IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


ගීතය-නර්තනය එක්කළ ජපානයේ කබුකි නාට්‍ය කලාව

ඉපැරැණි මිනාමිසා කබුකි රඟහල

 

ජපානයේ අති පෞරාණික නගරය සේ සැලකෙන කියෝතෝ පුරවරයේ උතුරු දෙස සජිකිගතාකේ කඳු වැටියේ සිට දේශය සශ්‍රීකත්වයට පත් කරමින් කමෝ නදිය ගලා බසියි. චෙරි සහ සකුරා තුරු අතරින් ගලා බස්නා මෙම නදියේ මංතලාව වංගු සහිත වීම නිසා ගඟ ගලා බසින්නේ හැඩකාර රිද්මයානුකූල ස්වභාවයකිනි. මේ නිසා දුරාතීතයේ සිට දේශීය ජනතාව මෙම ගංගා දේහිනිය තාරා නදිය ලෙසින් ද හඳුන්වනු ලැබූහ.  

 

කබුකි නාට්‍යයක වාද්‍ය වෘන්දය

 


1603 වසරේ ගිම්හානයේ එක්තරා සැඳෑ යාමයක කියෝතෝහි යථෝක්ත කමෝ ගංගා තීරයේ ඉසුමෝ දෙවොල දෙසින් මනබන්දනීය සංගීත රාවයක් ගම් වැස්සන්ට අසන්නට ලැබිණි. ඒ ළඳුන් සමූහයකගේ හැඟුම්බර ලයාන්විත ගායන විලාශයකි. ගායනය පසුබිමේ ජපන් බෙර රිද්මය මුසු බටනළාවේ ඉමිහිරි නාදය පිසගත් නදී තීරයෙන් හැමූ සුළඟ ගම්වාසීන් තුළ ඇති කළේ රසවින්දනාත්මක කුහුලකි. ගම්වැස්සෝ යුහු යුහුව කමෝ ගං ඉවුර වෙත පිය නැගුවේ කුහුල් සිතිණි. ඔවුනට සිය දෑස් මෙන්ම සවන් පත් ද ඇදහිය නොහැකිව ගිය සෙයකි. ඉපැරැණි ඉසුමෝ දෙවොලේ දේව කන්‍යාවියක ලෙසින් තේවාවේ නිරතව සිටි තම යෙහෙළිය ඉසුමෝ නෝ ඔකිණි නම් තරුණිය පෙරටු කොටගත් වර්ණවත් කිමෝනාවන්ගෙන් සැරැසී ජපන් ළඳුන් සමූහයක් ගඟ වැලි තලාවෙහි විචිත්‍රවත් රංගනයක නියැළී සිටිනු ඔවුහු දුටහ. රංගනය, ගායනය සහ සංගීතයෙන් ඔවුන් කෙතරම් මෝහනයට පත්වී ද යත් ඇඳිරි වැටෙන තුරා එහි රැඳී සිටිමින් ඉමහත් වින්දනයක් ලදහ. ඉසුමෝ නෝ ඔකිණි ප්‍රධාන රංගධාරිනියන්ගේ රංගනය පිළිබඳව ජපානය පුරා පුවත් පැතිර යන්නට විය. ජපානයේ දස දෙසින් කලාලෝලී ජනතාව දස දහස් ගණනින් කමෝ ගංගා අසබඩ වැලි තලාවේ චෙරි තුරු සෙවණේ පැවැති මෙම නව්‍ය රංගන විලාශය සහ එ් හා සබැඳි සංගීතාත්මක ගායන වෘන්දයෙන් තම නෙත් සිත් පිනවා ගන්නට වැල නොකැඩී පැමිණෙන්නට වූහ. ඉසුමෝ නෝ ඔකිණි විසින් ජපානයට දායාද කළ, ජපානයේ කබුකි නාට්‍ය කලා​වේ ආරම්භය ජපන් ඉතිහාසයේ සනිටුහන් වන්නේ එලෙසිනි.  

