​ඈත අතීතයේ සිට බොහෝ ජනයාගේ නෙත් සිත් වශී කළ සුන්දර නගරයක් ලෙස ගම්පහ නගරය ඉතිහාසගත වී ඇත. විශේෂයෙන් මෙරට පාලනය කළ සුදු ජාතිකයන්ගේ සිත් දිනාගත් ආකර්ෂණීය නගර අතර මහනුවර, නුවරඑළිය බණ්ඩාරවෙල ආදී නගර මෙන්ම විවේක සුවයෙන් ගත කිරීම පිණිස ඔවුන්ගේ නෙත්සිත් දිනා ගැනීමට ගම්පහ නගරයද සමත් වී ඇත. මෙයට හොඳම නිදසුන වනුයේ පේරාදෙණිය, හග්ගල වැනි ඉතාම දැකුම්කලු සොබා සෞන්දර්යන් අනූන මල් උයන් නිර්මාණය කළ පරිද්දෙන්ම ගම්පහ හෙනරත්ගොඩද ඉතා රමණීය උද්‍යානයක් නිර්මාණය කිරීමට සුදු ජාතිකයන් ක්‍රියා කිරීමෙන් ඒ බව තවදුරටත් පැහැදිළි වේ.   

එද‌ා සියනෑ කෝරළය නමින් හැඳින්වූ ගම්පහ 1978 සිට පරිපාලන දිස්ත්‍රික්කය බවට පත්වීමෙන් පසු හේවාගම් කෝරළය මෙන්ම අලුත්කුරු කෝරළයේ ජනතාව සිය පරිපාලනමය අවශ්‍යතා සපුරා ගැනීමට ගම්පහ නගරයට පැමිණීමට සිදුවිය. ඒ අනුව ගම්පහ නගරය නිතර ජනයා ගැවසෙන ජනාකීර්ණ නගරයක් බවට පත්ව ඇත.   


ගම්පහට ග්‍රාම නාමය සෑදී ඇති අයුරු සොයා බැලීමේදී ගම් පහක් එකතු වී ගම්පහ යන ග්‍රාම නාමය හැදුණු බව ගම්පහ ජීවත්වෙන පැරැන්නෝ පවසති. ඒ අනුව ඉහළ ගම, පහළගම, මැදගම, අලුත්ගම, පට්ටියගම යන ගම් පහ එකතුවීමෙන් ගම්පහ යන ග්‍රාම නාමය හැදුණු බව තවදුරටත් ඔවුහු පවසති.   


ගම්පහ නගරයේ ඇති ජාතික දේශපාලනික හා සමාජ පසුබිම පිළිබඳව එහි අතීත තොරතුරු සොයා යද්දී ගම්පහ ජාත්‍යන්තර සාම විහාරයේ විහාරාධිපති ගරු තලංගල්ලේ සෝමසිරි නාහිමියන් ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරිනි.   

 

පළමුවෙන්ම ගම්පහ කියන නගරය ජාත්‍යන්තරයට ගෙනයෑමට ක්‍රියා කළ යතිවරයාණන් වහන්සේ වුණේ අපවත් වී වද‌ාළ උඩකැන්දවෙල සිරි සරණංකර හාමුදුරුවෝ බව මට නොබියව ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම කියන්න හේතුව උන්වහන්සේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ඉන්දියානු නිදහස් සටනට පවා ද‌ායක වූ හිමිනමක් නිසායි. උන්වහන්සේ උඩුගම්පොළ සත්‍යවනාරාමයේ වැඩ සිටියත් ගම්පහ නගරයේ අද ජාත්‍යන්තර සාම විහාරය එද‌ා හැඳින්වූයේ අභිවනාරාමය කියලා තමයි. උන්වහන්සේ​ෙග් ජාතික හා ජාත්‍යන්තර වැඩවල ප්‍රධාන මධ්‍යස්ථානය වුණේ මේ ගම්පහ. ඉන්දියානු නිදහස් සටන වෙනුවෙන් පණ්ඩිත් ජවහල්ලාල් නේරු, මහත්මා ගාන්ධි වැනි ජාතික නායකයන් හා සුභාෂ් චන්ද්‍ර බෝස් හා පටෙල් වැනි විමුක්තිකාමී නායකයන් සමගද එක්ව නිදහස් අරගලය වෙනුවෙන් ක්‍රියා කළ උන්වහන්සේ ඉන්දියාවේ සිරගෙවල්වල පවා දුක්වින්ද භික්ෂූන්වහන්සේ නමක් වුණා. නිදහස දිනාගැනීමෙන් පසු ලෝකසාමය වෙනුවෙන් පෙනී සිටි බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් වූ උන්වහන්සේ වියට්නාම් යුද්දය වෙලාවේ ඇමරිකන් අධිරාජ්‍යවාදයටද එරෙහිව සිය හඬ නැඟීමට අමතක කළේ නැහැ. සෝවියට් රුසියාවේ ලෙනින් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ ගම්පහ කියන ප්‍ර​ෙද්ශය ජාත්‍යන්තරයට ගෙන ගිය ප්‍රථම භික්ෂූන් වහන්සේ වුණා. උන්වහන්සේ ඇරඹි ‘නවලෝකය’ සඟරාව ඒකාලේ ඉතාම ජනප්‍රිය සඟරාවක් වෙලා තිබෙනවා. උන්වහන්සේගේ ඇවෑමෙන් උන්වහන්සේගේ පැවිදි සහෝදර දරමිටිපොළ රතනසාර ලොකු හාමුදුරුවන්වහන්සේ ඊටත් නොදෙවැනි අන්දමට සිය ජාතික මෙහෙවර ඉදිරියට ගෙන යනු ලැබුවා. උන්වහන්සේ තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දිවා රෑ නොබලා ක්‍රියා කළ හාමුදුරුනමක් හිටියේ නැති තරම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලනය කිරීම නිසා ලැබූ තාඩන පීඩන අනන්තයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවූ අවස්ථාවක ඒ වෙනුවෙන් පළමු වෙඩිමුරය පත්තු කළේ දරමිටිපොළ හාමුදුරුවෝ තමයි. ඒ ඓතිහාසික පැවිදි හඬ නඩුවයි. ඒ නඩුවේ ප්‍රධාන විත්තිකරු වුණේ ප්‍රේමද‌ාස උඩුගම්පොළ කියන පොලිස් නිලධාරියා.

 

 

පැමිණිලිකාර අපේ දරමිටිපොළ රතනසාර ලොකු හාමුදුරුවන්වහන්සේට වන්දි මුදලක් ගෙවන්නයැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. උන්වහන්සේ ගැන රසවත් කථා තිබෙනවා එක කතාවක් මෙහෙමයි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දේශපාලන වශයෙන් මතවාද ගැටුම් තිබුණත් දරමිටිපොළ හාමුදුරුවන්ට තිබුණේ විශාල ගෞරවයක්. ගම්පහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා ඩොනල්ඩ් දිසානායක මහතා අයැදුම් පත්‍රයක් සකස් කරගෙන ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හමුවෙන්න ගිහින් තිබෙනවා. එහිදී ඩොනල්ඩ් දිසානායක මහතාගේ අයැදුම්පතද පරීක්ෂා කළ ජේ.ආර්. මහතා ඔහුට මෙවැනි යෝජනාවක් කරලා තියෙනවා. ‘තමුන්ට පුළුවන්ද ගම්පහ සාම විහාරයේ දරමිටි​පොළ රතනසාර හාමුදුරුවන්ගෙන් තමුන් ගැන චරිත සහතිකයක් අරන් එන්න. ඒකත් අරගෙන නැවත එන්න’ යනුවෙන් ඩොනල්ඩ් දිසානායක මහතාට ජේ.ආර්. ජයවර්ධන මහතා දන්වලා තිබෙනවා. ඩොනල්ඩ් දිසානායක මහතාට දීලා තියෙන්නේ ඉතාම අමාරු වැඩක්. පස්සේ අපේ රතනසාර ලොකු හාමුදුරුවන්ගේ හිතවත් හාමුදුරුවරු ගැන ඩොනල්ඩ් දිසානායක මහතා මුලින්ම ​සොයලා තිබෙනවා. ඒ අනුව ගම්පහ ඉඳිගොල්ලේ පිරිවෙණේ නායක හාමුදුරුවන් සමඟ බුලත් අතකුත් රැගෙන අපේ දරමිටිපොළ හාමුදුරුවන් හමුවීමට ඩොනල්ඩ් දිසානායක මහතා ආවා. ඇවිත් කාරණය පැහැදිළි කරලා කිව්වාම අපේ ලොකු හාමුදුරුවෝ ඩොනල්ඩ් දිසානායක මහතා ගැන හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට යහපත් ආකාරයේ ලිපියක් දීලා තිබෙනවා. ඒ ලිපියෙන් පසුව ඔහුට ගම්පහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලැබිලා තිබෙනවා. මේ ආකාරයෙන් දරමිටිපොළ අපේ ලොකු හාමුදුරුවන් පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වුණා. උන්වහන්සේ ‘සිංහලය’ නමින් පුවත්පතක් පවත්වාගෙන ගියා. ප්‍රවීණ ගත්කරු ඔරුවල බන්දු මහතා ඒ පුවත් පතේ වැඩ කළා. අපේ ලොකු හාමුදුරුවන්ගේ කාමරයේ බිම පැදුරක් ද‌ාගෙන තමයි ඔරුවල බන්දු මහත්තයා ඒ කාලේ නිද‌ාගන්නේ. ඒ තරමට ඔරුවල බන්දු මහත්තයයි අපේ ලොකු හාමුදුරුවොයි හරිම හිතවත්.   


1988-89 භීෂණය කාලේ වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරයකු වන ඩිලාන් පෙරේරා මහතා ගම්පහ අපේ පන්සලේ තමයි ජීවිතය බේරා ගැනීමට හැංගිලා හිටියේ. ඒ මහතා අදටත් ඒ කතාව සිහිපත් කරනවා. දරමිටිපොළ හාමුදුරුවෝ ආරම්භ කළ වෙසක් මහ පෙරහර ගම්පහ නගරයේම විථි සංචාරය කරනවා. අදටත් ඒ කටයුත්ත ඒ අයුරින්ම සිදු කෙරෙනවා. උන්වහන්සේ අවසන් වශයෙන් පැවසූහ.  


ඊළඟට ගම්පහ පිළිබඳ සවිස්තරාත්මක අර්ථකථනයක් කළේ ගම්පහ ජීවත්වෙන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් ලක්ෂ්මන් හේවාපන්න මහතාය.  


ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 95.7ක් වෙනවා. මෙහි ජීවත්වෙන මුළු ජනගහනය 196,445. ග්‍රාම නිලධාරී කොට්ඨාස 101ක් තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිබෙන ගම් සංඛ්‍යාව 148ක්. ඉස්සර ගම්පහ අයත්වෙලා තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයටමයි.  


1978 දී රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කැලණි ගඟෙනුත් මාඔයෙනුත් කෑගල්ල දිස්ත්‍රික්කයටද මායිම් වූ විශාල ප්‍රදේශය ගම්පහ දිස්ත්‍රික්කය බවට පත් කෙරුණා. ගම්පහ නගරය ගැන කථා කිරිමේදී අත්තනගලු ඔය වගේම ඌරුවල් ඔය මේ ගම්පහ නගරය මැදින් තමයි ගලායන්නේ.  


ගම්පහ ආසනය එද‌ා ඉඳළම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බර ආසනයක්. එස්.ඩී. බණ්ඩාරනායක මහතා බොහෝ කලක් නියෝජනය කළේ ගම්පහ ආසනය. ජේ.ආර්. ජයවර්ධන මහතා ඇතුළු එජාපය මහනුවර දී සත්‍යග්‍රහයක් කිරීමට කොළඹ නුවර පාරේ පයින් එද්දී ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී පාර හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එස්.ඩී. නිද‌ාගෙන විරෝධය පෑම නිසා ඒ ගමන එතැනින් වැලකුණා. මේ සිදුවීමෙන් පසු එස්.ඩී. ඉඹුල්ගොඩ වීරයා නමින් ප්‍රකට වුණා.  


ගම්පහ කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු ජනතාවක් වාසය කළ ප්‍රදේශයක් ඒ කාලේ ඉඳලා ගම්පහ කරුණු තුනක් අනුව ප්‍රසිද්ධ වුණා. ඒ තමයි බුලත්වලට ගම්පහ ප්‍රසිද්ධයි.   


ගම්පහ අවට ප්‍රදේශවල බුලත් ගම්පහ නගරයේ තමයි වෙළෙඳ‌ාම ජයට කරගෙන ගියේ. ඊළඟ වොලිබෝල් ක්‍රීඩාවට ගම්පහ නමක් රැන්දූ ප්‍රදේශයක්. අදටත් ගම්පහ අනන්‍යතාවේ ප්‍රතිමූර්තිය වශයෙන් නගරයේ තිබෙන වොලිබෝල් ස්මාරකය හඳුන්වා දීමට පුළුවන්. ගම්පහ සියනෑ වොලිබෝල් කණ්ඩායම පැරදුණ තැනක් නැහැ. ඒ තරමටම ජයග්‍රාහණය ලැබූ කණ්ඩායමක් තමයි ‘වොලිබෝල් සිරා’ සහ ‘වොලිබෝල් පියා’ යනුවෙන් සිරිවර්ධන හා පියරත්න යන නමින් දක්ෂ ක්‍රීඩකයන් දෙපළක් හිටියා. විජේපාල සහ අදටත් ජාතික පුහුණුකරුවෙක් වශයෙන් ඉන්න ජයතිස්ස ගම්පහ වොලිබෝල්වල ජය රැන්දූ ක්‍රීඩකයෝ තමයි.  


ගම්පහ වෙදකම ගැන කතා කරද්දී යක්කල පී.පී. වික්‍රමාරච්චි වෙද රාලහාමි වැනි ජීවකයෙක් නොවන්නට අපේ දේශීය වෙදකම මේ රටින් තුරන් වෙන්න ඉඩ තිබුණා. එතුමාගෙන් බිහිවූ වෙද පරපුර දිවයින පුරා ‘ගම්පහ බෙහෙත් ශාලාව’ නමින් දේශීය වෙදකම කරගෙන යෑම අපේ උරුමය රැකගැනීමක් තමයි. 1929 දී යක්කල සිද්ධායුර්වේද වෙද විදුහල වික්‍රමාරච්චි වෙද රාලහාමි තමයි පටන් අරගෙන තියෙන්නේ. ඉස්සර ඩී.එස්. සේනානායක මහතා, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක වැනි දේශපාලන නායකයන් වික්‍රමාරච්චි වෙද රාළහාමිගෙන් බෙහෙත් ගන්න ඇවිත් තිබෙනවා. විශේෂයෙන් එද‌ා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දේශපාලන ගමන වෙනුවෙන් වික්‍රමාරච්චි වෙද රාළහාමි සුවිශේෂ මෙහෙවරත් ඉටුකර දී තිබෙනවා.   


යක්කල ලෝහ භාණ්ඩ ඒ කාලේ ආර්ථිකය ශක්තිමත් කළ රජයේ ප්‍රධාන පෙළේ වැඩපොළක් වශයෙන් ප්‍රසිද්ධවෙලා තිබුණා. ඊළඟට අන්නාසි වගාව ගම්පහ අාශ්‍රිත ප්‍රදේශවල අදටත් තිබෙනවා. විශේෂයෙන් බැලුම්මහර අන්නාසි වෙළෙඳ‌ාමේ හොඳ වෙළෙඳ මධ්‍යස්ථානයක් තමයි.  


ගම්පහ පෞරාණික බව රැඳි වලව් කිහිපයක්ද තිබෙනවා. හිටපු මන්ත්‍රීවරයකු වූ ඩී.ඒ. කරුණාරත්න මහතා ජීවත් වූ ‘අග්‍රා වලව්ව’ අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය බවට පත් වෙලා තිබෙනවා. සිනමා සක්විති ගාමිණී ​ෙෆාන්සේකා අධ්‍යක්ෂණය කළ ‘පරසතු මල්’ චිත්‍රපටියේ රූගත කිරීම්වලට මේ වලව්ව යොද‌ාගෙන තිබෙනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වුණේ ගම්පහ චිත්‍රා බාලසූරියයි. පූගොඩ වලව්ව, මඩුගස් වලව්ව, එස්.ඩී. බණ්ඩාරනායක පරපුරේම වලව් තමයි.  


ගම්පහ ජීවත් වූ කලාකරුවන් අතර මහගමසේකර, දයානන්ද ගුණවර්ධන යන දෙපළගෙන් කවියට ගීතයට නාට්‍ය කලාවට සිනමාවට සිදු වූ මෙහෙවර අති විශාලයි. දයානන්ද ගුණවර්ධනයන් අධ්‍යක්ෂණය කළ ‘බක්මහ දීගය’ නම් චිත්‍රපටය නිෂ්පාදනය කළේද ගම්පහම ජීවත් වූ කීර්තිමත් නීතීඥවරයකුව සිටි ප්‍රජාපාල ශ්‍රී ගුණවර්ධනයන්. ගම්පහෙන් බිහි වූ නළු නිළියන් අතර ධර්මද‌ාස කුරුප්පු, තුංමං හන්දියේ මෙන්ම බක්මහ දීගයේද රඟපෑවා. සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයෙන් සිනමාවට පැමිණි වසන්ති චතුරාණි ගම්පහින් බිහි වූ සිනමා තාරකාවක්. ඉතා කෙටිකලක් ටෙලි නාට්‍යවල රඟපෑ රමණී බර්තොලමියුස් ගම්පහ ඉඳිගොල්ලේ කෙනෙක්. ඊළඟට සුමින්ද සිරිසේන නළුවාද අදටත් ගම්පහ ජීවත්වෙන කලාකරුවෙක්. ගම්පහින් බිහි වූ ලේඛකයන් ගැන සඳහන් කළොත් නැසීගිය වෙ.වී අබේගුණවර්ධන, මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මද‌ාස, නැසීගිය කරුණාද‌ාස සූරියආරච්චි නොබෝද‌ා අභාවප්‍රාප්ත වූ නිව්ටන් ගුණසේකර, ලක්ෂ්මන් මල්ලවආරච්චි, ශාන්ත කුමාර විතාන, චන්දි කොඩිකාර යන ලේඛක ලේඛිකාවන්ද, විල්ෆ්‍රඩ් කරුණානායක කිවියාද සිහිපත් කළ යුතුය. පාපන්දු සම්මේලනයේ ප්‍රථම සභාපති වූද මියයන විට සම්පත් බැංකුවේ සභාපතිවරයා වශයෙන්ද සිටි ජනාධිපති නීතීඥ ඩන්කන්ද අල්විස් මහතාද ගම්පහ පදිංචිකරුවෙක්.  

 

 

අධ්‍යාපනයෙන් ඉහළම හිණිපෙත්තට නැගීමට ගම්පහ දරුවෝ සමත් වෙලා තිබෙනවා. රත්නාවලී, බණ්ඩාරනායක, ශ්‍රීබෝධි, යශෝදරා, සිද්ධාර්ථ ආදී විදුහල්වලින් ඉගෙනගත් දරුවන් ඉතාම ඉහළ මට්ටමේ වෘත්තීයවේදීන්, උගතුන්, බුද්ධිමතුන් බවට පත්වෙල‌ා තිබෙනවා. පෞද්ගලික උපකාරක පන්ති කලාවේද ගම්පහ කියන්නේ ප්‍රධාන මධ්‍යස්ථානයක්.  


මේ සියලු පහසුකම්වලින් පරිපූර්ණ නිදහසේ ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක් වශයෙන් ගම්පහට ඇත්තේ ඉහළ ඉල්ලුමක් බව ලක්ෂමන් හේවාපන්න මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.  
ගම්පහ ප්‍රදේශයේ ඓතිහාසික තොරතුරු ගවේෂණය කරන ගම්පහ තක්ෂිලා විදුහලේ ආචාර්ය ගාමිණී පෙරේරා මහතා ගම්පහ ගැන අදහස් දැක්වූයේ මේ අයුරිනි.  


ගම්පහ පිළිබඳව කියැවෙන තේරවිලි කවියක් තිබෙනවා.  


ගම් කීවාට නොඇලේය සකී  
ගණනක් කීවාට ගණිතය නොවේ සකී  
මේ දෙපදය එක් කළ විට සකී  
නගරය නම වේය දැනු සකී  


ඉහළගම, පහළගම, මැදගම, අලුත්ගම, පට්ටියගම යන මේ ගම් පහ ලියනරාල, බැද්දේරාල, මොහොට්ටාල, ගමරාල හා වන්නකුරාල යන ගම්පාලකයන් පස්දෙනකු යටතේ පාලනය වූ බව පොත පතේ සඳහන් වෙනවා.  


පෘතුගීසි, ලන්දේසි යුගවල ගම්පහ ඔරුතොට ඔරු ගමනා ගමනය කළ වාණිජ මධ්‍යස්ථානයක් වශයෙන් තිබිලා තියෙනවා. මුදුන්ගොඩ හා තද‌ාසන්න ප්‍රදේශවල ජනතාව කුරුඳු, ගම්මිරිස් වැනි කුළුබඩුද වියළි පුවක්ද ඔරුතොටට ගෙන ගොස් මුක්කර වෙළෙඳුන්ට විකිණූ බව සඳහන් වෙනවා. මුහුදු බඩ සිට දඬුගම් ඔය ඔස්සේ ඔරු හා කට්ටමරම් වල්ලම් ආදියෙන් පැමිණි වෙළෙඳුන් පිත්තල බඩු හා රෙදිපිළි ගෙනැවිත් භාණ්ඩ හුවමාරු කළ බව තවදුරටත් සඳහන් වෙනවා.  

පළමුවැනි රාජසිංහ රජුගේ මරණින් පසු ක්‍රි.ව. 1593 මැදින් මස පසළොස්වක ද‌ා ඔරුතොට වූ සටහනක් ගැන වංශ කථාවල සඳහන් වෙනවා. සීතාවකට පක්ෂපාති සිංහලයන් ඔරුතොට අසල කඳවුරු බැඳ පෘතුගීසීන්ට පහර දී ඇත. අරිට්ඨ කී වෙණ්ඩු (මාන්නප්පෙරුම, මොහොට්ටාල) ජයවීර බණ්ඩාර අලුත් කුරු කෝරළය පෘතුගීසීන්ගෙන් බේරාගෙන ඇත. අධික වැස්සේ පැවති මේ සටනින් වෙඩිබෙහෙත් යෙදූ තුවක්කු පත්තු නොවීමෙන් පෘතුග්‍රීසීන් අන්ත පරාජයක් ලබා තිබෙනවා. ඔරුතොට බළකොටුවේ පෙරදිග පෙදෙස මුර කළ කොටස මුරගොඩ වී පසුව මොරගොඩ වෙලා තිබෙනවා.  


විලියම් මැනිං ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේ බස්නාහිර පළාතේ මහා ඒජන්ත වශයෙන් කටයුතු කළ ජෝන් ජෝර්ජ් ප්‍රෙෂර් මහතා (1912-01-04 සිට 1923-11-30) සිය සේවා කාලයේ අවසාන කාර්තුවේ ගම්පහ නගරය සැලසුම් කළ පළමු පුද්ගලයා වෙලා තිබෙනවා. ගම්පහ නගරය සැලසුම් කිරීමට පසුබිම් වෙලා තියෙන්නේ මේ වන විට ගම්පහ සනෙරත්ගොඩ දුම්රියපළ ආරම්බ වීමත් සමඟ කුඩා කඩමණ්ඩියක් කරත්ත ගාලක් ආදිය ඒකරාශි වීමයි.  


පළමු වරට ගම්පහ හෙනරත්ගොඩට දුම්රියක් පැමිණි දිනය ගැන පුවත් පතක වාර්තා වෙලා තිබුණු කතාව මෙහෙමයි. සර් ගැලට් කියන සුදු ජාතිකයා පදවාගෙන ආ දුම්රිය කළුදුම් රොටු නංවමින් හෙනරත්ගොඩ දුම්රියපළේ නතර කරද්දී අවට රැස්වී සිටි ජනයා හිස්ලූ ලූ ලූ අත දුවන්නට පටන්ගෙන තිබෙනවා. මව්වරු දරුවන් රැගෙන දුවලා තිබෙනවා. කරත්තවල බැඳ සිටි ගවයන් කුලප්පු වී ඒ මේ අත දුවන්නට පටන්ගෙන තිබෙනවා. ගම්පහ බුලත් වෙළෙන්දෝ බුලත් කඩ දමා දුවලා තියෙනවා. හෙනරත්ගොඩ දුම්රියපළේ නතර කළ මේ දුම්රිය බලන්නට කිසිවකුට අවසර නොදුන් අතර, එසේ පැමිණෙන අයට දඩ ගසන බවද දුම්රිය බලධාරීන් දන්වලා තිබෙනවා. මේ දුම්රියේ පැමිණි බ්‍රැබන්ට් ආදිපාදවරයා සුන්දර අස්ගිරි පෙදෙස දැකලා සතුටට පත්වෙලා උද්භිද උද්‍යානයක් තැනීමට යෝජනා කරලා තිබෙනවා.   


1866 නොවැම්බර් 01 ද‌ා සිට මගී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය සේවාව ​ෙපාදු මහජනතාවට විවෘත කරලා තියෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් දුම්රියට හුරුවූ ජනයා හෙනරත්ගොඩ දුම්රියපළින් රට පුරා බුලත් ප්‍රවාහනය කිරීම ආරම්භ කරලා තිබෙනවා.  


ඉංග්‍රීසි ජාතිකයන් උඩරට දුම්රිය මාර්ගය හදද්දී මෙන්ම හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය නිර්මාණය කරද්දී විවේකයෙන් ගත කළ විශාල ගස් කොළන් ඇති භූමියේ පසුව ගම්පහ තානායම් හදලා තිබෙනවා. මේජර් තෝමස් ස්කින්, විල්මට් හොර්ටන්, එඩ්වඩ් බාන්ස් වැනි ආණ්ඩුකාරවරු විවේක සුවය ගත කිරීමට ඒ කාලේ ගම්පහ තානායම තෝරාගෙන තිබෙනවා. 1919 දී මුල්ම රබර් පැළය මුහන්දිරම් ඒ සොයිසා මහතාගේ අතින් හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේදී රෝපණය කරලා තියෙනවා. එද‌ා ඩී.එස්. සේනානායක මහතා සිංහල රජ කෙනෙකුගේ ඇඳුමින් සැරසී මේ උත්සවයට සහභාගි වෙලා තිබෙනවා.  


1920 අගෝස්තු 04 වැනිද‌ා ගම්පහට පැමිණි විලියම් මැනිං ආණ්ඩුකාරවරයා ගම්පහ නගරය සැලසුම්සහගතව නිර්මාණය කළ ජෝන් ජෝර්ජ් ප්‍රෙෂර්ට ගෞරව කිරීමක් වශයෙන් ගම්පහ නගරය ‘ප්‍රෙෂර් ටවුන්’ යනුවෙන් නම් කරලා තිබෙනවා. එද‌ා ගම්පහ රෝහල ඉදිරිපිට වටරවුම හඳුන්වලා තියෙන්නේ ‘ගෑස් පහ හන්දිය’ කියලා. එසේ ගෑස් පහ හන්දිය නමින් හැඳින්වීමට හේතුව ගෑස් පහන් 5 ක් මගින් රාත්‍රී කාලයේ ඒ ප්‍රදේශයට ආලෝකය සැපයූ නිසයි. වතුරමල හන්දියක් ජෝන් ජෝර්ජ් ප්‍රෙෂර් මහතාගේ නිර්මාණයක්. ලස්සන වතුර මලක් ඒ ස්ථානයේ නිර්මාණය කරලා තිබෙනවා.   


ගම්පහ ඉතිහාසය ගැන පොතක් ලිවීමට ප්‍රමාණවත් කරුණු මා විසින් සොයා ගනු ලැබ තිබෙනවා. ඉතිහාසය ගැන දන්නා අය ඒ තොරතුරුවල ඇති වටිනාකම් තේරුම් අරගෙන තිබෙනවා. මේ ඉතිහාසය වැළලීයාමට ඉඩනොදී ආරක්ෂා කර ගැනීමට නම් ඉතිරි වී තිබෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි රැකගැනීම අප කාගේත් වගකීම බව ගාමිණී පෙරේරා මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.   

 

 

 

 

 

 

 

 

 


සටහන සහ ඡායාරූප
මහින්ද ආරියවංශ