ඉරිදා ලංකාදීප රසවිත ධර්ම ගවේෂී ලිපි පෙළෙහි පෙර ලිපියෙන් අපි ඔබට ධර්ම රතනය මනාව සරණ යෑම සඳහා අවශ්‍ය ස්වාක්ඛාත ගුණයට අයත් ලක්‍ෂණ සත පිළිබඳව යම් පමණකට ධර්මානුකූලව විග්‍රහයක් කළෙමු. මෙම එකොළොස් වන ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ සංදිට්ඨික ගුණය පිළිබඳව හා අකාලික ගුණය පිළිබඳව යම් පමණකට විග්‍රහ කොට දීමටයි. මෙම ලිපියෙහි එන කරුණු ද ඉතා අවධානයෙන් යුතුව අධ්‍යයනය කරන මෙන් පෙර සේම ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්වාක්ඛාත ගුණය වඩාත් සත්‍ය බව පසක්කරනුයේ සංදිට්ඨික ගුණය හා අකාලික ගුණය මගිනි. යම් ශාස්තෘන්වහන්සේ කෙනකුන්ගේ ධර්මාවවාදය ආදී කල්‍යාණ ආදී කොට ඇති ලක්‍ෂණයන්ගෙන් සමන්විත වන්නේ නම් පමණක් එම ධර්මය සංදිට්ඨික හා අකාලික ගුණයන්ගෙන් ද සමන්විත වේ. එසේම සංදිට්ඨික හා අකාලික වන්නේ නම් පමණක් ස්වාක්ඛාත ගුණයෙන් ද සමන්විත වේ.
මේ ලක්‍ෂණයන් ගසත් පොත්තත් සේ එකට බැඳී පවතී. එකිනෙක වෙන් කිරීමක් කළ නොහැක. මේ නිසා ස්වාක්ඛාත ගුණය පිළිබඳව ඉගෙන ගත්තාක් මෙන් සංදිට්ඨික ලක්‍ෂණය පිළිබඳව ද ඉගෙනගත යුතුය. සංදිට්ඨික ගුණය පිළිබඳව විස්තර කිරීමේදී 'සංදිට්ඨිකෝති එත්ථ පන අරියමග්ගෝ තාව අත්තනෝ සන්තානේ රාගාදීනං අභාවං කරෝන්තේන අරියපුග්ගලේන සාමං දට්ඨබ්බෝති සන්දිට්ඨිකෝ' යනුවෙන් ආර්ය මාර්ගය හේතුවෙන් ස්වකීය සන්තානගත රාගාදී කෙලෙසුන් නසන බැවින් තමා විසින්ම දැකිය යුතු හෙයින් සංදිට්ඨික නම් වේ යනුවෙනි. තමා විසින් දැකිය යුත්තේ කුමක් ද යන්න මෙහිදී විශේෂයෙන් දැනගත යුතුය. එනම් තමන්ගේ චිත්ත සන්තානගත රාගාදී කෙලෙසුන්ය. එම කෙලෙස් නැසීම අන්‍යයන් විසින් ප්‍රකාශ කිරීමක් අවශ්‍ය නොවන්නේ ධර්මයෙහි එන සංදිට්ඨික ගුණය නිසාය.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ශ්‍රාවකයාට නිවනෙහි පවත්නා යම් සුවයක් වේ ද එම සුවය දැන් දැන්ම වින්දනය කරමින් වර්තමානයෙහිම ලෝකය පිළිබඳව යථාභූත ඥාන දර්ශනයකින් යුක්තව අවබෝධාත්මක පරිචයක් ලබාගැනීම සිදු වේ. ධර්මාවබෝධය පිණිස උපකාරී වන ස්වාක්ඛාත ධර්මයකට හැර දුරක්ඛාත ධර්මයකට කවර අවස්ථාවකවත් අන්‍ය සත්වයින්ගෙන් ශාස්තෘන්වහන්සේ හා ශ්‍රාවකයා අතර මනා අවබෝධයක් ගොඩනැගිය නොහැක. ශාස්තෘන්වහන්සේ යම් අවබෝධයක් ලබා සිටින්නේ ද ශ්‍රාවකයා ද එම අවබෝධයෙන් යුක්ත වන්නේ නම් පමණක් ඔවුනොවුන් අතර අධ්‍යාත්මීය සබඳතාවක් ඇති වේ. මේ සඳහා ඉතා කදිම උදාහරණයක් මෙසේ දැක්විය හැක.
අප තිලෝගුරු ශාන්ති නායක අමා මෑණි ලොවුතුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙහි ලබන ලද සම්මා සම්බුද්ධත්වයෙන් අනතුරුව මේ අන්තඃකල්පයෙහි ශ්‍රාවකයින් වහන්සේලා අතර ප්‍රථම මහ රහතුන් වහන්සේලා සැට නම ආමන්ත්‍රණය කර මෙසේ ප්‍රකාශ කළ සේක.
'මුත්තෝ'හං භික්ඛවේ, සබ්බපාසේහි යේ දිබ්බා යේ ච මානුසා. තුම්හේ'පි භික්ඛවේ, මුත්තා සබ්බපාසේහි යේ දිබ්බා යේ ච මානුසා'
මහණනි, මම දෙවි මිනිසුන් පිළිබඳ වූ යම් ක්ලේශයක් වෙත් ද ඒ සියලු ක්ලේශයන්ගෙන් මිදුණෙමි. ඔබ ද ඒ සියලු ක්ලේශයන්ගෙන් මිදුණාහුය යන විනය පිටකයෙහි මහා වග්ග පාලියෙහි එන චතුගිහිසහාය පබ්බජ්ජා කතාවෙහි දේශනා කොට ඇත. මෙම ප්‍රකාශයෙන් දේශනා කරන්නේ තමන් වහන්සේ විසින් යම් ධර්මයක් අවබෝධ කළා ද ශ්‍රාවකයින් වූ ඔබ විසින් ද එම ධර්මයම අවබෝධ කළ බවයි.
එසේම රාගයෙන් රත්වූ තැනැත්තාගේ ද්වේශයෙන් දූෂණය වූ තැනැත්තාගේ මෝහයෙන් මුළා වූ තැනැත්තාගේ සිතෙහි උපදින්නා වූ රාගාදී ක්ලේශයන් හේතුවෙන් එම තැනැත්තාම ලෞකිකවත් ලොකොත්තරවත් මෙලෝ වශයෙන් ද පරලෝ වශයෙන් ද නිවන් සුවයෙන් ද ඔහුත් අන්‍යයන් ද පිරිහීමට පත්කරවයි. එහි යථාර්ථය නොදන්නා තැනැත්තා එයම සත්‍ය වශයෙන් ගෙන ඒ ඔස්සේම කටයුතු කරමින් පරිහානියට පත් වේ.
එසේම ඇසට කනට නාසයට දිවට ශරීරයට සිතට සුභ අරමුණක් එළැඹීම හේතුකොටගෙන එම සුභාරම්මනය අයෝනිසෝමනසිකාරය හේතුවෙන් සති සම්ප්‍රජන්‍ය හා විදර්ශනාවෙන් තොර වීම හේතුවෙන් එම අරමුණ කෙරෙහි වරදවා ගන්නා ලද සිතුවිල්ල නිසා සියල්ලෝම විනාශයට පත්වෙති. එබැවින් ධර්මතාවන් යෙදීමෙන්ම එහි සංදිට්ඨික අකාලික ස්වභාවය දැකිය යුතුය. අපි මෙය වැඩිදුරටත් විස්තර කරගැනීම සඳහා මෙසේ උදාහරණ කිහිපයක් විමසා බලමු.
මෙම කථා වස්තුව සිහලවත්ථුප්‍රකරණයෙහි එන පිණ්ඩපාත විශුද්ධි කථා වස්තුවයි. අතීතයේ ලංකාවෙහි දුර්භික්‍ෂ කාලයක දුක සේ වාසය කළ අඹු සැමි යුවලක් වූහ. දුප්පත් වුව ද මනා ශ්‍රද්ධාවෙන් යුක්ත වූහ. දිනක් බැලමෙහෙවරකම් කරන ඔවුන් යම් කටයුත්තක් සඳහා තමන්ගේ දියණිය කහවණු දොළසක් සඳහා උකසට තැබූහ. දුර්භික්‍ෂ කාලය ගෙවී ගිය පසු යම් කටයුත්තකින් ඔවුන්ට කහවණු දහඅටක් හා ධාන්‍ය පෙට්ටියක් ද ලැබුණේය. එය ලබා ගැල් සමූහයක් සමග මාගම් ප්‍රදේශයට ගමන් ගත්හ. කිසිවකුටත් සුදුසු ආකාරයේ ආහාරයක් නොතිබුණි.
මෙම ගැල ඇසුරු කොටගෙන එක්තරා පින්වත් භික්‍ෂුන්වහන්සේ කෙනකුන් ද වැඩම කරන්නට විය. දහවල දානය සඳහා සුදුසු කාලය ද පැමිණෙන්නට වූ අතර උන්වහන්සේට දන් දීමට කිසිවකුටත් හැකියාවක් නොවීය. දුප්පත් මෙම දෙදෙනාට උන්වහන්සේට දානය පිළිගැන්වීම සඳහා අදහසක් ඇති වූ අතර තමන්ගේ දියණිය දාස භාවයෙන් මුදවා ගැනීම සඳහා ගෙන යන මුදලින් එක් කහවණුවක් දී ළඟ සිටි අයකු අතෙහි තිබූ බත් මුලක් දැක එය මිලට ගැනීමට උත්සාහවත් වූහ.
නමුත් එම මිනිසා එම බත් මුලෙහි වටිනාකම වැඩි කරමින් ඔවුන් සන්තක සියල්ල ගෙන බත් මුල ලබා දුන්නේය. බත් මුල සඳහා තමන්ගේ දියණිය දාස භාවයෙන් මුදාගැනීම සඳහා තිබූ මුදල් සියල්ලම වැය විය. බත් මුල එම භික්‍ෂුවට පූජා කොට සියලු විස්තර උන්වහන්සේට කියා සිටියහ.
ප්‍රථමයෙන් එම බත් මුල ගැනීමට අකැමැති වුවත් අවසානයේදී උන්වහන්සේ එම බත් මුල පිළිගෙන අරහත්වයට පත් නොවී මෙම දානය නොවළඳමි සිතා උත්සාහවත් වී අරහත්වයට පත්වී එම දානය වළඳන්නට විය. පසුව තම දියණිය දකින්නට ගිය එම දෙදෙනා තමන් කළ පින්කම පිළිබඳව දියණියට කී විට ශ්‍රද්ධාවෙන් යුක්ත ඇය මනාකොට එම පින්කම අනුමෝදන් වූවාය.
එය දුටු සද්ධාතිස්ස මහරජුන්ගේ ධවල ඡත්‍රයට අධිගෘහිත දේවතාවා 'අහෝ! අති දුෂ්කර දානයක් දෙන ලදී’ යැයි රජුට ඇසෙන සේ කියන්නට විය. එය ඇසූ රජු 'ඔබ වහන්සේ අද ද මම දන් දෙනු දුටුවේ?' යනුවෙන් ඇසූ විට දේවතාවන්ගෙන් සියලු කරුණු අසා දැනගෙන එම පවුලේ සියලු දෙනා ගෙන්වාගෙන සියලු සම්පත් දී එම දියණිය තමන්ගේ ලේළිය බවට පත්කළේය. ඔවුන්ට වඩාත් පින් කිරීම සඳහා බොහෝ ධන ධාන්‍යය ද ලබාදුන්නේය. මෙලෙසින්ම ධම්මපදයෙහි එන පුණ්ණ දුගියාගේ කථා වස්තුව දෙස බැලුව ද මේ ආකාරයෙන්ම මහා සම්පත් ලැබීම පිණිස ඒ ඒ පින්කම් හේතු වාසනා වූ බව දැකගත හැක.
එසේම අප බුද්ධ ශාසනයෙහි ප්‍රථම ආර්ය ශ්‍රාවකයා වන කොණ්ඩඤ්ඤ තාපසතුමාගේ සෝතාපන්න ඵලය ලැබීමෙහි පටන් මෙම බුද්ධ ශාසනය අතුරුදන් වන තෙක් යම්තාක් දෙවි බඹුන් ප්‍රධාන පිරිසක් ලෞකික ලෝකෝත්තර ප්‍රතිඵලයන්ට පත්වන්නෝ ද ඒ සියල්ලෝම ශාසනයෙහි සංදිට්ඨික ලක්‍ෂණය නිසාම එම තත්ත්වයන්ට පත්වෙති. සංදිට්ඨික, අකාලික ගුණය සඳහා පවත්නා හොඳම උදාහරණයන්ගෙන් එකක් සඳහා මෙය දැක්විය හැක.
තව ද බුදුරජාණන්වහන්සේගේ ධර්මයෙහි සංදිට්ඨික ගුණය සඳහා පවත්නා හොඳම හා වටිනාම උදාහරණය වන්නේ සසරෙහි අතීත බුද්ධ ශාසනයන්හි මහා පින්කම් කොට මෙම බුද්ධ ශාසනයෙහි භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් බවට පත්ව සිටින දෙවි බඹුන් මිනිසුන් සහිත සත්ව ප්‍රජාවයි. ඒ සියලු දෙනාම එම අත්‍යුත්තම භාවයට පත්ව ඇත්තේ බුදුරජාණන්වහන්සේලාගේ ධර්මයෙහි පවත්නා ස්වාක්ඛාත සංදිට්ඨික අකාලික ලක්‍ෂණයන් පිළිබඳව අවබෝධයෙන්මය.
තව ද පෘථග්ජන සත්වයින් හට හා අරහන්ත ඵලයට පත්වන තුරුම සංසාරික කෙලෙසුන්ගේ ප්‍රවාහය හේතුකොටගෙන ඕනෑම සත්වයකුගේ චිත්තයෙහි විවිධ කෙලෙසුන් ඒ ඒ මට්ටමට අනුව උපදින බව සත්‍යයක් වේ. පෘථග්ජන සත්වයාගේ සිතෙහි ඊට අනුරූප ආකාරයෙනුත් රහතුන් වහන්සේ හැර අනෙකුත් ආර්ය ශ්‍රාවකයාගේ සිතෙහි ඊට අනුරූප ආකාරයෙනුත් විවිධ සංයෝජනයන් හේතුවෙන් ඒ ඒ කෙලෙසුන් උස්ව නැගී ඒම ස්වභාවික කරුණෙකි.
පෘථග්ජන සත්ත්වයාගේ සිතෙහි සියලු සංයෝජන ධර්මයන්ට අනුකූලව ද සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ සිතෙහි කාමරාග පටිඝ සංයෝජනයෙහි පටන් ඉහළටත් අනාගාමී ආර්ය ශ්‍රාවකයාගේ සිතෙහි උද්ධම්භාගිය සංයෝජනයන්ට අනුරූපී ලෙසත් අරහන්ත මාර්ගය වර්ධනය කරන ආර්යයන් වහන්සේගේ උද්ධම්භාගිය සංයෝජනයන්ට අනුරූපී කෙලෙසුන් ද සසර ප්‍රවෘත්තිය තුළ ක්‍රියාත්මක වන ආකාරය ධර්මය තුළ විස්තර කර ඇත. එය දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාවට අයත් කිසිවකුටත් අසත්‍යය යැයි දැක්විය නොහැකිය. එබැවින් ද මෙම ධර්මය සංදිට්ඨික හා අකාලික වේ.
අකාලික යනු කල් නොයවාම විපාක ලබාදෙන බවයි. අකාලික යන පදයෙන් විශේෂයෙන්ම මාර්ගය පිළිබඳව විග්‍රහ කෙරේ. ලෝකෝත්තර මාර්ගය පිළිබඳව මෙයින් විස්තර කෙරේ. ලෞකික කුසලයක් වුව ද කුසල කර්මයට අනතුරුවම විපාක නොදේ. එසේ ඒකාන්ත වශයෙන්ම විපාක දෙන්නේ ලෝකෝත්තර මාර්ග චිත්තයයි. මාර්ග චිත්තයට අනතුරුවන ඒකාන්ත වශයෙන්ම ලෝකෝත්තර ඵලයට පමුණුවන බැවින් අකාලික ගුණයෙන් යුක්ත වේ. ඇතැම්විට යම් කුසලයක විපාකයක් වුව ද ගෙනදීමට පැයක් පැය කිහිපයක් දවසක් දින කිහිපයක් සතියක් වුව ද ගතවේ. නමුත් මාර්ග චිත්තය හේතුවෙන් උපදින ඵල චිත්තය අනතුරු චිත්තක්‍ෂණයෙහිම උපදී. මේ නිසා අකාලික යැයි බුදුරජාණන්වහන්සේගේ ධර්මය විශේෂ වේ.
මෙසේ උක්ත ලක්‍ෂණයන්ගෙන් යුක්ත වන නිසා 'ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි' යන ලක්‍ෂණයන් පිළිබඳව විමසා බැලීමට පැමිණෙන්න යැයි නොබියව ආරාධනා කළ හැක. 'ඒහිපස්සික' යන ගුණයට අනුව එව බලව යන විධානයට සුදුසු බැවින් ධර්මය ඒහිපස්සික වේ. නව ලෝකෝත්තර ධර්මයෙහි පවත්නා ඒකාන්ත සත්‍යතාව හේතුකොටගෙන ද දේශනාවෙහි පවත්නා සත්‍යතාව හේතුකොටගෙන ද මෙසේ කිව හැක. අර්ථ ශුන්‍ය ධර්මයක් වන්නේ නම් ඒ අකාරයෙන් විමසා බැලීමට පැමිණෙන්න යැයි කියන්නට සුදුසු නොවේ.
සත්‍යය වසා දැමීමම එම ධර්මයන්ගෙන් සිදු කෙරේ. මේ නිසා බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය විවෘත වූ විට බැබැළෙන ධර්මතාවන් අතුරින් ප්‍රධාන වන බව බුදුරජාණන් වහන්සේ විසින් ද දේශනා කොට තිබේ. තමන්ගේම සිත තුළ තමන් විසින්ම උපදවාගත යුතු බැවින් 'ඕපනයික' යන ගුණයෙන් යුක්ත වේ. උපනයනය කිරීම, උපදවා ගැනීම, ප්‍රත්‍යක්‍ෂ කිරීම් වශයෙන් ඇලීම යන අර්ථයන් ඕපනයික යන වචනයෙන් ගම්‍ය වේ. වැඩීම් වශයෙන් මාර්ගය ද ප්‍රත්‍යක්‍ෂ කිරීම් වශයෙන් ඵලය ද උපදවාගත යුතු බැවින් මෙසේ කියයි.
තථාගතයින් වහන්සේ මාර්ගය දක්වන සේක එහි යාම ඔබගේ කටයුත්තයි යනුවෙන් දේශනා කළේ ද මෙයමය. 'පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි' යනුවෙන් දේශනාවෙහි සඳහන් වන්නේ තම තමන් විසින් ධර්මය අවබෝධ කළ ප්‍රමාණය දැන ගත යුතු බවයි. එනම් උග්ඝටිතඤ්ඤූ විපචිතඤ්ඤූ නෙය්‍ය පදපරම වශයෙන් තම තමන් ධර්මය අවබෝධ කළ ප්‍රමාණය දැනගත යුතු බවයි. තමන් විසින් කෙසේ මාර්ගය වඩන ලද්දේ ද ඵලය සාක්‍ෂාත් කරන ලද්දේ ද නිර්වාණය දකින ලද්දේ ද යනාදී වශයෙන් දැනගැනීමයි. ගුරුවරයා හෝ වෙනත් අයකු මාර්ගය වර්ධනය කළ පමණින් මේ අපේ ගුරුවරයාය ඔහු වඩන ලද මාර්ගය අපටත් ලැබෙන්නේය යනුවෙන් කිසිවක් නොලබන්නේය. තමන්ම මාර්ගය වඩා ධර්මය දැනගත යුතුය. එසේම මේ ධර්මය අඥානයන් හට වැටහෙන්නේ නැත. ඒ සඳහා අතීතයේ පටන් බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා ඇසුරු කිරීමෙන් ද ප්‍රාර්ථනා තබා ගැනීමෙන් ද අවශ්‍ය සුදුසුකම් සකසාගෙන පැමිණිය යුතුය. එකවර ඉබේ පහළවන ධර්මතාවක් නොවන්නේය.
මෙසේ යමෙක් ධර්මයෙහි ගුණ දැන චිත්තප්‍රසාදය උපදවා ගන්නේ ද ඔහුට නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව මනා ගෞරවයක් ඇති වේ. යටහත් පැවැතුම් ඇත්තකු බවට පත්වේ. ශ්‍රද්ධාවෙන් උසස් අයකු බවට පත්වේ. නිරන්තරයෙන් ප්‍රීති ප්‍රමෝදය ඇත්තකු බවට පත්වේ. නිරන්තරයෙන් ධර්මය හා සමාන පැවැතුම් ඇත්තකු යැයි දැනීම නිසා බිය දුරු වේ. ගුණ ධර්ම වර්ධනයට සිත නැඹුරු වේ. ධර්මාවබෝධයට ආශාව වර්ධනය වේ. මේ නිසා ගුණ දැනගෙනම ධර්ම රත්නය සරණ යෑමෙන් 'ධම්මං සරණං ගච්ඡාමි' යනුවෙන් ධර්ම රත්නය සරණ යා යුතුය.
මීළඟ ලිපියෙන් අපි ඔබට සංඝ රතනය සරණ යන ආකාරය පිළිබඳව කියා දෙන්නට බලාපොරොත්තු වන අතර මෙම ධර්ම කාරණා ඉගෙනීමෙන් ලබා ගන්නා වූ දැනුම ආයති භවයක සැප ප්‍රතිපදාවෙන් වහා ධර්මාවබෝධයට හේතු වේවායි මෙත් සිතින් ආශිර්වාද කර සිටින්නෙමු.
‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ “සෝබාව දේ මෙපුර - සිරි විසිතුරු” ගීතය ගයමින් යූ. ආරියවිමල් සමග ගාමිණී සමරකෝන් වේදිකාවේ රඟන ගීත ජවනිකාව ඔබට මතක ඇතැයි
ප්‍රවීණ සිනමාවේදී, ජැක්සන් ඇන්තනී මහතාගේ ’’’අබා’’ සිනමා පටය හරහා, හා හා පුරා කියා රංගනයට පිවිසුණු ඇය, එතැන් පටන් ඓතිහාසික කතා පාදක කරගත්, සුවිශේෂී සිනම
වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු ’රථගාය ’ විශේෂාංගයට - මෙවර සම්බන්ධ කරගත්තේ , බොහෝ දෙනෙක් ආදරය කරන , ජනප්‍රිය කලා ශිල්පී මාධව විජේසිංහ .
වේදිකාව හරහා පැමිණ පුංචි තිරය හා රිදී තිරය බැබළවූ හෂිනිකා ඕනෑම අභියෝගාත්මක චරිතයක් පසුබෑමකින් තොරව භාර ගන්නීය. කුසුමේ චරිතයට ද පණ පෙව්වේ ඒ අනුවය.
මේ දිනවල සමාජ මාධ්‍යවල නිතර අහන්න ලැබෙන මේ ගීතයට එහිදී ලැබෙන්නෙ ඉහළ ප්‍රතිචාර යැයි කියන්න පුළුවනි.
විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
සංදිට්ඨික, අකාලික ගුණයෙන් යුතු ශ්‍රී සද්ධර්මය