IMG-LOGO

මඩුගල්ලේ නිලමේගේ ඥාතීන් සොයා ගිය ගමන

 

බි්‍රතාන්‍යයන් මෙරටින් එළවා දමා යළි ලක්දිව නිදහස් රාජ්‍යයක් බවට පත් කර ලීමේ අරමුණෙන් 1817-1818 තුළ ඇති වු නිදහස් සටනේ එක් ප්‍රධාන නායකයකු වූයේ මඩුගල්ලේ නිලමේය. ඉංග්‍රීසින් ප්‍රකාශ කර ඇත්තේ කැරැල්ලේ තෙවැනි ප්‍රධාන නායකයා මඩුගල්ලේ නිලමේ බවය. සටන් බිමේදී දැක් වු ශූර වීරකම් නිසා දේශීය වැසියන් බොහොමයක් නිලමේට සෙනෙහසක් මෙන්ම ගෞරවයක් දක්වා ඇත.


බි්‍රතාන්‍යයෝ සටන මර්දනය කිරීමට යුද්ධ නීතිය පනවා සිංහල ජනයා මරා දැම්මේ ඉවක් බවක් නැතිවය. උන්හිටි  තැන් අහිමි කරවනු ලැබුවේ ගෙවල් දොරවල් කඩා බිඳ ගිනි තබා විනාශ කරලමිනි.


වැව් අමුණු ඇළ දොළවල් කඩා බිඳ වතුපිටි කෙත් යායවල් විනාශ කර දැම්මේ බඩගින්නේ තබා මරා දැමීමටය. ඉංග්‍රීසීන් මෙන්ම ඔවුන්ට උදව් උපකාර කරන්නන් ගවයන් මරා ඔවුන්ගේ මස් අනුභව කළේ ගැමියන්ට ගවයන්ගෙන් ලබා ගත හැකි ප්‍රයෝජනද අහිමි කරලමිනි.


ඉංග්‍රීසි පාලකයන් නිලධාරීන්ට භටයන් හා ඔවුන්ට උදව් උපකාර කරන්නන්ට මත් පැන් ලබා දී ඇත්තේ නිර්ලෝභීවය. මතින් මත් වූ ඔවුහු කුඩා දැරියන් යුවතියන් දූෂණය කොට මරා දැම්මෝය. කාන්තාවන්ට අතවර කර මරා දැමූහ. තම උපන් බිමේදීම පරදේශක්කාරයන්ගේ තාඩන පීඩනවලට ලක්ව මිය යන්නට තරම් දැරියෝ යුවතියෝ කාන්තාවෝ අවාසනාවන්ත වී සිටියෝය.


මර්දනය  අතරේම සටන් මෙහෙය වු නායකයන් අල්ලා ගන්නට බි්‍රතාන්‍යයෝ විවිධ උපක්‍රම  යොදන්නට වූහ. තමන්ට ඒ කාර්යය කරන්නට නොහැකි වු තැන අනුන් ලවා එය ඉෂ්ට කර ගන්නට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නට ඔවුහු නොපසුබට වූහ. නායකයන් අල්ලා දෙන්නන්ට ඉතා ඉහළ අගයකින් යුත් තෑගි මුදල් ලබා දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.


ඉංග්‍රීසි ආණ්ඩුකාර හා සේනාපති රොබට් බ්‍රවුන්රිග් 1818 මාර්තු 19 දා ප්‍රකාශනයක් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර එම ප්‍රකාශනයේ එක් කොටසක සඳහන් ව ඇත්තේ කැරැල්ලට සම්බන්ධ නායකයන් පිරිසකගේ නම් මෙන්ම ඔවුන් අල්ලා දෙන්නන්ට දීමට නියමිත තෑගි මුදල් ප්‍රමණයන්ය.


ඌවේ හිටපු දිසාව වන කැප්පෙටිපොළ ඇල්ලීමට:- තාරකා පගෝදි දෙදාහක්.
සත් කෝරලේ හිටපු දිසාව වන පිළිමතලාවේ ඇල්ලීමට:- තාරකා පගෝදි දාහක්.
හිටපු උඩ ගබඩා නිලමේ වන මඩුගලලේ ඇල්ලීමට:- තාරකා පගෝදි දාහක්.
වලපනේ හිටපු මොහොට්ටාල වන කිවුලේ ගෙදර ඇල්ලීමට:- තාරකා පගෝදි පන්සීයක්.
හිටපු අදිකාරම් වන ඇල්ලේපොල ඇල්ලීම:- රික්ස් ඩොලර් දාහක්.


සටනට හවුල් නායකයන් අල්ලා දී ඉංග්‍රීසීන්ගෙන් තෑගි මුදල් ලබා ගන්නට ඇතමුන් කෑදර සිත් ඇති කර ගන්නට ඇති. එහෙත් නායකයන් අල්ලා දෙන්නට කිසිවෙකුටත් හැකියාවක් හෝ අවස්ථාවක් ලැබී නැත.

 


ඉංග්‍රීසීන්ගේ මිනිසුන් 70කින් යුත් කණ්ඩායමක් 1818 සැප්තැම්බර් 22 දා උදේ දුම්බර පළාතේ තෙල්දෙණිය ආක්‍රමණය කළෝය. ඒ වන විට තෙල්දෙණියේ බලය පැවතී තිබී ඇත්තේ මඩුගල්ලේ නිලමේ යටතේය. මඩුගල්ලේ නිලමේගේ බලය නිසා තෙල්දෙණියේ වැසියන් ඉංග්‍රීසීන්ගේ කණ්ඩායමට පක්ෂපාතිත්වයක් දක්වා නැත. එහෙත් දින පහක් පමණ ගත වන විට ඇතැම් වැසියන් කෙමෙන් ඉංග්‍රීසීන්ට පක්ෂපාතිත්වය දරන්නට පටන් ගෙන ඇත. එම පක්ෂපාතිත්වය  කෙතරම්ද යත් මඩුගල්ලේ නිලමේට සේවය කළ විදානේවරයෙක් මඩුගල්ලේ නිලමේ ඉංග්‍රීසීන්ට අල්ලා දෙන්නට කැමැත්ත පළ කර ඇත.


විදානේවරයාගේ උදව් උපකාර ඇතිව ඉංග්‍රීසින්ගේ භට පිරිසක් සැප්තැම්බර් 27 දා රාත්‍රී ඉතාම හොර රහසේ ඉතාමත්ම අපහසුවෙන් මඩුගල්ලේ නිලමේගේ වලව්ව පිහිටි උඩදුම්බර මඩුගල්ල ගම්මානය කරා ගමන් කර ඇත. පිරිස මඩුගල්ල ගම්මානයට පිවිස ඇත්තේ 28 දා පාන්දරය. පිරිස විදානේවරයාගේ නිවෙස තුළට පිවිස එහි සැඟවුණේ එදින රාත්‍රියෙහි මඩුගල්ලේ නිලමේ කොටු කර ගන්නටය.


මඩුගල්ල ගම්මානයට ගිය භට පිරිස පිළිබඳ කිසිදු තොරතුරක් නොලද නිසා තෙල්දෙණිය අණදෙන  නිලධාරී කපිතන් ඩොබින් මහතා කලබලයට පත්ව සිටියේය. ඒ අතර මඩුගල්ල ගම්මානය දෙසින් නිකුත් වු වෙඩි ශබ්දයක් පිළිබඳ තොරතුරක් ද ඩොමින්ට ලැබුණේය. තම භට පිරිසට කුමන හෝ ආකාරයේ කරදරයක් පැමිණෙන්නට ඇතැයි සිතූ ඩොබින් ආධාර පිණිස බළ ඇණියක් වහා මඩුගල්ල ගම්මානයට පිටත් කර ඇරියේය. එම භට කණ්ඩායමේ පැමිණීම මඩුගල්ලේ නිලමේට දැන ගන්නට ලැබුණේය. හේ වහා පලා ගියේය.


නිලමේ අල්ලා ගන්නට නොහැකි වුවත් නිලමේගේ පිරිස් විසින් 1818 මාර්තු මාසයේදී අල්ලාගෙන රඳවාගෙන සිටි ලංසි මිනිසුන් දෙදෙනෙකු මුදා ගන්නට ඉංග්‍රීසීන්ගේ භටයනට හැකි විය.


1818 සැප්තැම්බර් 29 වැනි දින ලෙෆ්ටිනන් කර්නල් හාඩි යටතේ හමුදාවේ පිරිසක් දුම්බර බලා ගමන් ගත්හ.


ඔක්තෝබර් 1 වැනිදා කර්නල් හාඩි මඩුගල්ලේ නිලමේ අල්ලා ගන්නට උත්සාහ කළේය. නිලමේ පසුපස ලුහු බැඳ ගිය මුත් අල්ලා ගැනීමට නොහැකි විය. නිලමේ බිම්තැන්න දෙසට පලා ගියේය.


නිලමේ අල්ලා ගන්නට නොහැකි වුවත් නිලමේට ආරක්ෂාව සැලසු අය අල්ලා ගන්නට යුද්ධ උපකරණ තොගයක් අත්පත් කර ගන්නටත් ඔවුනට හැකි විය.


ඔක්තෝම්බර් 1 වැනිදා පලායාමෙන් පසුව සිටින තැනක් පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබා ගන්නට හැකි වී නැත. ඒත් නායකයන් සිටින තැන් පිළිබඳව සෙවුම් බැලුම් වැඩි කරන්නට පියවර ගෙන තිබිණ.


ඒ 1818 ඔක්තෝබර් 28 දාය. ලෙෆ්ටිනන්ට් විලියම් ඔනීල් ගල් තුවක්කුවක් අතැතිව සිටි අයෙකුට පහර දී මෙල්ල කර ගෙන ඔහුගෙන් ඉතා සුවිශේෂී තොරතුරක් ලබා ගෙන ඇත. ලැබු තොරතුරු මත හවස 3.00 ට පමණ තිහකගෙන් පමණ සමන්විත තම භට කණ්ඩායම යොදවා පරවහගම අසල වලව්වක් වටලා ඇත.


වලව්වට ඇතුළුවීමෙන් පසුව එහි සිටි කැප්පෙටිපොල පිළිමතලාවේ දිසාවේවරු තම භාරයට ගන්නට ඔනීල්ට හැකි වූයේය. එහි සිටි මඩුගල්ලේ නිලමේ ඇතුළු පිරිසක්  පලා ගියහ. එසේ පලා ගොස් ඇත්තේ නිලමේ ඇතුළු දහනව  දෙනෙකුගෙන් යුක් කණ්ඩායමකි.
පසුව නිලමේ සැඟ වී සිටින ස්ථානය පිළිබඳ තොරතුරක් ගම්වැසියන් පිරිසකට දැන ගන්නට ලැබිණ. ගම්වැසියෝ එම තොරතුරු ඉංග්‍රීසීන්ගේ කනේ තැබූහ.


1818 නොවැම්බර් 2 දා පෙරවරුවේ හැත්තෑතුන්වෙනි රෙජිමේන්තුවේ එන්සයින් සූට්බ්රේඞ් මාතලේ උඩුගොඩ කෝරළේ නිකවැල්ල, පුබ්බිලිය හා කෝන්ගහවෙල ගම්වැසියනගේ උපකාර ඇතිව මාතලේ කයිකාවල මුරපොළේ භට කණ්ඩායමක් කැටුව ගොස් මඩුගල්ලේ නිලමේ අල්ලා ගත්තේය. නිලමේ අසු වුයේ ඇළහැරට නුදුරු ස්ථානයකදීය.


නිලමේ අල්ලා දුන් ගම්වැසියන්ට කෘත ගුණ සලකන්නට ද ඉංග්‍රීසිහු අමතක නොකළෝය. පහසු අයබදු ක්‍රමයක් ඔවුනට හිමි කර දෙන්නට පියවර ගත්හ.


මහනුවර යුද්ධාධිකරණයේදී නඩුවක් පැවරුණේ යුද වැදීමේ චෝදනාව යටතේය. 1818 නොවැම්බර් 16 දා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ හිස ගසා මරා දැමීමට නියෝග කරමිනි. ඒ අනුව 1818 නොවැම්බර් 26 දා හිස ගසා මරා දැම්මේ මහනුවර බෝගම්බර වැව අසල තිබු වධක භූමියේදීය.


නිලමේට අයිතිව තිබු ගෙවල් දොරවල් වතුපිටි රාජසන්තක කොට දැම්මේ මරා දැමීමෙන් නිහඬ නොවෙමිනි. නිලමේගේ බිරිඳ හා පුතුන් හතර දෙනා කළුතරට ද මව හා සොහොයුරිය කොළඹට ද යැවුවේ ඥාතීන්ගෙන්ද පළි ගනිමිනි.

 


හුන්නස්ගිරියේ පදිංචි 60 වැනි වියේ පසුවන හිටපු චිත්‍රපටි කාර්මික ශිල්පියකු වූ කරුණාතිලක ජයසුන්දර වීරසේකර රාජපක්ෂ වාසල නායක නිසි මුදියන්සේ රාලහාමිලාගේ මඩුගල්ලේ වලව්වේ ඩ්‍රේක් මඩුගල්ලේ මහතා නිලමේ පරපුරේ අයෙකි. නිලමේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේදී ඔහු පැවසු දෙය මෙසේය.


ඉංග්‍රීසීන් පන්නා දමා සිංහල රජෙක් සිංහාසනාරූඪ කරවීම පිණිස 1816 වර්ෂයේ මැද භාගයේ මඩුගල්ලේ නිලමේත් තවත් පිරිසකුත් කුමන්ත්‍රණයක් කළා. නමුත් ඉංග්‍රීසීන්ට ගැති නිලමේවරයෙක් කුමන්ත්‍රණයේ තොරතුරු ඉංග්‍රීසීන්ට ලබා දීමට පියවර ගත්තා.


ඉංග්‍රීසි ආණ්ඩුව පෙරළා දමන්න කුමන්ත්‍රණය කළාට හිර දඬුවම් ලබා දුන්නා. 1816 සැප්තැම්බර් මාසයේ සිට 1817 අගෝස්තු මාසය දක්වා යාපනයේ හිර ගෙදර හිර දඬුවම් වින්දා. ඔහුට 1817 අගෝස්තු මාසේ මැද දී නිදහස ලැබුණා. ඉංග්‍රීසී ආණ්ඩුව පෙරළන්නට ගොස් සිර දඬුවම් විඳි පළමු පුද්ගලයා ලෙසින් මඩුගල්ලේ නිලමේ ඉතිහාස ගත වී තිබෙනවා.


ඔහු දැරූ උඩ ගබඩා ධුරයෙන් හා වැලතේ ගම්පතිකමින් නෙරපා දමන්නට ද ඉංග්‍රීසින් කටයුතු කර තිබෙනවා.


නිදහස ලැබූ මඩුගල්ලේ නිලමේ නැවතත් 1817 හා 1818 දී ඉංග්‍රීසීන් ලක්දිවෙන් පන්නා දැමීමට සටන් කළා.


මඩුගල්ල ගම්මානයේ ඔහුට අයත්ව තිබු වලව්ව කාලයාගේ ඇවෑමෙන් විනාශ වී ගොස් තිබෙනවා. වලව්ව තිබූ බිමේ දැන් අලුත් ගෙවල් කිහිපයක් ඉදි කර තිබෙනවා. වලව් බිමේ තිබූ පැරණි ගල් බැමි කඩා වැටෙමින් පවතිනවා.


වලව්වට පිවිසීමට ගල් අතුරා සාදා තිබූ අඩි පාර මෙයට වසර කිහිපයකට පෙර දී කොන්ක්‍රීට් යොදා පිළිසකර කළා. ගල් අතුරා තිබූ අඩි පාර වසර 200කටත් වඩා පැරණිය. පැරණි පාර කොන්ක්‍රීට්වලින් වසා දැමීමෙන් කළේ නුසුදුසු දෙයක්.


ලෝළිඳ නමින් ප්‍රසිද්ධියට පත්ව තිබූ වලව්වට අයත් ළිඳ සොබාවිකව ගලින් සෑදී තිබුණා. ළිඳ කොන්ක්‍රීට් කිරීම නිසා පැරණි තත්ත්වයට විශාල හානියක් සිදු වී තිබෙනවා. පැරණි ළිඳ නවීකරණය කිරීම ද නුසුදුසු දෙයක්.


වලව්ව පිහිටා තිබූ සම්පූර්ණ බිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගන්නට පියවර ගෙන නෑ.


මඩුගල්ලේ නිලමේ වෙනුවෙන් යම් යම් සංවිධාන කිහිපයක් පිහිටුවාගෙන ඇතත් වලව්ව තිබූ බිම සංරක්ෂණය කරවා ගැනීමට ඒ සංවිධාන උනන්දු නොවීම කනගාටුවට කාරණයක්. නිලමේට පින් පැමිණවීම ඉතා හොඳ දෙයක්. ඒ වගේම වලව්ව තිබූ බිම සංරක්ෂණය කරවා ගැනීමට කටයුතු කිරීමද විය යුතු දෙයක්.


මඩුගල්ලේ ගම්මානයේ පදිංචි උඩදුම්බර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම්.ඩබ්ලිව්. ගාමිණී සෙනරත් බණ්ඩාර හාල්යාල මහතාද නිලමේගේ පරපුරේ කෙනෙකි. නිලමේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේදී ඔහු පැවසුවේ මෙවන් දෙයක්.


මඩුගල්ල ගමේ ඉඳලා වරකාකෑල්ල, කලවැලගාවහේන, අබසිංපිටිය, උණගොල්ල ප්‍රදේශ පසු කරලා කිලෝ මීටර් 8 ක විතර දුරක් පයින් ගමන් කළ විට කුඹුක්ගොල්ල ප්‍රදේශය හමු වෙනවා. කුඹුක්ගොල්ලේ එක් පැත්තන තියෙන්නේ මහවැලි ගඟයි. ඒ ස්ථානයේ ඉඳලා කිලෝමීටර් තුනක පමණ දුරක් ගිය විට රන්දෙණිගල ජලාශයේ වේල්ල හමුවෙනවා.


මඩුගල්ලේ නිලමේට අයිතිව තිබු අක්කර පහක පමණ කුඹුරක් තියෙනවා. කුඹුක්ගොල්ලේ නිලමේ දිවි පිදුවාට පස්සේ ඒ කුඹුරේ අයිතිය දිගටම තිබෙන්නේ නිලමේගේ පරපුරේ අයටයි.


උඩදුම්බර නගරයේ සිට මඩුගල්ල ගම්මානය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මඩුගල්ල ගම්මානය ආරම්භ වන ස්ථානයේ මඩුගල්ලේ නිලමේ මාවත යනුවෙන් පුවරුවක් ඉදි කරන ලෙසට මම වගකිවයුත්තන් රැසකට ප්‍රකාශ කළා. එවැනි පුවරුවක් ඉදිකිරීමට නීත්‍යනුකූල පියවර කිහිපයක් ද ගත යුතු වෙනවා. පෞද්ගලිකව මුල් වෙලා එවැනි කටයුත්තක් කරන්නට නීතියෙන් අවසරයක් නෑ. නීත්‍යනුකූල පියවර අනුගමනය කර එවැනි පුවරුවක් ඉදි කිරීම යුගයේ අවශ්‍යතාවක්.


වත්මනෙහි ඈත එපිට පළාත්වලින් මඩුගල්ල ගමට පිවිසෙන බොහෝ අය මඩුගල්ලේ නිලමේ මේ ගමේ විසු බවට දන්නේ නෑ. ඒ නිසයි මාවත නම් කිරීම කාලෝචිත වන්නේ.



අදහස් (2)

මඩුගල්ලේ නිලමේගේ ඥාතීන් සොයා ගිය ගමන

Bavindra Thursday, 26 August 2021 08:55 PM

මඩුගල්ලේ මොහුගේ කවුරුන් හෝ වන්නට ඉඩ තිබේ

:       0       0

තෙන්නකෝන් මුදියන්සේලාගේ ජිවනි මංජුලා කුමාරි මඩුගල්ල Monday, 11 October 2021 11:30 AM

මඩුගල්ලේ නිලමෙතුමා සිහිපත් කර සැම නොවැම්බර් 26වෙනිදා දිනකම මඩුගල්ලේ පරම්පරාවේ සියළුදෙනා වත් තනිව හෝ එකතුව පිංකම් සිදුකොට එතුමාට පිං පැමණවිය යුතුයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 757 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1176 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site