IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


1967 වසරේදී ගුවන් යානයකින් අම්පාරට ගියෙමි

අතීතයේ දවසක්

නිකුත් කරන ලද ගුවන් ටිකට් පතේ ඡායාපිටපතක්

 

 

නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර මගින් ගුවනින් ගිය ගමන් පිළිබඳව ලිපි කිහිපයක් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත් කිහිපයක පළවී තිබෙනු මා දුටුවෙමි. මම ද මෙලෙස ගුවනින් ගිය අයෙකු බැවින් එම ගමන පිළිබඳව ඉරිදා ලංකාදීප පුවත්පතට දන්වා එවීමට අදහස් කළෙමි. 


1967 ඔක්තෝබර් මස 21 වන දින මෙම ගුවන් ගමන සඳහා සහභාගි වනවිට මා හට වයස අවුරුදු එකොළහක් විය. මාගේ පියා විදුහල්පතිවරයෙකු වන අතර මව ගුරු මාතාවකි. මෙම දෙපළට හිමි නිදහස් දුම්රිය ගමන් බලපත්‍රය (වොරන්ට් එක) මගින් මෙම වරප්‍රසාදය හිමිවූයේ එවකට මාගේ වයස අවුරුදු දහඅටකට අඩු වූ නිසාය.   
නියමිත දිනයේදී පෙරවරු හයට පමණ පියාත් මවත් සමග මා ද කොළඹ කොටුවේ පහළ චැතැම් වීදියේ පිහිටා තිබූ එයාර් සිලෝන් ගුවන් සේවා කාර්යාලය වෙත ගියේය. එම කාර්යාලය එවකට පිහිටා තිබුණේ වත්මන් ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාලය ඉදිරිපිටය. ඒ වනවිටත් ගමනට​ සහභාගි වීම සඳහා කිහිපදෙනෙක් ගුවන් සේවා කාර්යාලය වෙත පැමිණ සිටියහ.   


පෙරවරු හතට පමණ එයාර් සිලෝන් ගුවන් සමාගමට අයත් බස් රථයක් ඉහත කී කාර්යාලය අසලට පැමිණියහ. කාර්යාලයට පැමිණ සිටි පිරිස නංවාගත් බස් රථය පෙරවරු හතයි තිහට පමණ රත්මලාන ගුවන්තොටුපළ කරා පිටත්විය. පෙරවරු අටට පමණ ගුවන් තොටුපළ වෙත ළඟාවන විටත් ගුවන් යානය ගුවන් ගත කරවීම සඳහා සූදානම් කර තිබිණ. ගුවන් යානයට නැගීමට අවසර ලැබුණ පසු මා ගුවන් යානය තුළ ඉදිරියට ගොස් කවුළුවක් අසල වූ සුවබර අසුනක වාඩිවීමි. 

 
සිනා මුසු මුහුණින් පැමිණි ගුවන් සේවිකාව ස්ටාර් වර්ගයේ ටොපියකින් සංග්‍රහ කිරීමටත් අමතක නොකළාය. ඇය අතෙහි පුළුන් පිරි බඳුනක් ද විය. පුළුන් ලබාදෙනුයේ ඉහළ අහසේ පවතින අධික ශීතල නිසා ඇතිවන කන් කැක්කුමෙන් මිදීමට කන ඇතුළත ආවරණය කිරීම සඳහාය. ඇයගේ උපදෙස් පරිදි ආරක්ෂාව සඳහා සීට් බෙල්ට් තදකර ගත් අප ගුවන් ගත වීමට සූදානම්ව සිටියේය. කාර්ය මණ්ඩලය තිදෙනෙක් සමග මුළු පිරිස තිස් අට දෙනෙක් මෙම චාරිකාව සඳහා සහභාගි විය. පෙරවරු අටයි පහළොවට පමණ යානය ගුවන් ගතවිය.   


ගුවන් යානය අඩි අටදහසක් දක්වා ඉහළට එසවිණ. යානයේ කවුළුවෙන් අවට පරිසරය බැලූ මාහට නෙත ගැටුණේ චමත්කාර දසුනකි. සුදු වලාකුළු පුළුන් රොදක් සේද, නිවෙස් ගිනි පෙට්ටි ලෙසින්ද, ගංගා ඔයවල් කුඩා දොළ පහරවල් සේද, උස්කඳු ශිඛර කුඩා පස්කඳු සේද, කුඹුරු යායවල් තණ පිට්ටනිසේද, දැකගත හැකිවිය. මෙම ගුවන් ගමන අතරතුර පුවත්පතක් කියවීමට හා රසවත් පළතුරු පානයක රස බැලීමට ද අවස්ථාව අපහට ලැබුණි. අලුත්නුවර ප්‍රදේශයට ඉහළින් ගමන් පියාසර කළ මෙම ගුවන්යානය විනාඩි පනහක ගුවන් ගමනකින් පසු එනම් පෙරවරු අටයි පනස්පහට පමණ අම්පාර උහන ගුවන් පථයට සේන්දුවිය.   


