IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


​පෝරු මස්තකයේ සිට ඇඟිල්ල ඉරූ මන්ත්‍රීතුමා

අමුතු ගති ඇති මිනිස්සු

 

අප අතර සිටින බොහෝ දෙනෙක් නොයෙකුත් පුරුදුවලට ඉතා තදින්ම ඇබ්බැහි වී සිටිති. ඇතැමුන්ගේ එවැනි පුරුදු එතරම් හොඳ ​හෝ දකින අයට ප්‍රිය උපදවනසුලු ඒවා නොවේ. තැන නොතැන නොබලා කොක් හඬලා සිනාසීම, බුලත්විට සපා තැනින් තැන කෙළ ගැසීම සහ ඇඟිලි සූප්පු කිරීම එවැනි අප්‍රියජනක පුරුදුය. ඇතැම් විට ඔවුන් එවැනි අප්‍රියජනක පුරුදුවලට ඇබ්බැහි වී සිටින්නේ එය අන්‍යයන්ට හිරිහැරයක් බව නොදන්නා නිසා විය හැකිය. නැතහොත් නතර කර ගැනීමට නොහැකිවය. මීට අවුරුදු තිස් හතළිස් ගණනකට පෙර මෙවැනි තරමක් අප්‍රියජනක පුරුද්දකට ඉතා තදින්ම ඇබ්බැහි වී සිටි එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගැන අසන්නට ලැබුණේය. ඔහුගේ එම නරක පුරුද්ද වූයේ තැන නොතැන නොබලා තමන්ගේ දකුණු අතේ මහපට ඇඟිල්ල සූප්පු කිරීමයි.   


වසර දහයකටත් වැඩි කාලයක් එකම අසුනක් නියෝජනය කරමින් දෙවරක් පාර්ලිමේන්තුවට පත් වූ ඔහු විදේශ අධ්‍යාපනය ලබා සිටි උගතෙකි. එහෙත් තමන්ගේ උගත්කමෙන් වැඩි ප්‍රයෝජනයක් නොගත් එම මන්ත්‍රීවරයා අල්ලසට හෝ වෙනත් අක්‍රමිකතාවන්ට බර වූ අයෙකු ද නොවීය. ඒ අතින් නම් ඔහු ශුද්ධවන්තයෙකි.   
මට අපේ පරම්පරාවෙන් ලැබිච්ච දේපළ ටිකක් තියෙනවා. ඒ නිසා මම මේ දේශපාලන කෙරුවාවෙන් අපේ ආසනේ ඉන්න උදවියට පුළුවන් හැටියට සේවයක් කරනවා මිසක් දේශපාලනෙන් හරි හම්බ කර ගන්න මට ඕනෑ කමක් නෑ. ඔහු ඇතැම් ඉරිදා දිනවල තමන් හමුවීමට එන ඡන්ද දායකයන් සමග එසේ කියන්නේ දහ දොළොස් වතාවක්ම තම දකුණු අතේ මහපට ඇඟිල්ල සූප්පු කරමිනි. ඔහුගේ බොහොමයක් පාක්ෂිකයන් ද තම මන්ත්‍රීවරයාගේ එම ඇඟිල්ල සූප්පු කිරීම ගැන කාලයක සිටම දැන සිටින බැවින් ඔවුන්ට ද එහි වගේ වගක් නැත. එහෙත් තම ඡන්ද කොට්ඨාසයේ සිටින ඇතැම් නොහික්මුණු කොල්ලන් තමන්ට සූප්පුවා යැයි නමක් පටබැඳී තිබෙන බව හෙතෙම දැන සිටියේය.   
මොකක්ද තාත්තේ මේ කොයි වෙලේ බැලුවත් ඇඟිල්ල කටේ ගහගෙන ඉන්නේ. මගේ යාළුවෝ මගෙන් අහනවා ඇයි තාත්ත වගේ උඹ ඇඟිලි සූප්පු කරන්නේ නැත්තේ කියලා. කොළඹ උසස් විද්‍යාලයක නේවාසිකව ඉගෙනුම ලැබූ ඔහුගේ පුත්‍රයා තම පියාට එලෙස නෝක්කාඩු කී අතර මොනම හේතුවක් නිසා වත් තම පාසලේ නේවාසිකාගාරයට නොපැමිණෙන ලෙස තාත්තාට තහනම් නියෝගයක් පනවා තිබුණේ බැරිම තැනය.   
කොහේද පුතේ තාත්ත ඔය කැත පුරුද්ද නතර කරන්නේ? යි අසන ඔහුගේ බිරිඳ කියන්නේ තම විවාහ මංගල්‍යය දා පියා සමග පෝරුවට ගොඩ වී සිටියදී පවා ඔහු විටින් විට ඇඟිල්ල ඉරූ බවය. තම සැමියා එලෙස පෝරුවට නැගී මඟුල් චාරිත්‍ර ඉටු කරන අතරතුර ඇඟිල්ල උරණ අයුරු දැක්වෙන ඡායාරූප කීපයක්ම තමන් ඉරා පුලුස්සා දැමූ බව ද ඇයට තවමත් මතකය.   


මන්ත්‍රීතුමාගේ විවාහ මංගල්‍යයට එවකට පැවැති ආණ්ඩුවේ සෞඛ්‍ය සහ පළාත් පාලන ඇමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඇතුළු තවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් කීප දෙනෙක්ම සහභාගී වී සිටියහ. තම දේශපාලන සගයා පෝරු මස්තකයේ සිට ඇඟිල්ල සූප්පු කරන අයුරු දුටු බණ්ඩාරනායක මහතා ඒ අසල සිටි බද්දේගම හෙන්රි අබේවික්‍රමගේ ඇඟට ඇඟිල්ලෙන් ඇන පෙන්වන ඡායාරූපයක් ද ඒ අතර තිබුණේය.   
ඉන්පසු ඒ සිද්ධිය මතක් කරමින් තම බිරිඳ බැණ වැදුණ සෑම අවස්ථාවකදීම අපේ මන්ත්‍රීතුමා ආඳෙකු මෙන් එතැනින් ලිස්සා ගියේය. ඒ අතර ඔහු කියන්නේ උප්පත්තියේ සිටම තමන් තුළ ඇති වූ එම පුරුද්ද මේ වන විට කිසිසේත්ම නතර කර ගැනීමට නොහැකි වී ඇති බවය.   
යෝධයෝ මම අපේ මන්ත්‍රී කණ්ඩායමක් එක්ක එංගලන්තෙ බකිංහැම් පැලස් එකට ගිහින් මහ රැජිනට අතට අත දෙන්න පෙළ ගැහිලා ඉන්නකොටත් මම ඇඟිල්ල සූප්පු කරපු එකේ ඕක මොන කජ්ජක්ද? මන්ත්‍රීතුමා එසේ කියන්නේ තමන් එංගලන්තයේ දෙවැනි එලිසබෙත් මහ රැජින ඉදිරිපිටත් ඇඟිල්ල සූප්පු කළ බව සිහිපත් කරමිනි.   
හැබැයි මගේ ළඟ හිටපු සරත් විජේසිංහ, ඇමැතිතුමා මගේ කකුලට සපත්තුවෙන් ඇන්න නිසා මම සටස් ගාලා අත පහළට දමා ගත්තා. නැත්නං ඉතින් මට මහ රැජිනට අතට අත දෙන්න වෙන්නෙත් කෙළ පිටින්ම තමයි.   


ඔහු එසේ කියතත් ශ්‍රී ලංකාවෙන් ගිය මන්ත්‍රී කණ්ඩායම ආපසු හෝටලයට පැමිණි විගස අපේ මන්ත්‍රීතුමා තනි කර ගත් සරත් විජේසිංහ ඇමැතිතුමා ඔහුට අමු තිත්ත කතාවෙන් බැණ වැදුණේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවේ ඇති නරකම වචන යොදා ගනිමිනි. එපමණකින් නොනැවතුනු එතුමා මෙරටට පැමිණි පසු ඒ ගැන බණ්ඩාරනායක අගමැතිතුමාට පවා පැමිණිලි කර තිබුණේ හොඳ වෙලාවට මම කලින්ම දැක්කේ. නැත්නං මේ යකා අපේ මුළු රටම කනවා යි කියමිනි.   
කෙසේ වෙතත් තමන්ගේ එම පුරුද්දේ ඇති අනුචිත භාවය ගැන මන්ත්‍රීතුමාට හොඳ අවබෝධයක් තිබිණ. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ ඔහුට එය නතර කර ගැනීමට නොහැකි වීමය.   


මට වේල් ගණනාවක් බත් නොකා ඉන්න පුළුවන්. ඒත් එක විනාඩි පහක් ඇඟිල්ල සූප්පු නොකර ඉන්න අමාරුයි. ඔහු එසේ කියන්නේ තමන්ගේ එම නරක පුරුද්ද ගැන ඇත්ත ඇති හැටියෙන්ම කියා පාමිනි. ඔහුගේ ඡන්ද කොට්ඨාසයේ සිටි නොහික්මුණු කොලු ගැටව් මන්ත්‍රීතුමාට සූප්පුවා යැයි නමක් පට බැඳ තිබුණ ද ඔහුට කිසිම දවසක එනමින් කොළොප්පම් කිරීමට ඉදිරිපත් නොවූහ. එසේ වූයේ ඔහු තම ඡන්ද කොට්ඨාසයේ වෙසෙන තරුණ පිරිසගේ රැකියා ප්‍රශ්නය තමන්ට හැකි පමණින් විසඳා තිබූ බැවිනි. අවස්ථා දෙකක දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයා මියගොස් තිබුණේ ද තම මහපට ඇඟිල්ල උරමින් සිටියදී යැයි ඇතැම් පැරැන්නන් කියතත් එය අදටත් පවතින්නේ කටින් කට පැතිරුණු ඕපාදූපයක් වශයෙනි. ඒ ගැන සහසුද්ධියෙන්ම දැන සිටින ඔහුගේ පුත්‍රයා අද වෙසෙන්නේ විදේශගතවය.   

 


නිහාල් ජගත්චන්ද්‍ර 



අදහස් (0)

​පෝරු මස්තකයේ සිට ඇඟිල්ල ඉරූ මන්ත්‍රීතුමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site