ගෝල්ෆේස් එකට ගිය වෙලාවක මෙහෙම සිද්ධියක් වුණා. අපි වැරදි විදියට හිටියේ නෑ. අත් අල්ලන් හිටියා විතරයි. කොහේදෝ ඉඳන් ආපු පොලිස්කාරයෙක් කෑ ගහන්න ගත්තා. මේක ලව් කරන්න තියෙන තැනක් නෙමෙයි, මෙතන්ට පවුල් පිටින් එනවා. ඔහොම ඉන්ඩ ඕනෑ නම් රූම් එකක් අරන් යන්න.’ කියලා පොලිස්කාරයා කිව්වා. අපි වැරදි විදියට හැසිරුණෙත් නෑ.

ආදරයට කොහෙදෝ නැත්තේ බාධා? එය කියමනක්ම පමණක් නොවේ. ආදරවන්තයන්ට සමාජයේ විවිධ තරාතිරම් වලින් විවිධ අවස්ථාවලදී බාධා එමට පැමිණෙයි. පන්සලකට, පල්ලියකට පමණක් නොව උද්‍යානයකට, මුහුද වෙරළට ගිය අවස්ථාවලත් පෙම්වතුන්ට පැමිණෙන බාධක අපමණය. ඇත්තටම අපේ රටේ පෙම්වතුන්ටම කියා යා හැකි ස්ථානයක්වත් තිබෙනවාද යන්න ප‍්‍රශ්නයක්.  

 

කොළඹ කියන්නේ අගනගරයයි. හැම පැත්තකින්ම එන එය කොළඹට එනවා. ටියුෂන් යන, රැකියාවලට යන පෙම්වතුන් මෙන්ම විනෝද වෙන්න යන පෙම්වතුනුත් බොහෝ අවස්ථාවල කොළඹට එනවා. එහෙම කොළඹට එන පෙම්වතුන් බොහෝ අවස්ථාවල යන්නේ එක්කෝ ගාලූමුවදොර පිටියට. එහෙමත් නැත්නම් විහාරමහා දේවී උද්‍යානයට. තවත් සමහරු පාර්ලිමේන්තුව ආසන්නයේ දියත උයනටත් යනවා. මේවා සියල්ලක්ම පෙම්වතුන්ටම හදපුවා නෙමෙයි. ඕනෑම කෙනකුට යන්න එන්න පුළුවන් තැන්. පෙම්වතුන්ට ඇත්තටම නිදහසේ මේ ස්ථානවල ඉන්න පුළුවන්ද යන්න අපි හොයා බැලූවා.  


‘‘ගෝල්ෆේස් එකට ගිය වෙලාවක මෙහෙම සිද්ධියක් වුණා. අපි වැරදි විදියට හිටියේ නෑ. අත් අල්ලන් හිටියා විතරයි. කොහේදෝ ඉඳන් ආපු පොලිස්කාරයෙක් කෑ ගහන්න ගත්තා. මේක ලව් කරන්න තියෙන තැනක් නෙමෙයි, මෙතන්ට පවුල් පිටින් එනවා. ඔහොම ඉන්ඩ ඕනෑ නම් රූම් එකක් අරන් යන්න.’ කියලා පොලිස්කාරයා කිව්වා. අපි වැරදි විදියට හැසිරුණෙත් නෑ.’’ එහෙම කිව්වේ තරුණයෙක්. මේ තරුණයා ගාලූ මුවදොර පිටියට ගිහින් තිබුණේ හැන්දෑවක.   


‘‘අපි දෙන්නාගෙම වැඩ ඇරිලා හවස 6ට විතර තමයි ගෝල්ෆේස් එකට ගියේ. හැමදාම ගෝල්ෆේස් යන්නේ නෑ. මෙයාගේ උපන් දිනේ නිසයි ගියේ. කෙල්ලෙක් කොල්ලෙක් කතා කර කර ඉන්නවා දැක්කම සමහර පොලිස්කාරයන්ට පේන්න බෑ. හැමතැනම ඔහොම තමයි.’’ තරුණයා කිව්වා.   


ඇත්තටම පෙම්වතුන් දැක්කම වැඩක් දෙන්නම හදන පොලිස් කොස්තාපල්ලා, සැරයන්ලා ඉන්නවා. හැබැයි ඒ අතළොස්සක් පමණයි. බොහෝ දෙනෙක් එහෙම නොවෙයි.  


ගාලූමුවදොර පෙම්වතුන්ට බාධා එන්නේ පොලිසියෙන් විතරක්ම නොවෙයි. මේ තවත් තරුණයෙක් ඒ ගැන කියන කතාවක්.  
‘‘කපල් එකක් දැක්ක ගමන් සාත්තර කියන ගෑනු එනවා. එක්කෙනෙක් යද්දි තව එක්කෙනෙක්. අපිට කතා කරන්න ඉඩ දෙන්නෙම නෑ. ළඟට ඇවිත් සාත්තර කියන්න හදනවා. බලෙන්ම සාත්තර කියනවා. කෙල්ල ඉන්න තැන කොල්ලාගේ අඩුපාඩුවක් කියනවා අපි සාත්තර අහන්න ලෑස්ති නැත්නම්. එහෙම නැත්නම් කෙල්ලගේ අඩුපාඩුවක් කියනවා. සමහර වෙලාවට පුදුම කරදරයක්.’’  
තමන්ටත් අවස්ථා ගණනාවකදි මේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා කියලා මේ පෙම්වතා කිව්වා.

 
‘‘එක දවසක් අපි දෙන්නා කතා කර කර ඉන්නකොට සාත්තර කියන ගෑනු කෙනෙක් ආවා. මම නම් ඔව්ව විශ්වාස කරන්නෙත් නෑ. මේ ගෑනු කෙනා බලහත්කාරයෙන් සාත්තර කියන්න හදනවා. මෙයාගේ කරදරේ වැඩි නිසා ගෑනු ළමයා රුපියල් 150ක් අතට ගත්තා සාත්තරය අහන්න. මම ඒක ඇදලා අරගෙන සාත්තර කියන ගෑණු කෙනාට කිව්වා වධ නොදී යන්න කියලා. මේ ගෑනි කිව්වා මම සාත්තර අහන්න බය මට කෙල්ලො දෙන්නෙක් ඉන්න නිසයිලූ. මගේ ගෑනු ළමයා දිහා බලලා කිව්වා ඔය නෝන මෙයා රවට්ටනවා, කවදා හරි බඳින්නේ අනිත් කෙනාවයි කිව්වා. ලව් කරන්න ආව එක එතනින්ම ඉවර වුණා. ගෑනු ළමයා නැගිටලා යන්න ගියා. දවස් ගණනක් තරහා වෙලා හිටියා අර සාත්තර ගෑනි කිව්ව දේවල් අහලා. අන්තිමට එයාගේ යාළුවෙක් ලව්වා ඔය ගෑණු ගැන කියා දීලා තමයි ආයෙත් ෂේප් කර ගත්තේ.’’ තරුණයා කීවේය.  


ඇයි ඔයා ඔය සාත්තර කියන ගෑනු විශ්වාස කරන්නේ.? එයාලා කරන්නෙම බොරුනේ... ඒ තරුණයාගේ පෙම්වතියගෙන් ඇහුවාම ඇය මෙහෙම කිව්වා.  


‘‘සාත්තර ගෑනුකෙනාගෙන් කරදරේ නිසයි සල්ලි දීලා සාත්තරයක් අහලා එයාව යවා ගන්න බැලූවේ. මෙයා සැරෙන් සැරේ සාත්තර ගෑනු කෙනාට බැන්නානේ. මම සාත්තර අහන්න හදද්දි දුන්නෙත් නෑ. ඉතින් ඇත්තටම අර ගෑනු කෙනා එහෙම කිව්වාම මෙයා මෙච්චර සාත්තර අහන්න දෙන්නේ නැත්තේ ඒක නිසා කියලා මං හිතුවේ. කොහොම හරි ඒ සිද්ධියෙන් පස්සේ අපි ගෝල්ෆේස් ගියේ නෑ. දැන් ඉඳලා හිටලා මෙතනට (විහාරමහා දේවී උද්‍යානයට) තමයි එන්නේ.’’ ඇය කීවාය. 

 
එතකොට විහාරමහා දේවී උද්‍යානයයේ එහෙම ප‍්‍රශ්න නැද්ද?   


ප්‍රේමවන්තයන්ට විහාරමහා දේවි උද්‍යානයේ ඇති ප‍්‍රශ්න ගැන තවත් පෙම්වතුන් යුවළක් මෙසේ කීවෝය.  


‘‘මෙතන සමහර වෙලාවට අතින් අල්ලන් හිටියත් ඇවිත් විසිල් එකක් ගහනවා. නැත්නම් කෑ ගහනවා. මෙතන ඉන්න සමහර ආරක්ෂකයන්ට කප්ල්ස් පේන්න බෑ. එක දවසක් අපි දෙන්නා පොකුණට උඩින් තියෙන පාලම උඩ ඉඳන් පහළ බලාගෙන කතා කර කර හිටියා. එකපාරට සිවිල් ආරක්ෂකයෙක් ඇවිත් බණින්න ගත්තා මෙතනට පොඩි ළමයින් එනවා. මේක තියෙන්නේ ලව් කරන්න නෙමයි කියලා. අපි අතින්වත් අල්ලාගෙන හිටියේ නෑ. වටේ පිටේ මිනිස්සුත් ඉන්න නිසා අපි ශබ්ද නැතිව බැහැලා ආවා.’’ ඔවුහු කීහ.  
එක් අවස්ථාවක නිදහස් චතුරස‍්‍රයේදී සිදුවූ සිදුවීමක් ද ඔවුහු සිහිපත් කළහ.  


‘එක දවසක් අපි නිදහස් චතුරස‍්‍රයට ගියා. අපි ගියේ හතට විතර. ගිහින් පොකුණ ගාව උඩ වාඩි වෙලා ඉන්දි සිකියුරිටි කෙනෙක් ඇවිත් අපිව එළෙව්වා. මිනිස්සු එක්සර්සයිස් කරන්න එන වෙලාවට මෙතන ජෝඩු දාන්න එන්න එපා කියලයි එලෙව්වේ. උදේ ගියොත් තවත් මොකක් හරි කියයි. දවල්ට ගියොත් කියයි ළමයි එනවා මෙතන ඉන්න එපා කියලා. හවස ගියාම තවත් එකක් කියනවා. අපට බයක් සැකක් නැතිව යන්න තැනක් නෑ.’’ පෙම්වතා කිව්වා.

 
නිරෝගී සමාජයකට ප්‍රේමයක් අවශ්‍යයි.

 
කොළඹට එන ආදරවන්තයන්ට මේවගේ අත්දැකීම් ඕනෑ තරම් ඇති. ආදරවන්තයන්ව මෙහෙම එළවන්න පුළුවන්ද කියලා අපි නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතාගෙන් විමසීමක් කළා. නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා කිව්වේ මෙහෙම කතාවක්.  


‘‘උද්‍යාන සහ වෙරළ තීරයන් වැනි ප‍්‍රසිද්ධ ස්ථානවල ප්‍රේමවත්නයන් ප්‍රේමවන්තියන් දක්නට ලැබීම දුර්ලබ දර්ශනයක් නොවෙයි. නමුත් අදාළ ස්ථානවල ආරක්ෂක නිලධාරීන් හෝ පොලිස් නිලධාරීන් වෙතින් පෙම්වතුන්ට එල්ල​ෙවන බාධාවන් සම්බන්ධ සිදුවීම් නිතර අසන්නට ලැබෙනවා. දෙදෙනෙක් පෙම්වතුන් බවට පත්වීම කිසිසේත්ම අවිනීත හෝ අශෝභන කරුණක් නොවෙයි. එලෙස පෙම්වතුන් බවට පත්වූ අයට ප්‍රේමය විඳින්නට ද නිදහසක් පැවතීම අවශ්‍යයි. එය නීරෝගි සමාජ පැවැත්මට හේතුවන කරුණක්. උද්‍යාන සහ වෙරළ තීරයන්ට ඇතුළු වීම, අත්වැල් පටලා සිටීම, වැනි හැසිරීම් අවිනීත හැසිරීම් ලෙස අර්තකථනය කිරීම පුද්ගල නිදහස සම්බන්ධයෙන් එල්ල​ෙවන බරපතළ සීමාවක්. ප‍්‍රසිද්ධ ස්ථානවල අශෝභන ලෙස හැසිරීම මෙරට නීතිය වරදක් ලෙස දක්වා තිබෙනවා. 1941 අංක 4 දරණ අයාලේ යාම ආඥාපනතේ 7 (ආ) වගන්තිය මගින් දක්වා ඇත්තේ යම් පුද්ගලයෙක් ප‍්‍රසිද්ධ ස්ථානයක් තුළ හෝ අවට අවිනීත ක‍්‍රියාවක් සිදු කිරීම හෝ අවිනීත ලෙස හැසිරීම වරදක් වන බවයි. නමුත් මෙම පනත මගින් අවීනීතභාවය යන්න නිර්වචනය කරලා නෑ. එම නිසා මෙම වගන්තිය ඉතාම තාක්ෂණික ලෙස යොදාගනිමින් පෙම්වතුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම උචිත නෑ. මෙය එක් අතෙකින් පුද්ගල නිදහස සහ සදාචාරය සම්බන්ධ කරුණක් වන බැවින් බරපතළ නීතිමය සීමාවන්ට යටත් නොවිය යුතුයි.’’  

 
සටහන තරිඳු ජයවර්ධන
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි