IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පෙම්වතා සමග දියේ ගිලී මියගිය බව හෙළිකළ දැරියක්

පෙර භවයේ ප්‍රබල සාක්කි   

 

 

හලාවත මහ රෝහලේදී සීසේරියන් සැත්කමකින් උපත ලැබූ සුභාෂිණි දැරිය පවුලේ වැඩිමහල් දියණිය වූවාය. ඉතා කුඩා වයසේ සිට ඇය තුළින් දක්නට ලැබුණු විශේෂත්වයක් වූයේ ස්නානය කිරීමේදී අධික ලෙස හැඬීමය. ඇය අසලට ජලය බේසමක් ගෙනෙන විටදී ඇය අතිශය බියට පත්ව මහ හඬින් හැඬීම සිරිත වී තිබිණි.   


ස්නානය කිරීමේදී ඇතැම් දරුවන් හැඬීම ලෙසම තම දියණියද හඬන්නේ යැයි සිතූ දෙමාපියෝ ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළහ. දැරියට වයස අවුරුදු එකහමාරක් පමණ වයසේදී දිනක් ඥාතීන් පිරිසක් සමඟ පවුලේ අය වන්දනා ගමනකට එක්වූහ. ඒ යන අතර ඔවුහු වැවකින් ස්නානය කිරීමට කීප දෙනෙක් වැවට බසිනු දුටු දැරිය මහ හඬින් හඬන්නටත් කෑගසන්නටත් විය. ඇගේ නැන්දා කෙනෙකු වැවට බැස ස්නානය කරන විටදී,   


‘‘ඔයා ගිලිල මැරෙයි, මැරෙයි.’’ යනුවෙන් සිඟිති දැරිය හඬනගා කියමින් හඬන්නට වූවාය. දියණිගේ මෙම හැසිරීම් රටාව ඥාති පිරිසට මෙන්ම දෙමාපියන්ටද මහත් ගැටලුවක් වී තිබිණි. එදින නිවසට පැමිණ දැරිය මව ඇමතුවාය. 

 
එදා සිරිනාථයි මමයි වැවට බැහැල මල් කැඩුවා. ඉතින් අපිව ගිලුණා, යැයි ප්‍රකාශ කළාය. දියණියගේ මෙම ප්‍රකාශය මගින් ඇය කිසියම් පෙර භවයක් හෙළි කරන්නේදැයි මවට සිතුණි.   


කොහොමද ගිලුණේ? යැයි මව පුංචි දියණියගෙන් විමසීමක් කළාය.   


එදා අපි දෙන්න වැව් ඉවුරෙ ඇවිදගෙන ගියා. ඒ වැවේ හරියට නෙළුම් මල් පිපිලා තිබුණා. අපි ඒ මල් කඩන්න වැවට බැහැල මල් කැඩුවා, එතකොට අපිව ගිලුණා.   


එසේ ඇය පෙරභව මතක සටහන් අනාවරණය කළාය. ඇය පැවසූ පරිදි පෙර භවයේදී පෙම්වතා සමග මරණයට පත් වූ බව ඇගේ මතකයේ තිබිණි.   


එහේදී අපේ ගේ ලොකුයි. මිදුලෙ හැමතැනම කොකෝවා ගස් තිබුණා. ලොකු ජම්බු ගහකුත් තිබුණා. අපේ තාත්තට රතුපාට කාර් එකක් තිබුණා. අපේ ගෙදර වත්තෙ වැඩකළේ පිරිමි ළමයෙක්. ගෙදර වැඩට දෙමළ ගෑනු ළමයෙක් හිටියා. එයාගේ නම තංගම්මා. ගෙදරට යන පාරේ වංගුවක් තියෙනවා. එතන කළු ගලක සුදු පාටගාල තියෙනවා. යනුවෙන් ඇය වරින් වර පෙර භව තොරතුරු හෙළි කරන්නට වූවාය.   


නිවසේ අල්මාරියක මුදල් තබා ඇති බවත් එම මුදල් අවශ්‍ය විටදී ගන්නා ලෙස පියා විසින් ඇයට පැවසූ බවත් ඇය හෙළි කළාය.   


අපි එහෙදී දළද‌ා පෙරහර බලන්න යනවා. අපි යන්නෙ රෑට බත් කාලා. හුඟක් රෑවෙන තුරු අපි පෙරහර බලනවා.’’   


‘‘මට අයිය කෙනෙක් හිටියා. එයාට කියන්නෙ සුදු අයියා කියල. යනුවෙන්ද ඇය පෙර ජීවන තොරතුරු හෙළි කළාය.   


​මෙම දැරිය කුඩා කල සිට පියාට අප්පච්චි යනුවෙන් ප්‍රකාශ කිරීමද විශේෂත්වයක් වී ඇත.   


‘‘අපේ එහෙ තාත්තට අපි කිව්වෙ අප්පච්චි කියල යැයිද දැරිය ප්‍රකාශ කළාය.   


මේ අයුරින් පෙර භව තොරතුරු හෙළිකරන දැරිය උපත ලබා ඇත්තේ 1996 අගෝස්තු 31 වැනිද‌ාය. ඒ වන විට ඔවුන් පදිංචිව සිටියේ ආනමඩුව ප්‍රදේශයේය. දැන් ඇය තරුණ වියට පා තබා සිටියද පෙරභවයේ ඇතැම් සිදුවීම් තවමත් ඇගේ මතකයේ තිබේ.   


‘‘පෙර භවයේ ප්‍රබල සාක්කි’’ ලිපි​ පෙළ කියවීමෙන් පසු තම දියණිය ගේ පෙර භව තොරතුරු විමර්ශනය කිරීමට දෙමාපියෝ සහ ඇයද මහත් ආසාවෙන් සිටිති.   


‘‘දුව පුංචි කාලෙ කිව්ව තොරතුරු හොයන්න අපි උනන්දුවුනේ නැහැ. දුවට ප්‍රශ්නයක් වෙයි කියල හිතුවා. ඒත් දුව හෙළි කළ කී තොරතුරු සොයා බලන්න අපි දැන් කැමැතියි’’ යනුවෙන් ඇගේ මව අප සමඟ කීවාය.   
මෙම දැරියගේ පුනර්භව තොරතුරු විමර්ශනය කිරීමට පසුගිය දිනෙක අපිට අවස්ථාව ලැබිණි. එහිදී මව ඒ පිළිබඳව අනාවරණය කළේ මෙසේය.   


‘‘අපේ පවුලේ වැඩිමහල් දරුවා සුභාෂිණී. එයාට බාල තව පුතෙක් ඉන්නවා. දුව පුනර්භවයක් ගැන කියනවා යයි අපි මුලදී හිතුවෙ නැහැ. එයා මුල ඉඳලම වතුරට පුදුම බයක් තිබුණා. නෑදෑයො කීප දෙනෙක් එක්ක වන්දනා ගමනක් ගිය වෙලාවෙ ඒ අය වැවක බැහැල නානකොට දුව මහ හඬින් හඬන්න ගත්තා.   


‘‘ඇයි දුව අඬන්නෙ කියල ඇහුවා.   


‘‘එපා... එපා... ගිලිල මැරෙයි ගිලිල මැරෙයි’’ කියල කෑගැහැව්වා. අපිට ඒ සිදුවීම පුදුමයක් වුණා. ඒත් අපි ඒ ගැන ඒ තරම් හිතුවේ නැහැ. එදා ගෙදර ඇවිත් තමයි පෙර විස්තර කිවුවේ ඒ පිළිබඳව තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප ඇයට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරුත් මෙසේය.   


ප්‍රශ්නය:- සුභාෂිණී දැරිය ජලයට අධික බියක් දක්වන බැව් ඔබට මුලින්ම දක්නට ලැබුණේ කෙසේද?   


පිළිතුර:- මාස කිහිපයකදී නාන විට වතුර බේසම දකින කොට හඬනවා. ජලය ඇඟට දමනකොට පුදුම විදියට බය වෙලා හඬන්න ගන්නවා.   


ප්‍රශ්නය:- මුලින්ම මේ ගැන කතාකිරීමට ආරම්භ වුණේ වයස කීයෙදිද?   


පිළිතුර:- අවුරුද්දෙදී පමණ   


ප්‍රශ්නය:- පෙර භවය ගැන කළ මුල්ම ප්‍රකාශය කුමක්ද?   


පිළිතුර:- එදා වැව ළඟදී නෑදෑයෝ නානවිට බය වුණා. එදා ගෙදර ඇවිත් අපිව වැවේ ගිලුණ කියල කිව්වා. එතකොට වයස අවුරුදු දෙකක් විතර ඇති.   


ප්‍රශ්නය:- දුව ප්‍රකාශ කළ නම් මොනවාද?   


පිළිතුර:- එයාගෙ ඉස්සර නම කිව්වා.   


ප්‍රශ්නය:- ඒ නම කුමක්ද?   


පිළිතුර:- ඔව්, එයා එදා වැවේ ගිලුනෙ සිරිනාථ එක්ක වැවට ගිහින් කිව්වා.   


ප්‍රශ්නය:- සිරිනාථ කව්ද කියල කිව්වාද?   


පිළිතුර:- එයා යාළුවෙලා හිටි අයෙක් කියල හිතනවා.   


ප්‍රශ්නය:- පවුලේ තොරතුරු මොනවද කිව්වේ?   


පිළිතුර:- තාත්තව අප්පච්චි කියල කිව්වා. සුදු අම්මා හිටියා යැයිද කීවා. සුදු අයිය කෙනෙක් ගැනත් සඳහන් කළා. තංගම්මා යැයි ගෙදර වැඩට හිටි කෙනෙක් ගැනත් නම ප්‍රකාශ කළා.   


ප්‍රශ්නය:- ඔබලා පදිංචි ප්‍රදේශයේ නැති තොරතුරු හෙළි කළේ මොන විදියටද?   


පිළිතුර:- අපි හිටපු ප්‍රදේශයේ කොකෝ ගස් නෑ. කොකෝ ගස් දුව දැකලවත් අහලවත් තිබුණේ නෑ. එයා කිව්වේ ඒ අය හිටි දිශාවෙ කොකෝ වතු තිබුණ කියල. ගෙදර වත්තෙත් කොකෝ ගස් තිබුණ බැව් කීවා.   
ප්‍රශ්නය:- සිටි ප්‍රදේශයක් ගැන කීවාද?   


පිළිතුර:- එහෙදී රෑට දළද‌ා පෙරහර බලන්න යනව කීවා.   


ප්‍රශ්නය:- මේ තොරතුරු ගැන හොයල බලන්න ඒ දිනවල උත්සාහ කළේ නැද්ද?   


පිළිතුර:- නැහැ. දරුවට කරදරයක් වෙයි කියල අපි හිතුවා. අපි අහපු කීප දෙනෙක්ම ඒ ගැන හොයන්න එපා කියල කිව්වා. ඒ නිසා අපි උත්සාහ කළේ නෑ. යයි මව අප සමඟ හෙළි කළාය.   


සුභාෂිනි දැන් තරුණියක්. ඇය කුඩා කළ හෙළි කළ පෙරභව තොරතුරු පිළිබඳව ඇගෙන් විමසීමක් කිරීමටද අපට අවස්ථාව ලැබිණි. එහිදී ඇයට අප ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරුත් මෙසේය.   


ප්‍රශ්නය:- ඔබේ පෙර භවය ගැන හෙළි කළ තොරතුරු ඔබට මතකද?   


පිළිතුර:- සමහර දේ මතකයේ තියෙනවා.   


ප්‍රශ්නය:- කුඩා කළදී කිව් දේවලින් මතකයේ ඇත්තේ මොනවාද?   


පිළිතුර:- වැවක් දිගේ ඇවිද ගෙන යන විට මල් දැකල මල් කඩන්න ගියාම දියේ ගිලුණු බවක් මතකයේ තිබෙනවා.   


ප්‍රශ්නය:- ඔබ ජලයට බයද?   


පිළිතුර:- ඔව්, තවමත් මම වතුරට බයයි. වැවක නාන්නනම් මම බයයි. ගිලී මැරෙයි කියල බය හිතෙනවා.   


ප්‍රශ්නය:- ඔබට මතක පුද්ගල නම් මොනවාද?   


පිළිතුර:- සිරිනාථ කියන නම මට මතකයි.   


ප්‍රශ්නය:- සිරිනාථ කව්ද?   


පිළිතුර:- එයා එක්ක තමයි වැවට බැස්සෙ   


ප්‍රශ්නය:- සිරිනාථගෙ හැඩරුව මතකද?   


පිළිතුර:- දැන් මතක නැහැ. ඒත් මම කුඩාකලදීම සිරිනාථ වගේ කියල අයෙක්ව අම්මලට පෙන්වල තියෙනවා. එයාගෙ කොණ්ඩෙ ක්‍රේල්.   


ප්‍රශ්නය:- එයා මොනවගේද?   


පිළිතුර:- උස කෙට්ටු කලිසන් අඳින කෙනෙක්.   


ප්‍රශ්නය:- පෙර භවයෙදි ඔබේ නම මතකද?   


පිළිතුර:- ඔව්, චතුරිකා.   


ප්‍රශ්නය:- ඔබේ පෙර භව නිවස ගැන මතකද?   


පිළිතුර:- ඔව්, කොකෝ ගස් තිබුණ ප්‍රදේශයක ලොකු ගෙයක්.   


ප්‍රශ්නය:- ඒ ගෙදර ගැන තව මතකයේ ඇත්තේ මොනවාද?   


පිළිතුර:- ගේ ඉස්සරහ බංකුවක් සවි කරල තිබුණා. එතන ලොකු ජම්බු ගහක් වවල තිබුණ බව මතකයි.   


ප්‍රශ්නය:- වැවේ ගිලුණ ප්‍රදේශයක් ගැන මතකයේ නැද්ද?   


පිළිතුර:- නැහැ මම හිතන්නෙ අනුරාධපුර ප්‍රදේශයේ වෙන්න පුළුවන්.   


ප්‍රශ්නය:- ජලයට දැන් ඔබ තවමත් බයද?   


පිළිතුර:- වැවක් අසලට ගියාම නම් පුදුම බයක් දැනෙනවා.   


මේ අයුරින් පෙර භවය හෙළිකළ සුභාෂිණී තම පෙර භවයේ නෑදෑ හිතවතුන් සොයා ගැනීමට මහත් ආසාවකින් සිටින බැව් අප සමඟ කීවාය. මෙම තොරතුරු වලට සමාන කිසියම් තොරතුරක් ඔබේ මතකයේ ඇත්නම් අප වෙත දන්වා එවන්න. එම තොරතුරු පිළිබඳව විමර්ශනයක් කිරීමට දෙමාපියෝද සූදානමින් සිටිති. දැනට ඔවුන් පදිංචිව සිටිනුයේ සීදුව ප්‍රදේශයේය.   

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

පෙම්වතා සමග දියේ ගිලී මියගිය බව හෙළිකළ දැරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site