ගමක නම හැදුණු හැටි

ගැරඬිගල

සංවර්ධනය වී ඇති ගලගෙදර කපොල්ල   

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ගලගෙදර පොලිස් ස්ථානය   

 

 

 

මහනුවර දිස්ත්‍රික්කයේ බටහිර දෙසින් පිහිටි ග්‍රාමීය සුන්දරත්වයකින් පරිපූර්ණ ගලගෙදර ප්‍රදේශයේ ඉතිහාස කථාව ක්‍රි. වර්ෂ 113 - 115 වූ ගජබා රජ පුවත දක්වා ඈත අතීතයකට දිවයන්නකි.  


මහනුවර රාජධානියට පිවිසීමේදී බලන, බලකඩුව හා ගලගෙදර යන අතිදුෂ්කර දුර්ග තුනක් වූ අතර ඓතිහාසික ඇතුගල්පුරයේ සිට පැමිණීමේදී ගලගෙදර දුර්ගය හෙවත් ගලගෙදර කපොල්ල හමුවේ.   


වත්මන් සොයාගැනීම් අනුව මෙම ප්‍රදේශය දේවානම්පියතිස්ස රජ සමයටත් පෙර සිට පැවැති බවට ඒ අවට ඇති ඉපැරැණි සෙල්ලිපි සාක්ෂි දරයි.   
ගලගෙදර ගිරිහාගම කඳු මුදුනෙහි ගැරැඬිගල පර්වතය ආශ්‍රිතව භගවා ලෙන සෙල්ලිපිය හා සමාන සෙල්ලිපියක් මේ වනතුරු දිවයිනෙහි කිසිම පළාතකින් හමුවී නැත. එහි සඳහන්ව ඇත්තේ ‘බරුකචග මදලහ ලෙන චතුදිෂ සගස දිනේ’ යන බ්‍රාහ්මීය අක්ෂර යෙදුමකි. ඉන් කියවෙන්නේ භාරකච්චු නමැති (වත්මනෙහි ඔරෝමා) නම් වූ ඉන්දියාවේ ප්‍රසිද්ධ වරායට ගිය ‘මදල’ නමැත්තාගේ ලෙන සතරදිග්භාගයෙන් පැමිණි සංඝයාට පූජා කළ වගයි.   


ඉන්දියාවේ බටහිර වෙරළෙහි පිහිටි බාරුකච්ච වරායට ගොස් වෙළෙඳාමේ යෙදුණු මදලගේ ගම ගලගෙදර බවත්, ඔහු සතුව ව්‍යාපාර පැවැති බවත් එකල සංඝයා වහන්සේලා සිටි බැවින් මේ ප්‍රදේශයේ ආගමික පරිසරය කෙතරම් උසස් තත්ත්වයක තිබෙන්නට ඇත්දැයි අපට සිතාගත හැක.   
ආර්යයන් දැදුරුඔය දිගේ පැමිණ ගලගෙදර කොස්පොතු ඔයෙන් එගොඩ වී වෑඋඩ, ගලබාව, ගුණදාහ ගිරිහාගම, බගවා ලෙන යන පෙදෙස්වලට සේන්දු වූ බව මනාව පැහැදිලි වේ. එලෙසම ඉපැරැණි ශෛලමය බුදු රුවක් හමුවී ඇත්තේ ද මෙම විහාරය අසලින්ය.   


ක්‍රිස්තු පූර්ව 104 වැන්නෙහිදී වට්ඨගාමිණී හෙවත් වළගම්බා රජු සමයේදී සොළී බලය පැවැති හෙයින් එතුමා වසර 16ක්ම සැඟවී සිට සේනා සංවිධානය කර නැවත රජකමට පත්ව ඇත. රජු සැඟවී සිටි ස්ථානයන්හි ගල්ලෙන් තුළ විහාර මන්දිර ඉදිකළ බවත් ඒවායෙහි සෙල්ලිපි තැන්පත් කළ අතර ගුණදාහ, වෙහෙරගල, කොළුගල යන විහාරස්ථානවල ඒවා අදත් සුරක්ෂිතව පවතී. ඒවා නැරඹීමට පැමිණි රජු ගුණදාහ කඳු මත සංඝයාවහන්සේලා දහසකගේ සිවුරු වනා කහ පාටින් දිස්වූ හෙයින් ඒ පර්වතය කසාගල යන නම් තබා පසුව කහගල බවට පත්වී ඇත.   


කහගල, ගැරඬිගල, බැලුංගල, වම්බටුගල යන සුවිසල් පර්වත හා කඳුවලින් වටවූ නිසාම එදා ගලගෙදර කපොල්ල බිහිවී ඇති අතර ගලගෙදර නාම සම්භවය පිළිබඳව ද විවිධ ජනප්‍රවාද පවතී.   


ගලගෙදර මොරවක්දෙනියේ, වත්තේ ගෙදර ගෙහිමියන්ට වටිනා මැණික්ගලක් හමුවී ඇත. එය මැණිකක් බව නොදන්නා ඔවුහු එම ගල සිය කුස්සියෙහි ළිප්ගලක් ලෙස යොදාගෙන ඇත. ඉන්දියාවේ සිට මෙහි පැමිණි බමුණෙකුට කෙසේ හෝ මැණික් ගලක් තිබෙනු දැක ඔහු එම නිවස සොයා ගොස් ගෙහිමියන් හමුවී කතාබස් කරමින් සිටියදී රෑ බෝවූ නිසා එදින රාත්‍රිය එම නිවසෙහි නවාතැන් ගත්තේය. ඔහු මේ ගල පිළිබඳව විපරම් කර බලා කුස්සියේ ළිපට ළිප්ගලක් සේ තබා ඇති බව දැක ඔවුන්ට මෙසේ පවසා ඇත.   
‘මෙම නිවසේ ඔබ සියලුදෙනාම විවිධ දුක්කරදර මැද්දේ ජීවත්වන්නේ මා දන්නා ශාස්ත්‍රය අනුව ඔබලාගේ කුස්සියෙහි වැරැදි විදියට ළිප්ගලක් තබා තිබෙනවා. එය ගෙදරට හූනියමක් වගෙයි. මේ සියලු දුක් කරදරවලට හේතුව එයයි. එය ඉවත්කරන තුරු ගෙදරට වගතුවක් වෙන්නේ නැහැ. එය ගලවා මා අතට දුන්නොත් එය ජීවම් කර ජලාශයකට දමන්නම්. එවිට තුන් වරුවක් ගතවීමට මත්තෙන් ඔය කරදර බාධක සියල්ල දුරුවී යාවී’ යැයි කපටි බමුණා පැවසීය.   
යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව දැඩි විශ්වාසයක් තිබුණ නිවැසියන් බමුණගේ චාටු බස් අසා ‘අනේ ඔබතුමාට පින්අත්වෙයි. ඔබතුමාට දෙන්න කිසිදෙයක් නැහැ. නැවතත් පැමිණි දිනක අපගේ නිවසටත් ගොඩවී යන්න’ යැයි කියමින් ගල ගලවා බමුණාට දී ඇත.   


තමාගේ අදහස මුදුන්පත්ව සතුටට පත් බමුණා ගල ද රැගෙන සත්කෝරලය දෙසට යද්දී එම ගලෙන් රැස් විහිදී බබළන්නට විය. එසේ බැබලුන ස්ථානය බැබළාගම නම් විය. එතැන් සිට සැතැපුම් 4 ක් පමණ දුර යද්දී තවදුරටත් එම ගලෙන් වර්ණ දහස් ගණනක් විහිදෙන්නට විය. එම ස්ථානය ගුණදාහ යනුවෙන් නම් කෙරිණි.   
එතැන් සිට තවත් දුරට යද්දී වෙහෙරගල ලෙන් විහාරය පිහිටි කන්ද පාමුල වූ ජලාශයෙන් දෑත් සෝදා ගැනීමට සූදානම් වෙද්දී අත රැඳි මැණික් ගල ගිලිහී ජලාශයට වැටී අතුරුදන් විය. ගල වැටුණ හෙයින් එම ස්ථානය ගලබාව නමින් හඳුන්වා ඇති අතර එදා ගල තිබුණ ගෙදර ගලගෙදර නම් වූ බව ජනවහරේ පවතී.   
1765 ලන්දේසි ආක්‍රමණයේදී ගලගෙදර බළකොටුව ද යටත් කර ගත් අතර 1803 දී ඉංග්‍රීසීන් විසින් ද අත්පත් කරගෙන ඇත. 1818 උඩරට විමුක්ති කැරැලි සමයේදී මෙම බළකොටුව සඳහා ආසියාතික හා යුරෝපීය භටයන් 60 දෙනකු අනුයුක්ත කර සිටි බව ඉතිහාසයේ සඳහන්ව ඇත.   