 

කබුකි නාට්‍යයක දර්ශනයක්

 


ජපන් භාෂාවේ අක්ෂර තුනක් පාදක කරගෙන කබුකි යන වදන ව්‍යුත්පන්න වී ඇත. ක අක්ෂරයෙන් ‘ගීතය’ යන අරුත සංකේතවත් කෙරේ. බු අක්ෂරයෙන් ‘නර්තනය’ යන අරුත ද කි අක්ෂරයෙන් ‘නිපුණතාවය’ යන අරුත ද ගම්‍ය වේ. ඒ අනුව, ගීතයේ සහ නර්තනයේ නිපුණතාව එකාත්මිකව කබුකි රංගන කලාව බිහි විය. ඊට පෙර යුගයන්හි ජපානයේ නාට්‍ය සම්ප්‍රදායන් කිහිපයක් දේශයේ ජනතාවගේ රසඥතාව පුබුදාලීම පිණිස සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලැබිණි. ‘නෝ’ ජපානයේ පැරැණිතම සංගීතමය නාට්‍ය ප්‍රවාහය සේ සැලකේ. එය වංශවතුන්ගේ රසාස්වාදනය පිණිස වෙන්වූ නාට්‍ය සම්ප්‍රදායක්ව පැවැතිණි. මීට අමතරව ක්යෝගෙන් නමින් විකට නාට්‍ය විශේෂයක් ද එරට ව්‍යාප්තව පැවැතිණි. 16 වැනි ශත වර්ෂයෙහි බුරන්කු නම් වූ රූකඩ නාට්‍ය කලාව ද එරට බෙහෙවින්ම ජනප්‍රියව පැවැතිණි. කබුකි නාට්‍ය කලාව බිහිවූයේ පොදු ජනයා සඳහා වෙන් වූ නාට්‍ය සම්ප්‍රදායක් ලෙසිණි. ​‘නෝ’ නාට්‍ය රසවිඳීමට අපොහොසත් පොදු ප්‍රේක්‍ෂකයා ප්‍රබල ලෙසින් ඇද බැඳ ගැනීමට ‘කබුකි’ නාට්‍ය සම්ප්‍රදාය සමත් විය.  


කබුකි නාට්‍යයෙහි මුඛ්‍ය අරමුණ වූයේ පොදු ජනතාවගේ රසභාව උද්දීපනය කිරීම හා ශිල්පීන්ගේ විශිෂ්ට නිපුණතා රසිකයන් හමුවේ ප්‍රදර්ශනය කිරීමය. එම අරමුණෙන් එහා ගිය සුවිශේෂී අපේක්‍ෂාවක් ද කබුකි නාට්‍ය නිර්මාපකයන් තුළ පැවැතිණි. එනම් සදුපදේශයක් සිය රසිකයන් සිත්හි සන්තානගත කිරීමය.  
නකමුරා සනෙමන් නම් වූ කම්මල්කරුවකුගේ දියණියක ලෙසින් 1578 දී ඉසුමෝ නෝ ඔකිණි, ඉසුමෝ දේවස්ථානය අසල උපත ලැබුවාය. කුඩා වියේ පටන් ඇය නර්තනයෙහි හා රංගනයෙහි දක්වන ලද දක්ෂතාව නිසාම ඇයට ඉසුමෝ දෙවොලෙහි දේවදාසියක් ලෙසින් ආවතේව කටයුතුවල නියැලෙන්නට අවස්ථාවක් ලැබිණි. ඔකිණි ට සිය කලා නිපුණතාවන් වර්ධනය කරගැනීමෙහිලා ඇගේ පෙම්වතා වූ උජිසටෝ සැන්සාබුරෝ වෙතින් ලද අනුපමේය අනුග්‍රහය ඕ වරක් සඳහන් කළාය. ඇය තුළ ඉසුමෝ දෙවඟන කෙරෙහි පැවැතියේ අසීමිත භක්තියකි. ඔකිණි කබුකි රංග ශෛලිය බිහිකර නාට්‍ය සංදර්ශන පැවැත්වීමෙන් ඇය වෙත ගලා ආ ධනය ඇය නිරන්තරයෙන්ම ඉසුමෝ දෙවොල වෙත පරිත්‍යාග කළාය. ඔකිණි සිය කබුකි නාට්‍ය සඳහා පාත්‍ර වර්ගයා තෝරා ගැනීමේදී පුමුඛත්වය ලබා දී ඇත්තේ කොමෝ ගංගා මිටියාවතේ සිය ජීවනෝපාය සලසා ගැනීම පිණිස අභිසරුලියන් ලෙස මාවත්හි සරමින් සිටි යොවුන් තරුණියන්ය. නිසි පුහුණුවක් ලැබීමෙන් පසු ඔවුහු කබුකි නාට්‍ය කලාවේ ජනප්‍රියතාව වර්ධනය පිණිස විපුළ දායකත්වයක් ලබාදුන් බැව් පැවැසේ. ඔකිණි ගත් මෙම නව පියවර ජපන් සමාජය කිසියම් කැළඹීමකට පත් කරවන සුළු විය. මෙතෙක් ජපානයේ නාට්‍ය සහ ප්‍රසිද්ධ රංගන සඳහා කාන්තාවන් යොදවා ගැනීමේ සම්ප්‍රදායක් නොපැවැතීම එවන් කැළඹීමක් ඇති වීමට මූලික හේතුව වූවා සේ සැලකේ. මින් පෙර රංගනයේදී කාන්තා චරිත නිරූපණය කරනු ලැබුවේ ගැහැනු ඇඳුම්වලින් සැරැසුණු තරුණ පිරිමින් විසිනි. කබුකි ඉතා ශීඝ්‍රයෙන් සමාජයේ අතිශයින් ජනප්‍රිය වීමට ද නාරි ලාලිත්‍යයෙන් පිරිපුන් කාන්තාවන් කබුකි වේදිකාවට සපැමිණීම සුවිශේෂී හේතුවක් විය. කබුකි වේදිකාවේ ඔකිණිගේ සමහර සරාගී නැටුම් පැරැණි ජන නැටුම්වලට අනුවර්තනයක් සේ සැලකේ.  


මෙහිදී වසර ගණනාවකට පෙර (පුහුණු වැඩමුළුවක් සඳහා ජපානයේ කියෝතෝ පුරවරයට ගිය අවස්ථාවක) කබුකි නාට්‍යයක් සියැසින් දැකගැනීමට ලැබුණු දුර්ලභ අවස්ථාවක් මගේ සිහියට නැගේ. එදවස කබුකි නාට්‍ය නැරැඹීම පිණිස අපට යාමට අවස්ථාව ලැබුණේ කියෝතෝ හි පැරැණිතම කබුකි රංග ශාලාව වූ මිනාමිසා රංග ශාලාව වෙතය. රංග ශාලාවට දකුණින් කමෝ ගංගාව මනබන්දනීය ලෙසින් ගලා බස්නා අයුරු අපි දුටිමු. ගඟ අසබඩ සකුරා රුක් සෙවණේ පියකරු ජපන් යුවතියකගේ පිළිරුවකි. අප සමග මෙම චාරිකාවට සහභාගි වූ පුහුණු වැඩමුළුවේ සම්බන්ධිකාරිකා තොමොකෝ නම් ජපන් තරුණියගෙන් පිළිරුව පිළිබඳව තොරතුරු විමසීමු. ජපන් කබුකි නාට්‍ය කලාවේ නිර්මාතෘ ඉසුමෝ නෝ ඔකිණි සමරනු වස් එය ඉදිකර ඇති බවත්, ඇය සිය කබුකි රංග කලාව ආරම්භ කළේ කමෝ ගංගාව අසබඩ මෙම ස්ථානයෙහි බවත් ඕ වැඩිදුරටත් පැවැසුවාය. අප එදින නැරැඹුවේ යොෂිට්සුන් සෙන්බන් සකුරා (යොෂිට්සුන් සහ චෙරි ගස් දහසක්) නම් වූ ඉපැරැණි කබුකි නාට්‍ය බව මගේ පැරැණි දිනපොතක සනිටුහන්ව තිබිණි. තොමොකෝ නම් ජපන් ළඳ ද අප අසල සිටීම නිසා කබුකි නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳ බොහෝ අප්‍රකට තොරතුරු අපට දැනගැනීමට හැකි විය.  
මිනාමිසා රංග ශාලාවේ රංග මණ්ඩපය සාම්ප්‍රදායික මොස්තරවලින් සරසා තිබිණි. වේදිකාව ජපන් බසින් හැඳින්වෙන්නේ මචාරී බුතායි නමිනි. එහි අරුත කබුකි නාට්‍යයේ ඒ ඒ දර්ශනයන්ට අනුගත වන පරිදි වේදිකාව උස් පහත් කිරීම මෙන්ම වේදිකාවේ ප්‍රමාණය අවශ්‍ය පරිදි පුළුල් හෝ පටු කිරීමට හැකි පරිදි නිර්මාණය කර තිබීමයි. කබුකි රංග මණ්ඩපයේ කැපී පෙනෙන අංගයක් වූයේ මල් පටු මග යන අර්ථ ගත් හනමිචි නම් වූ තීරයයි. මෙම තීරුව ශාලාවේ දිග අතට ප්‍රේක්ෂක අසුන් අතුරෙන් විහිදී ගොස් මණ්ඩලයේ වම් පසට වන්නට නැඹුරු වෙයි. ප්‍රධාන රංගධරයන් ප්‍රධාන වේදිකාවට ඇතුළු වීම හා පිට වී යාම සිදුවන්නේ බුමුතුරුණු එලා අලංකාර ලෙස සරසා තිබූ මෙම මල් මග හරහාය. ශාලාවේ වේදිකාව ආසන්නයේ සිටින ප්‍රේක්‍ෂකයන්ට මෙන්ම ශාලාවේ පසුපස පේළිවල අසුන් ගෙන සිටින සහෘදයන්ට ද නළුවන්ගේ ඉතා සමීප දර්ශන නෙත් පුරා විඳ ගන්නට මෙම ක්‍රමවේදයෙන් අවස්ථාව සැලසේ.   


කබුකි නාට්‍ය රංගන ශිල්පීන්ගේ ලාලිත්‍යමය වූ ඉරියව්, කතා විලාශය නෙත් සිත් ඇදගන්නා සුළුය. පාරම්පරික ඇඳුම් ආයිත්තම් හා රූපලාවන්‍ය උපක්‍රම සහෘදයන් ඔවුන් වෙත දැඩි ලෙස ආකර්ෂණය කරගැනීමට සමත් වේ. එපමණක් ද නොව ශිල්පීන් හැඩගන්වන රූපලාවන්‍ය ක්‍රම නිසා ඔවුන්ගේ චරිත මෙන්ම මනෝභාවයන් ද තීව්‍ර ලෙස උද්දීපනය වන සෙයක් දිසේ. රංගධාරීන්ගේ මුහුණු ආලේපන තැවැරීමේ සියුම් කර්තව්‍යය ජපන් වේශ නිරූපකයන් හඳුන්වන්නේ කුමදෝරි කිරීම ලෙසිනි. ඔවුන් මුහුණු සඳහා වර්ණ භාවිත කරන්නේ චරිතයේ ලක්ෂණ හා ගති සොබා මැනවින් මතු වී පෙනෙන ආකාරයෙනි. වේශ නිරූපණ ශිල්පීන් කිසියම් චරිතයක යහපත්කම සංකේතවත් කිරීමට මුහුණේ රතු පැහැය ද ඊර්ෂ්‍යාව හා භීතියෙන් පසුවන චරිත දැක්වීමට තද නිල් පැහැය ද භාවිත කරති. ප්‍රේමය, විරහව, කරුණාව, භීතිය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ආදී මානවීය හැඟීම් සමුදාය ඉස්මතු වන අයුරින් රඟපෑම සඳහා ආංගිකාභිනය උපයෝගි කරගැනීම කබුකි නාට්‍ය කලාවටම උරුම වූ සුවිශේෂී සම්ප්‍රදායකි. රංගනය සජීවීමත් කිරීමට යොදා ගන්නා අතිසියුම් කාර්මික ශිල්පීය ක්‍රමෝපායන් රාශියකි. අප කබුකි නාට්‍ය නරඹමින් සිටි එක් විරාමයක, දේවතාවකුගේ වෙස් ගත් ශිල්පියෙක් වේදිකාව ඉදිරිපිට අහසේ සිට ඓශ්චර්යවත් ලෙස වේදිකාව මතට පාත්වූයේ නරඹන්නන් විශ්මයට පත්කරමිනි. “සෙන්සේ, ශාලාවේ වේදිකාවට ඉහළින් පියවි ඇසට නොපෙනෙන සුළු සිහින් ශක්තිමත් රැහැන් රාශියක් ඇද තියෙනවා. රංගන ශිල්පීන් අහසේ සිට වේදිකාවට පාත්වන්නේ මේ රැහැන්වල එල්ලී...” යනුවෙන් පවසමින් අප අසල සිටි ජපන් යුවතිය අපගේ විමතිය පහ කිරීමට සමත් වූවාය.  


