දෙවැනි රාජසිංහ රජතුමාගේ සිරකරුවකු බවට පත් වූ ප‍්‍රංශ සෙනෙවි ගැස්කොන්ගේ පුත‍්‍රයා වූ පේඩෲ ගැස්කොන් හිස් ගැසුම් කෑවේ නරේන්ද්‍රසිංහ රජුගේ අගමෙහෙසිය වූ ප‍්‍රමිලා බිසවට පෙම් කිරීමේ වරදටය. පසුගිය සතියේ පළ වූ එම කතාවෙහි ඉතිරි කොටස මෙතැන් සිට දිග හැරේ...   

 

දස්කොන් අදිකාරම සහ ප‍්‍රමිලා බිසවගේ ප්‍රේමය ගැන රජ වාසල තුළ බොහෝ දෙනෙක් රහසේ කතා කළ ද, එළපිට කතා කිරීමට බිය වූයේ දස්කොන් අදිකාරම රජතුමා සමීපයේ සිටි නිසයි. රජතුමාට මේ සම්බන්ධයෙන් කිසිවෙක් පැවසුවේ ද නැත. කාලය සෙමෙන් ගෙවී ගියේය. තවත් මාස කිහිපයක් ගත විය. මහ අදිකාරම, විදේශීය ජාතිකයකුගේ පුතකුට පැවරීම පිළිබඳ උඩරට රඳළයෝ බොහෝ දෙනෙක් පේඩෲ දස්කොන් සමඟ සිටියේ අමනාපයෙනි. මේ නිසා දස්කොන් ගැන වෛරයෙන් සිටි උඩරට රඳළයන් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ගැන වැඩිපුර ඔප දමා රස කරමින් කටකතා පතුරුවා හැරියෝය. ඒ පිළිබඳව උඩුවාවෙල කුඩා බණ්ඩා දස්කොන් මෙසේ කීවේය.  
 
‘‘දස්කොන්ට විරුද්ධව කුමන්ත‍්‍රණය ක‍්‍රියා කළ අයගේ මූලිකත්වය ගත්තේ වැලිවිට සරණංකර හිමියන්ගේ ගුරුවරයා වූ සූරියගොඩ උන්නාන්සේයි. ගිහියන් අතර ලෙව්කේ රාළහාමි. දස්කොන් ප‍්‍රමිලා අතර හුවමාරු වූ කවි ඇතුළත් කළ තල්පත් රජුට හසුවීමට ඉඩ හැරියා. එදා රාජ නීතිය කාටත් පොදුයි. එහිදී තම මිතුරාද, සතුරාද කියා වෙනසක් සිදු කළේ නැහැ. තම මිතුරා වුවද වරදක් කර තිබේ නම් දඬුවම් විදිය යුතුයි. දස්කොන් සිර කළේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඔහුගේ නිවැරදි භාවය දක්වමින් හිර ගෙදර දී ‘‘නොක්කාඩුමාලය’’ නමින් කවි පොතක් රචනා කර රජතුමා වෙත යවා තියෙනවා. ලෙව්කේ රාළහාමි ඊට අවස්ථාව ලබා දුන්නේ නැහැ. එපමණක් ද නොවේ ක‍්‍රි.ව. 1721 දී හිස ගසා දැමීමේදී ගහළයා වශයෙන් කටයුතු කර තියෙන්නෙත් ලෙව්කේ රාළහාමියි. එයින් ද පෙනී යන්නේ දස්කොන්ට ඔවුන් කැමැත්තෙන් සිටි බවක් නොවේ.   
 
පුංචිකුමාරිහාමි තවත් කවියක් ගායනා කළාය. ඒ දස්කොන් දඬුවම් ලබා දීමට රැගෙන යන අවස්ථාවේ බිසව විසින් ගායනා කළ කවියකි. ඊට දස්කොන් ලබා දුන් පිළිතුර ද පහළින් සඳහන් වේ.  
 
