සහන සේවා සඳහා යොදවන වාහන කිහිපයක්  

 

ස්වාභාවික විපතකදී හෝ වෙනත් ආපදාවකදී ලෝකයට පෙනෙන්නට දුකට පත් වූ මිනිසුන්ට උදවු කරන, ලකුණු දමාගැනීම සඳහා එවැනි අවස්ථා ප්‍රයෝජනයට ගන්නා දේශපාලනඥයන් හා අවස්ථාවාදීන් සිටින රටක, කිසිවක් බලාපොරොත්තු නොවී ආපදාවකදී ක්ෂණිකව සහන සලසන්නට යන හිත හොඳ මිනිස්සු ද මේ ලක් දෙරණේ සිටිති.   


අයන්මෑන් අයි සර්ට් (Iron Man 4x4 Community Emergency Response Team - I – CERT) කණ්ඩායම ශ්‍රීලංකාවේ තිබෙන එවැනි ආපදා සහන සේවා සලසන පුරෝගාමී ස්වේච්ඡා සේවයකි. ගංවතුර, නාය යාම්, මාර්ග අවහිර වීම්, වාහන අනතුරු පමණක් නොව ජල හිඟයෙන් බැටකන දුෂ්කර පළාත්වල මිනිසුන්ට ජලය ලබාදීම ඇතුළු පුළුල් පරාසයක ක්‍රියාත්මක වෙමින් සැබෑම වුවමනාවෙන් රටට සේවයක් කරන, ජනප්‍රියත්වය නොසොයන මෙම අයන්මෑන් අයි සර්ට් යනු අපූරු කණ්ඩායමකි. ඒ කණ්ඩායම හැදීම පිටුපස ඇත්තේද අපූරු කතාවකි.   


එහි පුරෝගාමියා සෑම් චන්ද්‍රසෝම නම් නිහතමානී මිනිසායි. ඔහු ඕස්ට්‍රේ ලියාවේ සිට මෙරටට පැමිණෙන්නේ 2001 දීය. ෆෝ වීල් (4WD) වාහනවලට අවශ්‍ය උපාංග සකසන අයන්මෑන් (Iron man) නමැති ඕස්ට්‍රේලියානු ආයතනයේ මෙරට නියෝජිතයා බවට පත් වෙන්නේ 2012 වසරේදී ය. ෆෝ වීල් වාහන භාවිත කරන්නන් හා ඒවාට ආදරය කරන්නන් අතර අතිශය ජනප්‍රිය අයන්මෑන් 4x4 කණ්ඩායම එදා ඔහු බිහිකළේ ඔහු වෙත සේවාව ලබාගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් මුහුණ දෙන තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීමටත්, නවීකරණය කළ වාහන භාවිත කරන ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමත් මුල් කරගෙන පාරිභෝගික සුබසිද්ධිය උදෙසා ය.   
පසුව මෙම ෆෝ වීල් වාහන නවීකරණයෙන් ඔබ්බට ගොස්, විපතට පත්වූවන්ට උපකාර කිරීමටද ඔහු යොමු විය. සාමාන්‍ය වාහනවලට යාමට නොහැකි කඳු, ප්‍රපාතාකාර බෑවුම්, මඩ සහිත භූමි, ගංගා ආදියේ ගමන් කිරීමේ හැකියාව ෆෝ වීල් වාහනවල විශේෂත්වයකි. 2004 සුනාමි අනතුර සිදුවූ කාලය වෙන විටත් මෙම අයන් මෑන් කණ්ඩායමට සම්බන්ධ වූවෝ විපතට පත්වූවන්ට ස්වේච්ඡා සහන සැලසීමෙහි නිතරව සිටියහ.   
වාහන පෙරළීම, කානුවල හෝ එවැනි ස්ථානවල හිරවීම, එන්ජින් දෝෂ නිසා මග නතර වූ විට ඇදගෙන යාම වැනි කටයුතු ස්වේච්ඡාවෙන් කරමින් සිටි මෙම ෆෝ වීල් වාහන හිමිකරුවෝ එකතු කරගෙන, අයන්මෑන් කණ්ඩායම තුළ සිටි, විපතකදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී උපකාර කිරීමට කැමති පුද්ගලයින් තෝරාගෙන අයි සර්ට් නමින් අලුත් කණ්ඩායමක් නිර්මාණය කරන ලදී.   

 

අයන්මෑන් - අයි සර්ට් කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක්

 


ඒ අනුව මෙම කණ්ඩායම එවැනි වාහන හැසිරවීමේ දක්ෂතාව හා පළපුරුද්ද ප්‍රයෝජනයට ගෙන ගංවතුර හා නායයාම් වැනි ආපදාවලදී උපකාර කරන්නට ඉදිරිපත් වූහ.   
‘‘4x4 වාහනයක් තිබූ පමණින් එය අනුන් වෙනුවෙන් යොදාගන්න හෝ උදවු කරන්න කියලා අපට කියන්න නොහැකියි. වියදම් කරලා හදාගත්ත වාහනේ තමන්ගේම වියදමෙන් සහන සේවා සැපයීම කියන්නේ හැමෝම කැමති වෙන වැඩක් නොවෙයි. ඒ සඳහා ඇතුළාන්තයෙන්ම එන කැක්කුමක්, උදවු කිරීමේ අවශ්‍යතාවක් තියෙන්න ඕනැ. ඒක ඒකාලෙ ඉඳලම මගේ ඇඟේ තිබුණ දෙයක්. ඒ වගේ තවත් කීප දෙනෙක් හිටියා. නමුත් අපි කණ්ඩායමක් විදියට එකතුවෙලා හිටියෙ නෑ.   
ඒ අනුව අයන් මෑන් කණ්ඩායමේ හිටිය, ඒ කටයුත්ත සඳහා කැමැත්තක් තිබුණු අයව හඳුනාගෙන තමයි 2015 දී අයි සර්ට් කියන කණ්ඩායම හැදුවේ. පසුව ඒ හරහා අපි තනි තනිව කරමින් සිටි ස්වේච්ඡා කටයුතු කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා කරන්න පටන් ගත්තා.’’ තම කණ්ඩායම හැදුණු ආකාරය සෑම් චන්ද්‍රසෝම පැහැදිලි කළේය.   
වැඩි ප්‍රසිද්ධියක් නැතිව නිහඬව එසේ රටට සමාජයට සේවය කරමින් සිටි මෙම කණ්ඩායම ප්‍රසිද්ධ වූයේ 2016 දී රත්නපුරයට මහා ගංවතුරක් ඇතිවූ අවස්ථාවේ දීය. කිසිවෙකුටත් ළඟා විය නොහැකිව තිබූ අයගම, කලවාන හා රත්නපුර නගරවලට වියළි ආහාර, කෑම පාර්සල්, ඇඳුම් හා ඖෂධ පමණක් නොව, වෛද්‍යවරු පවා ප්‍රවාහනය කිරීම සඳහා අතිවිශාල කර්තව්‍යයක් මෙම කණ්ඩායම අතින් සිදු විය.   


ස්වභාවික විපත්වලදී සේවය සැලසීම සඳහා තම ජාලය තවත් පුළුල් කරගත යුතු යැයි හැඟුණු බැවින් සාමාජිකයන් 10 දෙනෙකුගෙන් ඇරඹුණු අයි සර්ට් කණ්ඩායම 2017 දී ලංකාවේ 4x4 ප්‍රජාවගෙන්ද උදවු ඉල්ලා සිටියේ ස්ථාවර සාමාජික පිරිසක් ඇති කරගැනීමටයි.   
අද වෙන විට අයි සර්ට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෝ 48 දෙනෙක් සිටිති. ඒ 48 දෙනාම ෆෝ වීල් වාහනයක හිමිකරුවෙක් වන අතර මේ සාමාජිකයන් සියලු දෙනාම ජපන් රජය යටතේ ආපදා කළමනාකරණය පිළිබඳ ආසියා පැසිපික් සන්ධානය (Asia Pacific Alliance for Disaster Management - A- PAD) වෙතින් සෙවුම් හා මුදාගැනීම් මෙහෙයුම් සඳහා විශේෂ පුහුණුවක් ලබා ගෙන සිටිති. ප්‍රථමාධාර ලබාදීම හා හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඔවුන් මනා දැනුම්වත්භාවයකින් යුක්ත ය.   
මෙහෙයුම් සඳහා උපකාරයට පිරිස් ගෙන යාමේ බලය එම සාමාජිකයන්ට ලැබී තිබෙන අතර ඒ පුද්ගලයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වගකීම ද සාමාජිකයන් වෙත පැවරේ. එම යාන්ත්‍රණය හේතුවෙන් ලංකාවට පුරා විසිරී සිටින තවත් 200 දෙනෙකුගේ පමණ සහයෝගය වක්‍රාකාරයෙන් අයි සර්ට් කණ්ඩායමට ලැබෙන බව ඔහු සඳහන් කළේය.   
2017 දී මෙම ස්වේච්ඡා සේවය ලාභ නොලබන රාජ්‍ය නොවන ආයතනයක් වශයෙන් ලියාපදිංචි විය. ආපදාවලදී ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ හැකියාව හා ඔවුන්ගේ කාර්යභාරය හඳුනාගත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමක් අස්සන් කරන්නට ද ඔවුනට හැකියාව ලැබිණි. ඒ අනුව අවශ්‍ය වෙලාවකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නියෝජනය කිරීමේ බලය අයි සර්ට් කණ්ඩායමට හිමි විය.   

 

 රත්නපුරට බලපෑ මහා ගංවතුර අවස්ථාවේ ආධාර ගෙන යමින් (ඉදිරියෙන් යන කළු පැහැ රථය)

 


ආපදාවක් වූ අවස්ථාවක එතැනට ලඟාවීමට සිවිල් වැසියන්ට අවසර නැහැ. අනෙක් කරුණ තමයි ගංවතුර හෝ නායයාම් හෝ එවැනි ආපදා බලන්නට මිනිස්සු එනවා. නමුත් අපි යන්නේ බලා ඉන්න නොවෙයි උදවු කරන්න.   
‘‘ආපදාව වූ ස්ථානයට පිවිසෙන්න අවසර නැතිව පැය ගණන් මඟ රැඳී සිටි අවස්ථා ඕනෑ තරම්. ඒ වෙලාවට කාට හෝ කතා කරලා තමයි අවසර ගන්න සිද්ධ වෙලා තිබුණේ. අපිව හඳුනාගැනීමේ නිසි ක්‍රමවේදයක් නොතිබුණු නිසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ මෙවැනි එකඟතාවකට පිවිසෙන්න තීරණය කළේ.’’ ඔහු සඳහන් කළේය.   
මෙම කණ්ඩායමෙන් සිදුවෙන සේවය ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ නොයෙක් ආධාර ගලා එන්නට විය. විශේෂයෙන්ම ගංවතුර වැනි විපත්වලදී පරිත්‍යාග කළමනාකරණය, ආධාර ලබාගැනීමේ හා බෙදා දීමේ විනිවිදභාවයෙන් යුත් සංවිධානයක් වශයෙන් ඔවුන් දිනා තිබුණු කීර්තිය නිසා මුදල් හෝ වෙනත් පරිත්‍යාග කිසිවක් අවභාවිත නොවන බවට විශ්වාසයක් පරිත්‍යාගශීලීන් තුළ ඇතිව තිබිණි.   


‘‘අපට ලැබෙන ආධාර සියල්ල අපි නිසියාකාරයෙන් කළමනාකරණය කරලා සමාජයේ අවශ්‍යතාවක් තිබෙන තැනකට යොදවනවා. කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා හිටියත් අපේ වාහනවල අලුත්වැඩියා ආධාර දෙන්නට යන ගමන් බිමන් සඳහා ඉන්ධන පිරවුම්, වාහන නඩත්තු ආදී සියලු කටයුතු කරන්නේ අපේ පුද්ගලික මුදල්වලින්. වාහනේ රිකවර් කිරීමක් කළා කියලා හෝ අපි කවදාවත් සතයක් වත් ලබාගෙන නෑ.’’ ඔහු පවසන්නේ නිහතමානී ආඩම්බරයකිනි.   
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එකඟතාවකට පැමිණි පසු ආපදාවකදි යා යුතු කොතැනකටද, ගෙන යා යුත්තේ වියළි ආහාරද, පිසූ ආහාරද නැත්නම් වෛද්‍යවරුද ආදී වශයෙන් අදාළ මග පෙන්වීමක් මධ්‍යස්ථානයෙන් ලැබේ.   


පසුගිය වසරේ කළුතරට බලපෑ ටොනේඩෝව නිසා රබර් ගස් කඩා වැටී තිබුණු වත්තක කිලෝමීටර් තුනක් පමණ භූමියක් ගස් ඉවත් කර මාර්ගය සුද්ධ කර දීම ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලැබුණු යොමුකිරීමකි. එවැනි මෙහෙයුම් සඳහා ගස් කැපීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ඇතුළු සියලු උපකරණ ඔවුන් සතුය.   
ඔවුහු 2018 වසරේදී පාසල් තුනක් පමණ ඉදි කළෝය. එකල රජයේ පැවති අකාර්යක්ෂමතාවය හෝ මිනිසුන් තුළ ආයතන පිළිබඳව පැවති අවිශ්වාසය නිසා ඔවුනට බොහෝ ආධාර ගලා එන්නට විය. ඔවුන් තුළ පැවති විනිවිදභාවය එයට බලපෑ ප්‍රධාන හේතුවයි.   


‘‘අපට යම් ආධාරයක් ලැබුණාම එය ලබාදුන් තැනැත්තාගේ තොරතුරු සටහන් කර ගන්නවා. අපි අදාළ තැනට එම ආධාරය භාරදීලා, ඒ අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝ ලබාගන්නවා. ඉන්පසුව ආධාර කළ පුද්ගලයාට ඒ ඡායාරූප ආදිය ලබා දෙනවා. එවිට ඒ පුද්ගලයින් දන්නවා ඔවුන් දුන් ආධාරය අදාළ පාර්ශවයට ලැබී තිබෙන බව. අපි ගොඩක් වෙලාවට එකතු කරන්නෙ මුදල් නොවෙයි, බඩු භාණ්ඩ. ලංකාව පුරා ඉන්න අපේ සාමාජිකයන්ගෙන් තොරතුරු හොයලා උදවු අවශ්‍ය අය හඳුනාගන්නවා.’’   
උපකාර අවශ්‍ය අය බොහෝ සිටින නමුත් වත්කම් සීමිත බැවින් උදවු කළ යුත්තේ කාටද යන්න තීරණය කරන්නේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.   


පසුගිය කාලයේ ඔවුනට ලක්ෂ 100ක ආධාරයක් ලැබුණේ ගංවතුරින් අනාථ වූවන් වෙනුවෙන් එය වියදම් කළ යුතුය යන කොන්දේසිය මත ය. ඒ අනුව ක්‍රියාත්මක වූ සහන සේවා කණ්ඩායම රත්නපුර අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කතා කර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඔස්සේ පාසල් තුනක් තෝරා ගත්හ. එම පාසල් අතීතයේ පටන් ගංවතුර ආපදාවලදී සහන සේවා මධ්‍යස්ථාන වශයෙන් පැවති ඒවාය. එම පාසල්වල බිම, වහල ආදිය අලුත්වැඩියා කෙරුණු අතර බිත්ති පින්තාරු කිරීම, වැඩිපුර ජෙනරේටරයක්, විදුලි බලය, වැසිකිළි පහසුකම්, ආහාර පිසීම සඳහා පහසුකම් ආදිය ලබාදීම සිදුවිය.   
ගංවතුර නොමැති අවස්ථාවලදී පාසල් ළමුන්ටත්, ගංවතුර අවස්ථාවේ විපතට පත් පුද්ගලයන්ටත් භාවිත කළ හැකි පරිදි ඒ හැම පාසලක්ම නඩත්තු කළ අතර ඒ සඳහා ලක්ෂ 30 බැගින් වැය විය.   