ඔවුන්ගේ පාලන සමයේදී දිස්ත්‍රික් උසාවිය, පොලිස් ස්ථානය, ඩිස්පෙන්සරිය, තැපැල් කාර්යාලය සහ ඉංග්‍රීසි ස්වභාෂා පාසල ආරම්භ කර ඇත.   

 


ගලගෙදර උසාවිය   


1848 වසරේදී යටිනුවර, ගලගෙදර සහ හාරිස්පත්තුව යන කොට්ඨාස තුනක නඩු විසඳීම සඳහා ගලගෙදර දිස්ත්‍රික් උසාවිය නමින් මඩවළතැන්න ප්‍රදේශයේ මෙම උසාවිය ආරම්භ කර ඇත. ආරම්භ කළ දිනයේ සිට 1885 දක්වා වසර 37ක්ම එහි මහේස්ත්‍රාත් තනතුර දරා ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි. 1885 වසරේදී ප්‍රථම වතාවට සිංහලයෙකු මහේස්ත්‍රාත් පදවිය දරා ඇත්තේ වෑත්තෑව පරණගම වලව්වේ ඇල්බට් එඩ්වඩ් පරණගම මහතාය. වත්මනෙහි එය සංවර්ධනය වී ගලගෙදර මහේස්ත්‍රාත් උසාවිය බවට පත්ව ඇත.   
ජාතික පාසල   


1823 ඉංග්‍රීසි පාලන යුගයේදී ගලගෙදර ඉංග්‍රීසි පාඨශාලාව යනුවෙන් මෙය ආරම්භ කර ඇති අතර 1890දී රජයේ ද්විභාෂා පාඨශාලාව නමිනුත් 1946 දී රජයේ ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසි පාඨශාලාව යනුවෙන් බෞද්ධ ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තික දරුවන් ද අධ්‍යාපනය හදාරා ඇත.   


1954 වසරේදී එවකට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ ඊ.ඒ. නුගවෙල මහතා විසින් මෙය සංවර්ධනය කර අග්‍රාමාත්‍යව සිටි ජෝන් කොතලාවල මහතා විසින් රජයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාලය නමින් විවෘත කරන ලදී.   


ඉන්පසු 1979 දී මධ්‍ය මහා විද්‍යාලය නමින් ද 1998 දී ගලගෙදර ජාතික පාසල බවට ද පත්ව ඇත. 

 
තුම්පනේ පළාතේ ප්‍රධාන සංඝනායක වෑත්තෑවේ ශ්‍රී ධම්මාලංකාර, තුම්පනේ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පොල්වත්තේ සෝමානන්ද නාහිමිවරුන් වැනි හිමිවරුන් ද ටී.බී. පොහොලියද්ද මහදිසාව අමාත්‍ය ටී.බී. ඉලංගරත්න, සිවිල් සේවා නිලධාරී ඩඩ්ලි දිසානායක, රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ඒ.එම්. ඔබයිදුල්ලා වැනි කීර්තිමත් ආදි ශිෂ්‍යයෝ වෙති.   


මේ වනවිට දෙමහල් ගොඩනැගිලි, ක්‍රීඩාගාර, තාක්ෂණික පුස්තකාල ආදී දිවයිනේ සුපිරි විද්‍යාලයකට අවශ්‍ය අංගෝපාංගයන්ගෙන් සමන්විතව ගුරු මඩුල්ල 70 දෙනෙකුගෙන් හා සිසුසිසුවියෝ 1,250 ක් සමග අධ්‍යාපනය හදාරති.   


වත්මනෙහි ගලගෙදර මුස්ලිම් දූ දරුවන් සඳහා ගලගෙදර ජබාර් මුස්ලිම් මහා විද්‍යාලය ද බාලිකාවන් සඳහා සුජාතා බාලිකා විදුහල නමින් ද විදුහල් ආරම්භ කර ප්‍රදේශයේ දූ දරුවෝ අධ්‍යාපනය ලබති.   


