රට හෙල්ලූ සිදුවීමක 
අඩි සලකුණු දිගේ...

 

එක්සත් ජාතික පක්ෂයේ සියලු පදවි තානාන්තර අතහැර දමා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවීමට අතිමහත් කැපවීමක් කළ ගාමිණී දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූයේ එම පෙරමුණේ නායක ලලිත් ඇතුළත් මුදලි මහතා කිරුළපන පිටියේදී 1992 අප්‍රේල් 23 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුවය.  


ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් මියගිය පසු ජනාධිපති පදවියට පත් වූ ඩී.බී. විජේතුංග මහතාගේ ජනාධිපති ධූර කාලය අවසන්වීමට නියමිතව තිබුණේ 1994 නොවැම්බර් මාසයේ 20 වැනිදායින්ය.  

ඒ නිසා එවකට මැතිවරණ කොමසාරිස් ධූරය දැරූ චන්ද්‍රානන්ද සිල්වා මහතා ඔහුට පැවරී තිබූ බලතල අනුව මීළඟ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවනු ලැබීය.  


පොදු ජන එක්සත් පෙරමුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද, එක්සත් ජාතික පක්ෂයෙන් ගාමිණී දිසානායක මහතා ද, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණේ නිහාල් ගලප්පත්ති මහතා ද, සිංහලයේ මහාසම්මත භූමි පුත්‍ර පක්ෂයෙන් හරිස්චන්ද්‍ර විජේතුංග මහතා ද, ඒ.ජේ. රණසිංහ සහ හඩ්සන් සමරසිංහ යන මහත්වරු ස්වාධීනව ද 1994 වසරේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස නාම යෝජනා බාරදෙනු ලැබූහ.  


1994 වසරේ ජනාධිපතිවරණයට ආසන්න වෙමින් තිබිය දී කරට කර තරගයක් තිබුණේ චන්ද්‍රිකා බණ්‍ඩාරනායක කුමාරතුංග මැතිනිය සහ ගාමිණී දිසානායක මහතාත් අතරය.  


එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වෙමින් තිබුණේ කොළඹ තොටළඟ ප්‍රදේශයේය.  


ඒ ජනාධිපතිවරණ අපේක්ෂක ගාමිණී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. 

 
රැළියට විශාල ජනකායක් සහභාගි වෙමින් සිටියහ.  


එක්වර මහ හඬක් නංවමින් පුපුරා ගිය බෝම්බයකින් කොළඹම හෙල්ලුම් කා ගියේය.  


පුපුරාගිය අධිබලැති බෝම්බයෙන් ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහතා පමණක් නොව හිටපු අමාත්‍යවරුන් වන ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, වීරසිංහ මල්ලිමාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී ඔසී අබේගුණසේකර සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් දොස්තර ගාමිණී විජෙසේකර යන මහත්වරුන් ඇතුළු 35 දෙනකු මියගොස් 72 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.  


මෙසේ බෝම්බය පුපුරා ගියේ 1994 වසරේ ඔක්තෝබර් මාසයේ 24 වැනිදා මැදියම් යාමයේය.  


මෙම බෝම්බය පිපිරීමේ සිද්ධිය දිනපතා ලංකාදීපය වෙනුවෙන් වාර්තා කිරීමට එදින ලංකාදීපයේ රාත්‍රී සේවයේ නිරතව සිටි​ මෙම ලේඛකයා ද ගියේය.  


නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස වර්තමානයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා මේ බෝම්බ පිපිරීම සිදුවන වකවානුවේ රාජකාරි කර ඇත්තේ දෙමටගොඩ පොලිස් ස්ථානයේය.  


තොටළඟ පැවැති මෙම ජනධිපතිවරණ ප්‍රචාරක රැළියේ ආරක්ෂක කටයුතු සඳහා ආනන්ද රාජපක්ෂ මහතා ප්‍රධාන පොලිස් කණ්‍ඩායමක් ද එහි පැමිණ සිටියහ.  

 


බෝම්බ පිපිරවීම සිදුවීමෙන් පස්සේ වෙච්ච නොවෙච්ච දේවල් ගැන අපි මුලින්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතාගෙන් අසා දැන ගනිමු.  


රැස්වීම පටන්ගත්තේ බෝම්බ පිපිරවීම සිද්ධ වෙච්ච දවසට කලින් දවසේ රාත්‍රී කාලයේ ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහත්තයා රැස්ව සිටි පිරිස අමතා අවසන් වුණා. දිසානායක මහත්මයා වේදිකාවෙන් බැස යන්න කලින් ඔබ සැමට සුබ රාත්‍රියක් වේවා කියන්න බැහැ දැන් රෑ 12.00 පසුවෙලා. එ් නිසා ඔබ සැමට සුබ උදෑසනක් වේවා කියා ප්‍රාර්ථනය කරනවා කියා කියනවා අපට ඇසුණා.   


