IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජ්‍යොතීර්වේදියකුගේ අත්දැකීම් බිඳක්

ජ්‍යොතිෂයෙන් ඉදිරි කාලය පිළිබඳ කිසිවක් කිව නොහැකි යයි සමහරු තර්ක කරති. කිව නොහැකි දේවල් ප්‍රබන්ධ කර බොරු ගොතා කියන පුද්ගලයන් නිසා ජ්‍යොතිෂය ගැන වැඩි විශ්වාසයක් තැබීමට මිනිස්සු අකමැති වෙති. එහෙත් මා මෙහි පහතින් සඳහන් කරන කරුණ වැනි දේ ප්‍රකාශ කිරීමට ජ්‍යොතීර්වේදියකුට අමාරු නැත.   


ලංකාවේ අනාගත ජනාධිපති කවුද? සුනාමියක් කවදා පැමිණේද? නාය යෑම්, සුළි සුළං වැනි ස්වභාවික ආපදා සිදුවීම වැනි දේ ගැන අනාගත වාක්‍ය කිව හැකි ජගතකු නැත. එවැනි දෙයක් සිදුවුණාට පසු තමා ඒ ගැන කලින් කියා ඇතැයි කියන පුරසාරම්කාරයින් ලංකාවේ අඩුවක් නැත. ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා ගෙන් එක් අයකු දිනනවා යයි එක ජ්‍යොතිෂඥයකු කියන විට අනෙක් අපේක්ෂකයා දිනනවා යයි තවත් ජ්‍යොතිෂඥයෙක් කියයි. අනිවාර්යයෙන්ම මේ අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයකු දිනන බව සෑම දෙනාම දනිති.   


මෙවැනි ප්‍රකාශ කිරීමට ජ්‍යොතිෂ දැනුමක් අවශ්‍ය නැත. සූදු ක්‍රීඩා කරන ඔට්ටු අල්ලන අයටත් එය කළ හැකිය. කියන ලද අනාවැකිය වැරදුණු පසුත් එයට හේතු දක්වා නිදොස් වීමට උත්සාහ කරන අය ගැන අප අසා ඇත.   


එහෙත් මා එක් ශිෂ්‍යාවක ගේ හඳහන බැලුවේ ඇය හත අට පන්තිවල ඉගෙන ගන්නා කාලයේදීය. ඇගේ හඳහනේ රවි දහයේ උච්චව තිබුණි. බුධ සහ ගුරු ද තවත් තැන්වල උච්චව තිබුණි. තවත් බලවත් ග්‍රහයෝ කීපදෙනෙක් සිටියහ. ඇයට වෛද්‍යවරියක වීමට හැකි වෙතැයි මම භය නැතිව කීවෙමි. සාමාන්‍ය වෛද්‍යවරියක් වී නොනැවතී ඇය විශේෂඥ වෛද්‍යවරියක් වන බව මම කීවෙමි. ඇය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ද උසස් පෙළ විභාගයෙන් ද උසස් ලෙස සමත් වූවාය. ඇය දැන් වෛද්‍ය විද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යාවකි. ඉතිරි හරිය ද ඇය අනිවාර්යයෙන්ම කරගනු ඇත.   


විවාහ ගැළපීමේදී පළමුවෙන්ම විවාහය ගැන කියවෙන හත්වන කොටුව ගැළපෙනවාදැයි බැලිය යුතුය. ඊට පසු කුජ ශනි යෝගය, කුජ සිකුරු යෝගය වැනි විවාහයට තදින් බලපාන ග්‍රහ පිහිටීම් ගැන සලකා බැලිය යුතුය. පොරොන්දම් බැලිය යුත්තේ එයිනුත් පසුවය. අප මෙසේ පුවත්පත් මගින් කරුණු පැහැදිලි කළත් ඒවා නොබලන ඒවා නොසළකන ප්‍රවීණ ජ්‍යොතීර්වේදීන් ලංකාවේ බොහෝ සිටින බව පෙනේ. බොහෝ ජ්‍යොතිර්වේදීන් කරන්නේ පොරොන්දම් පමණක් බලා විවාහ අනුමත කිරීමය.   


පසුගිය දිනක මෙය පැහැදිලි වන එක් සිද්ධියක් මට දකින්නට ලැබුණි.   


කොළඹ රජයේ කාර්යාලයක සේවය කරන තරුණියක ඇගේ සැමියාගෙන් වෙන්වීමට සහ වන්දි ලබා ගැනීමට නඩුවක් දමා තිබුණි. මේ සැමියා සමග විවාහ වී මාස අටක් බොහෝ කරදර මධ්‍යයේ ඇය සිටියාය. සැමියාගේ පහර වලින් නළල ගෙඩි ගැසී තිබියදී ඇය කාර්යාලයේ වැඩට ගිය බව දුක සේ මට කීවාය.   


විවාහයට කලින් ඇය ජ්‍යොතීර්වේදීන් පස්දෙනකුගෙන් පොරොන්දම් බලවා ගෙන තිබුණි. ඒ සියල්ලම ඇය මට පෙන්වූවාය. ඇත්ත වශයෙන්ම ඒ පස්දෙනාම බලා තිබුණේ පොරොන්දම් පමණි. පො​ෙරාන්දම් සියයට අසූ පහක්, අසූවක් ශුභ යයි කියා ඔවුන් විවාහය අනුමත කර තිබුණි. එකම ජ්‍යොතීර්වේදියකුවත් විවාහය ගැන කියවෙන හත් වන කොටුව ගැළපෙනවාදැයි බලා නොතිබුණි.   


විශේෂම සිද්ධිය වනුයේ පිරිමි හඳහනේ කුජ ශනි යෝගයක් තිබියදී කුජ ශනි යෝගයක් නැති ඇයට ඔහු ගළපා දීමය. කුජ ශනි යෝගය තිබෙන අය තද නීතිකාරයින්ය. සියල්ල පිළිවෙළට අවශ්‍ය වේ. කිසිවකු ඔහුගේ හෝ ඇයගේ පිළිවෙළ කැඩුවොත් ඉවසිය නොහැකි වේ. මුහුණට කඩා පනී. මෙය දවසින් දවස වර්ධනය වී මාස කීපයක් යන විට එහි උපරිමයට පත් වේ. කුජ ශනි යෝගයක් නැති අයකුට ඔහු හෝ ඇය සමග සිටිය නොහැකි වේ.   


කුජ ශනි යෝගය තිබෙන අය නිතර ගෙදර පිරිසිදු කරමින් පිළිවෙළට බඩු සකස් කරමින් සිටිති. කොතරම් වෙනත් වැඩ තිබුණත් පිරිසිදු කිරීමට බඩු පිළිවෙලට තැබීමට ප්‍රධාන තැන දෙයි. නිතර කොස්ස අතේ ඇති ස්ත්‍රියගේ හඳහනේ කුජ ශනි යෝගයක් තිබෙන බව කීමට හඳහනක් අවශ්‍ය නොවේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේත් මහණ දම් නොපුරා නිතර අමදමින් සිටි එක්තරා භික්ෂුවක් ගැන බණ පොතේ සඳහන් වේ.   


කුජ සිකුරු යෝගය අති ධාවන කාම යෝගයකි. විශේෂයෙන් එය හත් වැන්නේ යෙදීම අති ධාවනකාරී ගතිය වැඩිවීමට හේතුයි. බොහෝ මවුපියෝ තම දුවට පුතාට මෙම යෝගයක් තිබුණත් එවැනි අයකු යයි පිළිගැනීමට අකමැති වෙති. ඒ පිටතින් එවැනි දෙයක් නොපෙනෙන නිසාය. සමහරු මෙම යෝගය නරක එකක් යයි සලකති. ඇත්ත වශයෙන්ම එය නරක නැත. එය ලෝක ස්වභාවයයි. සමහරුන්ගේ කාම ශක්තිය වැඩිවීමත් සමහරුන්ගේ අඩු වීමත් ලෝක ස්වභාවයයි. කළ යුත්තේ ගැළපෙන සහකාරයකු හෝ සහකාරියක තෝරා දීමයි.   


එක්තරා තරුණියකගේ හඳහනේ හතේ කුජ සිකුරු යෝගයක් තිබුණි. එම හඳහන බලා මා කීවේ කුජ සිකුරු යෝගයක් ඇති අයකු හා විවාහ වීමටය. එහෙත් අහම්බෙන් හමුවූ තරුණයකු සමග ඇය විවාහ වූවාය. හඳහන් බැලීමක් නොකෙරුණි. කුජ සිකුරු යෝගයක් ඔහුගේ හඳහනේ නොතිබෙන්නට ඇත. දැන් ඇය සිටින්නේ දෙවැනි විවාහයේය. කෙසේ වෙතත් ඇය පළමු සිද්ධියෙන් පාඩමක් ඉගෙන ගෙන නොතිබුණි. මේ විවාහයේදී ද හඳහන් බැලීමක් නොකෙරිණි. ඔහුද අහම්බෙන් මුණගැසුණ තරුණයෙකි.   


කුජ කේතු යෝගය මිනිසා අකර්මන්‍ය කරයි. පුරුෂ ශක්තිය හීන කරයි. විවාහ ජීවිතයට අයෝග්‍ය කරයි. විවාහය කල්පසු කරයි. පිටින් පෙනෙන රූපයට අනුරූප ගතිගුණ අභ්‍යන්තරයේ නැති කරයි. මෙම ගති ලග්නය, හත් වැන්න, අට වැන්න යන ස්ථානවලදී වැඩියෙන් ප්‍රකට වේ. 

 
මවුපියන්ගේ යෝජනාවක් අනුව එක්තරා බැංකු නිලධාරිනියක් ඉහළ පෙළේ රැකියාවක් කරන අයකු හා විවාහ වූවාය. එම විවාහයේ ආයුෂ මාස කීපයකට සීමා විය. එයට හේතුව විදියට මා දකින්නේ ඇයගේ හඳහනේ හතේ තිබෙන කුජ කේතු යෝගයයි. එහෙත් මවුපියන් කියන්නේ එම පුද්ගලයා නරක සැරපරුෂ අධමයකු නිසා විවාහය කඩාකප්පල් වුණු බවයි. දෙවැනි විවාහයක් කරදීමට දෙමවුපියන් කොතෙකුත් උත්සාහ ගත්ත ද එය සාර්ථක නොවිණි. දෙමව්පියන් තම දියණියට විවාහයක් කරදීමේ උත්සාහය නතර කර නැත. එහෙත් දියණියගේ උත්සාහයක් නම් නැති බව පෙනෙන්නේ සියලුම යෝජනා මඟහරින නිසාය.   


මවුපියන් ගෙනා එකම හඳහනක්වත් ඇයට නොගැළපුණි. මේ නිසා ඇයට සුදුසු සහකරුවකු තෝරා දීමේදී මම මහත් අසීරු තත්ත්වයකට පත්වුණෙමි. කුජ කේතු යෝගය ගැන පතපොතේ සඳහන් කරුණු පෙන්වමින් කරුණු පැහැදිලි කළත් ඒවා ඔවුන්ට තේරුම් නොයන්නේ ඔවුන්ගේ උගත්කම නිසාදැයි සිතේ. මවුපියන් දෙදෙනාම උගත් විශ්‍රාමලත් රජයේ ඉහළ නිලධාරීන්ය. තම දරුවා ගැන වෙනසක් සිතීමට ඔවුන් අකමැති නිසා විය යුතුය.   

 

 


ජ්‍යොතීර්වේදී   
එඩී කරුණාතිලක,   
32, ගලවැටිමෝදර පාර, නල්ලූරුව පානදුර.  



අදහස් (0)

ජ්‍යොතීර්වේදියකුගේ අත්දැකීම් බිඳක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 606 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site