IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සැමට සෙත සලසන ගණදෙවි ගෙඩියට ගිය කල

ශ්‍රී ලංකාවේ කප්රුක ලෙස විරුදාවලියලත් පොල්ගෙඩියක මිල කිසිදා නොවූ විරූ මට්ටමින් අද වන විට ඉහළ ගොස් තිබේ. මේ නිසා වෙළෙඳ පොළේ ඇතැම් කඩවල පොල් ගෙඩිය බිඳ බෑය  බැගින් විකිණීමේ අවස්ථාද නැත්තේ නොවේ. සාමාන්‍ය ජනතාවට අද පොල් ගෙඩියද සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්වී තිබේ. ගතවූ වසරේ සිට උද්ගතවී ඇති නියංතත්ත්වය නිසා පොල් ඵලදාව සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව පොල් සංවර්ධන මංඩලයේ සංඛ්‍යා ලේඛන වලින්ද හෙළිවේ.


මෙම පොල් හිඟයට තවත් හේතුවක් වී ඇත්තේ. ලංකාවේ පොල් ත්‍රිකොණයේ පිහිටි විශාල පොල්වතු කුඩා කැබලිවලට කැඩීම නිසාය. පසුගිය දශක හතරක පහක කාලයක් තිස්සේ  එය සිදුවිය. මේ නිසා අපට අද උග්‍ර පොල් හිගයකට මුහුණ පෑමට සිදුවී ඇත. නියං කාලයක් එළඹිවිට රටේ ජනතාවට අවශ්‍ය පොල් පිටරටින් ගෙන්වීමට පවා සිදුවී ඇත්තේ පසුගිය කාලයේ පොල් වගාවට සිදුවු මෙම හානිය නිසාවෙනි.


අද මෙසේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇති පොල් ගෙඩිය පිළිබඳ ඓතිහාසික තොරතුරු විමසා බැලීමට මෙයද කදිම අවස්ථාවකි.


ශ්‍රී ලංකාව පොල් ගසේ නිජබිම නොවූවත්, ඈත අතීතයේ සිට මෙරට පොල් වැවී තිබූ බවට ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. ඇතැම් විට එය විජයාගමනයටත් පෙර සිට සිදුවූ බවක්ද කියැවෙයි. මුහුදේ ගසාගෙන අවුත් වෙරළට පාවූ පොල් ගෙඩියක් නිසා වැඩුන ගසකින් මෙරට පොල් වගාව ආරම්භ වූ බවට මතයක්ද ජනප්‍රවාදයේ එයි.


අද සාමන්‍ය ව්‍යවහාරයේ යෙදෙන පොල්වලට අතීතයේ නෙරළු - මාරුක් - පුළුස් - කස යන නම් භාවිතා කර ඇත. සංස්කෘත බසින් නාරිකේල - පුට ආදී නම්වලින්ද. පාලි භාෂාවෙන් නාරිකේර කියාද, දෙමළ භාෂාවෙන් තේංග යනුවෙන්ද, ඉංග්‍රිසියෙන් කොකනට් යනුවෙන්ද ව්‍යවහාර කෙරේ. මධ්‍යම කාලීන යුගයේ පොල්ගෙඩිය පුළුස් යනුවෙන් හදුන්වා ඇත. ගණදෙවි හෑල්ල කෘතියේද පොල්වලට පූළුස් යනුවෙන් සඳහන් වෙයි. සංස්කෘත භාෂාවේ පුටෝදක යනු පොල් වතුරට භාවිතා කර ඇති නමකි. පුට යන්න පොල් වී අද වනවිට පොල් ගෙඩිය ලෙස භාවිතා වේ. පොල් යන වචනය මෑත අතීතයේ සිට භාවිතා වන්නට ඇතැයි ඒ අනුව සිතිය හැක. 


අප රටේ වැවෙන පොල් වර්ග කිහිපයකි. ඒවා තැඹිලි, රන් තැඹිලි, කුන්දිරා, දී කිරි පොල් හා පොර පොල් වශයෙන් හැදින්වෙයි.