අප නැරැඹූ නාට්‍යයේ ප්‍රධාන චරිතය සජීවීමත් කළ ජපන් ශිල්පිනිය, කතාවේ විකාශනය සඳහා රංගනයේදී දැක්වූ ප්‍රතිභාපූර්ණ දායකත්වය ප්‍රේක්ෂක සිත් සතන් මහත් අමන්දානන්දනයට පත් කිරීමට සමත් විය. ජපන් සංස්කෘතියෙහි කාන්තාව සුවිශේෂී භූමිකාවක් සපුරාලන අයුරු මෙම කබුකි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් සිත් කාවදින අයුරින් තහවුරු කෙරිණි. “ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර තාම උසුලාගෙන යන්නේ ස්ත්‍රීන් යයි මට හැඟි ගියේය. පැරැණි කවීන් කියූ පරිදි සියුමැලි යනගි අත්ත මෙන් නැවී ඔවුහු කෙතරම් ලාලිත්‍යයකින් ඒ බර උසුලත් ද? ඔවුන් කතාබහ කරන ලීලාවෙහි, තේ කෝප්පයක්, බත් බඳුනක් අතට ගන්නා සැටියෙහි, මේ ශිෂ්ටාචාරය පිළිබිඹු වී පෙනේ. ගෙදර දොර බලා ගන්නා ගෘහණියගේ ද නානා වර්ණ කූරුවලින් අලංකාර කරන ලද උස් කොණ්ඩයකින් හා පිටෙහි වැහූ විශාල සමනළයකුගේ හැඩයට බඳින ලදඟ බඳනින් ද සැරැසී අමුත්තන්ට සංග්‍රහ කරන ගේෂා ස්ත්‍රියගේ ද සෑම ඉරියව්වකම පාරම්පරික අභ්‍යාසයක ලකුණු කැපී පෙනෙයි. සෑම ඉරියව්වකම පරමාර්ථය අක්ෂිගෝචර හැඩයක් මවාපෑමයි” යනුවෙන් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන් සිය මළගිය ඇත්තෝ කෘතියෙහි වදනින් කළ සිත්තම කබුකි නාට්‍ය නරඹා මිනාමිසා රංග ශාලාවෙන් පිටතට පැමිණි අපට සිහිපත් වූයේ නිරායාසයෙනි.   

 

කබුකි නාට්‍ය කලාව ප්‍රභවය ලද කියෝතෝවේ කමෝ නදිය අසබඩ සකුරා තුරුවදුල

 


මාහාචාර්ය සරත්චන්ද්‍ර ශූරීන් ජපානයේ කබුකි නාට්‍ය කලාව ගැඹුරින් හදාරා එතුළින් ගම්‍ය වූ නාට්‍යධර්මී ශෛලිය පිළිගෙන ඒ අනුව නාට්‍ය කිහිපයක්ම ලියා නිෂ්පාදනය කළේය. ‘මනමේ’ නාට්‍යයෙන් ඇරැඹූ මේ නව්‍ය ගවේෂණය ‘කදා වළලු’, ‘රත්තරං’, ‘සිංහබාහු’ යන නාට්‍ය දක්වා විහිද ගියේය. ‘මනමේ’ නාට්‍යයේදී සිය ප්‍රතිභා ශක්තිය මෙහෙයවා නිර්මාණය කළ කාව්‍යමය ශෛලිගත සජීවි දෙබස් ඔහු ජපන් කබුකි නාට්‍ය තුළින් ලද කිසියම් ආභාසයක ප්‍රතිඵලයක් ලෙසින් දිසේ. එමෙන්ම කබුකි නාට්‍යයේ පාත්‍ර වර්ගයා රඟමඬලට පිවිසෙන්නේ තමන් ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දෙන ගීතයක් ගායනය කරමිනි. එම සුවිශේෂී අංගය මනමේ නාට්‍යය තුළින් ද විද්‍යමාන වේ. වේදිකාවේ වම් පස වාද්‍ය වෘන්ධයත්, දකුණු පස අත්වැල් ගයන ශිල්පීන් පිරිසත් ස්ථානගත කිරීමේ ශිල්පීය ක්‍රමවේදය ද ජපන් කබුකි නාට්‍ය කලාව අනුසරින්, සරත්චන්ද්‍රයන් සිය නාට්‍යවලට හඳුන්වා දුන් අයුරු නිරීක්ෂණය වේ.   


අතීතය, වර්තමානය මෙන්ම අනාගතය යන තුන් කල්හිම කප් සහස් ගණනක් කබුකි නාට්‍ය කලාව ජපානයෙහි සජීවීමත් ලෙසින් ජනතා ආකර්ෂණය දිනා ගනිමින් විකාශනය වනු නියති. චිත්‍රපට, රූපවාහිනී වන් නව්‍ය සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ජනතාව හමුවට ගෙනෙන සංගීත සහ නාට්‍යමය ප්‍රසංගයන් පවා කබුකි නාට්‍ය සම්ප්‍රදාය හමුවේ පසුබා ඇති බව ජපානයේ මෑතකදී පවත්වන ලද සමීක්ෂණයකින් තහවුරු වේ.

 

 

ආචාර්ය ගාමිණී කාරියවසම්  



අදහස් (0)

ගීතය-නර්තනය එක්කළ ජපානයේ කබුකි නාට්‍ය කලාව

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10985 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6233 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5973 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5344 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3265 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1742 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 770 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2312 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1977 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site