ෂඩ්භාෂා පරමේශ්වර වාගීශ්වරාචාර්ය තොටගමුවේ ශ්‍රී රාහුල සංඝ රාජයාණන් වහන්සේ ගැමි ජනයාගේ අනේකවිධ ගෞරවයට පාත්‍ර වූ සේක. උගත් නූගත් දෙපක්ෂයේම අසීමිත ආදර ගෞරවයට පත්වූ සංඝරාජ මාහිමියෝ අපූර්වාකාර ගති ලක්ෂණවලින්ද යුක්ත වූ සේක.   
 
එදා රුහුණේ මහා තක්සලාව ලෙස කීර්තියට පත්වූ ශ්‍රී විජයබා මහා පිරිවෙන ගොඩනගා එහි අධිපති බවට උන්වහන්සේ පත්වූ සේක. එවකට අම්බන මහා ගල්ලෙන් ආශ්‍රමය තුළ වැඩහිඳ යකුන්ගෙන් පවා වැඩගෙන අතිදුර්ලභ ඖෂධ වර්ග හිමාලයෙන් පවා ගෙනවුත් ශ්‍රී සරස්වතී තෛලය හා මහා හෙණරාජ තෛලය වැනි තෙල් වර්ග සිඳ ඒවායින් කළ මහා හාස්කම් ගැන එදා මෙදාතුර බොහෝ ජනවහර ප්‍රචලිතය.   
 
දෙමටාන ගමේ කඳවුරු කුලයේ උපත ලද කුඩා දරුවා කුඩා කල සිටම මුඛරි බව පළ කළ අතර අද්භූත ගති පැවතුම්වලින්ද සමන්විත වූ බව ජනප්‍රවාදයයි. වීදාගම මෛත්‍රීය සංඝරාජයාණන් දිනක් දෙමටාන ගම හරහා කිසියම් කාර්යයක් සඳහා වඩින විට සිදුවූ අපූර්වාකාර සිද්ධියක් බොහෝදුර දිග ගිය බව ප්‍රකාශිතය. අවට වල්බෙලි පඳුරුවලින් ගහනවූ වෙල්යායේ මැද වූ දියකඩිති කීපයකි. එහි බිලී බාමින් සිටි කොලු ගැටයෙක් දුටු සංඝරාජ හිමියෝ නැවතී ඒ ළමයාගෙන් මෙසේ විමසූ සේක.   
 
“ළමයා අද ඔය පරාණගාත අකුසල් කරල කොයි වළ යන්නද?” “මේ වළේ නැත්නම් ඉහළ වළට යනවා” යයි මුඛරි ලෙස ළමයා පිළිතුරු දුන්නේය. සංඝරාජ හිමියන්ගේ හිත කීරිගැසී මවිතයට පත්විය.   
 
“අද අටවක නේද?” සංඝරාජ හිමියෝ එදා අටවක පෝයදා බව මතක් කර දුන් සේක. තම බිලී පිත්තේ දියට දමා තිබුණ නූලේ කෙළවර එළියට ගෙන එහි අග බැඳ තිබුණ බිලීකටුව අතටගෙන පෙන්වමින් මෙසේ කීවේය.   
“හාමුදුරුවනේ ​මේක ඇති අටවකක් නෑ මේ බලන්න මේකෙ තියෙන්නෙ එක වකයි”   
 
ඒ ප්‍රකාශයෙන් හාමුදුරුවෝ වඩාත් මවිත වූ සේක. කියන්ට යමක් හිතට නොනැගි නමුත් “මුගේ තියෙන මොරොං” යැයි හිමියෝ වදාළ සේක. එය ඇසෙනවාත් සමගම ළමයා කීවේ “හාමුදුරුවනේ මොරත් කෝන් වගේ නේ” යනුවෙන්ය. ස්වාමීන් වහන්සේ වැඩිය කාරණය නිමවා ආපසු පැමිණෙන විට ඒ ළමයා දෙනෝදාහක් ගමන් කරන ඒ අඩිපාරේ කෙළවරක ශරීරකෘත්‍ය කරමින් සිටියේ කුරුම්බා කැබැල්ලක්ද කන ගමන්ය. ඒ දුටු සංඝ රාජයාණන් වහන්සේට ඇතිවූ පිළිකුළ මෙසේ ප්‍රකාශ කළ සේක. “ළමයා මේ දෙනෝදාහක් යන පාරෙ ඔය මොකද්ද කරන්නේ”   
 
“හාමුදුරුවනේ මේ පරණ බඩු බානවා, අලුත් බඩු පටවනවා’ යයි ළමයා පිළිතුරු දුන්නේය.   
 
“මේ දෙනෝදාහක් යන පාරෙ ඔහොම කැත කළාම හරිද?’ හාමුදුරුවෝ විචාළ සේක.   
 
“හාමුදුරුවනේ වැඩිය කතාකරොත් ගගා කනවා” යයි ළමයා පිළිතුරු දුන්නේය. සංඝරාජ හිමියෝ යමක් වටහාගත් සේක. කතාව නතර කළ සේක.   
 
අග්ගමහා පණ්ඩිත මහා ඤාණප්‍රදීපයක් බඳු පරසිත් දන්නා සංඝරාජයෝ දෙමටාන ගමේ මේ දරුවාගේ නිවස සොයා දිනක් වැඩම කළ සේක. හිමියන් එහි වැඩම වන විට ළමයා පිල මත හිඳගෙන සිටිනු දැකීමෙන් එය ළමයාගේ නිවස බව සිතා එහි වැඩම කළ සේක. ස්වාමීන් වහන්සේ වඩින අවස්ථාවේ ළමයාගේ මව මිදුලේ හාල් ගරමින් සිටියාය. ස්වාමින් වහන්සේ නිවස කරා වඩිනු දුටු ළමයා මේ සිදුවීම අළලා කවියක් කීවේය.   
 
සීන් සිනිඳු සිනිඳු ලොලේ   
සීන් ඉඟට ඇඳි සේලේ   
හාල් ගරන කත මිදුලේ   
දැක සඟනෙක් ලොබය කෙළේ   
 
කවිය ඇසීමෙන් මවිතයට පත් සංඝරාජයාණන් වහන්සේ පරාක්‍රමබාහු රාජමාලිගය කරා ළමයා රැගෙන වැඩම කළ සේක. ළමයාගේ මුඛරිකම හා හැකියාවන් ගැන කරුණු කාරණා ප්‍රකාශ කළ සංඝනායක ස්වාමීන්ද්‍රයෝ අනාගතයේ මේ ළමයා අසාමාන්‍ය චරිතයක් බවට පත්වන බවද ප්‍රකාශ කළ සේක. රජතුමා ළමයා රජ වාසලේ රඳවාගෙන වැඩුණ පසුව සසුන් ගත කරන බවද දැන්වූ සේක. රජතුමා ළමයාගේ තොරතුරු විමසීය.   
 
ළමයා දුන් පිළිතුරු ඉතිහාසගතය.   
මා වැනි බිලින්දා   
වර වර ළඟට කැන්දා   
දුක් සැප කුමන්දා   
අසන නිරිඳෝ වෙන කොයින්දා   
 
රජතුමා කවිය අසා වඩාත් පැහැදුණේය. සියලු රාජ සම්පත් දරුවාට හිමිවුණේය. රාජ මන්දිරයේම වැඩුණේය. ජයබාහු කුමාරයා යන නමින් ප්‍රකටව වීදාගම මෛත්‍රීය සංඝරාජයාණන්ගේ ශිෂ්‍ය රත්නය ලෙස පැවිදිව තොටගමුවේ ශ්‍රී රාහුල නමින් ප්‍රසිද්ධියට පත්වූසේක.   
 
කෝට්ටේ රාජමාලිගාවේ සිට තොටගමුවට වැඩ වදාළ රාහුල මාහිමියෝ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලැබ තොටගමු රාජ මහා විහාරයද කරවා තොටගමුවේ විජයබා මහා පිරිවෙන් ආරම්භ කොට එය එදා රුහුණේ තක්සලාව බවට පත්කොට කරන ලද උදාර ශාස්ත්‍රීය හා ආගමික සේවය වාර්තා ගත විය.   
 
සංදේශ කාව්‍ය අතරින් වඩාත් ජනප්‍රිය වූයේ සැළලිහිණි සංදේශයයි. උළකුඩේ ලෝකනාතා දේවියට පුත් රුවනක් ලබාදීමේ අරමුණින් රචිත සැළලිහිණි සංදේශය විභීෂණ දිව්‍ය රාජයාට ඔප්පු කිරීමට සකස්වූ සංදේශයයි. එමගින් ලෝකනාථා දේවිය ලද පුත්රුවන සපුමල් කුමාරයාය. සපුමල් කුමාරයා ගැන සැලළිහිණි සංදේශයේ මෙසේ සඳහන් වන්නේය.   
 
නිලතුරඟුට නැගෙමින් රිවිදෙව් සිරින   
දුලකර සේසත් මිණිබරණ කිරණින   
බළ පිරිසෙන් සහ යාපා පටුන් ගෙන   
බල සේනානායක සපු කුමරු එන   
 
තොටගමුවේ විජයබා මහා පිරිවෙන් විහාරය වන රන්පත් විහාරයේ මහා සංඝරත්නයේ පරිහරණය පිණිසවූ විශාල දිය සනසන පොකුණ තුළට එවකට විහාරයේ ආවතේව කළ මෝඩ ගති තිබූ අන්දරා නමැත්තා වැටී මියගියේය. තොටගමුවේ ශ්‍රී රාහුල මහා සංඝරාජයාණන් වහන්සේ ඒ වෙනුවෙන් කී කවියද තවමත් බොහෝ අසල්වාසී වැඩිහිටියන්ට මතකය.   
 
ගහක් ගලක් නම් කප්පා ගොඩ අදිමි   
යමෙක් කළා නම් පන්සිය පළි ගනිමි   
ලෙඩක් හැදුණි නම් හත්දා බලි අරිමි   
අන්දරා ළිඳේ වැටුණට මක් කරමි   
 
 
 
කිරළගහවෙල මාර්ටින් ජයවර්ධන