ගුණරතන හිමියන් වැඩ සිට ඇත්තේ දළුක්ගොල්ල විහාරස්ථානයේ මේ සංඝාවාසයේය.  

 

ලෙනාර්ඩ් වුල්ෆ් සිංහල ඉගෙනගත් කාලයේ පත්තිරිප්පුව පැවති අයුරු  

 

 

 

ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village in The Jungle නවකතාව සිංහලයට නැගී තිබෙන්නේ බැද්දේගම නමින්ය. වුල්ෆ් ලාංකිකයන්ගේ සිත් තුළ ජීවත් වන්නේ බැද්දේගම නිසාය. බැද්දේගම නොලියවුණේනම් වුල්ෆ් ලාංකිකයන්ගේ සිත් තුළ ජීවත් නොවන්නටද ඉඩ තිබිණ. 
 

‘ද විලේජ් ඉන් ද ජන්ගල්’ ලිවීමට සිංහල භාෂාව තුළින් ලබාගත් අත්දැකීම් බෙහෙවින් ඉවහල් වී තිබේ. ලාංකිකයන්ගේ ජන ජීවිතය ඉතා හොඳින් තේරුම් ගන්නට සිංහල භාෂාව පිළිබඳව තිබූ දැනුම බොහෝ ප්‍රයෝජනවත් වී ඇත. සිංහල භාෂාව නොදැන සිටියානම් ගැමියන්ගේ සිතුම් පැතුම් හා චර්යා රටාවන් නිසි ලෙස තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නේද නැත. සිංහල භාෂාව උපයෝගි කරගෙන ලබා ගත් අත්දැකීම් ‘ද විලේජ් ඉන් ද ජන්ගල්’ නවකතාව සාර්ථක වන්නට බෙහෙවින් බල පා ඇති බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.  


වුල්ෆ් මහනුවර කච්චේරියේ කාර්යාල සහකාර ලෙස වැඩ භාර ගෙන ඇත්තේ 1907 අගෝස්තු 19 වෙනිද‌ාය. ඒ වන විට ඔහුට තිබී ඇත්තේ ඉංග්‍රීසි හා දමිළ භාෂාවන් පිළිබඳ දැනුම පමණි. මහනුවර පළාතේ වැඩ කිරීමට නම් සිංහල භාෂාව පිළිබඳව දැනුමක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබේ. එහෙයින් සිංහල භාෂාව ඉක්මනින් ඉගෙන ගැනීමට හොඳ ගුරුවරයෙකු හොයන්නට වුල්ෆ් පෙළඹී තිබේ.  

 

ගුණරතන හිමියන් තබා ඇති සටහන්  

 

 


ඒ වන විට මහනුවර දළද‌ා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය හොබවා ඇත්තේ කුඩා බණ්ඩාර නුගවෙල මහතාණන්ය. වුල්ෆ් දියවඩන නිලමේවරයා හමුවී තමාට සිංහල භාෂාව ඉගෙන ගන්නට හොඳ ගුරුවරයෙක් සොයා දෙන්නට පුළුවන්දැයි විමසා තිබේ.  


‘මම ගුරුවරයෙක් හොයලා දෙන්නම්. ඒ ගුරුවරයාගෙන් සිංහල භාෂාව විතරක් නෙවෙයි බුද්ධ ධර්මයත් හොඳින් ඉගෙන ගන්ට පුළුවන් වෙයි’ කුඩා බණ්ඩාර නිලමේ තුමා වුල්ෆ්ට ලබා දී ඇත්තේ එවන් පිළිතුරක්ය.  
මහනුවර දළද‌ා මාලිගාවේ පත්තිරිප්පුවේ තිබූ පෙර දිග පුස්තකාලයේ පුස්තකාලයාධිපති වශයෙන් ක්‍රියා කර ඇත්තේ ගුණරතන හිමියන්ය. නුගවෙල දියවඩන නිලමේවරයා වුල්ෆ්ට සොයා දෙන සිංහල ගුරුවරයා වන්නේ එම ගුණරතන හිමියන්ය.  


වුල්ෆ් ගුණරතන හිමියන් සමඟ බෙහෙවින් කුලුපග වෙයි. ගුණරතන හිමියන්ගෙන් සිංහල භාෂාව පිළිබඳව දැනීමක් ලබාගන්නා අතරේම බුද්ධ ධර්මය, ලංකා ඉතිහාසය, ලංකාවේ රාජ්‍ය පාලනය, පැරණි සාහිත්‍යය, උඩරට නැටුම් කලාව, පුරාතන වාරිමාර්ග, කුල භේදය, බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි අයුරු ආදි බොහෝ දේවල් පිළිබඳවද දැනීමක් ලබා ගනියි.   


වුල්ෆ්ගේ මහනුවර සේවා කාලය එක් වසරකට සීමා වෙයි. උසස්වීමක් ලැබ 1908 අගෝස්තු 28 ද‌ා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහකාර ඒජන්ත (A.G.A) වරයා ලෙස හේ වැඩ භාර ගනියි.  


හම්බන්තොට සේවය පහසුවීමට සිංහල භාෂාව පිළිබඳව ලබා සිටි දැනුම බෙහෙවින් උපකාරි වී තිබේ. ජනයාගේ සිතුම් පැතුම්, චර්යා රටාවන් ඉතා හොඳින් අවබෝධ කර ගන්නට භාෂා දැනුම බොහෝ සෙයින් මහෝපකාරි වී තිබෙයි.  

 

 


වසර තුනකුත් මාස නවයක් හම්බන්තොට සේවය කළ වුල්ෆ් 1911 මැයි 24 ද‌ා එංගලන්තය බලා පිටත් වෙයි. එංගලන්තයට ගිය වුල්ෆ් ලංකාවේ රාජ්‍ය සේවයට ආයුබෝවන් කියමින් එහිම නතර වෙයි ‘විලේජ් ඉන් ද ජන්ගල්’ ලියන්නට පටන් ගනිමින් ලේඛක දිවියද ආරම්භ කරයි. සුප්‍රකට ලේඛිකාවක වූ වර්ජිනියා තම භාර්යාව කර ගනිමින් විවාහ දිවියක්ද ආරම්භ කරයි.  


‘ද විලේජ් ඉන් ද ජන්ගල්’ අතිසාර්ථක නව කතාවක් වෙයි. පාඨක සිත් ඇද බැඳ ගත් ‘විලේජ් ඉන් ද ජන්ගල්’ ගැන බොහෝ අය කථා කරන්නට පටන් ගනියි. ලෙනාර්ඩ්ගේ ලේඛක දිවියට ‘විලේජ් ඉන් ද ජන්ගල්’ හොඳ පදනමක් වෙයි.  


ලෙනාර්ඩ් ගැන එද‌ා මෙද‌ා තුර බොහෝ අය බොහෝ දේවල් කථා කළත් ලෙනාර්ඩ්ගේ සිංහල හා බුද්ධ ධර්මය ගුරුවරයා ගැන කිසිවෙක් කිසිවක් කතා නොකරති.  


ගුණරතන හිමියන්ගේ උපන් ගම ඇත්තේ කොහේද?උන්වහන්සේගේ උපත අපවත්වීම සිදු වූයේ කවද‌ාද? වැඩ සිටියේ කිනම් විහාරස්ථානයේද? ආදි දේවල් පිළිබඳ තොරතුරු සැඟව පවතී. 

 
මේ වන විට අභාවයට පත්ව සිටින ප්‍රවීණ ලේඛකයෙක් වූ විජේසිංහ බෙලිගල්ල මහතාණන් ‘ලෙනාර්ඩ් වුල්ෆ් ගේ මහනුවර භූමිකාව’ නමින් වූ ග්‍රන්ථයක් එළිදක්වා තිබේ. ගුණරතන හිමියන් අම්පිටිය දළුක්ගොල්ල රජමහ විහාරස්ථානයේ වැඩ සිටි බව එම ග්‍රන්ථයේ සඳහන්ව තිබේ.  


ගුණරතන හිමියන් ගැන තොරතුරු සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් දළුක්ගොල්ල විහාරස්ථානය කරා පියනැගුවෙමි.  


‘ඔය කියන හාමුදුරුවො ඒ කාලෙ මේ පන්සලේ වැඩ හිටින්ට ඇති. ඒ වුණත් ඒ විස්තර කියන්ට දන්නේ නෑ. අවුරුදු සීයකට එහායින් තොරතුරු හොයා ගන්න එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි. සමහර වෙලාවට පරණ පොත්වල ඒ හාමුදුරුවො ගැන විස්තර තියෙන්ට පුළුවන්’  


දළුක්ගොල්ල පන්සලේ වගකිවයුතු හිමිනමක් එසේ පැවසූහ.  


මහනුවර දළද‌ා මාලිගාවෙන් ගුණරතන හිමියන් ගැන යම් තොරතුරක් සොයා ගන්නට හැකි වේ යැයි සිතුවෙමි.  


ඒ අනුව පිය නැගුවේ දළද‌ා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලයට ය.  


ගුණරතන හිමියන් ප්‍රාචීන පුස්තකාලයේ පුස්තකාලාධිපති ධුරයක් හොබවා ඇති බැවින් පැරණි පරිග්‍රහණ ලේඛනයක ඇති සටහන් කෙරෙහි අවධානය යොමු කරන්නට සිදුවිය. ගුණරතන හිමියන්ගේ අත් අකුරින් ලියූ සටහන් කිහිපයක් එහිදී දැකගත හැකි විය.  


එම සටහනක් මෙසේය.  


වර්ෂ 1907 ක් වූ ඔක්තෝබර් මස 28 වෙනිදා මෙම පුස්තකාලය ගලගෙදර ගුණරතන ස්ථිවිරයෝ වන මාව භාරයට ගන්ට යෙදුනාය. මෙතැන් පටන් මෙම පුස්තකාලය වෙනුවෙන් ලැබෙන පොත්වල නම් සලකුණු දින නොම්මරාදිය මෙහි පහත සඳහන් කරණු ලැබේ.  


එම සටහනින් පසු භාරගත් පොත්වල විස්තර ගුණරතන හිමියන් සටහන් කර ඇත.  


ලෙනාර්ඩ්ගේ සිංහල ගුරුවරයා පිළිබඳව එයට අමතරව කිසිදු විස්තරයක් සොයා ගන්නට නොහැකි විය. තමාට සිංහල හා බුද්ධ ධර්මය ඉගැන් වූ ගුණරතන හිමියන් පිළිබඳ මතකය ලෙනාර්ඩ්ගේ සිතින් කිසිදා ඈත් නොවී ඇත්තේ ලෙනාර්ඩ් එම ගුරුවරයාට දැක් වූ අසීමිත ගෞරවාදරය නිසාමය. 

 
තොරතුරු ලබා ගැනීමට සහය දැක් වූ මහනුවර දළද‌ා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ පුස්තකාලාධිපති එස්.එම්. අජන්ත සමරකෝන් මහතාට ස්තූතිය පළ කරමි.  

 

 

 

 


සටහන හා ඡායාරූප  
හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