අප අම්පාර උහන ගුවන්තොටුපළට පිවිසෙන විට අම්පාර ප්‍රදේශයේ චාරිකා කිරීම සඳහා මාර්ග උපදේශකයෙකු සහිතව මගී බස් රථයක් සූදානම් කර තිබිණි. ප්‍රථමයෙන් අප කැඳවාගෙන යන ලද්දේ දීඝවාපි රජමහා විහාරය වෙතය. එම විහාරය වැඳ පුදා ගත් අප ආපසු පැමිණීමේදී දිඝා වැව ද අපගේ නෙතට දර්ශනය විය. අනතුරුව සැතැපුම් ගණනක් දුරට දිවෙන උක්යායවල් මැදින් අපි හිඟුරාණ සීනි කර්මාන්තශාලාව වෙත පිවිසුණෙමු. උක් දඬු පටවන ලද ටේලර් රැසක් එකට අමුණන ලද ට්‍රැක්ටර් කිහිපයක් ද සීනි කර්මාන්ත ශාලාව ආසන්නයේ නවතා තිබුණි. උක් දණ්ඩ අවසානයේ සුදුසීනි බවට පත්වන අයුරු කර්මාන්ත ශාලාව තුළදී අපි දුටුවෙමු.   


අපහට දිවා ආහාරය සූදානම් කර තිබුණේ ගල්ඔය තානායමේය. දැඩි වෙහෙසකට පත්ව සිටි අපි දිවා ආහාරය ලබාගත් පසු පැය දෙකකට ආසන්න කාලයකින් පසු නැවත ගමන් ආරම්භ කළෙමු. ඉඟිනියාගල ජල විදුලි බලාගාරය නැරඹීමට ගිය අපි මඳ වේලාවක් එම ස්ථානයේ ගතකර අප ගල්ඔය හරස්කර ඉදිකල සේනානායක සමුද්‍රය නැරඹීමට ගියෙමු. ඒ ගමන යන අතරතුර ජපන් මල්වත්ත ද නෙත ගැටිණ. නැවතත් තේ පානය සඳහා ගල්ඔය තානායම වෙත පැමිණි අප ඉන් අනතුරුව අම්පාර උහන ගුවන්තොටුපළ බලා පිය නැගුවෙමු. පස්වරු හතරයි තිහට පමණ ගුවන්තොටුපළට පැමිණි පසු නැවතත් රත්මලාන ගුවන්තොටුපළ කරා පැමිණීමට පස්වරු පහට පමණ යානය ගුවන්ගත කෙරිණ.   
ගුවන්යානය ගුවන් ගතවී සුළු වේලාවකට පසු නොසිතූ පරිදි තද වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයකට මුහුණ දීමට අපහට සිදුවිය. සීට් බෙල්ට් තදකර ගැනීමට අණ කෙරිණ. අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතැම් අවස්ථාවන්හිදී ක්ෂණිකව අඩි කිහිපයක් ගුවන්යානය පහතට වැටීම ත්‍රාසය හා භීතිය දක්වන්නක් විය. ගුවන්යානය අඩි දසදහසක් දක්වා ඉහළට ඔසවන බව දැනගන්නට ලැබිණ. හලාවත නගරයට ඉහළින් පියාසර කල ගුවන්යානය රාත්‍රී හතට පමණ රත්මලාන ගුවන් පථයට සේන්දු විය. පසුව එයාර් සිලෝන් ගුවන් සමාගමට අයත් බස් රථයකින් අප පිරිස කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත රැගෙන එන ලදී. ගුවන්යානයෙන් අපි සැරිසැරූ ගුවන්ගමන මෙතෙකින් නිමාවිය.   
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ සහකාර වෘත්තියේ යෙදී සිට විශ්‍රාම ලබා සිටින මාගේ වයස වර්තමානය වනවිට අවුරුදු හැට තුනකි. මා මෙම ගුවන් ගමනට සහභාගි කරගත් මවත් පියාත් අදවන විට ජීවතුන් අතර නැත. එදා මෙම ගුවන්ගමනට සහභාගි වූ පිරිසෙන් කීදෙනෙක් ජීවතුන් අතර සිටිනවාද ?නැද්ද ? යන වග මම නොදනිමි. 1971 වසරේදී ඇතිවූ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලත් සමගම මෙම ගුවන් ගමන් අතර මග නැවතිණ.   


කෙසේ වෙතත් එදා රාජ්‍ය සේවයේ නියුතුව සිටි නිලධාරීන්ට තම අඹු දරුවන් සමග නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර මගින් ගුවනින් යාමට තිබූ අවස්ථාව වර්තමානය වනවිට අහිමි වී ඇත. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබූ සුඛෝපභෝගී හිතාචි සංචාරක දුම්රිය මගින් ද දේශීය සංචාරකයන් හට මෙන්ම නිදහස් දුම්රිය ගමන් බලපත්‍රය (වොරන්ට් එක) හිමි රාජ්‍ය සේවයේ නියුතුව සිටින නිලධාරීන් හට තම අඹු දරුවන් සමග දිවයිනේ විවිධ ස්ථාන කරා සංචාරය කිරීමට අවස්ථාව සැලසී තිබූ අතර මෙම දුම්රිය ද කාලයාගේ ඇවෑමෙන් විශ්‍රාම ලබා ඇත.   


මෙම කරුණ පිළිබඳව නැවතත් රජයේ අවධානය යොමුකර නිදහස් දුම්රිය ගමන් බලපත්‍රය (වොරන්ට් එක) හිමි රාජ්‍ය සේවයේ නියුතුව සිටින නිලධාරීන් හට ගුවන් මගින් හා සුඛෝපභෝගී සංචාරක දුම්රියයන් මගින්ද තම අඹු දරුවන් සමග දිවයිනේ විවිධ ස්ථාන කරා සංචාරය කිරීමට අවස්ථාව ලබාදෙන්නේ නම් ඉතාමත් සුභ කටයුත්තක් වනු ඇත. 

 

 
බෙම්මුල්ලේ විගොඩ රංජිත් රාජපක්ෂ



අදහස් (0)

1967 වසරේදී ගුවන් යානයකින් අම්පාරට ගියෙමි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 262 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site