ඈත අතීතයේ පොල් ගෙඩියේ නමුව රිලා අනක් තරම් විශාලව පැවැති බව ජනප්‍රවාදයේ එන කතාවකි. පොල් ගෙඩිය කඩා කැති පොරෝ ආදියෙන් ඇස්ස කපා විවර කොට එක් අයෙකු එහි දියෙන් නවා සියලු දෙනාම කස පැන් බීවෝය. උදැල්ල ගෙන මද ගලවා සියලු දෙනාටම කෑමට දුන් බව එම ජනප්‍රවාදයේ වැඩිදුරටත් ප්‍රකාශ වෙයි. කාලයක් යන විට ඇස්වහ කටවහ වැදී පොල් ගෙඩිය ක්‍රමක්‍රමයෙන් කුඩාවී අද තිබෙන තත්ත්වයට පත්වී ඇතැයි ප්‍රවාදයේ කියැවේ.


පොල් ගෙඩිය ලෙල්ල ඉවත් කර මුඞ්ඩ කඩා දෙපළු වනසේ බිඳින විට වෑහෙන පොල් වතුර අතිශය ඖෂධීය ගුණයෙන් යුක්තය. එහි ගුණය දන්නා පැරණි ගෘහණියෝ එය පානය කරති. දෙකට පලන ලද පොල් ගෙඩියේ ඇස් තුනක් ඇති කොටස ගැහැණු බෑය ලෙසද, අනෙක් කොටස පිරිමි බෑය ලෙසද ව්‍යවහාර වෙයි.


ගැහැණු බෑයේ ඇස් තුනක් පිහිටීම ගැන ඇති දේව කතාවක් මෙසේ දැක්විය හැකිය.


පොල් ගෙඩිය ගණ දෙවියන්ගේ ගෙඩිය යයිද ගණදෙවි පූජාවලදී සඳහන්වෙයි. එක් අවස්ථාවක ඊශ්වර දෙවියන් විසින් ගණ දෙවියන්ගේ හිස කපා දමන ලදී. මෙයදුටු සක්‍රදෙවියෝ එම හිස ගෙන ගොස් තව්තිසා දෙව්ලොව නදුන් උයනේ වළදමා ඇත.

ගණදෙවියන්ගේ එම හිසෙන් ගසක් පැලවිය. එම ගසේ හැඳුන ගෙඩියේ ඇස් තුනක් විය. එම ගෙඩිය පොල් ගෙඩියයි. මේ ඇස් තුන ඇතිවී තිබෙන්නේ ඊශ්වර දෙවියන්ගේ නෙත්තුන මූර්තිමත් කිරීමට බවද එම දේවකතාවේ දැක්වේ.


දේව පූජාවක් ලෙස පැවැත්වෙන පොල් ගැසීමේ තරඟය පොරපොල් ගැසීම නමින් හැඳින්වෙයි. එය චමත්කාර දේව පූජාවක් මෙන්ම සිංහල සංස්කෘතිකාංගයක් ලෙස සිංහල අලුත් අවුරුදු සමයේ පැවැත්වෙයි. මේ සඳහා යොදා ගන්නා පොල් විශේෂය පොරපොල් නමින් හැඳින්වෙයි.


පොල් ගැන කතා කිරීමේදී වැලිගම පිහිටි කුෂ්ටරාජගල සම්බන්ධ ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් අමතක කළ නොහැක.


අතීතයේ ලක්දිව මායාරට සිටි ප්‍රාදේශීය රාජකුමාරයෙකුට දරුණු කුෂ්ඨ රෝගයක් වැළදී තිබේ. මෙයට කොපමණ ප්‍රතිකාර කළත් රෝගය සුව නෙවීය. මේ නිසා මෙම රාජ කුමාරයා රෝගයට පිළියම් සොයා අරමුණක් නැතිව ගමන් කෙළේය. එසේ යන අතර ඔහු වැලිගම ප්‍රදේශයට පැමිණ ඇත. එකල ජනාවාස නොවූ මෙම ප්‍රදේශයේ තිබූ ගසකින් ගෙඩියක් කඩා එහි වතුර බීමට ගෙන ඇත. එහි තිබූ මදයද අනුභව කර තිබේ. ඉන්පසු රාජකුමාරයාට එයින් සහනයක් දැණුන නිසා එහිම නැවතී දින ගණනාවක් ගෙඩි කඩා කස පැන් බී මද කෑවේය. රෝගය එයින්ම සුවවිය. රාජ කුමාරයා පැන් බී මද කෑමට ගත් මෙම ගෙඩි පොල් හෝ තැඹිලි හෝ විය හැකිය.


