IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


පෝය දා රන් බඩු කොල්ලය පව් සිදුවන නිසා නැවැත් වූ කොල්ලකල්ලිය

අවිගත් දඩබ්ම

රන්බඩු සොරකමකට කළ සැලැස්මක් යොදා ගත් දිනය පොහොය දිනයක් වීම නිසා පව් සිදුවන්නේ යැයි දින දෙකකට කල් දැමූ කොල්ල කල්ලියකට අවසානයේ මනුෂ්‍ය ඝාතනයක් ද සිදුකර රන්භාණ්ඩ කිසිවක්ද නැතිව හිස් අතින් ගොස් පොලිසියටද කොටුවීමට සිදුවීමේ පුවතක් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් අසන්නට ලැබේ. 

 සේරම්ගේ සීතා කැරොලයින් අල්විස් ඉඹුල්දෙණිය මහත්මිය අසූ හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකි. විශ‍්‍රාමික ගුරුවරියක වන ඇය තිදරු මවකි. සැමියාද මියගොස් ඇති අතර දරුවන් විවාහ පත්ව වෙනම ජීවත් වූයෙන් ඇය සිය නිවසේ වාසය කළේ තනිවමය. තමන්ට අයත් තලපත්පිටිය අනුර මාවතේ මෙලස තනිවම වාසය කළ ඇය නිවසේ බාහිරින් ඇතුළු විය හැකි ලෙස සැකසූ කාමර දෙකක් බෝඩිං කාමර ලෙස ලබාදී තිබූ අතර එම ඉඩමේම ඉදිකළ තවත් නිවාස කීපයක් කුලියට ලබාදී තිබිණ. 


 මෙසේ බෝඩිං කාමර ලබාදීමෙන් අමතර ආදායමක් ලැබෙන අතර කවුරුන් හෝ නිවසේ සිටීම තමන්ගේ ආරක්ෂාවටද හොඳ බව ඇගේ අදහස වන්නට ඇත. මෙසේ බෝඩිංවලට පැමිණෙන අය නිසා තමන්ගේ ජීවිතයට තර්ජනයක් වනු ඇතැයි ඇය කිසිසේත්ම නොසිතන්නට ඇත. 


 මිය ගිය කාන්තාවගේ දරුවන් පුතුන් දෙදෙනෙක් එක් දියණියක සිටින අතර ඒ අයගෙන් දෙදෙනකු වෛද්‍යවරුන් ද එක් අයෙක් ඉංජිනේරුවෙක්ද වේ. ඉංජිනේරු පුතා විසින් ඇයට ඇමතුම් ලබාගත්තද කිසිදු ප‍්‍රතිචාරයක් නොවූයෙන් ඔහු ඒ ගැන සොයාබැලීමට පැමිණි අවස්ථාවේ මව බිම වැටී මියගොස් ඇති බව දැක මිරිහාන පොලිසියට පැමිණිලි කර තිබේ. මව වැටී සිටි ආකාරය අනුව ඔහුට මෙය ස්වභාවික මරණයක්ද නැත්නම් ඝාතනයක්ද යන්න ගැන සිතා ගැනීමට නොහැකි විය. ඔහු පොලිසියට පැමිණිලි කළේ ඒ සැකය නිසාය. 


 මිරිහාන පොලිසිය එහි ගියේ ඒ අනුවය. වයෝවෘද්ධ කාන්තාවක් වන නිසාත් බාහිරින් පේන්නට කිසිදු තුවාලයක් නොවූ නිසාත් ඇය මිය ගියේ කෙසේද යන්න පිළිබඳව පොලිසියට නිසි අදහසක් නොවිණ. නිවසේ නවතා තිබූ තම මෝටර් රථයද අතුරුදන් බවට පුතෙකු කළ දැනුම් දීම අනුව පොලිසියට සැකයක් ඇති වූයේ වාහනය සොරාගෙන යනු දැක ඇති වූ කම්පනයෙන් මෙම මරණය සිදුවූවාද යනුවෙනි. 


 මෘත ශරීරය කලුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අධිකරණ වෛද්‍යවරුන් තිදෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබිණ. එහිදී මෙය ඝාතනයක් බවට හෙළිදරව් විය. ඒ අනුව පොලිසිය යළි පරීක්ෂණ ආරම්භ කළේය. මිරිහාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත විජේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පියල් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වූහ. 


 විදුහල්පතිනියට අයත් නිවසේ යාබදව වාසය කළ බෝඩිංකරුවන්ගෙන් කළ විමසීමේදී පෙර දින රාත‍්‍රියේ මෝටර් රථය පණගන්වාගෙන කිසිවකු පිටව යනු ඇසුණ නමුත් ඒ කවුදැයි තමන් සොයා නොබැලූ බවත් නිවසෙන් වෙනත් කිසිම ශබ්දයක් නොඇසුණ බවත් එක් බෝඩිංකරුවකු සාක්ෂි දෙමින් පවසා ඇත. එසේම අනෙක් බෝඩිමේ සිටි තරුණයා සිදුවීම වූ දිනයේ රාත‍්‍රී වන තෙක් එහි සිටියද පසුදින අලුයම සිට අතුරුදන්ව ඇති බවද දැනගන්නට ලැබිණ. ඒ අනුව සැකය ඔහු වෙත එල්ල විය. 


 බෝඩිංකරු සොයා පොලිසිය පරීක්ෂණ ඇරඹීය. මේ අතර බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ මහතා මේ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන ලෙස මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයටද බාරදුන්නේය. 


 සිදුවීමෙන් දින දහයකට පමණ පසුව එනම් පසුගිය මාර්තු 14 වැනිදා සැකකාර බෝඩිංකරු උඩහමුල්ල ප‍්‍රදේශයේ බස් නැවතුමක් ආසන්නයේ සිටින බවට පොලිස් කොස්තාපල් (84762) කුමාර මහතාට තොරතුරක් ලැබිණ. ඒ අනුව වහාම මිරිහාන පොලිස් කණ්ඩායමක් එහි පිටත් කර හැරීමෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය. මරණයේ ඇත්ත කතාව එළියට එන්නේ ඉන්පසුවය. සැකකරු තොරතුරු තාක්ෂණ නිලධාරියකු ලෙස පුද්ගලික ආයතනයක සේවය කළ අයෙකි. තදින්ම හෙරොයින්වලට ඇබ්බැහි ව සිටි හෙතෙම මාදිවෙල ඔබවත්ත ප‍්‍රදේශයේ මිතුරෙකුද සමග එක්ව මෙම බෝඩිං කාමරයේදීද හෙරොයින් භාවිත කර ඇත. ඉසුරු හෙවත් ඉස්සා නමින් බජාර් එකේ නම ගිය ඔහු යම් යම් කොල්ලකෑම්වලට සම්බන්ධ අයකු බවද පැවසේ. හෙරොයින් සඳහා මුදල් සෙවීමට එවැනි දේවල් ඔහු සිදුකර ඇති බව පොලිසිිය සැක පළ කරයි. ඔහුගේ මිතුරා ලක්ෂිත ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ ගොන් ඔළුවා නමිනි. මේ මිතුරාගේ නිවසේ ජෝර්දාන් ජාතික තරුණයෙක්ද ජීවත් වේ. ඔහුගේ දෙමාපියන් නැති නිසා ගොන් ඔළුවා සමග එම නිවසේ පදිංචිව සිටී. 
 හෙරොයින් සඳහා දිනකට රුපියල් හාරදහසක් පමණ වැය කරන මොවුන්ට විශාල මුදලක අවශ්‍යතාවක් තිබිණ. දිනක් ඉස්සා ගොන් ඔළුවාට හොඳ යෝජනාවක් කළේය. 


 මම ඉන්න බෝඩිමේ ගෑනි ගොඩක් වයසයි. පැන්ෂන් ගිය ප‍්‍රින්සිපල් කෙනෙක්. ගෙදර හොඳට රත්තරන් බඩු ඇති. අපි ඒවා හොරකම් කරමු. ගොන් ඔළුවා යෝජනාව පිළිගත්තේය. ඒ අනුව මාර්තු 01 වැනිදා හොරකම කරන්නට සැලසුම් කළහ. එයට ජෝර්දාන් ජාතික සලීම්ද සම්බන්ධ කරගැනීමට තිරණය විය. එහෙත් පළමු වැනි දා පෝය දිනය නිසා පව් සිදුවන බවට ආ අදහසක් අනුව එය තුන් වැනිදා දක්වා කල් දැමූහ. 


 දෙවැනිදා උදේ සිට මිතුරන් තිදෙනා ඉස්සාගේ බෝඩිමේ සිට තමන්ගේ කටයුත්ත සැලසුම් කළහ. ඔවුහු හොරොයින් භාවිත කරමින් එදින දවස විනෝදයෙන් ගත කළහ. තම සැලසුම අනුව ගෙහිමි කතට අඳුනාගත නොහැකි වන පරිදි සීතලට භාවිත කරන ආකාරයේ හිස්වැසුම් තුනක් මිලදී ගත් ඔවුන් ඒවා දෑස් පමණක් පෙනෙන පරිදි ඇඳගෙන සොරකමට සූදානම් විය. අත්වැසුම්ද භාවිත කරන්නේ නම් තවත් හොඳ බවට ආ අදහසක් අනුව දෙවැනි දා දවල් ඇඹුල්දෙණිය ප‍්‍රදේශයේ ඖෂධ හලකින් අත්වැසුම් ජෝඩු තුනක්ද මිල දී ගත්හ. 


 සවස් වන විට ඔවුන්ගේ අදහස වෙනස් විය. ගෙහිමි කතට කරදරයක් නොකර සොරකම් කරගෙන එන්නට සිතුවද ඇය තමන් අඳුනාගත්තොත් යන බියක් ඉස්සාට ඇති විය. 


 ‘‘මචං මේ ගෑනි මාව අඳුනගනියිද දන්නේ නැහැ. එහෙම වුණොත් මළ කෙළියක් තමයි වෙන්නේ.’’ 


 ‘‘අපි මේ විදිහට ඇඳලා ගියාම අඳුනගන්න බෑ බං’. 


 ඒ වුණාට දැන් මාව දැකලා පුරුදුයිනේ. ඒ නිසා ඇස් දෙකෙන් වුණත් අඳුනගන්න බැරි කමක් නැහැ. අපි ගෑනිව මරලාම ගේම ඉවර කරමු. 


ඉස්සා කළ යෝජනාවට සෙස්සෝද අකැමැත්තෙන් වුවත් එකඟ වූහ. 


 දෙවැනි දා රාත‍්‍රී දොළහ පමණ වන තුරු බෝඩිමේ රැඳීසිටි තිදෙනා පසුව සූදානම් කරගත් පරිදි වෙස් වළාගෙන පැමිණ නිවසේ ඉදිරිපස දොරට තට්ටු කළහ. එහෙත් ගෙහිමි කත දොර ඇරියේ නැත. පසුව ඉස්සා තම ජංගම දුරකථනයෙන් ගෙහිමි කතට ඇමතුමක් ලබාගත්තේය. 


 ඇන්ටි මම ඉසුරු කතා කරන්නේ. මම යාළුවෝ කට්ටියක් එක්ක සිරිපාදේ යනවා. දැන් මම යන්න ඕන. මම බෝඩිං සල්ලි වගයක් දෙන්න තියෙනවානේ. පොඩ්ඩක් දොර අරිනවාද ඒක දීලා යන්න? ඉසුරු ගෙහිමි කත දොර අරින තැනට කටයුතු සලස්වා ගත්තේ එලෙසිනි. 


 ඇය දොර ඇරියාය. වහාම ක‍්‍රියාත්මක වූ සලීම් කාන්තාවගේ කට වසාගෙන ඇයව ඇතුළට ගෙන ගියේය. ගෙට ගිය ඉස්සා කොට්ටයක් රැගෙන විත් ඇගේ මුහුණට තබා තදකළේය. ගොන් ඔළුවා ගෙල තදකළේය. තරමක් දැඟලුවද තරුණයන් තිදෙනෙකුගේ ග‍්‍රහණයෙන් අසූ වියැති කතක් කෙසේ නම් ගැලවෙන්නද? ඇයට මරු වැළඳ ගන්නට සිදුවිය. 


 ඇය එම ස්ථානයේම තැබූ කොල්ල කල්ලිය ගෙට රිංගා අල්මාරි සියල්ල ඇද මුදල් හා රන්බඩු සෙවුවද ඔවුන්ට ඒ කිසිවක් ලැබුණේ නැත. අවසානයේ ඇගේ අත්බෑගයේ වූ පසුම්බියේ තිබී රුපියල් තුන්දාහසක් පමණක් හමුවිය. ඒ මුදල මදි නිසා ඔවුහු ඇගේ ජංගම දුරකථනයද ඇය පැලඳ සිටි කරාබු ජෝඩුවද සොරාගත්හ. 


 සොරාගත් මුදලද රැගෙන තලපත්පිටිය ප‍්‍රදේශයේ මළගෙදරක පවත්වාගෙන ගිය බූරු පිටියකට ගිය තිදෙනා එය ගුණ කර ගැනීමට උත්සාහ කළත් අවසානයේ රුපියල් තුන්දහසම පරාජයට පත්වීමට ඔවුන්ට සිදුවිය. අන්තිමේදී ඔවුන් අලුත් තීරණයකට එළඹුණහ. ඒ යෝජනාවද පැමිණියේ ඉස්සා ගෙනි. ගෙහිමි කතගේ පුතාට අයත් ජීප් රථයක් ගෙදර තිබෙන බැවින් එය සොරාගෙන විත් විකුණමු යැයි ඔහු යෝජනා කළේය. එහෙත් ඒක ලේසි වැඩක් නෙවෙයි. ත‍්‍රීවීල් එකක්, බයික් එකක් වගේ මේවා විකුණන එක ලේසි නැහැ.” ගොන් ඔළුවා පැවසීය. 


 ‘‘අපි කෑලිවලට විකුණමු. ඉස්සා බලකළේය. 


අවසානයේ තිදෙනාම ඒ අදහසට එකඟ වූහ. කාන්තාවක ඝාතනය කර කිසිම මුදලක් සොයා නොගෙන ගේම අවසන් කිරීමට තිදෙනා තුළම තිබූ අකැමැත්ත නිසා ඒ අදහසට සියලු දෙනා එකඟ විය. 


 ඔවුහු නැවත බෝඩිමට ගොස් නිවසේ ඉදිරිපස නවතා තිබූ වාහනය ගෙන ආහ. එය රැගෙන යද්දී උඩහමුුල්ල ප‍්‍රදේශයේදී සිතේ කලබලය නිසාත් අධික වේගය නිසාත් වාහනය විදුලි කණුවකද ගැටිණ. එහෙත් බරපතළ හානියක් නොවූවෙන් වාහනය එතැනින් ඉවත් කරගෙන ඔවුහු යළි පළාගියහ. 


 මාදිවෙලට පැමිණි ඔවුන් මිතුරකුට කතා කර කෑලිවලට වාහනය විකිණීමට පිළිවෙළක් හදාදෙන්නැයි ඉල්ලා සිටියහ. එහෙත් අලුයම වනතුරුත් එයට පිළියමක් යෙදුණේ නැත. තවදුරටත් වාහනය තමන් සතුව තබාගැනීමෙන් සියල්ල හෙළි වනු ඇතැයි සිතූ ඔවුහු තලපත්පිටිය කනත්ත ආසන්නයේ වාහනය දමා පළාගියහ. අන්තිමට ඔවුන් අත ඉතිරි වූයේ ජංගම දුරකථනයත් මරණකාරියගේ කරාබු ජෝඩුවත් පමණි. ඉස්සා ජංගම දුරකථනය උඩහමුල්ල රේල් පාර ආසන්නයේ පුද්ගලයෙකුට රුපියල් දාහකට විකුණුවේය. ගොන් ඔළුවා කරාඹු ජෝඩුව තලවතුගොඩ ප‍්‍රදේශයේ කාන්තාවකට රුපියල් තුන්දහස් පන්සීයකට වික්කේය. 


 කාන්තාවගේ මරණයෙන් දින දෙකකට පසු වාහනය සොයා ගැනීමට පොලිසියට හැකි විය. එහෙත් එය එම ස්ථානයට ගෙන ආ අය ගැන කිසිවෙක් දැක තිබුණේ නැත. ඒ නිසා වාහනය සොයාගත්තද සැකකරුවන් ගැන හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. 

 

 

 

 

මුදිතා දයානන්ද සහ
බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

පෝය දා රන් බඩු කොල්ලය පව් සිදුවන නිසා නැවැත් වූ කොල්ලකල්ලිය

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 77 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 39 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 126 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 143 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 113 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 68 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 429 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 979 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 340 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site