තුනුරුවන් සරණ යෑම පිළිබඳව සම්පාදනය කරනු ලබන මෙම ලිපි පෙළෙහි අප ඔබට බුදුරජාණන් වහන්සේ සරණ යන පිළිවෙල පිළිබඳව ප්‍රථමයෙන් විස්තර කළෙමු. අනතුරුව නවවැනි ලිපියෙන් ධර්ම රත්නය සරණ යෑම පිළිබඳව ඔබ විසින් දැනගත යුතු කරුණු කියා දීම ආරම්භ කළ අතර එහිදී යම් පමණකට ධර්මයෙහි ස්වාක්ඛාත ගුණය පිළිබඳව කාරණා ගෙනහැර දැක්වූවෙමු. මෙම ලිපියෙන් අප ඔබට කියාදෙන්නට යන්නේ ධර්මයෙහි ස්වාක්ඛාත ගුණයෙහි දැනගත යුතු අතිරේක ධර්ම කාරණාවන් කිහිපයක් පිළිබඳවයි. මේ කරුණු පිළිබඳවත් ඉතා පරිස්සමින් අවබෝධය ඇතිකර ගැනීමට උත්සාහවත් වෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
බුදුරජාණන් වහන්සේගේ ශාසනය පර්ය්‍යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේධ ශාසනය යනුවෙන් ත්‍රිවිධාකාර වෙන බව පෙර ලිපි ඇසුරෙන් අපි ඔබව දැනුම්වත් කළෙමු. ස්වාක්ඛාත ගුණය වනාහි මෙම ශාසනයන් අතුරින් පර්යාප්ති ශාසනය කෙරෙහිම විශේෂයෙන් දක්නට ලැබේ. සංදිට්ඨික ගුණයත් අකාලික ගුණයත් විශේෂයෙන් ප්‍රතිපත්ති ශාසනය හා ප්‍රතිවේධ ශාසනය කෙරෙහිම දක්නට ලැබෙති. එසේම ස්වාක්ඛාත ගුණය මාර්ගය අරමුණු කොට දක්නට ලැබෙන අතරම සංදිට්ඨික හා අකාලික ගුණය ඵල ලාභීත්වය අරමුණු කොට දක්නට ලැබෙති. නිර්වාණගාමී ප්‍රතිපදාව සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන යන අංග පහෙන් යුක්තය. මින් සීල, සමාධි, ප්‍රඥා යන ගුණ කඳු තුන ස්වාක්ඛාත ගුණය යටතට ගැනෙන අතර විමුක්ති, විමුක්ති ඥාන දර්ශනය යන අංග දෙක සංදිට්ඨික හා අකාලික ගුණයන්ට අයත් වේ.
මෙම කරුණු පිළිබඳව අති දීර්ඝ විස්තර කිරීමක් අවශ්‍ය වුවත් මෙම ලිපියෙන් එතරම් විස්තර කිරීමක් සිදුකිරීමට බලාපොරොත්තු නොවෙමු. නමුත් ධර්මය පිළිබඳව ඔබගේ දැනුම වර්ධනය වෙන විට මෙන්ම ධර්මය ගළපා ගැනීමේ හැකියාව වර්ධනය වීමත් සමගම මෙම කරුණු පිළිබඳව වඩාත් නිවැරදි අවබෝධයක් ලබා ගත හැකි වෙනු නොඅනුමානය. භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය මනා කොටම දේශනා කොට වදාළ සේක. එසේ කියන්නේ ධර්මයක් මනාව දේශනා කරන්නේ නම් එම දේශනාව තුළ ප්‍රධාන ධර්මතා සතක් ඇතුළත්ව තිබිය යුතු බැවිනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ වුවත් වෙනත් ඕනෑම ආගමක වුවත් මෙම ලක්‍ෂණ සත තිබේනම් පමණක් එම ධර්මය ලෝක සත්ත්වයාට හිතකර ධර්මයක් වේ. නැතිනම් ඕනෑම ශාස්තෘන් වහන්සේ කෙනෙකුගේ දේශනාව ඒකාන්තයෙන් දෙවි මිනිසුන් සහිත ලෝක සත්ත්වයාට අහිතකර වෙන බව ඒකාන්තය. එම නිසා ශාස්තෘත්වය පිළිබඳව මෙන්ම ඔවුන්ගේ අවබෝධාත්මක දේශනාවන් පිළිබඳවත් ශ්‍රාවකයා විසින් ද විමසිලිමත් වීම වැදගත් වේ. ශ්‍රාවකයා සැමවිටම අන්ධානුකරණයෙන් වල්මත් වූ අයෙකු නොවිය යුතු අතරම විචක්‍ෂණශීලී ප්‍රඥාවන්ත සීලාදී ගුණයෙන් හා ඉවසීමෙන් යුතු අයෙකු විය යුතුය. නිවන් දකින්නට යැ යි කියා අයාලේ යෑම කිසි විටෙකත් අනුමත කළ නොහැක.
බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි ධර්මයක අඩංගු විය යුතු ප්‍රධාන ලක්‍ෂණ සතම මනාව දක්නට ලැබේ. එම ධර්මතා සත නම්, යම් දේශනාවක ආරම්භය රාග දෝස මෝහාදී කෙලෙසුන් නැසීම ම අරමුණු කොට තිබිය යුතුය (ආදී කල්‍යාණං), එම දේශනාවෙහි මධ්‍යය ද රාග දෝස මෝහාදී කෙලෙසුන් නැසීම ම අරමුණු කොට තිබිය යුතුය (මජ්ඣේ කල්‍යාණං), අවසානය ද රාග දෝස මෝහාදී කෙලෙසුන් නැසීම ම අරමුණු කොට තිබිය යුතුය (පරියෝසාන කල්‍යාණං), මනාකොට අර්ථයන්ගෙන් සමන්විත විය යුතුය (සාත්ථං), ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත විය යුතුය (සබ්‍යඤ්ජනං), සියලුම කරුණු හාත්පසින් සර්ව සම්පූර්ණ විය යුතුය (කේවල පරිපුණ්ණං), ශ්‍රේෂ්ඨ චර්ය්‍යාව හෙවත් බ්‍රහ්ම චර්යාව සම්පූර්ණ කළ යුතුය (බ්‍රහ්මචරියං පකාසෙන්ති). බෞද්ධ අබෞද්ධ කවර ආගමක වුවත් මෙම කරුණු සත අංග සම්පූර්ණ විය යුතුය.
බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ආදී කල්‍යාණ මජ්ඣේ කල්‍යාණ පරියෝසාන කල්‍යාණ යන අංගයන් මනාව දේශනා කොට ඇත්දැයි විමසා බලමු. තථාගත ශ්‍රී සද්ධර්මයට අනුව මෙය ඉතා පරිස්සමින් ගළපා බැලිය යුතුය. ධර්මය තුළ මුල මැද අවසානය යන තුන් ස්ථානයන් මෙසේ දක්වා තිබේ. ‘‘සීල සමාධීහි වා ආදී කල්‍යාණෝවිපස්සනා මග්ගේහි මජ්ඣේ කල්‍යාණෝඵල නිබ්බානේහි පරියෝසාන කල්‍යාණෝ’’ යනුවෙනි. මෙහි අර්ථය නම් සීලය සමාධිය යන දෙක නිවන් මාර්ගයෙහි ආරම්භයයි. විදර්ශනා භාවනාව නිවන් මාර්ගයෙහි මධ්‍යයයි. සෝතාපන්නතාදී ඵල ලාභීත්වය පරියෝසාන කල්‍යාණ හෙවත් නිවන් මාර්ගයෙහි අවසානය වන බවයි. සීල සමාධි වර්ධනයෙන් ඕනෑම අයෙකු ධර්ම මාර්ගයට පිවිසෙන අතර විදසුන් වැඩීමෙන් මාර්ගයෙහි ගමන් කරන්නෙකු වන අතරම සෝවාන් සකදාගාමී ආදී මාර්ග ඵලයන්ට පත් වීමෙන් නිවන් සුවය ළගාකර ගන්නා අයෙකු බවට පත් වේ. මෙය අප කවුරුත් නිතර අසා ඇති සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවට අනුව ගළපා බලමු. ‘සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා - සචිත්තපරියෝදපනං ඒතං බුද්ධාන සාසනං’ යන ගාථා ධර්මයෙහි ‘සබ්බපාපස්ස අකරණං’ යනු සීලමය ප්‍රතිපදාවයි. ‘කුසලස්ස උපසම්පදා’ යනු සමාධිමය භාවනාව, විදර්ශනා භාවනාවයි. ‘සචිත්තපරියෝදපනං’ යනු ඵල ලාභීත්වයයි. මේ ධර්ම මාර්ගය සියලු බුදුරජාණන් වහන්සේලාගේ නිර්වාණගාමීත්වය පිණිස අනුශාසනාවයි. එයම ශාසනයම වේ.
‘සාත්ථං’ යනු ලෝකයෙහි යහපත අයහපත දන්නා කුසලය අකුසලය දන්නා මග නොමග දන්නා නුවණැති සත්පුරුෂයන්ගේ මනා වූ බුද්ධියෙන් හා ප්‍රඥාවෙන් දැනගත යුතු ස්වාක්ඛාතාදී ගුණයන් පිළිබඳව මනා ප්‍රඥාවෙන් පසක්කර ගනු ලබන ඥානවන්තයින් විසින් පරීක්‍ෂාවට ලක්කොට ඒ කෙරෙහි වඩාත් සතුටට පත්වෙන බවයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය පිළිබඳව වඩාත් මධ්‍යස්ථව විමසා බලා එහි සත්‍යතාවය පසක්කර ගැනීමෙන් වඩාත් සතුටට පත්වන බවයි. එසේම ගම්භීර අර්ථයන්ගෙන් සමන්විත වෙන බැවින්ද සාත්ථං යන අර්ථය භාවිත කෙරේ. ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද යනාදී ලෝකෝත්තර භූමිය ස්පර්ශ කරවන චිත්ත චෛතසික රූප නිබ්බාන ආදී ගම්භීර ධර්මයක් දේශනා කරන බැවින්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරම ගම්භීර ධර්මයක්ම වෙන සේක.
බුදුරජාණන් වහන්සේ විසින් දස මාර සේනා විධ්වංසනය කොට අති මහත් පරිශ්‍රමයෙන් මහා කල්ප අසංඛ්‍යය විස්සකුත් කල්ප ලක්‍ෂයක කාල පරාසයක් තිස්සේ විවිධ ආකාරයේ අනන්ත අපරිමාණ දුක් ගැහැට වින්දනය කොට අවසානයේ සොයා ගන්නා ලද මෙම චතුරාර්ය්‍ය සත්‍යය ධර්මය ප්‍රඥාවෙන් අවබෝධකොට හැකි දෙවි මිනිසුන් සහිත සියලු සත්ත්වයින්ගේ සිතෙහි ප්‍රසාදය උපද වන්නේය. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ‘ සබ්‍යඤ්ජන ‘ ලක්‍ෂණයෙන් යුක්ත යැයි කියනු ලැබේ. ඌන යැයි කියා එකතු කළ යුතු යමක් නොමැති බැවින්ද අධික යැයි කියා බැහැර කළ යුතු යමක්ද නොමැතිව දේශනා කළ යුතු ප්‍රමාණය ඒ අකාරයෙන්ම දේශනා කොට ඇති බැවින් ‘කේවල පරිපුණ්ණං’ යන නාමය භාවිතා කොට ඇත. ශාසනික බ්‍රහ්ම චර්ය්‍යාවෙහි අවසානය නම් අරහත් ඵලයයි. එනම් ‘බ්‍රහ්ම චරියං’ යන පදයෙන් සසර දුකෙන් නිදහස් වීම යන අරහත් ඵලය ගම්‍ය කොට ඇත. එය ශාසන ප්‍රතිපදාවේ අවසානයයි.
