සිහිවටනයක පසුබ්ම් කතාව

ඒ පනහ දශකය මැද භාගයේ දිනයකි. හේන්පිටගෙදර ඥානසිහ හිමියන් රත්නපුරේ සිට කොළඹට වැඩම කළහොත් බණ්ඩාරනායක මහතාත් බැහැදැකීම සිරිතක්ව පැවතිණ. ඒ සන්දිය බණ්ඩාරනායක මහතා අලුත් කඩේ උසාවියේ නඩු සඳහා පෙනී සිට සුළු මුදලක් සොයාගෙන දුෂ්කර ජීවිතයක් ගත කළ යුගයකි. බණ්ඩාරනායක මහතා උසාවියේ වැඩ කටයුතු නිමවා බඩල් වීදියේ වලව්වේ ගිමන් නිවන බව ඥානසිහ හිමියන් හොඳින්ම දැන සිටි සේක.  
 

බඩල් විදියේ වලව්වට ඥානසිහ හිමියන් වඩින විට බණ්ඩාරනායක මහතා සිටියේ හාන්සි පුටුවකට බරදී කනස්සල්ලෙන් මෙන් අඩ නින්දේය. බණ්ඩාරනායක මහතා එකල ප්‍රදේශවාසීන් හැඳින්වූයේ ‘සනී මහත්තයා’ නමිනි. කොටුදැල් බොක්සිං බැනියමෙන් සහ රනින් ෂෝට් එකක් ඇඳ සිටි බණ්ඩාරනායක මහතා ඉංගිරිසි රහස් පරීක්ෂක කතාවක් තම පපුව මත තබාගෙන ම අඩ නින්දේ පසුවිය.   


ඥානසිහ හිමියන් දැකීමත් සමගම බණ්ඩාරනායක මහතා නැගීසිටියේ ඉද්ද ගැසුවාක් මෙනි. තමන්ගේ හිතේ කැකෑරෙමින් තිබූ වේදනාව, තනිකම, දරිද්‍රතාව ගැන හිතේ ගුළිකරගෙන තිබූ සියල්ල බණ්ඩාරනායක ගේ හිතින් එකින් එක වචන ලෙස පිට වන්නට පටන්ගත්තේ ගිනි පුලිඟු ලෙස ය.   


‘හාන්දුරුවනේ පප්පා මාත් එක්ක තරහ වෙලා. මගේ ඔක්කොම අනාගත දේශපාලන ප්ලෑන් කොට උඩ ගියා. දැන් ඉතිං මට අද්වගාත් රස්සාවෙන් හම්බෙන තුට්ටු දෙකෙන් මේ කබල් බංගලාවේ දුෂ්කර ජීවිතයක් ගත කරන්න තමා වෙලා තියෙන්නේ.’   


‘සනී මහත්තයා, මුදලිතුමාගේ පැත්තෙනුත් තත්ත්වය සාධාරණයි. එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් එකට ඇරල පවුම්වලින් විය පැහැදම් කළේ මුදලිතුමා බලාපොරොත්තු ​ගොඩක් හිතේ තියාගෙන එකම පුතා සනී මහත්තයා නිසා නෙව. පප්පා ගිය සුමානේ රත්නපුරේ ආපු වෙලාවෙත් ක්‍රිස්තියානිය අතඇරල බුද්ධාගම වැළඳ ගන්න එක ගැන හොඳටම දොස් තිබ්බා මටත් එක්ක.   


‘අනේ හාන්දුරුවනේ පප්පා තරහ කර ගත්තොත් මගේ මුළු දේශපාලන ගමනම නන්නත්තාර වෙනවා. ඔබ වහන්සේට පුළුවන් පප්පගේ විරසකයට මැදිහත් වෙලා පප්පව මට යාළු කරල දෙන්න. මේ දේශපාලන ගමනට පප්පගේ ආශිර්වාදය නැතුව බෑ.   


‘හ්ම් මම ලබන සතියේ හොරගොල්ල වලව්වට යනවා. ​ෙම් ගැන කතා කරන්න’’ හිමියෝ කීහ.   


බණ්ඩාරනායක මහතාත් හේන්පිට ගෙදර ඥානසිහ හිමියනුත් අතර මෙම සංවාදයට දැන් හැට වසරකුත් වඩා කාලය නික්ම ගොස් තිබේ. මේ සටහන කියැවෙන්නේ ඥානසිහ හිමියන්ගේ චරිතාපදනයෙනි. එද‌ා මෙද‌ාතුර මේ සංවාදයේ තෝරාගත යුතු තැන්ද කීපයකි.   


බඩල් වීදිය යනු කුමක්ද? එය පිහිටියේ ආමර්විදියේ දී ප්‍රේමද‌ාස ජනපතිවරයා ඝාතනයට ලක් වූ ස්ථානයට වීදි දෙකක් මෙහාය. සුප්‍රකට යකඩ බඩු තොග වෙළෙන්දුන් සිටින ගල්වලට මෙහා පාර ය. එකල මේ වීදියේ නම වී ඇත්තේ සිල්වර් ස්මිත් ලේන් (Silversmith Lane) ය. අද මෙය හැඳින්වෙන්නේ බණ්ඩාරනායක මාවත නමිනි.   


බඩල් වීදියේ බණ්ඩාරනායක මුදලිතුමාගේ වලව්ව එකල හඳුන්වා ඇත්තේ ‘උඩගහ වලව්ව’ නමිනි.   


ඊළඟ ප්‍රශ්නය වන්නේ බණ්ඩාරනායක මහතාගේ පියාණන් වූ සොලමන් ඩයස් මහ මුදලිතුමා යනු කවරෙක්දැයි වත්මන් පරපුර කෙසේ දැනුම්වත් කරන්නේද යන්නයි.   


සොලමන් ඩයස් මහ මුදලිතුමා ජීවතුන් අතර සිටියදීම මීට වසර 86 කට පෙර 1937 මැයි 12 වැනි බද‌ාද‌ා පළකොට ඇති සත්‍යාර්ථ සංග්‍රහය නමැති සඟරාවේ එතුමා ගැන ඇති සඳහන නිවැරදි විය යුත්තේ එම සඟරාවේ ඊළඟ කාලාපයක තමා ගැන එම ලිපිය පළකිරීම ගැන ‘මුදලිතුමා සඟරාවට තෑන්ක්ස්’ කර ලියුම් කරදහියක් එවා තිබූ නිසාය. මහ මුදලිතුමාව එම සඟරාවේ හඳුන්වා ඇත්තේ මෙහෙමය.   


දැන් සැත්තෑපස් හැවිරිදි වයසෙහි සිටින එතුමා ඉතා තරුණ කාලයෙහි පටන් රාජකාර්යෙන් අස්වන තුරු දේශපාලනික වූ ද ජන සමාජික වූ ද විනෝද ක්‍රීඩාත්මක වූ ද ලෝකයෙහි මහා සිදුවීම්වලට ඉතා උද් යෝගයෙන් සහභාගි වූයේය. එක් දිනෙක එංගලන්තයේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ විශේෂ අමුත්තන්ගේ ගැලරියේ හිඳ ජෝසප් පෙම්බර්ලේන් මහතාගේ චතුර කථාවක් ශ්‍රවණය කරන්නේය.   


එක් සැන්දෑවක ශ්‍රේෂ්ඨ පූජකතුමකු සමග සංවාදයෙහි යෙදෙමින්ද අනික් සන්ධ්‍යාවෙහි ස්ටිව් ඩොනෝහියු මහතා සමග ඔහුගේ අශ්ව පොර දිනුමක් ගැන කතා කරමින් හෝ බෙල්ජියමේ රජු හා මෙහෙසිය සමග ප්‍රිය සල්ලාපයෙහි යෙදෙමින් හෝ එතුමා කල් හරින්නේය. එතුමා තමාගේ විශ්වාසී මහලු ලේකම් තැන ගැන කියන්ට දන්නා තරම්ම රාජකීයයන් ගැන ද කියන්ට තමා හා සම්බන්ධ වූ කථා දන්නේය. අහංකාරයෙන් තොර එතුමා රජ පවුල ගැන මෙන්ම තම ​ෙල්කම් තැන ගැන ද ප්‍රීතියෙන් හා අභිරුචියෙන් කථා කරන්නේය. එතුමා ගැන සැකෙවින් කෙරෙන විස්තරයක් වශයෙන් එතුමා ‘ලංකාවේ ශ්‍රේෂ්ඨ මහත්මයාය’’ යි කිව හැක.   
ක්‍රිස්තු වර්ෂ 1862 මැයි මස 22 වෙනි දින වේයන්ගොඩ හොරගොල්ලේ වලව්වෙ හිදී එතුමා මෙලොව එළිය දුටුවේය. දරුවන් සදෙනෙකුගෙන් යුත් පවුලෙක එතුමා තුන් වෙනි ව උපන් පිරිමි දරුවා වූයේය. දොන් සලමොන් ඩයස් බණ්ඩාරනායක මැති තුමාගේ පුත්‍ර වූ දොන් ක්‍රිස්ටෝපල්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා සර් සලමොන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමාගේ පියාණෝය. බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් බණ්ඩාරනායක පවුලත් අතර මිත්‍ර සම්බන්ධත්වය ඇරඹුණේ මහ මුදලිතුමාගේ මුත්තණුවන් වූ මුලින් ම කී මැති තුමාගෙනි.   


​ෙම් මිත්‍ර සම්බන්ධය ඇරඹුණේ. ප්‍රථම බ්‍රිතාන්‍ය බළ ඇණිය ලක්දිවට ගොඩබැසීමත් සමගය. සර් සලමොන් ඩයස් බණ්ඩාරනායක තුමාගේ මේ මුත්තණුවන් තමන්ගේ ලංකා ඉතිහාසය නමැති ග්‍රන්ථයෙහි විස්තර කරන එමර්සන් ටෙනන්ට් මහතා එතුමා උස් වූ ද ගරු කටයුතු වූද, රූපශ්‍රීයකින් යුත් නියම සිංහලයකු බව කියයි. බණ්ඩාරනායක පරපුරෙහි තුන් පරම්පරාවක්ම නැගෙනහිර සියනෑ, කෝරළයේ මුදලි ධුරයෙහි කටයුතු කළහ. ඔවුන් අතරින් පළමුවෙහි මුදලිතුමා මීට අවුරුදු එකසිය දහහතකට පෙර හොරගොල්ලෙහි ප්‍රථම බණ්ඩාරනායක වලව්ව සෑදුවේය.   


මෙය පළකොට ඇත්තේ   


ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගේ සංක්ෂිප්ත ජීවන චරිතය. යනුවෙනි   


සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමාගේ චරිතය අධ්‍යයනයේ දී පෙනී යන්නේ මේ සියවසේත් ඉකුත් සියවසේත් මෙතුමාට තරම් ප්‍රබන්ධ ගෙතුණ පුද්ගලයකු නොවූ බවය.


මීට වසර කීපයකට පෙර ආමර් වීදියේ බණ්ඩාරනායක මාවතට නුදුරින් පදික වේදිකාවක පුද්ගලයකු විකුණූ පරණ පොත් අතර බණ්ඩාරනායක පවුලේ අත්සන් ද ඇතිව පොත් කිහිපයක් ඇති බව මට දැනගත හැකි විය.   
එහි ගිය මට දැක ගත හැකිවූයේ අනුර ප්‍රියදර්ශන බණ්ඩාරනායක නොහොත් සර් සොලමන්ගේ එකම මුනුපුරාට තම එකම පුත්‍රරත්නය වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ උපන් දිනයට තම අත්සන ද ඇතිව දුන් වර්ණවත් පොතකි. එය අලෙවි කොට තිබු​ෙණ් රු. 1,200 කටය. එහි වූ බණ්ඩාරනායක පවුලේ ග්‍රන්ථ කිපයක්ම ඉතා අඩු මිලකට මිලදී ගැනීමට එහිදී හැකි විය.   


සොලමන් ඩයස් ගැන ඉතිහාසය ලියද්දි බොහෝ දෙනා දොන් සොලමන් සහ සර් සොලමන් පටලවාගෙන ඇති බව පෙනේ. නුවර පාරේ සුප්‍රකට හොරගොල්ල තනවන ලද්දේ දොන් සොලමන් ඩයස් බණ්ඩාරනායකයි. දොන් සොලමන්ගේ වැඩිමල් පුතා වූයේ දොන් ක්‍රිස්ටෝපර් හෙන්රික්ස් ඩයස් බණ්ඩාරනායකය. එතුමාගේ ප්‍රිය බිරිඳ වූයේ ඇනා ෆ්ලොරන්තිනා ෆිලිප්ස් පණ්ඩිතරත්න ළමාතැනීය.   


මේ දෙපලට දරුවන් හය දෙනෙකි. මේ දරුවන් අතරින් තුන්වැනි දරුවා නොහොත් එකම පුතා උපන්නේ 1862 මැයි 22 වැනිද‌ා හවස හතර පසුවී මිනිට්ටු 41 ක් ගත වූ තැනය. සර් සොලමන් උපදින්නට තෙවසරකට පෙර ඔහුගේ සීයා වූ දොන් සොලමන් මියගොස් තිබුණේ 1859 සැප්තැම්බර් 26 ද‌ාය. එහෙත් ඊට සියවසකට පසු 1959 දී එදිනම තම එකම පුත්‍රයාගේ මරණය සිදුවෙනු ඇතැයි සර් සොලමන් කිසි දින සිතන්නට නැත.   
ඩී.බී. ධනපාලයන් විසින් ලියන ලද Among those present කෘතියේ සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක ගැන පරිච්ඡේදයක්ම වෙන්කොට ඇත. ඊටත් වඩා සර් සොලමන්ම ලියා ඇති රිමෙම්බර්ඩ් යෙස්ටඩේස් (Remembered yesterday's) කෘතියේ ඔහුගේ ජීවන චරිතය මැනවින් උකහාගත හැකිය.   


මෙම කෘතිය සිංහලට පරිවර්තනයට දිනපතා ලංකාදීපයේ රන්ජන් අමරසිංහ අවසර පැතුවේ සුනේත්‍රා බණ්ඩාරනායකගෙන්ය. එහෙත් එහි ඇත්තේ සීයා පප්පාගේ පම්පෝරි බැවින් සුනේත්‍රා විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබිණ.   


මෙම කෘතිය අනුව සර් සොලමන් සතුව කොළඹ සිල්වර්ස්මිත් වීදියේ උඩගහ වලව්වට අමතරව නුවරඑළියේ බෲම්ෆීල්ඩ් නිවසත් බණ්ඩාරවෙල ‘ද ග්‍රේන්ජ්’ මන්දිරයත් හිමි වී ඇත්තේ හොරගොල්ල වලව්වට අමතරවය.   
අනූව දශකය මුල් භාගයේ අනුර බණ්ඩාරනායක මහතා ඉරිදා ලංකාදීපය සමග පැවැත් වූ සාකච්ඡාවක දී පවසා ඇත්තේ හොරගොල්ල වලව්ව ‘‘විමුක්ති කුමාරතුංගට’’ ඔප්පු තිරප්පු ලියා පවරා දුන් බවය. විමුක්ති සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. එක් අතකින් බලනවිට එක සමානය.   


ඒ බණ්ඩාරනායක මහතා ද ඒ එංගලන්තයේ අධ්‍යාපනයෙන් පසු ලංකාවට ආවිට සිංහල භාෂාව නොදැන සිටීමයි. විමුක්ති සිංහල භාෂාව නොදන්නා බව අද ප්‍රකට රහසකි.   


සර් සොලමන්ගේ අක්කාගේ ස්වාමියා වූයේ ජේ.පී. ඔබේසේකරය. එතුමා ලංකා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු විය. සර් සොලමන් අධ්‍යාපනය ලැබුවේ ශාන්ත තෝමස් විද්‍යාලයේය. 1881 සැප්තැම්බර් 10 වැනිදා ඔබේසේකර මන්ත්‍රීතුමා මරුමුවට පත්වන්නේ අශ්ව රිය අනතුරකිනි.   


සියනෑ කොරළේ නැගෙනහිර කොටසේ මුහන්දිරම් පදවියට සර් සොලමන් පත්වන්නේ වයස 19 දී බව ​ෙල්ඛන පරික්ෂාවේදී පෙනීයයි. එතුමා මහමුදලි පදවියට පත්වූයේ වයස 33 දී බව ඩී.වී.ධනපාල තම කෘතියේ හුවා දක්වා ඇත.   


සර් සොලමන් විවාහ වී ඇත්තේ වයස අවුරුදු 36 දීය. ඔහුගේ මනාලිය වූවේ ව්‍යවස්ථාද‌ායක සභාවේ මන්ත්‍රීක්‍රිස්ටොපර් ඔබේසේකරගේ දියණිය වූ ඩේසි එස්ලින් Daisy Eslini ය. විවාහ වී දසවසරක් පිරෙන්නටත් පෙර ඔහුට නයිට් නාමයක් ද පුදනු ලැබීය.   