සක්මන් කරන මළුවේදී බැඳි හාද   
සිත් සන්තොසින් දුන් මුව මී බී වාද   
ඉක්මන් ගමන් හිමි අද ඔබ යන වාද   
දස්කොන් මගෙ නමට ජීවිතෙ දෙන වාද   
 
වියැස් කමලාව රස පහස නොවිඳ මා  
දසිස් දුණි පොරණ ඇස දුටු පමණට මා   
වෙසෙස් නුඹේ අමයුරු පහස ලත් මෙ මා  
මහිස් එකක් දුණි නම් ඔබේ නමට කි මා   
 
සුරියගොඩ උන්නාන්සේගේ සහ ලෙව්කේ රාළහාමිගේ කුමන්ත‍්‍රණය රජතුමාට ආරංචි වීමට එතරම් කාලයක් ගියේ නැත. එහි මූලිකත්වය ගත් සුරියගොඩ සාමණේර හිමියන් මරවා විහාරය සහ දේපළ රාජ සන්තක කර, එහිමියන්ගේ නෑදෑ පරපුර ඈත ගම්වල සිර කර වූ බවත්, පසුව වැලිවිට සරණංකර හිමිපාණන් වහන්සේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමාට මේ පිළිබඳව කරුණු පහදා දීමෙන් අනතුරුව සුරියගොඩ විහාරය ඉඩකඩම් ලබාගෙන නෑදෑයන් නිදහස් කරගෙන තිබෙන බවත් සඳහන් වේ. දස්කොන් අදිකාරමගේ හිස ගසා දමා සිදු කළ වරදට, ලෙව්කේ රාළ අලගල්ල කන්ද පාමුල මාකෙහෙල්වල ගමේ සිර කරවා ඇත. හතරලියද්ද වැලිවිට සාමණේර හිමි රහසේ පාලි ඉගෙනුමට ගියේ ඔහු ළඟටය.   
 
දස්කොන් සම්බන්ධයෙන් ජනප‍්‍රවාදයේ පවතින කතා කිහිපයක්ම තිබේ. ඉන් එකක් නම් සෙනරත් රජු දවස ඕලන්ද ජාතිකයන් සමඟ යුද්ධයක් පැවතියේය. එහිදී ඕලන්ද සෙබළෙකුට දාව සිංහල මවක විසින් දරුවකු බිහි කළාය. ඔහු යුද්ධ භූමියේ කෝන් ගසක් යට දරුවා දමා ගොස් තිබුණි. ඉතාමත් හුරුබුහුටි මෙම අත දරුවා දුටු රාජපුරුෂයෝ දරුවා රැගෙන ගොස් රජුට භාර දුන්හ. කෝන් ගසක් යටදී අහුලා ගත් නිසාත්, ගැස්කුවින් නමැති සෙබළකුට දාව ඉපදී ඇති නිසාත් ගස්කොන් යනුවෙන් නම් කළ බව කියැවේ. පසුව දස්කොන් නමින් භාවිතයට පැමිණ තිබේ. ඒ පිළිබඳව ජනප‍්‍රවාදයේ පවතින කවියක මෙසේ සඳහන් වේ.  
 
ගස්වින්ට දාවී - කොන් සෙවනේ බෑ වී  
උන් හෙයින් නෑවී - හෙතෙම ගස්කොන් නමින් පළ වී  
මිහිරි රස දැනැවී - කවි නිති දිවග ළෙල වී  
රජ සබයම සෙවී - පසුව දස්කොන් නමින් පළ වී   
 
උඩරට රදළ පරම්පරා ගැන ගවේෂණයෙහි නිරත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය ජී.පී. සමීර ප‍්‍රසංග මහතා:-  
දහසය, දාහත් වැනි ශත වර්ෂය වන විට යුරෝපයේ දේශ ගවේෂණ ව්‍යාපාර අතිශය ජනප‍්‍රිය වූ කාලයකි. ඒ වකවානුවේ මුල් කාලයේ පැමිණියේ පෘතුගීසි සහ ස්පාඤ්ඤ ජාතිකයන්ය. පසුව ඕලන්ද, ඉංග‍්‍රීසි ජාතිකයනට සමකාලීනව ප‍්‍රංශ ජාතිකයන් ද පැමිණියා. ඒ අතුරින් බලවත් ජාත‌ීන් දෙකක් වූයේ ඉංග‍්‍රීසි සහ ප‍්‍රංශ ජාතිකයන්ය. ක්‍රි.ව. 1635-1687 කාලයේ මෙරට පාලනය කළේ දෙවැනි රාජසිංහ රජතුමා. ඒ කාලයේ ඉන්දියන් සාගරය ගවේෂණය කළ ප‍්‍රංශ කණ්ඩායමක් නෞකාවකින් ත්‍රිකුණාමල වරායට අහඹු ලෙස පැමිණෙනවා. දස්කොන් පරම්පරාවේ ආරම්භක සාමාජිකයා (ප‍්‍රමිලා බිසවට ආදරය කළ දස්කොන්ගේ මුත්තාය) සිටියේ එම කණ්ඩායමෙයි. ලැනරෝල්ගේ අස් ගොව්වා ලෙස ගැස්කොන් හැඳින්වේ.  
 