මෙම කරුණු වඩාත් හොඳින් ඔබට අවබෝධ වීම සඳහා අප විසින් සුන්දරී නන්දා ජනපද කල්‍යාණි මහ රහත් තෙරණින් වහන්සේගේ අපදානය උදාහරණයක් ලෙස ගන්නෙමු. එම ගාථා ධර්මයන්ගෙන් මෙම අවස්ථා සම්බන්ධය මනාව අවබෝධ කර ගැනීමට ඔබට පහසුවක් වනු ඇත. ඒ ඒ තැන්හි ධර්මයෙහි සඳහන් ස්වාක්ඛාතාදී අංගයන් කුමන ආකාරයකින් සංසන්දනය වන්නේ දැයි අපි ඔබට කියා දෙන්නෙමු. උපමාවෙන් ධර්මයෙහි දුරවබෝධ ස්ථානයන් පැහැදිලි කිරීම සියලු බුදුරජාණන් වහන්සේලාගේ එක් චාරිත්‍රයක් වෙන බැවින් නුවණැත්තන් ඒ කෙරෙහි මනාව අවධානය යොමු කරන්නේ නම් මැනවි.
‘පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මැය හංසවතී නගරයෙහි කුලවත් නිවසක උපත ලබා ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ ධර්මය ඇසීමට විහාරයට ගිය එක්තරා අවස්ථාවක පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ධ්‍යානලාභී භික්‍ෂුණීන් වහන්සේලා අතුරෙහි අග්‍රස්ථානය එක්තරා භික්‍ෂුණීන් වහන්සේ නමකට ලබා දෙනු දැක මෙසේ එම තනතුර ප්‍රාර්ථනා කරමින් කල්ප ලක්‍ෂයක් සසර විවිධ පින්කම් සිදුකරමින් පැමිණි ඇය අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ශාක්‍ය කුලයෙහිම උත්පත්තිය ලැබුවාය. ඇයට නන්දා යන නාමය තබන ලද්දීය. අභිරූපී රූප සම්පත්තිය හේතුවෙන් ඇයට සුන්දරී නන්දා යන නම ද ජනපද කල්‍යාණි යන නම ද අතිරේක වව්‍යවහාර කරන ලදී. යශෝදරාවගේ ශරීරයෙන් ආලෝකය දොළොස් රියනක වටප්‍රමාණයක විහිදී යන්නාක් සේ සුන්දරී නන්දාගේ ශරීරයෙන් ද දසත කිණිහිරියා පුෂ්පයෙන් විහිදෙන කාන්තියට සමාන වර්ණ සම්පත්තියක් නිරන්තරයෙන් විහිදී පවතී. ඒ වර්ණය විහිදී යන භූමි භාගය තුළ පහන් ආලෝකය දැල්වීමක් අවශ්‍ය නොවේ. නමුත් මෙම ශරීර කාන්තිය යශෝදරාවගේ ශරීරයෙන් නික්මෙන කාන්තිමත් බවින් දහසකින් එකක් පමණවත් නොවේ. ලෝකයට අනුකම්පාවෙන් ලොවුතුරු සම්මා සම්බුද්ධත්වයට පත් අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඥාතීන්ට අනුකම්පා කොට ජාත නගරයට වැඩම කොට නන්ද කුමාරයා ද රාහුල කුමාරයා ද පැවිදි කොට සුද්ධෝදන මහ රජු අරහත්වයට පත්කොට වදාළහ. අනතුරුව මහා ප්‍රජාපතී ගෝතමිය සමග පැවිදි වූ ප්‍රථම භික්‍ෂුණීන් වහන්සේලා පන්සිය දෙනා අතර මැය ද වූවාය. කුල ගෞරවයෙන් පැවිදි වුවත් තමන්ගේ රූප සම්පත්තිය පිළිබඳව මහත් මාන්නයෙන් යුක්ත වූ ඇය බුදුරජාණන් වහන්සේ දකින්නට නොගියාය. බුදුරජාණන් වහන්සේ අලංකාරවත් වූ මේ රූපයට ගර්හා කරන සේක, හෙළා දක්නා සේක, ආදීනව පවසන සේක යැයි සිතමින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමට නොයන්නීය. මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය ප්‍රධාන භික්‍ෂුණීන් වහන්සේලා නිරන්තරයෙන් ධ්‍යාන භාවනාවෙහි නිරත වන්න යැයි අවවාද අනුශාසනා කළත් එනමුත් එම අවවාදයන් නොඅසමින් කාලය ගත කළාය.
දිනක් ලොවුතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාමයෙහි ලොල් වූ ඇය ධර්මයෙහි දමනය කිරීම සඳහා දිව්‍ය අප්සරාවන් බඳු අතිශය මනස්කාන්ත රූප සම්පත්තියෙන් යුතු ස්ත්‍රී රූපයක් මවා දැක්වූ සේක. එම රූපයෙන් මත්වූ ඇය ‘මාගේ දෑස එම රූපය දැකීමෙන් මෙම ජීවිතයෙහි දක්නට ලැබිය යුතු උතුම්ම රූපය දැක්කෙමි, මාගේ මනුෂ්‍ය ජීවිතය එම රූපය දැකීමෙන් සඵල වූවාය’ යැයි සතුටට පත්ව, එම රූපය දැකීමෙන් අවිද්‍යාවෙන් හා රූප මදයෙන් මත්ව ඇය අමතා ‘ප්‍රිය රූප ඇත්තිය, මා කරා පැමිණ ඔබට යමක් රිසි වන්නී නම් මා හට එය පවසන්න’ යැයි ද ‘ඔබගේ නම ද ගෝත්‍රය ද මා හට දන්වන්න යැයි’ ඇයට පැවසුවාය. එවිට ඇය මා හට ‘මේ ප්‍රශ්න ඇසීමට කාලය නොවේ, මා ඔබගේ ඇකයෙහි හිස තබා ගන්නෙමි’ යි කියා මාගේ ඇකයෙහි හිස තබා ගෙන නිදා ගත්තාය. එසැණින් මහත් විෂ සහිත දිවි මකුළුවෙක් ඇයගේ නළලට වැටුණේය.
එම මකුළුවා වැටීමත් සමගම ඇයගේ නළලෙහි විශාල බිබිලක් හටගත්තේය. වහා එම බිබිල පුපුරා ශරීරය පුරා කුණු වූ ලේ සැරව විසිරී ගියේය. අලංකාරවත් මුඛය ඉතා පිළිකුල් සහගතව විනාශ විය. ශරීරය වහා ඉදිමී නිල් පැහැති විය. සෑම අතකම සැරව ගලා ගියේය. ශරීරය වෙව්ළීමට ගත් අතර විටින් විට සිහි මුර්ජාවට පත් වූවාය. මහත් දුකට පත් ඇය බැගෑපත්ව කෙඳිරිගාන්නට වූවාය. ‘මම මහත් දුකකට පත් වීමි, මා හට පිහිට වෙන්න’ යැයි කියමින් ඇය මා වෙතින් පිහිටක් පැතුවාය. මම ඇයගේ අලංකාරවත්ව පැවති ශරීරය දැන් කොහිදැයි කියමින් ප්‍රශ්න කළාය. මෙය දුටු භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ අවවාද කළ සේක.
‘ආතුරං අසුචිං පූති
පස්ස නන්දේ සමුස්සයං,
අසුභාය චිත්තං භාවේහි
එකග්ගං සුසමාහිතං
යථා ඉදං තථා එතං
යථා එතං තථා ඉදං,
දුග්ගන්ධං පූතිකං වාපි
බාලානං අභිනන්දිතං’
යනුවෙන් ගාථා දේශනාවන්ගෙන් ‘නන්දාවෙනි, ලෙඩ වෙන කුණු වෙන වැගිරෙන අපිරිසිදු මෙම ශරීරය දෙස සිහියෙන් බලන්න. තමන්ගේ සිත එකඟ කරගෙන අසුභය වඩන්න. දුගඳ වහනය වෙන මළ වැගිරෙන අඥානයන්ගේ මන වඩන මේ ශරීරය යම් සේ ද එය මෙසේය. ඒ ශරීරය යම් සේ ද ඒ මෙසේය’ යැයි මා හට ධර්මය දේශනා කළ සේක. එම අවවාදයෙහි පිහිටි ඇය ඒ අනුව තමන්ගේ සිත පිහිටුවා සෝතාපන්න ඵලයෙහි පිහිටියාය.
‘අට්ඨීනං නගරං කත්වා
මංසලෝහිත ලේපනං,
යත්ථ ජරාච මච්චුච
මානෝ මක්ඛෝච ඕහිතෝ ‘
යන ගාථාවෙන් නැවතත් කළ ධර්මය දේශනාව ඇසූ ඇය උතුම් වූ අරහත්වයට පත් වූවාය.
දැන් අප ඉහත ඔබට කියා දුන් ධර්මය ගලපා ගන්නා ආකාරයන්ට අනුව මෙම කතාවෙහි හරය ගලපා ගනිමු.
රූපය පිළිබඳව මත්වූ සිතුවිල්ල යට රූප රාගයත්, මාන්නයත්, තෘෂ්ණාවත්, අවිද්‍යාවත් යන දුක්ඛ සමුදය සත්‍යයට අයත් කෙලෙසුන් ඉපදීමට උපකාර විය. එය චතුරාර්යය සත්‍යයේ එන දුක්ඛ සමුදය ආර්ය්‍ය සත්‍යයට අයත්ය. එසේ රූපයෙන් මාන්නයට පත්වීම නිසා ඇයගේ සිතෙහි බුදුරජාණන් වහන්සේ රූපය ගැන දොස් කියතියි යන සිතුවිල්ලක් වූවාද එම චෛතසික දුක් දොම්නස දුක්ඛ ආර්ය්‍ය සත්‍යය වේ. තමන්ගේ ඇකයෙහි හිස තබාගත් තැනැත්තියගේ ශරීරය පුපුරා යෑම නිසා හටගත් දුකත් ශරීරයේ යථා ස්වභාවය දැකීමත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව ප්‍රඥාව මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙහි යෙදීමත් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය්‍ය සත්‍යය වර්ධනය කිරීම වේ. එසේ යෝනිසෝමනසිකාරයෙන් ලෝක ස්වභාවය දැකීම නිසා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ඥානය මෙහෙයවා සෝතාපන්න ඵලයට පත්වීමත් අනතුරුව නැවත ධර්මය අසා අරහත්වයට පත්වීම දුක්ඛ නිරෝධ ආර්ය්‍ය සත්‍යය වශයෙනුත් ගලපා දැක්විය හැක.
රූපය පිළිබඳව යම් ආදීනවයක් දුටුවේද එය ආදී කල්‍යාණ අවස්ථාව වශයෙන්ද බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නිසා උපදවාගත් ධ්‍යාන සම්පත්තියත් විදර්ශනා ඥානයත් මජ්ඣේ කල්‍යාණ අවස්ථාව වශයෙන්ද සෝතාපන්න හා අරහත්වයට පත්වීම පරියෝසාන කල්‍යාණ අවස්ථාව වශයෙන්ද දැක්විය හැක. ශරීරය නැමති ලෝක ස්වභාවය පිළිබඳව කෙටියෙන් නමුත් කළ දේශනාව සාත්ථං යනුවෙන්ද, උපමා උපමේය සම්බන්ධය සබ්‍යඤ්ජනං යනුවෙන්ද ධර්මය අවබෝධයට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පමණින් කළ දේශනාව කේවල පරිපුණ්ණං යනුවෙන්ද ලබන ලද උතුම් සෝතාපන්න හා අරහත් ඵලයන් ශ්‍රේෂ්ඨ බ්‍රහ්මචර්යාව වශයෙන්ද ධර්මයෙහි එන ස්වාක්ඛාත ගුණයට අයත් ලක්‍ෂණ සතට මනාව ගලපා ගැනීමෙන් පැහැදිලි වනු ඇත.
මීළග ලිපියෙන් අප ඔබට සංදිට්ඨික ගුණය පිළිබඳව හා අකාලික ගුණය පිළිබඳව ධර්ම කාරණා කියාදෙන්නට බලාපොරොත්තු වෙන අතරම මෙම ලිපියෙන් කියා දුන් ධර්ම කාරණා නැවත නැවතත් මනාකොට අධ්‍යනය කරමින් තම තමන්ගේ ධර්ම දැනුම වඩාත් වර්ධනය කරගැනීමට මෙම ධර්මාවවාදයත් උපකාර වේවායි මෙත් සිතින් ආශිර්වාද කර සිටිමි.
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ස්වාක්ඛාත ගුණයෙහි අන්තර්ගත ලක්‍ෂණ සත