පුරාණ ලක්දිව සිතුවම් කලාව පිළිබඳව අවධානය යොමුකරන විට බොහෝවිට කතිකාවට ලක්ව ඇත්තේ ගල් ලෙන් හෝ මැටි වරිච්චි හෝ ගඩොල් බිත්ති මත අඳින ලද සිතුවම් පිළිබඳව පමණක් බව පෙනේ. එම නිසාවෙන් පුස්කොළ පොත් සිතුවම් කලාවක් පුරාණයේ පැවැතියේය, යන්න පවා සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිතව නොමැත.   


අනුරාධපුර යුගය හා පොළොන්නරු යුගයන් තුළ දී පුස්කොළ පොත් මත සිතුවම් ඇඳි බවට පුරාවිද්‍යාත්මක හෝ සාහිත්‍ය මූලාශ්‍ර සාධක නොලැබේ. සංකාන්ත්‍රික (දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ) අවධියේදී කරන ලද පුස්කොළ පොත් කිහිපයක සාධක ලැබී ඇති අතර මහනුවර යුගයේ දී ඇතිවූ ලේඛන ප්‍රබෝධයත් සමඟ මෙම කලාව වර්ධනය වී ඇති බව පෙනේ.   


පුස්කොළ පොත් සිතුවම් කලාව ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනාගත හැකි අතර ඒවා නම් පුස්කොළ පොත් කම්බ සිතුවම් හා පුස්කොළ පිටපත් සිතුවම් ලෙසය. දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී කරනු ලැබී යයි සලකන චුල්ලවග්ගපාලි පුස්කොළ අත්පිටපතේ පොත් කම්බයේ බහුවර්ණික රූප සටහන් දක්නට ලැබේ. එසේම මෙම අවධියේම කරන ලද සාරත්ථදීපනී විනය ටීකා පුස්කොළ පොත් කම්බයේත් ඒකවර්ණ සිතුවම් දක්නට ලැබේ.   
පුස්කොළ පොත් කදම්බයන්හි සිතුවම් නිර්මාණ ක්‍රමයක් පැවැති අතර මේ පිළිබඳව අපූර්වතම විග්‍රහයක් ආරිය ලගමුව මහතා ඉදිරිපත් කර තිබේ. පොත්කම්බා විසිතුරු කිරීම සඳහා කැටයම් සහිත හෝ කැටයම් රහිත හෝ යන කම්බා වර්ග දෙකොටසේම ස්වභාවික වර්ණ භාවිතයෙන් හෝ ලක්ෂා භාවිතයෙන් සිතුවම් කිරීම විශේෂ ලක්ෂණයකි. කැටයම් සහිත කම්බාවල පිටත ස්ථරය සිතුවම් කරන ලද්දේ අල්ප වශයෙනි. එය ද සිතුවම් කිරීමක් නොව කැටයමට ගැළපෙන පරිදි එහි වර්ණ ගැන්වීමයි.   
කැටයම් රහිත උන්දම ඉතා විසිතුරු ලෙස විවිධ මෝස්තරවලින් අලංකාරකර තිබේ. ඇත්දත්, ලෝහ හා පුස්කොළ යන ද්‍රව්‍යවලින් නිර්මාණය කළ කම්බා ද සිතුවම් කර ඇති අතර දැව කම්බා බහුතරය සිතුවම් කර ඇත. මෙම කම්බාවල සිතුවම් වැඩ පුස්කොළ පොත් නිර්මාණ ශීල්පීන්ම විසින් කරන ලද බව සිතිය හැකි අතර ලාක්ෂා ශිල්පීන් හා සිත්තරුන් විසින් ද කරන්නට ඇති බවට මත තිබේ. ඒ බව එස්.පී. චාර්ල්ස් මහතා ද සඳහන් කර තිබේ.   
පොත්කම්බාවල වර්ණ භාවිතයෙන් සිතුවම් ඇඳීමේ දී විවිධ තෙලිකූරු භාවිතකර ඇති අතර ලාක්ෂා භාවිතයෙන් පොත්කම්බා අලංකාර කිරීමේ දී නියපොතු වැඩ නමැති ශිල්ප ක්‍රමය අනුව අතින් සිදුකර ඇත.   


පුස්කොළ පොත්කම්බා මත පමණක් නොව එහි අන්තර්ගත පුස්කොළවල ද සිතුවම් ඇඳීමේ තාක්ෂණය එකල සිත්තරුන් දැන සිට ඇති අතර පොත්කම්බාවල සිතුවම් සිත්තරුන් විසින් කරන්නට ඇතැයි අනුමාන කළහැකි වුව ද පුස්කොළ මත කරන ලද සිතුවම් එම පුස්කොළ ලියන ලද පිරිස්ම කරන්නට ඇතැයි ද සිතිය හැක. නමුත් සිතුවම් ඇඳීම සඳහා අවශ්‍ය ඉඩකඩ තබා පුස්කොළ ලියන්නන් එය ලියා සිතුවම් ඇඳීම සිත්තරුන්ට පැවරුවා ද විය හැකිය.   

 

 


මෙම සිතුවම් නිර්මාණයේ දී දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත නොකළ ද එය ඉතාමත්ම සංකීර්ණ කාර්යයක් වූවාට සැක නැත. මෙරට පුස්කොළ පොත්වලින් අතළොස්සක් හැර සියල්ලම පාහේ වර්ණවත් සිතුවම්, මෝස්තර රටා සහ විවිධ කැටයම් වැඩවලින් අලංකාර කළ පොත් කම්බාවලින් සමන්විත වේ. එහෙත් පුස්කොළ පොත් ප්‍රමාණයට සාපේක්ෂව පුස්කොළවල අඳින ලද රූපසටහන් හා චිත්‍ර ඉතා අල්ප බව පෙනේ. බිත්ති, සෙල්පුවරු, පෙතිකඩ, දැව, කැන්වස්, කඩදාසි වැනි පුළුල් පසුතලයක් සහිත ද්‍රව්‍ය මත අඳින ලද සිතුවම්වලදී ශිල්පියාට අවශ්‍ය පරිදි රූපවල ප්‍රමාණය නිශ්චය කරගත හැකිය. එහෙත් පුස්කොළවල සිතුවම් ඇඳීමේ දී පසුතලය ඉතා සීමිතය. එම සීිමිත පසුබිම තුළ විශාල චිත්‍ර ඇඳීමේ නිදහසක් නොවීය. එබැවින් මේ රේඛා චිත්‍ර ඉතා කුඩා ප්‍රමාණයේ චිත්‍ර කලාවක් ලෙස හැඳින්විය හැකිය.   


මේවා බොහෝදුරට ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යයේ හෝ බෙංගාලයේ පාල රාජවංශයේ පාලන යුගයේ (ක්‍රි.ව. 11 වන සියවසේ) “ලඝු චිත්‍ර” (Miniature) කලා සම්ප්‍රදායට සමානය. එසේම පසුබිම් සැකැස්ම මහනුවර යුගයේ චිත්‍ර කලා සම්ප්‍රදායට සමාන වේ. මෙම යුගයේ විහාර දේවාලවල බිතුසිතුවම් පටු තීරුවල අඛණ්ඩ කථන ක්‍රමයට නැතහොත් රාමු ලෙස බෙදන ලද කුඩා පසුබිම්වල ඇඳ තිබේ. මෙම ක්‍රම දෙකම පුස්කොළ පොත්වල රේඛා චිත්‍ර සඳහා ද අනුගමනය කර ඇත. මේ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ විහාර චිත්‍ර කලාව පුස්කොළ පොත් චිත්‍ර කලාවට බලපා ඇති බවයි. ඒ අනුව විහාර බිතුසිතුවම් නිර්මාණ තාක්ෂණය මෙන්ම පුස්කොළ රේඛා සිතුවම් නිර්මාණ තාක්ෂණය ද එකල සිත්තරුන් මනාව ග්‍රහනය කරගෙන තිබූ බවට අනුමාන කළ හැකිය.   


පුස්කොළ රේඛා චිත්‍ර ඇඳීම සඳහා භාවිත කර ඇත්තේ පන්හිඳ පමණි. ජ්‍යාමිතික මෝස්තර රටා සඳහා පමණක් කොම්පාසුව, කෝදුව හා කවකටුව භාවිත කරන්නට ඇත. පන්හිඳ පමණක් භාවිතයෙන් චිත්‍රයක් ඇඳීම අති දුෂ්කර කාර්යයක් වන අතර එසේ අඳින ලද කිසිවක් නැවත මැකිය නොහැකිය. එබැවින් පන්හිඳෙන් අඳින ඉරි කැබැල්ල පවා ඉතා සුක්ෂම ලෙසත් අලංකාරවත්ව ඇඳිය යුතු වේ.   

 

 


ඒ සඳහා මෙම සිතුවම් කලාව පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් ද, කුසලතාවක් ද, පුහුණුවක් හා දැනීමක් ද ශිල්පියාට තිබිය යුතුය. බොහෝ විට මෙම සිතුවම් තනි වර්ණයකින් සමන්විත වන නමුත් බොරලැස්ගමුවේ ධම්මදස්සී විහාරයේ සූවිසි විවරණය හා වෙස්සන්තර ජාතකය අඩංගු වී තිබෙන පුස්කොළ පොතේ උඩරට බිතු සිතුවම්වලට සමාන ලෙස රූප එක වර්ණයකින් ද පසුබිම වෙනත් වර්ණයකින් ද නිරූපණය කර ඇත. මේ අනුව වර්ණ කිහිපයකින් චිත්‍රණය කරන ලද පුස්කොළ පොත් පැරැණි යුගයේ තිබෙන්නට ඇති බව අනුමාන කළ හැකිය. එහිදී පළමුවෙන් චිත්‍ර ඇඳ ඒවා වර්ණ ගන්වා පසුව පසුබිම වර්ණ ගැන්වීමේ තාක්ෂණික ක්‍රමයක් ඒ සඳහා භාවිත කරන්නට ඇත. නමුත් බහුලව හමුවන්නේ ඒකවර්ණ පුස්කොළ සිතුවම් වන අතර මෙම සිතුවම් දැකගත හැක්කේ කළු මැදීමෙන් අනතුරුවය.   


මේ අනුව පෙනීයන්නේ බහුලව සාධක නොලැබුණද සාමාන්‍ය ජන සමාජයේ ප්‍රචලිත නොමැතිවුවද අපේ පුරාණ සිත්තරා ලේඛන කලාව තුළද තමන්ගේ සෞන්දර්ය ප්‍රකාශනය දිගහැර ඇති බවයි.   

 


කේ. උදේනි අරුණසිරි   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රත්නපුර.