IMG-LOGO

2024 අප්‍රේල් මස 15 වන සඳුදා


භීෂණ සමයේ මහජනයා නැතිව පැවැත්වූ නුවර මහ පෙරහර

එදා දෙපැත්තෙන්ම ඇඳිරි නීතිය දාලා   

 

  • කොරෝනා නිසා මෙවරද නුවර දළදා පෙරහර මහජනතාවට විවෘත නෑ.   
  • මොන තත්ත්වයක් තිබුණත් අස්ගිරිය ආදාහන මළුවට ගොස් දළදා කරඬුව තැන්පත් කළ යුතුමයි. ඒක එදා රාජ නියෝගයයි. මේ නිසා පෙරහර වීදි සංචාරය කළ යුතුමයි.   

මෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර ජුලි මස 25 වැනි දින ආරම්භ වී අගෝස්තු මස 04 වැනි දින දහවල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව නිමා වීමට නියමිතය.  කෙසේ නමුත් මුළු මහත් ලෝකයම භීතියට පත් කළ වසංගතයක් වන කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පෙරහර මහජනතාවට විවෘත නොවන බව මේ වනවිටත් ප්‍රකාශයට පත් කොට තිබේ. මෙවර පෙරහර පැවැත්වීමට සැලසුම් කොට ඇත්තේ සාමාන්‍ය ජනතාවට ඊට සහභාගි වීමට නොහැකි ආකාරයටය.   


ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ පෙරහර සුපුරුදු පරිදි වීදි සංචාරය කරන බවත් අලි ඇතුන් පනහක් පමණ ඊට සහභාගි කරවන බවත්ය. එතරම් අලංකාර පෙරහරක් ජනතාවට නැරැඹීමේ අවස්ථාව අහිමිවීම කනගාටුවට කරුණක් වුවත් වත්මන් නවීන තාක්ෂණය ඔස්සේ එය නැරැඹීමේ අවස්ථාව ජනතාවට හිමිවනු ඇත.   


මෙවර පෙරහර ජනතාව නොමැතිව වීදි සංචාරය කළත් පාර්ශ්ව දෙකක් විසින් පනවන ලද ඇඳිරි නීතියක් තුළ පැවැත්වූ අපූරු පෙරහරක් පිළිබඳව ඉතිහාසය සාක්ෂි දරයි.   
එක්දහස් නවසිය අසූ නවය (1989) වර්ෂයේ මෙරට භීෂණය උපරිමයෙන් වෙළාගත් මොහොතක පැවැත්වූ එම පෙරහර එක් පැත්තකින් රජය විසින් පැනවූ ඇඳිරි නීතිය ද තවත් පැත්තකින් නිල නොවන පාර්ශ්වයක් විසින් පැනවූ ඇඳිරි නීතියක් යටතේ ද පැවැත්වූ පෙරහරක් ලෙස ද ඉතිහාසයට එක්ව තිබේ.   


කුඹල් පෙරහර පහකුත් රන්දෝලි පෙරහර හතරකුත් වීදි සංචාරය නොකර අවසන් මහ පෙරහර පමණක් ඉතා කෙටි මාර්ගයක් ඔස්සේ ගමන් කළ හරි අපූරු පෙරහරකි.   
මේ ගැන තතු දැන ගැනීමට සිටින හොඳම පුද්ගලයා දැනට විශ්‍රාම සුවයෙන් සිටින එවකට දළදා මාලිගාවේ දියවඩන නිලමේ නෙරංජන් දුල්ලෑව විජයරත්න මහතා බැවින් ඔහුට දුරකථන ඇමතුමක් ගෙන එදා එම පෙරහරේ විස්තර විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ මෙවැනි කතාවකි.   


එක්දහස් නවසිය අසූනවය වනවිට මෙරට භීෂණය උච්චතම අවස්ථාවටයි ඇවිදින් තිබුණේ. ඒ වර්ෂයේ පෙබරවාරි මාසයේ දළදා මාලිගාවටත් බෝම්බ ගසා ප්‍රහාරයක් එල්ල වුණා. එම තත්ත්වය මත පෙරහර කිරීමත් අවිනිශ්චිත තත්ත්වයකයි තිබුණේ.   


ඒ වෙනකොට මල්වතු පාර්ශ්වයේ මහානායක හිමි වශයෙන් සිටියේ සිරිමල්වත්තේ ආනන්ද නායක හාමුදුරුවෝ. අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් වශයෙන් හිටියේ පලිපාන චන්දානන්ද නායක හාමුදුරුවොයි.   


දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ලවීම නිසාත් රටේ ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබුණ නිසාත් පෙරහර කිරීමේ අවදානම තව තවත් වැඩි වුණා.   
විශේෂයෙන් පෙරහැරට ආරක්ෂාව සැපයීම පිළිබඳව ගැටලු මතු වුණා. ඒ වෙනකොට පොලිසියේ හමුදාවේ අයටත් ඒ අයගේ පවුල්වල අයටත් ජීවිත තර්ජන ඇතිව තිබුණා.   
පෙරහැර කරනවා නම් ඊට සම්බන්ධ වෙන කලාකරුවන් ඇතුළු අනෙකුත් පිරිස් පිළිබඳවත් සැක මතුව තිබුණා. ඔවුන් කුමන කණ්ඩායම්වලට සම්බන්ධ ද කියලා. එම නිසා පෙරහරට සම්බන්ධවෙන අය පිළිබඳවත් දැඩි විමර්ශනයක් කරන්න සිදු වුණා.   


එම කාලයේ සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරුන් වශයෙන් සිටියේ නාථ දේවාලයේ බන්දුල සේනානායක මහතාත් විෂ්ණු දේවාලයේ ඩබ්ලිව්.පී.බී. දිසානායක මහතාත් කතරගම දේවාලයේ එල්.බී. කරලියද්ද මහතාත් පත්තිනි දේවාලයේ මහින්ද සේනානායක මහතාත්.   


මේ නිලමේවරුන් බහුතරයකටත් ඒ වන විට ජීවිත තර්ජන තිබුණා. විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ඩබ්ලිව්.පී.බී. දිසානායක මහතා ඒ වෙනකොට මධ්‍යම පළාත් මහ ඇමැති. නාථ දේවාලයේ බස්නායක නිලමේ බන්දුල සේනානායක මහතා එවකට රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් වුණ ඊ.එල්. සේනානායක මහතාගේ පුතා.   


නාථ දේවාලයේ බස්නායක නිලමේ මහින්ද සේනානායක මහතා එවකට මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්. ඉතිං මම මේ අයත් සමඟ සාකච්ඡා කළා මොකද කරන්නේ කියලා.   


මහානායක හිමිවරුන් දෙනමත් දැඩිව උපදෙස් දී තිබුණා පෙරහර කරනවා නම් ආරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස. එවකට තේවාව භාරව සිටියේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක පලිපාන චන්දානන්ද නායක හාමුදුරුවො.   


පෙරහර නැකත් උදාවෙන කොට රජයෙනුත් ඇඳිරි නීතිය, නීත්‍යානුකූල නොවන රජයෙනුත් ඇඳිරිනීතිය දමලයි තිබුණේ. එවැනි තත්ත්වයක් උඩ සිව්මහා දේවාලයන්හි කප් සිටුවා අභ්‍යන්තර පෙරහර පහ කළා.   


කුඹල් පෙරහර පහ වීදි සංචාරය නොකර දළදා මාලිගාව අභ්‍යන්තරයෙත් සිව්මහා දේවාල අභ්‍යන්තරයෙත් පැවැත්වීමට තීරණය කළා. ඒ අනුව මම දළදා කරඬුව අතින් වඩම්මවාගෙන වැඩ සිටින මාලිගාව වටේ තුන් වරක් ගමන් කරමින් පෙරහර කළා. සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුනුත් දේවාභරණ අතින් ගෙන දේවාල අභ්‍යන්තරයේ පෙරහර කළා.   


පළමු රන්දෝලි හතරත් ඒ ආකාරයටම කළා. නමුත් ප්‍රශ්නය ආවේ අවසන් මහ පෙරහර සම්බන්ධයෙනුයි. රාජ නියෝගයට අනුව අස්ගිරිය ආදාහන මළුවට දළදා කරඬුව තැන්පත් කිරීමට යාමට අවශ්‍ය නිසා පෙරහර වීදි සංචාරය කළ යුතුම වුණා.   
ඒ අනුව පොලිසිය හා ත්‍රිවිධ හමුදාව කැඳවා දේවාල චතුරශ්‍රයට සීමා කොට පෙරහර කිරීමට තීරණය කළා. එයත් අලි ඇතුන් දහයකට සීමා කොට චාරිත්‍ර පුද සිරිත් සම්ප්‍රදාය ඉටු කිරීමට අවශ්‍ය ටික සම්පාදනය කරගෙනයි වීදි සංචාරය කළේ.   


රාජා ඇතා පිට දළදා කරඬුව වඩම්මවාගෙන මම මුළු පෙරහරම ගමන් කළත් බස්නායක නිලමේවරුන් පෙරහරේ ගමන් කළේ නැහැ. දළදා වීදිය, පංසල වීදිය, දේව වීදිය ඔස්සේ ගමන්කොට රජ වීදියෙන් පහළට ගොස් ඩී.එස්. සේනානායක වීදියට හැරී අස්ගිරිය ආදාහන මළුව දක්වා පෙරහර ගමන් කරවීමටයි සැලසුම් කර තිබුණේ.   
එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා රජ වීදියේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට සිට සාම්ප්‍රදායානුකූලව පෙරහර නැරැඹීමට එක්ව සිටියා.   


එම නිසා සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් දේව වීදියේ බෝධිය අසල දී දේවාල පෙරහරට එකතු වුණා. ඒ වනතුරු ඇතැම් බස්නායක නිලමේවරුන් සිටියේ වතුර මල අසල නවතා තිබූ සන්නද්ධ රථ තුළයි.   


පෙරහර ගෙවදීමෙන් අනතුරුව දළදා කරඬුව තැන්පත් කිරීම සඳහා අස්ගිරිය ආදාහනමළුව ගෙඩිගේ විහාරයට මා නැවත පෙරහරෙන් පිටත් වුණා. කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව දියවඩන නිලමේවරයා නැවත දළදා මාලිගාවට පැමිණීම සිරිත වුණත් එසේ නොයන ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහානායක පලිපාන චන්දානන්ද නායක හාමුදුරුවෝ මට උපදෙස් දුන්නා. ඒ අනුව මහානායක හාමුදුරුවොත් මමත් රාත්‍රි එළිවෙනකන් ගෙඩිගේ විහාරයේම හිටියා.   


පසුදින අලුයම දිය කැපීමට ගැටඹේ තොටට ගියෙත් දැඩි ආරක්ෂක මුරකාවල් මැද වාහනවලිනුයි. දිය කපාගෙන ඇවිත් පුල්ලෙයාර් කෝවිල අසලින් දේවාල පෙරහර පිටත් වෙලා ඩී.එස්. සේනානායක වීදියේ නගර සභා හන්දියෙන් එය දළදා පෙරහරට එකතුවෙලා දහවල් පෙරහර දළදා මාලිගා චතුරශ්‍රයට පැමිණ තුන් වළල්ලක් ගොස් ගෙවදීම සිදුකළා.   
ඒ වනවිටත් ඇඳිරි නීතිය දමලයි තිබුණේ. වීදි දෙපස පදිංචිව සිටින අයට පෙරහර නැරැඹීමට අවසර හිමි වුණා.’ යනුවෙන් හිටපු දියවඩන නිලමේවරයා සිය මතකය ආවර්ජනය කළේය.   

 

 


අනතුරුව සිදු කරන සාම්ප්‍රදායික කටයුත්තක් වන පෙරහර සාර්ථකව නිමා කළ බවට රාජ්‍ය නායකයාට දැනුම් දීමේ සන්නස්පත්‍රය රජ ගෙදර දී බාරදීම ද සිදු කෙරුණු බව ඔහු පැවැසීය.   


කන්ද උඩරට රජකම් කළ වඩිග රජවරුන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වන්දනාමාන කිරීම සඳහා නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාලයන් ආරම්භ කිරීමෙන් අනතුරුව එම දෙවිවරුන්ට ගෞරව කිරීම සඳහා එවකට පෙරහර පවත්වා තිබේ.   


එම පෙරහරට දළදා පෙරහර එක්කර ඇත්තේ අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ගේ ඉල්ලීම පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසිනි.   
එම රජු ශ්‍රී විජය රාජසිංහ රජුගේ අග බිසවගේ වැඩිමහල් සහෝදරයායි. ශ්‍රී විජය රාජසිංහ රජුට දරුවන් නොසිටීම හේතුවෙන් වඩිග සම්ප්‍රදායට අනුව අග බිසවගේ වැඩිමහල් සහෝදරයාට කිරුළ හිමිව තිබේ. 

 
ඒ අනුව විජය රාජසිංහ රජු මිය ගිය 1747 අගෝස්තු මස එකොළොස් වැනිදා එදිනම එම රජුගේ අග බිසවගේ වැඩිමහල් සහෝදරයා කීර්ති ශ්‍රී රාජසිංහ නමින් රාජ්‍යත්වයට පත් කොට තිබේ. ඒ අනුව වසර තිස්පහක කාලයක් කන්ද උඩරට රජකම්කොට 1782 වර්ෂයේ ජනවාරි මස දෙවැනි දින මියගොස් තිබේ.   
එම රජු සිව් මහා දේවාල පෙරහරට දළදා පෙරහර එක්කොට කරඬුව වැඩමවීම සඳහා රන්සිවිගේ පූජාකොට ඇතා පිට රන්සිවිගේ බැඳීම සඳහා රජුගේ හව්ඩාව ද පූජා කළ බව ඉතිහාසයේ සඳහන් වේ.   


එතැන් පටන් අඛණ්ඩව පෙරහර කෙරුණත් 1815 ඉංග්‍රීසින්ට යටත්වීමෙන් අනතුරුව විවිධ අවස්ථාවල දී දළදා පෙරහරට බාධා පැමිණ තිබේ.   


එක්දහස් අටසිය දහ අටේ ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් පසු එක්දහස් අටසිය විසි හත දක්වා වසර නවයක කාලයක් පෙරහර පවත්වා නොමැති බව සඳහන් වේ. දළදා වහන්සේ රැගෙන පලා යාවි යැයි බියවූ එවකට සුදු පාලකයන් දළදා මාලිගාවට යකඩ ගේට්ටු සවි කොට ඉබි යතුරු දමා එම යතුරු දිසාපතිවරයා භාරයට පත්කළ බව සඳහන් වේ.   
කෙසේ නමුත් ඒ අතරතුර එක්වරක් දළදා වහන්සේ රැගෙන ගොස් හිඳගල රජ මහා විහාරයේ සඟවා තැබුවත් සුදු ජාතික ඩොයිලි ඇහැලේපොළ නිලමේ සමඟ ගොස් නැවතත් දළදා මාලිගාවට දළදා වහන්සේ වැඩම වූ බව සඳහන් ය.   


එක්දහස් අටසිය දහඅට කැරැල්ල සමයේ දළදා මාලිගාවේ තේවාව භාරව සිටි වාරියපොළ සුමංගල හිමියන් ද දළදා වහන්සේ රැගෙන දමුණු කැලේ සැඟව සිටිය බව සඳහන් වන අතර පසුව උන්වහන්සේ අත්අඩංගුවට ගෙන දළදා වහන්සේ නැවත දළදා මාලිගාවේ තැන්පත්කොට සුමංගල හිමියන්ට සිර දඬුවම් ලබා දී යාපනයේ සිර මැදිරියක රඳවා සිටිය දී එහිදීම අපවත් වී තිබේ.   


කෙසේ නමුත් එම කාලය තුළ ඇති වූ මහා දුර්භික්ෂයක් හේතුවෙන් දළදා පෙරහර නැවත පවත්වන ලෙස මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් ඇතුළු උඩරට රදලයන්ගෙන් එල්ල වූ බලපෑම නිසාම 1827 වසරේ දී නැවත දළදා පෙරහර ආරම්භ කිරීමට සුදු පාලකයන්ට සිදුව තිබේ.   


එහිදී දළදා වහන්සේ මහමළුවට වැඩම වූ අවස්ථාවේ දී ධාරානිපාත වර්ෂාවක් ඇතිවී මහමළුව යටවූ බවත් නුවර වැවේ ජලය පිටාර ගැලූ බවත් සඳහන් වන අතර එයට දළදා වතුර යැයි එවකට ජනතාව හඳුන්වා තිබේ.   


පළමු වැනි ලෝක යුද සමයේ දී මෙන්ම දෙවැනි ලෝක යුද සමයේ දී ද දළදා පෙරහර නවත්වා නොමැති අතර එම අවස්ථාවල දී ඉතාමත් ආරක්ෂිතව පෙරහර පවත්වා තිබේ. 

 

 

ෂේන් සෙනෙවිරත්න  

 



අදහස් (0)

භීෂණ සමයේ මහජනයා නැතිව පැවැත්වූ නුවර මහ පෙරහර

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10888 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5908 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5213 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3214 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1696 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 126 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1382 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1322 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site