එවකට කොට්ටියාර සහ තඹලගමුව යනුවෙන් දිසා දෙකක් පැවතුණි. කොට්ටියාරම් දිසාවට ත‍්‍රිකුණාමල වරාය අයිති වූ අතර, එය කන්ද උඩරට පාලනය යටතේ පැවතුණි. එම ප‍්‍රංශ දූත පිරිස රාජසිංහ රජු ඉතා ආදරයෙන් පිළිගන්නවා. විවිධ වරප‍්‍රසාද, ත්‍යාගභෝග, නිලතල ලබා දෙනවා. පසුව පෘතුගීසි සම්භවයක් තියෙන සිංහල කාන්තාවක හා විවාහ වී සෙංකඩගලපුර පදිංචි වෙනවා. මෙම කාලය ​ෙවන විට පෘතුගීසි සම්භවයක් ඇති මිනිසුන් මාතලේ වහකෝට්ටේ පදිංචි වී සිටියා.  
 
එවකට පහතරට ප‍්‍රදේශයේ පැවතුණේ ලන්දේසි පාලනයකි. ඔවූහු ඕලන්ද රෙපරමාදු ක්‍රිස්තියානි ආගම ද, පෘතුගීසි රෝමානු කතෝලික ආගම ද ඇදහීය. පහතරට බහුතරයක් සිටියේ රෝමානු කතෝලික ආගම අදහන පිරිසකි. ලන්දේසීන් විවිධ බදු පනවා, කරදර ඇති කර ඔවුන්ගේ ආගමට බඳවා ගැනීමට කටයුතු කළේය. මේ බව දෙවැනි රාජසිංහ රජුට සැල කිරීමෙන් පසු පෘතුගීසි සම්භවයක් ඇති කතෝලික ආගම ඇදහු ජනතාව රැගෙන විත් මාතලේ වහකෝට්ටේ (ගලේවෙල මාතලේ පාරේ) පදිංචි කරවූහ. ඒ ආකාරයේ වහකෝට්ටේ පදිංචි කාන්තාවක් ගැස්කොන් විවාහ කර ගන්න ඇත. ඔවුන් දෙදෙනාට දාව පිරිමි දරුවකු සහ ගැහැනු දරුවකු බිහි විය. ඉන් පිරිමි දරුවා වූයේ පේදුරු දස්කොන්ය.   
 
පියා රජ මාලිගයේ ඉහළ තනතුරක් දරමින් සිටි බැවින්, කුඩා දස්කොන් එහි නිතර ගැවසෙන්න ඇති. ඒ අාකාරයෙන් රජ ගෙදර හැදුණ නිසාම දෙවැනි රාජසිංහගෙන් පසු බලයට පැමිණෙන දෙවැනි විමලධර්මසූරිය රජතුමාගේ පුතා වන නරේන්ද්‍රසිංහ කුමාරයාගේ වයසේ පසු විය. සම වයසේ පසු වූ ඔවූහු කුඩා කාලයේදී එකට සෙල්ලම් කළෝය. ඒ අනුව රජ මාලිගයේ බොහෝ වැදගත්, හිතෛෂී කටයුතු තොරතුරු රහස් දැන සිටි කෙනෙක් විදියට දස්කොන් හඳුනා ගත හැකිය.   
 
දෙවැනි විමලධර්මසූරිය රජතුමාගෙන් පසු බලයට පැමිණෙන, ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා, රාජ්‍ය පාලනයට වඩා ස්ත්‍රීන් ඇසුරට සහ සුරාවට ගිජු රජකු වශයෙන් සඳහන් වේ. ඒ නිසාම සෙල්ලං නිරිඳු නැතිනම් කුණ්ඩසාලේ නිරිඳු වශයෙන් ද හැඳින්විණි. එදවස ප‍්‍රධාන පාලන මධ්‍යස්ථානය නැතිනම් රාජධානිය මහනුවර පැවතුණ ද, උප අග නගරය වූයේ කුණ්ඩසාලේය. දස්කොන් සහ නරේන්ද්‍රසිංහ කුමාරයාගේ කුඩා කාලය ගත වෙන්නේ කුණ්ඩසාලේය.   
 
කෙසේ වෙතත් නරේන්ද්‍රසිංහ රජු බලයට පැමිණ වසර දෙකක් ගිය පසු කැරැල්ලක් ඇති වේ. යාලේගොඩ මහ අදිකාරම් එහි ප‍්‍රධානියෙකි. ඔහු මාතලේ දිසාව භාරව සිටියේය. මහනුවර මහමළුවේ පැවති ඇත්පොරයකදී රජතුමා ඝාතනය කිරීමට උත්සාහ කර ඇත. දෙවැනි අදිකාරම රන්මොලක මේ බව දැනගෙන රජතුමාට පැවසීමෙන් පසු, හුලංගමුවේ මොහොට්ටාල, ඇහැලේපොළ රාළ (ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ සමයේ සිටි ඇහැලේපොළ අදිකාරමගේ මීමුත්තා), ගස්කොන් අප්පුහාමි, මාදන්වල රාළ යන රදළවරුන් සමඟ උඩවත්තකැලේ හරහා කුණ්ඩසාලයට පැන යයි. පසුව කැරලිකරුවෝ පරාජයට පත් කර ඔවුන් හිස ගසා දමා මරණයට පත් කර දේපළ රාජ සන්තක කරයි. රාජ සන්තක කළ දේපොළවලින් කොටසක් තමන්ට උදව් උපකාර කළ ඉහත රදළවරුන්ට බෙදා දෙන ලදී. ඉන් එක් රදළවරයෙකි දස්කොන්. දස්කොන් රජු සමඟ කුඩා කළ සිට තිබූ හිතවත්කම සහ කැරැල්ලෙන් බේරාගත් නිසා යාලේගොඩ මහ අදිකාරමගෙන් පුරප්පාඩු වූ මහ අදිකාරම් තනතුර ඔහුට ලබා දෙනවා.   
 
ඉන් ටික කාලකට පසු, ප‍්‍රමිලා බිසවට යක්ෂ දෝෂයක් ඇති වේ. ඉන් මිදීම සඳහා බලියක් යැවිය යුතු බව ඇඳුරෝ පවසති. ඒ සඳහා බිසවගේ හැඩයට බලියක් අඹන ලදී. රජතුමා සමඟ පැමිණෙන දස්කොන්ගෙන් මෙහි ඇති අඩුපාඩුවක් තිබේ නම් පෙන්වා දෙන මෙන් ඉල්ලා ඇත.   
 
රජතුමනි, බිසවගේ කලව ප‍්‍රදේශයේ ඇති ලපය නැහැනේ.   
 
නොපෙනෙන තැනක නැතිනම් කලවේ ඇති ලපය ගැන දස්කොන් දන්නේ කෙසේද? ඒ ගැන සොයා බැලීමේදී දස්කොන් ප‍්‍රමිලාගේ සම්බන්ධය ගැන රජුට දැන ගැනීමට ලැබී තිබේ. අවසාන වශයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද ගේය පද රචනය වෙත අවධානය යොමු කරවමි.  
 
දස්කොන් සකි සඳ   
ඉක්මන් ගමනින්  
නොඑනා ගමනකි යන්නේ...  
සක්මන් මළුවේ   
බැඳි පෙම් තොරණේ   
මල් දම් ගිලිහී යන්නේ.....  
 
 
ස්තුතිය - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන පුස්තකාලයේ, පුස්තකාල සේවක (ලංකා කාමරයේ) එච්.එම්. හේරත් බණ්ඩා, මහනුවර අශෝක ජයවර්ධන යන මහත්වරුන්ට   
 
ඡායාරූප සහ සටහන 
සිසිර කුමාර බණ්ඩාර