එ්ත් එක්කම ආධාරකරුවෝ පිරිසක් රතිඤ්ඤා පත්තු කරන්න පටන් ගත්තා. රතිඤ්ඤා හඬ පැය කාලක් තිස්සේ ඇසුණා. ඒ රතිඤ්ඤා හඬත් එක්කම විශාල පිපිරුම් හඬක් ඇසුණා. ඒ වෙනකොට අපි සිටියේ වේදිකාවට මීටර් 30 ක් පමණ දුරකින්. බෝම්බ පිපිරීමක් බව අපට තේරුම් ගියා.  


බෝම්බය පුපුරා යාමෙන් මියගිය අයගේ සිරුරු තැන් තැන්වල විසිර වැටී තිබුණා. සමහරුන්ගේ සිරුරු කැබලිවලට පත්ව තිබෙන අයුරුත් තුවාලකරුවන්ගේ කෙඳිරිලි විලාප සහ වේදනා හඬ හැම පැත්තෙන්ම ඇසුණා. තවත් තුවාලකරුවන් ලේ පෙරාගෙන හිස ලූ ලු අතර දිව ගියා. තවත් සමහරු බෝම්බ පිපිරීමෙන් ඇතිවූ කම්පනයෙන් සිහි නැතිව බිම ඇද වැටිලා සිටියා. අපි තුවාලකරුවන් වාහනවල පටවාගෙන කොළඹ ජාතික රෝහලට අරගෙන ගියා යැයි ද ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා පැවැසීය.  


බෝ්ම්බය පුපුරා ගොස් බරපතළ තුවාල ලබා මරණයේ දොරටුව අභියස සිටිමින් ජවිතය යදිමින් වේදනාවෙන් බිම ඇද වැටී මොරදෙන හා ලේ පෙරාගෙන හිස් ලූ ලූ අතර දිව යන මිනිසුන් අතරට පැමිණි මිනිස් වෙස් ගත් තිරිසනකු කිරීමට උත්සාහ කළ අපරාධයක් ගැනද ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා සිය මතකය අවදි කළේ මෙසේය.  


මේ ඒ අනුවේදනීය කතාවයි.  


අපි තුවාලකරුවන් ඔසවාගෙන ඇවිත් වාහනවලට පටවමින් ඉදිද්දී එක් මනුස්සයෙක් මුළු ඇඟම ලේ වලින් නැහැවී ගිය කාන්තාවක් පස්සේ දුවගෙන ගිහින් ඇය අල්ලා ගත්තා දැක්කා. අපි මුලින්ම හිතුවේ ඇය රෝහල් ගත කරන්න ගෙනියන්න මේ මිනිහා අල්ලා ගත්තා කියා. කාන්තාව අල්ලා ගත්ත ඒ මනුස්සයා ලේ පෙරෙමින් සිටිය කාන්තාවගේ ගෙල බැඳගෙන සිටිය රත්තරන් මාලය කඩාගත්තා. ඒත් එක්කම අපි වහාම එතනට දුවලා ගිහින් රන් මාලය කඩා ගත්ත මනුස්සයා අල්ලාගත්තා. බෝම්බය පිපිරිලාත් තුවාල ලබා සිටි ඒ කාන්තාවගේ එක් ළැමකට බරපතළ හානි සිදුවී එය බාගෙට එල්ලෙමින් තිබුණා. රන්මාලය කඩාගෙන තිබුණේ කුඩුවලට ඇබ්බැහි වෙච්ච එකෙක්.  


ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහතා ඇතුළු දේශපාලනඥයන් පස් දෙනකුට මරු කැඳවමින් තවත් විශාල පිරිසකට බරපතළ තුවාල සිදු කරමින් සිදුවූ තොටළඟ බෝම්බ පිපිරවීමේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු භාර කෙරුණේ රහස් පොලිසිය වෙතය.  


රහස් පොලිසියේ ත්‍රස්තවාදී විමර්ශන අංශයේ එවකට ස්ථානාධිපති තනතුර දැරූ පොලිස් පරීක්ෂක සේනක කුමාරසිංහ මහතා


තොටළඟ බොම්බ පිපිරවීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වීමට පත්කළ කණ්ඩායමේ ප්‍රධානියාව සිටියේය.  


වසර 32 ක පමණ සේවා කාලයකින් විශ්‍රාම ලැබූ කුමාරසිංහ මහතා විදේශීය පාඨමාලා රැසක්ම හදාරා අති දක්ෂ අපරාධ විමර්ශකයෙකි.  


ඇ​ෙමරිකාවේ එෆ්.බී.අයි. ආයතනයෙන් මෙන්ම ඉන්දියාවේ දී කමාන්ඩෝ පුහුණුවක් ලබා ඇති කුමාරසිංහ මහතා විශ්‍රාම ලැබුවේ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස රාජකාරි කරමින් සිටි අතරවාරයේය.  


තොටළඟ බෝම්බ පිපිරීමේ සිද්ධියේ පරීක්ෂණ සිදුකළ ආකාරය ගැන සිය මතකයන් හාරා අවුස්සමින් විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ මහතා දොඩමළු විය.  


1994 වසරේ ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරක රැළියකට මරාගෙන මැරෙන කොටියෙක් යොදවා බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දේශපාලනඥයන් ඝාතනය කරන්න කොටි ත්‍රස්තවාදීන් සැලසුම් කර තිබෙන බවට අපට කල්තියා තොරතුරු ලැබී තිබුණා. මෙවැනි බුද්ධි තොරතුරක් ලැබී තිබුණේ රහස් පොලිසියේ සේවය කරන කාලයේ සේවය කළ පොලිස් පරීක්ෂක ලලිත උඩුවැල්ලටයි. උඩුවැල්ල මේ වෙන කොට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස රාජකාරි කරනවා.  


යාපනයේ දොරෝ අප්පා ක්‍රීඩාංගණයේ මැතිවරණ ​ෙව්දිකාවක් සකස් කරලා කොටි ත්‍රස්තවාදීන් කණ්ඩායමක් මරාගෙන මැරෙන කොටි කෙල්ලෙකුව ඒ වේදිකාවට ප්‍රහාරයක් එල්ල කළ යුතු ආකාරය ගැන පෙර පුහුණූවීම් ලබාදෙන බවට උඩුවැල්ලට ඔත්තුව ලැබී තිබුණේ ඔහුට මේ බව පවසා තිබුණේ ඔහු හඳුනන යාපනයේ පදිංචි අයෙක්. උඩුවැල්ලට මේ තොරතුරු ලැබුණාට පස්සේ ඔහු මේ ගැන උසස් පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගත්තා. ඒ වගේ දැනුම්වත් කරලා තිබුණ පසුබිමක් තුළ තමා තොටළඟ බෝම්බ පිපිරවීම සිදුවුණේ.  


තොටළඟ බෝම්බ පිපිරවීම ගැන කියන කතාවට විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා ආරම්භයක් දුන්නේ එසේ පවසමිනි.  


සිද්ධිය දැනගත්ත මොහොතේම අපි තොටළඟ ඒ බෝම්බය පිපිරූ ස්ථානයට ඇවිත් පරීක්ෂණ ආරම්භ කළා. මෙය මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයක් බව අප කළ පරීක්ෂණවලින් අනාවරණය කරගත්තා. අපරාධය සිදුවූ ස්ථානය වසා කිසිවකුට ඇතුළුවීමට නොහැකි ආකාරයට රැකවල් යොදා බෝම්බ පිපිරවීමට අදාළ වෙනයම් හෝ සාධකයක් සොයා ගැනීමට ඇඟිලි තුඩු පරීක්ෂණයක් ආරම්භ කළා. අපරාධය සිදුවූ ස්ථානය පොලිස් නිලධාරීන් යොදවා ඔවුන්ගේ ඇඟිලි තුඩුවලින් පරීක්ෂා කිරීම තමා මෙහිදී සිදු කළේ. එවැනි පරීක්ෂණයක් ලංකාවේ පළමු වතාවට සිදුකළේ තොටළඟ බෝම්බ පිපිරවීමේ සිද්ධියටයි. මේ ගැන මං විශේෂ විදේශීය පුහුණුවක් ලබාගෙන තිබුණා.  


දින තුනකට විතර පස්සේ තොටළඟ වේදිකාව සකස් කර තිබුණ තැන තිබුණ මාර්කට් එකේ ගොඩනැගිල්ලක ඉහළ මාලයක ඇද තිබූ විදුලි රැහැනක පැටලී තිබූ විනාශවී ගිය කාන්තා හිස කොටසක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒ අනුව මෙය කොටි තරැණියක් විසින් සිදුකරන ලද්දක් බව අපට තහවුරු වුණා. කොටි කෙල්ල සිරුරේ බැඳ ගෙන සිටිය බෝම්බය පුපුරුවාගත් මොහොතේ ඇයගේ හිස කොටස සිරුරෙන් වෙන්වී ගොස් තිබෙනවා. මෙය ප්‍රබල බෝම්බයක් බවත් අපට පෙනී ගියා. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුණතිලක මහත්මයා ද පරීක්ෂණ ආරම්භ කළා.  


සොයාගත් හිස කොටසේ ඇයගේ මුහුණේ ස්වරූපය හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයට විකෘති වෙලා තිබුණෙ. මේ නිසා ඉදිරි පරීක්ෂණවලට ලොකු බාධාවක් වෙලා තිබුණා. හිස කොටස දකුණු කොළඹ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාව සිටි එස්. එම්. කොළඹගේ මහත්තයා ළඟට අරගෙන ගියා. එහිදී කොටි කෙල්ලගේ හිස කොටස සෝදා පිරිසිදු කර සංරක්ෂණය කළා.  


සංරක්ෂණය කළ කොටි කෙල්ලගේ හිස කොටස ප්‍රති නිර්මාණය කිරීමට ස්කොට්ලන්තයේ පරීක්ෂණාගාරයකට යැව්වා. එම පරීක්ෂණාගාරයේදී කොටි කෙල්ලගේ හිස කොටස නැවත ප්‍රති නිර්මාණය කිරීම සිදු කළා. මේ කටයුත්ත සිදුකළේ මේ සම්බන්ධව එවකට ලෝකයේ සිටි ප්‍රධාන පෙළේ විශේෂඥයකු වන පීටර් වැන්ගස්. 

 
ප්‍රතිනිර්මාණය කළ හිස කොටස හා එම හිස කොටසේ ලබාගත් ඡායාරූප ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එවා තිබුණා. අපි මේ කොටි කෙල්ලගේ ප්‍රතිනිර්මාණය කළ හිස කොටසේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළා. එහෙම කළේ ඇය ගේ අනන්‍යතාව හෙළි කර ගන්න යැයි, විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා කීය.  


පොලිස් පරීක්ෂක යු.ඊ.සී. රුද්‍රිගු මහතාද තොටළඟ බොම්බ පිපිරවීමේ සිද්ධියේ පරීක්ෂණ වලට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් රහස් පොලිස් නිලධාරියෙකි.  


වසර 38 ක පමණ පොලිස් සේවා කාලය තුළ වසර 28 ක පමණ කාලයක් රහස් පොලිසියේ සේවය කර ඇති රුද්‍රිගු මහතා අපරාධ විමර්ශන කටයුතුවල දී දක්ෂතා පෙන්වා ඇති නිලධාරියෙක් ද වන්නේය.  


මේ විශ්‍රාමික පොලිස් පරීක්ෂක යූ.ඊ.සී. රුද්‍රිගු මහතා ඒ ගැන කියන කතාවයි.  


තොට ළඟ බෝම්බය පුපුරුවාගත් මරාගෙන මැරෙන කොටි කතවූ පුෂ්පමලර් ගේ සැමියා වවුනියාව එවකට ආඥාපතිවරයාව සිටි සාලිය කුලතුංග මහත්තයා යටතේ පවතින යුද හමුදා කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රහස් පොලිසියට දැනුම්දී තිබුණා. සේනක කුමාරසිංහ මහත්තයාගේ උපදෙස් මත මම තවත් රහස් පොලිස් කණ්ඩායමක් එක්ක ඔහු රහස් පොලිස් මූලස්ථානයට අරගෙන ආවා. ඔහුගේ නම සෙල්ලයියා රවින්ද්‍රන් මොවුන්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියා ප්‍රශ්න කිරීම්වලදී දැනගැනීමට ලැබුණා. දරුවෝ දෙන්නෙක් ඉන්න මවක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධවෙලා තියෙන්නේ එල්.ටී.ටී.ඊ. යුද ඉතිහාසයේ පළමු වතාවට බව තමා සැලකෙන්නේ.  


කොටි කතගේ සැමියා ඇතුළු ඥාතීන් පොලිස් මෘත ශරීරාගාරයේ දී ඇයගේ මුහුණ කොටස බලා හඳුනා ගත්තා.  


කොටි බෝ්ම්බකාරිය වූ පුෂ්පමලර්ගේ විවාහක සැමියා සෙල්ලයියා රවිචන්ද්‍රන් රැඳවුම් නියෝග යටතේ සිට පසුව අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කළා. පස්සේ කාලයක  දී ඔහු නිදහස් වී ගොස් තිබුණා. කටුනායක ගුවන් තොටුපොළ කොටි ත්‍රස්තවාදීන් 2001 වසරේ ජුලි මාසයේ 24 වැනිදා ප්‍රහාරයක් එල්ල කළා. මෙම ප්‍රහාරයෙන් ගුවන් යානා 8 ක්ද ගුවන් හමුදාවට අයත් යානා 06 ක්ද සම්පූර්ණයෙන් විනාශ වුණා. තවත් ගුවන් යානා ගණනාවකට හානි සිදුවුණා.  


නියෝජ්‍ය පොලිස්පති රියෙන්සි පෙරේරා මහතාට ලැබී තිබුණ ඔත්තුවක් අනුව මම උප පොලිස් පරීක්ෂක ශාන්ත සේරම් එක්ක ගිහින් කටුනායක ගුවන් තොටුපොළට ප්‍රහාර එල්ල කරන්න කොටි ත්‍රස්තවාදීන් ආ බස් රථය එහි රියැදුරු සමග මීගමුව කට්ටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. බස් රථයේ රියැදුරා වූයේ වෙන කවුරුත් නොව පුෂ්ප මලර්ගේ සැමියා වූ සෙල්ලයියා රවිචන්ද්‍රන් නමැත්තා යැයි ද විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා කීය. 

 

අපි නැවතත් විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ මහතා කියන කතාවට සවන් දෙමු.  


ජනාධිපති ආරක්ෂක ගාමිණී දිසානායක මහතාගේ ආරක්ෂාවේ බරපතළ හිඩැසක් එදා තිබිලා තියෙනවා. වේදිකාවේ ඉදිරිපස අසුන් පෙළ පනවා තිබුණේ සංවිධායකවරුන්ගේ සමීපතම අය වෙනුවෙන්. ඉතිං ඉදිරිපෙළ අසුනක තමා මරාගෙන මැරෙන ​ෙකාටි කත තම ඉලක්කය සපුරාගන්නා තෙක් ඉඳගෙන ඉඳලා තියෙන්නේ. ඒකයි මා කියන්නේ එදා බරපතළ ආරක්ෂක හිඩැසක් තිබුණා කියා.  


ගාමිණී දිසානායක මහතා එවකට ඉන්දීය අගමැතිවරයාව සිටි රජිව් ගාන්ධි මහතාගේ ගජ මිත්‍රයෙක්. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්නත් ලොකු කාර්ය භාරයක් දිසානායක මහත්තයා ඉටුකළා. කොටි ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන්ම රටින් අතුගා දමන බව දිසානායක මහත්තයා ජනාධිපතිවරණ වේදිකාවල නිතරම කිව්වා. මම කාලයත් එතුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස රාජකාරි කර තිබෙනවා. ඔය බෝම්බ පිපිරවීමේ සිද්ධිය වෙන දවස් 10 කට විතර කලින් මා අායෙත් රහස් පොලිසියේ රාජකාරියට වාර්තා කළා.  


ගාමිණී දිසානායක මහත්තයා රටේ ජනාධිපතිවරයා වෙයි කියන බය ප්‍රභාකරන් තුළ තිබුණා. දිසානායක මහත්තයා ජනාධිපති වුණොත් රජිව් ගාන්ධි අගමැතිවරයාගේ සහාය ඇතිව කොටි ත්‍රස්තවාදය අපේ රටේ සම්පූර්ණයෙන් විනාශ කරයි කියන බයට තමා ප්‍රභාකරන් මරාගෙන මැරෙන කොටි කතක් යොදවා ඔහු ඉලක්ක කරගනිමින් මෙසේ බෝම්බයක් පුපුරුවාගන්න සැලසුම් කළේ යැයි ද විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ මහතා කීය.  


රහස් පොලිසිය භාරව එවකට සිටි නියෝජ්‍ය පොලිස්පති අමරසේන රාජපක්ෂ මහතාගේ සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී චන්ද්‍ර ජයවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණ සිදු කෙරී ඇත.  


සහකාර පොලිස් අධිකාරී කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු මෙම පරීක්ෂණවලට ප්‍රධාන පොලිස් පරීක්ෂක උඩුවැල්ල, පොලිස් පරීක්ෂකවරුන් වන රුද්‍රිගු සහ ලින්ටන් රත්නායක යන මහත්වරුන් ද සහභාගි වී තිබේ.  

 

 

 

 

 

 

 

 


සටහන
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය