නාගොයා සයුරේ නගොයා සයුරේ   
මුතු මුතු නෙළුමට රළ මත පාවෙන   
දිය​ෙඹ් කිමිදෙන ඔරුවේ තනි වූ   
සොඳුරු කිඳුරු සරි මීන නයන   
යුවති අමා වන් කිඳුරු අමා වන්   
උවන සදිසි මිහිරිය යළි යළි සිහි වේ   
තනිවා රජ මැඳුර ඔබ පා යුග   
කවුළුව ඇස රැඳී ගැටෙන නිමේෂයේ   
නිරිඳකු විලසින මනරම් ඔබ රුව අභිමුව   
ඔබ නෙත් දැහැනෙ හද ඇඳි සිත්තම්   
බැඳෙන්නට   
පෙරුම් පුරන සඳ බොඳ වේ මිහිරිය 

 

ඉහත නිසඳැස් පද්‍ය 8 වන සියවසේ රචිත ජපන් සාහිත්‍යයේ දෘෂ්‍ය අංශයට නැඹුරු වූ මන් යොෂු උදාන කාව්‍යයේ ඇතුළත් පද්‍ය පංතියක ඡායානුවාදයකි. මෙය අහ්ලාදජනක මනෝභාවයන් උද්දීපනය කරන සුලුය.   

 


සිය පෙම්වතිය පැමිණෙන තුරා වෙරළ ඉම පෙර මඟ බලා සිටින ජපන් තරුණයාට නිතැතින්ම සිහිපත් වන්නේ මුතු සොයා සමුදුර කිමිදෙනා සොඳුරු කිඳුරු ළඳුන්ය. සිය පෙම්වතියගේ උවන සොඳුරු අමා යුවතියන්ගේ උවන හා සමාන බව ද හෙතෙම උපකල්පනය කරයි.  
 
මෙම පැදි පෙළෙහි උපමා රූපකයක් ලෙසින් මතුවන සොඳුරු කිඳුරු අමා යුවතියන් කාල්පනික ලෝකයෙහි සැරිසරන්නියන් විය හැකි යැයි සහෘදයන් සිත්හි කුකුසක් ඇති වනු නිසැකය. එනමුදු එහි නිරූපිත අමා නම් වූ යුවතියන් ජපානයෙන් පාරම්පරික මුතු කිමිදීම වෘත්තියෙහි නිරත ජන කොට්ඨාසයක් බැව්, කරුණු අධ්‍යයනයේ දී අනාවරණය වේ. ජපන් බසින් උමි අමා යන වදනේ අරුත මුහුදේ මුතු සොයා කිමිදෙන යුවතිය යන්නය. අමා තෙරසු නම් ජපන් හිරු දෙවඟනගේ නමෙහි මුල් කොටස වූ අමා එරට මුතු කිමිදීමේ යුවතියන් හැඳින්වීමට වසර දෙදහසකට පෙර සිටම ව්‍යවහාර කර ඇති බව ජපන් ජනප්‍රවාදයන් තහවුරු කරයි. අමා තෙරාසු හිරු දෙවඟනගේ හාස්කම් සහිත පිළිරුවක් හොන්ෂු දිවයිනේ කණ්සායි පළාතේ පිහිටියේය. ජපානයෙන් මුතු කිමිදීමේ නිරත අමා ළඳුන් නිරන්තරයෙන් එම දෙවොල වෙත පැමිණ හිරු දෙවඟනගේ ආශීර්වාදය ලබන බව ද වාර්තා වේ.   

 


 

 

ඡායාරූපය 1   


ජපන් සාහිත්‍යය තුළ පමණක් නොව එරට චිත්‍ර සම්ප්‍රදාය තුළින් ද මුතු සොයා සමුදුර සරණා අමා යුවතියන් පිළිබඳව අපූර්වතව නිර්මාණ රාශියක් බිහිව ඇත. ඒ අතින් ෂුන්ගා ජපන් චිත්‍ර සම්ප්‍රදායට අනුව ප්‍රකට සිත්තරකු වූ කත් සුෂිකා පොක සායිගේ තෙළි තුඩින් නක​නො අමා (බූවල්ලාට නතු වූ අමා මුතු කිමිදෙන්නිය.) නම් චිත්‍රය ලොව කලාකාමීන් වැඩි දෙනෙකුගේ අවධානය යොමු වූ උසස් නිර්මාණයක් සේ සැලකේ. මුතු කිමිදීමේ නිරතව සිටි තම නෝරි නමැති සුරූපී අමා යුවතියක් මුහුදේ දැවැන්ත බූවල්ලකුගේ ග්‍රහණයට හසුව සිටින අයුරු එම චිත්‍රයෙන් නිරූපිතය.   


ඡායාරූප 2   


ජපන් ජන කතා රාශියක් මුතු කිමිදෙන අමා ළඳුන් ​ෙක්න්ද්‍ර කරගෙන නිර්මිතය. එවන් ජන කථා අතරින් තමනෝරි නම් වූ ජපන් කතාව කෙතරම් ජනප්‍රිය වී ද යත් භාෂා ගණනාවකට පරිවර්තනය කර ඇත. මෙය ජපානයෙන් මුතු කිමිදීමේ වෘත්තියෙහි නිරත තමනෝරි නම් කාන්තාවක් මූලික කරගෙන පබැඳි ජන ජන කථාවකි. සමුරායි වරයෙක් තම ජපන් පෙම්වතියට පරිත්‍යාග කළ අගනා මුතු ඇටයක් රියුරින් නම් මුහුදට අරක්ගත් රක්ෂයා විසින් පැහැර ගනු ලැබීය. නැති වූ මුතු ඇටය සොයා යන සමුරායිවරයාට වෙරළ අද්දර දී තමනෝරි නම් සුරූපී අමා තරුණිය හමුවෙයි. එහිදී ඔවුන් දෙදෙනා අතර ඇති වූ පෙම් සබඳතාව තත් ජන කථාවෙහි රසාලිප්ත ලෙස ගෙන හැර දක්වයි.   


නැති වූ අගනා මුතු ඇටය සොයා දීමට තමනෝරි මුතු කිමිදෙන්නිය සමුරායිවරයාට සහය ලබා දෙයි. ඇය මුහුදු පතුලේදී මුහුණ දුන් ත්‍රාසජනක අභියෝග ජයගෙන මුතු ඇටය සොයා ගෙනැවිත් සමුරායිවරයාට පිළිගන්වයි. ජපන් සංස්කෘතියෙහි ගද්‍යයෙන් පද්‍යයෙන් මෙන්ම සිතුවමින් ද සජිවී වන අමා යුවතියන් වර්තමානයෙහි සිය ජිවනෝපාය උදෙසා මුතු පර සොයා මුහුදේ කිමිදෙන අපූර්වතාව සිත් ගන්නා සුලුය.   


අමා ළඳුන්ගේ මුතුපර සොයා කිමිදීමේ වෘත්තිය වසර දෙදහසකට වැඩි ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. වර්තමානයේ පවා ඔව්හු මුහුදේ කිමිඳුම් කටයුතුවල යෙදෙනුයේ පාරම්පරික ක්‍රමවේදයට අනුකූලවය. කිසි විටක නවීන තාක්ෂණික උපකරණ භාවිත නොකෙරේ. මුතුපර කැඩීම සඳහා ටෙගානේ නම් වූ තියුණු ලී පත්තක් සහ මුතු අස්වැන්න බහාලීම පිණිස සැහැල්ලු ලී බඳුනක් ඔව්හු භාවිත කරති. ඔවුනගේ කිමිඳුම් ඇඳුම් කට්ටලය වන්නේ ඉන වටා දැවටී කෙටි රෙදි කඩක් සහ සිරස පැළඳි හිස් වැස්ම පමණි. ළමැඳි විවෘතව නග්නව පවතී.   

 


 

 

ඡායාරූප 3   


එක් කිමිඳුම් කණ්ඩායමක් 17 වන වියේ සිට 75 වන විය දක්වා වූ විවිධ වයස්හි අමා ළඳුන් 15 ක පමණ පිරිසකගෙන් සමන්විතය. ඔවුුහු උදෑසනින්ම වෙරළ ඉම පිහිටි අමගයාස් නමින් ප්‍රචලිත කූඩාරම් වෙත පිය නගති. එම පිරිසෙන් කොටසක් බෝට්ටු මගින් ගෙන ගොස් ගැඹුරු මුහු​ෙද් මුතු පර ආසන්නයේ මුදා හැරේ. ගැඹුරු මුහුදේ මුතු කිමිදෙන්නීය. ඔයගිඩෝ යන නමින් හැඳින්වේ. වෙරළ ආසන්නයේ මුතු නෙළන්නියන් හැඳින්වෙන්නේ කච්ඩෝ යන නමිනි. 

 
ඔවුහු දියෙහි කිමිදී මඳ විරාමයකින් සයුරු රළ අතරින් හුස්ම පොදක් ගන්නට විටින් විට දිය මතු පිටට පැමිණෙති. රළ අතරින් මතුවන නිරුවත් පියයුරු සහිත මෙම අමා යුවතියන් ඈතට දිස් වන්නේ දිය කිඳුරියන් සමූහයක් විලසිනි. අමා ළඳුන් පිරිස දිය මතු පිටට මතුවී එක්වර ප්‍රාශ්වාස කරන රිද්මය වාතලයට එක් වන්නේ   


මියුරු මිමුනුම් නාදයක් විලාශයෙනි. ජපන් බසින් එම මිමුණුම ඉසොබු නම් වේ. ඔවුනගේ මෙම ආවේණික සරළ, ක්‍රියාශීලී දිවි පෙවෙත දුටු දුටුවන් ආකර්ෂණය කරන සුලුය. මුතු කිමිදෙන්නියන් අතර එකිනෙකා හා සබැඳි දැඩි එකමුතු භාවයක් විද්‍යාමානිතය. ඔව්හු සියලුදෙනා සෑම වසරකම ටෝබා ප්‍රාන්තයේ සමුද්‍රාසන්නයේ පිහිටි ඉෂගම් සන් නම් දෙවොල වෙත ගොස් පුද පිළිවෙත් ඉටු කර ආරක්ෂාව ප්‍රාර්ථනා කරති.   


ඡායාරූපය 4   


ජපානයේ මුතු කිමිදෙන අමා ළඳුන් වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ මුතුපර බහුලව පිහිටි නැගෙනහිර ජපානයේ අගෝ මුහුදු බොක්ක ටෝබාහි මිකි මොටෝ මුතු දූපත ශිමා අර්ධද්වීපය ඉෂිකාවා දිස්ත්‍රික්කය සෙතෝ සහ ඔකිනාවා දූපත ආදී ප්‍රදේශයන්හිය.   


ජපානයෙන් මුතු කිමිදීමේ වෘත්තියෙහි නිරත අමා ළඳුන්ගේ දිවි පෙවත කෙතරම් ආශ්චර්මයත් ද යත් ඔවුන් පිළිබඳව ජපන් සහ වෙනත් භාෂාවලින් ග්‍රන්ථ රාශියක් ලියැවී ඇත. 1957 දී මිෂීමා නම් ජපන් ගත් කරුවා විසින් ලියන ලද රළ පහරේ රිද්මය (The Sound Of Waves) 1962 දී ෆොස්කෝ මරාණි ලේඛකයා විසින් රචිත ධීවර කාන්තාවන්ගේ දූපත (The Inland at Fisher Women) 1942 දී සෙගවා ක්‍යුකෝ විසින් ලියන ලද අමා කතුන් පිළිබඳ ග්‍රන්ථය (The Book of the Ama Women) තුළින් පාරම්පරික අමා ළඳුන්ගේ ඉතිහාස, ඇදහිලි, විශ්වාස සහ ඔවුනටම ආවේණික වූ සුවිශේෂී සංස්කෘතික ලක්ෂණ කදිමට විග්‍රහ කර ඇත.   


 ඡායාරූපය 5   


හෘදයාංගම ගති සිරිත් විරිත්වලින් බැඳුණු අමිල හර පද්ධති සමුදායකින් සුසැදි ජපන් සංස්කෘතියට මුතු නෙළීමේ පාරම්පරික වෘත්තියෙහි නිරත අමා ළඳුන් ලබා දෙන්නේ මනෝරම්‍ය වූ විසිතුරකි.   

 

 

 

 

 


ආචාර්ය ගාමිණී කාරියවසම්