ශ‍්‍රී ලංකාවට තේ වගාව හඳුන්වා දී වසර එකසිය පනහක් ගත වී හමාරය.   

1867 දී ජේම්ස් ටෙලර් විසින් මහනුවර “ලූල්කඳුර” වතුයායේ තේ වගාව ආරම්භ කිරීමත් සමග ලංකාවේ තේ කර්මාන්ත ආරම්භ වූවා යැයි සැලකේ.   

ලූල්කඳුර වතුයායේ තේ වගාව මුල් අවධියේ දී අක්කර 19 කට සීමා විය.   

1872 වන විට ටේලර් ලූල්කඳුර තේ (loolecondra tea) මහනුවර දී ප‍්‍රථම වරට අලෙවි කිරීම සිදුකරන ලදී. 
  
ඉතිහාසය පිරික්සන්නකුට ලංකාවෙන් පළමු වරට 1873 දී තේ කිලෝ ග‍්‍රෑම් 10 ක් ලන්ඩනය වෙත යවා ති​ෙබනු දැකගත හැකිය.   

එය ලංකාවෙන් විදේශ ගත කළ පළමු තේ තොගය (Ceylon tea) ඉතිහාසයට එක්වෙයි.   

පසු කලෙක ආතර් කොනන් ඩොයිල් නම් බ්‍රිතාන්‍ය ජාතික පරිපාලන නිලධාරියා තේ වගාව ස්ථාපිත කිරීම පිළිබඳ අදහස් දක්වා ඇත්තේ මේ ආකාරයෙනි.   

“ශ‍්‍රී ලංකාවේ තේ ක්ෂේත‍්‍රයන් වෝටර්ලූ හී සිංහයා මෙන් නීර්භීත ස්මාරකයකි” යනුවෙනි.   

(The tea fields of Ceylon are as true a monument to courage as is the lion at Waterloo)   

සුදු අදිරදවාදීන් විසින් ආරම්භ කරන ලද තේ කර්මාන්තය පිළිබඳව ඉතිහාසයේ බොහෝ කරුණු ගැබ් වී ඇත්තේය.   


මධ්‍ය කඳුකරයේ සාරවත් භූමි ආශ‍්‍රිතව හා සොඳුරු නකල්ස් කඳු පංතිය අතර මේ තේ කර්මාන්තය ව්‍යාප්ත වන්නේ යම් සේද ඉන් උපයා සපයාගත් බොහෝ මුදල් සුද්දෝ ඔවුන්ගේ දේශය වෙත රැගෙන ගියහ.   
මේ ලිපිය තුළින් අපේක්ෂා කරනුයේ තේ කර්මාන්තය මාතලේ දිස්ත‍්‍රික්කයේ විකාශනය මෙන්ම මෑත භාගයේ ඉතා සුවිශේෂ වූ තේ වත්තක සිදුවු අබිරහස් කැණීමක් සමග සමාජ කතිකාවකට භාජනය වූ “බේබෲක් තේ වතු යායේ” ඉතිහාසය සොයා යන්නටය.   


ඉතිහාස ගත කරුණු සෙවීමේ දී සුද්දන් විසින්ම ඒ බොහෝ තොරතුරු සඟවා ගැනීමත් එවකට ජීවත් වූ සමාජයේ සංරක්ෂිත ක‍්‍රම නොතිබීමත් මුඛ පරම්පරාවන් හා ඉංග‍්‍රීසි බසින් ලියන ලද බොහෝ දෑ ඇතැමුන් විසින් නොසලකා හැරීමත් යන කාරණා ඔස්සේ බේබෲක් වතු යායේ බොහෝ ලිඛිත සාක්ෂි සොයා යාම අතිශය දුෂ්කර කරුණකි.   


එහෙත් ලංකාදීප පාඨක ඔබ වෙනුවෙන් අතීතයේ බොහෝ දේ සඟවාගත් දුම්බර මිටියාවතේ බේ බෲක් තේ වත්ත පිහිටි භූමිය සොයා යන්නට අප වෙහෙස ගත්තේ තවත් ගමන් සගයින් දෙපළක් සමගිනි.   


දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති නිමල් ආනන්ද කනහැරආරච්චි මහතා හා මාතලේ ග‍්‍රැෆික් ලංකා පදනම හෙවත් ග‍්‍රාම අභිවෘද්ධි මධ්‍යස්ථානයේ ක‍්‍රියාකාරි අධ්‍යක්ෂ ගාමිණි ජයතිස්ස මහතා හා අපි ඔබ වෙනුවෙන් ඒ අති දුෂ්කර ගමන වෙත පිය මැන්නෙමු.   


“සුද්දා මාතලේට තේ වගාව ගේන්න සැලසුම් හදනකොට අද අපි ගමන් ගන්න රත්තොට සිට රිවස්ටන් දක්වා තියෙන මේ මාර්ගය නෙවෙයි තිබිල තියෙන්නේ”   


මුලින්ම සිය හඬ අවදි කළේ නිමල් ආනන්ද මහතායි.   


මහනුවර දිස්ත‍්‍රික්කයේ පන්විල මඩොල්සිම හරහා තේ වතු ව්‍යාප්ත වෙනවා අනික් පසෙන් උකුවෙල හරහා වත්තේගම ප‍්‍රදේශයට තේ වගාව ව්‍යාප්ත වෙනවා.   


ඇල්කඩුව, කඹරගල ප‍්‍රදේශයටත් පසුව තේ වගාව ව්‍යාප්ත වෙනවා. කඹරගල ආශ‍්‍රිතව තමයි එදා රිවස්ටන්වලට පාර තිබුණේ.   


ඒ කියන්නේ රජ කාලේ තිබ්බ මාවතක්. ඒ මාර්ගයේ තමයි සුද්දත් ආවේ.   


ඒ මාර්ගයේ මැද තමයි ‘සුදූගෙ වත්ත’ හමුවෙන්නේ. සුදු කියන්නෙම සුද්දෝ හිටපු නිසා.   


මේ අතර සුද්දගේ කාලේ තිබුණ තේ වතු කිහිපයක් තියෙනවා මේ පරිසරයේ.   


ඒ අතර රිවස්ටන්වල තිබුණා ගෝනමඩ වත්ත කියලා තේ වත්තක්. ඒ වත්තේ දැන් තේ නෑ. සර් ජෝන් කොතලාවල පරම්පරාවේ පිරිසක් ඉන්නේ ඒ වත්තේ. 

 
ඊට අමතරව අක්කර දහස කියලා තව වත්තක් තියෙනවා රිවස්ටන් හමුවුණ ප‍්‍රදේශයේ.   


ඒ වත්තත් තිබ්බේ එදා සුද්දන්ට වුණත් පසුව ඒක මිෂනාරීන්ට අයිති වුණා.   


දැන් ඒ වත්ත ලංකාවේ ධනපතින්ට අයිතිවෙලා තියෙනවා.   


මේ වතු පසුකාලීනව කොටස්වලට කැඩිලා ගියා.   


දැන් මේ වන විට 218 ක් විතර ඉන්නවා වතු හිමිකාරයෝ පෞද්ගලිකව මේ රක්ෂිතය ඇතුළේ. මේ භූමි රක්ෂිතයක් බවට පත්වන්නේ පසුවයි.   


එතකොට මහනුවර දිස්ත‍්‍රික්කයේ සහ මාතලේ අතර තමයි අපි කතාකරන බේබෲක් තේ වත්ත තියෙන්නේ. නමුත් අද මේ භූමියේ තේ නැහැ.   


නටබුන් වෙච්ච පරණ තේ පැක්ටරිය වගේම බංග්ලෝ එකක් මේ පරිසරයේ තියෙනවා.   


කණු පමණක් ඉතිරි වෙලා තියෙනවා අද වෙනකොට.   


සුදු ජාතිකයන් මෙම වත්ත විකුණා යන විට මහනුවර ප‍්‍රදේශයේ හිටිය ව්‍යාපාරිකයෙක් මේ ඉඩම අරගන්නවා.   


මෙහි තියෙන විශේෂත්වය තමයි මේ සුද්දෝ හදපු බොහෝ ගොඩනැගිලිවල අකුණු සන්නායක වගේ දේවල් තිබුණා.   


වසර දෙක තුනක් තිස්සෙම මහනුවර දිස්ත‍්‍රික්කයේ නුවරඑළියේ වගේ තැන්වල වගේම රත්නපුර පැත්තේන් විවිධ විශාල මිලගණන්වලට මේ අකුණු සන්නායක අරගත්තා විවිධ පුද්ගලයෝ.   


එතකොට බේබෲක් වතුයායට අයත් තේ ඉඩමේ බංගලාවේ හිටපු සුද්දාගේ මුනුපුරා තමයි කියලා තියෙන්නේ මේ ඉඩමෙත් අකුණු සන්නායකයක් තියෙනවා කියලා.   


අකුණු සන්නායකේ අරන් දෙන්න කෝටි 15 ක් දෙන්නම් කියලා ඔහු කීවට පස්සේ තමයි ලංකාවේ පිරිසක් එකතුවෙලා බේබෲක් වත්තේ දෝනා හාරලා අකුණු සන්නායක සොයන්න පටන්ගන්නේ. අන්තිමට විශේෂ කාර්යය බළකායේ සෙබළුන් ඇතුළු කණ්ඩායමක් ඔවුන් අත්අඩංගුවට ගන්නවා.   


ඇත්තටම මේ තරම් වටිනා අකුණු සන්නායක කියන්නේ මොනවටද? ඔබටත් මටත් ඒ ගැටලුව පොදුය.   


“කඳුකර ප‍්‍රදේශවලට අකුණු වැඩිනේ. උස් භූමි නිසා දැන් නවීන තාක්ෂණය මගින් අකුණු සන්නායක පාවිච්චි කරනවා. ඒත් අතීතයෙත් මේ තාක්ෂණය තිබිලා තියෙනවා.   


ආනන්ද මහතා කරුණු පැහැදිලි කළේය.   


“කූරු දෙකක් උඩට තියෙනවා. කූරු දෙකෙන් වයර් දෙක පොළොවට යවලා තියෙනවා.   


අඩි ගාණක් යටින් සවි වන මේ සන්නායකයට ගල් අඟුරු තට්ටු වශයෙන් දාලා තවත් බොහෝ ද්‍රව්‍යන් එක්කරලා තමයි අකුණු සන්නායකය නිර්මාණය කළේ.   


තැටියක් විදිහට තමයි තැන්පත් කීරිම කළේ පොළොව අභ්‍යන්තරයේ.   


මෙතන දී වෙන්නේ වටපිටාවේ තියෙන අකුණු ඇදලා අරන් පොඝව යටදී අර තැටිය ආධාරයෙන් පොළොව අභ්‍යන්තරයේ අකුණ පතුරවා යවනවා.   


අකුණු සන්නායකයක භූ තැටියක් ආකාරයේන් ක‍්‍රියා කරනවා.   


මේ කටයුත්ත ඒ කාලේ හැටියට දියුණුම තාක්ෂණික ක‍්‍රමවේදයක්   


බොහෝ අය කියනවා මේ සන්නායකයට තඹ මිශ‍්‍රයි රත්තරන් මිශ්‍රයි කියලා.   


ඒ විතරක් නෙවෙයි කාලයක් ගොඩක් අකුණු ඇදලා ගත්තු නිසා මෙකේ ඉතා දියුණු රාසායනික සංයෝගයක් නිර්මාණය වනවා කියලා තමයි දැන් සැක කරන්නේ.   


අනිත් කාරණේ මේවායේ වෙළෙඳ වටිනාකම ඉතා විශාලයි.   


බොහෝ වේලා නිහඬව සිටි ගාමිණි ජයතිස්ස මහතා සිය හඬ අවදිකළේ තාමත් තැනින් තැන පවතින මාතලේ රිවස්ටන් මාර්ගයේ තේ වත්තක් දෙස බලමිනි.   

 

 

“මාතලේ තේ කියන්නේ සුද්දගේ කාලේ පවා ඉතාම ඉහළ තැනක තිබුණු තේ නිෂ්පාදනයක් වෙලා තිබුණා.   


ඔය ගෝණමඩ වත්තේ තේ කිව්වහම ඒ කාලේ එංගලන්තෙත් හරිම ජනප‍්‍රියයි කියලා තමයි කියන්නේ.   


කොටින්ම මාතලේ දක්වා කොච්චි පාර එන්නෙත් ඔය කාරණේ නිසා.   


එදා තිබුණ තේ වතුවලින් මැදවත්ත තේ වත්ත තාම තියෙනවා.   


මැදවත්ත තේ කිව්වහමත් ගොඩක් ජනප‍්‍රිය තේ වත්තක් “මිඩල් ගෲප්” කියලා තමයි ඒ කාලේ කිව්වේ.   


ඊළඟට දන්කන්ද ස්ටේට්, පොල්වත්තන් කන්ද, නෙළුවාකන්ද සහ ගෝණමඩ තේවතු හමුවෙනවා.   


ඊළගට තමයි බේබෲක් තේ වත්ත හමුවන්නේ.   


මේ වත්තේ ප‍්‍රමාණය අක්කර දහසක්. මේ වත්තේන් එහා පැත්තෙන් ආයෙත් මහනුවර දිස්ත‍්‍රික්කයේ හමුවෙනවා. කෙසේ නමුත් මේ විශාල බේ බෲක් තේ වත්ත සුද්දන්ට නඩත්තු කරන්න පසුව අපහසු වෙනවා. ඒකට හේතුව තමයි මාතලේ නගරය හා වත්ත අතර තිබෙන දුර ප‍්‍රමාණය.   


අනිත් කාරණේ තමයි මේ වතුවලට සුද්දා බලාපොරොත්තු වුණු දේශගුණ උපකාරයන් ඔවුන්ට ලැබී නැහැ.   


මධ්‍ය කඳුකරයේ උතුරු අන්තයට වන්නට තේ වත්ත පිහිටීම නිසාම වියළි කාලගුණික තත්ත්වයත් නිසා මේ වගාවන්ට ඝෘජු බලපෑමක් එල්ල වුණා.   


අනිත් කාරනේ තමයි මේ වත්තේ නඩත්තුවට කම්කරුවන් ඉඳලා නැහැ ඒ කාලේ.   


ගොඩක් කම්කරුවෝ එදා දකුණු ඉන්දියාවෙන් ගෙනාපු අය.   


එකත් පසෙකින් රිවස්ටන් බැස යන විට ඇඟ දැවටෙන ඝන මීදුම් පටල කෙමෙන් මැකී යද්දි හිස් භූමි භාගයක් එක දිග තැනිතලාවක් සේ ඇතින් දිස් වන්නේ පිටවලපතනයි.   


ආනන්ද කනහැරආරච්චි මහතාට අනුව සුදු ජාතිකයින්, දකුණු ඉන්දියාවේ සිට ද්‍රවිඩ ජාතික කම්කරුවන් ගෙනවිත් පිටවල පතනේ ලැයිම් සකසා පදිංචිකර ඇත.   


“ඒ කාලේ පතනේ කඩේ කියලා කඩේකුත් තිබ්බා ලැයිම්වල අයට බඩුගන්න.   


මේ කම්කරුවන්ටත් බේ බෲක් වත්තට යෑමේ දී ගමන් අපහසුතා ගොඩක් ඇවිත් තියෙනවා.   


කොටිම්ම මේ තේ වත්ත සඳහා ප‍්‍රවාහන පහසුකම් ඝෘජුවම බලපාලා තියෙනවා. ඒ නිසාම තමයි සුද්දා මේ ඉඩම් අතහරින්නේ.   


මහනුවර රාජධානිය ඉංග‍්‍රීසින්ගේ පාලනයට යටත්වීමෙන් පසුවයි මේ පරිසරයේ තේ වගාවන් ආරම්භ වෙන්නේ.   


ඉතිහාසේ අරන් බලන්න නිදහස් සටන්වල දී පවා තේ වතු පිළිබඳ කියැවෙන්නේ නැහැ.   


1818 කැරැල්ල දිහා බැලුවත් එහි පොල් හා රබර් පිළිබඳ කියැවෙනවා.   


නමුත් තේ ගැන සඳහන් වෙන්නේ නැහැ.   


පසුකාලීනව සුද්දන් ලග්ගල-වල්පොළ මුල්ලට පවා ගිහින් තියෙනවා.   


එහෙදීත් ඔවුන් තේ වගාකිරීමට උත්සහ කරලා තියෙනවා.   


මේකට හේතුව තමයි. උස් කඳුකර භූමියේ ඉඩ අවසන්වීම නිසා වගේම මේ තේ වැවීම පිළිබඳ අනෙක් සුද්දන්ට ආරංචි වෙලා ඔවුනුත් දිවයිනට පැමිණිම හේතුවෙන් තව තවත් තේ වතු සේවීම ඔවුන්ගේ අරමුණ වී තියෙන්නට ඇති.”   


සුදු ජාතිකයන් විසින් මුඩු බිම් පනත ක‍්‍රියාත්මක කිරීමත් ඒ හරහා වගා නොකරන ලද දහස් ගණන් වූ අක්කර ප‍්‍රමාණයක් අතපත් කර ගැනීමත් එම ඉඩම් තම හිතවතුන්ට ලබාදීමත් එවකට සුදු ජාතිකයින් මැළිි වූයේ නැත.   
වර්ග සැතපුම් 62 ක් පුරා පැතිර ඇති මේ නකල්ස් රක්ෂිතය පුරා විවිධ ආවේණික පැළෑටි මෙන්ම ශාක ද බහුලව දක්නට ඇත.   


අක්කරවලින් දාසය දහසක් පමණ වන මේ සුන්දර වන පියස සිය ජීවිත කරගත් සුවිශේෂි ජීව කොට්ඨාස මෙහි වාසභූමී කරගෙන වාසය කරති.   


“නමුත් මේ වනාන්තරය මේ වන විට පමණක් නෙවෙයි එදා සුද්දා අතිනුත් විනාශ වුණා. මේකට හොඳම දේ තමයි නැවත මේ තේ නැති හිස් භූමිවල වන වගා ඇති කරන එක.”   


අනන්ද මහතාගේ අදහස වී ඇත්තේ ඒ අයුරිනි.   


එකත් පසෙකින් නානා විධ තුරුලතාවන්ගෙන් හා නිබඳව රැව් දෙන කුරුලු කූජනයන්ගෙන් ද අඩුවක් නැති මේ භුමියේ සැබෑ අයිතිකරුවන් ද මේ හඬ නගන්නෝම වන්නාහුය.   


රිවස්ටන් පසුකර අපි බොහෝ දුරක් පැමිණ තිබේ.   


රත්තොට සිට රිවස්ටන් මාර්ගයේ පිටවල පතන පසුකර කිලෝ මීටර් හයක් පමණ පැමිණි කල දකුණට හමුවන අතුරු මාර්ගයේ ද අප බොහෝ දුරක් ගමන් කළ යුතුය.   


දෙපස පිරුණු දැවැන්ත පයිනස් වගාවත් සුවිසල් ගස් වලින් බිමට පතිත වූ දැවැන්ත ශාක පත‍්‍රත් මහපොළොව වසා ගෙන තිබේ.   


නොදන්නා කිසිවෙකු හෝ එකවර මේ මාර්ගයේ පැමිණිය හොත් අතරමන් වනවාට කිසිදු සැකයක් නැත.   


එතරම් ගුප්ත බවින් යුතු මාර්ගයක බොහෝ දුර ගමන් ගත් විට මිනිස් වාසයක් ඈතින් දිස්වන වත්මන් සංචාරක බංගලා නැතහොත් හෝටල් කිහිපයක් ද මේ මාර්ගයේ හමුවේ.   


ඒ සියල්ල පසුකරමින් මාර්ගයේ ඇති අවදානමත් නිහඬව වන වදුලක් තුළට වී බලා සිටින දිවියන්ගෙන් ද ප‍්‍රවේසම් වෙමින් අපි ඉදිරියට ගමන් ගත්තේ පා ගැටෙන වියලි පත‍්‍රවල පවා ශබ්දය නොනැගෙන අයුරිනි.   


වසර දහස් ගණනක් ඉපැරණි ස්වභාවික වනාන්තරයක් වන මේ වනාන්තරය අද වන විට නකල්ස් රක්ෂිතය ලෙස හඳුන්වනු ලබයි.   


අක්කර දහසක තේ වත්තක් දැවැන්ත භූමි ප‍්‍රමාණයක් වසර ගණනාවකට පෙර කෙතරම් කාර්යය බහුලව පවතින්නට ඇත්ත යන්න දන්නා කිසිවෙකුත් සොයාගන්නට නැත.   
ඉද හිට කඳු හෙල් මුදුන් මැදිකරමින් පිස එන මඳ සුළඟ පමණක් ඇඟ දැවටෙමින් මේ ගුප්ත පරිසරයේ නිහැඩියාව බිද දමන්නේය. 