සර් සොලමන්ගේ පෞද්ගලික ලිපිනය විමසූ විට පෙනී යන්නේ ඔහුගේ සේවක මඩුල්ලේ සේවය කොට ඇත්තේ එංගලන්තයේ සිට ආ සුද්දන් බවය. ඔහුගේ පුද්ගලික ලේකම්වරයා මෙන්ම රියැදුරන් පවා සුද්‍්දෝ වූහ. පවුම්වලින් පඩි ගෙවා සුද්දන් ලවා තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමටත්, තම වතු පාලකයින් ලෙස සුද්දන් පත් කිරීමටත් සර් සොලමන් පියවර ගෙන තිබුණි. තම දරුවන්ගේ ‘ආයා’ වැඩට සර් සොලමන් යොද‌ා ගන්නේ සුද්දියන්ය.   


සර් සොලමන් පාරේ ගමන් කරන විට යටත් වැසියන් ජටා ගලවා අයින් වූ බවට ඇත්තේ ප්‍රකට මතයකි. සර් සොලමන් මියගොස් 60 වසරකට පසු 2006 දී ආරියවංශ වීරක්කොඩි මහතා තමන් ඇසින් දුටු මේ සිදුවීම සටහන් කොට අැත්තේ මෙසේය.   


සියනෑ කොරළේ කුඹල්ඔළුවේ සිට මා ඉගෙනුම ලැබූ වේයන්ගොඩ සාන්ත මේරි විද්‍යාලයට බක්කි කරත්තයෙන් යනවිට සිදු වූ දෙයක් සුරංගනා කතාවක් මෙන් තවමත් මගේ මතකයේ රැඳී පවතී.   


එදින මා ගමන්කරමින් සිටි අතුරු මාර්ගවල බක්කි කරත්ත හැරෙන්නට වෙනත් රථවාහන ධාවනයක් සිදු නොවූ හෙයින් අපට හිතුමතේ පාරේ යෑමට නිදහස තිබුණි. පළමු වරට මට එම නිදහස නැතිව ගියේ මෙම සිදුවීමෙන් පසුවය.   


මහමග ගමන් කරමින් සිටි අය එක වරම මහත් කලබලයට පත් වූ බවත්, ඔවුන් සියල්ලන්ම වාගේ තම උරහිස් මත දමාගෙන තිබූ ලේන්සුව හෝ තුවාය අතට ගෙන කානුවලට, බසින බවත් බක්කි කරත්තයේ සිටි මම දුටුවෙමි. ඒ සමගම කරත්තය දක්කමින් සිටි අදෝනිස් අත්තා ද අන් අය මෙන්ම කලබලයට පත්ව, හිස වටේ ඔතා තිබූ ලේන්සුව, වහ වහා ඉවතට ගෙන කරත්තය පාර අයිනක නවතා ගත්තා පමණක් නොව ඉන් බිමට ද බැස ගත්තේ මට ද එසේ කරන ලෙස අන කරමිනි. මම ද එසේ කළෙමි. කෙසේ වුවද ඉන් අනතුරුව මා කළේ අදෝනිස් අත්තාගේ බලවත් විරුද්ධත්වය ද නොතකා අන් අය මෙන් පාර අයිනට වනු වෙනුවට වඩාත් පාර මැදට වීමය. මා එසේ කළේ සිදු වෙමින් පවතින්නේ කුමක්දැයි වඩාත් හොඳින් දැක බලාගැනීමේ අරමුනිණි.   


ඒ සමගම මා දුටුවේ අපූරු දර්ශනයකි. අප ඉදිරියට අශ්ව රෝහකයන් තුන්දෙනකු එමින් සිටියහ. එම තිදෙනා මැදින් ගමන් කරමින් සිටියේ දෙපාවලට හිරවෙන සුදු කලිසමක් හා දිග අළු පැහැති කබායකින්ද, බෝටයි පටියකින්ද සැරසී, කසයක් ද අතැතිව ඉතා තේජාන්විත ලීලාවෙන් සුදු අසකු පිට නැගී සිටි පුද්ගලයෙකි. දිලිසෙන දුඹුරු වර්ණ ලෝමයෙන් වැසුණු අසුන් පිට නැගි ඔහු දෙපසින් ගමන් කරමින් සිටි සුදු ජාතිකයන් තිදෙනා සුදු ඇඳුමින් සැරසී, ඉනවටා පළල් පටි පැලඳ සිටි අතර එම පටිවලින් තුවක්කු එල්ලෙමින් තිබුණි. ඒ අනුව ඔවුන් තිදෙනා එම තේජාන්විත පුද්ගලයාගේ ආරක්ෂක නිලධාරීන් බව මට වැටහුණි.   


අශ්වාරෝහක පිරිස ඉදිරියෙන් යත්ම ඔවුන් වඩාත් හොඳින් දැක බලාගැනීම සඳහා මා තවත් පියවරක් ඉදිරියට තැබීමට උත්සාහ ගත්තද එය වැළකූ අදෝනිස් ආතා කියා සිටියේ ‘උඹ හදන්​ෙන කසපාර කන්නද?’’ කියාය.   
එම තේජවන්ත පුද්ගලයා වූයේ එවකට හොරගොල්ලේ වලව්වේ විරාජමානව වැජඹුණ මහමුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා බවත්, උදෑසනම ව්‍යායාම ගැනීම සඳහා යමින් සිටි ඔහු තමන් ගමන් කළ මාර්ගයෙන් ඉවත් නොවන අයට කස පහර දීමට පුරුදුව සිටි බවත් මම පසුව දැන ගතිමි. එකල සියනෑ කෝරළයේ සිටි ජනප්‍රිය හා විශේස පුද්ගලයන් අතර සුවිශේෂී පුද්ගලයකු ලෙස සලකන ලද්දේ සොලමන් ඩයස් බණ්ඩාරනායකය. අධිමානයෙන් යුතු උද්දච්ඡ පුද්ගලයකු වූ ඔහු ඉංගිරිසි ආණ්ඩුකාරයා හැරෙන්නට අන් කිසිවකු තුට්ටුවකට මායිම් නොකළ බව සාමාන්‍ය පිළිගැනීමයි.   


එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සැලකෙන්නේ ශ්‍රීලනිපයේ නිර්මාතෘවරයා ලෙසය. එච්. ශ්‍රී නිස්සංක එහි නිර්මාතෘවරයා ලෙස හුවාදැක්වෙයි. බණ්ඩාරනායක මහතාගේ බෑනා වූ විජය කුමාරතුංග මහජන පක්ෂයේ නිර්මාතෘවරයාය. එහෙත් බොහෝ දෙනා 1927 දී පිහිට වූ සිලොන් යුනියන්ට් (Ceylon Unionist) නම් පක්ෂයේ නිර්මාතෘවරයා සර් සොලමන් බව දන්නේ දැයි සැකයක් උපදී.   


ජනප්‍රිය නළුවා නිළිය කූපන් මගින් තේරීම කලත් මෙරට ජනප්‍රිය ජාවාරමක්විය. කූපන් පත් මගින් ජනප්‍රියවීමට කැමති පුද්ගලයා පත්තර දහස් ගණනක් ගෙන කූපන් කපා තැපල් කොට ජනප්‍රිය වීමට ගත්තේ බලවත් උත්සාහයකි.   


එහෙත් මීට 79 වසරකට පෙර ඔබ්සවර් පත්‍රයේ ලංකාවේ ජනප්‍රිය පුද්ගලයින් පාඨකයින් තෝරාගත් අනුපිළිවෙළට පළකොට ඇත. එම ලේඛනය අනුව එවකට ජනප්‍රිය පුද්ගලයා වී ඇත්තේ සර් බාරොන් ජයතිලකය. සර් සොලමන් එහි සිව්වැනි තැනට පාඨකයින් තේරූ අතර දෙවැනි සහ තෙවැනි තැනට පත්ව ඇත්තේ ඩී.ඇස්. සේනානායක හා සාහිත්‍යසූරී ඩබ්ලිව්.ඒ. සිල්වාය.   


සර් සොලමන් ගැන ඇති ප්‍රකට කටකතාවන් වන්නේ තම එකම පුතුගේ විවාහයට කුලහීනයන්ට ආරාධන කිරීම ගැන කිපී මඟුල් මේසය පෙරළා ලොකු බාල්දියක් පෙරළුෑ බවය. සර් සොලමන් ගැන ඉපැරණි ලංකාදීපයේ සටහන් තබා ඇති ඩේවිඩ් කරුණාරත්න බණ්ඩාරනායක විසින් 'Why I Became Buddhist'' නමින්  Ceylon Indipendent නම් පුවත්පතට ලියූ ලිපියක් හුවාදක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ සර් සොලමන් බණ්ඩාරනායක විවාහයේ එවැනි ප්‍රකෝපකාරි හැසිරීමක් ගැන සඳහන් නොවෙන බවය. ඊටත් වඩා බණ්ඩාරනායක මැතිනියගේ ජීවිතය අළලා මර්වින් සිල්වා මහතා (ආචාර්ය නොවේ දයාන් ජයතිලක ගේ පියා) ලියූ ග්‍රන්ථයේ ද ඒ ගැන සඳහන් නැත.   


සර් සොලමන් ගැන ඇති ප්‍රකට මතයක් නම් එතුමාගේ දේහය තැන්පත් කොට ඇත්තේ කෙලින් අතට නුවර පාර දෙය බලා සිටින ලෙස බවය. මේ සොහොන් කොත එතුමා ගොඩනගා ඇත්තේ මියයාමට දහතුන් වසරකට පෙරදීය. මෙය සත්‍යයක් ලෙස අදහන අය අදත් සිටින අතර අවමංගල්‍යයට සහභාගි වූවකුගෙන් සත්‍ය දැනගත හැකිය.   


සර් සොලමන් උපන්නේත් මියගියේත් යටත් විජිත වැසියකු ලෙසය. ඔහු සිංහල ජනතාව සදා වීරයකු වන්නේ ඔහු ජීවත්ව සිටියදීම කොළඹ හතේ ඔහුගේ පිළිරුවක් යටත් විජිත ආණ්ඩුව ගොඩනැගිම නිසාය. හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රාජනි වික්ටෝරියා රැජින පවා සර් සොලමන්ට ගෞරව සම්මාන දැක් වූ බව ද බකිංහැම් මාලිගයේ එතුමන්ට වෙන් කළ කාමරයක් වූ බවද කලක් ප්‍රකටව පැවති කරුණකි. එහෙත් එතුමාගේ අභාවයෙන් පසු මේ කුටියට සිදු වූ දෙයක් ගැන කිසිදු ලිඛිත සටහනක් නැත.   


සර් සොලමන් ගැන කියන විට සුද්දන් බිය ගැන් වූ බලුකිස්තාන් භාෂාව ගැන සටහනක් නොතැබුවහොත් මහත් අඩුපාඩුවකි. හේමපාල මුනිදාස සූරින් මෙය සටහන් කොට ඇත්තේ මෙසේය.   


ලන්ඩන් නගරයේ දී මුණගැසුණු තවත් මහේශාක්‍ය මිත්‍රයකුත් සමග එක් සවස් සමයක හයිඩ්පාර්ක් උද්‍යානයෙහි සක්මන් කරමින් සිටිද්දී චරිතයෙන් එතරම් සභ්‍ය සම්මානයක් නැති බැව් පෙනෙන සුද්දියන් තිදෙනෙකු මහ මුදලිතුමන් හට මුණ ගැසිණ. සිනා රසය ඉතා අගය කොට සැලකු සර් සොලමන් මොවුනට සරදමක් කළේය. එපමණකි. තමන්හට සමච්චලයෙහි යෙදුණේ නාකි කාබේරින් දෙදෙනෙකැයි සිතූ සුද්දියන් තිදෙන ඉතාම පහත් ඉතාම ග්‍රාම්‍ය ඉතාම අසභ්‍ය ඉංගිරිසි භාෂාවෙන් මේ දෙදෙනාට බැණ වැදුණෝය. එහෙත් ඔවුහු එය වචන කීපයකින් නොනැවැත්වූහ. අහල පහල සිටි තව තවත් පිරිස රැස් කා එක්වන ලීලාවෙන් ඔවුහු නොකඩවාම කුණුහරුපයෙන් බැන්නෝය. ඔවුනට සුදුසු ලෙස ඔවුනට ගැළපෙන අන්දමේ බසින් පිළිතුරු දීමේ ශක්තිය මහ මුදලිතුමන් හට තිබුණු නමුත් දැන් දැන් වැදගත් පෙනුමැති නම්බුකාර සුද්දන් හා සුද්දියන් සමූහයක්ම එම ස්ථානය වටලා සිටි නිසා එසේ එබඳු බසකින් පිළිතුරු දීම ඉතා දුෂ්කර විය.  


“මොකද කරන්නේ? මුන් අමු තිත්ත කථාවෙන් බහිනවා නේ’’ යි මහ මුදලිතුමා තම මිත්‍රයාට කීවේය.   


‘‘අපිත් බනිමු කුණුහබ්බෙන්. අමු සිංහල කුණු හබ්බෙන් බනිමු’’ යි මිත්‍රයා යෝජනා කළේය.   


‘‘හරියට හරි’’ කියමින් මෙහිදී අසභ්‍ය සුද්දියන්ගේ මුහුණට මුහුණ දුන් මහ මුදලිතුමා තමන් දන්නා හැම සිංහල කුණු හරුපයක්ම පාවිච්චි කරමින් ඔවුනට බැණ වදින්නට වන්නේය. සිංහල කුණු හරුප තබා සිංහල බසවත් දන්නා සුද්දෙකු හෝ සුද්දියක මේ පිරිස අතර නැති බැව් සිතා ගත් සර් සොලමන් වඩ වඩා හඬ තළමින් සුද්දියන් හට සිංහලෙන් බැණ වැදුණේය. වරින් වර පොළොවේ අඩි හප්පමින් යුගත දිගු කරමින් දෙනුවණින් කෝපාග්නිය නික්මවමින් කෙරෙන මේ බැනුමෙන් තැති ගත් සුද්දියෝ තිදෙනා මෙල්ල වී සෙනඟ අතර අතුරුදන්ව ගියෝය. මේ සමග සමූහය. අතර සිටි සුද්දෙක් සෙනඟ පීරා හරිමින් මහ මුදලිතුමන් කරා පැමිණියේය. මුව පුරා විහිදී ගිය සිනාවකින් යුක්තව මහ මුදලිතුමන් හට සුරත දිගු කළේය. විස්මයෙන් විස්මිතව, විලියෙන් විලම්බිතව මොහොතක් සුද්දා දෙස බලා සිටි සර් සොලමන් වහාම ඔහුගේ සුරත ගෙන සොලවා ආචාර කළේය.   
‘‘මෙතෙක් වෙලා අර නෝනාවරුන් එක්ක කථා කළේ මොන භාෂාවෙන්ද? සිංහල ද? පාලි ද? සංස්කෘතද? බලුකිස්තාන්ද’’ යි සුද්දා සිංහලෙන්ම ප්‍රශ්න කළේය.  


‘‘බලුකිස්තාන් බලුකිස්තාන් ඒ ගොල්ලන්ට වෙන බාසාවක් තේරෙන්නේ නැහැ’’ යි මහ මුදලි තුමා මහ හඬින් සිනාසෙමින් උත්තර දුන්නේය.  


සර් සොලමන් කෙටි කලක් අසනීපව සිට 84 වසරක් අායු විඳ 1946 ජුලි මස 31 දින රාත්‍රී 9.15 ට අවසන් ගමන් ගියේය. දහසකට අධික මල් වඩම් පෙරටුකොට ලකිසුරු ආදී රාජ්‍ය නායකයින්, බ්‍රිතාන්‍ය නියෝජිතයින් මෙන්ම ඩී.ඇස්. සේනානායක මැතිතුමා ද අවමඟුල් පෙරහරේ ගමන් කොට ඇත. සර් සොලමන් ඉංග්‍රීසි ආණ්ඩුවට රජ පවුලට හිතවත් බව වෙනම කතාවකි. එහෙත් ඔහු තම සිංහලකම පාවා දුන්නේ නැත. ඔහු ගැන ඇති දුර්මත ගැන නැවත විමසීමට කාලය එළඹ ඇත.  


ඔහුගේ එකම ලේලිය වූ සිරිමාවෝ තම මාමණ්ඩියගේ උප්පත්තියෙන් වසර 110 කට පසු ඉංග්‍රීසි ආණ්ඩුවේ බැමිවලින් 1972 මැයි 22 ද‌ා ලංකාව මුදා ගැනීම ඉතිහාසයේ සඳහන් විය යුත්තේ තවත් ​ෙදෙවෝපගත සිදුවීමක් ලෙස නොවේද?  

 

 

 


වජිර ලියනගේ  
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය