පෘථිවියේ පවත්නා චුම්භක ප්‍රතිග්‍රහණය නැතිනම් චුම්භක ශක්ති සංඥා හඳුනාගැනීමේ ශක්තිය සත්ව ලෝකයේ දැකිය හැකිය. පක්ෂීන්ට හා මීමැස්සන්ට මෙම ශක්තිය ඇත. එසේ නම් එය මිනිසුන් තුළද තිබිය යුතුය යනුවෙන් අමෙරිකාවේ කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ භූභෞතික විද්‍යාඥයකු වූ ජෝ කිර්ෂ්වින්ක්ගේ සිතට නැඟුන සිතිවිල්ලකි. එහෙයින් මිනිස් උපවිිඥානයේ සැඟව ඇති සයවැනි ඉන්ද්‍රිය පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට ඔහු පියවර ගත්තේය.


ඒ සඳහා කිර්ෂ්වින්ක් යොදා ගනු ලැබුවේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ  කිසුකේ මත්සුඩා නම් සිසුවෙකි. ඒ සඳහා තම අයි ෆෝනය භාවිත කළ ඔහු එය තමා අසල අසුන්ගෙන සිටි මත්සුඩාගේ හිස වටා එය කරකවන්නට විය. අයි ෆෝනයේ චුම්භක මීටරයක් සහිත යෙදුමක් (ඇප් එකක්) විය. සිසුවාගේ හිස වටා අයි ෆෝනය  කරකැවෙන විට ඔහුගේ සිරුරේ තිබූ චුම්භක දුහුවිලි හඳුනා ගැනීමට කිර්ෂ්වින්ක් සමත් විය.


පෘථිවියේ පවත්නා  චුම්භක ශක්ති සංඥා හඳුනා ගැනීමට ඇතැම් සත්වයින් සමත් බැව් පිළිගත් සත්‍යයකි.  පක්ෂීන්, මත්ස්‍යයින් සහ සංක්‍රමණික සත්ත්වයින් අතර මෙම හැකියාව උපරිම වශයෙන් පවතී. එය ඔවුන්ගේ ගමනාන්ත හඳුනාගත හැකිවන පරිදි සැකසුණු කොම්පාසුවක් මෙනි. පොකිරිස්සන්, පණුවන්, ගොළුබෙල්ලන්, මැඩියන් වැනි මන්දගාමී සත්වයන් අතර මෙම ශක්තිය වැඩි වශයෙන් පවතින බවට විද්‍යාඥයන් හඳුනාගෙන තිබේ. ක්ෂිරපායින්ද පෘථිවි චුම්භක ක්ෂේත්‍රය හඳුනා ගැනීමට සමත්ය. කැලෑ මියන් තම නිවහන් සොයා ගැනීම සඳහාත්, ගවයන් හා මුවන් තණබිම් සොයා ගැනීම සඳහාත් සුනඛයන් මළමුත්‍ර පහකිරීමේදී උතුරු දකුණු දිශාව සොයාගනු ලබන්නේත් එකී චුම්භක ශක්තිය උපකාරයෙනි.


පෘථිවි චුම්භක ක්ෂේත්‍රය උපදවනුයේ එහි ද්‍රවමය පිටත ගර්භයෙනි. එහි ශක්තිය සමකය ආසන්නයේ මයික්‍රොටෙස්ලා 25 සිට ධ්‍රැව ප්‍රදේශයේදී මයික්‍රෙටෙස්ලා 60 දක්වා වන පරාසයක පවතී. 


චුම්භක ප්‍රතිග්‍රහණය හැසිරීම් රටාව අනුව ක්‍රියාත්මක වන්නකි. එහි ඇතිවන වෙනස්කම් සතුන්ගේ හැසිරීම් රටාවේ වෙනස්කම් සඳහාද බලපැමක් සිදු කරයි. සතුනට චුම්භක ප්‍රතිග්‍රහණ ශක්තිය පවතින බව විද්‍යාඥයෝ දැන සිටියද සෛලීය හා ස්නායු තත්ත්වයන්හිදී එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔවුනට පැහැදිලි වැටහීමක් නොමැත. මෙහි ජීවවිද්‍යාත්මක සීමා හඳුනාගැනීමට ඔවුහු වෙහෙසෙති. සතුනට ලැබෙන චුම්භක ප්‍රතිග්‍රහණවලට මොළය ප්‍රතිචාර දක්වන  වන ආකාරය පිළිබඳ හැදෑරිය යුතු යැයි හුස්ටන් බේලෝ වෛද්‍යවිද්‍යාලයේ ස්නායු විශේෂඥයකු වන ඬේවිඞ් ඩික්මන් පවසයි. පරවියන්ගේ ඇතුළු කර්ණයේ ඇති විශේෂිත නියෝරෝන මගින් චුම්භක ක්ෂේත්‍රයේ දිශාව, ධ්‍රැවීයතාව සහ තීව්‍රතාව හඳුනාගත හැකි යැයි ඔහු සඳහන් කරයි.  චුම්භක ප්‍රතිග්‍රහණයට දාහක වන මෙම නියෝරෝන හඳුනා ගැනීම පිදුරුගොඩක ඇති ඉදිකටුවක් සෙවීම බඳු ක්‍රියාවකැයි ඔහු සඳහන් කර තිබේ. ඒ සඳහා විච්ඡේදනය කළ හැකි ඉන්ද්‍රියක් නොමැත. 


චුම්භක ක්ෂේත්‍රය සිරුරට ඇතුළු වනුයේ සැමවිටම අදෘෂ්‍යමාන අයුරින් යැයි පවසන කිර්ෂ්වින්ක් “එවැනි සංඥා ඔබේ සිරුරට ඇදගනු ලබන්නේ ඔබේ වම් පාදයේ මහපට ඇඟිල්ලෙන් විය හැකියි. නිශ්චිතව ස්ථානයක් සඳහන් කිරීමට අපට හැකියාවක් නැහැ” යනුවෙන් පවසයි.


විද්‍යාඥයෝ මේ සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ මත දෙකක් ඉදිරිපත් කරති. චුම්භක ක්ෂේත්‍රය ක්‍රිප්ටොක්‍රෝම් නමැති ප්‍රෝටීන සමඟ ප්‍රතික්‍රියා කරනු ඇතැයි යන්න එක් මතයකි. ක්‍රිප්ටොක්‍රෝම් ඇසේ දෘෂ්ටිවිතානයේ දැකිය හැකි ප්‍රෝටීන විශේෂයකි. ස්නායු පථය පාලනය කිරීම සඳහා ඒවා කුමන ආකාරයක බලපෑමක් සිදුකරනු ලබන්නේදැයි කිසිවෙක් නොදනිති.


දෙවැනි මතය වනුයේ  ග්‍රාහක සෛල තුළ කුඩා කොම්පාසුවකට සමාන ඉදිකටු තුඩක් වැනි යමක් ඇති බවයි. මෙය බොහෝ විට සතුන්ගේ නාසයේ හෝ අභ්‍යන්තර කර්ණයේ ඇති ප්‍රේරක ස්නායු ආසන්නයේ පිහිටා ඇතැයි ඔවුහු සැක කරති. මෙම ඉදිකටු තුඩක් වැනි ද්‍රව්‍ය මැග්නටයිට් නම් අධි බලැති චුම්භක ශක්තියකින් යුතු යකඩ වැනි ලෝහයකින් නිර්මාණය වී ඇතැයි ඔවුහු අනුමාන කරති.
“මේ හා සමාන චුම්භක ප්‍රතිග්‍රහණ මිනිසා වෙතින්ද සොයා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ අනුව චුම්භක ප්‍රතිග්‍රහණය කරගත හැකි ශක්තියක් මිනිසාට තිබේද? ඇතැම් විට අපගේ ශිෂ්ඨාචාරය හේතුවෙන් එය අහිමි වී යන්නට ඇතැයි” යනුවෙන් ජර්මනියේ ඕලඩන්බර්ග් විශ්වවිද්‍යාලයේ ජෛවභෞතික විද්‍යාඥයකු වන මයිකල් වින්ක්ල්හොෆර් පවසයි.


ලොව විවිධ රටවල පවතින පාෂාණවල පවතින චුම්භක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් කිර්ස්වින්ක් විසින් පවත්වා තිබේ. කලකට ඉහත චිටන් නමැති මුහුදු පුෂ්ටිකයකුගේ දත්වල චුම්භක ශක්තියක් ඇති බව සොයා ගැනීමට ඔහු සමත් විය. 1978 වැනි කාලයේ කිර්ෂ්වින්ක් ජිව විද්‍යාඥයකු වූ ජේම්ස් ගුල්ඞ් හා එක්ව සතුන්ගේ ආහාර රටාව සම්බන්ධ පර්යේෂණයක නිරතව  සිටියේය.  මීමැස්සන්ගේ උදරයේ චුම්භක ශක්තියක් ඇති බැව් අනාවරණ කර ගැනීමට ඔවුහු සමත් වූහ. 1979දී පරෙවියන්ගේ හිසෙහි ඇති චුම්භක ශක්තිය පිළිබඳව ඔවුහු පර්යේෂණ පැවැත්වූහ. පසු කාලයේ ඔහු රොබින් බේකර් නමැති ජිවවිද්‍යාඥයා සමඟ එක්ව විශාල සතුන්ගේ සිරුරේ ඇති චුම්භක ක්ෂේත්‍රය මැනීමේ පර්යේෂණයකද නිරත විය.


මිනිසුන් සම්බන්ධයෙන්ද ඔවුහු විවිධ පර්යේෂණවල නිරත වූහ. මිනිසාගේ කෝටර අස්ථියේ (සයිනස් බෝන්) චුම්භක ශක්තියක් ඇතැයි 1983දී පත්‍රිකාවක් එළිදක්වමින් බේකර් සඳහන් කළේය. වසර 30කට අධික කාලයක් මුළුල්ලේ මිනිසා තුළ ඇති චුම්භක ප්‍රතිග්‍රහණ ශක්තිය හඳුනා ගැනීම සඳහා කිර්ෂ්වින්ක් පර්යේෂණවල නිරත විය. මානව විද්‍යා වැඩසටහන යටතේ ලද ඩොලර් 900,000 ප්‍රදානයක් මත ඔහු ඇතුළු භෞතික විද්‍යාඥයන් පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණවල නිරතවෙමින් සිටිති. විවිධ පුද්ගලයන් යොදා ගනිමින් මෙම පර්යේෂණ සිදු කෙරෙන අතර ඔවුන් අඳුරු ඇලුමිනියම් මැදිරියක දමා ඒ තුළට චුම්භක ක්ෂේත්‍ර යොමු කිරීම එක් පියවරකි. එම ඇලුමීනියම් කුටියට පිටතින් චුම්භක ක්ෂේත්‍ර ඇතුළු වීම වළක්වා ඇති අතර කුටියේ ඇතුළත සවි කර ඇති දඟරවලට විදුලිය සැපයීමෙන් එක හා සමාන චුම්භක ක්ෂේත්‍රයක් කුටියේ මධ්‍යයට යොමු කරනු ලබයි. පුද්ගලයා අසුන්ගෙන සිටින්නේ දැවමය අසුනකය. ඊසීජී යන්ත්‍රයකට සම්බන්ධ කර හිසට සවිකර ඇති ඉලෙක්ට්‍රෝඩ මගින් මොළයේ තරංග මැනීම සිදුවේ. පෘථිවියෙන් නිකුත්වන චුම්භක ක්ෂේත්‍රයට සමාන භ්‍රමණය වන චුම්භක ක්ෂේත්‍රයක් තම පර්යේෂණ මාධ්‍යය වෙත යොමු කොට ඒවාට මොළය සංවේදීවන ආකාරය මැනීම ඔවුන්ගේ ඉදිරි අරමුණ වී තිබේ. එම පර්යේෂණයට ප්‍රථමයෙන් මුහුණ දුන්නේ කිර්ෂ්වින්ක්ය. 19 වැනියා වූයේ මත්සුඩාය. කාර්යයේදී එකිනෙකට වෙනස් වූ පර්යේෂණ අටක් සිදු කෙරෙන අතර එයට යොමු කරන පුද්ගලයා පැයකට ආසන්න කාලයක් එම කුටිය තුළ ඝන අඳුරේ සිටිය යුතුය. එහිදී සිදු කෙරෙන පර්යේෂණ වැඩි ප්‍රමාණයකදී පෘථිවියේ චුම්භක ශක්තියට සමාන ශක්තියක් සහිත චුම්භක ක්ෂේත්‍රයක් සෙමෙන් පර්යේෂණයට බඳුන් වන පුද්ගලයාගේ හිස වටා භ්‍රමණය කෙරේ. මෙම පර්යේෂණ ආරම්භ වූයේ 2014 වසරේ අවසන් භාගයේදීය.


“සයවැනි ඉන්ද්‍රිය අපගේ පරිණාම ඉතිහාසයේ කොටසක්. චුම්භක ප්‍රතිග්‍රහණය පැරණිතම සංවේදී ඉන්ද්‍රිය විය හැකියි” යනුවෙන් කිර්ෂ්වින්ක් සඳහන් කර තිබේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා