රට හෙල්ලූ සිදුවීමක
අඩි සලකුණු දිගේ...
එ් වකවානුවේ රට පුරාම පැවතියේ භීෂණයේ රුදුරු සෙවනැලිය.
භීෂණය දකුණේ කොතරම් උත්සන්නව පැවතියාද කියනවානම් නාඳුනන තුවක්කුකරුවන්ගේ ගොදුරු බවට පත්වූ තරුණ තරුණියන්ගේ සිරුරු රටේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන දැවෙමින් තිබිණි.
එසේත් නැතිනම් ගංගා ඇළදොළවල පා වෙමින් තිබූ තරුණ තරුණියන්ගේ සිරුරු කිඹුලන්ගේ හා කබරගොයින්ගේ ගොදුරු බවට පත්ව තිබිණි.
දකුණ එසේ භීෂණයේ ගිනි දැල්වලින් වෙළී පැවතියද කොටි ත්‍රස්තවාදීන්ද ඒ වකවානුවේ උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා පෙරටත් වඩා උත්සන්න කර තිබුණේය.
රජයේ අනුග්‍රහය යටතේ භීෂණය මර්දනය කිරීමට පිහිටුවා තිබූ බව කියන සන්නද්ධ කල්ලිවලට මුහුණදීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමැති සංවිධානයක්ද වඩාත් ප්‍රබලව ඒ වකවානුවේ ක්‍රියාත්මක වෙමින් තිබිණි.
එම ව්‍යාපාරයේ අණදෙන්නා වූයේ කීර්ති රණබාහු නැමැත්තෙකි.
ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළේ දැඩි භීෂණකාරී වාතාවරණයක් රට පුරා පැවති කාලවකාවනුවකය.
ඉන්දු-ලංකා ගිවිසුම නමින් සුප්‍රකට ගිවිසුම ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අතර අත්සන් කෙරුණේ 1987 ජූලි මාසයේ 29 වැනිදාය.
මේ ගිවිසුම අත්සන් කිරීමත් සමගම රට පුරා පැවති භීෂණකාරී වාතාවරණය තව තවත් උත්සන්න විය.
භීෂණකාරී තත්ත්වය උත්සන්න වීමත් එක්කම රට අරාජික තත්ත්වයකට පත්ව තිබිණි.
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන්ද දකුණේ ප්‍රචණ්ඩ ක්‍රියා වඩාත් උත්සන්න කර තිබුණේ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමගය.
ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ ප්‍රථම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ 1987 වසරේ අගෝස්තු මාසයේ 18 වැනිදාය.
ආණ්ඩු පක්‍ෂයේ පළමු රැස්වීම ආරම්භවූයේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයේ කාමරයක් තුළය.
අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතාද පැමිණ තිබුණේ ආණ්ඩු පක්‍ෂ රැස්වීමට සහභාගීවීමටය.
ආණ්ඩු පක්‍ෂ රැස්වීමට ආණ්ඩුපක්‍ෂ ලේකම් ක්‍රිස්ටි කුරේ මහතා වෙනුවට එදින වැඩ බැලීමට පැමිණ තිබුණේ නෝර්බට් සේනාරත්න මහතාය.
රැස්වීම ආරම්භ කළේ ඊට සතියකට පමණ ඉහතදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ බවට සැළකෙන කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබූ ජිනදාස වීරසිංහ මහතා සිහිකිරීම පිණිස විනාඩි දෙකක නිශ්ශබ්දතාවකින් පසුවය.
වැඩ බැලීම සඳහා පැමිණ සිටි නෝර්බට් සේනාරත්න මහතා අග්‍රාමාත්‍ය ප්‍රේමදාස මහතා සමීපයේ සිටිමින් අගමැතිවරයා වෙත නැඹුරුව යමක් ප්‍රකාශ කරමින් සිටියේය.
ඒ ෙස්නාධීර මහතා අතේ තිබූ ලිපි ගොනුවක් ද අගමැතිවරයාගේ විශේෂ අවධානයට යොමු කරවමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඩී.බී. ඒකනායක මහතා මේ වේලාවේ සිටියේ ආණ්ඩු පක්‍ෂ රැස්වීම අමතමිනි.
පාර්ලිමේන්තු සංකීර්ණයම දෙදරුම් කවමින් පිපිරීම් හඬ දෙකක් ඇසුණේ ඒකනායක මහතා රැස්වීම අමතමින් සිටි අතරවාරයේය.
එම පිපිරීම් හඬ දෙකත් සමගම රැස්වීම පැවති කාමරය විශාල දුමාරයකින්ද වැසී ගිෙය්ය.
පුපුරා ගොස් තිබුණේ බෝම්බ දෙකකි.
එල්ලවූ බෝම්බ දෙකම පුපුරා ගොස් තිබුණේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා අගමැති ආර්. ප්‍රේමදාස යන මහත්වරුන් අසල පතිත වීමෙන් පසු පෙරළී ගොස් පිපිරී ගියේ ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි, මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කීර්ති අබේවික්‍රම යන මහත්වරුන් වාඩිවී සිටි ස්ථානය ආසන්නයේදීය.
බෝම්බ පිපිරීමෙන්, ලලිත් ඇතුළත්මුදලි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කිර්ති අබේවික්‍රම යන මහත්වරුන් ද සේනාධීර මහතා ද බරපතළ තුවාල ලබා ඉතා අසාධ්‍ය තත්වයට පත්ව සිටි අතර වර්තමාන කතානායක කරු ජයසූරිය, ඊ.එල්.බී. හුරුල්ලේ හා මොන්ටේගු ජයවික්‍රම යන මහත්වරුන් ඇතුළු 16 දෙනෙක්ද තුවාල ලැබූහ.
අගමැතිවරයා සුළු තුවාල ලබා තිබුණ අතර ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව තිබුණේ නොමැත.
පාර්ලිමේන්තු මන්ත්‍රී අබේවික්‍රම මහතා කොළඹ ජාතික රෝහලට රැෙගන යන අතරවාරයේ මියගොස් තිබූ අතර, සේනාධීර මහතා මියගියේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මෙම බෝම්බ ප්‍රහාරෙයන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලි මහතා ජීවිතය බේරා ගත්තේ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමෙන් පසුවය.
ඇත්තෙන්ම කියනවා නම් ඇතුළත්මුදලි මහතා එදා සිටියේ මරණයේ දොරකඩ අබියස ය.
රහස් පොලිසිය බාරව එවකට සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රෑන්ක් සිල්වා මහතාගේ විශේෂ උපදෙස් මත මේ සම්බන්ධයෙන් රහස් ෙපාලිස් කණ්ඩායම් කිහිපයක්ම පරීක්ෂණ ආරම්භ කරනු ලැබූහ.
රහස් පොලිස් කණ්ඩායම් කළ පරීක්‍ෂණවලදී පෙනී ගොස් තිබුණේ රැස්වීම පැවැත්වුණ කාමරයේ ජනාධිපතිවරයා අසුන්ගෙන සිටි ස්ථානයට දකුණු පසින් දොරක් පිහිටා තිබෙන අතර එම දොර විවෘත කර කුඩා කාමරයකට ඇතුළුවීමේ හැකියාව තිබෙන බවය.
ඒ කුඩා කාමරය තුළ සැඟවී සිටි යම් අයෙක් එම දොර විවෘත කර එක්වරම ආණ්ඩු පක්‍ෂ රැස්වීම පැවැත්වෙමින් තිබූ කාමරය දෙසට බෝම්බ දෙක එල්ල කරන්නට ඇති බව රහස් පොලිිසිය කළ වැඩිදුර පරීක්‍ෂණවලින් අනාවරණය කරගෙන තිබිණි.
ආණ්ඩු පක්‍ෂයේ රැස්වීමට මැති ඇමතිවරු 120 ක් පමණ සහභාගිවී සිට ඇති අතර බෝම්බ ප්‍රහාරයට එල්ල කිරීමත් සමගම රැස්වීමට සහභාගීවී සිටි මැති ඇමැතිවරුන් බියට පත්වීම නිසා කලබලයෙන් රැස්වීම පැවැති කාමරයෙන් පැන ගත්තේ ජනෙල් වීදුරු කඩා බිඳ ගෙනය.
රැස්වීමට පැමිණ සිටි මැති ඇමැතිවරුන් කලබලයට මෙන්ම ෙනාසන්සුන්තාවයට පත්ව සිටි නිසාම කිසිම කෙනෙක් බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සම්බන්ධ කෙනා ගැන කිසිදු සොයා බැලීමක් සිදු කිරීමට ගොස් ෙනාතිබිණි.
බොහෝ දෙනෙක් සිතා ඇත්තේ ෙකායි මොහොතක හෝ තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය හැකි යැයි කියාය.
ඒ නිසා සියලු දෙනාම තම ජිවිතය බේරා ගැනීමට සිතුවා මිස ප්‍රහාරකයා කව්ද කියා සොයා බලන්න ෙගාස් නැත.
පරීක්‍ෂණවලදී අනාවරණය වූයේ එල්ල කළ බෝම්බ දෙකම අත්බෝම්බ බවය.
අත්බෝම්බ දෙක ඔතාගෙන පැමිණ ඇත්තේ පාර්ලිමේන්තුවට අයත් ලිපිගොණුවකින් ගත් කොලයකිනි.
එම කොල කැබැල්ල සිද්ධියවූ ස්ථානයේ තිබී පොලිසිය සොයාගෙන තිබිණි.
අත්බෝම්බ දෙක කඩදාසියේ ඔතා තිබූ බවට හොඳම සාධකයවී තිබුණේ එය පොඩිවී ගොස් තිබූ නිසාය.
රහස් පොලිස් කණ්ඩායම් මුහුණදී තිබූ ලොකුම අභියෝගය වී තිබුණේ බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා හෝ කණ්ඩායම හෝ කවුරුන්ද කියා හෙළිකරගෙන ඔවුන්ව නීතියේ රැහැනට කොටුකර ගැනීමටය.
මෙයට සම්බන්ධ වූවන් ගැන මොනයම්ම හෝ හෝඩුවාවක් තොරතුරක් සොයා ගැනීමට රහස් පොලිස් නිලධාරීන් නොගත් වෙහෙසක් නොමැත.
අත්බෝම්බ ප්‍රහාරය එල්ල කළ අය ගැන තොරතුරක් සොයා ගැනීමට පොටක් පාදා ගැනීමට රහස් පොලිස් නිලධාරියෝ පාර්ලිමේන්තුවේ දින ගණනක් කරක් ගැසූහ.
එදා එහි සේවය කළ සෑම තරාතිරමක අයගෙන්ම වෙන වෙනම ප්‍රශ්න කළේ මේ ගැන මොනයම්ම හෝ හෝඩුවාවක් සොයා ගැනීමේ අරමුණ ඇතිවය.
ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ලෙස එවකට සේවය කළේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සිල්වා මහතාය.
අති දක්‍ෂ අපරාධ විමර්ශකයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රසිද්ධියට පත්ව සිටි ගාමිණී ද සිල්වා මහතා වසර 40ක සේවා කාලයකින් පසු විශ්‍රාම ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයේ සිටියදීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ඇති කිරීමට ද ලොකු මෙහෙයක් කළ නිලධාරියෙක් ද විය.
පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ අය අල්ලා ගැනීමට මග පෑදුණු ආකාරය ගැන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී ද සිල්වා මහතා කියන කතාව මෙතැන් සිට කියවමු.
‘‘ඔය සිද්ධිය වෙන කාලයේ මම ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කරමින් සිටියේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය සිද්ධවුණේ 1987 වසරේ අගෝස්තු මාසයේ 18 වැනිදා ඊට කලින් දවසේ හඳුනන අයෙක් මාව මුණ ගැහෙන්න පොලිසියට ආවා. යක්කල ටවුන් එකේ වැටිලා තිබියදී අහුලාගත්ත ලියුමක් මට දෙන්නයි ඔහු ආවේ රතුපාට තීන්ත පෑනකින් ඒ ලියුම ලියා තිබුණෙ තරුණියක්. ඇයගේ නම ඒ ලියුමේ සඳහන් කර තිබුණා.
ඔයා මට මෙහෙම කළානම් මම වැලිවේරියේදී අජිත් අයියලා පවත්වපු පන්ති ගැන කියනවා කියා ඒ තරුණ ගැහැනු ළමයා පිරමි ළමයකුට ලියා තිබුණා. තරමක් දීර්ග ඒ ලියුමේ එක් ඡේදයක සඳහන් කර තිබුණා. මට තවත් හොඳට මතකයි. මම මේ ලියුම කියවා බලා මේස ලාච්චුවේ දාගත්තා. පාර්ලිමේන්තු ෙබා්ම්බ ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ මට රතුපාට තීන්තෙන් ලියපු ලියුම ගැන එක පාරට මතකයට ආවා. මේ ලියුමයි පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයයි අතර යම් සම්බන්ධයක් තිබෙන්න පුළුවන් කියන සැකය තදබල ලෙස මගේ හිතට ආවා. මම ඒ කාලයේ මගේ යටතේ රාජකාරි කළ පොලිස් පරීක්‍ෂක ලන්ත්‍රා මහත්තයාට කතා කරලා කිව්වා මේ ලියුම ලියා තිබෙන ගැහැනු ළමයා සොයාගෙන එන්න කියා.’’
පොලිස් පරීක්‍ෂක ලන්ත්‍රා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායම එම තරුණිය සොයාගෙන පැමිණ ගාමිණී ද සිල්වා මහතා හමුවට ඉදිරිපත් කර ඇත.
තරුණිය සමඟ ඇයගේ මව ද පොලිසියට පැමිණ සිටියාය.
එතැනින් එහාට සිදුවු කරුණු කාරණා ගැන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කිව්වේ මෙවැනි කතාවකි.
තරුණ ගැහැනු ළමයාගෙන් මම ප්‍රශ්න කළා. මේ ලියුම ගැන. එතකොට ඇය කිව්වා රතුපස්වල පැවති ජනතා විමුක්ති පෙරමුණේ පන්තියකට තමා ගිය බව. එම පන්තියට තමා හොඳට දන්නා තරුණයන් පස් දෙනෙක්ද පැමිණ සිටියා ඇය කියා සිටියා. ඒ තරුණයන් පස්දෙනාගෙන් කෙනෙක් එක්ක තරුණිය ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. පස්සේ මේ සම්බන්ධය කැඩිලා ගොස් තිබෙනවා. අන්න ඒ නිසා තමා අරවගේ ලියුමක් මේ තරුණ ගැහැනු ළමයා එයාගේ පෙම්වතාට තර්ජනාත්මක ස්වරූපයෙන් කියලා තියෙන්නේ.
තරුණ ගැහැනු ළමයාව අත්අඩංගුවට ගත්තා. ඇයගෙන් හෙළිකරගත් මේ තොරතුරු ඔස්සේ ගොස් එදා රතුපස්වලදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ පන්තියට සහභාගී වුණ තරුණයන් හතරදෙනෙක් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත් ඒ හතරදෙනා අතර තරුණ ගැහැනු ළමයාගේ හිටපු පෙම්වතාද සිටියා. ජනතා විමුක්ති පෙරමුණේ පන්තියට සහභාගී වුණ අනෙක් තරුණයා සොයාගෙන ඔහුගේ නිවෙසට ගියා. ඔහු නිවසේ සිටියේ නැහැ. ඒ විතරක් නෙමේ ඔහුගේ බිරිඳ හා දරුවාත් නිවසින් අතුරුදන්ව සිටියා. ඒ තරුණයා පාර්ලිමේන්තුවේ ෙස්වය කරන අයෙක් බව අත්අඩංගුවට ගත් තරුණයන් හතර දෙනා පැවසුවා. ඒ නිසා මේ පාර්ලිමේන්තු සේවකයාගේ මොනයම් හෝ සම්බන්ධයක් පාර්ලිමේන්තු බෝම්බ සිද්ධියට ඇති බව මට තේරුම් ගියා. පාර්ලිමේන්තු සේවකයා ඔහුගේ බිරිඳ හා දරුවා අතුරුදන්වීම මගේ සැකය තව දෙගුණ තෙගුණ කරන්න හේතුවක් වුණා. මේ බව මගේ උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නා.
පාර්ලිමේන්තු බෝම්බයට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් මා හෙළිකරගෙන තිබෙන බව එවකට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනගෙන තිබෙනවා. වික්‍රමසිංහ මහත්තයා මට දුරකතනයෙන් කතා කරලා මේ ගැන විස්තර විමසුවා. ඊට පස්සේ ආයෙත් කතා කළා. කතා කරලා කිව්වා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට මාව හමුවීමට අවශ්‍ය බව. ඒ නිසා කාර් එකක් එවනවා කියා. මාව එක්කගෙන යන්න එවපු කාර් එකෙන් රනිල් මහත්තයා හමුවෙන්න ගියා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක ජනාධිපතිතුමා හමුවෙන්න වෝඩ් ප්ලේස් එකට ගියා. මැති ඇමැතිවරු ගොඩක් වෝඩ් ප්ලේස් එකේ රැස්වෙලා හිටියා. හරිම උණුසුම්කාරී තත්ත්වයක් තිබුණ බව මට පෙනී ගියා. වික්‍රමසිංහ මහත්තයා මාව ජනාධිපතිවරයා ළඟට එක්කගෙන ගියා. ජනාධිපතිතුමා මගෙන් පාර්ලිමේන්තු බෝම්බ සිද්ධියට සම්බන්ධ අයගේ තොරතුරු විමසා සිටියා. මම සියලු විස්තර ජනාධිපතිතුමා එක්ක කිව්වා.
ජනාධිපතිවරයා කිව්වා සියලු පහසුකම් දෙන්නම් මටත් පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය ගැන රහස් පොලිසිය කරන පරීක්‍ෂණවලට සහය දෙන්න කියා. ඊට පස්සේ මාව එවකට ආරක්‍ෂක ලේකම්වරයාව සිටි සේපාල ආටිගල මහතා හමුවට ඉදිරිපත් කළා. ඔහුගේ උපදෙස් මත රහස් ෙපාලිසියේ අධ්‍යක්‍ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බෙනට් පෙරේරා මහත්තයාගේ ප්‍රධානත්වයෙන් රහස් පොලිස් කණ්ඩායමක් ගම්පහ පොලිසියට ඇවිත් අපේ අත්අඩංගුවේ සිටි තරුණිය හා තරුණයන් පස්දෙනා වැඩිදුර පරීක්‍ෂණවලට ඔවුන්ගේ බාරයට ගත්තා. අර ලියුමත් මම රහස් පොලිසියට බාර දුන්නා.
පාර්ලිමේන්තු බෝම්බ සිද්ධියට පොලිසිය සොයමින් සිටි සේවකයාගෙන් සිද්ධිය වෙච්ච දවසේ රහස් පොලිසිය ප්‍රශ්න කර මුදාහැර තිබෙනවා. ඔහු උපාධිධාරියෙක් බවත් පසුව දැන ගැනීමට ලැබුණා’’ යැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී ද සිල්වා මහතා කීය.
පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ සිද්ධියට සොයමින් සිටි පාර්ලිමේන්තු සේවකයා නාඋල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කොටුවී ඇත්තේ නාඋල ප්‍රදේශයේදීය.
ඒ 1988 වසරේ අෙප්‍ර්ල් මාසයේ දිනකය.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ අජිත් කුමාර නමැත්තෙකි.
මොහු පොලිසියට කොටුවී ඇත්තේ තවත් හතර දෙනෙක්ද සමගය.
නාඋල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් කසිප්පු වැටලීමකට යමින් සිටි අවස්ථාවක මොවුන් පොලිසියට කොටුවී තිබිණි.
වැඩිදුර පරීක්‍ෂණ සඳහා අජිත් කුමාර බාරදී ඇත්තේ රහස් පොලිසියටය.
අජිත් කුමාරට අමතරව එම්.ෙජ්. ගුණවර්ධන නමැත්තෙක් ද රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී 1990 ඔක්තෝබර් මාසයේ 12 වැනිදා කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුව අනුව මොවුන් දෙදෙනාම නිදහස් කරනු ලැබ ඇත්තේ ප්‍රමාණවත් සාක්කි නොමැතිවීම හේතුවෙනි.
නීතිපතිවරයා විසින් එම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කෙරුණත් 1993 වසරේදී එම නඩුවෙන්ද මොවුන් දෙදෙනා නිදහස්වී ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාර්ලිමේන්තු බෝම්බ නඩුවේ සැකකරුවන් ඇල්ලූ හැටි