තිස් අවුරුදු යුද සාපයේ නේක සංවේදී කතා අපි අදටත් අසන්නෙමු. යුද විරුවන්ගේ කතා, යුද සෙන්පතියන්තේ කතා, යුද්ධයේ අතුරු කතා, පශ්චාත් යුද තොරතුරු මෙන්ම සිදුවූ ආර්ථික සාමාජීය විනාශයන් ගැනද කෙනෙකුත් අපි අසා ඇත්තෙමු. එකී කතාවලින් සිවිල් සමාජයේ යුද ශෝකාන්තය අපට අමතකව ගිය හැඩකි. නොඑසේනම් ඔවුන්ගේ ශෝකී කතාවන් මහා සමාජයට අනාවරණය නොවූ නිසා එසේ වූවා විය හැකිය. ඒ ශෝකී කතාවලට ජාති ආගම් බේද නැත. ඇත්තේ ඛේදනීය සිදුවීම්වලින් ගහන අමිහිරි අතීතයන් පමණි.   


යුද්ධය නිසාවෙන් අමිහිරි සිදුවීම් රැසකට මුහුණ දී සීසීකඩව විසිරුණු පවුල් අතර එක් සංවේදි කතාවක් අපට අසන්නට ලැබිණි. ඒ යුද්ධය ආරම්භක කාලයේදී යම් හේතුවක් මත වෙන්වූ එම පවුලේ වැඩිමල් දරුවන් සිංහල බෞද්ධයන් ලෙස එක් පළාතකත් යුද්ධය වර්ධනය වූ කාලයේදී උපන් දරුවන් දෙමළ හින්දු වශයෙන් බෙදී තවත් පළාතකත් ජීවත් වෙන අනුවේදනීය කතා පුවතකි. එම පවුලේ වැඩිමහලු දරුවන් සිය බාල සොහොයුරු සොයුරියන් දකින්නේ යුද්ධය ඉවර වී බොහෝ කලකට පසුවය. ඒ ද ඉතා සංවේගජනක ලෙසය.   
අනුවේදනීය සිදුවීම් රැසකට මුහුණ දුන් එම පවුලේ කතාව මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.   


රත්නසාමිගේ ශෝකාන්තය   


මේ කතාවේ කතා නායකයා රත්නසාමිය. හැත්තෑ හැවිරිදි ඔහු එම පවුලේ පියාණන්ය. සිය බාලම පුතු සමග වව්නියාවේ නෙලුක්කුලම, කූමන්කුලමේ සිය නිවසේ වෙසෙන ඔහු දැන් සිය ශෝකී කතාන්තරය අපට කීමට සාලයේ පැදුරක හිඳගෙන කුඩා වංගෙඩියකින් විට කොටමින් සැරසී සිටී. රත්නසාමි සිය කතාන්දරය කීමට අපව දශක පහ හයකට පෙර අතීතයට කැඳවාගෙන ගියේය. අසන්න මේ ඔහුගේ කතාව පමණක් නොවේ. ශාප ලත් වර්ගවාදි යුද්ධයේ ගොදුරු බවට පත් වූ අපේම රටේ තවත් පියකුගේ එක් දුක්ඛිත කතාවකි. 

 
රත්නසාමි දැන් උතුරේ දෙමළ ගමක දිවි ගෙව්වද ඔහුගේ උපන්ගම රටේ වයඹ දිශාවේ ඊසාන දිග කෙළවරේ පිහිටි සිංහල ගම්මානයකි. ඒ ගල්ගමුව, ඇහැටුවැව මහනාන්නනේරියට යාබද අන්දර වැවය.   


රත්නසාමිගෙ පියා රාමස්සාමි ය. ඔහුගේ උපන් ගම ද අන්දරවැවය. රත්නසාමිට මතක හිටින කාලයේදී අන්දරවැව ධනවතුන් අතර ඔවුන්ගේ පවුල ද විය. ජාතියෙන් දෙමළ වුවද ආගමින් ඔවුහු බෞද්ධ වූහ.   


රාමස්සාමිට දරුවන් හත් දෙනෙකි. වැඩිමලා නාරායනසාමිය. දෙවැන්නා මානික්කා ය. රත්නසාමි තෙවැන්නාය. නැගණියන් වන කමලා, අමරා, හා සෝමාද මල්ලි වන අරුණාචලම්ද පවුලේ සෙසු සාමාජිකයින්ය. මොවුන් සියලු දෙනාම පාසල් ගොස් ඇත්තේ නාන්නනේරිය මහා විද්‍යාලයටය.   


“අපේ තාත්තට ගොඩින් මඩින් අක්කර 20ක් විතර තිබ්බා. මහවෙල, ඉහළවෙල, මුහන්දිරම් පංගුව, මහ අක්කරේ, මොරගහ වැව, අමුණුකොළේ ඔය හැම තැනම අපට ඉඩම් තිබ්බා. ඒ වගේම හරක්, එළුවෝ එහෙමත් හිටියා. මට අවුරුදු 14, 15 කාලෙ වෙද්දි අපට එළුවෝ දාහකට වඩා හිටියා. අපි ද ස්කෝලේ ගිහින් ඇවිත් එළුවෝ බලා ගත්තා”   
ඔහු සිය ළමා කාලය සිහිපත් කරවයි. එය වර්ගවාදය ජාතිවාදය නොදැනුණ ඉතා සුන්දර කාලයක් බව ඔහු කීවේ දසන් විදහා සිනහසෙමිනි.   

 

රත්නසාමිගේ මව සහ නැගනියන් වන කමලා සහ අමරා

 


රත්නසාමිගේ විවාහය සිදුවෙයි


අද මෙන් නොව එකල අවුරුදු 12, 13 දී ගැහැනු ළමයින්වත් අවුරුදු 17, 18 දී පිරිමි ළමුන්වත් විවාහ කරදීම සිරිතක්ව පැවැතිණි. ඒ අනුව නාරායනසාමිටත් මාණික්කාටත් එම සිරිත අනුව වාරය පැමිණියේය. නිකවැරටිය කණුකැටියේ සිංහල තරුණියක නාරායන සාමිටත් ඇගේ පාර්ශ්වයේ ඥාති පවුලක වූ වාරියපොළ තරුණයකු වූ ප්‍රේමදාසට මාණික්කාත් විවාහ කර දුණි. ප්‍රේමදාසගේ වැඩිමල් සොයුරිය ඒ වනවිටත් රත්නසාමිලාට ඥාති වූ දෙමළ පවුලකින් විවාහ වී තිබුණි. ඇයව විවාහයෙන් පසු කිහිප වරක්ම රත්නසාමිලා දැක තිබූ අතර යුද්ධයෙන් පසුව මැණික්ෆාම් කඳවුරේදී ඇය සිය දරුවන්ද සමග සිටිනු රත්නසාමිට හමුව ඇත. ඉන්පසු ඇය ගැන කිසිදු තොරතුරක් ලැබී නැත.   


ප්‍රේමදාසගේ පියා දෙමළ බෞද්ධයකු වූ අතර මව සිංහල බෞද්ධ අයෙකි. ඒ අනුව දරුවන් පස් දෙනාටම දෙමළ වාසගම්ද සිංහල නම්ද විය. එමෙන්ම ඔවුහු සිංහල බෞද්ධයන් ලෙස තවමත් දිවි ගෙවති. විවාහයෙන් පසුව ප්‍රේමදාසද අන්දර වැව පදිංචි විය. පසුකාලීනව එම විවාහය අසාර්ථක වුවද එම පවුල හා ඇතිවූ ඥාති ඇරඹුම තව තවත් වර්ධනය වූයේය.   
වසර කිහිපයකින් ප්‍රේමදාසගේ බාල සොයුරිය වූ රොසලින් නෝනා රත්නසාමිගේ බිරිඳ වූයේද මේ ඥාති ඇරඹුම නිසාය. පසු කලෙක රත්නසාමිලාගේ පවුලට සිදුවූ බොහෝ ගැහැටවලින් බේරීමටත්, ඔහුගේ දරුවන් රැකබලා ගැනීමත් මෙකී වාරියපොළ ඥාතීන් බොහෝ ඉවහල් වූ බව රත්නසාමි අදටත් සිහිපත් කරයි.   