 
සුද්දාගේ මුවින් පිටවුණු වදන් හමුවේ එදා ද්‍රවිඩ කම්කරුවෝ මේ බේ බෲක් වතු යායේ සිය වැඩකටයුතු ඉටුකරන්නට ඇත.   


අක්කර දහසක තේ වත්තක් යනු සුළුපටු භූමි ප‍්‍රදේශයක නොවේ. මේ වත්ත පාලනය කරන්නන්ට එදා මහ සෙනඟක් ඉන්නට ඇත.   


රාත‍්‍රිය වන විට මෙහි එදා පිහිටි බංග්ලාවේ සුද්දන්ගේ නවාතැන වන්නට විය හැකිය.   


“1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත යටතේ අක්කර පනහේ සීමාවට එනවා 50 ට වැඩි ඉඩම් රජයට ගන්නවා. ඒ අනුව මේ බේ බෲක් වතුයායට අයිති අක්කර දහසක කොටස් කිහිපයකට කැඩෙනවා විතරක් නෙවෙයි. සුද්දන්ගේ හිමිකාරිත්වයෙන් පවා ගිලිහිලා ඉන්දියානු සම්භවයක් සහිත වැවිලිකරුවන් අතට පත්වෙනවා. සුදුගල වත්තත් ඒ ආකාරයටම ඉන්දීය සම්භවයක් සහිත දෙමළ වැවිලිකරුවන් අතට පත්වනවා. විශේෂයෙන් බේබෲක් වතුයාය අයිති වෙන්නේ කොතලාවල පරපුරටයි.   


ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ අන්තිම කැමති පත‍්‍රයෙන් මේ ඉඩම් ලියනවා යාපනේ පල්ලියට.   


මේ පනතට අනුව එක් අයෙකුට තියෙන්න පුළුවන් අක්කර පනහයි. අක්කර දහසක තේවත්තක් තියෙනවා නම් පවුලේ පස්දෙනෙක් ඉන්නවානම් අක්කර පහ ගානේ අක්කර 250 ක් පවුලේ අයට දිලා අක්කර 750 ක් රජයට ගත්තා මේක තමයි තත්ත්වය.   


පසුව මේ ඉඩම් විවිධ අයවළුන් අතට පත්වෙනවා. හේතුව තමයි අර අක්කර පනහ ගානේ හිමිවුණ පවුලේ සාමජිකයන් කළේ විවිධ අයට මේවා විකුණන එක. රජයට පවාගත් ඉඩම් එල් ආර් සී එකට (ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම) පවරලා වෙනම සමාගම් තුනක් හදනවා.   


උඩරට වතු සංවර්ධන මණ්ඩලය, ජනතා වතු සංවර්ධන මණ්ඩලය (ජන වසම) මේ දෙකම එකතු කරලා අවසානේ හැදෙනවා රාජ්‍ය වැවිලි සංස්ථාව කියලා.   


පසුව ඒකත් කුරුණෑගල වැවිලි සමාගම, ඇල්කඩුව වැවිලි සමාගම, පුස්වැල්ලෑව වැවිලි සමාගම වගේ නම්වලින් ආයේ කැඩී වෙන්වෙනවා.   


මේ කාරණේ සමස්ත රටේම වුණු කාරණාවක්.”   


ගාමීණී ජයතිස්ස මහතා අතීත සිදුවීම් වැලක් එක දිගට සඳහන් කළේය.   


 නකල්ස් පරිසර පද්ධතියේ කාලානුරූපව සිදුකරන ෆයිනස් වගාවන්ද පරිසරයේ පැවැත්ම සඳහා බාධා වී තිබේ. කාලයක් තේ වගා නොකරපු භූමිවල 1970 වර්ෂයේ දී පමණ රජය විසින් ෆයිනස් හදනවා. පසුව එකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය කියලා ලෝක බැංකු ව්‍යාපෘතියක් එනවා මාතලේට 1977 න් පස්සේ.   


මේ ව්‍යාපෘතිය යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හිස් ඉඩම්වල පයිනස් හදනවා.   


මේ විදිහට නුවර, මාතලේ නකල්ස් රක්ෂිතයේ පමණක් හෙක්ටයාර් 5000 ක් පයිනස් හදලා තියෙනවා.   


හෙක්ටයාර් 5000 ක් කියන්නේ සමස්ත දුම්බර වන පෙතෙන් හතරෙන් එකක්.   


ඒ විතරක් නෙවෙයි 1980 දශකයේ පිටවල පතනේ අර්තාපල් පවා හදනවා.   


ගාමිණි ජයතිස්ස මහතා නකල්ස් රක්ෂිතයේ බලපුළුවන් කාරයින් ගැන කියන්නට ද මේ ගමනේ දී අමතක නොකෙළේය.   


“මේ භූමි හැම කෙනොටම අල්ලන් ඉන්න බෑ ලංකාවේ කිහිප දෙනෙක් මේ පිටුපස ඉන්නවා.   


ඔවුන් තමයි මේ නකල්ස් භූමියේ අනාගතය තීරණය කරන්නේ. 

 
ඔවුන් සියලූ දෙනා ලොකු සල්ලිකාරයින් කියන එක කියන්නත් ඕනේ.   


අද වෙනකොට නකල්ස්වලට තියෙන බරපතළ ගැටලුව තමයි මේ සල්ලිකාරයින් කිහිපදෙනෙක් එකතුවෙලා සංචාරක ව්‍යාපාරය ස්ථාපනය කරනවා කියලා කරන බරපතළ විනාශය.   
ඒකට ඔවුන් භාවිත කරන්නේ මේ ප‍්‍රදේශවල තියෙන සෞදර්යාත්මක අගයන් යොදාගන්න එක.   


අද වෙනකොට මේ පරිසර පද්ධතියේ තේ වගාවන් විනාශ වෙමින් යනවා. පයිනස් වගාවන් පැතිර යමින් තියෙනවා. පතන් වසාගෙන වෙනත් ආක‍්‍රමණශීලී ශාක පැතිරෙමින් යනවා.   


පොඩි සිංඤ්ඤො මරන්, බලු නකුට වගේ ශාකවල විශාල ව්‍යාප්තියක් අද වන විට දක්නට ලැබෙනවා. තවත් ශාක බොහොමයක් මේ පරිසර පද්ධතිය විනාශ කරමින් පවතිනවා.”   


ගාමිණී ජයතිස්ස මහතා එක හුස්මට කියාගෙන ගියේය. බෑලූ බැල්මට වසර ගණනාවක් ස්වාභාවික තුරු වදුලුවලින් පිරි මේ සුන්දර නකල්ස් කඳු පංතිය සුද්දා විසින් දෙපළු කර අවසානය.   


මහවැලි නදිය පෝෂණය කරනා අඹන්ගඟ මෙන්ම සුදු ගඟත් ගලා බසින නකල්ස් කඳු පංතියට සුද්දාගේ කාලෙන් පසු අද වන විටද සිදුවන අනේකවත් ආරෝවන් එමටය.   


බේබෲක් වතුයායේ අහස උසට අද පවතින රූස්ස ගස් එදා බිම දමමින් සුදු ජාතිකයින් තේ වවන්නට ඇත.   


ඔවුන් විසින් වැනසූ පරිසරය අද වන විට කුණු කොල්ලයට විකුණා දමමින් කටයුුතු කරමින් සිටින පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් නොමැති බව ගාමිණි ජයතිස්ස මහතා කියයි.   
එ බැවින් රජය මගින් කළ යුක්තේ මතු පරපුරට උරුමයක් වූ මේ නකල්ස් සමස්ත පරිසර පද්ධතියම සුවපත් කිරීමට කටයුතු කිරීමය.   


රජයට අයත්ව අදටත් අතහැර දමා ඇති භූමී ප‍්‍රමාණයන් කොතෙකුත් මේ පරිසරයේ පවතියි.   


මේ භූමිවල නැවත ගස් සිටුවන්නට හෝ සිදුකළ හැකි වෙනත් වගාවන් වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම වත්මන් රජයේ ද යුතුකමකි.   


එසේ වූ කල බේබෲක් වත්තේ හෝ වෙනත් තේ වත්තක අකුණු සන්නායක සොයන්නට කිසිවෙකුටත් මේ ඝන වනාන්තරයට ළගා වීමට ඉඩක් නොලැබෙනු ඇත.

 

 

 


සටහන හා ඡායාරූප
නාඋල - ඉන්දික අරුණ කුමාර