ඔවුන් විසින්ම පුද්ගලිකව එකතු කළ රුපියල් ලක්ෂ අටහමාරක් පමණ මුදලින් මොණරාගල අතිශය දුගී පවුලකට නිවසක් ඉදිකිරීම, මොණරාගල ජල පහසුකම් නොමැති පාසලකට නළ ළිං මගින් ජලය ලබාදීමට යාමේදී එම ගම්මානයටද ජල පහසුකම් නොමැති බව වැටහීමෙන් පසු ගම්මානයටද ජල පහසුකම් ලබාදීම වැනි සද්කාර්යයන් ඔවුන් අතින් ඉටු විය.   
ස්වාභාවික විපත් පමණක් නොව, මිනිසා විසින්ම කරන උවදුරු අවස්ථාවලදී ඔවුහු ක්‍රියාත්මක වෙති.   
‘‘කටුවාපිටිය පල්ලියේ බෝම්බ පිපිරුණ වෙලාවේ අපි එතැනට ආවා. ඒ ගමේ ගෙවල්වලට වතුර ලබාදුන්නා. තමන්ගේ මියගිය ඥාතීන් සොයාගන්න බැරිව කෑම වේලක් හෝ වතුර උගුරක් හෝ නැතිව මෝචරියෙන් මෝචරියට ඇවිදපු මිනිස්සු සීයක් විතර මෝචරිය ළඟ හිටියා. අපි රෝහලටත් වතුර ලබාදුන්නා. කටුවාපිටියේ වතුරවලට වස දාලා කියලා කටකතාවක් පැතිරෙන කොටත් අපි හිටියේ එහෙ වතුර බෙදන ගමන්. මළ ගෙවල්වලට, සහ වතුර අවශ්‍ය හැම තැනටම වගේ අපි වතුර ලබාදුන්නා. අන්තිම දවසේ පල්ලියට වතුර බෝතල් 5000ක් විතර දුන්නා.   
අපිට උදවු කරන්න සීමාවක් නෑ. යම් තැනකට අපිව අවශ්‍ය බව දැනුණොත් අපි එතැනට යනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ තිබෙන සම්බන්ධතාව හරහා උදවු කිරීමට අවශ්‍ය ඉඩකඩ ලබාගන්නවා. 


අපි මොණරාගලට උදවු කරන්න ගියේ රූපවාහිනියේ ගිය ප්‍රවෘත්තියක් දැකලා. එහි පවුල් 160 ගාණකට රුපියල් 10,000ක් විතර වටිනා වියළි ආහාර සලාකය බැගින් දුන්නා. ඒ වෙලාවේ අපිට දෙන්න තිබුණෙ කටුවාපිටියට ආව ආධාරවලින් ඉතුරු වුණ ඒවා විතරයි. ඒ ආධාර කළ අයට ඒවා ලබාදුන් අයගේ නම් ලැයිස්තුවක් සහ විස්තරත්, ඒ අයට ස්තූති කරලා පණිවිඩයකුත් යැවුවා. ආධාර තියෙන තැනකට තවත් ගොඩ ගැසීමේ ප්‍රයෝජනයක් නැති නිසයි කටුවාපිටියට ලැබුණු ආධාර අපි ළඟ රඳවගෙන ඉඳලා පසුව අවශ්‍ය තැනකට බෙදලා දුන්නෙ.’’ ඔහු සිහිපත් කළේය.   

 

 


ආපදා සිදුවූ ස්ථානවලට ඔවුන් යන්නේ ත්‍රිවිධ හමුදා සහයෝගය හෝ ලැබෙන්නට පෙරය. ප්‍රමාණයෙන් කුඩා කණ්ඩායමක් බැවින් සංවිධානය වීමේ පහසුව නිසා ආපදාවක් වූ විගස එතැනට යාමට ඔවුනට හැකියාව තිබේ. එසේ ආපදාව වූ මුල් අවස්ථාවේ එතැනට යන අයි සර්ට් කණ්ඩායම, වෙනත් සහන කණ්ඩායම් පැමිණෙන තුරු අවශ්‍ය සහන සේවා ක්‍රියාත්මක කරති. ත්‍රිවිධ හමුදා එම ස්ථානයට පැමිණි පසු, ඔවුන්ට බාධා නොවීම පිණිස පිරිස එතැනින් ඉවත්ව යති.   
ඔවුන් යම් අවස්ථාවලදී හමුදා අතර මෙන්ම හමුදාව සහ සිවිල් ජනයා යා කරන පාලමක් වශයෙන්ද ක්‍රියා කරති. රත්නපුරයට බලපෑ මහා ගංවතුර අවස්ථාවේ සීවලී ක්‍රීඩාංගණයේ සිට සතර අතින්ම ගංවතුරෙන් යට වී තිබුණු කැටේපොළ ගම්මානයට ආහාර පාර්සල් 3000ක් පමණ ගෙන ගියේ ඔවුන්ය. ගම්මානයට ළඟාවීමේ හැකියාව තිබුණේ නාවික හමුදාවට පමණි. සීවලී ක්‍රීඩාංගණයේ සිට නාවික හමුදාව දක්වා ආහාර පාර්සල් ගෙනයාමේ වගකීම භාරගත් ඔවුනට මුහුණ දෙන්නට වූයේ අභියෝග එකකට දෙකකට නොවේ.   
නාය යාම් නිසා ප්‍රධාන මාර්ගවලින් යා නොහැකි බැවින් අතුරු මාර්ග ශුද්ධ කරමින්, කඩා වැටුණු ගස් ඉවත් කරමිනි ඔවුනට ගමනාන්තය වෙත යන්නට සිදුවූයේ. පැය එක හමාරකින් පමණ යාමට හැකි එම ගමන සඳහා ඔවුනට පැය 15ක් ගත විය. ඒ අතරතුර කෑම පාර්සල් හැකි ඉක්මනින් ගෙනයාමේ අභියෝගයටද මුහුණ දෙන්නට සිදු වූයේ රස්නය නොමැති ආහාර පාර්සල් නාවික හමුදාව භාර නොගන්නා බැවිනි.   


‘‘අපේ වාහන තමයි අපිට තියෙන ශක්තිය. ඒවට ගොඩේ, මඩේ විතරක් නෙමෙයි වතුරේ වුනත් අඩි හතරක් පහක් යන්න පුළුවන්. වරකට කිලෝ 2000 - 3000ක් බර පටවන්න පුළුවන්. ඒ වගේම අපේ ජීවිතත්, අපි අවට සිටින අයගේ ජීවිතත් බේරාගෙන ගලවා ගැනීමේ මෙහෙයුම් කරන්න අපිට හොඳ පුහුණුවක් තියෙනවා.   
වසර ගණනාවක පළපුරුද්ද, අත්දැකීම් හා දැනුම යොදාගෙන අපි මේ වගේ මෙහෙයුම්වල නිරත වෙන්නේ. ඒ වගේම ලංකාවට ආදරය කරන, සමාජයට යහපතක් කරන්න කැමති, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී වැඩ කරන්න කැමති හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා. ගැහැනු පිරිමි හෝ ජාති ආගම් කුල මල භේද කිසිවක් නෑ. උදවු කරන අය හෝ උදවු ලබන අයගෙත් ජාති ආගම් භේද අපි හොයන්නෙ නෑ.   


