IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බිළිඳා මැරූ මව සොයාදුන් රෙජී

පොලිස් නිල සුනඛයන්ගේ වික්‍රම 4

 

රෙජී අනිල්ට කිසිවක් පවසන අයුරු..

 

කටුගස්තොට පොලිස් වසමේ පිහිටි “ගිරාකඩුව” ගමේ කැලෑවට ගොස් ඇති ස්ථාන කිහිපයක්ම එදා දැකගත හැකි විය. සමහර තැන් මානා ඉලුක්වලින් පිරී ගොසිනි. ඒ නිසා වල් ඌරන් වැනි කැලෑ සතුන් රාත්‍රියේ සැරි සරන්නේ කුමක් හෝ දෙයක් ආහාරයට ලබා ගැනීමේ අදහසිනි. මෙම ගමේ ඇතුළට වෙන්නට තරමක් බෑවුම් සහිත කන්දක අතරින් පතර නිවාස කිහිපයක් ද පිහිටා තිබේ. රාත්‍රි කාලයේ ගණ අඳුරත් සමග බොහෝ දෙනෙක් නිවෙසට වී කාලය ගත කරන්නේ වන සතුන් ගැවසෙන ඇවිද යාමට අපහසු පරිසරයක් එහි නිර්මාණය වන නිසාය.   


පසුගිය වසරේ දෙසැම්බර් 24 දිනට එළිය වැටීමට හෝරා කිහිපයකට පෙර, මෙම ගමේ මානා වැවී තිබුණු එක් ස්ථානයකින් අමුතු සතෙක් කෑ ගසනු ඒ අසල නිවෙසක සිටි තරුණයෙකුට ඇසී තිබේ. 


අම්මේ මොකක්ද ඒ අමුතු සද්දේ. දැන් සෑහෙන වේලාවක සිට ඇහෙනවා. මම ගිහින් බලන්නද... 


මටත් ඇහුණ පුතේ. උඹට පිස්සුද සර්පයෝ.... වල් ඌරෝ මානා පඳුරු අස්සේ ඉන්නවා.. උඹ නිදිය ගනිං.. උදේට ගිහිං බලමු.... 


පසුදිනට එළිය වැටුණි.. තරුණයා අසල්වැසි යහළුවෙකු සමග ශබ්දය ඇසුණ තැනට ගියේ සිතේ ඇති වූ කුතුහලය නිසාමය. තවමත් මානා පඳුරු අතුරින් කඩින් කඩ ශබ්දය ඇසෙයි.. සෙමෙන් සෙමෙන් මානා පඳුරු ඉවත් කරමින් ඒ දෙසට ගිය ඔවුන් දෙදෙනාට දැක ගත හැකි වූයේ සිහිනයකින්වත් බලාපොරොත්තු නොවූ දසුනකි. 


අලුත උපන් බිලිඳෙකි... රෙදි කැබැල්ලකින් හෝ ඔතා නැත. නිරුවතිනි. සීතලේ ගැහෙමින් සිටිති. ගෙල ප්‍රදේශයේ කුඩා සීරීමකි. තරුණයන් දෙදෙනා කලබලයට පත් වුණි. දුවගොස් මව්පියන්ටත්, අසල්වැසියන්ටත් දැන්වීය. ඔවුහු කටුගස්තොට පොලිසියට දැනුම් දුන්නේය.. පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වහාම පැමිණ බිලිඳා කටුගස්තොට රෝහලට පිටත්කර යැවීමට කටයුතු කළ අතර එහිදී ප්‍රථමාධාර ලබා දීමෙන් පසු මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ. 


මේ ළදරුවා කාගේද? එකිනෙකා ප්‍රශ්න කරයි... අපේ ගමේ නම්.... දරුවෙක් ලැබෙන්න කවුරුවත් සිටියේ නැහැනේ.. වැඩිහිටි කාන්තාවක පැවසුවාය.. එය හැමෝම අනුමත කළහ. 

 

අනිල් රෙජීට කතුර ඉව කිරීමට ලබා දෙන ආකාරය

 


එහෙනම් අල්ලපු ගමකින්වත් ගෙනත් දමන්න ඇති... තවකෙක් පැවසුවේය.. මෙයට පිළිතුරු සොයා කටුගස්තොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය.. 


මේවන විට කටුගස්තොට “සොකෝ” නිලධාරින් ද එම ස්ථානයට කැඳවා තිබුණි. ඔවුන් අවට සෝදිසි කළේ සැක කටයුතු යමක් සොයා ගැනීමේ අදහසිනි. අඩුම වශයෙන් රෙදි කැබැල්ලකින් බිලිඳා ඔතා තිබුණා නම් එමගින් හෝ අයිතිකරු ගැන කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමට අවස්ථාව තිබුණි.. එහෙත් ඒ කිසිවක් නොමැත. ගමේ ගැබිනි මාතාවක් නොසිටි බවත් ප්‍රදේශවාසීන් පවසති. 


සිඟිත්තා සිටි ස්ථානය පමණක් නොව ඊට ඉහළින් වූ ප්‍රදේශය පුරා සම්පූර්ණයෙන්ම පැතිරී ඇත්තේ මානා පඳුරුය. ඒවා තරමක් උඩට විහිදී ගොසිනි. එහි එක තැනක පොල්ලෙලි අතරේ කුඩා කතුරක් හිර වී තිබුණි.. 
මේ වගේ කතුරු ඇඟලුම් කම්හල්වල නූල් කැපීමට ගන්නවා.. පොලිස් නිලධාරියෙක් පැවසුවේය. 


ළදරුවා සිටියේ බෑවුම් සහිත ස්ථානයක වන අතර, ඊට අඩි කිහිපයක් ඉහළින් තැනිතලා පිහිටි ප්‍රදේශයක සිටගෙන සිටිය දී බිමට වැටුණු බවට සැක කළ හැකි ලේ බිංදු කිහිපයක් ද දක්නට ලැබුණි. ඊට ඉහළින් මඤ්ඤොක්කා පඳුරක අත්තක් කැඩී ගොසිනි. එම අතු කැබැල්ලේ ද ලේ තැවරී ඇත. 


කටුගස්තොට පොලිසිය දැන් විශාල ප්‍රශ්නයකට මුහුණ දී සිටිති. ඒ ළදරුවා කාගෙද යන්නය.. ගිරාකඩුව ගම්වාසීන්ගෙන් විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ ළදරුවෙක් ලැබීමට ගමේ කිසිදු කාන්තාවක නොසිටි බවය... එසේ නම් වෙනත් ගමකින් ගෙනත් දමන්නට ඇතැයි ඔවුහු සිතූහ. 

 

එහෙත් එකක් නම් පැහැදිලිය. එනම් මෙවන් අපහසුතාවන්ට කාන්තාවෝ පත්වන්නේ නොගැළපෙන ප්‍රේම සම්බන්ධතා හේතුවෙනි. කුසට ආ සිඟිත්තිය විනාශ කරන්න තරම් ඇය සැහැසි වුණේ කෙසේද? දැන් ප්‍රශ්නය ළදරුවා බිහි කළ කාන්තාව කවුද කියා යන්නය. ගමේ කිසිවෙක් මේ සම්බන්ධයෙන් සැක කිරීමට නොමැති නම්... ඊට සම්බන්ධ අය සොයා ගැනීම ලෙහෙසි නොවේ. ඒ බව තේරුම් ගත් කටුගස්තොට පොලිසිය මෙම මෙහෙයුම සඳහා පොලිස් නිල සුනඛයෙකුගේ සහාය ලබා ගැනීමට කටයුතු කළේය. 


අස්ගිරිය පොලිස් නිල සුනඛ ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුලසේකර මහතාට, කටුගස්තොට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා ලබාදුන් දුරකතන ඇමතුමට අනුව, මෙහෙයුම භාර වූයේ කොස්තාපල් නලීන් විජේසිරිටය. 


මෙවන් අපරාධ ඇල්ලීම සම්බන්ධයෙන් නම් දරා සිටින නලීන් සහ රෙජීට අලුත් අභියෝගයකට මුහුණ දීමට සිදු වී තිබේ. මෙය වෙනස්ම ආකාරයේ මෙහෙයුමකි.. 


නලීන් රෙජී ද රැගෙන අපරාධය සිදු වූ ස්ථානයට නැතිනම් දරුවා වැටී සිටි ස්ථානයට යන විට ගිරාකඩුව ගමේ අය පමණක් නොව අසල්වැසි ගම්වල බොහෝ පිරිසක් ද එක්රොක්ව සිටියහ. ඒ අතර සිංහල මෙන්ම අල්ලපු ගමේ මුස්ලිම් ජනතාව ද වූහ. 

 

බිලිදාගේ මව සොයා යන නලින් සහ රෙජී

 


මේ කතුර තමයි එකම හෝඩුවාවකට තියෙන්නේ. පොලිස් පරික්ෂක නිශාන්ත පැවසුවේ.. ඉන් ප්‍රයෝජනයක් ලැබේවි යන විශ්වාසයෙනි.. කතුර අතට ගත් නලින් එය රෙජීට ඉව කිරීමට නාසයට ළං කළේය. ඌ ඉතා හොඳින් ඉව කිරීමෙන් පසු අවට සැරි සරා ගම්මානය දෙසට යන්නට පටන් ගත්තේය.. නලීන් පොලිස් නිලධාරීන් සමග රැස්ව සිටි ජනතාව ද ඔහු පිටුපසින් ගියහ. 


ගමේ කිසිදු කාන්තාවක් ළදරුවෙකු ලැබීමට ආසන්න තත්ත්වයේ නොසිටි බව නලීන් ද ඒ වන විට දැන ගෙන සිටියේය. එහෙත් රෙජී ගිරාකඩුව ගම්මානයේ නිවෙසක් ඉලක්ක කරගෙන යන බව අවබෝධ කර ගැනීමට එතරම් කාලයක් ගත වූයේ නැත.. බිලිඳා සිටි බෑවුමේ ඉහළට ගොඩවෙමින් අඩි විස්සක් පමණ ගමන් කළ රෙජී ඇතුළු පිරිස නිවෙසක් ඉදිරියෙන් ඇති කඩුල්ල පැන එහි මිදුලට පිවිසියේය. එම නිවස හුදෙකලාව පිහිටියකි. මෙම සිද්ධිය නැරඹීමට පැමිණ සිටි පිරිසක් ද එහි විය. ඒ අතර කාන්තාවෝ සහ පිරිමින් ද කිහිප දෙනෙකි. වයස අවුරුදු විසි අටක පමණ තරමක් මහත කාන්තාවක් අසලට ගිය රෙජී ඇය ගේ කුස ප්‍රදේශය ඉව කර, ඒ අසලම බිම හිඳ ගෙන පසුව එතැන නිදා ගත්තේය.. කාන්තාව ද නිසොල්මනේ සිටින්නීය. 


නලින්ට රෙජී විශ්වාසය.. වරදින්න විදියක් නැති බව දනී.. එහෙත් ඔහු ඉක්මන් වුණේ නැත.. රෙජීව ඇයගෙන් තරමක් ඉවතට ගෙන නැවතත් කතුර ඉව කිරීමට ලබා දුන්නේය.. එවර ද රෙජී පෙර ඉව කළ කාන්තාව අසලට ගොස් නැවතත් ඉව කර බිම නිදා ගත්තේය. එම සිදුවීම් දෙස බලා සිටි පොලිස් පරික්ෂක නිශාන්ත නලීන් ළඟට ගියේය. 


“නලීන් ඔයා ගේ ජොබ් එක හරියට ඉටු කළා.. වෙල්ඩන්..” මම ඉතිරි හරිය බලාගන්නම්.. 


පසුව එම කාන්තාව පිරිසෙන් ඈතට ගෙන ගොස් ඔහු ඇයගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.. 


නංගී අපට බොරු කරන්න හදන්න එපා.. ඔබව වෛද්‍ය පරික්ෂණයකට ඉදිරිපත් කළොත් සත්‍ය හෙළි වෙනවා.. අපෙන් කරදරයක් වෙන්නේ නැහැ.. ඇත්ත කියන්න.. 


ඇයට බේරුමක් නැති සෙයකි. ඒ බව ඇය අවබෝධ කර ගත්තාය. පසුව සියල්ල හෙළි කළාය... 


“මම ඇත්ත කියන්නම්.. ඔය ළදරුවා මගේ තමයි... ඔය ළමයව මගේ බඩට දුන්න මිනිහත් එක්ක තියෙන තරහට තමයි.. ඔය විදියට විසි කර මරල දාන්ත හිතුවේ... අපි හරි අහිංසක මිනිස්සු මහත්තයෝ.. පළමු විවාහයෙන් මට පුතෙක් ඉන්නවා.. මීට වසරකට පෙර මාගේ ස්වාමිපුරුෂයා මමයි දරුවයි අතරමං කර පැනලා ගියා.. ඔහු ගැන කිසිදු ආරංචියක් නැහැ.. පස්සේ මම ගාමන්ට් එකක වැඩ කරන්න ගියා.. ඔය අතරේ මුස්ලිම් ජාතික තරුණයෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා.. මම ඔහු විශ්වාස කළා.. ඒ විශ්වාසය කොතරම් දුරදිග ගියා ද කියනවා නම්, ඔහුගෙන් මගේ කුසෙහි දරුවෙක් පිළිසිඳ ගත්තා.. මේ බව ඔහුට කීව දවසේ ඉඳලා මාව මඟ හරින්න පටන් ගත්තා.. එතකොට මාස තුනක පමණ කාලයක් ගිහින් තිබුණා.. මම මේ බව අපේ මව්පියන්ටවත් කීවේ නෑ.. කුස ටිකෙන් ටික මෝරන විට රෙදි පටි තබා ගෙන එය පිටට නෙරා එන්නේ නැති විදියට තබා ගත්තා.. ඇඳුම් පවා සකස් කර ගත්තේ ඒ අනුවයි. මම මහත නිසා එය පිට අයට තේරුණේ නැහැ.. ගෙදර අයට තේරෙයි කියලා හැමදාම වැඩට ගියා. ගමේ මිනිසුන්ට පෙනෙන්න හිටියේ නැහැ.. ඔවුන්වත් මඟ හැරියා. 
එතකොට ක්ලිනික් ගියෙත් නැතිද ? අසල සිටි පොලිස් නිලධාරියෙක් විමසීය.. 


නැහැ.. මට මේ දරුව බිහි කරන්න ඕන වුණේ නැහැ.. ගබ්සාවක් කර ගන්න යන්න දැනන් හිටියෙත් නැහැ.. සල්ලි තිබුණෙත් නැහැ.. මම හරි අසරණ වුණා.. මහත්තයෝ. මම හරි මෝඩයි කියා තේරෙන කොට වෙන්න ඕන හැම දේම සිදු වෙලා ඉවරයි.. දරුවා ලැබෙන්න ආසන්න අවස්ථාව එළඹුණේ අලුයම කාලයේ දී.. නිවසේ ඔක්කොම හොඳටම නිදි.. මම ජල කරාමය ළඟට ගිහින් දරුවා බිහි කර පෙකණි වැල කපා ගත්තා. ඒ ගාමන්ට් එකෙන් ගෙනාව නූල් කපන කතුරෙන්. පසුව ලේ හොඳින් සෝදාගෙන ළදරුවා පහළින් වූ මානා කැලයට විසි කළා.. කතුරත් පහළින් වූ කැලයට දැම්මා. 


රාත්‍රි කාලයේ ඌරන් පැමිණෙන නිසයි... දරුවා කැලයට විසි කළේ.. ඌරන් ළදරුවා කා දැමුවොත් සියල්ල විසඳේවි කියා සිතුවා. එහෙත් එදා ඒ පැත්තට ඌරෝ පැමිණියේ නැහැ.. 


හරි... ඔයා දන්නවානේ දරුවාගේ අම්මා ඔයා කියා.. දැන් ළදරුවා භාර ගන්න.... පොලිස් පරික්ෂක නිශාන්ත ඇයට යෝජනාවක් කළේය. 


අපෝ එපා මහත්තයෝ... මම ඒ ළදරුවගේ මුහුණ බලන්නවත් කැමති නැහැ.. ඌ මට දරුවෙක් දීල පිටුපෑවා... මාව කසාද බඳින්න බැහැ කීවා. ඒ විතරක් නොවෙයි ළමයාගේ තාත්තා හැටියට නමවත් දෙන්න බැහැ කීවා.. ඒ තරහටයි මම ළදරුවා කැලයට විසි කළේ... 


මේ ආකාරයෙන් දිගින් දිගටම ළදරුවා භාර ගැනීම ඇය ප්‍රතික්ෂේප කළාය.. අවසානයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇය උසාවියට ඉදිරිපත් කළ අතර, එදින රාත්‍රිය උදාවීමට මොහොතකට පෙර මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ළදැරිය මිය ගියාය. 


මාස නවයක කාලයක් පුරා තම කුස තුළ සිටි ළදරුවා මව්පියන් ගෙන් පමණක් නොව මුළු මහත් සමාජයෙන්ම වසන් කර, අවසානයේ කිසිවෙකුට හසු නොවන ආකාරයෙන් බිහි කිරීමට තරම් ඇය දක්ෂ වූවාය. එහෙත් පොලිස් නිල සුනඛ රෙජීගේ ඉව පරයා යාමට නම්, ඇයට හැකියාවක් ලැබුණේ නැත. 


ලබන සතියේ දී, රෙජී ගේ තවත් වික්‍රමයක් ගැන දැන ගනිමු... 


ස්තුතිය - මහනුවර අස්ගිරිය, පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න, පොලිස් නිල සුනඛ මූලස්ථානය භාර ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත කුලසේකර, පොලිස් පරික්ෂක කීර්ති වෙල්ලංගිරිය, අපරාධ පරික්ෂණ පොලිස් නිල සුනඛයන්ගේ පුහුණු උපදේශක පොලිස් සැරයන්( 30020) යූ.එන්.ඩබ්ලිව්.ජී.එස්.කේ. එදිරිසිංහ, පොලිස් සැරයන් (29082) අබේසිංහ, පො.කො (67126) එම්.ජී. නලීන් විජේසිරි යන මහත්වරුන්ට. 

 

 



සටහන සහ ඡායාරූප 
සිසිර කුමාර බණ්ඩාර

 



අදහස් (0)

බිළිඳා මැරූ මව සොයාදුන් රෙජී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31160 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13299 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 889 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site