම් කළ හැකි වරදක් සිදු කළ සැකකරුවකු බව දැන දැනත් මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් නම් සැකකරු නීත්‍යනුකූල දඬුවමෙන් ආවරණ කර ගැනීමේ අදහසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුට රැකවරණ දුන් බවට විමර්ශනවල දී අනාවරණ වී ඇතැයි රහස් පොලිසිය වැඩබලන මහේස්ත‍්‍රාත්වරයාට දැන්වීය.  


දණ්ඩ නීති සංග‍්‍රහයේ 209 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.  


ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බැවින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර බන්ධනාගාරයේ රඳවන ලෙස ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලා සිටියහ. රහස් පොලිසියද ඊට විරෝධය පළ නොකළ අතර ඒ අනුව සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.  


ලලිත් ජයසිංහ මහතා රැගෙන අනුරාධපුර බන්ධනාගාරයට යද්දී මහේස්ත්‍රාත් නියෝගයේ සුළු අඩුපාඩුවක් ඇතැයි දැක ඇති අතර පසුව යළි යාපනයට පැමිණ එය නිවැරදිකරගෙන අනුරාධපුර බන්ධනාගාරයට ගෙන ගොස් තිබේ.  


සේවයේ සිටියදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බව පොලිසිය කියයි. ජ්‍යෙෂ්ඨත්වය අනුව ශ‍්‍රී ලංකා පොලිසියේ හතර වැනියට සිටින නිලධාරියා ලලිත් ජයසිංහ මහතාය.   


2015 මැයි 13 වැනි දා ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කරනු ලැබීය. ඒ සමඟ පරීක්ෂණ පැවැත්වූ කයිට්ස් පොලිසිය සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගත් අතර සිද්ධියේ ප‍්‍රධාන සැකකාර ස්විස් කමාර් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපහොසත් විය. ඊට දින කිහිපයකට පසු ස්විස් කුමාර් ගම්වාසීන් විසින් අල්ලා ගස්බඳිනු ලැබීය. මොහු මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බව තමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට දැනුම් දුන් බවත්, ඉන් පසු උප පොලිස් පරීක්ෂකවරයකුගේ ඉල්ලීම අනුව තම වාහනයේම සැකකාර ස්විස් කුමාර් යාපනය මූලස්ථාන පොලිසියට ගෙනැවිත් බාර දුන් බවත්, ඔහු මුදා හැරියේ ඇයිදැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගෙන් විමසූ විට සාක්කි නැති නිසා මුදා හැරි බව ප‍්‍රකාශ කළ බවත් කොළඹ සරසවියේ නීති පීඨයේ හිටපු පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තමිල් මාරන් මහතා මහාධිකරණයේ සාක්කි දෙමින් පැවසීය.  


සැකකාර ස්විස් කුමාර් මුදාහැරීමත් සමග උරණ වූ ප‍්‍රදේශවාසීන් අධිකරණයට පවා ගල් ගසමින් ප‍්‍රකෝපකාරී ලෙස හැසිරුණු අතර එම සිද්ධියට සැකපිට 200ක් පමණ අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කරනු ලැබූහ.  


විද්‍යා ඝාතනය සම්බන්ධ පරීක්ෂණ රහස් පොලිසිය බාර ගත් පසු ප‍්‍රධාන සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශන උදෘත නීතිපති වෙත යවා තිබුණු අතර නීතිපති උපදෙස් නොලැබීම නිසා සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාද වූ බව පොලිස් ආරංචි කියයි. ඉන් පසු විද්‍යා දැරිය ඝාතනයේ නඩු විභාගය යාපනය ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ආරම්භ විය. සාක්කි විභාගයේදී ස්විස් කුමාර් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියෙන් මුදා හැර ඇතැයි යළි අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් පසුගිය ඉරිදා ජනමාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ජාතික පොලිස් කොමිසම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට චෝදනා පත‍්‍රයක් ලබා දුන්නේය. ඉන් පසු සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දණ්ඩ නීති සංග‍්‍රහයේ 209 වගන්තියෙන් දඬුවම් කළ හැකි අපරාධ වරදක් සිදු කර ඇතැයි නීතිපතිවරයා පසුගිය සිකුරාදා (15) රහස් පොලිසියට දැන්වීය.   


අත්අඩංගුවට පත් වන විට ලලිත් ජයසිංහ මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මෙන්ම ඌව පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද කටයුතු කරමින් සිටියේය. ඒ මහතා ලබන සති අන්තයේ නිවාඩු ඉල්ලා තිබුණු බව ද පොලිස් ආරංචි කියයි. විද්‍යා ඝාතන නඩුව යළි ලබන 18 වැනි දා බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, අන්නාලිංගම් ප්‍රේමෂංකර් සහ මානික්කවාසගර් ඉලංචේලියන් මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.  


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ සහකාර පොලිස් අධිකාරී එන්. බී. තිසේරා මහතාගේ උපදෙස් පරිදි සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු පිරිසක් විද්‍යා ඝාතන සිද්ධියේ විමර්ශන පැවැත්වූහ.   


අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් යැයි කියමින් පොලිසියේ කිහිප දෙනකු පහළ නිලධාරීන්ගෙන් මුදල් ඉල්ලා සිටින බව පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක් චෝදනා කරති. මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ඔවුහු කියති.

තරිඳු ජයවර්ධන සහ සිරාජ් හසීම්



අදහස් (0)

විද්‍යා ඝාතකයා නිදහස් කළාට පොලිසියේ හතර වැනියා අත්අඩංගුවට ගත් හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 329 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 357 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1294 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site