මඟ වැරදුණු ජීවිතය යළි යහ මගට

රැඳවියන්ගේ සංගීත කණ්ඩායම

 

රැඳවියන්ගේ නාට්‍ය ඉදිරිපත් කිරිමක්

වඩු වැඩ හා  කැටයම් පුහුණුව ලබන රැඳවියෝ

 

 

 

ජෝශප් අපට හමුවූ මතට ඇබ්බැහි වූවන් අතර සිටි විශේෂ චරිතයකි. මන්ද යත් ඔහු මතට ඇබ්බැහිව සිටියදී සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය මෙන්ම ඉන්පසු වැඩිදුර අධ්‍යාපනය පෞද්ගලික ආයතනයකින් ලබාගනිමින් ව්‍යාපාර කළමනාකරණය විෂය සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක්ද සමත් වූවෙකි. මෙය සාමාන්‍ය තත්ත්වය නොවේ. ඔහු ගෙදරට හොරා මේ සියල්ල කරද්දී මත්කුඩුවලට ඇබ්බැහිව එයද තමන්ට අවශ්‍ය පරිදි කරගෙන ගියේ එයින් තමන්ගේ අනාගත ඉලක්කවලට කිසිම බාධාවක් නැතැයි සිතමිනි. එහෙත් ඔහුටද වැරදුන තැනක් තිබිණ. ඇබ්බැහියක් යනු පාලනය කළ හැක්කක් නොවේ. ඒ නිසා ඔහුට දිනකදී වැරදුණේය. ඒ කොහේදීද. මේ ඔහුගේ කතාවයි.   


මගේ පවුලේ හිටියේ මායි අක්කයි විතරයි. තාත්තා පෞද්ගලික ආයතනයක ලොකු තනතුරක් දරපු කෙනෙක්. අපිට මිල මුදල්වලින් අඩුවක් තිබුණේ නැහැ. මම ඉගෙන ගත්තේ ජනප්‍රිය පාසලක. අට නවය පංතිවලට යද්දි යාළුවකු මාර්ගයෙන් ගංජා උරන්න පුරුදු වුණා. මම කවදාවත් දෙවැනියා වෙන්න කැමති වුණේ නැහැ. ඒ නිසා ගංජා උරන අය අතරෙත් මට උඩට එන්න ඕන වුණා. ඉතින් මම ගංජා භාවිත කළේ සිගරට් එකක් උරනවාටත් වඩා පහසුවෙන්. එහෙම කරලා ඉස්කෝලේ වැඩ ටිකත් හොඳට කළා. කාලයක් යද්දි මට ගංජා නැතිව පාඩම් කරන්න බැරි තත්ත්වයක් ඇති වුණා. මම හොඳට විභාගවලට ලිව්වා. ඒත් මගේ යාළුවන්ට එහෙම කරන්න බැරි වුණා. එයාලා විභාග අසමත් වුණා. ගංජා භාවිතා කරනවා කියලා එයාලව ඉක්මනටම ගුරුවරුන්ට කොටු වුණා. අනේ මන්දා මට එහෙම ගැටලුවක් ආවේ නැහැ.   


ඊට පස්සේ අපේ ගමේ කෙනෙකුගෙන් මට මත්කුඩු අඳුනගන්න ලැබුණා. එකට මම ඇබ්බැහි වුණේ ගංජාවලටත් වඩා බරපතළ විදිහටයි. මම රෑට පාඩම් කරන්න කලින් කුඩු ගැහුවා. අන්තිමට මට පාඩම් කරන්න කුඩු නැතිව බැරි වුණා. ඉස්කෝලේ ගියෙත් උදේට කුඩු පාවිච්චි කරලා. ඒත් ඒක කාටවත් නොදැනෙන විදිහට කරගන්න මට පුළුවන් වුණා. ඒවාට සල්ලි හොයාගන්න මම ගෙදරට ගොඩක් බොරු කිව්වා. සම්මන්ත්‍රණ තියෙනවා, අමතර රිවිෂන් තියෙනවා වගේ ඒ ඒ වෙලාවට එක එක බොරු කියලා සල්ලි හොයා ගත්තා.   
මේ විදිහට බොරු කියලා කුඩු ගැහුවත් මම තියාගත්ත සීමාව නිසා වගේම මම හොඳට ඉගෙන ගත්තු නිසා කවුරුවත් මාව සැක කළේ නැහැ. උසස් පෙළ ලියන අතරේ දවසක් මාව කුඩු ගහද්දි අපි කට්ටයක් එක්ක අත්අඩංගුවට ගත්තා. මම ගෙදරට කිව්වා මේ ගැන මොනවත්ම දන්නේ නැහැ, මේක බොරුවක්. මම හිටපු තැන එහෙම කවුරුහරි ඉඳලා තියෙනවා. මම හිටියේ යාළුවෙක් හම්බ වෙන්න මේ කිසිම දෙයක් මම දන්නේ නැහැ කියලා. අම්මලා ඒ කතාව එහෙම පිටින්ම විශ්වාස කළා. මොකද මගෙන් එවැනි ක්‍රියාකාරිත්වයක් දකින්න ලැබුණේ නැති නිසා. ඉගෙන ගන්න වැඩේ තමයි එයාලට මූලික වුණේ. ඒක හරියට කරපු නිසා මම වැරදි මාර්ගයක යනවා කියලා කිසිම සැකයක් ඇති කරගත්තේ නැහැ.   


මම සාමාන්‍ය පෙළ ලිව්වා. ඉහළින්ම සමත් වුණා. උසස් පෙළ වාණිජ අංශයෙන් ඉ​ෙගන ගත්තා. ඒකත් සමත් වුණා. ඒත් කැම්පස් යන්න ලකුණු මදි. මම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ව්‍යාපාර කළමනාකරණය ඉගෙන ගත්තා. ඒකත් හොඳින් අවසන් කළා. ඊට පස්සේ රස්සාවක් කළා. රස්සාවෙන් හම්බවෙන මුදල් මට ඒ වෙනකොට කුඩු භාවිතයට ප්‍රමාණවත් වුණේ නැහැ. අවුරුද්දක් විතර රස්සාව කළාට පස්සේ මම ණයක් ගත්තා. පඩියෙන් ණයට කැපුණාම ඉතුරු වෙන ගාණ මට හොඳටම මදි වුණා.   
ඉතින් මම ටියුෂන් කළා. ඒකත් මදි. මම ඒ වෙනකොට කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වෙලා හිටියේ. ඒ නිසා සල්ලි මදිවෙන කොට ගෙදරින් පොඩි පොඩි හොරකම් කරන්න පටන් ගත්තා. මේ විදිහට යද්දි මට රස්සාව කරගෙන යන්න බෑ වගේ දැනෙන්න ගත්තා. රස්සාව කළාට මගේ වියදම හොයාගන්න ඒක මදි. ඉතින් මම ඒකෙන් අස්වෙලා ටියුෂන් කරන්න ගත්තා. මේ කාලේ මාව කුඩුත් එක්කම පොලිසියට අහුවුණා. ඒ වෙලාවෙ නම් ගෙදරට මේක හංගන්න බැරි වුණා.   


ප්‍රශ්නය පටන් ගත්තේ ඉන් පස්සෙයි. ඒ වෙනකොට මම අවුරුදු එකොළහක් විතර කුඩු ගහලා. මම ගෑනු ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා. ඒකත් යාළුවෝ හැමෝටම කෙල්ලෝ ඉන්න කොට මට විතරක් සෙකන්ඩ් වෙන්න බැරි නිසා පටන් ගත්තේ. ඒත් වැඩි කාලයක් මේ සම්බන්ධය තිබුණේ නැහැ. මොකද එයාට මං ගැන සැකයක් ඇති වෙලා තිබුණා. පොලිසියට අහුවුණාට පස්සේ ඒ කතාව එහෙම පිටින්ම නැතිව ගියා. යාළුවන්ට සෙකන්ඩ් වෙන්න බැරි නිසා පටන් ගත්තා වුණත් මං එයාට ආදරය කළා. ඒ සම්බන්ධතාව නැතිවීමත් මට තදින් බලපෑවා.   


ඊට පස්සේ අම්මලා මාව පුනරුත්ථාපනය කරන්න විවිධ ආයතනවලට යොමු කළා. ඒවායේ මාස හයක් විතර පුනරුත්ථාපනය වෙනවා. ඒත් ආපහු ඇවිත් පුරුදු වැඩේ කරනවා. මම නාස්ති කරපු මුදල් ප්‍රමාණය කොයිතරම්ද කියලා කියන්න බැහැ. අන්තිමට ගෙදර පාවිච්චියට තිබුණ කාර් එකත් විකුණන්න තාත්තාට සිදුවුණා. ඒ මම රස්සාව කරන කාලේ ගත්ත ණය අස්වෙනකොට ගෙවලා ඉවර වෙලා තිබුණේ නැහැනේ. ඉතින් වාරික හිඟවුණ එකයි, ඒවායේ පොලියයි සේරම එකතු වුණාම ලොකු ගාණක් ගෙවන්න සිදු වුණා. අක්කා ඩොක්ටර් කෙනෙක්. එයාට කාර් එකක් තිබුණා. ඒ නිසා යම්තම් ගෙදර ගමන් බිමන්වලට ඒක යොදාගන්න පුළුවන් වුණා.   


මේ හැම දේකින්ම අපේ තාත්තාගේ මානසිකත්වය කඩා වැටුණා කියලා මට දැනුණා. එයා මං ගැන තමයි ගොඩක්ම බලාපොරොත්තු තියාගෙන හිටියේ. මම කවදාවත් මේ වගේ වරදක් කරයි කියලා නම් එයා හිතන්නවත් නැතුව ඇති. අම්මා මුල් දවස්වල මාව දකින දකින වතාවට අඬන්න ගත්තා. ඒක මට පුදුම වධයක් වුණා. මට ගෙදර ඉන්න එක එපා වෙන තරමට ඒක දරාගන්න අමාරු වුණා.   


දැන් මගේ වයස අවුරුදු තිස් හතරක්. තවම මම කසාද බැඳලා නැහැ. ඒවා ගැනත් අම්මලා ගොඩක් හිතනවා. කොහේ කසාද බඳින්නද? කුඩුගහන්න ඇබ්බැහි වුණ මිනිහෙකුට කවුද තමන්ගේ දුව දෙන්න කැමති වෙන්නේ? අනික මම පහුගිය කාලයේ වැඩිම කාලයක් ගත කළේ පුනරුත්ථාපන කඳවුරුවල. අන්තිමට තමයි මෙතනට ආවේ. මේක නම් අන්තිම වතාව වෙයි කියලා මම හිතනවා.   


මෙතන අපි අවුරුද්දක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිත නොකර අත්ඇරලා ඉන්නවා. එහෙම ඉන්න පුළුවන් නම් අපිට එළියේ ගිහින් ඉන්න බැරිකමක් නැහැනේ. මේ හැම දේකටම මුල් වෙන්නේ අපේ හිත. හිත ශක්තිමත්ව හදාගන්න පුළුවන් නම් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. මම තරුණ පරපුරෙන් ඉල්ලන්නේ අපිට ආතල් වගේ හිතුණට, ඕනම දෙයක් කුඩු ගත්තත් කරන්න පුළුවන් කියලා හිතුණට, ඒ හැම දෙයක්ම වරදින වෙලාවක් එනවා. ඒ නිසා සිහින පස්සේ දුවන්න එපා කියලා මම ඒ අයගෙන් ඉල්ලනවා. අපිට කුඩු කාරයා කියලා ලේබල් වැදුණට පස්සේ ඒක වෙනස් කරන එක ලේසි නැහැ. දැන් මම පුනරුත්ථාපනය වෙලා ගමට ගියාම හිටපු කුඩුකාරයා වෙනවා. ඒත් අර කුඩු කියන වචනෙන් මිදෙන්න බැහැ. සමාජය අපිට පුදන චරිත සහතිකයක් ඉවත් කරගන්න එක පහසු නැහැ. ඒ නිසා හොඳම දේ ඒ වගේ සහතික නොගෙන ඉන්න එකයි.   

 

මගේ පවුලේ හිටියේ මායි අක්කයි විතරයි. තාත්තා පෞද්ගලික ආයතනයක ලොකු තනතුරක් දරපු කෙනෙක්. අපිට මිල මුදල්වලින් අඩුවක් තිබුණේ නැහැ. මම ඉගෙන ගත්තේ ජනප්‍රිය පාසලක. අට නවය පංතිවලට යද්දි යාළුවකු මාර්ගයෙන් ගංජා උරන්න පුරුදු වුණා. මම කවදාවත් දෙවැනියා වෙන්න කැමති වුණේ නැහැ. ඒ නිසා ගංජා උරන අය අතරෙත් මට උඩට එන්න ඕන වුණා. ඉතිං මම ගංජා භාවිත කළේ සිගරට් එකක් උරනවාටත් වඩා පහසුවෙන්. එහෙම කරලා ඉස්කෝලේ වැඩ ටිකත් හොඳට කළා. කාලයක් යද්දි මට ගංජා නැතිව පාඩම් කරන්න බැරි තත්ත්වයක් ඇති වුණා. මම හොඳට විභාගවලට ලිව්වා. ඒත් මගේ යාළුවන්ට එහෙම කරන්න බැරි වුණා. එයාලා විභාග අසමත් වුණා. ගංජා භාවිතා කරනවා කියලා එයාලව ඉක්මනටම ගුරුවරුන්ට කොටු වුණා. අනේ මන්දා මට එහෙම ගැටලුවක් ආවේ නැහැ.   ඊට පස්සේ අපේ ගමේ කෙනෙකුගෙන් මට මත්කුඩු අඳුනගන්න ලැබුණා. එකට මම ඇබ්බැහි වුණේ ගංජාවලටත් වඩා බරපතළ විදිහටයි. මම රෑට පාඩම් කරන්න කලින් කුඩු ගැහුවා. අන්තිමට මට පාඩම් කරන්න කුඩු නැතිව බැරි වුණා. ඉස්කෝලේ ගියෙත් උදේට කුඩු පාවිච්චි කරලා. ඒත් ඒක කාටවත් නොදැනෙන විදිහට කරගන්න මට පුළුවන් වුණා. ඒවාට සල්ලි හොයාගන්න මම ගෙදරට ගොඩක් බොරු කිව්වා. සම්මන්ත්‍රණ තියෙනවා, අමතර රිවිෂන් තියෙනවා වගේ ඒ ඒ වෙලාවට එක එක බොරු කියලා සල්ලි හොයා ගත්තා.


ජෝශප් කියන්නේ විශේෂ චරිතයක් බව ඔබටත් දැන් වැටහෙන්න ඇති. මෙවැනි තවත් බොහෝ දෙනා කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටිති. ඇතැමෙක් ගුරුවරයෙකි. ඇතැමෙක් ඉංජිනේරුවෙකි. ඇතැමෙක් වෛද්‍යවරයෙකි. තවත් කෙනෙක් කලාකරුවෙකි. මේ කොයි කවුරුත් මත්ද්‍රව්‍ය භාවිතය නිසා එකම බෝට්ටුවට වැටී සිටිති.   
මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් ලෙස පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශය යටතේ පවත්වාගෙන වැලිකන්ද, කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයත්, සේනපුර තෘතීක අධ්‍යාපන හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයත් සිදුකරන සේවය ඉතා විශාලය. ඒ බව මේ ලිපි පෙළ කියවන ඔබට වැටහෙන්නට ඇතැයි අපි සිතමු. එහෙත් ඔවුන් සතු පහසුකම් නම් ඉතාමත් අල්පය. මෙවැනි රැඳවියන් පිරිසක් පුනරුත්ථාපනය කිරීමේදී පැවතිය යුතු පරිසරයක් ඔවුන්ට නිර්මාණය කිරීමද, විශේෂයෙන්ම පසු විපරම් අංශයට තව තවත් සේවකයින් බඳවා ගෙන එම කාර්යය තව තවත් පුළුල්ව සිදුකිරීමට රජයේ අවධානය යොමු විය යුතුව ඇතැයි අපි සිතමු.   

 

පරිගණක පුහුණුව ලබන රැඳවියෝ

වෑල්ඩින් පුහුණුව ලබන රැඳවියෝ

 

භාවනාවේ යෙදෙන රැඳවියෝ 

 

 


මේ කාර්යය වඩාත් සාර්ථක කරගැනීමට රජයක් ලෙස මීට වඩා සැලසුම් සහගත වන්නේ නම් අවම වශයෙන් මතින් තොර රටක් වෙනුවෙන් කටයුතු කරන රජයටම අනුබද්ධ ආයතන රැසක් වෙන වෙනම තමන්ට ලකුණු රැස්කරගැනීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා වෙනුවට සියල්ල ඒකාබද්ධ කරගත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇත. මතට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය මාෆියාවක් බවට පත්වීමට පෙර පෞද්ගලික අංශයෙන් පවත්වාගෙන යන මධ්‍යස්ථාන නියාමනයකට ලක්කිරීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුව ඇතැයි යන්න අපේ හැඟීමයි. මන්ද ඒවා සඳහා වැය කරන්නේද මේ රටේ ජනතාවගේ මුදල් වන බැවිනි.   


(මෙහි එන නම් ගම් මන:කල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න.)   


විශේෂ ස්තුතිය - පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක හා නියෝජ්‍ය පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් දර්ශන ලියනගේ, අධ්‍යක්ෂ පුනරුත්ථාපන හා පශ්චාත් පුනරුත්ථාපන කර්නල් එම්. අසාද් ඉසඩීන්, කන්දකාඩුව හා සේනපුර මධ්‍යස්ථාන දෙකෙහි අධ්‍යක්ෂකවරුන් වන කර්නල් චමින්ද පැස්කුවල් හා ලුතිනන් කර්නල් විරාජ් විමලසේන මහත්වරුන්ට.   

 

 


සටහන හා ඡායාරූප
මුදිතා දයානන්ද