පාතාල දඩබ්ම

 

 

දේශපාලනයට පිවිසෙන බහුතරයකගේ ප්‍රාර්ථනාව බවට පත්වන්නේ මැතිඇමති තනතුර නොව රටේ ජනාධිපති විය නොහැකි නම් අවම වශයෙන් අගමැති තනතුරට හෝ පත්වීමය. ඒ වෙනුවෙන් දේශපාලන ක්ෂේත්‍රයේ එකිනෙකා අතර පවතින එළිපිට කුළල් කාගැනීම් මෙන්ම සීතල යුද්ධද දැක ගත හැකිය.


පාතාලයේ අත්පොත් තබන ඕනම අයෙක් තුළ ඉතා කෙටි කාලකදී ඇතිවන ප්‍රාර්ථනාවන්ද එබඳුමය. ඒ සෑම අයෙක් තුළම පවතින්නේ අනෙකා පරයා තමන් ඉහළට මතුවීමය. බලයෙන් වැඩි කෙනා තුළ මතුවන සිතුවිල්ල වන්නේ පාතාලයේ කිරුළ තමන් සතු කරගැනීමය. ඒ වෙනුවෙන් ඔවුන් එකිනෙකා අතර එළිපිට මරාගැනිලි මෙන්ම සීතල යුද්ධද පවතී.
මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ තාරක, කොස්ගොඩ සුජී, කංජිපාන් ඉම්රාන්, පොඩි ලැසී වැනි පාතාල නායකයන් අතරද අද එවැනි ගැටුම් රැසක් පවතී. මේ ගැටුම් අද ඊයේ මතුවූවක් නොව වසර කීපයක් තිස්සේ ඉදිරියට එමින් පවතින්නකි. මේ පාතාල නායකයන් යටතේ කටයුතු කරන පාතාල සාමාජිකයන් නැතහොත් ඔවුන්ගේ අනුගාමිකයන්ට මේ ගැටුම් නිසා ජීවිත අහිමි කරගැනීමට සිදුවේ.


මාකඳුරේ මධූෂ්, අංගොඩ ලොක්කා හා රණාලේ සමයං අතර පැවති ගැටුම නිසා දිවි අහිමි වූ පාතාල සාමාජිකයන්ගේ ගණන මේ යැයි පැවසිය නොහැකි තරමටම සංඛ්‍යාත්මකව ඉහළය. එහි අවසානය සටහන් වුයේ රණාලේ සමයංටද දිවි අහිමි කරමිනි. එහෙත් සැබවින්ම ඒ ගැටුම තවමත් අවසන් නැත. දැන් අංගොඩ ලොක්කා හා සමයංගේ ගෝලයන් අතරට ඒ ගැටුම විතැන් වී තිබේ.


කොස්ගොඩ, වතුරවෙල උපන් ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක හා කොස්ගොඩම උපන් ගජමුනි සුජීවද සොයිසා නොහොත් කොස්ගොඩ සුජී අතර ගැටුම නිසා දිවි අහිමිකර ගත් දකුණේ පාතාලයද සංඛ්‍යාත්මක සුළුපටු නොවේ. මොවුන්ගේ ගැටුම්වලට වන්දි ගෙවීමට සිදුවූයේ දෙපාර්ශ්වයේ පාතාලයේ සාමාජිකයන්ට පමණක් නොව ඔවුන්ගේ හිතවතුන්ගේ පවුල්වල සාමාජිකයන්ට, කුඩා දරුවන්ට පවා වන්දි ගෙවීමට සිදුවිය.


පසුකලෙක ගැටුම් ඇතිකරගත්තද කලක් මේ දෙදෙනාම සිටියේ එකම කල්ලියකය. කොස්ගොඩ තාරකගේ පියා අත්ට්‍රැක්ටර රියැදුරෙකු ලෙස පවුලේ බර කරට ගෙන කටයුතු කළද ඔහුගේ අකල් වියෝවෙන් අතරමං වන තාරකගේ පවුලේ බර තාරක පියාගේ අත්ට්‍රැක්ටරය යොදා ගනිමින්ම කරට ගෙන තිබේ. එහෙත් අධ්‍යාපනය අතරමග කඩාකප්පල් කරගත් තාරක රියැදුරු රස්සාවත් සමගම තරුණ කණ්ඩායම් සමග කල්ලි ගැසීමෙන් ගංජාවලටත්, ඉන්පසු කුඩුවලටත් ඇබ්බැහි වූ බවද ඉන්පසුව හොරකමට යොමු වූ බවද පොලිසියේ අදහසය.


එසේ හොරකමට යොමුවූ තාරක කුලී පදනම මත ලබාගත් වෑන් රථයක් කොල්ල කා පොලිස් පොතේ නම සටහන් කරගත්තේ අවුරුදු දහනවයේදීය. එසේ පොලිස් පොතේ නම සටහන් කරගත් තාරක රිමාන්ඩ් භාරයට පත්වී එළියට එන්නේ පාතාල සාමාජික අයැදුම්පත පුරවා කොස්ගොඩ ලොකූ මගින් කොස්ගොඩ සුජීට භාරදෙමිනි. එතැන් පටන් ඔහු ධර්මකීර්ති තාරක නොව කොස්ගොඩ තාරක නම් විය.


මේ දෙදෙනා එක්ව 2011 ජුලි වලදී කොස්ගොඩ මහජන බැංකුවෙන් ලක්ෂ විසිතුනක් කොල්ල කෑවෝය. ඒ සඳහා රත්ගම නඳුන්ද එක්විය. එහෙත් පසුකලෙකදී නඳුන් හා තාරක එක්ව කොල්ල කෑ මුදල් තමාට වංචා කරන්නේ යැයි ඇති කරගත් සැකයක් මත ඔවුන් අතර ගැටුම් හටගෙන තිබේ. ඒ අනුව දෙදෙනා තම තමන්ගේ කණ්ඩායම් හදාගෙන වෙන් වූහ.
එතැන් සිට කුඩාවැල්ලේ මහජන බැංකුව කොල්ලකෑම, මීරිගම කොමර්ෂල් බැංකුව කොල්ල කෑම, අත්තිඩියේ කොමර්ෂල් බැංකුව කොල්ලකෑම, ඇතුළු බැංකු කොල්ල රැසක් කොස්ගොඩ තාරකගේ ගිණුමට බැරව තිබේ. මෙසේ බැංකු කොල්ල කා මුදල් උපයා ගැනීම මගින් තාරක තමන්ගේ කල්ලියට සාමාජිකයන් මිලදී ගත් බවද පැවසේ. ඒ රිමාන්ඩ් භාරයේ සිටින අපරාධකරුවන්ට ඇප ලබාදෙමින් ඔවුන් තමන් වෙත නම්මා ගැනීම මගිනි.
ඔහුගේ ඉලක්කය වැරදී ජීවිතය බන්ධනාගාරයේ සිරකුටියක් තුළ සිරකරලන්නට හේතු වූයේ මාතර රන්බඩු වෙළෙඳසලක් කොල්ලකෑම නිසාය. ඒ 2018 ජුනි මාසයේදීය. ඒ කොල්ලයට තාරකගේ එක්කුස උපන් සහෝදරයා වූ මධුක නිර්මාල් ධර්මකීර්තිද එක්වූ අතර ඔවුන් දෙදෙනාම පොලිසිය හා ඇතිකරගත් ගැටුමේදි වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටියදී අත්අඩංගුවට පත්වුහ.


මෙසේ අත්අඩංගුවට පත්වීමට පෙර ඔහුට ඝාතන චෝදනා රැසක් වෙනුවෙන් පැවරුණ නඩු හබ ද තිබේ. 2017 නොවැම්බරයේදී කොස්ගොඩ සුජීගේ මාමා කෙනෙකු වු යුදපිටිය ඌරගස්මං හන්දියේ ගජමුනි මහින්ද ප්‍රේම රාජා ද සොයිසා හා ඔහුගේ දරුවන් තිදෙනා ඇතුළු පවුලේ පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිම, එදිනම උස්වත්ත ආරච්චිගේ කපිලරත්න, සදීප් සුරංජනද සිල්වා යන ඝාතනය, 2018 අප්‍රේල්වලදී අත්තනගල්ලේ පස් ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරිම, ඔහුට ඇති ඝාතන චෝදනාවලින් කීපයකි.