දරුවන් වෙන්වීම ඇරඹේ   


පියා මෙන්ම ගොවිතැනට හපනෙකු වූ රත්නසාමිගේ ධෛර්යය දැක මාමණ්ඩිය වූ මුහන්දිරම්ගේ වඩුවේළුද (රොසලින්ගේ පියා) අන්දර වැවට නිතර පැමිණ ගොවිතැනට සහය වී ඇත. සිය දෙවන පුතු වූ පේමදාසද අන්දරවැව සිටි නිසා මේ සබඳතාව තවත් වැඩිවී ඇත. වැඩිකල් නොගොසින්ම වඩුවේළුත් බෑණා ගේ ගමෙන්ම හේන් කොටාගන සිය පුතුන් හා එක්ව වගා කරන්නට පටන් ගති. එයට බෑණාද හැකි පමණ උදව් කළේය.   


ඒ රටම මහා නියඟයකට සැරසෙමින් සිටි 1972 වර්ෂය උදා විය. මේ වනවිට රාමස්සාමිද හදිසියේ මියගොස් තිබුණි. රොසලින්ට දෙවන දරුවා වූ රත්නකුමාර් ලැබි මාස කිහිපයක් ගතවිය. ගොවිතැන්ද කරමින් හරි හරියට මහන්සි වන සිය බාල දියණියගේ දරුවකු දරුකමට හදාගැන්මට වඩුවේළු සිතුවේය. රත්නසාමිලාගේ පළමු දරුවා වූ දෙහැවිරිදි වීරකුමාර්ව වාරියපොළට ගෙන ගියේ ඒ අනුවය. සිය කිරි අත්තාගේ අතේ එල්ලී එහි ගිය වීරකුමාර් යළි කිසි දිනක මව්පියන් වෙත යෑමට කැමැත්ත පළ කළේ නැත.   
තෙවන වරටද රොසලින් පුතකු බිහිකළාය. ඔහු ප්‍රේමකුමාර් විය. ටික කලකට පසු රොසලින්ගේ මව ආගිය වේලාවකදී රත්නකුමාර්වද වාරියපොළ ගෙනයන ලදි.   


‘‘දරුවෝ ඉල්ලද්දි දෙන්නත් බැහැ. නොදීත් බැහැ. තාත්තගේ හිත් රිද්දන්න මම කැමති වුණෙත් නැහැ. නෝනා කැමති වුණෙත් නැහැ. මොකද අපි ගෙව්වේ කාෂ්ටක ජීවිතයක්. තාත්තල හිටපු දිහාවේ ඒ තරම් කාෂ්ටක නෑ. ළමයින්ටත් කරදරයක් නැති නිසාත් අපි නිහඬ වුණා’’   


දරුවන් ගෙනයෑම ගැන අප විමසද්දී රත්නසාමි එසේ කීවේය.   


1976 වනවිට ඔවුන්ට ශාන්ති ලැබුණු අතර ඒ වනවිට වීරකුමාර්ට වයස අවුරුදු 6ක් විය. ශාන්ති ඉපදී තෙමසකින් පමණ රත්නසාමිලාට අන්දරවැව හැරයන්නට තරම් මං පෑදූ සිදුවීමක් සිදුවිය.   


විනාශයක පෙර නිමිති   


1972 පටන් සිව්වසරක් පමණ අල්ලා සිටි නියං කාලයේදිත් රත්නසාමිලා සිය ගොවිකම හැකි අයුරින් කර ගත්හ. ඒ නිසාම 1976 දී වර්ෂාව ලැබෙනවිට බිත්තර වී මිලට ගෙන කුඹුරු වැඩ පටන්ගත්හ. මේ නිසාම රත්නසාමිගේ වගාවන් අනික් අයට වඩා සාරවත් විය. මෙයට රොසලින්ගේ පවුලේ උදවියත් ඉමහත් වෙහෙසක් ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස යායේ අනික් ගොවීන්ට චඩා රත්නසාමිට සරු බවක් දිස්විය. එය දරාගත නොහැකි වූ ගම්වැසියන් කිහිපදෙනෙකු බැත පාගන දිනයේදි අස්වනුවලට හා නිවසට ගිනි තැබීමට සූදානම් වූ බවක් රත්නසාමිට දැනගන්නට ලැබිණි.   


“බැත පාගන්න හිටිය දවසේ නෝනට අසනීපවෙලා නිසා පහුවදාට දා ගත්තා. එයාගේ ගමේ නෑදෑයෝත් උදව් කරන්න ආවා. ඒ නිසා ගමෙන් උදව් ලබාගන්න හිටිය අයට අපි කීවේ නැහැ. උදව්වට බලෙන්ම වගේ ආව දෙන්නෙක් අපේ අයත් එක්කම වැඩ කරා. හවස්වෙලා බොන්න එහෙමත් දුන්නා. ඕන් වෙරි වේගෙන එනකොට තමයි අපිට කරන්න හිටිය අපරාධයක් ගැන දැනගත්තේ.”   


එය අහස පොළොව නුහුලන අපරාධයක් විය. කලින් දිනයේ බැත පෑගුවානම් රාත්‍රි වනවිට සප්පායම් වී අස්වනුවලට හා නිවෙසට ගිනි තැබීමට ගමේ පිරිසක් සූදානම් ව ඇත.   
‘දෙමෙල්ලු අපිට වඩා ඉහළින් යන්නේ කොහොමද? ඕකුන්ව මෙහෙන් පන්නන්න ඕන කියල තමයි එයාලා කතාවෙලා තිබුණේ. ඒකත් අපි බොන්න දුන්නාම වෙරි වුණා වගේ රඟපාලා තමයි බැතටත් ගෙදරටත් ගිනි තියන්න කතා වෙලා තියෙන්නේ. මගෙයි නංගිලගෙයි මාමණ්ඩිගෙයි අක්කර ගාණක කුඹුරු වැඩකරපුව තිබුණා. මම මේ විස්තරේ හොඳටම දැනගන්න ඕන නිසා තව තවත් බොන්න දීලා අපරාධය කරන්න හිටිය කට්ටියගේ විස්තරත් දැනගත්තා. අපි හිතුවට වඩා කිප දෙනෙක්ම අපි ගැන ඊරිසියාවෙන් ඉඳල තියෙන්නේ. අපි හේන්ද කුඹුරුද සේරම කම්මැළිකමක් නැතිව කරගත්තා. එදත් එහෙමයි අදත් එහෙමයි.”   


එය ඇසූ රත්නසාමිට මහ විනාශයක පෙර නිමිති දැනිණ. තව දුරටත් ඒ ගම විසිය නොහැකි බවද වහා අතහැර දමා යායුතු බවද වැටහිණි. මේ බව සිය පවුලේ සෙස්සන්ට කීවද ඔවුන් එය ගණන් නොගත්තේ ඔහු මුළාවක වැටි ඇති බවද කියමිනි. ඔවුන්ට ඒ ගැන කොතෙක් කීවද එය මෝඩ තීරණයක් කියා ප්‍රතික්ෂේප කළ නිසා තම පවුල පමණක් හෝ ගමෙන් පිටව යන්නට රත්නසාමි තීරණය කළේය.   


යන්නේ කොහේදැයි දසත කල්පනා කරමින් තැන්ද හොයමින් සිටි රත්නසාමිට දිනක් තොරතුරක් ලැබිණි. ඒ අන්දරවැවට නිතර ආගිය වෙළෙන්දෙකුගෙනි. වව්නියාව මන්නාරම පාරේ ගමක ඉඩමක් නිවසද සමග විකුණන බවට තොරතුරක් ඔහු රත්නසාමිට කියා සිටියේය. ඔහුගෙන් මග තොරතුරු අසාගත් රත්නසාමි පසුදිනම එය සොයා ගියේය. දැන් සිටින පළාත සේම කර්කෂ බවින්ද අඩුවක් නොවුවත් එය තමාට සරුකරගත හැකි බැව් දුටුවනම වැටහි ගියේය. එදිනම අත්තිකාරමක් දී ඉඩම වෙන් කරවාගෙන පැමිණියේය. අක්කරයක් රුපියල් දහසක් වූ එහි අක්කර පහක් විය. කුඩා නිවසක්ද නොගැඹුරු ළිඳක්ද එහි විය. හිමිකරුට මුදල් හදිසියකට ඉඩම විකුණා දමා වෙනත් පෙදෙසෙකට පදිංචියට යන්නට උවමනා වි තිබිණි.   


ආපසු අන්දරවැවට ගිය රත්නසාමි තම ඉඩකඩම් හා සතුන් විකුණන්නට වහ වහා පියවර ගති. ඥාති වර්ගයාගෙන් ඈත්ව යන මේ තීරණයට බිරිඳ හා කුඩා පුතු අකමැති වුවත් එයට එරෙහි නොවූහ. සෙසු ඥාතීහු එය උපහාසයෙන් හෙළා දුටුවහ. එහෙත් කල් නොයාම ඔවුන්ට වැරදුණු බැව් දැනෙන විට රත්නසාමි සිය අලුත් ඉඩම අස්වද්දමින් සිටියේය.   


මුළු රටම සමග අන්දරවැවත් ගිනිගනී.   


ඒ 1977 මැතිවරණයයි. මුළු රටේම වෙනසක් වූ මැතිවරණයක් වුවත් ටික දිනකින්ම දෙමළ ජනයාට හිතකර නොවූ ඡන්දයක් බැව් සතියක් යෑමට පෙරම දැනගන්නට ලැබිණි.දේශපාලන වෙනසත් සමගම යම් හේතුවක් මත රට පුරාම රැල්ලක් සේ දෙමළ සංහාරයක් ඇරඹිණි. මේ වග දැනගත් රත්නසාමිගේ අන්දරවැව ඥාතීහුද අතට අසුවන යමක් ගෙන කැලෑ පැන්නාහ.   


තමන් සමග එක ගමේ එකාවන්ව ජීවත් වෙමින් නිතර තම නිවෙස්වලට ආගිය අයද තම නිවාස හා දේපළ කොල්ලකා අනතුරුව ගිනිබත් කරන අයුරුද කැලෑවල සිට ඔවුහු දුටුවහ. පිරිසක් එසේ කරන අතරතුර තවත් පිරිසක් ඔවුන්ට රහසින් කෑම බීම දෙමින් රැකවරණයද සැලසූහ. එපමණක් නොව තමන්ට අනාථ කදවුරු කරා යෑමට ඔවුන් උදව් කළ බැව්ද රත්නසාමිගේ නැගණියෝ අප හා කීහ. තවත් වසර ගණනක් යනතෙක්ම ඔවුන් සහල් පොල් පවා සපයමින් තමන්ට උදව් උපකාර කළ බැව්ද ඔවුහු සිහිපත් කළහ. සතියකට වැඩි කාලයක් කැලෑවැදී සිටි ඔවුන් යුද හමුදා රැකවරණය සහිත කුරුණෑගල මලියදේව පිරිවෙනේ කඳවුරකට ගොස් ඇත.   


