IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


සුපිරි හැකියාවන් 3ක් තියෙන මකුළුවන් බුදින මකුළුවෙක්

පෝෂා මකුළුවා

 

 

ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන බී.බී.සී. නාළිකාවේ ‘ප්ලැනට් අර්ත්’ වාර්තා වැඩසටහන් පෙළ ලොව අතිශය ජනප්‍රියය. ‘ප්ලැනට් අර්ත්’ වැඩසටහන් පෙළට පාදක වන්නේ සොබාදහමේ අරුමයයි. සත්ව සහ ශාක ලෝකයේ විස්මිත වික්‍රමය. එම විස්මිත වික්‍රම අප ඔබ වෙත ගෙන එන්නේ ‘මිහිකත සුවිසැරිය’ යන නමිනි. 

තුරුවදුලේ නිහඬව ඇදෙන නිහඬ දඩයක්කරුවෙකි. මේ දඩයක්කරු මකුළුවෙකි. සෙසු මකුළු විශේෂවලට සාපේක්ෂව මේ මකුළුවා ප්‍රමාණයෙන් කුඩාය. මකුළුවා හැඳින්වෙන්නේ ‘පෝෂා’ යනුවෙනි. අභියෝග ජය ගනිමින් ගොදුරු අල්ලා ගැනීමේදී, පෝෂා තරම් දක්ෂ සතකු සත්ව ලෝකයේ තවත් නැත. ගොදුරු අල්ලා ගැනීම සඳහා පෝෂා මකුළුවාට සුපිරි හැකියාවන් තුනක් ඇත.   


සුපිරි හැකියාව 

 
පළමු සුපිරි හැකියාව, පහසුවෙන් තැනින් තැනට යෑමය. පෝෂා ‘පනින මකුළු’ විශේෂයකි. පනින මකුළුවන් යනු ගොදුරු අල්ලා ගැනීමට ගොදුරට පනින මකුළුවන්ය. බාධක බාධාවක් කර නොගෙන තැනින් තැනට යෑමටත් මෙම මකුළුවන් පනී. සිරුරේ ප්‍රමාණය මෙන් පනස් ගුණයක දුරක් ඉහළට, පහළට හෝ අවශ්‍ය ඕනෑම තැනකට පහසුවෙන් පනින්න පෝෂා මකුළුවන්ට පුළුවනි. ගසකින් ගසකට, පඳුරකින් පඳුරකට, කොළයෙන් කොළයට පනින පෝෂාට යා නොහැකි තැනක් නැත. පෝෂාගේ පළමු සුපිරි බලය එසේත් නැතිනම් සුපිරි හැකියාව එයයි.   


ඇස් අටක්   


කොළයෙන් කොළයට පනිමින් ගොදුරක් වෙත ඇදෙන පෝෂාට උගේ දෙවැනි සුපිරි හැකියාව ප්‍රයෝජනයට ගැනීමේ වේලාව උදාවෙයි. දෙවැනි හැකියාව සුපිරි දෘෂ්ටියයි. මකුළුවන් අයත් වන්නේ ඇරැක්නිඩ් පවුලටය. මෙම පවුලට අයත් සෙසු සාමාජිකයන් වන්නේ ගෝනුස්සන්, මකුණන් සහ මැක්කන්ය. ඇරැක්නිඩ් පවුලේ සාමාජිකයන්ගේ සිරුරු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. මොවුන්ට පියාපත් නැත. ඇන්ටෙනා නැත. කුහුඹුවන්, පළඟැටියන් මෙන් මොවුන් ආහාර සපා කෑමක් කරන්නේ ද නැත. ඇරැක්නිඩ් සාමාජිකයන්ට ඇත්තේ පාද 8 කි. බොහෝදෙනා මකුළුවන් කෘමීන් ලෙස සලකන්නේ වැරැදි වැටහීමකිනි. මකුළුවා කෘමි සතකු නොවේ. කෘමි සතුන්ගේ සිරුරු කොටස් තුනකි. පාද ඇත්තේ හයකි. මකුළුවන්ට ඇස් අටක් ඇත. පෝෂාට ද එසේමය. ලොකු කුඩා ආදී වශයෙන් පිහිටා ඇති මෙම ඇස් නිසා පෝෂාගේ පෙනීම ඉතා තියුණුය. වනවදුලේ ගොදුරු පහසුවෙන් සොයා ගැනීමට සහ හඳුනා ගැනීමට මෙසේ සුපිරි ඇස් තිබීම වාසියකි. පෝෂා මකුළුවා සොයන ගොදුර තැන තැන යන ගොදුරක් නොවෙයි. ඒ ගොදුර පෝෂාගේම වර්ගයේ එකෙකි. තවත් මකුළුවෙකි. පෝෂා මකුළුන් බුදින මකුළුවෙකි.   