ගලගෙදර ශුද්ධ වූ රෆායෙල් මුනිඳුන්ගේ දේවස්ථානය   


ඓතිහාසික ඇතුගල්පුර පදවියත්, සෙංකඩගල පදවියත් වෙන් වන සීමාවට මායිම්ව ගලගෙදර නම් කපොල්ලෙහි මහනුවර පදවියේ කටුගස්තොට මීසමට අයත් මෙම දෙව්මැදුර අග්‍ර දූත ශුද්ධ වූ රෆායෙල්තුමන්ට කැපකර ඇත.   


වත්මනෙහි බෙනදිකානු පියවරුන් සතු වන මෙම දෙව් මැදුර වසර 140කටත් වඩා පැරණි ඉතිහාසයකට නෑකම් කියයි. ශ්‍රී ලංකාවේ ශු. රෆායෙල් අග්‍ර දූතයන්ට කැපවූ දේවස්ථාන ඉතා සුළු සංඛ්‍යාවක් වන අතර මහනුවර පදවියේ දේවදූතයන්ට කැපවූ එකම දෙව්මැදුර ද මෙය වේ. 

 
බහු ජාතික බහු ආගමික පිරිසක් ජීවත්වෙන ගලගෙදර ප්‍රදේශයේ පදිංචි ඉතා ස්වල්ප පවුල් ප්‍රමාණයක් වූ රෝමානු කතෝලික ජනතාවට මෙන්ම දිවයින පුරා වෙසෙන බැතිමතුන්ගේ පුද පූජාවන්ට පාත්‍ර වූ දේවස්ථානයක් වේ.   


ගලගෙදර මඩිගේ ජාමිඋල් අන්වර් ජුම්මා මස්ජිඩ් (මුස්ලිම් දේවස්ථානය)   


‘මඩිගේ’ යනු සිංහල රජ දවස වෙළෙඳ මධ්‍යස්ථානය හැඳින්වූ නාමයයි. අවට ගම්වල ගොවීහු විසින් ගෙන එන ලද කරාබු, ගම්මිරිස්, සාදික්කා, කුරුඳු වැනි කෘෂි නිෂ්පාදන මේ ස්ථානයේදී එක්රැස් කිරීමෙන් පසු පැමිණි වෙළෙන්ඳෝ ඒවා තොග වශයෙන් රැගෙන ගියහ.   


වැඩි වශයෙන්ම මෙම වෙ​ෙළඳ කටයුතු මුස්ලිම්වරුන් විසින් සිදු වූ අතර ඔවුනට දේවස්ථානයක් කලුගල වත්තෙහි පිහිටුවා තිබිණි. ඉන්පසු ක්‍රමක්‍රමයෙන් නගරබදව ජනාවාස බිහි වූ නිසා ජනගහනය අධිකවීම හේතුවෙන් 1905 වසරේදී වත්මන් මුස්ලිම් පල්ලිය ඉදි විය. මේ සඳහා ගලගෙදර විසූ පී. අහම්මදු ලෙබ්බේ යන අය විසින් ඉඩම පරිත්‍යාග කළ බව ද ප්‍රදේශවාසීන්ගේ උදව් උපකාර මත පල්ලිය ඉදිවූ බව ද තතු දත් අය කියති.   


එයින් පසු 1980 ගණන්වලදී විදේශගත වූවන්ගේ ද ප්‍රදේශයේ දානපතියන්ගේ ද ආධාර මත අද වනවිට ඉතා සිත්කළු තෙමහල් මුස්ලිම් දේවස්ථානයක් බවට පරිවර්තනය වී ඇත.   
2018 වසරේදී පැවැත්වූ සංගණනය අනුව ගලගෙදර ප්‍රදේශයේ ජනගහණය (මුස්ලිම්) 2692ක් වූ අතර මෙම සියල්ලන්ගේම ආගමික කටයුතු සිදුකරනුයේ මෙම දේවස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි.   


පසු කාලීනව ඉංග්‍රීසීහු ආධිපත්‍ය දරන සමයේදී වගා කටයුතු සඳහා ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ගෙන්වා ඔවුන් සතු වූ දී ඇල්ලවත්ත, නරවත්ත, බැටිවත්ත, ග්‍රීන්වුඩ්, බෝලගල වත්ත, කළුගල වත්ත වැනි අක්කර දහස් ගණන් විශාල වතුවල සේවයට යොදවා ඇත. එසේ ගෙන්වා ගත් දෙමළ කම්කරුවෙකුට දිනකට සත පණහක (50) වැටුපක් ද වාසස්ථාන සඳහා ටකරන් තහඩු සෙවිලි කළ කළුගලින් බැඳි බිත්ති සහිත ලයින් කාමර ඉදිකර දී ඇත. අසනීප අවස්ථාවලදී නොමිලයේ බෙහෙත් ගැනීමට වතු ඩිස්පෙන්සරි, සතියෙන් සතිය ප්‍රමාණවත් සහල් පිටි, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වතු පාසල් ලබා දී ඇත.   


වතු කංකානම් කෙනෙකුට දිනකට රුපියල් 8.00 ක වැටුපක්ද, අශ්වයෙක් ද වතු කම්කරුවන් රටින් පැනයාමට තැත් කළ හොත් වෙඩි තබා මරා දැමීම සඳහා රිවෝල්වරයක් ද ලබා දී තිබිණි. ඔවුහු වතුවල තේ, පොල්, රබර් වගාකරමින් සුදු මහත්වරුන්ගේ අණට කීකරුව කටයුතු කළහ.   


ඇතැම්හු අසල්වැසි කාන්තාවන් සමග විවාහ වී සිටි අතර 1964 වසරේදී එවකට අගමැතිණියව සිටි සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් කළ සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන් කොටසක් ඉන්දියාවට පිටත් කෙරිණ.   


2018 වසරේදී පැවැත්වූ ජන සංගණනය අනුව ගලගෙදර ප්‍රදේශයේ වෙසෙන දමිල ජන සංඛ්‍යාව 321 කි.   


පොලිසිය   


1867 වසරේදී එවකට පොලිස්පතිව සිටි ඩබ්ලිව්. කැම්බල් මහතාගේ නියමයෙන් පොලිස් ස්ථාන ගොඩනැගිල්ල ඉදිවිය. වරින් වර සුළු සංවර්ධන කළ මුත් එදා බැඳි කලුගල් බිත්ති එලෙසින්ම පවතී.   


1946 වසරේදී සෝල්බරි කොමිසමේ යෝජනා පරිදි ගලගෙදර කොට්ඨාසය කඩුගන්නාව ආසනයට අනුයුක්ත කොට ගලගෙදර කොට්ඨාසය වෙනුවෙන් පී.බී. රණරාජා, ඒ.බී. නුගවෙල, ඊ.ඒ. නුගවෙල යන මැති ඇමැතිවරු පෙනී සිටියහ. 1960 වසරේදී ගලගෙදර වෙනම මැතිවරණ කොට්ඨාසයක් බවට පත්ව ඒ.සී. මරික්කාර්, අබ්දුල් ජබාර්, ඩබ්.එම්.ජී.ටී. බණ්ඩා, තමරා කුමාරි ඉලංගරත්න, ආචාර්ය සරත් අමුණුගම යන මැති ඇමැතිවරු පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් පොදු උපයෝගිතා සේවාවන්, පොදු මංමාවත් සංවර්ධනය කරමින් ජනතාවට සුභසාධන පහසුකම් සැලැසීමට පියවර ගත්හ. ඒ කාර්යයෙහිදී ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය සභාව සමග මධ්‍යම පළාත් සභාව අනුග්‍රාහකත්වය දැක්වූහ. 

 
වසර 2018 වනවිට ගලගෙදර ජනගහණය 40,178 කි. ග්‍රාම සේවා වසම් 67කින් ගම්මාන 135කින් සමන්විත මේ ප්‍රදේශයේ වෙසෙන සිංහල, මුස්ලිම් හා ද්‍රවිඩ ජාතීහු

සහෝදරත්වයෙන් යුතුව මනා සම්බන්ධතාවකින් කටයුතු කරති.   

 


සටහන හා ඡායාරූ 
ගලගෙදර - ජී.ජී.එම්. රත්නායක