IMG-LOGO

පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති විටක විශ්වාසභංගයක් භාරදිය හැකිද?

යහපාලන රජයේ හවුල්කාරී පක්ෂය පසුගිය 26 වනදා එක් වරම රජයෙන් ඉවත්වීම සහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ රට තුළ මේ වන විට යම් දේශපාලන අස්ථාවර භාවයක් හටගෙන තිබේ. 


නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බවත් ඔහු නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගැනීමට තමන් සූදානම් නොමැති බවත් පවසමින් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරු රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පසුගියදා කතානායකවරයාට භාර දුන්හ. 


ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති අවස්ථාවක විශ්වාසභංග යෝජනාවක් භාරදීමට හැකියාවක් නොමැති බවත් කතානායකවරයාට ඒ පිළිබඳ කිසිදු ක්‍රියා මාර්ගයක් ගැනීමට හැකියාවක් නොමැති බවටත් ඇතැම් පිරිස් සඳහන් කරති. 


මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා සහ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා යන මහත්වරුන් දැරුවේ එකිනෙකට පරස්පර අදහස් දෙකකි. 


ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති අවස්ථාවක නව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ගෙන ඇති තීන්දුව නිෂ්ඵල ක්‍රියාවක් බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා පැවැසීය. 


ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කර තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති කිසිදු ව්‍යවස්ථා කටයුත්තක් සිදු කළ නොහැකි බවත් ඒ අනුව විශ්වාසභංග යෝජනාව ඇතුළු කිසිදු යෝජනාවක් භාරදීමට හෝ සම්මත කර ගැනීමටත්, පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හෝ සාකච්ඡා කිරීමට නොහැකි බවත් ඔහු සඳහන් කළේය. 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ ජයතිස්ස ද කොස්තා මහතා මෙසේද කීවේය. 


“ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තියෙනවා. නැවත පාර්ලිමේන්තුව කැඳවිය හැක්කේ ජනාධිපතිවරයාටම පමණයි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව නැවත කැඳවනතෙක් එතනදි පාර්ලිමේන්තුව නැවතුණා වෙනවා. 


ජනාධිපතිවරයා විසින් තමයි පාර්ලිමේන්තුව කැඳවන්නේ, වාර අවසාන කරන්නේ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි ලෙසම තියෙනවා. ජනාධිපතිවරයාට දැනට තියෙන බලතලවලට අමතරව පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසාන කිරීමට සහ විසුරුවා හැරීමට බලය තියෙනවා කියලා තිස්තුන්වන වගන්තියේ දෙවන උපවගන්තියේ පැහැදිලිව දක්නට තියෙනවා. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී ජනාධිපතිවරයාට හැර වෙන කෙනෙකුට පාර්ලිමේන්තුව කැඳවිය නොහැකියි. 


පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබියදී නැවතත් පාර්ලිමේන්තු වාරය ආරම්භ වනතෙක් කාලය නිකං නොනගතය වගෙයි. මොනවත් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතු සියල්ල නවතිනවා. ඒ අතරතුර කාලයේදී පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කිසිදු බලාත්මක දෙයක් කරන්න බැහැ. 


ඒ නිසා පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබියදී නැවතත් පාර්ලිමේන්තු වාරය ආරම්භ වන තෙක් විශ්වාසභංග යෝජනාවක් ගෙනාවත් එය ඉදිරිපත් කිරීමට හෝ සාකච්ඡා කිරීමට බලයක් නැහැ. පාර්ලිමේන්තුව නැවත රැස්වුණාට පස්සෙ පුළුවන් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු කරගෙන යන්න. 


මෙම මස 14 වනදා පාර්ලිමේන්තුව කැඳෙව්වහම ඉස්සෙල්ලම කරන්නේ රාජාසනයේ කතාව කියලා ඉස්සර කියන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවීමයි. එයට අමතරව තව දෙයක් කරනවනම් ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී ඒ ගැන තීරණයක් කරයි. 


අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුයි කියලා ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙනවා. යම් හෙයකින් පසු කලකදී වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මතවෙලා අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් නැවතත් ඊළඟ අගමැතිවරයා පත් කරනු ලබන්නේත් ජනාධිපතිවරයා විසිනුයි. 
අගමැතිවරයා පත් කිරීම ජනාධිපතිවරයා හැරුණුකොට කතානායකට හෝ අධිකරණයකට හෝ වෙනත් කිසිදු අධිකාරියකට කරන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැහැදිලි ලෙසම එම බලතල ජනාධිපතිවරයා සතු වනවා. 