අපේ කණ්ඩායමේ ඉන්න කාන්තාවො අපි නැති වෙලාවට කොළඹ ආධාර එකතු කිරීම, කටයුතු සංවිධානය වැනි වගකීම් ඉටු කරනවා. සහන සේවා කටයුතුවලදී එක කණ්ඩායමකට වෙහෙස වුණාම ඔවුන්ගේ කාර්යය සඳහා යන්න දෙවැනි කණ්ඩායමකුත් සූදානමින් ඉන්නවා. සාමාන්‍යයෙන් එක කණ්ඩායමක වාහන හතරක් පහක් තියෙනවා. අවශ්‍ය වාහන ගණන තීරණය වෙන්නේ අපි යන වැඩය අනුව තමයි. ආපදාවක් ඇතිව හෝ නැතිව උදවු අවශ්‍ය තැන්වලට අපි යනවා.   
ලංකාවෙ ගොඩක් ආයතනවලින් හා පුද්ගලික වශයෙන් මිනිස්සු ආධාර එකතු කරනවා අවශ්‍යතාවක් ඇති අයට ලබාදෙන්න. නමුත් ඒ ආධාර ගෙනයන්න කවුරුත් නැහැ. ඒ වගේ අවස්ථාවලදී අපිට කතා කරන්නට පුළුවන්. අපි ඒවා ගෙනිහින් ඔවුන්ට භාර දීම කරනවා. අපෙන් පසුව තවත් කණ්ඩායම් රැසක් මේ ආකාරයට සමාජයට උදවු කරන්නට පටන් ගෙන තියෙනවා. එය සතුටට කරුණක්.’’ ඔහු විස්තර කළේය. 


දැඩි කැපවීමෙන් කළ යුතු මෙවැනි කාර්යයක් සඳහා යොමුවූ අයුරු පිළිබඳව ඇසූ විට ඔහු මෙසේ කීවේය.   
‘‘මිනිස්සු වාහනයක් ගත්තොත් ඒකට බුදු රූපයක් තියලා, වැඳලා පාරට දාන්නෙ. සාමාන්‍ය කෙනෙක් වාහනයක් ගොඩක් පරිස්සම් කරනවා. නමුත් අපි වියදම් කරලා නවීකරණය කරන වාහන මඩේ දානවා. කඳුවල යනවා. පෙරළගන්නවා. අපේ විනෝදාංශය නිසා සමාජයේ බහුතරයක් දෙනා අපි දිහා බැලුවේ වපර ඇහින්. අද බහුතරයක් ලංකාවෙ මිනිස්සුන්ට ෆෝ වීල් එකක් තියා බයිසිකලයක් වත් ගන්න මුදල් නැති තත්ත්වයක් තියෙන්නෙ. අපේ තෘප්තිය වෙනුවෙන් රේස් පැද්දාට අපෙන් සමාජයට වැඩක් නැහැ කියන මතය තමයි සාමාන්‍ය මිනිස්සුන්ට තිබුණෙ. මම කළේ ඒ මිනිස්සු අපි දිහා බලන කෝණය වෙනස් කිරීමයි.   


පහුගිය අවුරුදු පහ එක්ක සාපේක්ෂව බැලුවම අද වෙන කොට ඒ අය අපි දිහා බලන්නේ ගෞරවයකින්. අපි ඔප්පු කරලා පෙන්නුවා අපිට රේස් දුවන එකට අමතරව රටට ලෝකයට වටිනා දේවල් කරන්න පුළුවන් බව.’’ ඔහු පැවසුවේය.   


පරිත්‍යාගශීලියෙකුගේ ඉල්ලීමක් අනුව සූර්ය බලයෙන් විදුලිය සැපයීම සඳහා නිවෙස් 20 - 50 අතර ගම්මානයක් සොයමින් සිටින බවත්, අයන් මෑන් හෝ අයි සර්ට් ෆේස්බුක් පිටු ඔස්සේ සිය කණ්ඩායම සම්බන්ධ කරගත හැකි බවත්, හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.   

 


නිසංසලා දිසානායක   
ඡායාරූප - අයන් මෑන් සහ අයි සර්ට් ෆේස්බුක් පිටුවලිනි