එසේ රට ගිනිගත් පුවත රත්නසාමි දැනගත්තේ තවත් සතියකට දෙකකට පසුවය. දිනක් වව්නියාව නගරයට ගිය ඔහු දුටුවේ රට පුරා සිටින දෙමළ ජනයා ආණ්ඩුවේ රැකවරණ මත නගරයට ගෙනවිත් දමන බවය. ඒ ගැන විපරම් කරන විට සිදුව ඇති මහ විනාශය ඔහුට දැනගන්නට ලැබිණි. ඔහුට වහාම සිහි වූයේ සිය නැගණියන් හා ඥාතීන්ය. ඒ මෙහොතේ දැනුණ ක්ලාන්ත ගතිය තමන්ට දැනුදු දැනෙන්නාක් මෙන් බව අපට ඒ මොහොතේ ද කීවේය. 

 
එදාම මම නංගිලට මොකද වූණේ කියලා හොයලා බැලුවා. එහෙට එවපු අය අතර එයාලා හිටියේ නැහැ. පස්සේ දැනගත්තා කුරුණෑගල යවලා කියලා. මම වාරියපොළ ඇවිත් තාත්තත් එක්ක ඒ කීව තැන්වලට ගියා. මලියදේව ඉස්කෝලේ එයාලා හිටියා. ඇස් දෙකකටම දැකගත්තට පස්සේ මට හරි සැනසීමක් වුණා. වාරියපොළ තාත්තටත් ප්‍රශ්න ආවත් එයාලා හිටිය ගමේ හාමුදුරුවෝ හරියට තදට ඉඳලා. තාත්තා දෙමළ වුණත් බෞද්ධයෙක්. පන්සලේ හොඳ දායකයෙක්. හාමුදුරුවොත් තාත්තා එක්ක ගොඩක් හිතවත්. අපේ ලොකු පුතාලත් ඒ වෙද්දී ගමේ ඉස්කෝලේට යනවා.   


අනික ඒ ගම අවට ගම්වල ගොඩක් දෙමළ අය හිටියත් කලබල අස්සේ එයාලා ගම්බිම් අත්හැරලා ගිහින් තියෙනවා. ඔය කරුණා අම්මාන් එහෙමත් ඒ කිට්ටු ගමක හිටියා කියල කියනවනේ. එයාගේ ආච්චිත් එක්ක එනකොට එයාට අවුරුදු 13ක් විතර ඇතිලු. කලබල ඇතිවේගෙන එනකොටම බයිසිකලයකින්ම මිනිහා ගමෙන් යනවා දැකපු අය තාමත් ඉන්නව මගේ හිතේ. ඒත් ඒ මිනිස්සුන්ගේ කාගේවත් දේපළවලට ගිනි තියලවත් කරදර කරලවත් නැහැ ලු.   


පස්සේ මම අන්දරවැව ගියා. දැක්ක දේවල් ගැනනම් කියලා වැඩක් නැහැ. මගේ ඇස් මොන පාපයක් කරලද හිතුණා. මහගෙදර අළු විතරයි තිබ්බේ. අටුවේ වී ටික ඒ වෙද්දිත් ගිනි ගන්නවා. ඒවට ගිනි තියලා සති දෙකකට වැඩි කියල ගමේ අය කිව්වා. නංගිලගේ ගෙවල්වල ඉතිරිවෙලා තිබ්බුව අරන් මම ආයෙත් වාරියපොළ ආවා. මම කීව කාලෙම එයාලා ගමෙන් ආවානම් ඔය තරම් විනාශයක් වෙන්නේ නැහැනේ..”   


යළිත් කූමන්කුලමට ගිය රත්නසාමි ඒ අවටටම නැගණියන් ගෙන්වා ගැනීමට කටයුතු සොයා බැලීය. තමාගේ ඉඩකඩම් විකුණා දැමූ මුදලින් අඩකටවත් ඥාතීන්ගේ ඉඩම් විකුණාගත නොහැකි විය. පසුව කුණුකොල්ලයට මෙන් විකුණා දැමූ රත්නසාමිගේ ඥාතීහු කූමන්කුලමේ රත්නසාමිගේ ඉඩම අවටම පදිංචි වූහ. අදටත් රත්නසාමිගේ ඉඩම අවට සියලු ඥාතීහු සිටිති.   


මේ කලබල කාලය වනවිට පවුලේ බාලයා වූ අරුණාචලම් පාසල් වියේ සිටියේය. ඒ නිසාම ඔහුව රොසලින්ගේ පියා වාරියපොළට ගෙනියන අතර පසුකලෙක කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරා සිංහල ගුරුවරයකුද වන්නේය. ඒ නිසාම ඔහුට පසු කලෙකදී ජීවිතයද අහිමි වෙයි.   


සිංහල ඉගැන්වූ වරදට මරා දැමූ රත්නසාමිගේ සොයුරා   


නව පත්වීම් ලද අරුණාචලම් උතුරු පළාතේ දරුවන්ට සිංහල ඉගැන්වීමට ආස කළේය. එහිදී හමුවූ දෙමළ ගුරුවරියක සමග විවාහ වූ ඔහු රත්නසාමිගේ ඉඩමට සමීපව ඉඩමක්ද ගෙන නිවසක්ද ඉදිකරගත්තේය. 1990 මැදභාගය වනවිට මරඳමඩු විදුහලේ සේවය කළ අරුණාචලම්ව කිසියම් පිරිසක් විසින් පාසලේ උගන්වමින් සිටියදීම ඝාතනය කර තිබුණි.   
ඔහුට සේවයට නොයන ලෙස දැනුම් දී තිබියදීත් සේවයට ගිය නිසා ඒ ඉරණම අත්ව තිබූ බව එ දවස කියැවුණි. එය එල්ටීටීඊය විසින් කළ බවට මෙන්ම ඒ වන විට උතුරේ සිටි වෙනත් සන්නද්ධ කල්ලියක් කළ බවටද චෝදනා නැගුණත් එය තවමත් අනාවරණය නොවූවකි. එයද යුද්ධයේ ගිණුමට බැරකළ එකකි. මියයන විට සිව් දරු පියෙකු වූ අරුණාචලම්ගේ දරුවන්ගෙන් තිදෙනෙකු මේ වනවිට වෛද්‍යවරුන් වන අතර එක් අයෙක් වෛද්‍ය අංශයේම වෙනත් රැකියාවක නිරත වන්නෙකි.   


රත්නසාමිලාට ශිවකුමාර් උපන්නේ මෙසේ අන්දර වැව ඥාතීන් කූමන්කුලමේ ගොස් කෙටි කලකිනි. ශිවකුමාර් ඉපිද කෙටි කලකින් රත්නකුමාර් මව්පියන් අවැසි බැව් කිරිඅත්තලාට නිතර කන්කෙඳිරි ගාන්නට වූ නිසා රොසලින්ගේ මව්පියන් ඔහුව කූමන්කුලමට ගෙන යන ලදි.   


තවත් කලකට පසු රොසලින්ගේ මව පැමිණ කුඩා ප්‍රේමකුමාර්ව ගෙනයෑමට කැමැත්ත පළකළාය. ඔහුද කිරිඅම්මා සමග යෑමට කැමැත්ත පළකළ අතර එය සැමට විස්මයක් විය. රත්නසාමිලාටද කරගත හැකි දෙයක් නොවූ තැන ඊට කැමැත්ත පළකරන ලදි. ඒ වනවිටත් ඔහු නෙලුක්කුලම දෙමළ විදුහලේ පළමු ශ්‍රේණියේ සිට ඇත. පසුව ඔහුවද වාරියපොළ වීරකුමාර් ගිය පාසලටම ඇතුළත් කරන ලදී.   

 

 


මතු සම්බන්ධයි...


සටහන සහ ඡායාරූප පුෂ්පා වීරසේකර