• ඉකුත් සතියේ ලඩාක්හි චීන ප්‍රහාරයෙන් ඉන්දීය හමුදාවේ විසිදෙනෙක් මැරුණා

 

ඉන්දු චීන දේශ සීමාවේ සිදුවුණු අවි ගැටුමකින් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණැයි පසුගිය 16 වැනිදා අසන්න ලැබුණි. ඒ අනුව, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස හුටපට මැද ඉන්දියාවත් චීනයත් අතර අර්බුදයක් හටගත්තේය. දශක ගණාවකට පසු ඉන්දු චීන දේශසීමාවේ සිදුවුණු දරුණුතම අවි ගැටුම මෙය විය. චීනය ආසියාවේ බලවතාය. ඉන්දියාව කිසිසේත් චීනයට දෙවැනි වන්නේ නැත. චීනය මෙන්ම ඉන්දියාව ද න්‍යෂ්ටික බලවතෙකි‍. මේ සටහන ඉන්දු චීන අර්බුදය ගැන නොවෙයි. ඉන්දියාවත් චීනයත් යා කෙරෙන දේශසීමාව පිහිටි, මිහිපිට ඉතා සුන්දර ස්ථානයක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ලඩාක් පළාත ගැනය. 


ලඩාක් පළාත සුවිශේෂීය. ඒ, එහි බෞද්ධ වැසියන් බොහෝ දෙනකු වාසය කිරීම නිසාය. ජම්මු සහ කාශ්මීර පළාත් පාකිස්තානයට ළං වී පිහිටද්දී, ලඩාක් පළාත ඇත්තේ ඊට ප්‍රතිවිරුද්ධව ටිබෙටයටත් චීනයටත් මායිම්වය. ලඩාක් පළාත, ෂියාචෙන් ග්ලැසියරයේ සිට ඉන්දියාවට, පාකිස්තානයට සහ චීනයට මායිම්ව  පිහිටින හිමාල අඩවියේ කරාකොරාම් කඳු වැටිය තෙක් පැතිර පවතී. ලඩාක් පළාතේ විශාලතම නගරය ‘ලේහ්’ ය. දෙවැනියට විශාල නගරය ‘කාගිල්’ ය. ලඩාක් හි ටිබෙට් බෞද්ධයෝ සියයට 39.7 ක් ද, ෂියා මුස්ලිම්වරු සියයට 46.4 ක් ද හින්දු භක්තිකයෝ සියයට 12.1 ක් ද වෙති. ඊට අමතරව සීක් ජාතිකයෝ ද ලඩාක් පළාතේ වෙසෙති. ලඩාක් පළාතේ ඩ්‍රාස් සහ ඩා හනු යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශවල පදිංචිවී සිටින්නේ ඩාර්ඩ් වැසියන්ය. ඩා හනු පළාතේ වැසියන් බ්‍රොක්පා ලෙස හැඳින්වෙයි. ටිබෙට් බෞද්ධයන් වන්නේ මොවුන්ය. නවීන ලෝකයෙන් ඈත් වී සාම්ප්‍රදායට ගරු කරන පිරිසක් ලෙස මොවුහු සැලකෙති.
ඩ්‍රාස් පළාතේ ජීවත් වන ඩාර්ඞ් වැසියන් ඉස්ලාම් භක්තිකයෝ බවට පරිවර්තනය වී සිටිති. ඒ, අසල්වැසි ඉස්ලාම් දහම ප්‍රචලිත කාශ්මීරයේ බලපෑමෙනි. මොන්ස් යනු ලඩාක් පළාතේ ජනාවාස පිහිටුවා ගත් මුල්ම ඉන්දියානු පවුල්වලින් පැවැත එන්නන්ය. සාම්ප්‍රදායිකව මොවුන් සංගීත ශිල්පීන්, කම්මල්කරුවන් සහ වඩුවන්ය. ලඩාක් පළාතේ ජනයා දිස්ත්‍රික් දෙකකට වෙන් වී සිටී. ඒ, ලේහ් සහ කාර්ගිල් නගර අයත් වන ඒවායේ නමින් නම් කළ දිස්ත්‍රික්ක දෙකටය. ලේහ් එක් කුඩා ප්‍රදේශයකින් මෙම දිස්ත්‍රික්කය චීනයට මායිම් වෙයි. කාර්ගිල් ආන්දෝලනයට තුඩු දී ඇත්තේ, පාකිස්තාන පාලන ප්‍රදේශයට මායිම් වන නිසාය. 1999 වසරේ මැයි සිට ජූනි මාසය දක්වා ඉන්දියාවත් පාකිස්තානයත් අතර කාගිල් දිස්ත්‍රික්කයේ දේශසීමා සම්බන්ධයෙන් යුද්ධයක් පැවැතිණි. මෙය ‘කාගිල්’ යුද්ධය ලෙස හැඳින්වෙයි.

 

ජනතාව

හිම කන්දක්

 


ලඩාක් පළාතේ එකිනෙකට වෙනස් ජනවර්ග ජීවත් වන බැවින් භාෂා රැසකි. එසේ වුවත්, ලඩාක් පළාතේ ප්‍රධාන භාෂාව වන්නේ ලඩාකී ය. ලඩාකී යනු ටිබෙට් භාෂාවකි. හොඳ අධ්‍යාපනයක් ලබා ඇති ලඩාක් වැසියෝ හින්දි, උර්දු පමණක් නොව ඉංග්‍රීසි පවා හොඳින් දනිති. 2001 සංගණනයට අනුව, ලඩාක් පළාතේ සාක්ෂරතාව සියයට 62 කි. අතීතයේ අධ්‍යාපන ආයතන වූයේ බෞද්ධ ආශ්‍රම පමණි. එක් පවුලකින් එක් පිරිමි ළමයකුට බෞද්ධ ආශ්‍රමයකට ගොස් අධ්‍යාපනය හැදෑරීම කළ හැකි විය. 1994 දී, ලඩාක් දරුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක විය. ඒ රාජ්‍ය නොවන සංවිධාන රැසක එකමුතුවෙනි. ඉන්දීය රජය ද එක් කර ගනිමින්, පාසල් සහ අධ්‍යාපන ආයතන ඉදි කිරීම සිදුවිය.


ඉන්දියාවේ ද විකාශය වන ‘ඕල් ඉන්දියා රේඩියෝ’ ගුවන් විදුලි නාළිකාව ලඩාක් පළාතේ එකම ගුවන් විදුලි නාළිකාවය. ඉන්දියාවේ දූර්දර්ශන් රූපවාහිනී නාළිකාව ඔවුන්ගේ ශාඛාවක් ලඩාක් හි පිහිටුවා ඇත. ඒ හරහා පැය කීපයක් පමණක් රූපවානී වැඩසටහන් විකාශය කෙරේ. ඒ හැර ප්‍රජා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. ලඩාක් වැසියන් වෙනුවෙන් පළ වන එකම ඉංග්‍රීසි පුවත්පත ‘රීච් ලඩාක් බුලටින්’ ය. මෙය සති දෙකකට සැරයක් මුද්‍රණය වෙයි. කාශ්මීරයේ මුද්‍රණය වන ඉංග්‍රීසි සහ උර්දු බසින් පළ වන ‘කාගිල් නම්බර්’ පුවත් පත ලඩාක් වැසියන් අතරේ ප්‍රසිද්ධියට පත් වී ඇත. 2018 දී ‘සින්ටික්’ යන නමින් ඉංග්‍රීසි සඟරාවක් ආරම්භ විය. ඒ, ලඩාක් පළාත සහ ලඩාක් වැසියන් ගැන විස්තර කෙරන සංචාරක සඟරාවක් ලෙසය.

 


ලඩාක් පළාතේ දියුණු වාරිමාර්ග පද්ධතියක් පවතී. කඳුකරයේ අයිස් සහ හිම අතරින් ජලය ලබා ගැනීම සිදුවෙයි. අතීතයේ ලඩාක් වැසියන්ගේ ප්‍රධාන ආහාරය වූයේ බත් ය. ප්‍රධාන වශයෙන් තිරඟු සහ බාර්ලි වගා කෙරේ. ලඩාක් පළාතේ සුළු ජාතික වැසියන්ගෙන් වැඩිදෙනා තවලම් වෙළෙඳුන්ය. ඔවුහු ඇඳ ඇතිරිලි, කළාල පාකිස්තානයට අයත් පන්ජාබයටත්, චීනයේ ෂියැංජියැං පළාතටත් රැගෙන ගොස් වෙළෙඳාම් කරති. කෙසේ නමුත් චීන රජය ඔවුන්ගේ දේශසීමා වසා දැමීම හේතුවෙන් ලඩාක් වෙළෙඳුන්ට චීනයේ වෙළෙඳාම් කළ නොහැක. ලඩාක් පළාත හරහා ගලා බසින්නේ ඉන්දුස් ගංගාවය. විදුලි බලය පමණක් නොව, සූර්ය සහ සුළං බලය ද බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගැනෙයි. පවතින දේශපාලන අර්බුද සහ දේශසීමා ගැටුම් හේතුවෙන් ලඩාක් පළාතට පැමිණෙන සංචාරකයන් ඉතා අල්පය.


ලඩාක් පළාත ගැන කතා කරද්දී ඉන්දු පාකිස්තාන දේශසීමා අර්බුදය සහ ඉන්දු කාශ්මීරය ගැන කිව යුතුය. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවැති ඉන්දියාවට නිදහස හිමිවූයේ 1947 වසරේදී ය. ඒ, මුස්ලිම් වැසියන් වෙනුවෙන් පාකිස්තාන බිහි කරමිණි. ඉන්දියාවටත්, අභිනවයෙන් බිහිවුණු පාකිස්තානයටත් හිමාල අඩවියේ පිහිටි කාශ්මීර ප්‍රදේශය පොදු විය. (කාශ්මීර ප්‍රදේශය ලෙස සැලකෙන්නේ ජම්මු, කාශ්මීර් සහ ලඩාක්ය) අතීතයේ, ජම්මු, කාශ්මීර් සහ ලඩාක් යන පළාත් පාලනය කළ ප්‍රදේශීය මුස්ලිම් නායකයා, පාකිස්තානය සමඟ එක්වීම වෙනුවට ඉන්දියාව සමඟ එක්වීමට තීරණය කළේය. ඒ අනුව, ජම්මු, කාශ්මීර් සහ ලඩාක් ඉන්දීය පාලනයට නතු කාශ්මීරය බවට පත් වුණු අතර, සෙසු කාශ්මීර ප්‍රදේශ පාකිස්තානයේ පාලනයට නතු විය. ‍

 

දේශ සීමාවේ ඉන්දු-චීන ආචාර පෙළපාලියක්

 


ඉන්දු කාශ්මීරය ඉන්දියාවට එක් කර ගන්නා අවස්ථාවේදී, ඉන්දීය රජය කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට ප්‍රමුඛත්වය දී, ඔවුන්ගේ අයිතීන් සහ ආරක්ෂාව සුරැකීම වෙනුවෙන්, විශේෂිත බලතල පැවරීය. ඒ, ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය යටතේය. ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත මෙන් නොව, ඉන්දු කාශ්මීරයට ස්වං පාලනයක් හිමිවිය. පසුගිය 70 වසර පුරාවට, ඉන්දියාවත් පාකිස්තානයත් අතර දේශසීමා ගැටුම් හේතුවෙන්, ඉන්දු කාශ්මීරය මුල්කොට ගනිමින් අර්බුද රැසක් නිර්මාණය විය. පසුගිය 2019 වසරේ, ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් සිය බලතල අනුව ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කළේය. 370 වගන්තිය යටතේ, ඉන්දීය පාලනයට නතු කාශ්මීරයට හිමිවී තිබුණේ විශේෂ තැනකි. ඉන්දු කාශ්මීරයට වෙනම ව්‍යවස්ථාවක් තිබුණි. ජනතා නියෝජිතයන් ලෙස සහ දේශපාලනඥයන් ලෙස ඉදිරිපත් විය හැකිව තිබුණේ ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට පමණි.  ඉන්දු කාශ්මීරයේ ඉඩම් මිලදී ගැනීම, ආයෝජන ඇති කිරීම ආදිය ද කළ හැකිව තිබුණේ ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට පමණය. 370 වගන්තිය අහෝසි කිරීමත් සමඟ ඒ සියලු බලතල අහිමි විය.
ඉන්දියාවට ප්‍රාන්ත 29 ක් සහ මධ්‍යම රජය යටතේ පවතින පාලන ප්‍රදේශ  (යූනියන් ටෙරටරි) 7 ක් ඇත. 370 වැනි වගන්තිය අහෝසි වී, ඉන්දු කාශ්මීරයට ලබා දී තිබුණු විශේෂිත බලතල අහිමි කිරීමෙන් පසු, ‘ඉන්දු කාශ්මීර ප්‍රතිසංස්කරණ’ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත විය. මේ සියල්ල සිදුවූයේ ඉන්දීය ව්‍යවස්ථාවට අනුවය. මේ සම්බන්ධයෙන් ඉන්දු කාශ්මීර වැසියන්ගෙන් දැඩි විරෝධයක් ද එල්ල විය. ස්වං පාලන බලතල කාශ්මීරයට අහිමි වී, ජම්මු සහ කාශ්මීර් යන පළාත් ඉන්දීය මධ්‍ය රජයේ පාලනය යටතට ගැනිණ. ලඩාක් පළාත ජම්මු සහ කාශ්මීර මහාධිකරණ බලසීමාවට යටත් කෙරුණි. ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය ක්‍රියාත්මක වෙද්දී, ජම්මු, කාශ්මීර් සහ ලඩාක් පොදුවේ ඉන්දීය පාලනයට නතු කාශ්මීරය අයත් පළාත් ලෙස සැලකිණි.

 

 

ලුසිත ජයමාන්න
විකිපීඩියා ඇසුරිනි