ජ්‍යොතිෂය පට්ටපල් බොරුවකි. ඔබට මේ වාක්‍යඛණ්ඩය අන්තර්ජාලය හා ප්‍රසිද්ධ ජනමාධ්‍ය තුළින් හමුවී ඇතිවාට සැකයක් නැත. වසර පන්දහස් ගණනාවක තිස්සේ ආයුර්වේදය සමග බද්ධව පැවතෙන ජ්‍යොතිෂය පිළිබඳව එවැනි සාහසික චෝදනාවක් කිරීම සාධාරණද? ජ්‍යොතිෂය නිවැරදියි කීමට හෝ එය වැරදියි යයි වර්ග කිරීමටත් එම අදහස සමාජ ගත කරන්නටත් පෙර එය ගැන යම් ආකාරයක විමර්ශනයක්, එසේත් නැත්නම් හැදෑරීමක් කළ යුතු නොවේද?   


කෙනෙකුට ඕනෑම අදහසක් තමාගේ මතය ලෙස තබා ගැනීමෙහි වරදක් කිව නොහැක. ඒ ගැන කිසිවකුට ප්‍රශ්නයක්ද නැත. නමුත් එම අදහස ඔහු සමාජයට ගිල්වන්නට බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔහු සාධාරණ විය යුතු නොවේද? අඩුම වශයෙන් එකී විෂය ගැන මූලික දැනුම හෝ ලබා තිබිය යුතුය යනු මගේ විශ්වාසයයි. අයෙක්, එසේ නොමැතිව තම තමන්ගේ හිතළු කිසිම පදනමකින් තොරව මහා පඬි වදන් මෙන් සමාජගත කරන්නට සැරසෙයි නම් එය අමනෝඥ ක්‍රියාවක් නොවන්නේද? එවැනි දෙයින් සමාජයට සිදුවන්නේ අවැඩක්ම බව මගේ විශ්වාසයයි.   


නොයෙක් තර්ක විතර්ක යොදමින් ජ්‍යොතිෂය ශාස්ත්‍රය බොරුවක් බව පෙන්වීමට සමහරු දහසක් දේ කියති. ඉතාම මතුපිටින් දිවෙන පුහු තර්ක ඔස්සේ යමින් ජ්‍යොතිෂය මුළාවක් බව සඵත කරන්නට වෙර දරති.   
ඔවුන්ගේ එම ප්‍රකාශයන් කීපයක් පහත සඳහන් කරමි.   


ඔවුනට අනුව ජ්‍යොතිෂ්‍යර්වේදියා පණ බේරාගන්නේ පහත දැක්වෙන උපක්‍රම යොදමින් අනාවැකි කියන නිසාය.   


1. ඒ ඒ වයස් කාණ්ඩ වල අයට අදාළ වයස්වලදී සාමාන්‍යයෙන් වැළඳෙන රෝග ගැන කියමින් අනාවැකි පළකිරීම.   
2. යමක් නිශ්චිතව නොපවසමින් සාමාන්‍යකරණය කළ දියාරු ආකාරයේ අනාවැකි පළකිරීම   
3. ‘ඔබගේ රැකියාව ජලය හා සම්බන්ධ වේ’ වැනිවූ නියම එල්ලයක් නැති අනාවැකි පළකිරීම   
ඒ අතර ඔවුනට අනුව ජ්‍යොතිෂය වැඩකට නැති ශාස්ත්‍රයක් වන්නේ මෙම පහත දැක්වෙන කාරණා නිසාය.   
4. කෙනෙකු මිය යන දිනය කීමට නොහැකියාව   
5. මියගිය අයගේ ජන්ම පත්‍ර ජීවත්වන අයගේ ජන්මපත්‍ර වලින් වෙන් කොට හඳුනාගත නොහැකිවීම   
6. කාන්තාවකගේ දරුවන් ගණන ගැන කීමට අපොහොසත් වීම   


ඇත්තෙන්ම මෙම කරුණු සියල්ලම පොදුවේ ගත් කළ එක හා සමාන බවක් තිබේ. මෙවැනි තර්ක යමෙකුගේ මනසට එන්නේ ඔහු ජ්‍යොතිෂය යනු කුමක්දැයි මළපොතේ අකුරක් නොදන්නා නිසාවෙනි.   


සාමාන්‍යයෙන් ජ්‍යොතිෂය කටයුත්තකදී මූලිකව සිදුවන්නේ, කිසියම් කෙනෙකුගේ ජන්ම වේලාව සහ ඔහු උපත ලද ස්ථානය අනුව ඔහුගේ ජන්ම පත්‍රය සකසා ගැනීම වේ. මීට අමතර තවත් ප්‍රභේද කිහිපයක ජ්‍යොතිෂය කටයුතු තිබෙන නමුත් මේ අවස්ථාවේදී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ මෙයට පමණි.   


ජන්ම පත්‍රය වනාහී ඔහු ​හෝ ඇය උපත ලද මොහොතෙහි තිබූ රාහු කේතු ඇතුළු ග්‍රහයන් ගේ අජටාකාශ පිහිටීම දැක්වෙන ආකෘතික සටහනකි. එය යම්කිසි නීති පද්ධතියකට අනුව විශ්ලේෂණය කරමින් සහ විග්‍රහ කරමින් ඔහුගේ ජීවිත ගමන සම්බන්ධයෙන් තොරතුරු ගෙනහැර පෑම ජ්‍යොතිෂය මගින් සිදුකෙරේ.   


ඇත්තෙන්ම මෙම ජන්මපත්‍රය යනු කුමක්ද?   


එය ඉතාම අලංකාර වූ ආකෘතිමය සටහනකි. තවත් ලෙසකින් කියන්නේ නම් ​මොඩලයකි. එහි සූර්යා ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයද ඡායාග්‍රහයන් වශයෙන් රාහු සහ කේතුද අදාළ රාශි තුළ සිටිති. ඇත්තෙන්ම කේන්ද්‍රයක් කෙතරම් චමත්කාර ජනක ආකෘතියක්ද යන්න සිතා ගැනීමටවත් අපහසු තරම්ය. ඒ ඒ ග්‍රහයන්ගේ ලක්ෂණ සිය ගණනින් සම්පිණ්ඩනය කරන අතරතුර කලාත්මක බවක්ද ඇතුළත් කර ඊටත් අමතරව ස්වභාව ධර්මයේ නීතිවලටද පටහැනි නොවනසේ එය සකසා ඇත.   


උදාහරණයක් වශයෙන් රවි යනු සූර්යා වේ. සූර්යා ග්‍රහලෝකයක් නොවේ, එය තාරකාවකි. නමුත් ජ්‍යොතිෂයේදී එය ආවේණික ගතිගුණ සහ ලක්ෂණ යොදා ගනිමින් සහ ඒවා ආදේශ කරමින් එයට රාජ කුමාරයෙකු ගේ රුවක් ලබාදී තිබේ. ඉතා ගාම්භීර, තේජසින් හෙබි, වර්ණවත් සමකින් අලංකාරවත්වූ කාටත් ජීවය දෙන කුමාරයා ඔහුය. මේ කුමාරයා කිසියම් තැනක ජීවමානව සිටින හෝ සිටි කෙනෙක් නොවේ. ඒ ආකෘතියකි. ඔහු නිරූපණය කරන්නේ හිරු නම් තාරකාව මිනිසාට පෙනෙන ආකාරයයි. හිරු මිනිසාට සලකාවි යයි සිතෙන ආකාරයයි.   


මේ කියූ හිරු ජන්ම පත්‍රයේ සිටින ස්ථානය සහ එහි ස්වභාවය අනුව එම ජන්ම පත්‍රය හිමියාට හිරු නම් වූ ආකෘතියේ තිබෙන ලක්ෂණ සහ ගතිගුණ අඩු වැඩි වශයෙන් ආරූඩ වේ.   


අනෙකුත් ග්‍රහයන්ද එසේමය. ඒ සියල්ල යම් යම් ගතිගුණ සහ ලක්ෂණ කැටි කරමින් තැනූ ආකෘතීන් වෙති. පෙර කී ආකාරයටම ඔවුහුද තම තමන් සිටින තැන් සහ ඔවුනොවුන් අතර තිබේ යයි සම්මත නීතිවලට අනුකූලව ජන්මියාට එකී ලක්ෂණ ගතිගුණ වලට දා යක වෙමින් ජීවන මාර්ගය සකස් කර දෙති.   


මෙම ග්‍රහයන්ට ලබාදී තිබෙන ලක්ෂණ සහ ස්වභාවයන් එකී ආකෘතීන්ට අපූරුවට ගලපා තිබේ. ඊට අමතරව තිබෙන නීතිරීති සම්මත, ගැළපීම්, නොගැළපීම්, උච්චවීම්, සතුරුවීම් සහ සංයෝගවීම් යන සියල්ලම එකතුව ගත් කළ එය ඉතා මැනවින් සකස් කළ ආකෘතිමය භාෂාවකි. එය අද දින අප දකින පරිගණක ආකෘතිමය භාෂාවක් ආකාරයට හැසිරවිය යුතුය.   


කේන්ද්‍රයක් බලන ජ්‍යොතිෂවේදියෙක් කරන්නේ එකී නීති පද්ධතියට අනුකූලව එම ආකෘතිමය භාෂාව කියවීමය.   


කේන්ද්‍රය කියැවීමේදී ඊට ආවේණික නීතිරීති, සම්ප්‍රදාය සහ ක්‍රමවේද තිබේ. එසේම මීට ආවේණික දුර්වලතා ද තිබේ.   


කේන්ද්‍රය පරික්ෂා කරන ජ්‍යොතිර්වේදියා කරන්නේ එහි සඳහන් වූ කරුණු කාරණා වලට අනුව යමින් අදාළ ජන්මියා ගැන පින්තූරයක් සිතේ ඇඳ ගැනීමයි. මේ පින්තූරයද එක් ආකාරයකට ජන්මියා සම්බන්ධයෙන් තනාගත් ආකෘතියක් වේ. සාමාන්‍යයෙන් එහි ජන්මියාගේ බාහිර පෙනුම, ගතිගුණ, දක්ෂතා, දුර්වලතා සහ යම්තාක් දුරකට ඔහුගේ ජීවන ගමන් මග යන කාරණා අඩංගු වේ. මෙහිදී කිවයුතු කරුණක් වන්නේ මෙසේ තනා ගන්නා ආකෘතිය කොතෙක් දුරට ජන්මියාට සමාන වන්නේද යන විෂය හුදෙක්ම ජ්‍යොතිෂ වේදියාගේ දැන උගත්කම සහ අත්දැකීම් මත රඳා පවතින බවයි. ඒ ඒ ජ්‍යොතිෂවේදියා භාවිතා කරන තාක්ෂණ ක්‍රම එකිනෙකට වෙනස් බැවින් මෙම අවසන් ප්‍රතිඵලය බොහෝ විට හරියටම සමාන වන්නේ නැත. අනෙකුත් ශාස්ත්‍ර වලදීද එවැන්නක්ම සිදුවේ.   


උදාහරණයක් ලෙස වෛද්‍යවරුන් 10 දෙනෙකු ළඟට යන රෝගියකුට එකම රෝගයට 100% සමාන බෙහෙත් ලැබෙන්නේ නැත. ඊට හේතුව එම ශාස්ත්‍රවල තිබෙන සංකීර්ණ ස්වභාවයයි. පොතේ තිබෙන දේට තමන් ද බුද්ධියෙන් කොටසක් එකතු කරන බැවින් එසේ සිදුවේ. හෝටලයකින් බනිසයක් ගන්නට යන කෙනෙකුට කොයි හෝටලයට ගියත් ලැබෙන්නේ බනිස්මය. නමුත් මෙවැනි ශාස්ත්‍රීය කරුණු වලදී එය එසේ නොවේ.   
අවසන් වශයෙන් ජ්‍යොතිෂවේදියා පලාඵල ලෙස එළි දක්වන්නේ අර කී තමන් විසින් ගොඩනගා ගත් ජන්මියාගේ ආකෘතියෙහි හඳුනාගත් ගතිගුණ සහ ස්වභාවය ආදී කරුණුයි. එ්වා පියවරෙන් පියවර විස්තර කිරීම මගින් ඔහු පලාඵල කථනයෙහි යෙදේ.   


දැන් ඔබට ප්‍රශ්නයක් වී ඇත්තේ මෙසේ සාදා ගත් ආකෘතිමය ජීවියාට සත්‍ය කුජ ගුරු සිකුරු ආදී ග්‍රහ වස්තුවලට තිබෙන සම්බන්ධය කුමක්ද කියා වන්නට හැකිය. මෙහිදී අප කළේ එම ග්‍රහයන් නියෝජනය කරමින් තනාගෙන තිබෙන ආකෘතීන්, සාමාන්‍ය ගණිතමය සමීකරණයකදී මෙන් X Y සහ Z ආකාරයෙන් යොදා ගනිමින්, ඒවා ජන්මියාගේ කේන්ද්‍රයේ පිහිටි කුජ ගුරු සිකුරු ආදීන්ට ආදේශ කොට එකී ජන්මියාගේ අවසන් ආකෘතිය සකස් කිරීම පමණය.   


මේ සඳහා එකී නිර්නායකයන් යොදා ගැනීමට හේතු භූත වූ සත්‍ය කාරණාව වෙනමම සාකච්ඡාවලට ලක්විය යුතු බරපතළ මාතෘකාවකි. එය මෙම ලිපියට ඇතුළත් කිරීමට බලාපොරොත්තු නොවෙමි. විශ්වයේ තිබෙන කුජ ගුරු ආදී ග්‍රහ වස්තු කෙසේ මෙම ජන්මියාට බලපෑම් කරයිද යන්න ගැන ඔබ සාමාන්‍ය ජ්‍යොතිෂවෙදියකුගෙන් ඇසීමෙන්ද ඵලක් නැත. ඇත්තෙන්ම ඔහු එය දන්නේ නැත.   


පරාශර නම් සෘෂිවරයා ඇතුළු පුරාණ සෘෂිවරුන්ගේ චින්තනයෙන් කල එලි දුටු මෙම සංකීර්ණ ගණිතමය සංකල්පය සහ සමීකරණය, අදාළ නිර්නායක යොදා ගනිමින් අවසාන ප්‍රතිඵලය ලබාගැනීමට පමණක් අද දවසේ ජ්‍යොතිෂවේදියාට හැකිවී තිබේ. සෙනසුරුගේ හෝ සිකුරුගේ ආකෘතියක් කෙසේ තමන් ළඟ සිටින ජන්මියාගේ ජීවිතය හැඩගස්වන්නේදැයි ඔහුට අවබෝධයක් නැත. එය සැබෑ සෙනසුරුට හෝ සැබෑ සිකුරුට කොයි යම් ආකාරයකින් සම්බන්ධ වන්නේදයයි ඔහුට හාංකවිසියක් හෝ නැත. නමුත් එය එසේ සිදුවන බව පමණක් ඔහුට ප්‍රත්‍යක්ෂය. අත්දුටු දෙයින් ඔහු එය දනී. කේන්ද්‍රයේ තිබෙන දෑ එහි අයිතිකරු ජන්මියාට ටිකින් ටික සිදුවන බව පමණක් ඔහුට දැනී තිබේ.   


මේ ගැන පුදුම වන්නට දෙයක් නැත. සත්‍ය ක්‍රියාකාරීත්වය කෙසේ සිදුවන්නේදැයි කිසිසේත් නොදැන එනමුත් මූලික නිර්ණායක සහ සමීකරණය පමණක් අතැතිව අවසන් ප්‍රතිඵලය ඵලදායී ලෙස ලබාගන්නා මෙවැනි ශාස්ත්‍ර තවත් ඕනෑ තරම් තිබේ. උදාහරණයක් ලෙස වෛද්‍ය ශාස්ත්‍රයේ එන මෙට්ෆෝමින් (Metformin) නම් ඖෂධය සලකා බලන්න. එය නොදන්නා කෙනෙක් නැති තරම්ය. දියවැඩියා රෝගයටත් තවත් රෝග කීපයකටත් ප්‍රතිකාර වශයෙන් එය බහුල වශයෙන් යොදා ගනී. 1922 දී සොයා ගත් එම ඖෂධයේ සත්‍ය ක්‍රියාකාරීත්වය අද වනතුරුත් කිසිවෙක් නොදනී. රෝගය සුව වෙන බව පමණක් ප්‍රත්‍යක්ෂය. නමුත් කෙසේද? යමෙක් එම ඖෂධය නියම කරන විටෙක එය කෙසේ ක්‍රියාකරයිද කියා ඇසුවහොත් වෛද්‍යවරයාට කීමට දෙයක් නැත.   


ඒ නිසා එවැනි තත්ත්වයක් ගැන ජ්‍යොතිෂවේදියාගෙන් ප්‍රශ්න කිරීම තේරුමක් නැති දෙයකි. ඔහු නොදන්නා දෙයක් ඇසීමෙන් පලක් නැත.   


වෛද්‍යවරයකු ගනිමු. ඔහු උපාධිය ලබා වසර ගණනාවක සේවයෙනුත් පසු අප සිතනවානම් ඔහුට වෛද්‍ය ශාස්ත්‍රයේ සියලු දස්කම් කළ හැකියයි කියා එය සත්‍යයක් නොවේ. ඔහු මෙතෙක් පුහුණු නොවූ කිසිම දෙයක් කිරීමට අපොහොසත් වනු ඇත. ඔහුට හෘදීය සැත්කමක් කිරීමට හැකිවන්නේ නැත. පිටියුටරි ග්‍රන්ථිය ශල්‍යකර්මයක් කිරීමට හැකිවන්නේ නැත. ඒ සඳහා වෙනමම පුහුණු විය යුතුය. එසේ හෙයින් මෙවැනි ශාස්ත්‍රයක උපරිම මට්ටමේ ක්‍රියාකාරකම් මේ අවට සිටින යන්තම් පණ නළ ගැටගසාගත් ජ්‍යොතිෂ වේදියකුගෙන් බලාපොරොත්තු වීමම විහිළුවකි.   


ඔබගේ කේන්ද්‍රය පරික්ෂා කිරීමෙන් පසු පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටින්න. ඒවා පහසුවෙන් සොයා ගත හැකි දත්තයන් වේ.   


1. සෞඛ්‍ය තත්ත්වය - කේන්ද්‍රය ඇත්තෙන්ම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය විදහා දක්වයි. ඔබට කෙදිනක හෝ සෑදෙන්නට ඉඩ ඇති එසේම ඔබගේ නැඹුරුවක් තිබෙන රෝගාබාධ එහි පැහැදිලිව සටහන් වී ඇත. විශේෂයෙන්ම හෘද රෝග, වකුගඩු රෝගය සහ දියවැඩියාව සඳහන් කළ හැකිය. කල්වේලා ඇතිව මේවා දැනගැනීම මගින් ඔබට ඒ සම්බන්ධයෙන් ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරමින් රෝග වළින් වැළැක්වීමට අවස්ථාව සලසා දෙනු ඇත.   


2. ඔබගේ මුදල් පරිහරණය ඔබ අධික වියදම් සහිත අයෙක්ද, ව්‍යාපාරයකින් ලාභ ලැබිය හැකි තත්ත්වයක් තිබේද වැනි වූ කාරණා ජීවිතයට ඉතා වැදගත් වේ. එතුළින් ඔබගේ ආර්ථිකය නිසියාකාරව හැඩගැන්වීමට මහඟු රුකුලක් ලැබේ.   


3. විවාහය සම්බන්ධයෙන් සුවිශේෂී තොරතුරු ලබාගත හැකිය. ජීවිතය හැඩගස්වා ගැනීමට මහෝපකාරී වන තරමේ තොරතුරු මෙහි ඇත. කලත්‍රයා සොයා ගැනීමේදීත් ඊට පසුවත් මේ තොරතුරු වැදගත් වනු ඇත.   
4. අනතුරු හදිසි අනතුරු වලට ඔබ කෙතරම් නැඹුරුදැයි ලේසියෙන් සොයාගත හැකිය. ඒ අනුව යම් යම් වකවානුවලදී ප්‍රවේසම් වීමට හැකිවනු ඇත. 

 
5. විදේශ ගමන් දීර්ඝකාලීන විදේශ ගමන් සම්බන්ධයෙන් තොරතුරු බොහෝ කේන්ද්‍ර වල සොයා ගත හැකිය.   


6. විශේෂ දක්ෂතා සංගීතය වැනි විෂයන්හි විශේෂ දක්ෂතා කේන්ද්‍රයේ සටහන් වී ඇති බව ඉතාම පැහැදිලිය.   


සොයා ගැනීමට අපහසු සහ කිසිසේත්ම සොයා ගැනීමට නොහැකි තොරතුරු ගැන ඔබ ජ්‍යෝතිෂ වේදියාගෙන් ප්‍රශ්න කිරීම තේරුමක් නැති දෙයකි. මෙය ඔහු විසින් ගොඩනගාගත් ශාස්ත්‍රයක් නොවේ. ඔහුට සපයා නැති අංශ වල වැඩ ඔහුට කළ නොහේ. මේ පහත දැක්වෙන්නේ එවන් කාරණා කීපයකි.   


1. දරුවකුගේ වෙලාවක් ලබාදී ‘මේ දරුවා ගැහැනුද පිරිමිද?’   


2. මේ කේන්ද්‍රය අයිතිකරු මැරිලද නැතිද?   


3. මෙයාට දරුවෝ කීයක්ද?   


4. මෙයා මැරෙන්නේ කවදාද? 

 
මීට අමතරව තවත් ආකාරයක ප්‍රශ්නවලට පිළිතුර සීමිත කේන්ද්‍ර ප්‍රමාණයක හොඳින්ම තිබේ. උදාහරණයක් වශයෙන් මගේ රැකියාව කුමක්ද යන්න ඉතා පැහැදිලිව මගේ කේන්ද්‍රයේ සඳහන් වී ඇත. නමුත් මා දකින බොහොමයක් කේන්ද්‍රවල රැකියාව සම්බන්ධයෙන් තොරතුරු වැසී පවතී. විශේෂයෙන්ම බරපතළ රෝග පිළිබඳව විස්තර තිබෙන කේන්ද්‍රවල අනෙක් තොරතුරු වැසී යන ස්වභාවයක් තිබේ.   


අධ්‍යාපනික තොරතුරු ගතහොත් එහි අඩුපාඩු තිබේ. ඊට හේතුව වශයෙන් මා දකින්නේ මෙම ශාස්ත්‍රයේ පැරණි බවයි. පරාශර සිටි කාලයේ තිබූ අධ්‍යාපන තත්ත්වය අදට සාපේක්ෂව බොහෝ සෙයින් වෙනස්ව තිබෙන්නට ඇත. එහි PhD හෝ MD MRCP වැනි තත්ත්වයන් ගැන සඳහන් වන්නට හේතුවක් නැත. නමුත් දුනු ශිල්පය හෝ යුද ශිල්පය මනාව ඉගෙන එහි විශේෂ දැනුමක් සහිත බව මෙහි පෙන්වනවා වන්නට හැකිය. කෙසේ වෙතත් මගේ කේන්ද්‍රය ඇතුළු බොහෝ කේන්ද්‍රවල, අධ්‍යාපන මට්ටම් දෙකක් හඳුනාගත හැකිවේ. එය මූලික පාසල් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය වශයෙන් මම දකිමි. 

 
අවසාන වශයෙන් කිවයුත්තේ අනෙක් බොහෝ ශාස්ත්‍රවල මෙන්ම ජ්‍යෝතිෂ ශාස්ත්‍රයේද අඩුපාඩු හා යම් දුර්වලතාද තිබෙන බවය. වෛද්‍ය ශාස්ත්‍රයේදී මෙන්ම එහිදීද කිසිවක් නිශ්චිතව කීමට අපහසු අවස්ථාද එමටය. අපි යම්කිසි ශාස්ත්‍රයක් විශ්ලේෂණයට භාජනය කරනවා නම් ඒ ගැනද සැලකිය යුතුයයි සිතමි. 

 
මගේ නම් එකම අදහස මෙතරම් වටිනා ශාස්ත්‍රයක් හරිහැටි ප්‍රයෝජනයට නොගන්නේ මන්ද යන කාරණයයි. නිසි ලෙස යොදා ගන්නේ නම් එය කෙනෙකුගේ ජීවිතයට මහත් ආලෝකයක් ලබාදෙනු නියතය.   

 


වෛද්‍ය සාලිය අමරසිංහ