අපි කැමති වුණත් නැති වුණත් අපිව පාලනය වන්නේ මේ ව්‍යවස්ථාවට අනුවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටිනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ යම් යම් බලතල අඩු කළා. එහෙත් එයට අමතරව අලුතින් බලතල ගණනාවක් අලුතින් එක් කරලා තියෙනවා. 


උදාහරණයක් විදියට තිස්තුන් වන වගන්තියේ දෙවන උප වගන්තියට අනුව වෙනදටත් වඩා ජනාධිපතිවරයාගේ බලතල වැඩිවෙලා තියෙනවා. 70 වන වගන්තියට අනුව පාර්ලිමේන්තුව තේරී පත්වී මුල් රැස්වීමෙන් පසු අවුරුදු හතර හමාරක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාවක් නැහැ. එහෙම නොවේනම් තුනෙන් දෙකක මන්ත්‍රීවරුන් පිරිසක් එම ඉල්ලීම ඉදිරිපත් කළ යුතුයි කියා එහි පැහැදිලිව දක්වා තිබෙනවා. එයට අමතරව තමයි තිස්තුන්වන වගන්තියෙන් මේ බලතල ජනාධිපතිවරයාට පවරලා තියෙන්නේ. ඒ අනුව පැහැදිලිවම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තියෙනවා. 


ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කරලා තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවසෙන කිසිදු ව්‍යවස්ථා කටයුත්තක් කරන්න බැහැ. ඒ අනුව විශ්වාසභංග යෝජනාව ඇතුළු කිසිදු යෝජනාවක් භාරදෙන්න, සම්මත කරන්නත්, පනතක් කෙටුම්පතක් ඉදිරිපත් කරන්නත් බැහැ. සාකච්ඡා කරන්නත් බැහැ. නැවත කැඳවපු අවස්ථාවේ ඉඳන් තමයි ඒ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. 


ලබන 14 වන දා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවලා ප්‍රතිපත්ති ප්‍රකාශය කියනවා. එතනින් පස්සේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය පරිචය අනුවත් ස්ථාවර නියෝග අනුවත් එතනින් එහාට ඒ කටයුතු කෙරේවි. මේ අතරතුර කාලයේදී පාර්ලිමේන්තුව වෙන කෙනෙකුට කැඳවන්නත් බැහැ. විහ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර සාකච්ඡා කරන්නත් බැහැ. 


කතානායකවරයා පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන තත්ත්වය පාලනය කරනවා විතරයි. පාර්ලිමේන්තුව තුළ කවුද අග්‍රාමාත්‍යවරයා විය යුත්තේ කියන එක තීරණය කරන්න එයාට අයිතියක් නැහැ. ජනාධිපතිවරයා විසින් තෝරා ගන්නා ලද අග්‍රාමාත්‍යවරයා පිළි නොගැනීමට ඔහුට අයිතියක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් වනවා. 
මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනවනම් 14 වනදා වනකම් එය නීතිය හමුවේ වැදගැම්මක් නැහැ” යැයිද ජයතිස්ස ද කොස්තා මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය. 


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා මහතා පැවැසුවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕනෑම අවස්ථාවක හැකියාවක් ඇති බවයි. 


එම අයිතිය උල්ලංඝනය කිරීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බවද ඒ මහතා පැවසීය. 


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා මෙසේද කීවේය. 


“විශ්වාසභංග යෝජනාවක් ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක ඉදිරිපත් කරන්න ඕන මෙන්න මේ වෙලාවේ කියලා සීමාවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා නැහැ. 


සාමාන්‍යයෙන් විශ්වාසභංග යෝජනාවක් ගේනවා කියලා කතානායකවරයාට භාර දෙන එක විතරයි මෙතෙක් වෙච්ච සම්ප්‍රදාය. එහෙම නැහැයි බැහැයි කියලා කොහේවත් සඳහන් වෙලා නැහැ. විශ්වාසභංග යෝජනාවක් ගන්න බැහැ කියලා මෙතෙක් පූර්වාදර්ශයක්වත් නැහැ. 


ජනාධිපතිවරයාට කිසිදු ආකාරයක අයිතියක් නැහැ, පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පිළිබඳ ඇඟිලි ගහන්න. 14 වනදා පාර්ලිමේන්තුව රැස්කරලා එදාට තියෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීම කියලා දෙයකුත් මෙතන නැහැ. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් කතානායකවරයා තමයි අවසාන බලධාරියා මේ සියල්ල තීරණය වෙන්නේ ඒ අනුවයි. 


කතානායකවරයාට මෙය එදාට විවාදයට ගන්න බැහැ කියලා කොහේවත් සඳහන් වෙන්නේ නැහැ. මොකද මේ වගේ තත්ත්වයක් මෙයට කලින් ඇතිවෙලා නැති නිසා. මේක අලුතින්ම ඇති වූ අර්බුද කාරිත්වයක් ​ෙවනවා. 


විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. කතානායකවරයා එය භාරගෙන තියෙනවා. පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවලා කතානායකවරයා තීරණය කළ යුතුයි මෙය 14 වැනිදා විවාදයට ගන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. 


පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් බහුතරයක් ඉන්නේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමත් සමගයි. ඒ නිසා මේ විශ්වාසභංග යෝජනාව භාරගෙන න්‍යාය පත්‍රයට දානවා ඇරෙන්න කතානායකවරයාට වෙනත් විකල්පයක් නැහැ. 


පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව මේ සියල්ල තීරණය වන්නේ කතානායකවරයාගේ තීන්දු තීරණ අනුවයි. කතානායකවරයා තමයි පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් උත්තරීතර පුද්ගලයා. පාර්ලිමේන්තුව තුළ කුමක් කළ යුතුද කෙසේ කළ යුතුද? යන්න සම්බන්ධයෙන් කතානායකවරයාට නියෝග දීමටවත් අණ කිරීමටවත් මෙහෙයවීමටවත් කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. 


ඒ නිසා කතානායකවරයා තීරණය කළොත් 14 වනදා විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නවා, ඡන්දයක් පවත්වනවා කියලා එයට අකමැති පිරිස්වලට වුවමනා නම් එළියට බැහැලා යන්න පුළුවන්. ඒ විශ්වාසභංග යෝජනාව 113කින් සම්මත කළොත් ඒ අය පාර්ලිමේන්තුවේ හිටියා කියලා තේරුමක් නැහැ. 


ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේනව නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් වෙනවා ඒක ගේන්න ඕන ක්‍රමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, රාජද්‍රෝහී වීම ආදී කරුණු 05ක් එහි තියෙනවා. එවැනි කරුණක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තුනෙන් දෙකක් අත්සන් කරලා දෝෂාභියෝගයක් ගෙනාවොත් කතානායකවරයාට එය භාර ගන්නම වෙනවා. ප්‍රතික්ෂේප කරන්න විදියක් නැහැ. 


තුනෙන් එකකට වැඩි අත්සන් සහිතව එය භාර දුන්නොත් ඒක භාර ගන්නවද නැද්ද කියලා තීරණයක් ගන්න ඒ පිළිබඳව කතානායකවරයාට අභිමථානුසාරී බලයක් තියෙනවා. විශ්වාසභංග යෝජනාවකදී මෙච්චර ගාණක් අත්සන් කරන්න ඕන කියලා එකක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැමති ගාණක් අත්සන් කරලා ඉදිරිපත් කළ හැකියි. 
කතානායකවරයා සම්බන්ධයෙන් විවිධ පිරිස් එල්ල කරන චෝදනා ඉතාම නරක දෙයක් විදියට අපි දකිනවා. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි පාර්ලිමේන්තුව කල් තැබීමට ජනාධිපතිවරයා කටයුතු කරනවනම් කතානායකවරයාට එය දැන්විය යුතුයි. කතානායකවරයාට ඒක එපැයි කියන්න බැහැ. නමුත් කතානායකවරයා දැනුම්වත් කළ යුතුයි. ජනාධිපතිවරයා එහෙම දැනුම්වත් කිරීමක් කළේ නැහැ. ඒකත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගැළපෙන්නේ නැහැ. 


ජනාධිපතිවරයා බොහොම හිතුවක්කාරී විදියට තමයි මේ හැම දෙයක්ම කළේ. ජනාධිපතිවරයා කියනවා මේ තීරණය ගන්න කලින් එයා නීති විශාරදයන්ගෙන් උපදෙස් ගත්තා කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ වගේ බරපතළ තීන්දුවක් ගැනීමේදී එයා උපදෙස් ගන්න ඕන කැලෑ පෙරකදෝරුවන්ගෙන් නෙමෙයි. එයා උපදෙස් ගන්න ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය පවරා තිබෙන එය අර්ථකථනය කිරීමේ බලය පැවරිලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයෙනුයි. 


මෙතන ආණ්ඩුවක් තියෙද්දී ආණ්ඩුවක් පත්කරලා තියෙනවා. ඒක නිසා තමයි මේ අගමැතිවරු දෙන්නෙක් ආවේ. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා විදියට දිවුරුම් දීලා, ඊට පැය කිහිපයකට පස්සේ ජනාධිපතිවරයා විසින් හිටපු අගමැතිවරයාට ලියුමක් යවනවා මම ඔබ තනතුරින් ඉවත් කළා කියලා. මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටහැණියි, පිළිගත් සම්ප්‍රදායටත් පටහැණියි. 


සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවකදී රනිල් වික්‍රමසිංහ මහතාව අයින් කරන්න නම් මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කළ යුතුයි, පාර්ලිමේන්තුවේ තමන්ගේ බහුතර බලය පෙන්වන්න කියලා. එහෙම කළේත් නැහැ. හිතුවක්කාර විදියට පත් කරලා දැන් අල්ලස් දීලා 113ක් හදන්න යනවා. දැන් 113ක් හදාගන්න බැරුව ඉන්නවා. 
ආණ්ඩුවකට තියෙන්න ඕන සුජාත භාවයක්. සුජාත භාවයක් කියන්නේ නීතියට අනුකූල වෙන්න ඕන. ජනතාව විසින් පිළිගැනීමක් තියෙන්න ඕනෑ. මේ ආණ්ඩුව පත් කළ ආකාරයත් වැරදියි. දැනට බලයේ රැඳී සිටීමත් වැරදියි. 


මේ ආණ්ඩුව නීත්‍යනුකූල නොවේ නම් මේ ආණ්ඩුවට සුජාතභාවයක් නැත්නම් මේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න කිසිම කෙනෙකුට අභියෝග කළ නොහැකි අයිතිවාසිකමක් විපක්ෂයට තියෙනවා. ඒ අයිතිය කාටවත් වළක්වන්න බැහැ. 


ජනාධිපතිවරයාගේ කතාව විතරයි එදාට තියෙන්නේ කියලා ඒ අයිතිය වළක්වන්න බැහැ. පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු හැසිරවීම සම්බන්ධයෙන් අවසාන බලධාරියා කතානායකවරයා මිස ජනාධිපතිවරයා නොවේ. 


කතානායකවරයා දැන් අවුරුදු තුනහමාරක් තිස්සේ ඒකාබද්ධ විපක්ෂය පිළිගන්නේ නැතුව හිටියා. 55ක් හිටියත් 16ක් හිටපු දෙමළ ජාතික සන්ධානය විපක්ෂ නායකකම දැරුවා. අවුරුදු තුනහමාරක් වලි කෑවත් කතානායකවරයා එම තනතුර ඔවුන්ට දුන්නේ නැහැ. කතානායකවරයා තමයි අවසාන බලධාරියා වන්නේ කියලා එතනිනුත් පැහැදිලියි. 
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් තියෙන්නේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීම, පාර්ලිමේන්තුව කැඳවීම, කල් තැබීම සහ විසුරුවා හැරීමට පමණයි. ඒවා කරන්න ඕනත් නීත්‍යනුකූලව පමණයි. හිතු හිතූ විදියට කල් දාන්න බැහැ. 


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් බල්ලට ගිහිල්ලා. හැම කෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කරනවා. එහෙමනම් ශ්‍රේෂ්ඨාධිකරණයක් තිබිලා වැඩක් නැහැ” යැයිද මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා වැඩිදුරටත් පැවැසීය.

 

 

සටහන -
නිමල කොඩිතුවක්කු  

 



අදහස් (0)

පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති විටක විශ්වාසභංගයක් භාරදිය හැකිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site