කොස්ගොඩ සුජීගේ කල්ලියෙන් වෙන්ව වෙනම කල්ලියක් හදාගත් කොස්ගොඩ තාරක තමන්ගේ ජීවිතයට එල්ල වූ තර්ජනවලින් ගැලවීමට කොළඹ ප්‍රදේශයට පැමිණි අතර එහිදි හබරකඩ වසන්ත හා අංගොඩ ලොක්කා හමුවිය. අංගොඩ ලොක්කා මගින් මාකඳුරේ මධුෂ් හඳුනාගන්නට ලැබුණ බවද කියවේ. කොස්ගොඩ සුජීට එරෙහිව තාරක යොදාගත හැකි නිසා මධුෂ් තාරකව ළංකරගත් බවටද කතාවක් තිබේ. එහෙත් මධුෂ් හා සුජී අතර එකිනෙකා මරාගන්නා ගැටුමක් පැවති බවට එකිනෙකාට තර්ජනය කර ගැනීම් සිදුවූ බවට හෝ කිසිදු තැනක වාර්තා වන්නේ නැත. එහෙත් දකුණේ පාතාලයේ රජා වීමේ අරමුණ හිතේ කොනක තියාගනිමින් මධුෂ් තාරකට සහය දුන්නා විය හැකිය. එහෙත් ඒ බව තහවුරු කළ හැකි කිසිදු සාක්ෂියක් මෙතෙක් අනාවරණය වී නැත.


එසේම කොස්ගොඩ තාරක මදූෂ් වෙනුවෙන්ම වැඩ කළ බවට වන නිශ්චිත අදහසක් ද ගෙන හැර දැක්විය නොහැක. එවැනි දැඩි ගනුදෙනුවක් තිබුණේ නම් තාරක වැලිකඩ රිමාන්ඞ් සිරමැදිරියේ සිටියදී කංජිපාන් ඉම්රාන්ගේ ගෝලයෙකුට පහර දේවිද යන ගැටලුව මතු වේ. කංජිපාන් ඉම්රාන් යනු මාකඳුරේ මධුෂ්ගේද ගුරුවරයා සේ සලකන පාතාල නායකයෙකි.
දැන් මේ ඉම්රාන්ගේ හා තාරකගේ කල්ලි දෙක අතර ගැටුම උග්‍රවී තිබේ. එහි ප්‍රතිපල ලෙස තාරක වැලිකඩ සිට බූස්සට මාරුකිරීමට තීරණය කරනු ලැබුවේ පසුගිය පෙබරවාරියේදීය. එහෙත් එය ක්‍රියාවට නැංවී නැත. ඒ නිසා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් වැලිසර මහබාගේදී අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 225ක් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටද කොස්ගොඩ තාරක සිටියේ වැලිකඩ සිරගෙදරය. එම කුඩු තොගය ලංකාවට ගෙන්වා ගෙන තිබෙන්නේ තාරක විසින් බවටද පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව තාරක රඳවා සිටි වැලිකඩ රිමාන්ඩ් සිරමැදිරිය පරීක්ෂා කළ බුද්ධි අංශය එහි තිබි ජංගම දුරකථන හතරක් හා සිම්පත් පහක් සොයාගෙන තිබේ.


මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ තාරක, කොස්ගොඩ සුජී යන මේ තිදෙනාගේම මෙන්ම විදේශගතව සිටින සුජී වෙනුවෙන් මෙරට නායකත්වය මෙහෙයවන පොඩි ලැසීගේද ප්‍රධාන ආදායම් මාර්ග බවට පත්ව තිබෙන්නේ කප්පම් ගැනීම් හා කුඩු ජාවාරමය. මාකඳුරේ මධුෂ් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඩුබායිවලදී අත්අඩංගුවට පත්වන තෙක් ලංකාවට පැමිණි බොහෝ කුඩු තොගවල අයිතිකරු ලෙස හඳුන්වාදෙනු ලැබුවේ මධුෂ්වය.


ඉන්පසු හොර රහසේ මුහුදු මාර්ග ඔස්සේ ලංකාවට ගෙන ආ බොහෝ කුඩු තොගවල අයිතිකරුවන් ලෙස පොලිසිය හඳුන්වා දෙනු ලැබුවේ කොස්ගොඩ තාරක, කොස්ගොඩ සුජී හා රිමාන්ඩ් භාරයේ සිටින තවත් සුප්‍රසිද්ධ කුඩු ජාවාරම්කරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙකි.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගත් මෙරට විශාලතම කුඩු තොගය බවට පත්වු කුඩු කිලෝග්‍රෑම් 295 වගකිවයුත්තේ කොස්ගොඩ සුජී බව පොලිසියේ පරීක්ෂණවලදී අනාවරණය වූ බව පැවසිණ. කොස්ගොඩ තාරකගේ කිලෝග්‍රෑම් 225 අත්අඩංගුවට පත්වන්නේ මේ වසරේ මැයි මාසයේදීය.


කොස්ගොඩ තාරක කුඩු ජාවාරම පමණක් නොව කෘත්‍රිම රා නිෂ්පාදනයටද අතගසනු ලැබුවේ බේරුවල අලුත්ගම ප්‍රදේශයේ ජාවාරම්කරුවන් කීප දෙනෙකු සමග එක්වය. කෘත්‍රිම රා නිෂ්පාදනයට දායක වීමෙන් දිනකට ලක්ෂ ගණනක් උපයන බව පොලිසිය කළ පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.


කුඩු ලංකාවට එන්නේ කෙසේද? කෘත්‍රීම රා නිෂ්පාදනය කරන්නේ කෙසේද? යන්න හෝ කොස්ගොඩ තාරක වැඩ කරන්නේ කා වෙනුවෙන් ද යන්න වඩා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව තිබෙන ප්‍රධාන ප්‍රශ්න වන්නේ රිමාන්ඩ් සිරකරුවන් හෝ බන්ධනාගාර රැඳවියන් දැඩි ආරක්ෂක රැකවල් මැද සිටියදී අපරාධ මෙහෙයවන්නේ කෙසේද යන්නය.
ඒ සඳහා ඔවුන්ට නවීන තාක්ෂනය සහිත ජංගම දුරකථන ලැබෙන්නේ කෙසේද යන්නය. ඒ සඳහා සහය දෙන බන්ධනාගාර නිලධාරීන් කවුද යන්නය. ඇතැම් බන්ධනාගාර අධිකාරීවරුන් සැකකරුවන්ට මෙන්ම රැඳවියන්ටද ජංගම දුරකථනයක් භාවිත කරන්නට ඉඩ දීම වෙනුවෙන් රුපියල් දහදාහේ සිට විසිපන්දහස දක්වා වන කප්පම් මුදල් ලබාගන්නා බවටද, ඇතැම් සිරකරුවන් වෙනත් බන්ධනාගාරවලට මාරුකළද යළි සිටි තැනටම මාරුකරගෙන අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් ඊටත් ඉහළ කප්පම් මුදලක් ද ආදී ලෙස ඔවුන්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් කප්පම් අයකරගන්නා බවටද තොරතුරු ලැබේ.


බූස්ස බන්ධනාගාරයේදි ජංගම දුරකථන භාවිත කිරීම අපහසු බව පැවසේ. කොස්ගොඩ තාරකද වැලිකඩ සිරගෙදරින් බුස්සට මාරුකර මාස තුනක් ගතව තිබියදීත් එය ක්‍රියාත්මක වි නැත. එසේ වූයේ ඇයි? ඔහු බූස්සට මාරු කළේ නම් ඇතැම් විට මේ කුඩු තොගය ලංකාවට නොඑන්නටද ඉඩ තිබිණ. හිඩැස කොතැනද? එය සෙවීම බලධාරින්ගේ වගකීමය.

 

 

මුදිතා දයානන්ද