සුව වූ රජ කුමරා වැලිගම ප්‍රදේශයේ පොල් උයනක්ද රෝපණය කළේය. මෙම ක්‍රියාවට ගරු කිරීමක් ලෙස එම ප්‍රදේශයේ ජනතාව කුෂ්ඨ රෝගය සෑදුන රාජ කුමාරයාගේ රූපය එහි තිබූ ගලක කෙටූ බව කියති. වැලිගම ගල කුෂ්ඨ රාජගල වූයේ ඒ අයුරින් බව ජනප්‍රවාදයේ පවතී. මෙම ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝධි සත්ව ප්‍රතිමාව ලෙසද ප්‍රසිද්ධය.


දුමේ දමා වේළෙන්නට හැර අඩුවූ පසු ප්‍රයෝජනයට ගන්නා පොල් ගුඩුපොල් හෙවත් කොට්ට පොල් ලෙස හැඳින්වේ. දිය සිදී ගිය කොට්ට පොල් සම්බෝලය රසවත් ආහාරයකි. ආයුර්වේද හන්දිවෙදකම් වලදී කැඩුන බිඳුන ශරීරය තැවීමට ගන්නා බෙහෙත් පොට්ටනියට බොහෝ අවස්ථාවල කොට්ටා පොල්ද ඇතුළත් වෙයි.


ඇඟිල්ලෙන් එබූවිට ලෙල්ල එබෙන රන් තැඹිලි බොහෝ දෙනා වගාකිරීමට මැලිවෙති. ඒ රන් තැඹිලි  තිබෙන ඉඩම පාළුවන බවට ඇතැම් අයතුළ ඇති විශ්වාසය නිසාවෙනි. පැරණි අය කුරුම්බා බීමට පමණක් ගන්නා තැඹිලි කුන්දිරා ආදී පොල්  ගස් නිවස ඉදිරිපිට වැවීම නොකරති. “මයිමතය” නමැති කෘතිද එය සනාථ කරයි.


යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් හා දේව පූජාවලින් නියම ප්‍රතිඵල ලබා ගැනීමට රන් තැඹිලි තෙල් ඉතාම අවශ්‍යයි. රන් තැඹිලි පොල් සිඳ ගැනීම සඳහා කළයුතු පූජා විධි මන්ත්‍ර විද්‍යාවෙහි දක්වා තිබේ. රන් තැඹිලි ගසවටා පිරිසිදු කර සුදුවැලි ඉස ගසට උපහාර දක්වා වර්ණවත් රෙදි කඩක් හිස බැඳ ගසට නැග රන් තැඹිලි ගෙඩිය බිම නොදමා කඩාගත යුතුය. බිම නොතබා ලෙලිහැර උඩක තබා ගෙඩියේ වට රොඩු සූරාදමා පිරිසිදු බඳුනකට පොල්ගා එම ගෙඩියේ පොල්වතුර මුසු කොට කිරි මිරිකා ගත යුතුය. ආරක්ෂා සහිතව තෙල් හිඳගෙන පිරිසිදු භාජනයකට දමා පූජා කටයුතුවලට ගත යුතුය. පොල් භාජනයකට වක්කරන විට අතේ හෝ ඇගිලිවල ගෑවෙන තෙල් හිසේ ගෑමෙන් වැළකීම ඉතා වැදගත්වේ. මන්ද යත් එවිට එම තෙල් පූජාවට කළින් පරිභෝජ වූ බව සැලකෙන හෙයිනි. එසේ වීමෙන් තෙලේ නොඉදුල් ගතිය නැතිවෙයි.


රන් තැඹිලි ගෙඩියේ ගැහැණු බෑයෙන් හිඳගත් තෙල් පිරිමින් වශී කරගැනීමේ ගුරුකම් සඳහාද. පිරිමි බෑයෙන් හිඳගත් තෙල් ගැහැණු වශී කර ගැනීමේ ගුරුකම් සඳහාද ප්‍රශස්ත බව මනිත්‍ර ශාස්ත්‍රයෙහි දැක්වේ.


පෙර දිග නීති ශාස්ත්‍රයේදී පොල් ගෙඩිය සත්පුරුෂයන්ට උපමා කර ඇති බව පහත සඳහන් ශ්ලෝකයෙන්ද පෙන්වා දී ඇත
“නාරිකේල සමාකාර දෘෂ්යන්තේ පිහි සජ්ජනා ” යනුවෙනි. පොල් ගෙඩියේ කටුව පිටතින් තද වූවත් ඇතුළත පිහිටි ජලය හා මදය ඉතා යහපත්වේ. එමෙන්ම යම් යම් අවස්ථාවල කෝප වූවත් සත් පුරුෂයා ඇතුළතින් මෘදු මොළොක් ගුණයෙන් යුක්තවෙයි. 
සෙත් පැතීමටත්, විරුද්ධවාදීන්ට සාප කිරීමටත්, දේවපූජාවලදී පොල් ගැසීම සිදුවෙයි. බොහෝ දේවාල කෝවිල්වල මෙය සිදු කෙරෙන බව නිතර දක්නට ලැබේ. මේ සඳහා මුඞ්ඩ සහිත පොල්ගෙඩියක් ගත යුතුය. බොහෝ අය දේවාල කෝවිල්වල පොල් ගසා බිඳුන පොල් ගෙඩියේ පොල් කෑලි අනුභවයට ගන්නා අවස්ථා දක්නට ලැබේ. දෙවියන් උදෙසා සෙත් ශාන්තිය ලබා ගැනීම සඳහා පූජා කළ පොල් ගෙඩිය බිඳ කෑලි අනුභව කිරීම වරදක් නොවේ. නමුත් යමෙකුට විෂ කවන ලෙස පළිගැනීමේ අරමුණින් ගසන ලද පොල් ගෙඩියක කෑලි අනුභව කිරීම සුදුසු නොවේ.


පොල් ගෙඩියෙන් කළ හැකි ගුරුකම් ගණනාවක්ද මන්ත්‍ර ශාස්ත්‍රයෙහි සඳහන් වෙයි. මන්ත්‍ර ජප කිරීම සඳහාද පොල් ගෙඩිය ප්‍රයෝජනයට ගන්නා අවස්ථා ඇත. දරු ප්‍රසූතිය අපහසු අවස්ථාවලදී පොල්ගෙඩියට මතුරා බිදීමෙන් ප්‍රසූතිය පහසුවේ. ඒ සඳහා පාවිච්චි කරන මන්ත්‍රය මෙසේය.


“ඕං නමෝ තුන්දු අන්දිරං තාක්කයි මනිදිරං ඉරුප්පු
කූඩයි කුමාරි කොන්ඩුන් තන් ග්‍රීක්කුං පොන්නාල් නික්ක
නික්කුං නික්ක ඒස්වාහථ


ඉහත සඳහන් මන්ත්‍රයෙන් පොල්ගෙඩිය මතුරා ගැබිනියගේ හිස සිට දෙපතුලට පිසදමා එළිපත්ත උඩ තබා රතු වස්ත්‍රයක් හැඳි වින්නඹු මාතාව ලවා කැත්තකින් පොල් ගෙඩිය බිදිය යුතුය. ඉන්පසු ඉතා පහසුවට දරු ප්‍රසූතිය සිදුවන බව මන්ත්‍ර විද්‍යාවේ දැක්වේ.


මංගල පෝරු මස්තකාරූඩ නව යුවල පෝරුවෙන් භූමියට පය තබනවාත් සමගම වැඩිහිටියෙකු පොල්ගෙඩියක් බිදින සිරිතක්  සිංහල බෞද්ධයන් අතර ඈත අතීතයේ සිට පවතී. නව යුවලගේ සියලුම වස්දොස් දුරුවේවා යන අරමුණින් එය සිදු කෙරේ.


කෙසේ වෙතත්, අපගේ ජීවිතයේ වැදගත් අවස්ථාවලදී සිරිතක් වශයෙන් පොල් පැලයක් රෝපණය කරනුයේ රට වැසියන්ගෙන් කීයෙන් කී දෙනෙක්දැයි සිතාබලන්න.


සටහන 
ගම්පහ අබේසේන හේරත්

 



අදහස් (0)

සැමට සෙත සලසන ගණදෙවි ගෙඩියට ගිය කල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site