IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


පමා නොවී වැහැපන් වැහි වලාවේ

පිල මත පැදුර එළා ගත් කළුබණ්ඩා එහි හාන්සි විය. මාස ගණනක් තිස්සේ ගිනි අව්ව නොතකා හේන කෙටීමෙන් ඔහුගේ ගත දැඩි ලෙස විඩාවට පත් වී ඇත. සිරුර පුරා විහි දී ඇති නහර වැල් තුළින් ලෙයට අමතරව තද බල වේදනාවක් ද ගමන් ගන්නා බවක් ඔහුට දැනුණි. ඈත අහසේ සුදු පාට වලාකුළු එකින් එක පා වී යන්නට වූයේ ඔහුගේ සිත තුළ සොම්නස් සහගත සිතිවිලි ඇති කරවමිනි. 

 
පසු ගිය අවුරුද්දේ හේන් කොටන කාලයේ ද අහසේ මෙවැනිම වලාකුළු පාවී ගිය සැටි ඔහුට මතකය. ගොවියෝ හේන් වපුරා වැසි වසින තුරු බලා සිටියහ. දින දෙක තුනක් පමණ කාලයක් පැවති පොද වැස්සට ධාන්‍ය බීජ මෝරා පැළ මතු වී ගෙන ආවත් වැස්ස පැවතුණේ සතියක් පමණි. එතැන් සිට හට ගත් දරුණු නියඟය නිසා යන්තම් මෝදු වේගන ආ පැළ සියල්ල ගින්නේ ලූ කලක මෙන් කර වී ගියේය. ඇළ දොළ ගංගා සිදී ගියේ දිය පොදක් වත් ඉතිරි නො කරමිනි. සිහිල් ජලයෙන් පිරී තිබුණු වැව් සියල්ල වියළී ගොස් පාළු පිට්ටනි බවට පත් විය. බීමට පැන් පොදක් නැතිව වන සත්තු තැනින් තැන මැරී කුණු වී ගියහ. මුළු වනය සිසාරා පිළිකුල් සහගත දුර්ගන්ධයක් පැතිරී ගියේය. 

 
ඒ අවුරුද්දේ මිනිසුන්ට විශාල දුර්භික්ෂයට මුහුණ දෙන්න සිදු විය. බඩසයින් පෙළුණ කුඩා දරුවෝ පාවෙන ඇටසැකිලි බවට පත් වූහ. නියඟයටත් වඩා බලවත් සතුරා වූයේ ශීඝ්‍රයෙන් පැතිරී ගිය දරුණු වසංගතයයි. සෑම නිවසකින් ම එක්කෙනෙක් දෙන්නෙක් වසංගත රකුසා විසින් බිලි ගන්නා ලදහ.  


කළුබණ්ඩා හා රන්මලී මෙන්ම ඔවුන්ගේ එකම දරුවාට ද වසංගත යක්ෂයා ආරූඪ විය. රන්මලීගේ පියයුරු කිරෙන් සිඳී ගියේය. වැහැරී ගිය දරුවාට අන්තිමට ඉතිරි වූයේ හුස්ම ටික පමණි. එක් මැදියම් රැයක ඔහුගේ ඉතිරිව තිබූ අවසන් හුස්ම පොදත් වා තලයට මුසු විය.  


මෙම සිදුවීම් සියල්ල සිතුවම් පටයකින් මෙන් කළුබණ්ඩාගේ මනස ඉදිරියේ මැවී පෙනෙන්නට විය. මෙවරත් එසේ ම වේද? ඔහුට බලවත් සංකාවක් ඇති විය.  
‘අහුණ ද? මෙයා කෑම ලෑස්තියි’  


කළුබණ්ඩා යළිත් පියවි ලෝකයට ආවේ රන්මලීගේ කටහඬ ඇසීමෙනි. ඔහු ගෙපැල ඇතුළට ගොස් වංගෙඩි කොටසේ වාඩි වූ පසු අඩි වළඳකට බෙදන ලද කුරක්කන් රොටියක් හා තිබ්බොටු මැල්ලුමක් රන්මලී අත තැබුවාය.  


‘කෝ මලීට රොටී තියෙනවද?’’  
‘ඔව්’  
‘ආ තව මේකෙන් ටිකක් ගන්න’  
‘නෑ මට මේ ඇති’  


ඇයට සිය කෑම පත ඉවතට ගත්තා ය. කළුබණ්ඩා රොටී කැබැල්ල ටිකින් ටික කන්න පටන් ගත් විට රන්මලී ද ඒ අසල වූ කොලොම්බු කොටයෙහි වාඩි වී සිය සැමියා දෙස නෙත් හෙළුවාය.  


‘මෙදා පාර වත් හරිහමන් වැහි ඇල්ලක් නාවොත් බඩ ගින්නේ මැරෙන්න තමා වෙන්නේ’ කළුබණ්ඩාගේ ස්වරයෙහි ඇත්තේ වේදනාකාරී ස්වරයකි.  


‘මන් හිතන්නේ අද හෙට ම වහී’  
‘මගෙත් හිතේ වහියි කියලා තමා’  
‘ඊයෙ හැන්දෑවෙත් අහස ගොරවනවා වාගේ සද්දයක් ආවා’  


​‘කෝකටත් හෙට උදේම අර බිත්තරට කියලා තියාපු වී කුරහං ටික සුද්ද කරලා තියන්න’  


පසුදා උදෑසන කළුබණ්ඩා උදැල්ල ද රැගෙන හේනට ගිය අතර රන්මලී වැපිරීමට අවශ්‍ය බෝ වර්ග සුදානම් කළාය. සවස් වරුවේ දෙදෙනාම එක් වී එම බෝග හේනේ නිසි පරිදි වැපුරූහ.  


එදින හිරු අවරට ගිය මොහොතේ පටන් අහසේ කළු වලාකුළු එකින් එක පා වී යන්නට විය. ඇඳිරි වැටෙන්නට ළං වන විට මුළු අහස් තලය ම ඉදුණු දං ගෙඩියක පැහැය ගත්තේය. කෙකර ගාන කිකිළියක මෙන් වරින් වර අහස ගොරවන්නටත් විදුලි කොටන්නටත් විය. රාත්‍රිය එළඹෙන විට ගැබ්බර වූ වලාවෝ දරු ප්‍රසූතියට සූදානම් වූහ.  


එකින් එක වැටෙන්නට පටන් ගත් වැහි බිදු ක්‍රමයෙන් මොර ගෙඩි තරමට විශාල වී මහා ධාරාණිපාතයක් ඇද හැලෙන්නට විය. විදුලි කෙටීම හා චණ්ඩ සුළඟ එන්න එන්න වැඩි විය.  
‘දෙයියන්නේ පිහිටයි. මෙදා පාර බය වෙන්න දෙයක් නෑ’ කළු බණ්ඩා සොම්නසින් දෙඩී ය.  


කාලයක් පැවැති නියඟය එක දිනකින් ම පලවා හරින්නට මෙන් එදින එළි වන තුරුම මහ වැසි වැස්සේ ය. වනය පුරා විසිරී තිබුණ කුණු රොඩු හා සතුන්ගේ මළ සිරුරු සේදී ගොස් වනය පිරිසිදු වී ගියේය. ගංගා ඇළ දොළ පාරවල් සක්‍රීය වී බොර දිය ගලා යන්නට විය. මෙතෙක් කල් සැඟව සිටි මැඩියෝ එළියට අවුත් තම සුපුරුදු ගීතය ගයන්නට පටන් ගත්හ.  
කළුබණ්ඩා උදේම අවදි වූයේ මිදුල දෙසින් ඇසුණ ‘ටිං ටිං’ ශබ්දයක් සමගය. ඒ කුමක්දැයි දැන ගන්නට ඔහු ගෙපැලෙහි දොර හැර එළියට ආවේය. බොහෝ කාලයක් පැවති නියඟය නිසා වල් වැදී සිිටි ඔවුන්ගේ එළදෙන යළිත් ආපසු පැමිණ උගේ මඩුව අසල සිට ගෙන ඉන්නා අයුරු කළුබණ්ඩාට දැක්කේ ය. ‘ටිං ටිං’ හඬ ආවේ උගේ බෙල්ලේ බැඳ තිබූ මිණි ගෙඩියෙනි.  


ඔහු හිසේ තුවායක් ඔතාගෙන මිදුලට බැස්සේ අප්‍රමාණ සතුටකින්ය. බොහෝ කලක් දූවිල්ලෙන් පිරී තිබුණ මිදුල ජලය උරා ගැනීම නිසා එක ම මඩ ගොහොරුවක් බවට පත් වී තිබුණි. එම මඩ ඔහුගේ පයැගිලි අතරින් ‘චිරිස්’ ගා උඩට මතු වූයේ සිතට අමුතුම සොම්නසක් ද ඇති කරමිනි. ලේනකු දැඟලීම නිසා මිදුලේ සියඹලා ගසේ අතු පතර රැඳී තිබුණ සීතල වැසි බිඳු කළු බණ්ඩාගේ නිරුවත් උඩුකයට වැටුණ විට ඔහුගේ ඇගේ හිරිගඩු නැගුණි. 

 
ඒ වන විට තරමක් වැස්ස පායා තිබුණි. කළු බණ්ඩා එළදෙන ළඟට ගොස් උගේ හිස අත ගෑවේ ය. ඌ සුරතල් දරුවෙකු මෙන් ඔහු දෙස බලා හිස සැලීය.  
උඹටත් තදින්ම ඉඩෝරෙ දැනිලා තියෙනවා වගේ. පසුගිය කාලේ උඹේ ගෙයත් දිරලා ගියා. හිටපන්කො මං උඹට අලුත් ගෙයක් හදලා දෙන්න’  
කලින්දා වැස්සෙන් හෙම්බත් වී සිටි අසරණ සතා සිය ස්වාමියා දෙස බැලුවේ ඔහු කියූ දෙය වටහා ගත්තාක් මෙනි. ඌ ගැබ්ගෙන සිටියාය.  


එදින දවස පුරාම කළු බණ්ඩා රන්මලීගේ ද සහාය ඇතිව එළදෙන බඳින මඩුව පිළිසකර කළේය. සවස් වන විට දෙදෙනාම වැවේ පිරී තිබුණ බොර දියෙන් ඇඟපත සෝදාගෙන ආවෝය. රන්මලී විසින් මිදුලේ පහන් පැල දල්වන ලදී. දෑත් එක්කොට එදෙස බලා සිටි කළුබණ්ඩා සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටෙන් කලට වැසි ඇති වී අස්වනු සරු වී වසංගත හා දුර්භික්ෂ දුරු වී යන ලෙසට ප්‍රාර්ථනාවක් කළේය. එම ප්‍රාර්ථනය දෙවියන්ට ඇසුණාක් මෙන් එදින රෑ යළිත් වැසි වසින්නට පටන් ගත්තේය. දෙමාල්ලෝ වේලාසනින් කා නින්දට වන්හ.  


කටු මැටි බිත්තියේ සිදුරු අතරින් ගෙතුළට වැදෙන සිරිකඩ හා සීතල සුළඟෙන් බේරෙන්නට කළුබණ්ඩා රන්මලීව තුරුලු කර ගත්තේය. ඇගේ සිරුරෙහි පෑදී තිබුණ ඇට කටු එවිට ඔහුගේ අතට අසුවීය.  


‘පසුගිය ටිකේ මලී හොඳටම කෙට්ටු වෙලා. රත්තිට පැටියා හම්බ උණාම කිරි ටිකක් හෙම බීලා ආයෙත් සනීප වෙන්න බැරියැ’  


සිය සැමියා බොහෝ කලකට පසුව සතුටින් සිටින බව රන්මලීට අවබෝධ විය. ඒ සතුට ගෙන ආ දූතයා අන් කවරෙකු හෝ නොව වැස්ස බව ඇය දනී. තම සැමියාගේ උදාරත්වය සුරු විරුකම මෙන්ම ආදරය කරුණාව දයාව ආදී සියලු ගති ගුණ ගැන මනා අවබෝධයක් ඇයට ඇත. එම සියලු ගුණයන් රැඳී ඇත්තේ ඔහුගේ හදවතෙහි බව දත් ඇය එහි පහස ලබන්නට මෙන් තව තවත් ඔහුගේ පුළුල් උර තලයට තුරුලු වූවාය.  


එවේලේ සිය මියගිය දරුවා සිහි වීමෙන් කළුබණ්ඩාගේ සිතෙහි බලවත් වේදනාවක් ඇති විය.  


‘ලබන අවුරුද්දෙ තවත් කොලු පැටියෙකුගේ මූණ බලන්න ඇත්නම්’ ඔහු ඇගේ කනට කර රහසින් කෙඳිරීය.  


අඳුර මැදින් නැගුණ ඇගේ සිනා හඬ ඒ අදහස අනුමත කරන්නාක් බදු විය. 

 

 

නන්දසේන හේරත්,  
හාරගම ගුරුදෙණිය.   



අදහස් (0)

පමා නොවී වැහැපන් වැහි වලාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 165 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 235 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site