මුලින්ම විනාශ කළ ටැම්ගොඩ විහාරය

 

 

මහා බි්‍රතාන්‍යයේ  යටත් විජිතයක්ව පැවැති අපේ රට නිදහස් කර ගැනීම සඳහා  දියත් කළ නිදහස් සටනේ  ඇරඹුම ලෙස සැලකෙන 1817-1818 කැරැල්ලට වසර 200 ක් ගතවී තිබේ.


එහි වගතුග සුදු පාලකයන්ගේ ලිඛිත සටහන් වලට අමතරව ජනප්‍රවාද වලට කන්දෙමින් ඒ ඒ තැන සොයා ඉරිදා ලංකාදීපය යන ක්ෂේත්‍ර චාරිකාවේ දී  අද අප සටහන් තබන්නේ   රාජ ප්‍රතිරූපකයා  හෙවත් විල්බාවේ ලෙස සුදු පාලකයන්ගේ  සටහන් වල සඳහන් වෙන  විල්බාවේ මුදියන්සේ විසු මාළිගාව සොයා  ගිය ගමන  ගැනය.


පසුගිය  ලිපියෙන් අප නතර වුයේ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි  ඒ, ඌව පළාත් උප තානාපති  සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් මහතාට මාරක හී සැරය යැව්වේ කව්ද? යන්නය. 


මදක් නැවත මෙනෙහි කරමු.


වඩිග ඇදුමින් හෝ ඇතැම්විට භික්ෂුන්වහන්සේලා  අඳින  සිවුරක් හෝ අදින සැකකටයුතු පෙනුමකින් යුත්  අමුත්තෙක් වෙල්ලස්සේ සැරිසරන බවට  බි්‍රතාන්‍ය  රජයේ ඌව පළාත්   උප තානාපති සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන්  මහතාට  ලැබුණ තොරතුරක් මත ඔහු සොයා සිරභාරයට ගැනීම සඳහා ඒ පළාතේ රාජ්‍ය සේවකයෙක් වූ හජ්ජි මුහන්දිරම්   සමග කණ්ඩායමක් යැවු නමුත් බූටාවේ රටේරාල විසින් හජ්ජි අල්ලාගත් හැටි පසුගිය සතියේ  අපි විස්තර කළෙමු 


ඉන්පසු හජ්ජි බේරාගැනීම  සඳහා  සේනාංකයක් සමග ගිය  විල්සන් මහතාද කැරලිකරුවන් විසින් එවන ලද හීසැරයකට ලක්ව මියගිය හැටිද  අනාවරණය කළෙමු.


එහෙත් විල්සන් මහතා ඝාතනය කළේ කවුරුන්දැයි යන්න මෙතෙක් නිශ්චිතව හෙළි නොවූ බවද අවධාරණය කරමු.


ඒ පිළිබඳව තවත්  විවිධ මත  පවතී.


නැගෙනහිර පළාත් භාර 19 වැනි බළ ඇණියේ අණදෙන නිලධාරි මේජර් මැක්ඩොනල්ඞ් සහ  ඌව වෙල්ලස්ස හා බින්තැන්න පළාත් භාර බලය ලත් ඒජන්ත හෙන්රි රයිට් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහබෙත්මේ  පැවසු දේ සටහන් කරඇත්තේ මෙසේය.


“හජ්ජි ඝාතනය කළාට පසු  කොහුකුඹුරේ රටේරාල, බූටාවේ රටේරාල, කුඩා බදුලුගමේ රටේරාල යන අය විල්සන් මහත්තයා මැරුවා. කොහුකුඹුරගේ කීම පිට විල්සන්  මහත්තයාගේ හිස කපා දැම්මා. රජ්ජුරුවන්ගේ කීම පිට ඔහු එල්ලා තැබුවා” යනුවෙනි.


එහෙත් දොන් බස්තියන් අප්පුහාමි නැමත්තා කළ  ප්‍රකාශයක් උපුටා දක්වමින් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා  විසින්  මහාමාන්‍ය බැතර්ස්ට් වංශාධිපතිවරයා වෙත යවන ලද සන්දේශයේ එම සිද්ධිය විස්තර කරන්නේ මෙසේය.  


“විල්සන් මහතා ඊතනවත්තේ දේවාලය අසල මුහුණ සෝදමින් සිටියදී ආයුධ සන්නද්ධ කැරළිකරුවන් සිය ගණනක් දක්නට ලැබුණා. විල්සන් මහතා ඔවුන් දැක තමා ළඟ ආයුධ නැති බව පෙන්වීමට ඔහු ඇඳ සිටි කබාය ඉවත් කර  දමා ඔවුන් සමග කතාබස් කිරීමට කැඳවනු වස් ලේන්සුව වැනුවා. ඔව්හු ළංඋනා. දුනු හී රැගත් මිනිසුන් 40 දෙනෙකු පමණ ඔහුට යාර පහක් හෝ හයක් දුරින් සිට ගත්තා. 


මා සිටියේ යාර තුන්සීයක් හෝ හාරසීයක් ඈතින් . එහි සිට සිදුවු සියල්ල දැක්කා. විල්සන් මහතා කැරලිකරුවන් සමග මිනිත්තු කීපයක් කථාබස් කරනු පෙනුණා. ඉන්පසු ඔහු වෙත දුනු හී එල්ල උනා. හේ ඇද වැටුණා  යැයි ද  ඔහුගේ  ප්‍රකාශයේ  සඳහන් විය.
එහෙත්  මෙහිදි අවධාරණය කළ  යුතු වැදගත් ම කාරණය වන්නේ ඊට දින 13 කට පසු වංශාධිපතිට යැවූ සන්දේශයේ  බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා  සඳහන් කර ඇත්තේ දොන් බස්තියන් අප්පුහාමිගෙන් ලැබුණා යැයි තමා සඳහන් කළ ආරංචිවල සත්‍යතාව පිළිබඳව සැක පවතින බවයි. ඔහු බොරු කාරයෙකුයැයි හඳුනාගත් බවද එනිසා ඔහු අපරාධකරුවෙකු හා ද්‍රෝහී ගති පැවතුම් ඇත්තෙකු ලෙස සැකකරන බවද එහි සඳහන් වෙයි.

 

 


මේ අතර මෙම  මාරක ඊතලය යවන ලද්දේ මීගහපිටිය වලව්වේ හිටිහාමි මුදියන්සේලාගේ රටේරාල යැයි පවසමින්  බිබිල උනගොල්ල විහාරස්ථානය ඉදිරියේ ඔහුගේ පිළිමයක් අඹා තිබේ.


එහෙත් විල්සන් මහතාගේ ඝාතනය පිළිබදව ඉංග්‍රීසින් කළ නඩු විභාගයේදී  (පිළිම අඹා ඇති)   මීගහපිටිය  වලව්වේ රටේරාලට  එල්ලවී ඇති චෝදනාව වූයේ විල්සන් මහතා ඝාතනය කළ  පිරිසට නායකත්වය දීම බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ 5/105.125.-127 -6-/972 ඒ ලේඛනය උපුටා දක්වමින් 1818 ජාතික නිදහස් අරගලයේ පුරෝගාමියෝ නම් වූ  රජයේ සංස්කෘතික අමාත්‍යංශය විසින් මුද්‍රිත ග්‍රන්ථයේ සඳහන්ව තිබේ. 


එහෙත් මුඛ පරම්පරාවෙන් එන අයුරු  සිද්ධිය රසවත්ය. එම විස්තරය කළේ බිබිලේ පදිංචි සෙනෙවිරත්න බණ්ඩාර මහතාය.


මීගහපිටියේ රටේරාල හා කොහුකුඹුරේ රටේරාල යන දෙදෙනාම නෑකමින් තම මීමුත්තන් බව පැවසු ඔහු, ඒ බව සනාථ කිරීම සඳහා ඔහු බාරයේ ඇති කොහුකුඹුරේ රටේරාල රජුන් බැහැ දැකීමට යාමේදී පැලඳි කඩුවද අපට පෙන්වා සිටියේය.


ඔහු මෙසේ කීවේය. 


“මේ දෙන්නම  දක්ෂ දුනුවායෝ.  දුනුහරඹ වලින් පෑ දස්කම් නිසා රජතුමාගෙන් තෑගීබෝග පවා ලබාගෙන තිබෙනවා.


මම අයත් වන්නේ මේ පරපුරේ 5 වැනි පරම්පරාවට.  මගේ තාත්තා සහ තාත්තාගේ තාත්තා මේ සිද්ධිය කියු හැටි මට තාම මතකයි. එතකොට  මගේ මගේ සීයා තුන්වැනි පරම්පරාවේ නිසා  මේ සිද්ධියේ මතකය පිළිගත හැකියි කියා මා සිතනවා.


විල්සන් මහතා පළමු දවසේ රටේරාල මුත්තා මුණගැහුණේ මුත්තාගේ  වලව්ව ළඟදීය..  දුනු හී ආයුධ සහිත 200 ක් විතරවූ කණ්ඩායමක් සමගයි රටේරාල මුත්ත ඒ වෙලාවේ ඉඳල තියෙන්නේ.


විල්සන් මහත්තය තමා එක්ක ආ සේනාව ටිකක් ඈතින් තියලා රටේරාල මුත්තා එක්ක කතා කරන්න ඉදිරියට ගිහින් තියෙනවා.
කොහොම නමුත්  තම  ජීවිතයට  අනතුරක් වේ යැයි සිතු විල්සන් මහත්තයා ලේන්සුව වනල සංඥාවක් නිකුත් කළ පසු එයාගේ සේනාව ඉදිරියට ගිහින් තියෙනවා.

 


අපේ අය ඊතල විදිමින්  කැලයට පසුබැහැල තියෙනවා.


විල්සන් මහත්තයා සහ ඔහුගේ භටයන් එදා රාත්‍රිය බූටාවේ ඉඳල පසුදා (16) උදේ කෙටිටෝරුවත්ත ලෙස සුදුජාතිකයන්ගේ සටහන්වල සඳහන් වන  කොටසට ඇවිත්  තියෙනවා.


ඒ වෙනකොට  අපේ අය පන්සීයක්  විතර දුනු හී  ආයුධ ඇතිව පෙරමග ඉඳල තියෙනවා. විල්සන් මහත්යාට හොඳටම බය හිතලා. තමන් මරයි කියල හිතුන නිසා තම හමුදාවට සූදානම් වී ඈතින් ඉන්න කියල තෝල්කයා සමග රටේරාල මුත්තා ළගට ගිහින් කියල තියෙනවා. මාව මාරන්න එපා කියල. මරන්නේ නැහැ කියල අතට අත තියල පොරොන්දු වෙන්න කියලත් කියල තියෙනවා.


රටේරාල මුත්තා හරියට කේන්ති යන කෙනෙක්. එයා එක පාරටම කියල තියෙනව ගෙරිමස් කන උන්ගේ අත උඩ මගේ අත තියන්නෙ නැහැ බොලව්.


මැරුම් නොකා වහාම පලයල්ලා කියල  තර්ජනය කරනකොට විල්සන්  මහත්තයා, එහෙනම් ලේන්සුවට උඩින්  අත තියන්න කියල ලේන්සුව උඩට ගන්නකොටම අපේ අයට තේරිලා තියෙනවා, මේ කරන්නේ කලින් දවසේ වගේම ලේන්සුව වනලා තම හමුදාවට සංඥාවක් දෙනව කියල.


විල්සන් මහත්තයගෙ භට කණ්ඩායම ක්‍රියාත්මක  වෙන්න කලින් රටේරාල මුත්තාගේ මල්ලී වන ගං ඇති රාල මුත්තා එසැණින් හීසැරයක් යවල තියෙනවා. විල්සන් මහත්තය හීසැරය වැදිල එතැනම වැටිල තියෙනවා. මෙතැන කොහුකූඹුරේ රටේ රාල, කිවුලේගෙදර මොහොට්ටාල, කුඩා බදුලුගමේ රටේරාල යන අයත් ඉදල තියෙනවා යැයි ද ඔහු කීවේය.


ඊට පස්සේ බෙල්ල කපල තියෙන්නෙත් ගංඇති රාල මුත්තා.


එදා ඉඳන් මේ මුත්තාට මරුමුත්තා කියල තියෙනවා 


අදටත් ඒ ගෙදරට කියන්නේ මරු ගෙදර කියල.


ඒකෙන්ම මේ කතාව සනාථ වෙනවා යැයිද  සෙනෙවිරත්න බණ්ඩා මහතා පැවසීය.


අපත් සමග මේ ගමනට සහභාගිවී සිටින  මේ රටේ රාලලා දෙදෙනාගේ මී මුනුබුරෙක් වන  මාපාකඩවැව සුදර්ශනාරාම සෝභිත ධර්මායතන පිරිවෙනාධිපති මල්ලැහැවේ  සරණංකර  හිමියන්ද ඒ කතාව අනුමත කළේ  තමන්ගේ පවුල් වල අයද එසේ කියන බව පවසමිනි.


මේ සිදුවීම් මාලාවට අයත් මහා  බලගතු  ඊතණවත්ත දේවාලයට ගොස් එහි විස්තර වාර්තා කිරීමෙන් පසු ඉරිදා ලංකාදීපයට නන් දෙසින් ලැබුණ, ඉහළ  ප්‍රතිචාර අගය කරමු.


අපේ ඊළඟ අරමුණවූ රාජප්‍රතිරූපකයා ලෙස සුදු පාලකයන් හැඳින්වූ විල්බාවේ මුදියන්සේ ඒ වන විට සිටි බව කියන  මාළිගාව සොයා ගැනීමය.

 


අපි මුලින්ම බිබිල යල් කුඹුර ටැම්ගොඩ රාජ මහා විහාරස්ථානයට  ගියෙමු. එම විහාරස්ථානය පිහිටියේ  ඊතණ වත්ත දෙවාලය සහ අප සොයායන රාජ මාළිගයට නුදුරිනි.


විහාරාධිපති ශ්‍රී විද්‍යානන්ද පරිවේණාධිපති  ඊතණවත්තේ අත්ථදස්සි හිමියන් බැහැදුටුවෙමු.


උන්වහන්සේ බොහෝ තොරතුරු පැවසූහ.


කැරැල්ල සමයේ  මෙම විහාරස්ථානාධිපතිව වැඩ විසු නායක  හාමුරුවෝ තමයි ඉංග්‍රීසි ලේඛනවල ඊතනවත්තේ මහ තෙරුන්නාන්සේ කියල සඳහන් කර තිබෙන්නේ.


උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබුණේ  සෙංකඩගල  රාජධානියේ රජු වශයෙන් වෙල්ලස්සේදී කිරුළු පළඳවනු ලැබු ව්‍යාජ රජුට පක්ෂපාතීව ක්‍රියාකිරීම හා ව්‍යාජ රජු මඩුගල්ලේ විසින් දුම්බරදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට පැනයාමට උදව් කිරිමේ චෝදනාව යටතේයි.


ඊතණවත්තේ තෙරුන්නාන්සේ ඇතුළු බෞද්ධ භික්ෂුන් වහන්සේලා 7 නමක්  ඉහත චෝදනාව  යටතේ අත්අඩංගුවට ගෙන යාපා පටුනේ රඳවා තැබූ බව ඉංග්‍රීසි ලේඛනවලත්  සදහන්වෙනවා .

 


ඊතණවත්තේ මහ තෙරුන්වහන්සේ .දම්බරාවේ තෙරනුන්නාන්සේ හා බදුලුල  තෙරුන්නාන්සේ  ඇතුලු_ භික්ෂුන් වහන්සේ කීප නමක් මහියංගනයේ  බදුල්ලේ සහ  මොණරාල පාද යාත්‍රාවේ යෙදෙමින් ඉංග්‍රීසින් පළවා හැරිමේ කටයුත්තට සිංහලයන් මෙහෙයවු බවත් කහපාට සිවුරෙන්  සැරසී සිටි මේ උගත් තෙරුනට  තරම් වෙන කිසිවෙකුටවත් ඉංග්‍රීසින් බිය නොවූ බවත් ඌව ඉතිහාසය නමැති  නමැති ග්‍රන්ථයේ සඳහන් වෙනවා.


අපේ ටැම්ගොඩ විහාරස්ථානය බුද්ධදාස (369-68) කාලයට අයත් වුවක් බව මෙහි ඇති ටැම්ලිපියෙන් හෙළිවන බව ඌව ඉතිහාසය නැමති  ග්‍රන්ථය රචනා කළ  නාවුල්ලේ ධම්මානන්ද හිමියෝ සඳහන් කර තිබෙනවා.


මෙහි ඇති චෛත්‍යය කාවන්තිස්ස රජු යොදුනින් යොදුන චෛත්‍ය ඉදිකරගෙන යාමේදි ඉදිකළ එකක්. ගරාවැටී  තිබු මෙම චෛත්‍ය නැවත ගොඩනැගීමේදී කාවන්තිස්ස රජගේ රුව මූර්තිමත් කළ  නිල් මානික්‍යයක් නිධන්  වස්තු අතර තිබි හමුවෙලා තියෙනවා. එය නැවත නිධන් කර දැන් තිබෙන  තත්ත්වයට දාගැබ  නැවත ඉදිකළා.


විල්සන් මහතා ඝාතනය කිරීමෙන් කුපිත වු  සුදුපාලකයන් ඔවුන්ට  පක්ෂවූ සිංහල  නිලමේවරුන්ගේ ද සහාය ඇතිව මේ ප්‍රදේශයේ සියලු වෙහෙර විහාරස්ථාන විනාශ කළා. මුලින්ම විනාශකළේ  මෙම විහාරස්ථානය. සියලු ගම්බිම් හා කෙත්වතු බව බෝග හරකබාන වාරි ක්‍රම සියල්ල එදා විනාශකර තිබෙනවා. යැයිද උන් වහන්සේ පැවසූහ.


ටික වේලාවක් හැඟුම්බරව කල්පනා කළ උන්වහන්සේ නැවත කතා කළහ.


රාජප්‍රතිරූපකයා ලෙස සුද්දන් හැඳින්වු විල්බාවේ කලක් විසු මාළිගාව තිබෙන ස්ථානය මේ ළඟ තියෙන  පානාවෙල දියඇල්ල උඩ මාළිගය කියලයි විශ්වාස කරන්නේ.


එය දෙවැනි රාජසිංහ රජතුමා විසින් ගමන් මාළිගාවක් ලෙස සකස් කර තිබූ එකක් බව  සඳහන් වෙනවා. එම  මාළිගාවත් එදා විනාශ කර තිබෙනවා.


ඊතණවත්තේ දේවාලයට සමීපව පහනාවල දියඇල්ල ට උඩින් එම මාළිගාවේ නටබුන්  අදටත් තිබෙන නමුත් නිධන් හොරු ඒවා විනාශ කරලා.


හජ්ජි මුහන්දිරම්  ජිවග්‍රහයෙන් අල්ලාගත් බූටාවේ රටේරාල  ඔහු මෙම ස්ථානයට ගෙනැවිත් කිවුලේ ගෙදර මොහොට්ටාල ඉදිරියේ හිස ගසා මරණයට පත්කර තිබෙන බවට තොරතුරු තියෙනවා.


ඒ විතරක් නෙවෙයි. විල්සන් මහත්තය මරල බෙල්ල කපල ත්‍රීෂූලයක අමුණාගෙන ජය ඝෝෂා නගමින් මෙම මාළිගාව වෙත පැමිණි බවත් සඳහන් වෙනවා යැයි පැවසු උන්වහන්සේ ඊට පසු මාළිගාව සොයා යාමට පෙර අපට අවවාදයක්ද කළහ 


එතැනට යන්න බොහොම දුෂ්කරයි. අද වල් වැවිලා විෂකුරු සතුන් එහෙම ඉන්න පුළුවන්.  කූඩැල්ලෝ හැමතැනම...... එසේ පැවසුවත් මාළිගාව සොයා යාම අප අනිවාර්යයෙන්ම කළ යුත්තක්  බව පැවසීමෙන් පසු අපට මග පෙන්වන්නට සිරිල් ප්‍රේමතිලක නැමති  දායකයෙක් ලබාදීමට උන්වහන්සේ කටයුතු කළහ.

 


බිබිල ලුගල පාරේ මද දුරක් වාහනයෙන් ගමන් කළත් එතැන් සිට  අඩි සියයක් පමණ  ප්‍රපාතයට බසින්නට සිදුවුයේ වනපෙතක් මැදිනි.


පැරැණි පියගැට පෙළක් යැයි අනුමාන කළ හැකි වුවත්  කැඩි බිඳීගිය ගල්පතුරුවල පා තබමින් යා යුතු එය දුෂ්කර මගකි.... ලිස්සා යන විට අල්ලාගැනීමට වනයේ තිබෙන මුල් සහ වැල් අත්වැලක් විය.


මිනින්දොරුවන් ඉන්නවා යැයි ප්‍රේමතිලක පැවසූ සැණින් ඒ කියන්නේ කුමක්දැයි මට වැටහුණේය. මිනින්දෝරුවන් කියන්නේ කූඩැල්ලන්ටය.


ඒ වනවිටත් කුඩැල්ලන් කීපදෙනෙක් කකුල්වල එල්ලී ලේ බොමින් සිටියහ.


පෙර සූදානමක් ලෙස අප රැගෙන ගිය දිය ලුණු පොට්ටනිය තුවාල මත තබමින් අපි පහළට  බැස්සෙමු.


හෝ... හෝ... හඬ ඈතටම ඇසිණ. කැලෑරොදෙන් ඉවත්වූ පසු දක්නට ලබුණේ ඉතා චමත්කාර ජනක දියඇල්ලකි.


එහි අසිරිය කෙලෙස විස්තර කරන්නදැයි මට නොතේරෙයි.


දොරපොද කන්දෙන් ගලා එන  ජලදහර  ගලේම නිර්මාණය වු පොකුණු  කීපයකට  දිය පුරවා  බැස යන්නී,  මනරම් දියඇල්ල නිර්මාණය කරන්නීය. දියඇල්ල  අඩි 70 ක් පමණ උසය.


අප දැන් සිටින්නේ දියඇල්ල මුදුනේය.


දියඇල්ල කඩාහැලෙන පර්වතය යතුගෑ ලෑල්ලක් මෙන් මට සිලිටු බවකි. දියඇල්ල කඩාවැටෙන මහා පර්වතය තුළ රජ වරුන්ගේ වස්තුව තැන්පත් කළ විශාල කාමරයක් ඇති බවට විශ්වාසයක් පවතින බව පැවසූ අපේ මග පෙන්වන්නා   දියඇල්ලට යටින් ඇති දොරක් වැනි ස්ථානයක් ද පෙන්වූයේය.


“දැන් බලන්න මහත්තය දියඇල්ල  පාමුල අයිනේ තියෙන අර ගල්තලාව එතැන තමයි පහන. ඒ පහන නිසා තමයි  පහනාවල කියන්නේ .


මග පෙන්වන්නා වූ සිරිල් පවසන්නේ සැබෑවකි. ගලේ වළක් නිර්මාණය වී ඇත්තේ පොල්තෙන් පහනක හැඩය ඇතිවය. ඊට මෙහායින්  බලන්න  මහත්තයා මකරා  කොටල තියෙනවා.


ඔව්!  එතැන  ගලේ කෙටු මකර රුවකි.


 මේ පර්වතය තුළ රහස් කාමරයේ තියෙන වස්තුව  ගන්න පසුගිය කාලේ බලවතෙකුගේ  කට්ටියක් එවලා තිබුණා .


ඒගොල්ල මෝටර් දාල දියඇල්ලේ ජලය වෙනත් පැත්තකට හරවලා වැඬේ කරන්න පටන් ගන්නකොටම මහා සැඩ දියපහරක් ඇවිත් ඒ මිනිස්සුයි වතුර පොම්පය හා ජෙනරේටර් ඔක්කොම ගහගෙන ගියා.


ඒ මිනිස්සු පණ බේරාගත්තෙ අනූනමයෙන්.


 මේතැන තියෙන නිධන් කාටවත් ගන්න බැහැ   මහත්තයෝ ඒක සහතිකයි සිරිල් දැඩි විශ්වාසයකින් යුතුව කීවේය.


මේ දියඇල්ල විවිධ දිශාවෙන් කඩාවැටි වැටි පහළට ගලන්නේ අද්භුත  හැඟීම්ද ඇති කරමිනි. මම බොහෝ වේලාවක් ඒ දෙස බලා සිටියෙමි.


මහත්තයෝ අඳුර වැටෙයි. අපි ඉක්මනට යමු සිරිල් කීවේය.


දියඇල්ල උඩින්ම ගොස් මාළිගාව තිබු තැන බව කියන මාළිගාතැන්න නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලට  ගොඩ උනෙමු.


අපි මීට පෙර ගිය  ඊතණවත්තේ දේවාලය පිහිටා ඇත්තේ ඊට ආසන්නයේ බව පෙනුණි. එහෙත් අප  එදා ඊතණවත්ත දේවාලයට  ගියේ වෙනත් දෙසකිනි. රාජසිංහ රජතුමා මෙම මාළිගාවේ සිට ඊතණවත්තේ දේවාලය කරවූ බවට තොරතුරක් ඇතැයිද ටැම්ගොඩ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් පැවසු  අයුරු  මට සිහිවිය.


මෙම ඉසව්වේ අමුතුම මල් සුවඳකි.


එය මට පමණක් දැනෙන මල් සුවඳක් දැයි සිතුන නිසා නිහඬව සිටියත් යළිත් ඒ පිළිබදව විමසන්නට  සිතිණ.


මල් සුවඳක් එනව නේ දැයි විමසුවෙමි.


හා... මහත්තයටත් දැනුනද?


මේ මල් සුවඳ හැමදාම මෙතැන තියෙනවා සිරිල් කීවේය.


ගස්වැල් අතරින් රිංගමින් මා වනය තුළට රැගෙන ගිය සිරිල් මේ තමයි මහත්තයො අද මාළිගාවට වෙලා තියෙන දේ යැයි අත දිගුකර පෙන්වූයේය. එතැන ඇත්තේ පොළවට ගිලාබසිමින් තිබූ ගල් කණු කීපයක් පමණි. 


මෙතැන මාළිගාවේ නටුබුන් කීපයක් ම තිබුණා. සුද්දා විනාශ කළාට පස්සේ අපේ නිධන් හොරු මේවා හාරලා විනාශ කරලා.

ගල්කණු සමහරු අරගෙන ගිහින් අද තියෙන්නෙ මෙච්චරයි. සිදුව ඇති විනාශය සිරිල්  විස්තර  කළේය.


මට ඇතිවුයේ විශාල දුකකි.


මෙම මාළිගාවේ නටබුන් හෝ තිබුණා නම් කොච්චර එකක් දැයි මට සිතිණ.


ඊතණවත්තේ දේවාලය සහ  මේ මාළිගාව යනාදි කැරැල්ලේ මතක සංරක්‍ෂණය කර තිබුණේ නම් මෙරටට පැමිණෙන සුදු ජාතික සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩිකර එතුළින් විදේශ විනිමය වැඩිකර ගත හැකි නේදැයි සිතිණ.


පැය තුනක පමණ කාලයක් මාළිගාවේ නටබුන් හා සුන්දර දියඇල්ල අසල ගත කළ අපි   අඳුර වැටෙද්දි  මහ පාරට ආවෙමු 
අපේ ඊළඟ අරමුණ  කොහුකුඹුරේ රටේ රාල, බූටාවේ රටේ රාල යන විරුවන්ගේ වගතුග සොයා යන අතරතුර  කැරැල්ලේදී කියැවෙන සුවිශේෂි ස්ථානයක් වන බිබිල කොටබෝව කුඩා කතරගම දේවාලය  සොයා යාමය.

සටහන - ඡායාරූප- බදුල්ලේ පාලිත ආරියවංශ