IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


වාහනයක් ඇතුළේ ජෝඩුවක් මියගිහින්

මළවුන්ගේ 

නිහඬ සාක්කි

 

 

”සර් ........ සර්.......” හතිමුනින් දාගෙන පොලිස් ස්ථානයට පැමිණි තරුණයෙකු පොලිස් කොස්තාපල්වරයෙකු ඇමතුවේ දැඩි කලබලයෙනි.  

 
ඇයි? මොකද හති දාගෙන. කවුද පස්සෙන් පන්නන්නේ? පොලිස් කොස්තාපල්වරයා විමසුම් බැල්මක් තරුණයාගේ හිසේ සිට දෙපතුල දක්වා හෙළමින් විමසීය. 

 
සර් ලොකු හදිසියක්. මට ලොකු මහත්තයාට තොරතුරක් දෙන්න තියෙනවා. කතා කර කර ඉන්න වෙලාවක් නැහැ.  
 
මොනවා ගැනද?   


අපරාධයක් ගැන 

 
අපරාධයක් ගැන? මුලින් එතරම් ගණනකට නොගෙන කතා කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයා අපරාධයක් ගැන කලබලයෙන් කතා කරන තරුණයාගේ ඒ හඬින් තිගැස්සිණ.   


හා හා එමු බලන්න කොස්තාපල්වරයා තරුණයාව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත කැඳවාගෙන ගියේය. ඔවුන් දෙස හිස ඔසවා බැලූ ස්ථානාධිපතිවරයා ද එතරම් සැලකිල්ලක් නොදක්වා ඇයි මොකද? යැයි විමසුවේය.   


සර් අර ........... කැලේ මැදින් වැටුණ පාරේ කැලේ මැද හරියට වගේ ඩෙත් බොඩීස් දෙකක් තියෙනවා.   


ඩෙත් බොඩීස් දෙකක් ? කාගෙද? 

 
දන්නේ නැහැ. තරුණ ජෝඩුවක් වගේ? 

 
තමුන් කොහොමද දැක්කේ?   


මම ඒ පාරෙන් යද්දී පාර අයිනේ කාර් එකක් තියෙනවා දැක්කා.   


ඉතින්   


මම එකපාරටම එතනට ගියේ නැහැ. කැලේ මැද හරිය වගේ නිසා බය හිතුණා. ටික වෙලාවක් ගහකට මුවා වෙලා බලා සිටියත් කවුරුවත් වාහනේට ආවෙත් නැහැ. වාහනෙන් බැස්සෙත් නැහැ. ඊට පස්සේ මම එතනට ගිහින් බැලූවා.   


එතකොට?   


වාහනේ තිබුණේ මඬේ එරිලා. මං හිතුවා අතැරලා දාලා ගිහින් කියලා. ළං වෙලා බැලුවාම දැක්කේ කවුද ඇතුළේ ඉන්නවා වගේ. දොර ළගට ගිහින් දොර අරින්න බැලුවාම පහසුවෙන්ම දොර ඇරුණා. වාහනේ ඉස්සරහ රියදුරු අසුනෙත් අනෙක් ආසනයේත් පිරිමි කෙනෙක් හා ගෑනු කෙනෙක් නිදාගෙන වගේ හිටියා.   


තමුසේ අල්ලලා බැලූවාද?   


නිදාගෙන කියලා මුලින් හිතුවත් දෙන්නාගේම නාහෙන් ලේ වගේ මොනවද ගලලා තිබුණා. ඒ නිසා මම හිතුවා මේ අයට කරදරයක් කියලා. ඉතිං මම ඒ අයට කතා කරන්න අල්ලලා හොලවන්න උත්සාහ කළා. ඒත් ඒ අය හීතලා වෙලා හිටියේ. මට තේරුණ විදිහට දෙන්නම මැරිලා. මේක ඝාතනයක්ද කියලා සැක හිතුණා. මට ගොඩක් බය හිතුණා ඒකයි පොලිසියටම දුවගෙන ආවේ. 

 
තමුන් වෙන මොනවත් දැක්කේ නැද්ද? ආයුධයක් හෝ වෙන මොනවා හරි දෙන්නගේ තුවාල තියෙනවා වගේ? 

 
මම ඒ තරම් බැලූවේ නැහැ සර්. බය හිතුන පාර පොලිසියටම දුවගෙන ආවා.   


තමුන් මොකටද කැලෑවට යන්නේ? ස්ථානාධිපතිවරයා තරුණයා ගැනත් දැන ගැනීමේ අදහසින් සැකයෙන් මෙන් විමසුවේය.   


මම වනාන්තරවල ගවේෂණ කරනවා. ඒ වගේම ෆොටෝග‍්‍රැෆි මගේ හොබි එක සර්   


ආ..... එහෙමද? හරි අපි යමුකෝ බලන්න. සාජන් සිල්වා අපේ කට්ටියත් එක්ක වාහනයක් ලෑස්ති කරනවා මගේ ජීප් එකත් ලෑස්ති කරන්න කියනවා. අපිට සර්ච් එකක් තියෙනවා. 

 
අණ ලැබූ සාජන්වරයා වහාම වාහන දෙක නිලධාරින් කණ්ඩායමක්ද සමග සූදානම් කළ අතර ඔවුහු ඉතා සුළු වේලාවකදී අදාළ ස්ථානයට පැමිණියහ.   


බැලූ බැල්මටම බය හිතෙන ප‍්‍රධාන මාර්ගයක්ද නොවන මේ කැලෑ පාර භාවිතා කරන්නේ ඉතා සුළු පිරිසකි. ඒ කැලෑවේ සිරි නරඹන්න යන හා දර කැඩීමට කැලෑවට යන ගම්වැසියන් පමණි. තාර නොදැමූ ගුරු පාර වැසි දිනවල ජලය පිරි ඇතැම් ස්ථාන මඩවළවල් බවට පත්වේ. සිද්ධියට පාදක වූ මෝටර් රථය තිබුණේද වර්ෂාව නිසා ජලය පිරී තිබූ මඩ වළක එරීමෙන් එහාට මෙහාට කොහාටවත් සෙලවිය නොහැකි ලෙසය. රථයේ බඳ ප‍්‍රදේශයද මඩෙන් නැහැවී තිබිණ.   


 පොලිස් ස්ථානාධිපතිවරයාද වාහනයේ දොර හැර ඇතුළට එබිකම් කර බැලූවේය. රථයේ ඉදිරි අසුන්වල තරුණියක හා තරුණයෙකු නිදා සිටි ඉරියව්වෙන් සිටිති. ඔවුන්ගේ මුඛයෙන් හා නාසයෙන් රතු රෝස පැහැති යමක් ස‍්‍රාවය වී ඇත. තරුණයා කී සියල්ල සත්‍යයක් බව පොලිස් පරීක්ෂකවරයාට වැටහිණ. දෙදෙනාම මිය ගොසිනි. එහෙත් ඒ කෙසේද?   


පොලිස් කණ්ඩායම අවට පිරික්ෂා බැලූහ. මඩෙහි අඩි සලකුණු රැසක් තිබිණ. ඒ පිටතින් පැමිණි අයගේද මේ දෙදෙනාගේද යන්න පැහැදිලිව කිව නොහැකිය. මිය ගිය දෙදෙනාගේ සිරුරු පරීක්ෂා කිරීමේදි දණක් දක්වා මඩෙන් නැහැවී තිබෙනු දැකිය හැකිවිය. දෙදෙනාගේ සිරුරුවල කිසිදු තුවාලයක් දක්නට නැත. ගෙල මිරිකීමකදී දැකිය හැකි පොර බැඳීමක්ද දැකීමට නැත. එහෙත් වෙනත් කිසියම් ක‍්‍රමයකට මේ දෙදෙනා ඝාතනය කළාද යන්න නිශ්චය කිරීමට තමන්ට නොහැකිය. මේ කැලෑබද මාර්ගයේ මේ තරුණ ජෝඩුව මොකට ගියාද? ප‍්‍රශ්න රැසක් පොලිස් පරීක්ෂකවරයා හමුවේ ඉතිරි විය.   


අවසානයේ සිද්ධිය මහේස්ත‍්‍රාත්වරයා වෙත දන්වා මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක් සිදුකරන්නට පියවර ගත් පොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයේ තිබු සියලු දේවල් වල ඡායාරූප ලබාගන්නා ලෙස පොලිස් ඡායාරූප ශිල්පියාට දැනුම් දුන්නේය. මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝග පරිදි මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කරනු ලැබිණ. ඊට පෙර වාහනයේ තිබූ අත්බෑග් හා කැබිනය පරීක්ෂාවට ලක්කර රියදුරු බලපත‍්‍රය හා හැඳුනුම්පත් පරීක්ෂා කර ඔවුන් කොහේ අයදැයි කවුරුන්ද යන්න සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව අදාළ පොලිස් ස්ථානවලට දැනුම් දී ඥාතීන් සොයා ගනු ලැබිණ. ඥාතීහු පැමිණ සිරුරු හඳුනාගත්හ. මේ දෙදෙනා පෙම්වතුන් බවත් තව නොබෝ දිනකින් විවාහ වීමට නියමකරගෙන සිටි බවත් මේ දෙදෙනා කැලෑවේ ඇවිදින්නට යන අදහසින් පැමිණෙන්නට ඇති බවත් ඥාතීහු පොලිසියට පැවසූහ.   


මේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතාට පැවරිණ. හෙතෙම රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබු සිරුරු පරික්ෂාවට ලක් කළේය. දෙදෙනා අසුන්වල වාඩි වී සිටි නිසා මිය ගිය පසු ගුරුත්වාකර්ෂණයේ බලපෑමෙන් රුධිර නාළවල රුධිරය තට්ටම් ප‍්‍රදේශයට හා පාදවලට එකතු වී ඒවා රතු හෝ නිල් පැහැයට හැරි තිබිය යුතුය. එහෙත් මේ ශරීරයේ මතුපිට සෑම තැනක්ම මෙන් රෝස පැහැයෙන් යුක්තය. මෙසේ වන්නේ ඇයි?   

 
 ඒ පැනයද හිතේ තබාගෙනම වෛද්‍යවරයා සිරුර කැපුවේය. ශරීර අභ්‍යන්තර අවයව පවා රෝස පැහැ බව එවිට දැකිය හැකිවිය. මෙසේ විය හැක්කේ කාබන් මොනොක්සයිඩ් හෝ සයනයිඩ් විෂවීමකදීය. මේ අවස්ථා දෙකේදීම රුධිරය රසායන ද්‍රව්‍ය සමග ප‍්‍රතික‍්‍රියා කර රෝස පැහැති සංඝටකයක් නිපදවයි. ඒ අනුව දෙදෙනාගේ රුධිර සාම්පල් පරීක්ෂා කළ විට ඒවායේ සීයට හැත්තෑවක් පමණ කාබන් මොනොක්සයිඩ් අඩංගු බව පැහැදිලි විය.   


 කාබන් මොනොක්සයිඩ් වායුවකි. එය ආශ්වාස කළ විට පෙනහලු හරහා රුධිරයට ඇතුළු වී හිමෝග්ලොබින් සමග ප‍්‍රතික‍්‍රියා කිරීමෙන් කබොක්සි හිමෝග්ලොබින් නිපදවයි. ඒවා රෝස පැහැතිය. මෙම රසායනිකය නිපද වූ පසු රුධිරයෙන් ශරීරයේ පටක වෙත ඔක්සිජන් ලබාදිමක් සිදුනොවේ. ඔක්සිජන් ප‍්‍රවාහනය කරන්නේ හිමෝග්ලොබින් වලින් වන අතර එය දැන් වෙනත් රසායනිකයක් බවට පත්ව තිබීම ඊට හේතුවයි. මෙසේ ශරීර අභ්‍යන්තරයේ පටක වෙත ඔක්සිජන් නොලැබී යාමෙන් කෙටි කලකදී මරණය සිදුවේ.   

