එහෙම වුණේ කොහොමද?

පාත්‍රා ධාතුව ශ්‍රී ලංකාවට වැඩම කළේ දෙවනපෑතිස් රජු (ක්‍රි:පු 250-210) කල සුමන සාමණේර හිමිය. මිහිඳු හිමි සමඟ ලංකාවට වැඩි සුමන සාමණේර හිමි මිහිදු හිමිගේ බෑනාය. පැවිදිවීමට පෙර සංඝමිත්තා කුමරිය අග්ගිදත්ත කුමරු හා විවාහව සිටියදී උපන් කුමරා සුමනය. මේ අනුව සුමන සාමණේර හිමි අශෝක රජුගේ බෑනාය.   

දළද‌ා හිමි ලංකාවට වැඩම කළේ කිත්සිරිමෙවන් රජු කල දඹදිව කළිඟු රට සිට හේමමාලා කුමරිය හා දන්ත කුමරුය. දළද‌ා හිමි ලැබුණේ මහාවිහාරයට විරුද්ධ මහායානයට බර අභයගිරි විහාරයටයි. අනුරාධපුර මැද අවදියේ සිටම දළද‌ා මැඳුරේ දත්ත ධාතුව ළඟම පාත්‍රා ධාතුව එකළඟ තබා පුදපුජා පැවැත්වීම සිංහල රාජ චාරිත්‍රය විය. රජකමට උරුමකම් කීමට රජකම පවත්වාගෙන යාමට දළද‌ාහිමි හා පාත්‍රා ධාතුව අවශ්‍යම විය. ඒ නිසාම රජ මැදුර අසළම දළද‌ා මැඳුර ඉදිකොට දැඩි මුරකාවල් සහිතව දළද‌ා මැඳුර රැකවල් කිරීම එද‌ා සිදු විය.

 

 

සතුරු බයක දී රජු පලා යන විට රජුම දළද‌ා හිමි සතුරන්ට ළඟාවිය නොහැකි දුර්ගම ආරක්ෂිත ස්ථානයක දළදා හිමි හා පාත්‍රා ධාතුව සැඟවීම රහසිගත ස්ථානයක තාවකාලිකව නිදන් කිරීම සිදුවිය. මෙවැනි ආපද‌ාවලදී දළද‌ා හිමි හා පාත්‍රා ධාතුව සැඟවීමට විශේෂ කුඩා රහසිගත දළදා ගමන් මාළිගා විය. දහවැනි සියවස තිස්සමහාරාම ශිලා ලිපියක් අනුව අනුරාධපුර වැඩසිටි දළද‌ා හිමි සතුරු බයකදී තිස්සමහාරාම ශිලා ලිපියක් අනුව තිස්සමහාරාම දාගැ​ෙබ් නිදන් කළ බව කියයි. පොළොන්නරු කල මාඝ රජුගේ (ක්‍රි:ව: 1215-1235) පොළොන්නරු ආක්‍රමණයේදී දළද‌ා හිමි ආරක්ෂාව පිණිස කොත්මලේ මල්හෑව විහාරයේ අවුරුදු විස්සක් සඟවා තබා ඇත. මහනුවර මුල් කල මෙවැනි දළද‌ා ගමන් මාලිගාවක් මැදමහනුවර විය. සීතාවක කල දෙල්ගමු විහාරයේ දළද‌ාව වැඩ සිටියදී ඒ වැඩි ආරක්ෂාවට කුරහන් ගලක සිදුරක සඟවා තිබුණි. ගම්පළ අග කල වන විට රාජ බලය දුර්වල වී සේනාධිලංකාර - අලගක්කෝනාර වැනි ප්‍රභූ පවුල්වල බලය ඉස්මතු විය. මේ ප්‍රභූ පවුල් ඉදිරියේ ගම්පල අග කල රජවරු රජකළේ නමට පමණකි. ගම්පල හා දැදිගම සමකාලීනව රාජ්‍ය දෙකක් බිහිවීම සමඟ බල අරගලයක් මතුවිය. ප්‍රධාන රාජ්‍ය දුර්වල වීමත් සමඟ තැනින් තැන ප්‍රාදේශීය රාජ්‍ය බිහිවීම සිදුවිය. උතුරු - නැගෙනහිර එසේ බිහි වූ කුඩා ස්වාධීන රාජ්‍ය ‘‘වන්නි’’ නමින් හඳුන්වයි. මේ අතර උතුරේ ආර්ය චක්‍රවර්තී යටතේ ද්‍රවිඩ රාජ්‍යයක්ද බිහි විය. ගම්පළ අග කල සිටම සෙංකඩගල ස්වාධීන ප්‍රාදේශීය රජ පෙළපතක් සිටි බව අස්ගිරි තල්පත, අස්ගිරි උපත - දුම්බර කඩයිම් පොත පන්නස් - කුඩපත්වලින් පෙනෙයි. හයවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි:ව 1412-1467) කෝට්ටේ අගනුවර කර අවසාන වරට ලංකාව එක්සත් කළ රජුය. හයවෙනි පරාක්‍රමබාහු රජුගේ මරණයට පසු කෝට්ටේ රාජධානිය කුඩා කැබලිවලට කැඩි බිඳී යාම ආරම්භ විය. ඒ අභ්‍යන්තර අර්බුද - කෝට්ටේ දුර්වල රජවරුන් රජවීම නිසාය.   


1521 විජයබා කොල්ලයට පසු කෝට්ටේ රාජධානිය කැබලි තුනකට බිඳීගොස් ඉන් බිහි වූ සීතාවක රාජ්‍යය මායාදුන්නේ රජු යටතේ ප්‍රබල විය. (ක්‍රි:ව 1571-1581) විශේෂයෙන් කෝට්ටේ ධර්මපාල රජු 1557 ක්‍රිස්තියාණිය වැළඳ ගැනීමෙන් පසු සිංහල රජු බෞද්ධයෙකු විය යුතුය යන චාරිත්‍රය ඔහු කඩ කළේය. මේ නිසා කෝට්ටේ ධර්මපාල රජුට එරෙහිව සීතාවක මායාදුන්නේ රජු බුදුදහමේ ආරක්ෂකයා ලෙස නැඟී සිටියේය. දළද‌ා ලංකාවට වැඩම කළ දන්ත කුමරුගේ පෙළපතින් පැවත ආ හිරිපිටියේ ඒකනායක රාළ කෝට්ටේ දළදා මැඳුරේ වැඩ සිටි දළදා හිමි රහසේ සඟවාගෙන  ගොස් සීතාවක මායාදුන්නේ රජුට භාර දුන්නේය. දළද‌ා හිමි ඉතා ගෞරවයෙන් පිළිගත් සීතාවක මායාදුන්නේ රජු එදා දෙල්ගමු විහාරයේ විශේෂ දෙමහල් මන්දිරයක දළද‌ා හිමි තබා පිදූ බව අලගියවන්න මුකවැටි ලියූ සැවුල් සන්දේශය කියයි.  


සීතාවක මායාදුන්නේ රජුගෙන් පසු එහි රජ වූ පළමු රාජසිංහ රජු පසුකල වන විට ශිවාගමට බාර වූ බව වංශකතා කියයි. මෙකල පෘතුගීසි උදව් ඇතිව උඩරටට ආ දොන් ජුවන් කොණප්පු බණ්ඩාර පසුව පෘතුගීසීන්ට විරුද්ධව ඔවුන්ට තර්ජනය කොට එලවා දමා ඔවුන් උඩරට ප්‍රධාන රදළයින්ගේ හා භික්ෂුන්ගේ සහාය ඇතුව බුදුදහම වැළඳගෙන පළමු විමලධර්මසූරිය නමින් 1592 සෙංකඩගල රජවිය. කෝට්ටේ ධර්මපාල ක්‍රිස්තියානිය වැළද ගැනීම සීතාවක රාජසිංහ රජු ශිවාගමට බරවීම - පළමු විමලධර්මසූරිය රජුගේ නැඟී සිටීමට හා බලය පැතිරීයාමට හේතුවිය. මේ අතර බලන සටනින් පළමු විමලධර්මසූරිය රජු අතින් පැරදුණු සීතාවක රාජසිංහ රජු සිත්තැවුලෙන් ආපසු යනවිට පෙතන්ගොඩ උයනේදී දරුණු විෂ උණ කටුවක් ඇනී ඒ විෂ වී සතුරු කුමන්ත්‍රණ මඟින් තුවාලයට විෂ බෙහෙත් බැඳ රෝගය උත්සන්නවී 1592 මළේ ය.  


සීතාවක දෙල්ගමු වෙහෙර අවුරුදු හතළිස් දෙකක් දළදාහිමි වැඩ සිටි අතර සෙංකඩගල සිට රහසේ සීතාවකට දළද‌ා වැඩම කළ හිරිපිටියේ ඒකනායක රාළ සීතාවක දියවඩන නිළමේ පදවිය දැරුවේය. කෝට්ටේ සිට හිරිපිටියේ රාළ සීතාවකට වැඩම කළේද දළද‌ාහිමි පමණක් බවද දළද‌ා පුවත කවිපොත හා සිංහල දළද‌ා වංශය කියයි. සීතාවක දෙල්ගමු විහාරයේ සිට 1592 සෙංකඩගල රාජ්‍යයට වැඩම කළේද දළද හිමි පමණක් බව දළද‌ා පුවත හා සිංහල දළද‌ා වංශය කියයි. මේ වාර්තාවල පාත්‍රා ධාතුව ගැන කිසිම සටහනක් නැත. දෙල්ගමුවේ සිට දළද‌ාහිමි සෙංකඩගලට වැඩමවීමට මුල් වූ අය අතර කෝට්ටේ අග කල හා සීතාවක දියවඩන නිළමේ පදවිය දැරූ හිරිපිටියේ ඒකනායක රාළ, දෙවනගල රත්නාලංකාර හිමි - ගලඋඩ හිමි (කඳු ගැටයක් වූ දෙවනගල විහාරයේ පසු කල දෙවනගල රත්නාලංකාර හිමි වැඩසිටි බැවින් ගලඋඩහිමි යනු දෙවනගල රත්නාලංකාර හිමිම විය හැක). ඇල්ලේපොළ මංගල හිමි මුල් වූහ. දෙල්ගමුව සිට සෙංකඩගලට දළද‌ා හිමි වැඩමවූයේ ඌව පාරෙන් බව සිංහල දළද‌ා වංශය කියයි. මේ තොරතුරු අනුව 1592 වනවිට දෙල්ගමු විහාරයේ වැඩසිටියේ දළද‌ාහිමි පමණකි. අතීතයේ දළද‌ාහිමි සමඟ දිගුකලක් එකට වැඩසිටි පාත්‍රා ධාතුව එහි තිබුණේ නැත.  


1467 කෝට්ටේ හයවෙනි පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු හෝ ධර්මපාල රජවීම සමඟ මේ වනතුරු​ කෝට්ටේ දළද‌ා මැඳුරේ මුලදී දළද‌ාහිමි සමඟ එකට වැඩසිටි පාත්‍රා ධාතුව ගැන සඳහන් නොඑයි. 1557 හිරිපිටියේ රාළ කෝට්ටෙන් සීතාවකට වැඩමකළේද දළද‌ාහිමි පමණකි. මේ අනුව ක්‍රි:ව 1470-1550 අතරතුර කෝට්ටේ දළද‌ා මැදුරෙන් එහි තිබු පාත්‍රා ධාතුව ඉවත් වී ඇත. අන්තිම වරට ශිලා ලිපියක පාත්‍රා ධාතුව ගැන සඳහන් වන්නේ සෙංකඩගල ප්‍රාදේශීය රජෙක් වූ සේනාසම්මත වික්‍රමබාහු රජුගේ ගඩලාදෙණි ශිලා ලිපියේය.  


කඹුරුපිටියේ වනරතන නාහිමි ලිවු ‘රුහුණේ අප්‍රකට අත්ලිපි’ ග්‍රන්ථය අනුව යාපනය පාලනය කළ සපුමල් කුමරු 1470 කෝට්ටේට පහරදී ජයබාහු කුමරු මරා කෝට්ටේ රජ වූ පසු කෝට්ටේ රාජ්‍යය අවුල් විය. කෝට්ටේ තිබූ දළද‌ාහිමි රුහුණු රටට හා සිංහල රාජ්‍යයේ රහසිගත ස්ථාන තුනක සඟවා පුදපූජා කර දළද‌ාහිමි ඉන්පසු සීතාවක දෙල්ගමු විහාරයට ගෙන ගිය බව එහි කියැවෙයි. 1470 කෝට්ටේ සිදු වූ මේ අවුලේදී කෝට්ටේ දළද‌ා මැඳුරේ තිබූ පාත්‍රා ධාතුව උඩරට වීරවික්‍රම රජුට ලැබුණු බව පෙනෙයි.  


චූළවංශය හා රාජරත්නාකරය සෙංකඩගල මුල් යුගයේ සිටි ප්‍රාදේශීය රජෙකු වූ වීරවික්‍රම හෙවත් වීරපරාක්‍රම නම් ප්‍රාදේශීය රජු මහත් උත්කර්ෂයෙන් වර්ණනා කරයි. මෙම වීරවික්‍රම හෙවත් වීරපරාක්‍රම රජු යනු ජනප්‍රවාද අනුව සෙංකඩගල රාජ්‍යය ඉදිකළ බව කියන සේනාසම්මත වික්‍රමබාහු රජුම වන අතර ඔහුගේ රාජ්‍ය කාලය 1469-1511 අතර වෙයි. චූළවංශය හා රාජරත්නාකරය අනුව වීරවික්‍රම රජු රජමැදුර අසළම ද‌ාගැබක පාත්‍රා ධාතුව නිදන්කළ බව කියයි. චූළවංශය හා රාජරත්නාකරය ඔහු උත්කර්ෂයෙන් වර්ණනා කිරීමට හේතුව ඔහු ආගමික ලෙස සුවිශේෂ සේවයක් සෙංකඩගල රාජ්‍යයට කළ නිසා විය යුතුය. 1592 පළමු විමලධර්මසූරිය රජු සෙංකඩගල ලංකාවේ අගනුවර ලෙස පිහිටුවීමට පෙර එයට අවුරුදු අසුවක්. සීයකට පමණ ඉහත දී කෝට්ටේ ආරවුල් නිසා ඉතා රහසිගතව නැත්නම් ආගමික පසුබිමක් ඇතුව හෝ යුද උපාය මාර්ගයකින් කෝට්ටේ දළද‌ා මැඳුරේ තිබු පාත්‍රා ධාතුව ඉතා රහසිගතව සෙංකඩගල රාජ්‍යයට ලබාගෙන එහි වැඩි ආරක්ෂාව පිණිස රජමැඳුර අසළ ද‌ාගැබක නිදන් කළ බව සිතිය හැක. හයවෙනි පරාක්‍රමබාහු රජුගේ මරණය සමඟ 1467 දී හෝ සපුමල් කුමරුට විරුද්ධව රටේ ඇතිවූ පැතිර ගිය ‘‘සිංහල සංගේ’’ නම් කැරැල්ලේදී හෝ ධර්මපාල රජු බෞතීස්ම වීමට පෙර කෝට්ටේ දළදාමැදුරේ තිබූ පාත්‍රා ධාතුව ඉතා රහසිගතව සෙංකඩගලට ලබා ගෙන ඒ වැඩි ආරක්ෂාවට දළද‌ා මැඳුර අසළ ද‌ාගැබක නිදන් කළ බව රජු එ​ෙස් පත්‍රා ධාතුව නිදන් කළ ද‌ාගැබ මහනුවර නාථ දේවාල ද‌ාගැබ බව පෙනෙයි. එහිදීද නිදන් හොරු සතුරන් නොමඟ යැවීමට නාථ දේවාලයේ එක සමාන ද‌ාගැබ් දෙකක් රජු ඉදිකරවා ඇත. මින් පාත්‍රා ධාතුව ඇති ලෙස සළකනුයේ පත්තිනි දේවාලයේ වැල් බෝධිය අසළ පිහිටි නාථ දේවාල ද‌ාගැබේය.

 

 

 


  
වත්තේගම හිටපු කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ 
එස්.කේ. ජයවර්ධන  
සොමිකැළුම්,  නාපාන, ගුන්නෑපාන