අභියෝගයක්   


පෝෂා සෙමින් සෙමින් දවල් කෑම වෙත ඇදෙයි. ගැටලු කිහිපයකි. දවල් කෑම, එනම් ගොදුරු කර ගැනීමට සැරැසෙන අනෙක් මකුළුවා පෝෂා මෙන් ප්‍රමාණයෙන් තෙගුණයකි. එපමණක් නොව, ඒ මකුළුවාට විස දළ දෙකකි. ඌ සිටින්නේ ඇලෙන සුළු උගුලක් එසේත් නැතිනම් මකුළු දැලක් මැදය. ඒ මකුළු දැල ද එසේ මෙසේ එකක් නොවෙයි. පුළුල් ලෙස පැතිරුණු එකකි. ඒ නිසා ගොදුරට කිට්ටුවීම පහසු නොවෙයි.   


බුද්ධිමත්   


පෝෂාට වැඩේ අතහරින්න වේවිද? බඩගින්නේ සිටින්න සිදුවේවිද? කොහෙත්ම නැහැ. පෝෂාට ඇති තෙවැනි සුපිරි හැකියාව මෙහිදී ප්‍රයෝජනවත් වෙයි. පෝෂාට සිතන්න පුළුවනි. සැලැසුම් කරන්න පුළුවනි. සුපිරි ඇස්වලින් වටපිට බලා ගොදුර අල්ලා ගැනීම කෙසේ කළ යුතුදැයි පෝෂා කල්පනා කරයි. අවට සියල්ල හොඳින් නිරීක්ෂණය කරමින්, පෝෂා ගොදුරට ළං විය යුත්තේ කෙසේදැයි අවබෝධ කර ගනී. මිනිත්තුවක් යද්දී පෝෂා සියල්ල සැලැසුම් කර අවසන්ය. පෝෂා ක්‍රියාත්මක වෙයි. කොළයෙන් කොළයට පනිමින්, අල්ලා ගැනීමට සූදානම් මකුළුවා සිටින මකුළු දැල ඉහළට පෝෂා යයි. පෝෂා දැන් ඉහළ අත්තක සිටින බවක් පහළ දැල මත සිටින මකුළුවා දන්නේ නැත. දැල් බඳින්නේ නැති වුවත්, දැල් බැඳීමේ හැකියාව පෝෂා මකුළුවන්ට ඇත. සියුම් වියමනක ආධාරයෙන්, එය දිගේ පෝෂා ඉහළ සිට පහළ සිටින මකුළුවා බලා සෙමින් සෙමින් රූටා ඇදෙයි. කිසිදු හඬක් නගන්නේ නැත. තමාගේ හිසට ඉහළින් පහළට ඇදෙන පෝෂා ගැන පහළ මකුළුවා දන්නේ ද නැත. සෙමින් සෙමින් පහළට රූටා පැමිණ පෝෂා අසුරු සැණින් යෝධ මකුළුවාගේ සිරුරට පැන ඌ අඩපණ කර ගනී. ඒ, ලොකු මකුළුවාගේ විස දළවලින් බේරෙමිනි. මේ පෝෂා ගොදුරු අල්ලා ගන්නා එක් විදියකි.   


කපටියා   


බුද්ධිමත්ව සිතා බලා ගොදුරු අල්ලා ගන්න පෝෂා සැබැවින්ම හපනෙකි. ඉහළ අත්තක සිට පහළ දැලකට පහත් වීමට හැකියාවක් නැති නම් පෝෂා කරන්නේ කුමක්ද? ගොදුරු අල්ලීම අතහැර දමනවද? අපොයි නැහැ. එවැනි අවස්ථාවලදී පෝෂා අල්ලා ගැනීමට සූදානම් වන මකුළුවාගේ දැල අසලට යයි. දැල කෙළවර එක් තැනක සැඟවී සිට, දැල සෙමින් සෙමින් සොලවන්නට ගනී. දැලේ සිටින මකුළුවා සිතන්නේ මොකෙක් හරි දැලේ පැටලී දඟලන බවය. මකුළුවා එසේ පැටලුණු සතා අල්ලා ගැනීමට දැල කෙළවරට පැමිණෙයි. කොළ අතරේ සැඟවී සිටින පෝෂා, මකුළුවාගේ සිරුරට විදුලි වේගයෙන් පනී. විස දළවලින් බේරී ගොදුර අල්ලා ගනී. පෝෂාගේ හපන්කම එයයි.   

 

මකුළු දැල සොලවා ගොදුර ළඟට ගෙන්වා ගනිමින්...

පනිමින්

පනිමින්

දඩයමට සැරසෙමින්....

සැලැසුම් කරයි

තියුණු ඇස්

විස දළ සහිත ගොදුර

ඉහළට නගිමින්....

දඩයම වෙත රෑටා එමින්...

පැන අල්ලා ගනිමින්....

 

 

 

ලුසිත ජයමාන්න
බී.බී.සී. ප්ලැනට් අර්ත් ඇසුරිනි  



අදහස් (0)

සුපිරි හැකියාවන් 3ක් තියෙන මකුළුවන් බුදින මකුළුවෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6067 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 259 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 309 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1235 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site