ගීයක පදරුත  

 

 

 

මුළු හදින් මම ඇයට පෙම් කොට   
අනාගත පෙම් සිහින මැව්වෙමි   
මගේ සොඳුරිය තවත් කෙනෙකුට   
අයිති වන හැටි බලා දුක්වෙමි   

නිසංසල තැනකට වෙලා   
අඬන මගේ ඇස් දෙක බලා   
කියන්නකෝ දෙවියනේ මෙහෙවින්   
කොහොම ඉන්න ද ඉවසලා   

මගේ අත ගෙන කණට ළං වී   
අනේ සුදු මට ආදරේ යැයි   
කියන්නට සිතුවේ ඇයි ද සුදු   
නොසිතු වෙද මට දුක් ලැබේ යැයි   

නිදැල්ලේ තුරුලට වෙලා   
රහස් එක එක කොඳුරලා   
සිනාසුණු හැටි මතක් වෙන කොට   
කොහොම ඉන්න ද ඉවසලා   

එදා රෑ ගං ඉවුර අසබඩ   
සුපුන් සඳ පායන වෙලාවක   
කතා කී හැටි මතක් වෙන කොට   
දුක දැනෙයි පවතින අපායක   

මෙහෙම ලෝකෙක ඉපදිලා   
සිතෙහි අදහස් සුන් වෙලා   
මා උපන්නේ දුක් විඳින්නද   
දුක් අඳුරු මැද තනි වෙලා   


ගායනය : නාරද දිසාසේකර   

ගීත රචනය : එඩ්මන්ඩ් ජයසූරිය   

සංගීත නිර්මාණය : කුලරත්න තෙන්නකෝන්


එඩ්මන්ඩ් සහ රාණිගේ ආදර කතාව මල් ඵල ගැණුණේ කළුතර බෝධිය අසල දීය.. මීට වසර 60 කට පෙර කළුතර බෝධීන් වහන්සේ තිබුණේ තාප්පයකින් වට වෙලාය. අද තියෙන කළුතර බෝ සමිඳු තරම් සරුසාර අලංකාර පරිසරයක නොවේ. කළුතර බෝධීන් වහන්සේ හා වැලි මළුව හුදෙකලාව එදා පසු වූ අතර චෛත්‍යක් තිබී නැත. ඈතින් කඳු කෑල්ලක පොඩි බෝධියක් පෙනෙන්නට තිබී ඇත. එදා තිබුණේ පැරණි ආරුක්කු පාලමකි. හැන්දෑවේ 6 ට පසු ඒ අවට මිනිසුන් ගැවසී නැත. ඒ වන විට කෙමෙන් කෙමෙන් අඳුර ගලා ඇවිත් අවට කළුවර වෙන්ට පටන්ගෙන ඇත. ඔහු සහ ඇය හමු වූ ​තෝතැන්න එය විය. එඩ්මන්ඩ් ඉගෙනීම ලැබුවේ කළුතර විද්‍යාලයේය. රාණි ​ඉගෙන ගත්තේ කළුතර බාලිකා විද්‍යාලයේය.   


මීට වසර 65 ක පමණ පෙර ඇති වූ සුන්දර ආදර කතාව එඩ්මන්ඩ් ජයසූරිය කියන්නේ මෙසේය.   


‘‘මේ කියන කාලේ කළුතර බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි යුවතියක් පිළිබඳ හිතක් මට ඇතිව තිබුණ අපි දෙන්නගෙම ගෙවල් උතුරු කළුතර. ඇය පාසලට එන්නේ ලොකු කාර් එකක. Wosely වර්ගයේ එකක්. ඇය පාසල අවසන් වී තාත්තා කාර් එකෙන් එන තෙක් බලා ඉන්නවා. මුලින්ම දැකපු ගමන්ම මා තුළ ඇය පිළිබඳ හැඟීමක් ඇති වුණා. ඇය දවසක් මා සමඟ සිනාසුණා. ඇය දැක් වූයේ ප්‍රේමාන්විත ප්‍රතිචාරයක්. පාසල ඇරුණාම මගේ පන්ති මිත්‍රයන් (නාරද දිසාසේකර (ගායක), තිස්ස ගුණවර්ධන, (චිත්‍රශිල්පී නාට්‍ය නිෂ්පාදක) සමඟ ඇය හමු වීමට යනවා. ඇගේ පියා වෛද්‍යවරයකු බව දැන ගත්තේ පසුව.  


අපි හැම පෝයදාටම කළුතර බෝධියේ දී හමු වෙනවා. එක පෝයක ඇය පැමිණියේ නැහැ. රාත්‍රී 7 ට පසු ඇගේ පැමිණීම බලාපොරොත්තු නොවිය හැකියි.   


එදා බලාපොරොත්තු සුන්වී ගෙදර ගිහින් මේ ගැන හිතුවා. එදා හඳ ඇති ඒ රාත්‍රියේ මෙහෙම හිතුවා ඇය මට නොලැබේද? නොලැබුණොත් මම කුමක් කරන්නද? කියලා. දිනක් කළුතර සල්ගාදු හෝටලයේදී එඩ්මන්ඩ්ට කළුතරම සිටි මිත්‍ර​ෙයක් වූ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර (රංගවේදී පුවත් පත් කතුවර) හමු විය. එකල ඔහු ආනන්ද තිස්ස ද අල්විස් විසින් සංස්කරණය කළ දින දින සඟරාවේ සහාය සංස්කාරකවරයෙකි.   


‘එඩ්මන්ඩ් දැන් ඉස්කෝලේ නිවාඩු නිසා ‘දින දින’ සඟරාවට උදව් කරන්න සිරිකොතට එන්න පුළුවන්ද?   


සිරිකොතට ගිය එඩ්මන්ඩ් සුරේන්ද්‍ර භාර දුන්නේ කවි පිටුවට හොඳ කවි තෝරන්නට ය. මේ කවි අතරින් එඩ්මන්ට් අපූරු කාව්‍ය සංකල්පනාවක් හමු විය. එය විලියම් වර්ඩ්ස්වර්ත් ගේ Solitary Reaper ඇසුරෙන් ධර්ම ශ්‍රී කුරුප්පු ලියූ ‘හුදෙකලා ගොයම් කපන්නී’ පද්‍ය සංකල්පනාවට එඩ්මන්ඩ්ගේ සිත ගියේ නිරායාසයෙනි.   


පලා මිටියක් අතින් අරගෙන   
නැඹුරු වී මේ වෙළ මැදේ   
බලාගෙන ඇයි හුදකලාවේ   
අහිංසක පිටිසර ළඳේ


මේ ගැන එඩ්මන්ඩ් තම සිතැඟි පැවසුවේ මෙසේය.   


එදා මේ කවියේ මාත්‍රා අනුව මගේ කවි සිතුවිලි පිබිදුනා.   


සඳ ඇති රාත්‍රියේ මූදු වෙරළ දෙසින් මා හමා ආ සිහිල් සුළං රැල්ලක් සිසාරා යද්දී හුදෙකලාවේම පෑන අතට ගෙන ගීතයක් ලිව්වා.   


‘මුළු හදින් මම ඇයට පෙම් කොට   
අනාගත පෙම් සිහින මැව්වෙමි   
මගේ සොඳුරිය තවත් කෙනෙකුට   
අයිති වන හැටි බලා දුක් වෙමි   


එදා පෝය දා සිතට නැගි මගේ පෙම්වතිය අහිමි වුණොත්? යන අදහස අනුව ගීතය ලියැවුණා’   


එඩ්මන්ඩ්ගේ පංති මිතුරා වූ නාරද දිසාසේකර ඔහු සොයා පැමිණියේ තමාගේ කුළුඳුල් සරල ගී වැඩ සටහනට ගීතයක් ඉල්ලා ගැනීමටය.   


‘මට අලුතින් ලියන්න බෑ. මේ ෆයිල් එකේ බලලා උඹට ඕනෑ ගීතයක් තෝරා ගනින්’ එඩ්මන්ඩ් නාරදට කීය.   


‘මේ තියෙන්නේ හිතුවටත් වඩා හොඳ එකක්’ නාරද මුළු හදින් මම ගීතය තෝරා ගත්තේය.   


මේ ගීතයට තනුව නිර්මාණය කළේ අද අප අතර නැති ලංකාවේ පමණක් නොව උතුරු ඉන්දියාවේ ද සිටි අති දක්ෂ සිතාර් වාදකයකු වූ කුලරත්න තෙන්නකෝන්ය.   


තමා ලියූ ගීතයේ ‘තුරුලට වෙලා’ වචනය එකල බලධරයන් කපා නිඳැල්ලේ අපි එක් වෙලා ලෙස වෙනස් කිරීමට උත්සාහ කළ බවත් එඩ්මන්ඩ් අපට කීවේය.   


50 දශකයේ ඉතාමත් ජනප්‍රිය වූ මේ ගීතය ගැන ඔබ්සවර් පත්‍රයේ කර්තෘට ලියුම් තීරයේ පළ වු ලිපියක් Songs Sends Man in Sane (මිනිහෙකු පිස්සු වැට්ටුව ගීතයක්.) නමින් පළ වී තිබුණු බව එඩ්මන්ඩ් කියයි.   
ඒ ගීතය එසේ ලිව්වත් එඩ්මන්ඩ් පාරාජිතයෙක් නම් නොවේ. පරාජිත පෙම්වතුන්ගේ තේමා ගීතයක් වුව ද එය එඩ්මන්ඩ්ගේ ජයග්‍රාහී ගීතයකි. පාසල් යන කාලයේ පෙම් බැඳි රාණි තිලකා විජේසිංහ හා එඩ්මන්ඩ් විවාහ වී වසර 60 ක් සම්පූර්ණ වීමට ආසන්න ය. එඩ්මන්ඩ් හා රාණිට පුතුන් තිදෙනෙකි. මිනිබිරියන්ගේ දරු සුරතල් බලන එඩ්මන්ඩ් හා රාණි යුවළ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ 2 C 52 නිවසේ පදිංචිව සිටී.   


එඩ්මන්ඩ් ලියූ ගීත අතර නාරද ‘ඇය පමණයි මගේ මිහිර ඒකයි ලත වෙන්නේ’ ‘රන් රිදී වස්තුව එපා මට හිරු නඟින සිටින්නම් සුජාතා පෙරේරා (අත්තනායක) ගැයූ ‘ගිමන් නිවමින් සරන ලොව කුස’ ‘උදා කළ ලොව කුරුළු හඬකින්’ (මාදාංගනී තෙන්නකෝන් සමග) ‘තුසර බිඳු එයි ගිමන නිවුණ’ ‘රන් සිලිලාරේ දේවි’ ‘හිම කුළු පිහිරා බැස යන සෙවණේ’ කැපී පෙනෙයි.   


එඩ්මන්ඩ් ජයසූරිය කලා විචාරකයෙකු ලෙස ‘ඩේලි නිව්ස්’ පුවත් පතින් විචාරයට පිවිස අනුරාධපුරයේ උප දිසාපති, සංස්කෘතික ත්‍රිකෝණය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති අතිරේක ලේකම් හා ජනාධිපති කොමිෂන් සභා කිහිපයක ලේකම්වරයකු හැටියට ද කටයුතු කර ඇත. ඔහු විසින් ඉංග්‍රීසි බසට නැඟු සැළලිහිණි සන්දේශය පරිවර්තනයට 2004 රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

 

 

 

 

ඒ. ඩී. රන්ජිත් කුමාර