බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයට අයත් බේරුවල ඈත අතීතයේ සිට ප්‍රධාන නාවික තොටු පොළකින් සමන්විත ප්‍රදේශයකි.   


ස්වභාවික වරායවල් පිහිටීම නිසා නාවික ගමනා ගමනයේදී බේරුවලට සුවිශේෂ ස්ථානයක් හිමිව ඇත. ඉන්දියන් සාගරය හරහා ගමන් කළ බොහෝ නාවික යාත්‍රා සඳහා පහසුම නවාතැන් පොළවල් වූයේ කොළොම්තොට, මාතොට මහාතිත්ත, ගෝකණ්න ජම්බුකෝළපටුන ආදී ස්වභාවික වරායවලය. ඒ අනුව බේරුවල නම් ස්වාභාවික නාවික තොටුපොළ ආශ්‍රිතව ඉපැරණි ජනවාසයක් තිබූ බව ඉතිහාසයේ සඳහන්ව ඇත.  
 
බේරුවල යන ග්‍රාමනාමය බේරුවලට ලැබුණේ කෙසේද යන්න සොයා බැලීමේදී අතීතයේ මේ තොටුපොළට පැමිණි සියලු නෞකාවල රුවල් බෑම සිදු කල හෙයින් මේ ස්ථානයට ‘‘බෑ රුවල’’ යන නාමය ව්‍යවහාර වූ අතර පසුකාලීනව එය බේරුවල නමින් ව්‍යවහාර වී ඇත. මෙසේ බේරුවල යනුවෙන් ව්‍යවහාර කිරීමට හේතු වී ඇත්තේ මුස්ලිම් ජාතිකයන්ට ‘‘බෑ’’ යන්න උච්චාරණය නොවීමත් ‘‘බේ’’ යන්න උච්චාරණය වීමත් නිසා බව ඇතැම්හු පවසති.   

 

කුරුණෑගල රාජධානියේ රජු බවට පත් වූ ගලේ බණ්ඩාර හෙවත් හිමි බණ්ඩාර කුමරුන්ගේ ඔටුනු පැළදවීමේ මංගල්‍යයට සොළී රටින් බමුණන් ගෙන්වා ඇත. ඔවුන්ට මේ තොටුපළින් ගොඩ බැසීමට රුවල් බෑම සිදු කළ හෙයින් ‘‘බෑරුවල’’ යන නම් වී යැයි තවත් මතයකි. නමුත් රුවල් බෑම නිසා මේ නාමය පැටබැඳුණා කියන මතය බැහැර කරන අලව් ඉසි සැබිහෙළ සූරීහු මේ ප්‍රදේශයේ ‘‘බේරු’’ ගසින් යුත් වනයක් වූ බැවින් බේරුවල යන නාමය ඇති වූ බව පවසයි.   


පස්වැනි සියවසේ ලියවුණු සෙල්ලිපියක කළුතර ප්‍රදේශයේ තිබූ පුරාණ විහාරයක් පිළිබඳව සඳහන් වීමෙන් පෙනී යන​්නේ කළු ගං මිටියාවත ඇසුරු කොට ජනාවාසයක් තිබුණු බවයි. එසේ නම් කළුතරට නුදුරු බේරුවල ධීවර කටයුතු හා වෙළෙඳ‌ාම ජීවනෝපාය කරගත් දියුණු ජන සමාජයක් තිබී ඇත. ක්‍රි.ව. 1047 වනවිට වික්‍රමපාණ්ඩ්‍ය රජු කළුතර අගනගරය කර ගැනීමත්, පොළොන්නරුව අගනුවර කර ගනිමින් ක්‍රි.ව. 1153 දී ලංකා ද්වීපයේ අගරජු වූ මහා පරාක්‍රමබාහු රජතුමා පස් යොදුන් රට සංවර්ධනය සඳහා වෙහෙස වූ බැවින් ද පෙනී යන්නේ බේරුවල ප්‍රදේශයේ ද සැලකිය යුතු හෙළ ජන පිරිසක් ජීවත් වී ඇති බවයි. මේ බව මහාවංශය සාක්‍ෂි දරයි.   

 


තවදුරටත් බේරුවල ඉතිහාසය ගැන තොරතුරු සොයා යෑමේදී මෙරටේ සංදේශ කාව්‍ය බො​ෙහා්මයක බේරුවල සිරි අසිරිය ගැන තොරතුරු සඳහන්ව ඇත. ඒ අනුව කෝට්ටේ යුගයේ විරචිත ගිරා සංදේශයේ බේරුවල ගැන මෙසේ සඳහන් වේ. 

 
රන්පත් සවන් යොන්ලිය රඳනා නිමල   
සන්රන් රුවන් සල්පිල් සොබණ ගෙවල   
බන්නන් දෙදෙන් බබලන සිදුණ අසල   
වන් සන් තොසින් නොගොසින් වඳු බේරුවල   


ඉහත සඳහන් කවියෙන් ගිරා සංදේශ කතුවරයා පවසන්නේ සතුටු සිතින් අවුදින් රන්පත්ලු කන් ඇති නිර්මල වූ යොවුන් ස්ත්‍රීන් වසන්නා වූ රන් රුවන් ගැවසුණු සල්පිල් හා නිවෙස්වල බැඳි බබළන ධජයන්ගෙන්ද ශෝභන වූ මුහුද අසල පිහිටි බේරුවල පිවිසෙන්න යනුයි.   


තිසර සංදේශ කතුරවයා බේරුවල ගැන සඳහන් කොට ඇත්තේ මේ අයුරිනි.   


සැදි සිටි නොමඳ යුද්ධය සේරුවල නිසි අඟනන් යුත් සුරඟන සේරුවල රැඳී වෙළෙඳුන් නල නිසලින් බාරුවල දැක යාගත් සව්සිරි බර බේරුවල.   


මේ කවියට අනුව කපටි කමින් තොර බොහෝමයක් තිබුණු ගති සොබා ඇති වෙළෙඳුන් සිටින සුරඟනන් බඳු ස්ත්‍රීන් සිටින ඉසුරු බරින් පිරි නගරයක් වශයෙන් බේරුවල හදුන්වා ඇත.   
ගම්​ෙපාළ යුගයේ විරචිත මයුර සංදේශයේ බේරුවල පුරවරය ගැන දැක්වෙන්නේ මේ අයුරිනි.   


මනකල් තෙපුල් මනවුල් කැරලිය කෙළින බිඟුලොල් නිමල් මල්තුරු ගෙවුයන් සෙවුණ ඇමකල් විසල් සල්පිල් වෙළඳුන් රඳන සැදිහල් බේරුහල් ගම සැතපී වඩන.   


මයුර සංදේශ කතුවරයාට අනුව සිත් ඇදගන්නා සුලු තෙපුල් තෙපළන කෙළිලොල් කාන්තාවන්ගෙන් යුත් බඹරුන් සැරි සරන විසිතුරු මල්ගසින් ගහන වූ සැමවිටම වෙළඳුන් ගැවසෙන සුවිසල් සල්පිල් ඇති සල්ගසින් අලංකෘත වූ බේරුවල සැතපී ගිමන් හරින්න යනුවෙනි.   


අදටත් වසර 400කට වඩා ඉපැරැණි සල්ගස් බේරුවල ප්‍රදේශයේ දක්නට ලැබීමෙන් සංදේශ කතුවරයා පවසන අදහසේ සත්‍යතාව මනාව පැහැදිලි වේ. තවද සෑම සංදේශ කාව්‍යය නම් රූපශ්‍රීයෙන් අනූන කාන්තාවන් බේරුවල පුරවරයේ සිටි බවද සඳහන් වේ.   


