ලංකාවේ බර ඇද්ද දුම්රිය එන්ජිම
ලංකාවේ ප්‍රථම බලවේග කට්ටලය
(Class S1)
පොදු ප්‍රවාහන සේවා සඳහා වඩාත් සුදුසු වන්නේ දුම්රිය බවට යුරෝපීය රටවල් අපට පෙර තේරුම් ගෙන සිටි බව සඳහන් වන්නේ විවිධාකාර එන්ජින් පිළිබඳව එදා සිටම විවිධාකාර වූ පරීක්ෂණ හා අත්හදා බැලීම්වල නිරතව සිටින බවට අතීත වාර්තා සමීක්ෂණය කිරීමේදී පෙනී යයි.
මේ අනුව ගල් අඟුරුවලින් මිදී ඩීසල් භාවිත කරන එන්ජින් නිෂ්පාදනයට ලෝකයේ විවිධ රටවල් යුහුසුලුව ඇත්තේ 1930 තරම් අතීතයේදීය. මේ උවමනාව ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ඇතිවන්නේ 1938 වසරේ ආරම්භයත් සමගය. ඒ වන විට අසල්වැසි ඉන්දියාව ද ඩීසල් එන්ජින් දුම්රිය වෙනුවෙන් යොදාගෙන තිබිණි. කෙසේ වෙතත් මේ කාලය වන විට ලංකාවේ දුම්රිය සේවා සඳහා මගී ඉල්ලුම වැඩි වී තිබූ අතර, එම ඉල්ලුමට අනුව සේවා සැපයීමට ප්‍රමාණවත් එන්ජින් දෙපාර්තමේන්තුව සතු නොවිණි.
වාණිජ අගනුවර වශයෙන් කොළඹ නගරය පත්වීමත් සමග රටේ විවිධ ප්‍රදේශවලින් විශේෂයෙන් දකුණු පළාතෙන් දිනපතා කොළඹට පැමිණෙන ජනගහණය දිනෙන් දින වැඩි වූ අතර, මේ වෙනුවෙන් ක්‍රමවත් බස් සේවාවක් හෝ දුම්රිය සේවාවක් නොවීය. ගැටලුව රාජ්‍ය මන්ත්‍රණ සභාව දක්වා දුරදිග ගිය පසුව දුම්රිය සේවා වැඩි කළ යුතු බවට එවකට බලයේ පැවති රජය තීරණය කරන ලදී. බ්‍රිතාන්‍යයේ “ඉංග්ලිෂ් ඉලෙක්ට්‍රික් (English Electric Company) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මැදිරි 4කින් යුක්ත බලවේග කට්ටල (Power set) 3ක් 1938 වසරේ ජනවාරි මාසයේදී ලංකාවට පැමිණෙන්නේ ඒ අනුවය.
අශ්වබල 180 කින් යුතු ඩීසල් එන්ජින් දෙකක් මෙම බලවේග කට්ටල ඉදිරිපස හා පසුපස පිහිටා තිබූ අතර, එංගලන්තයේදී D-1, D-2, හා D 3 වශයෙන් නම් කර තිබිණි. ඒ අනුව ලංකාවට ගෙන්වූ ප්‍රථම බලවේග කට්ටල වන්නේද මේවාය. මේවා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු වූ වහාම කරන ලද පළමු කටයුත්ත වූයේ බ්‍රිතාන්‍යයේද උපතින් ලද නාමයත් වෙනස් කර පිළිවෙළින් Class S1, S2, හා S3 ලෙසට නම් කිරීමයි.
මේ අනුව මෙම බලවේග කට්ටල මෙරටට පැමිණ ශ්‍රී ලංකා දුම්රිය සේවාවේ එක්තරා කඩඉම් ලක්ෂ්‍යයක් ලෙසට හැඳින්විය හැකිය. එසේම ඒ කාලය වන විට මෙරට වෙනත් කිසිදු දුම්රියක නොතිබුණු පහසුකම් රැසකින් මෙම බලවේග කට්ටල සමන්විත විය. මැදිරි 4ක් පමණක් නමුත්, පළමු දෙවන හා තෙවන ලෙසට පන්ති 3කින් සමන්විත වූ අතර, නවීන විදුලි පහන්, විදුලි පංකා හා වැසිකිළි පහසුකම් ද බලවේග කට්ටලවල තිබිණි. මගීන් 300කට පහසුවෙන් ඉඳගෙන ගමන් කළ හැකි විය. එසේම රාත්‍රී කාලයේදී වුවත් ගමනාන්තය පැහැදිලිව පෙනෙන ලෙසට මැදිරිවල දොරටු ඉහළින් ප්‍රදර්ශනය කර තිබිණ. පැයට සැතපුම් 55ක වේගයකින් ගමන් කිරීමේ හැකියාව ද මෙම බලවේග කට්ටල සතු විය.
එන්ජින් මෙන් නොව ගමනාන්තවලදී ආපසු හැරවීමට අවශ්‍ය නොවූ හෙයින් දුම්රිය රියැදුරන් හා අනෙකුත් අංශවල ද S වර්ගයේ බලවේග කට්ටල ඉතා ඉක්මනින්ම ජනප්‍රිය විය. 1930 දශකයේදී මෙම පහසුකම් අතිනවීන විය.
මෙම බලවේග කට්ටල ලංකාවට පැමිණ මාසයක පමණ කාලයක් පරීක්ෂණ චාරිකාවල නිරත වී ඉන් අනතුරුව එවකට වැඩිම මගී ඉල්ලුමක් පැවති මුහුදුබඩ මාර්ගයට යෙදවීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබිණ. ඒ අනුව 1938 පෙබරවාරි 25 දින “මංගල ගමනට’ දින නියම විය. එදින පෙරවරු 9.30ට කොළඹ කොටුව දුම්රිය පොළේදී පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වී ඇත්තේ එවකට පැවති ආණ්ඩුවේ මංමාවත් හා කර්මාන්ත ඇමැතිවරයා වූ සර් ජෝන් කොතලාවල මහතාය. කොළඹ සිට ගාල්ල බලා යන මංගල ගමනේදී දුම්රියෙන් යාමට අවකාශ සලසා තිබුණේ ආරාධිතයන්ට පමණකි.
මේ නිසා මෙම ෙඑතිහාසික ගමනට සහභාගිවීමට පැමිණි සාමාන්‍ය ජනතාවට සිදුවූයේ කොටුව දුම්රියපොළේ වේදිකාවේ “විල්ල හුටස්” වී ඈතින් ඈතට ඇදී යන බලවේග කට්ටල මනමාලිය දෙස බලමින් සුසුම් හෙළන්නටය.
කෙසේ වෙතත් එදින පෙ.ව. 9.30 උත්සවය ගරු ගාම්භීර ලෙස පවත්වා ඇති අතර, ඇමැතිවරයා විසින් එදින ධාවනයේ යෙදුණු බලවේග කට්ටලය ඇතුළු අනෙක් කට්ටල 2ද පිළිවෙළින් Silver Foam, Silver Spray, Silver Mist වශයෙන් නම් කර තිබේ. මංගල දුම්රිය ගමනේ කාලසටහන වී ඇත්තේ ආරාධිතයන් සමග ගාල්ලට ගොස් ගාල්ලේ ඔරියන්ටල් හෝටලයේ පවත්වන දිවා භෝජනයකින් පසුව ආපසු කොළඹට පැමිණීමයි.
මෙදින එම දුම්රිය උදෑසන 9.55ට කොළඹ කොටුවෙන් ගමන් අරඹා ඇති අතර, අතරමග කිසිදු නැවතුම්පලක නොනවත්වා දහවල් 12.05ට ගාල්ලට ළඟා වී තිබේ. මෙම අලුත් පෙරළිය දැක බලා ගැනීමට අතරමග දුම්රිය මග දෙපස විශාල වශයෙන් ජනතාව එක් රැස්ව සිටි බව එකල පුවත්පත් වාර්තා කර ඇත. අනතුරුව ප.ව. 2.07ට ගාල්ලෙන් පිටත් ව ඇති දුම්රිය සවස 4.10ට නැවත කොළඹ කොටුවට පැමිණ චාරිකාව නිමා කර ඇත.
මෙසේ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබුණු එම බලවේග කට්ටල හා හා පුරා කියා රේල් පාරට පිවිසුණු නමුත් මගී ජනතාවට “සින්න” වී ඇත්තේ 1938 මාර්තු 14 දා ය. ඉන්පසුව ඉරිදා හැර සතියේ දිනවල කොළඹ හා මාතර අතර ගමන් වාර 4ක් වශයෙන් ධාවනයට යොදවා ඇති අතර, ශීඝ්‍රගාමී දුම්රියන් නතර කර ඇත්තේ මරදාන, කොළඹ කොටුව, මොරටුව, පානදුර, දකුණු කළුතර, අලුත්ගම, අම්බලන්ගොඩ, ගාල්ල, එතැන් සිට මාතර දක්වා සෑම දුම්රිය ස්ථානයකම නතර කර ඇත.
මගීන් සඳහා වෙන් වූ පළමු දිනයේදීත් විශාල පිරිසකට බලවේග කට්ටල දුම්රියෙන් ගමන් කිරීමට නොහැකි වී ඇත්තේ බොහෝ දෙනකු කලින් ප්‍රවේශපත් වෙන්කරවා ගෙන තිබූ හෙයිනි. නියමිත දින වන විට ටිකට් සියල්ල විකිණී තිබිණ. මෙම බලවේග කට්ටලවල පෙනුම ද ඉතා මනරම් වූ අතර, තුන්වැනි පන්තියේ මැදිරි සඳහා පළමුවරට විදුලි පංකා සවිකර ඇත්තේ ද මෙම බලවේග කට්ටලවලය. මෙය ඒ කාලයේ හැටියට සාමාන්‍ය ජනතාවට ලැබුණු ඉහළ පහසුකමකි.
ඔයින් මෙයින් ලංකාවේ දුම්රිය මාර්ග පද්ධිතියම ආක්‍රමණය කළ පවර් සෙට් නොඑසේ නම් බලවේග කට්ටල අදටත් දුම්රිය මගීන් අතර ජනප්‍රියව තිබෙන්නේ වේගවත් බව හා අනවශ්‍ය ගැස්සීම් පැද්දීම්වලින් තොරව ගමනේ යෙදෙන හෙයිනි.
තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුවේ නලින් අබේසිංහ මහතාට ස්තුතියි
ලබන සතියේ තවත් බලවේග කට්ටලයක් ගැන
තිලක් පුෂ්පකුමාර
(ඡායාරූප අනුග්‍රහය - නලින් අබේසිංහ)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලංකා දුම්රිය සේවයේ ප්‍රථම බලවේග කට්ටලය Class-S1 (එස්.වන්)