IMG-LOGO

රවී නීච වීම ඔබේ ලග්නයට කොහොමද ?

ආයත්‍ය, අර්ක, වරුණ, භාණු, දිනකර, ​ෙහ්ලි, සූර්යා යන නම්වලින් හඳුන්වන සෞරග්‍රහ මණ්ඩලයේ පියා ද වන රවි ග්‍රහයා නීච තුලා රාශියෙන් මිදී නොවැම්බර් මස 16 වැනි සිකුරාද‌ා ප.ව. 6.33ට තම මිත්‍ර රාශියක් වූ වෘශ්චිකයට පැමිණේ. රවි නීච වීම යහපත් බව ජ්‍යෝතිෂ්‍යයේ සඳහන් වේ. රජයකට වුවත් යහපත්ය. ඊට හේතුව පාලකයින් ආඩම්බර, අහංකාර නොවී කටයුතු කරන බැවිනි. යාචකයකුට වුව රවි නීච නම් හිඟමන් ලැබේ. එ් ඔලුව පාත්කර බැගෑපත්ව හිඟමන් යදින බැවිනි. දැන් රවි තරමක් බලවත් වී ඇත. වෘශ්චික රාශියේ ගුරුද මිත්‍ර රාශිගතය. රවිට ගුරු මිත්‍ර ග්‍රහයෙකි.   


ශ්‍රී ලංකා කෙන්දරයේ මෙම ග්‍රහයින් දෙදෙනා සංයෝග වන්නේ පවතින රජය නියෝජනය කරන 10 වැන්නේය. ගුරු සාමාන්‍යයෙන් දේශපාලන පෙරළි සිදු කරන ග්‍රහයෙකි. රවි වේගවත්ය. දෙදෙනා සංයෝගව සිටින මාසයක කාලය තුළ දේශපාලන පෙරළි සිදු කරනු ඇත. රවි ග්‍රහයා රාජ්‍ය සභා, සිංහාසන, ඉන්ධන, අවිආයුධ, ගින්දර, ඖෂධ, වෛද්‍යවරු, රජයේ නිලධාරීහු, උසාවි, රජයේ කාර්යාල, වනාන්තර, කඳු මුදුන්, ශිව දේවාල, බළකොටු, රජයේ ගොඩනැගිලි යන ස්ථානවල බලය පවත්වයි. මේ අනුව සඳහන් කරන ලද ස්ථානවල සහ පුද්ගලයින් පිළිබඳව යම් යම් වෙනස්කම් සිදුවිය හැකිය. රවි, මේෂ, වෘෂභ, සිංහ, වෘශ්චික, ධනු, කුම්භ ලග්න අයට සුභ ග්‍රහයෙකි.   


මිථුන, කන්‍යා, තුලා, මකර, මීන හිමියන්ට පාපී ග්‍රහයෙකි. දැන් ඒ ඒ ලග්න හිමියන්ට රවි, වෘශ්චික රාශියේ ගත කරන දෙසැම්බර් මස 16 වන ඉරු දින පෙ.ව. 9.10 දක්වා කලාය තුළ කොහොමද යන්න බලමු.   


මේෂ ලග්නය   


රවි ඔබට ශුභ ග්‍රහයෙකි. පැමිණ ඇත්තේ අටවැන්නටය. 8 වැන්නට නම් රවි යහපත් තැනක් නොවේ. දුක් කරදරවලට මුහුණපාන්නට සිදු වේ. විවාහයෙන් යම් දෙයක් ලැබීමට අැත්නම් රවි ග්‍රහයා ඔබගේ ජන්ම කේන්ද්‍රයේ තැන්පත් බල දුබලතාව මත සිදුවේ. මධ්‍යම වයස පසු කරන අයට ලෙඩ රෝග ඇතිවිය හැකිය.   


වෘෂභ ලග්නය.   


ඔබටද සුබ ඵල ගෙන දෙන ග්‍රහයෙක් වූ රවි 7 වැන්නට පැමිණ ඇත. විවාහ බලාපොරොත්තුව සිටින අයට මෙම මාසය යහපත් නැත. විවාහකයින් අතර මත භේද ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. අන් අය සමඟ හවුලේ කරන කටයුතුවලින් අලාභ සිදුවිය හැකිය. වයස් ගත අයට අර්ශස්, මුත්‍රා, ලිංගාශ්‍රිත රෝග ඇතිවිය හැකිය. රවි බලවත්ව පිහිටි අයට මෙම අශුභ බල නොපානු ඇත.   


මිථුන ලග්නය. 

 
ඔබේ පාපී ග්‍රහයා වන රවි 6 වැන්නට පැමිණ ඇත. 6 වැන්න රවිට ඉතා බලවත් තැනකි. ඔබගේ ජන්ම කේන්ද්‍රයේද රවි බලවත් නම් සතුරන් යටත් කර හැකි බලයක් ලැබේ. සැපසම්පත්වලින් දියුණුවක් ලැබේ. නිරෝගී සුවය ලැබේ. රක්‍ෂා බලාපොරොත්තු අයගේ සතුටට හේතුවන කරුණු දැන ගැනීමට ලැබේ. කාමාශා අධික වේ. රවි දුබල අයට මෙම ශුභ ඵල නොලැබී යනු ඇත.   


කටක ලග්නය.   


ඔබටද අශුභ ඵල ලබා දෙන රවි ග්‍රහයා 5 වැන්නට පැමිණ ඇත. ඉගෙනුම ලබන අයට නම් යහපත්ය. දරු ඵල බලාපොරොත්තු ඉ​ටු නොවේ. දරුවන් සමඟ අමනාපකම් ඇති කර ගනී. ස්ත්‍රී පුරුෂයින්ගේ කාමාශාවන් රාගික හැඟුම් වැඩි වේ. රේස් සූදු සඳහා මුදල් යෙදවීමෙන් ප්‍රතිඵල නොලැබේ. ක්‍රීඩා කටයුතුවල යෙදෙන අයට ජයග්‍රහණ ලැබේ.   


සිංහ ලග්නය.   


ඔබේ ලග්නාධිපති රවි 4 වැන්නට පැමිණේ. ලග්නාධිපති රවි 4 වැන්නේම තැන්පත් නම් ශුභ නැත. මව්පිය නෑදෑ විරෝධතා ඇතිවේ. ගේ දොර ඉඩකඩම් ආරවුල් ඇති වේ. ශරීර සෞඛය තත්ත්වයට හොද නැත.   


පිත් රෝග සෑදිය හැකිය. පව් කරන අය ආශ්‍රයට වැටේ. රවි බලවත්ව ඇති සිංහ ලග්න හිමියන්ට අශුභ ඵල නොලැබෙනු ඇත. දියුණුව ඇති වේ. ප්‍රසිද්ධ කෙනෙකු වේ.   


කන්‍යා ලග්නය   


ඔබටද පාපී ග්‍රහයෙකු වූ රවි 3 වැන්නට පැමිණ සිටී. පැමිණ ඇති ස්ථානය නම් ශුභ තැනකි. ඡන්ම කේන්දරයේද රවි 3 වැන්නේ නම් උසස් ඉගෙනුම, ධෛර්යය, පොත් පත් ලිවීම ආදියට යහපත් මාසයකි. නිරෝගී වේ. කරුණාවන්ත වේ. සහෝදර සහෝදරියන් සමග ද අසල්වැසියන් ඥ‌ාතීන් සමග හොඳ සම්බන්ධතා ඇති කර ගනී. රවි දුබල තැනක ඇති අයට ශුභ ඵල නොලැබී යයි.   


තුලා ලග්නය   


2 වැන්නට පැමිණ ඇති රවි ඔබට පාපී ග්‍රහයෙකි. රවි බලවත්ම තැනක පිහිටි අයට පමණක් අශුභ ඵල නොලැබේ. අන් අයට අක්ෂි රෝග සෑදිය හැකිය. ලැබීම් පක්ෂය යහපත් නැත. පවුල් ජීවිතයේදී අවුල් ඇති විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ඔබ කතා බහුල අයෙකු නම් කල්පනාකාරීව වචන හසුරු වන්න.   


වෘශ්චික ලග්නය   


රවි ග්‍රහයා ඔබේ ලග්නයටම පැමිණ ඇත. ඔබ සෙනසුරු ලග්න ඒරාෂ්ඨකයේ අවසන් කොටස ගත කරමින් සිටී. ගුරු සමග රවි ලග්නයට පැමිණීම තරමක සැනසීමකි. උද් යෝගයෙන්, පිබිදුණු ගතියකින් කටයුතුවලට යොමු වේ. අන් අයට වඩා කැපී පෙනේ. රෝග අඩු වුවත් හදිසි රෝග ඇති වීමට ඉඩ ඇත. විශේෂයෙන් පීනස් රෝග සෑදීමේ ඉඩ කඩ වැඩිය.   


ධනු ලග්නය   


ඔබට ශුභ ග්‍රහයෙකු වුවත් පැමිණ ඇති ස්ථානය ශුභ අශුභ මිශ්‍ර තැනකි. ජන්ම කේන්දරයේ රවි තැන්පත් ස්වාභාවය අනුව තීරණය කළ යුතුය. වස්තු හානි කරයි. නඩුහබවලට පටලවයි. ඒ ඔබ රවි මහ දශාව හෝ එම අතුරු දශාව ගත කරමින් සිටින්නේ නම් පමණි. නිකරුණේ වියදම් කරවයි.   


ශුභ ඵල වශයෙන් විදේශ ගමන් යෙදේ. මිනිසුන් කෙරේ අනුකම්පාවෙන් කටයුතු කරයි. රෝහල්වල සිටින රෝගීන්ට උදව් උපකාර ඇප උපස්ථාන කිරීමට ලැබේ.   


මකර ලග්නය   


රවි ඔබගේ 11 වැන්නට පැමිණේ. ඔබට පාපී ග්‍රහයා වුවත් ජන්ම කේන්දරයේ ද බලවත් නම් උසස් මිතුරන් ආශ්‍රය කිරීමට ලැබෙනු ඇත. ඔවුන්ගෙන් උදව් ලැබේ. ධනය ලැබේ. ව්‍යාපාරවලින් උසස් අයගෙන් වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. ලෞකික දියුණුවට යහපත් මාසයකි. මේ දේවල් හානි කරනු ලබන්නේ රවි දුර්වලව සතුරු රාශිගතව පාපීන් සමග සිටින විටය.   


කුම්භ ලග්නය   


ඔබට ශුභ ග්‍රහයෙකු වන රවි 10 වැන්න වැනි ශුබ තැනකට පැමිණ ඇත. රවි ඔබගේ බලවත් නම් මෙම මාසයේදී ශුභ ඵල ලැබිය හැකිය. රක්ෂා නැති අයට රක්ෂා ලැබේ. උසස් තනතුරු, ප්‍රසිද්ධිය, කීර්තිය, ලෞකික සැප සම්පත් නම්බු නාම ලැබේ. ඥ‌ානවන්ත වේ. රවි දුබල අය නපුරු ක්‍රියාවලට යොමු කරවයි.   


මීන ලග්නය   


රවි ඔබට පාපී ග්‍රහයෙකි. ඔබගේ ජන්ම කේන්දරයේ රවි පිහිටා ඇති බල දුබලකම් අනුව 9 වැන්නට පැමිණ රවිගෙන් ලැබේ. පියාගෙන් යම් දේපළක් ලැබීමට ඇත්නම් මෙම මාසයේදී එය නොලැබී යයි. එහෙත් ඔබ පියාට හිතවත්ය. පියාගේ අදහස්වලට විරුද්ධව සහකාරිය සොයා ගනී. උසස් ඉගෙනීම, විදේශ සංචාරය රවි 9 වැන්නේදී ලැබිය හැකි ශුභ ඵල වේ. කැපී පෙනෙන පවුලේ ප්‍රධානියකු වන්නේ රවි ග්‍රහයා ද 9 වැන්නේ සිටින ධනු ලග්න හිමියන්ය.   

 

 

 


ජ්‍යොතිර්වේදී හංවැල්ලේ 
ඇස්. සිරිවර්ධන
133 සී. ජයන්ති පාර,
දොම්පේ.   



අදහස් (0)

රවී නීච වීම ඔබේ ලග්නයට කොහොමද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1718 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 569 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 659 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site