IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


මළ මුහුද ආශ්‍රිත ආගමික පුරාවෘත්ත

ලොව වටා සංචාර

 

ළානිල් අහස් කුස මුහුද හා යාවන ඉමේ, ජෙරුසම දෙසින් පිහිටි කඳු වළල්ල හිරු රැස් පතිත වීමෙන් ඈතට දිස්වන්නේ රන් පැහැයෙනි. එම රුවන්මුවා ප්‍රදේශය වසා පැතිරී මහ සයුර, මීදුමින් වැසුණු නිසල තැනිතලාවක් විලසින් මිනිස් සිත සොම්නස දල්වනසුලුය. සයුර ඉම තැනින් තැන උස්ව නැගුණු කිරි පැහැ ගල් තලාවක් වඩාත් සමීපව පරික්ෂා කරන්නකුට ඒ ලුණුවලින් සුසැදි ජල තලාවක් බව දිස්වේ.   


කලකට ඉහත විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සේවයෙහි නිරතව සිටි කාලයේ මට කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ජෝර්දානයට යාමට සිදුවිය. එහිදී දැකගන්නට ලැබුණු ස්වභාව ධර්මයාගේ ආශ්චර්යමත් නිමැයුමක් වූ මළ මුහුද එදවස මා සිතේ සිත්තම් වූයේ එපරිද්දෙනි.   


එහිදී මා නෙත් ගැටුණු දසුන්, අසා දැන ගත් තොරතුරු සහ ශාස්ත්‍රීය ලේඛන පරිශීලනයෙන් උකහා ගනු ලැබු දැනුම් සම්භාරය උපයෝගීත්වයෙන් මෙම ලිපිය සැකසිණි.   


ජලජ ජීවීන්ගෙන් හා පැළෑටීන්ගෙන් තොරවීම නිසා මළ මුහුදට එම නම ව්‍යාවහාරිත ය. මළ මුහුද පිහිටියේ ජෝර්දානයේ අගනුවර වූ අම්මාන් හී සිට කි.මී. 70ක පමණ දුරින් වූ මැසඩා ප්‍රදේශයෙහිය. පෘථිවි පෘෂ්ඨයේ පහළම ස්ථානය ලෙසින් සැලකෙන මළ මුහුද, සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් පහළින් නිර්මාණය වී ඇත. මෙම සුවිසල් ජල තටාකය බටහිරින් ජුඩියස් කඳුපෙළ දක්වාද නැගෙනහිරින් මෝබ් කඳුයාය දක්වාද පැතිරී පවතී.   


ක්‍රි. පූර්ව 3 වන සියවසේ පෞරාණික ජුඩියාවේ (වත්මන් පලස්තීනයේ) රාජ්‍යත්වයට පත් මහා හොරොඩ් සිය කඳුකර බළකොටුව ඉදිකළේද මළ මුහුදට ඔබ්බෙන් වූ මසාදා උස් බිමෙහිය. අනාගත වක්තෲන් අතින් පරණ තෙස්තමේන්තුව ලියවිල්ලක් බවට පත් වන්නෙත් ඉපැරණි නෙබ්යුලා කඳුකරය ආශ්‍රිත ප්‍රදේශයෙහිය. මළ මුහුද ආසන්නයෙහිම පිහිටි උණුදිය උල්පත් පහසින් සිය රන් පැහැ සිරුර ඔපවත් කර ගැනීම හා මළ මුහුදේ සෞන්දර්යකාමී උන්මාදනීය අසිරියත් වින්දනයත් උදෙසා ක්ලියෝපැට්රාවන් අතීතයේ දී මෙම පෙදෙසට නිරන්තරයෙන් පැමිණි බව ද වාර්තා වේ.   


මළ මුහුද එහා ඉම පැතිරී දැවැන්ත කඳු යාය, ජෝර්දාන ගමනේදී දුර සිට දැක බලා ගැනීමට මට අවස්ථාව උදාවිය. ඓතිහාසික පුරාවිද්‍යා වැදගත්කමකින් යුත් ලේඛන සුරැකුණු ගල්ලෙන් සමූහයක් එම කඳු පව්වෙහි පිහිටි බැව් ඒ අවස්ථාවේ මා සමග සිටි මගේ සගයා මා හා පැවසීය.  ඒ මෙම ගමනට මා සමග සහභාගි වූ එවකට ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් සේවය කළ කේ. මාරිමුත්තු මහතාය. එම ඉපැරණි ගල්ලෙන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම පිණිස, මම පසු කලෙක මළ මුහුද පිළිබඳව රචිත ග්‍රන්ථ මෙන්ම අන්තර්ජාල ලිපි ද අධ්‍යයනය කළෙමි.   


එම කරුණු සොයා බැලීමේදී හසළ විද්වතෙක් වන ඩබ්. ඒ. එස්. පෙරේරා මහතා විසින් අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කළ පර්​ෙ‌ය්ෂණාත්මක ලිපියක් මගේ දැඩි අවධානයට යොමුවිය. මළ මුහුද ආශ්‍රිතව පිහිටි සුණාපරන්ත දේශයෙහි බුදු දහම ප්‍රචලිතව පැවති බවත් භාග්‍යවතුන් වහන්සේ පුන්න භික්ෂූන් වහන්සේගේ ආරාධනයෙන් එහි වැඩි බවත් සූත්‍ර පිටකයෙන් කරුණු ගෙන හැර දක්වමින් හේ තත් නිගමනය තහවුරු කිරීමට විශ්වසනීය ප්‍රයත්නයක යෙදෙයි.   


පුන්න භික්ෂූන් වහන්සේ බුදුන් වහන්සේගෙන් අවසර ගෙන ධර්ම ප්‍රචාර කටයුතු සඳහා සුණාපරන්තයට වැඩම කළ බව මජ්ඣිම නිකායේ පුන්නෝවාද සූත්‍රයෙහි සඳහන් වන බව හේ වැඩිදුරටත් අවධාරණය කරයි.   
උන්වහන්සේගේ ආරාධනයෙන්, පසුකලෙක භාග්‍යවතුන් වහන්සේ මළ මුහුද ආසන්නයේ පිහිටි වර්තමානයේ මක්කම ලෙසින් සැලකෙන ස්ථානයේ ඉදිකර තිබූ සුණාපරන්ත දේශයේ මකුලකාරාමයට වැඩම කළ බව ක්‍රි. පූ. 5 වන සියවසේ බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද පපංචසුදණිය ග්‍රන්ථයෙහි සඳහන් බව ද ඩබ්. ඒ. එස්. පෙරේරා මහතා පෙන්වා දෙයි.   


බුද්ධඝෝෂ තෙරුන් විසින් පපඤ්චසුදනිය රචනා කරනු ලැබුවේ මහම්මත්තුමා ලොව උපත ලැබීමට සියවස් එකහමාරකට පමණ පෙර බවද මහමද්තුමා මක්කම උපත ලබන්නේ භාග්‍යවතුන් වහන්සේ මකුලකාරමයට වැඩීමෙන් වසර 1100ට පසුව බවද මෙහිදී අපගේ සුවිශේෂී අවධානය යොමු කිරීම වැදගත් වේ. මහම්මත් යන යෙදුමෙහි අරුත, මහාමති නොහොත් ප්‍රඥාවෙන්, බුද්ධියෙන් අගතැන්පත් තැනැත්තා යනුවෙන් පාලි ග්‍රන්ථයන්හි අර්ථකථනය කෙරෙන බව ද එම ලිපියෙන් හුවා දැක්වෙයි.   


බෞද්ධ ග්‍රන්ථවල ‘සුන’ සුනාපරන්තය, පුරාණ බයිබලානුකුල ‘සනයි’ යන ස්ථාන නාමය සමග ගැළපෙන ස්වභාවය මෙහිදී සංසන්දනය කර බැලීම යෝග්‍ය වේ. මළ මුහුදට වයඹ දෙසින්, ජෙරුසලමට සැතපුම් 20 පමණ දුරින් පිහිටි කුම්රාන් නම් ගම්මානයෙහි කඳුවැටි ආශ්‍රිතව, කිසිවකුගේ අවධානයට යොමු නොවූ ගල් ගුහා කිහිපයක් සැඟවී පැවතිණි.   

 


එක්තරා අහඹු සිදුවීමක් නිසා එම ගල්ලෙන් ලෝකයාගේ අවධානයට බඳුන් විය. කාන්තාරවාසී බෙඩුවින් ජාතික එඬේරෙක්, කඳු බෑවුම් ඔස්සේ මංමුළාවූ බැටළුවෙකු පසුපස යමින් සිටියදී මෙම එක් ගුහාවක ද්වාරයට ගලකින් දමා ගැසීය. ඒ දෙසින් කිසියම් දෝංකාර ශබ්දයක් කොලුවාට ශ්‍රවණය විය. කුතුහලයට පත් ඔහු ගුහාවට ඇතුළු වීමට පෙළඹිණි. එතුළ පෙළට, පියන්වලින් මුද්‍රා තබා වසා තිබූ මැටි බඳුන් දුටු ඔහු මවිතයට පත්විය. මැටි බඳුන් තුළ නිදන් ඇතැයි සිතූ එඬේරා, එක් මැටි බඳුනක මුද්‍රා කඩා පියනක් විවර කළේය. ඝනකම සත්ව සම්, රෝල් කර මැටි භාජන තුළ බහා තිබෙනු ඔහුට දැක ගන්නට ලැබිණි. එඬේරා අපේක්ෂිත නිධාන කිසිවක් එහි නොවූවද මෙම සොයා ගැනීම මෙම සියවසේ විශාලතම පුරාවිද්‍යාත්මක සංවේදනය සනාථ කිරීමට ඉවහල් විය.   


මෙම පුවත කටින් කට පැතිරිම ඉතිහාසඥයින් මෙම පෙදෙසට කැඳවන සුළු විය. 1947 දී ආචාර්ය ජෝන් ට්‍රේවර් නම් පුරාවිද්‍යාඥයා මුල්වරට මෙහි පර්​ෙ‌ය්ෂණ කටයුතු අරඹනු ලැබිණි. මෙම මැටි බඳුන්වල ආරක්ෂිතව පැවතියේ සතුන්ගේ පදම් කළ සම්මත ලියා රෝල් කරන ලද අතිපෞරාණික ලේඛන විශේෂයක් බව ඔහු නිරීක්ෂණය විය. මළ මුහුද ආශ්‍රිත ගුහා එකොළසකින් ලේඛන ඛණ්ඩයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ.   


පුරාවිද්‍යාඥ විලියම් ඕල්බ්‍රයිට් මහතා පවසන පරිදි මෙම ලේඛන නිමැවුම ක්‍රිස්තු පූර්ව 1 වන සියවස දක්වා දුරාතීතයට විහිදේ. මෙම පත්‍රිකා හෙබ්‍රව්, ඇරමයික හා ග්‍රීක භාෂාවෙන් ලියා ඇති යුදෙව් පැරණි ගිවිසුමේ ලේඛන එකතුවක් සේ සැලකේ.   


ඩබ්ලිව්. ඒ. එස්. පෙරේරා මහතා සිය පර්​ෙ‌ය්ෂණාත්මක ශාස්ත්‍රීය ලිපියෙන් අවධාරණය කොට ඇත්තේ මළ මුහුද ආශ්‍රිත රටවල එවකට බුදුදහම ව්‍යාප්තව පැවති බවය. මළ මුහුද වෙරළ ඉම කඳුකරයේ ගල්ලෙන්වලින් සොයා ගනු ලැබූ පත්‍රිකාවල සඳහන් ඇතැම් බෞද්ධ ඉගැන්වීම්, සිරිත් විරිත් සහ සාරධර්ම පිළිබඳ තොරතුරු එම මතය සනාථ කරනසුලුය. මළ මුහුදු ගල් ලෙන්හි තිබී හමුවූ පත්‍රිකාවක සඳහන් එවන් එක් පාඨයකින් පහත දැක්වෙන අරුත විද්‍යමානිත බව පැවසේ.   


‘සියලු නපුරු ක්‍රියාවලින් වළකින්න - සියලු යහපත් ක්‍රියාවල නිරතවන්න’   


වසර දෙදහස් ගණනකට පෙර කාන්තාර තරණය කරන්නෝ විවේකයක් ලැබීම පිණිස, මළ මුහුදු තීරයට සේන්දු වූහ. ප්‍රකට ආගමික ආරාම එකල මෙහි බිහිවිය. පේසුතුමන් බෞතිස්ම ලැබූ ශුද්ධ වූ පොකුණ පිහිටියේ ද මෙහිය. අතිශයින් කුතුහලය දනවන, අතිපෞරාණික තොරතුරු මළ මුහුද අවට නිම්නයේ කාලයාගේ වැල්ලෙන් වැසී ගොස් ඇති බව පුරාවිද්‍යාඥයින් පෙන්වා දී ඇත. මළ මුහුද අද්දර ලෙන් තුළින් සොයා ගනු ලැබූ පැරණි පත්‍රිකා සියල්ල මෙතෙක් පරිවර්තනය කර ප්‍රකාශයට පත් කර නොමැත. 

 
මතු ඒ සියල්ල ප්‍රකාශයට පත්වූ පසුව මළ මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ බුදු දහමේ ව්‍යාප්තිය මෙන්ම කිතු දහමේ සහ මුස්ලිම් දහමේ මූලාරම්භය පිළිබඳවද වැඩිදුරටත් තොරතුරු අනාවරණය වනු නිසැකය. එම තොරතුරුවලින් එවකට තත් ත්‍රිවිධ ආගම් අදහන්නන් තුළ තහවුරුව පැවතී ආගමික සංහිදියාව මහිමය ද ලොවට හෙළිවනු ඇත.   


මළ මුහුදේ නිර්මාණය පිළිබඳව නිරීක්ෂණය කළ භූ විද්‍යාඥයෝ මයෝසීන යුගයේ දී ආසියානු මහද්වීපය නැගෙනහිර දෙසට හා අප්‍රිකානු මහද්වීපීය බටහිර දෙසට ඇදීයාමේදී පෘථිවි පෘෂ්ඨය ගිලා බැස ස්ථානයෙහි මළ මුහුද උපත ලද බව ප්‍රකාශ කර ඇත.   


මළ මුහුදු පතුල නිරතුරුවම ගිලා බැසීමේ තත්ත්වයකට මුහුණපා සිටී. විද්‍යාඥයින් ගණනය කර ඇති අන්දමට වසරකට අඟල් 13කින් මෙම ගිලා බැසීම අඛණ්ඩව ක්‍රියාත්මකය.  


මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සල්පර්, ක්ලෝරින්, අයඩින්, කැල්සියම් ආදි මිනිසාට ඉතා වැදගත් වන ඛණිජ ද්‍රව්‍ය රාශියක් මළ මුහුද ජලයෙහි සම්මිශ්‍රණය වී ඇත.   


බෙහෙවින් එරෙන සුළු මළ මුහුද රසායනික සංයුතියකින් යුත් මඩ විශේෂයක් මුහුදු පතුලෙහි දැකිය හැකිය.   
රෝග සුවකිරීමේ සුවිශේෂ ශක්තියක් මෙම මඩවල අන්තර්ගත බව විද්‍යා පර්​ෙ‌ය්ෂණ මගින් අනාවරණය වී ඇත.   


මිනිස් සමෙහි ක්ෂය වන සෛල වර්ධනය, සිරුරේ පැහැය රැක ගැනීම මෙන්ම විවිධ චර්ම රෝග සුව කිරීමෙහිලාත් සොයා ගත හැකි කදිම ස්වභාවික ඖෂධයක් ලෙසින්ද මළ මුහුදේ මඩ වැදගත්ය.   
ප්‍රතිශක්තිකරණය සඳහාත් මාංශ පේශිවල වේදනාව දුරු කිරීමටත් මළ මුහුදු ජලය හා මඩ ප්‍රකට රෝග නිවාරණය ක්‍රමයක් සේ භාවිත වේ.   


මුහුදේ සිට හමන සුළඟෙහි බ්‍රෝමියම් විශාල ප්‍රමාණයක් අන්තර්ගතය.   


මානසික ආතතිය දුරු කිරීමට හා ස්නායු පද්ධතිය ප්‍රබෝධමත් කිරීමට මෙම බ්‍රෝමියම් මුසුවූ මුහුදු සුළඟ අතිශයින් උපස්ථම්භක වේ.   


මළ මුහුදේ මඩවලින් විවිධ රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදනය කරන කම්හල් කිහිපයක් ද අපට දැක ගන්නට ලැබිණ. විශාල වශයෙන් මෙම ප්‍රදේශයට ඇදී එන සංචාරකයින් මළ මුහුද මඩෙහි අඩංගු රෝග සුව කිරීමේ ශක්තිය උරගා බැලීම පිණිස තද කාළවර්ණ මඩ සිරුර පුරා තවරාගෙන හිරු තපිනු දැකීම මෙහි සුලභ දසුනකි.   


ඇතැම්හු මළ මුහුදේ ස්නානය කරන අතර තවත් පිරිස් මළ මුහුදු ජල කඳ මත පාවෙමින් පොතක් පතක් කියවති. දේශ සංචාරකයින් වැඩි පිරිසක් ඔටුවන් පිට නැගී මුහුදු සුළං විඳිමින් ඔබ මොබ ගමන් කරනු මෙහි දැකිය හැකිය.  


වසර මුළුල්ලේ පවත්නා හිරු රැස් ප්‍රභාව, මුහුදින් හමනා වියළි සුළඟ, මි.මි. 50ට අඩු වූ වාර්ෂික වැසිපතනය. ගිම්හානයේ පවත්නා සෙ. ග්‍රේඩ් අංශක 32-39ක් පමණ වූ උෂ්ණත්වය ශීත සෘතුවේදී අවම උෂ්ණත්වය 23-23ද උපරිම උෂ්ණත්වය 11-14ක්ද වූ සුවිශේෂිත උෂ්ණත්ව රටාව. සිරුරට අහිතකර අල්ට්‍රා වයලට් කිරණවල බලපෑම් මෙම ප්‍රදේශයේදී තුනීවීම මිනිස් පැවැත්මට හිතකර ඔක්සිජන් වායුවෙන් පරිසරය පරිපූර්ණවීම යන සාධක මෙම ප්‍රදේශය නුදුරු අනාගතයේදී ප්‍රධාන දේශ සංචාරක වෙරළ තීරයක් බවට පත්වීමට හේතු වනු නොඅනුමාන ය.

 

 

ආචාර්ය ගාමිණී කාරියවසම්



අදහස් (0)

මළ මුහුද ආශ්‍රිත ආගමික පුරාවෘත්ත

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

රෝස ආදරේ අරන් එන පැතුම් රුක්ෂාන්
2025 ජනවාරි මස 08 32 0

තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.


ප්‍රතිභා ප්‍රභාගේ තටු ලැබූ සිහිනය
2025 ජනවාරි මස 08 52 0

නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා


අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවට දැන් මම හරිම ලෝබයි ඒ වගේම ආදරෙයි
2025 ජනවාරි මස 08 64 0

පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී


සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් - චන්න පෙරේරා
2025 ජනවාරි මස 08 36 0

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.


චන්දන අයියා ගැන සද්ධා මල්ලි කියන කතා
2025 ජනවාරි මස 08 85 0

‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.


ප්‍රවීණයන් ඇසුරින් මා ලැබූ ශක්තිය අපමණයි - ආදිත්‍යා වැලිවත්ත
2025 ජනවාරි මස 08 70 0

සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 176 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 538 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 288 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site