බේරුවල නාවික තොටුපළින් නොඑසේ නම් වෙළෙඳ වරායෙන් ගොඩ බසින විවිධ ජාතිකයන් තමන්ගේ වෙළෙඳ‌ාම් හා ගනුදෙනු අවසන් කොට නැවත සියරට බලා නැව් නැග්ගත් 14-15 වැනි සියවසවල බේරුවල තොටුපළින් ගොඩට බැසගත් යෝනක සංචාරකයන් මෙන්ම වෙළෙඳුන් මේ ප්‍රදේශයේ පැළපදියම් වන්නට පටන් ගෙන ඇත. ඔවුන් අතර සිටි ෂේක් ජෙලාල්දීන් සහ ෂේක් ජෙමාල්දීන් යන මුස්ලිම් ජාතිකයන් දෙදෙනා බේරුවල සිංහල කාන්තාවන් දෙදෙනෙකු සමග විවාහ වීමෙන් පසු මුස්ලිම් ජන සමාජය බේරුවල ආරම්භ වී ඇත   


‘‘ඔක්කොම කුණු බේරුවල බොක්කේ’’ යනුවෙන් පැරණි කතාවක් ඇත. භූගෝලීය පිහිටීම අනුව බේරුවල් බොක්ක ගැඹුරු බොක්කක් වශයෙන් භූගෝල විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ අනුව විශාල වශයෙන් කුණු වලින් බේරුවල් බොක්ක පිරී ඇත. බේරුවල දක්නට ලැබෙන්නේ නිල්වන් මුහුදු තීරයක් නොව අවපැහැගැන් වූ මුහුදු තීරයකි. එයට හේතුව බේරුවල් බොක්කේ ඔක්කොම කුණු එකතු වී තිබීමයි. ඒ අනුව ‘‘ඔක්කොම කුණු බේරුවල් බොක්කේ’’ යන පැරණි කියමනේ සත්‍යයයක් ඇත. බේරුවල ආසනය පුරා බහුතර ජනයා සිංහල බෞද්ධ වන අතර නාගරික සීමාවේ බේරුවල දීනගොඩ මරද‌ාන දර්ගා නගරය ආදී ප්‍රදේශවල මුස්ලිම් ජනගහනය බහුතරය බවට පත් වී ඇත.   


බේරුවල පුරාණය ගැන තොරතුරු සොයා යෑමේදී හමුවූ බේරුවල කුරුදුවත්ත ශෛලබිම්බාරාමාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත මාලේවන සෝභිත නාහිමියන් අදහස් දැක් වූයේ මේ අයුරිනි.   
1505 දී පෘතුගීසි ආක්‍රමණ නිසා මුහුදු බඩ ප්‍රදේශවල ජීවත් වූ බෞද්ධ ජනතාවට ඉතාම නරක කාලපරිච්ඡේදයක් තමයි උද‌ා වුණේ.   


නමුත් බේරුවල බෞද්ධ ජනයාගෙන් අත​ෙළාස්සක් හැර කතෝලික ආගම වැළඳගත් පිරිස ඉතාම අඩුවෙලා තිබෙනවා. බේරුවල ප්‍රදේශයේ පැරණිම විහාරස්ථානය තමයි බේරුවල සපුගොඩ ශ්‍රීමහා විහාරය. ඊළඟට බේරුවල මංගල පිරිවෙණ, අලුත්ගම කන්දේ විහාරය ආදි කොටගත් අපේ විහාර පරම්පරාවෙ පංසල් මීට පස්සේ තමයි ආරම්භ වුණේ. ඒ කාලේ වැඩ හිටපු හාමුදුරුවරු විදේශ ආක්‍රමණ හමුවේ බෞද්ධ ජනතාවත් සසුනත් රැකගෙන ක්‍රියාකරලා තිබෙනවා. පෙර රජ දවස වත්හිමි රජතුමාගේ රාජ මාලිගය තිබුණ ස්ථානයට අද කියන්නේ මාලිගාහේන කියලයි. ඊළඟට රාජකීය ​පොකුණ තිබූ ප්‍රදේශයට කියන්නේ පොකුණුගොඩ කියලයි. පොකුණුගොඩ තියෙන්නේ අපේ පංසල අසල තමයි.   


බේරුවල ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වුණේ ධීවර කර්මාන්තය. අදටත් මාළුවලට විශේෂයෙන් බේරුවල මාළුවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඊළඟට රා කර්මාන්තය අතීතයේ ඉඳලා තිබිලා තියෙනවා. ඉස්සර කොහු කර්මාන්තයට හොඳ ඉල්ලුමක් තිබුණා. දැන්වගේ නෙවෙයි ඒ කාලේ ලණු හා කොසුවලට ගන්නේ පොල් ලෙලි තළා කොහු බවට පත් කරගත් අමුද්‍රව්‍ය.   


කොහු කර්මාන්තය වෙනුවෙන් වෙන්වුණු ගම්මාන ඒ කාලේ තිබුණා. ඊළඟට බේරුවල වෙනස් කළ ප්‍රධාන ආද‌ායම් මාර්ගයක් වුණේ මැණික් කර්මාන්තය. ඒ දවස් වල ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් ලැබුණු වටිනා මැණික් ආවේ බේරුවලට. මුස්ලිම් ජාතිකයෝ ඒ වෙළඳ‌ාම කරගෙන ගියා. නලීම් හජ්ජියාර් වැනි උදවිය ඒ වෙළද‌ාමේ නිරත වූ අය වුණා.   


විශේෂයෙන් මේ ප්‍රදේශයේ තිබූ කොහු කර්මාන්තය යටපත් වී සංචාරක ව්‍යාපාරය හිස එසවීමත් සමඟ කළුවාමෝදර මොරගල්ල ආදී ප්‍රදේශවල ජනයාගේ ප්‍රධාන ආද‌ායම් මාර්ගය බවට සංචාරක ව්‍යාපාරය පත් වුණා. විශේෂයෙන් මහා පරිමාණයේ සංචාරක හෝටල් මේ ප්‍රදේශයේ ඉදිවීමත් සමඟ විශාල පිරිසකට රැකියා අවස්ථා උදාවුණා. වර්තමානයේ මේ ආකාරයට ආර්ථිකය ශක්තිමත් වෙලා තිබෙනවා.   


බේරුවලින් ඇතුළට ගියාම අදටත් ගැමි පරිසරයක සුවඳ වගේම ගහකොළ සතා සිවුපාවා ජීවත්වෙන ප්‍රදේශ තිබෙනවා. හෙට්ටිමුල්ල ගණේ අරඹ පිංහේන අඹේපිටිය පාද‌ාගොඩ වැනි ප්‍රදේශවල එළවළු වගාව යහමින් තිබෙනවා. මේ ප්‍රදේශවලින් නගරයට විශාල වශයෙන් දේශීය එළවළු අදටත් ලැබෙනවා. එළවළු වගාවෙන් ජීවත් වෙන විශාල පිරිසක් මේ ගම්මාන වල ජීවත් වෙනවා.   
වලතර මංහන්දිය වැනි ප්‍රදේශවල අදටත් වී ගොවිතැන තිබෙනවා. අපේ විහාරස්ථානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන මාලේවන පඤ්ඤානන්ද හාමුදුරුවෝ මාලේවන වෙද පරපුරේ පළමු හාමුදුරුවන් වහන්සේ ගාලුපාරේ සිට මතුගම යටදොළ දක්වා කිලෝ මීටර් 5ක් උන්වහන්සේගේ වියදමින් පාරක් කපලා ඒ පාර වැඩිදියුණු කරලා තියෙනවා. ඒ පාරේ බෝක්කු 22ක් උන්වහන්සේ හදලා තිබෙනවා.   


මං හන්දිය දක්වා මේ පාර සංවර්ධනය කරලා තිබෙනවා. මංහන්දිය විහාරස්ථානය බඳනාගොඩ විදුහල උන්වහන්සේ ආරම්භ කළ පංසලක් හා පාසැලක්.   


මාලේවන පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවෝ ඒ කාලේ සිංහල මුස්ලිම් ගැටුමක් ඇති වෙන්නට යද්දී ඒ ගැටුම සමථයකට පත්කිරීමට පියවර අරගෙන තිබෙනවා. මේ සිදුවීම දන්නා මුස්ලිම් උදවිය අදටත් උන්වහන්සේට ගරු සරු දක්වනවා.   

 

 

මාලේවන ඥානිස්සර නායක හාමුදුරුවෝ වැඩ හිටපු කාලයේ අපේ විහාරස්ථානයට ඩී.එස්. සේනානායක මහත්තයා වාගේම ඩබ්ලි. සේනානායක නිතර ඇවිත් තිබෙනවා. සර්ජෝන් කොතලාවල හිටපු අගමැතිතුමාත් අපේ ඥානිස්සර නායක හමුදුරුවොත් ඉතාම ළඟින් ඇසුරු කළ හොඳ මිත්‍රයෝ දෙන්නෙක්. දෙන්නට දෙන්නා නොදැක ඉන්න බැහැ. අපේ නායක හමුදුරුවෝ කඳවල වලව්වට යනවා නැත්නම් සර් ජෝන් කොතලාවල මහත්තයා අපේ නායක හාමුදුරුවන් වහන්සේ සොයා ගෙන එනවා. මං හිතන්නේ ඒක සංසාර බැඳීමක් වෙන්න ඇති. සර්ජෝන් කොතලාවල මහත්තයාගේ අන්තිම කැමැති පත්‍රයේ ලියලා තියෙන්නේ එතුමාගේ අවසන් කටයුතු වෙලාවේ බණ කියන්න පුළුවන් මාලේවන ඥානිස්සර නායක හාමුදුරුවන්ට පමණයි කියලා. ඒ අනුව ඒ මහතාගේ අවසන් කටයුතු වෙලාවේ බණ කිව්වේ අපේ නායක හාමුදුරුවෝ තමයි. මාලේවන ඥාණිස්සර නායක හාමුදුරු​ෙවා් සර්වාංග වෙදකමට දක්‍ෂ වෙද හිමි නමක්. උන්වහන්සේ ඒකාලේ සෑම පළාතකින් පැමිණි රෝගීන්ට වෙදකම් කළා වගේම එක්සත් ජාතික පක්‍ෂයේ අභ්‍යන්තර රෝගවලටත් බෙහෙත් කළා. මාලේවන ඥානිස්සර විදුහල උන්වහන්සේ බේරුවල දු දරුවන්ට ලබාදුන් අගනා ද‌ායාදයක්, ලෙස මාලේවන සෝභිත හිමියෝ අවසන් වශයෙන් පැවසූහ. බේරුවල පුරාණය ගැන ඊළඟට අදහස් දැක් වූයේ අදටත් බේරුවල ජීවත් වෙන ලක්‍ෂ්මන් ප්‍රනාන්දුය.   


කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ​ෙල්කම් කොට්ඨාස 13න් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ඊට හේතුව සිංහල මුස්ලිම් ද්‍රවිඩ ජන සංයුතියෙන් යුතු ජනතාවක් වාසය කිරීම. විශාලත්වයෙන් වර්ග කිලෝ මීටර් 71.4ක් පමණ වන කොට්ඨාසයේ බටහිරින් මුහුදින්ද උතුරින් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද නැඟෙනහිරින් මතුගම හා දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද මායිම්ව පිහිටා තිබෙනවා. භූගෝලීය වශයෙන් ගත්තාම බේරුවල ප්‍රදේශයේ උස්බිම්වලින් තොර තැනිතලා බිම්වලින් හා ඇළ මාර්ග සමග තැනින් තැන වගුරු බිම්වලින්ද යුක්ත වෙනවා. මුහුදු මාර්ගයේ සිට කිලෝ මීටර් 3ක් පමණ රට අභ්‍යන්තරයට පැමිණි විට කඳු ස්වභාවයක් දක්නට ලැබෙනවා. වන රක්‍ෂිත නොමැති වූවත් ලඳු කැලෑ දක්නට ලැබෙනවා. බේරුවල ජල ප්‍රවාහන පද්ධතිය සැකසී ඇත්තේ ඇළ මාර්ග හරහා තමයි. මෙයින් ප්‍රධාන ඇළ මාර්ගය වන්නේ කළුවාමෝදර ඇළ තමයි දුම්මලමෝදර ඇළ සහ ඉදිරිලගොඩ ඇළ අපේ ගම් ප්‍රදේශ හරහා ගලා බහිනවා. මේ ඇළ මාර්ගය ආශ්‍රිතව වගුරු බිම්ද පිහිටා තිබෙනවා. බේරුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 82කින් සමන්විත වන අතර ගම් 226ක් පිහිටා තිබෙනවා. ගොඩඉඩම් හෙක්ටයාර් 7754කින්ද හෙක්ටයාර් 30ක ජලාශ වලින්ද මේ ප්‍ර​ෙද්ශය යුක්ත වෙනවා.   


ඉස්සර බේරුවල වරායට යෑමට තිබූ පාරට කිවුවේ වත්හිමි රාජපුර යනුවෙන්. ඒ කාලේ සුළුප්පු වලින් තමයි වරායට බඩු ​අරගෙන එන්නේ. පිටි සීනි කරවල, ලුණු වගේ දේවල් සුළුප්පු වලින් වරායට අරගෙන එනවා. එතැන ඉඳලා කරන්ත වලින් තමයි විවිධ ප්‍රදේශවලට බඩු අරගෙන යන්නේ. ඒ කාලේ වත්හිම් රාජපුර තිබුණේ පැරණි වරාය තමයි. අද වත්හිමි රාජපුරට කියන්නේ රේගුව පාර කියලා. මේ පාර අවසන් වුණාම බේරුවල මරද‌ාන හමුවෙනවා. වර්තමානයේ සුළු පන්න ධීවර කර්මාන්තයේ නියැළෙන මුස්ලිම් ජාතිකයන් ඉන්නේ මේ ප්‍රදේශයේ. ධීවර කර්මාන්තයේ හොඳ අලුත් මාළු කන්න ලැබෙන්නේ සුළුපන්න ධීවරයන්ගෙන්. ඒ කාලේ බේරුවලට එන කරත්ත කරුවන් ඇතුළු ඕනෑම කෙනෙකුට වතුර පිපාසය සංසිඳුවා ගැනීමට පිංතාලියක් අපේ මුතුන් මිත්තෝ පවත්වාගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ කටයුත්ත නොපමාව මා විසින් පවත්වාගෙන යනු ලබනවා. දැන් බලන්න කඩවල් ගා​ෙණ් හන්දි ගාණේ දුම්රිය පොළේ බස්නැවතුම්පොළේ වතුර විකුණන යුගයක බේරුවල නගරයේ පිංතාලියක් පවත්වාගෙන යෑම ගැන මට බොහෝ දෙනා ප්‍රශංසා කරනවා. බේරුවල ප්‍රදේශය ආශ්‍රිතව බිහිවූ කලාකරුවන් අතර චිත්‍ර ශිල්පී එල්.ටී.පී. මංජු ශ්‍රී මහතා සිහිපත් කළ යුතුයි. බේරුවල මංගල පිරිවණේ පැවිදි දිවියක් ගත කළ මංජු ශ්‍රී උපැවිදිවීමෙන් පසු ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වුණා.   


බේරුවල දේශපාලනය ගැන කථා කළොත් එම්.එච්. බාකිර් මාකාර් මහතා කථානායක ධූරය මෙන්ම කාර්යභාරයක් නොමැති ඇමතිවරයා වශයෙන්ද අවසානයේ දකුණේ ආණ්ඩුකාර වරයා වශයෙන්ද ක්‍රියා කළා. 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ නියෝජ්‍ය කථානායක ධූරය දැරූ අයි.ඒ. කාදර්මහතාද ප්‍රකට නීතිඥවරයෙකු වශයෙන්ද ක්‍රියාකළ මහජන නියෝජිතයෙකි. බේරුවල බහුමන්ත්‍රී ආසනයක්ව පැවැති යුගයේ එම්.එච්. බාකීර් මාකර් මහතා බේරුවල පළමුවැනි මන්ත්‍රීවරයා වූ අතර බේරුවල දෙවැනි මන්ත්‍රීවරයා වූයේ බෙන්තර ප්‍රදේශයේ ආර්.ජී. සමරනායක මහතාය. 1977 මහාමැතිවරණයේදී 1971 කැරැල්ලට සම්බන්ධ වී සිටි ජී.අයි.ඩී. ධර්මසේකර ඔහුගේ නායකත්වයේ යුතු පක්‍ෂයකින් ඡන්දය ඉල්ලුවත් මහජන නියෝජිතයකු වීමට නොහැකි වුණා. ඒ මහතා අද පැවිදි වී මාලේවන ධම්මවිජය හිමියන් වශයෙන් වැඩ සිටිනවා. රත්නපුරේ මැණික් ව්‍යාපාරික රත්නාලෝක මුදලාලි බේරුවල ඉපදී හැදීවැඩී ජීවත් වූ අයෙක්. එතුමාගේ ඥ‌ාතීන් අදත් මේ ප්‍රදේශයේ ඉන්නවා. ඒ මහතා සිහිවීම පිණිස බේරුවල බෞද්ධ සංගමයට ගොඩනැගිල්ලක් ඉදිකර දී තිබෙනවා.   


බේරුවල හිටපු පරිත්‍යාගශීලි දානපතියන් අතර එෆ්.අයි ප්‍රනාන්දු මහතාද ජයසූරිය මහතාද සිහිපත් කළ යුතු බෞද්ධ නායකයන් දෙපළකි.   


ඉස්සර සිංහල අලුත් අවුරුදු උත්සව බේරුවල ප්‍රදෙශයේ සරුවට තිබුණා. කරත්ත රේස් වගේම මුහුද ආශ්‍රිත ජලක්‍රීඩා පැවතුණා. ඔරු රේස් පිහිනීම වැනි කටයුතු ද මගේ මතකයේ තිබෙනවා.   
බේරුවල සුන්දරත්වය ගැන කථා කිරීමේදී මොරගල්ල මුහුදු වෙරළ ඉතාම දැකුම්කළු වෙරළ තීරයක් වශයෙන් විදේශිකයන්ගේ නෙත් සිත් පිනවන ස්ථානයක් බවට පත්වෙලා තිබෙනවා. උදේ පාන්දර සහ සැන්දෑයාමයේ දේශීය විදේශිකයන් මේ මුහුදු වෙරළේ පහස විඳීමට පැමිණෙනවා. කළුවාමෝදර ඇළ සමඟ ඇති කඩොලාන තීරය පරිසරයට ගෙන දෙන්නේ පුදුමාකාර ජීවයක්. විශේෂයෙන් බේරුවල ප්‍රදීපාගාරය හෙවත් පහන් කණුව මුහුදු මාර්ගයේ එන නැව්වලට සංඥා නිකුත් කරනවා. මහා සමුදුරත් කළුවාමෝදර ඇළත් යාවෙන ස්ථානයට පෙනෙන දුරින් පිහිටි ධර්මද්වීපය යෝගාශ්‍රමය විඩාබර ගතට සිතට ප්‍රබෝධයක් ගෙන දෙන වන අරණකි. තුරුලතා වලින් පිරුණු මේ පෙදෙස ගත සුව නිවන ක්ෂේම භූමියක් වශයෙන් කියන්න පුළුවන් යැයි ලක්‍ෂ්මන් ප්‍රනාන්දු මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය. බේරුවල ධීවර කර්මාන්තය ගැන අදහස් දැක්වූයේ හිටප නියෝජ්‍ය නගරාධිපති විමලසිරි සිල්වාය.   


‘‘අපේ මුතුන් මිත්තෝ ඉදලා ධීවර කර්මාන්තයේ යෙදිලා තමයි ජීවත් වුණේ. එදාපැවැති සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය හරිම ක්‍රමවත් ජීවනෝපායක් වශයෙන් තමයි තිබුණේ. අදවගේ තහනම් පන්න ක්‍රම භාවිත කරලා මාළු මැරීම කළේ නැහැ. බොහෝ දෙනා කෑවේ අලුත් රසවත් මාළු.   


අද සෑම දෙයක්ම අවිධිමත් වෙලා තියෙන යුගයක ධීවර කර්මාන්තට ඒ කල දවසම තමයි උදාවෙලා තියෙන්නේ. බේරුවල ජීවත් වෙන ධීවරයෙකුගේ පුතකු වශයෙන් ලේ රහට අලුත් මාළු කෑල්ලක් කන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. බේරුවල අලුත් මාළුවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. බේරුවල ධීවරයකුගේ පුතෙකු වශයෙන් ඉපදීමට ලැබීමත් වාසනාවක් කියලා මට හිතෙනවා යැයි අවසන් වශයෙන් විමලසිරි සිල්වා ප්‍රකාශ කළේය   

 

 

 

 

 

 

 

 

 

 


සටහන හා ඡායාරූප
මහින්ද ආරියවංශ