 


මේ දෙදෙනාට එසේ කාබන් මොනොක්සයිඩ් ඇතුළු වූයේ කෙසේද? දුම්වැටිවල හා වාහන දුමාරයේ පවතින මේ වායුව මේ දෙදෙනාගේ ශරීරයට ඇතුළු වූයේ කෙසේද? දෙදෙනා විසින් සිය දිවි නසා ගැනීමේ අරමුණෙන් වාහනයේ දුම්බටය වාහනය තුළට ඇතුළත් කරගෙන දොරවල් වසා දැමුවාද? නැත්නම් පිටතින් කෙනෙක් එය සිදුකළාද?   


එහෙත් පිටතින් කෙනෙක් එහි පැමිණි බවට කිසිම සාක්ෂියක් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදි හමු නොවීය. එහි තිබුණේ මේ දෙදෙනාගේ අඩිපාරවල් පමණි. ඒ අනුව වහාම වාහනයේ යට තහඩුව පරීක්ෂාවට ලක්කළ වෛද්‍යවරයාට එහි සිදුරු ඇති බවත් වාහනයේ දුම්බටය කෙළවර වන ස්ථානයේම තහඩුව සිදුරු වී ඇති බවත් දැකිය හැකිවිය.   


 වාහනය පිහිටා තිබූ ආකාරය පිළිබඳව දැක්වෙන ඡායාරූපද පරීක්ෂා කළ අධිකරණ වෛද්‍යවරයාට නිගමනයකට එළැඹෙන්නට හැකිවිය. වාහනය නොසිතූ ලෙස මඬේ එරි ඇති අතර එය තල්ලූ කර ගොඩට ගැනීමට දෙදෙනා බොහෝ සේ උත්සාහ දරා ඇත. ඒ නිසා දෙදෙනාගේම පාදවල දණක් දක්වා මඩ ගෑවී තිබේ. කිසිවක් කරගත නොහැකි වූ දෙදෙනා වාහනයට යළි ගොඩවී ඇන්ජිම පණගන්වා කෙසේ හෝ ගොඩගන්නට තැත් කරන්නට ඇත. එහෙත් මඬේ එරී තිබීම නිසා දුම්බටයෙන් පිටවෙන දුමාරය පිටතට නොගොස් වාහනයේ යට තහඩුවේ සිදුරු අතරින් වාහනය තුළට ගලා එන්නට ඇත. වැස්ස නිසා දොර ජනෙල් වසා තිබුණේ මේ දෙදෙනාටම කාබන් මොනොක්සයිඩ් වැඩි ප‍්‍රමාණයක් ආශ්වාස වන්නට ඇත.   


මරණය සිදුව තිබෙන්නේ එම වායුව ආශ්වාස වීමෙන් ඔවුන්ගේ සිරුරු තුළ කාබොක්සි හිමෝග්ලොබින් නිෂ්පාදනය වීම නිසා බවට නිගමනය විය. පශ්චාත් මරණ පරීක්ෂණයකදී සාමාන්‍ය කෙනෙක් නොසලකා හරින වාහනයේ යට තට්ටුවේ තහඩු පිහිටීම, අඩි සලකුණුවල වෙනස්කම් අත්‍යවශ්‍ය සාධක බව මෙකී තීරණය ප‍්‍රකාශයට පත් කිරීමේදී පැහැදිලි විය. 

 
(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙපාර්තමේන්තු ප‍්‍රධානී (අධිකරණ වෛද්‍ය), අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරිණ.)  

 

 

 

 

 

 

 

 

 

 


මුදිතා දයානන්ද 



අදහස් (0)

වාහනයක් ඇතුළේ ජෝඩුවක් මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1135 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site