ඈත අතීතයේ සිට කැලණි ගං මිටියාවතේ ජීවත් වූ ජනී ජනයාගේ ජන ජීවිතවලට කැලණි ගඟ ආශිර්වාදයකි.   
ඒ සොඳුරු නිම්නයේ ජීවත් වූ ජනයාගේ අටුකොටු බත බුලතින් සරු කළේ කැලණි නදිය ශාන්ත වෙස් ගත් තවුසකු පරිද්දෙනි.   


එහෙත් විටෙක ප්‍රචණ්ඩ වෙස් ගත් රකුසකු සේ කෙත්වතු ගම්බිම් පාළු කළද දුකසැප පරිද්දෙන් ගං දෑලේ ජීවත් වූ වැසියෝ මේ සොබා දහමේ උරුමයට මුහුණ දුන්නෝය.   


අද අපි කතාකරන්නේ සුන්දර ගම්මාන රැසකින් සැදුම්ලත් කැලණි ගං මිටියාවතේ අසිරිමත් කොලොන්නාවේ පුරාණය ගැනය.   

කොලොන්ගස් යායක් වැවී තිබූ නිසා කොලොන්නාව යන නම ව්‍යවහාර වූ බව මේ ගමේ ජීවත්වෙන පැරැන්නෝ පවසති. තවත් සමහරු කොලොන්ගස් යායක් මැද වැවක් තිබූ නිසා කොලොන්නාව වූ බවත් කැලැත්තෑව, රඹෑව, වෑත්තෑව, මුල්ලේරියාව ආදී ගම්වල අගට ‘‘ව’’ යන්න යෙදී තිබෙන බවත් එසේ අගට ‘‘ව’’ යන්න යෙදී තිබෙන බොහෝ ගම්වල අනිවාර්යයෙන් වැවක් පවතින බවත් පවසති. එහෙත් බොහෝ දෙනාගේ අදහස වූයේ කොලොන්ගස් යායක් තිබූ නිසා කොලොන්නාව වූ බවයි.   


වතු 12කින් සමන්විත කොලොන්නාවේ එකල ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානය වී ඇත්තේ සේදවත්තයි. අනෙක් වතු නම්, කොහිලවත්ත, කලටුවාවත්ත, සාලවත්ත, බ්‍රැන්ඩියාවත්ත, ඔරුගොඩවත්ත, කොටිකාවත්ත, මදිනවත්ත, වෙන්නවත්ත, ගමගේවත්ත, වෙලේවත්ත, කුරුණියාවත්ත ආදී වශයෙනි.   


කොලොන්නාවට මුළු හතරක්ද ඇත. එනම් මීතොටමුල්ල කැලණිමුල්ල, සාලමුල්ල, උඩුමුල්ල යනුවෙනි. උස්බිම් හෙවත් ගොඩැලි 5ක්ද කොලොන්නාවට ඇත. වෙහෙරගොඩැල්ල, කලවිටිගොඩැල්ල, පැණියගොඩැල්ල, ගණේ​ෙගාඩැල්ල හා මාලිගාගොඩැල්ලයි. සීතාවක රාජසිංහ රජුගේ පුත් ටිකිරි කුමරු පෘතුගීසින් සමඟ දරුණු සටනකට මුහුණ දී ජයගත් මුල්ලේරියාවද කොලොන්නාවට අයත් ඓතිහාසික ප්‍රදේශයකි.   


කොලොන්නාවට අයත් ගොතටුව ගම පිළිබඳව කෝට්ටේ යුගයේ ලියවුණු සංදේශ අතර වන හංස සංදේශයේ සඳහන් වන්නේ මේ අයුරිනි.   


“නන් සස් කෙත්වතින් නිති සැදුණු නොපටුව
 මන් තොස් කරව දැක වම් පසෙහි ගොතටුව”  

 
හංස කතුවරයා හංසයාට පවසන්නේ, ‘නොයෙක් ධාන්‍ය වර්ගවල අස්වැන්න ඇති කුඹුරු වතුපිටිවලින් අඩුවක් නැති වම්පසෙහි වූ ගොතටුව නම් ගම දැක සිතේ සතුට ඇති කරගන්න’ යනුවෙනි.   


හිඹුටාන ගැනද සැලලිහිණි සංදේශයේ සඳහන්ව ඇත. හිඹුටානත් කොලොන්නාවට අයත් ගම්මානයකි.  

 
සේදවත්ත වලව්ව, අඹගහ වලව්ව, තුඩුගල වලව්ව ආදි වලව්කාර පරපුරකට ද කොලොන්නාව උරුමකම් කියනු ලබයි.   


කොලොන්නාවේ අතීත උරුමය සොයා යෑමේදී කොලොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති ටෙරන්ස් එන්ද සිල්වා විදුහ​ෙල් හිටපු විදුහල්පති, පොත්තේවෙල විනීත හිමියන් ඒ ඇත්ත තොරතුරු ගෙනහැර පෑවේ මෙසේය.

  
“අතීතයේ කොලොන්නාවේ සීමාවන් වී ඇත්තේ උතුරින් කැලණි නදියත් දකුණින් කෝට්ටේ රාජධානියත් නැගෙනහිරෙන් සීතාවක රාජධානියත් බස්නාහිරින් කොළඹ අගනුවරත් ආදී වශයෙනි.   


කොලොන්නාව එද‌ා කොළඹ නගරයට අයිති භූමිභාගයක්. අතීතයේ ඉතා රමණීය භූමි ප්‍රදේශයක් වන කොලොන්නාවේ කෘෂිකර්මාන්තය හොඳින් කෙරුණු බවට ප්‍රදේශයේ තිබෙන ඇළවේලි සාක්‍ෂි දරයි.   


වර්තමානයේ ග්‍රාමසේවා වසම් 46කින් කොලොන්නාව පරිපාලන බල ප්‍රදේශයක් බවට පත්වෙලා තිබෙනවා. බුදුරදුන් රහතන් වහන්සේලා 500ක් සමඟ වැඩමකොට කැලණි නදියෙන් ජලස්නානය කොට, විවේක සුවයෙන් කල්ගත කළ ස්ථානය කිත්සිරිමෙවන් රජමහා වෙහෙර එගොඩ කොලොන්නාවේ පිහිටා ඇත.   


පැරණි නම් පොතේ පවා සඳහන් වෙන ‘‘සම්මුඛ දේවාලය’’ නමින් පැරණි දේවාලයක් මීතොටමුල්ලේ පිහිටා තිබෙනවා. තවද බෞද්ධ පුනර්ජීවනය ඇති කිරීමට ක්‍රියා කළ වාදිභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවන් සිදු කළ පංච මහා වාදයෙන් එකක් පවත්වලා තියෙන්නේ ඔරුගොඩවත්තේදී තමයි. ඔරුගොඩවත්තේ වාදය පවත්වා ඇත්තේ 1899 සැප්තැම්බර් 3 වැනිද‌ා. මේ වාදයට බෞද්ධ, කතෝලික ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගිවෙලා තියෙනවා. මේ වාදය ඉතා සාමකාමී අන්දමින් අවසන් වෙලා තියෙනවා.   


කොලොන්නාව නගරයෙන් ගලා බසින ඇළෙන් කොටසක් සම්බන්ධවන්නේ කෝට්ටේ නගරයටයි.   


කෝට්ටේ නගරයට ගොතටුවෙන් මේ ඇළ සම්බන්ධ වෙනවා. ඔබේසේකරපුර, රාජගිරිය, වැල්ලවත්ත දක්වාත් මාදින්නාගොඩ දියවන්නාව හරහා මේ ඇළෙන් කළුතර දක්වා ගමන් කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ සියලු ඇළවල් පෝෂණය වුණේ කැලණි ගඟෙන්.   


ඒකාලේ කැලණි ගඟ පිටාරගැලීමෙන් වැඩිම හානිය වුණේ කොළඹටයි. කොළඹ නගරයට ගැලූ ගංවතුර මුහුදට එක්වෙලා තියෙන්නේ වැල්ලවත්තෙනි.   


සුද්දන්ගේ කාලේ මේ ගංවතුර තර්ජනය නතර කිරීමට හාවඩ් නම් ඉංග්‍රීසි ජාතිකයා ගොතටුවේදී ඇළ සම්පූර්ණයෙන් පස් දමා ගොඩ කරලා විශාල වේල්ලක් බැඳලා තියෙනවා. ඒකට කිව්වේ ‘‘හාවඩ් වේල්ල’’ කියලා. කැලණි ගඟේ ගංවතුර තර්ජනයට බොරැල්ල, මරද‌ාන, කුරුඳුවත්ත ආදී ප්‍රදේශ මේ හාවඩ් වේල්ලෙන් පස්සේ අහුවුණේ නැහැ. නමුත් මුළු කොලොන්නාව ගංවතුර තර්ජනයට මේ හාවඩ් වේල්ලෙන් පස්සේ අහුවුණා. මේ වේල්ල ගොඩකිරීමේ ව්‍යාපෘතිය ඒ කාලේ, හඳුන්වලා තියෙන්නේ ‘පස්පාටිය’ කියලා තමයි.   


කොලොන්නාවට ස්වභාවිකව ලබා දී තිබූ ඇළ මාර්ගය ගොඩකිරීමෙන් පසු කොලොන්නා​ෙව් ජීවත් වූ ප්‍රභූ පිරිස් බොරැල්ල කුරුඳුවත්ත ආදී ප්‍රදේශවලට පදිංචියට ගියා. මේ සිදුවීමෙන් පස්සේ කොලොන්නාව දිළිඳුකමින් පිරුණු මිනිසුන් වෙසෙන ප්‍රදේශයක් බවට පත් වුණා.   


මහ කවි ආනන්ද රාජකරුණා මහතාගේ කවි පන්තියකින් මේ බව තවදුරටත් තහවුරු වෙනවා.   


‘‘දෙමටගොඩ කොලොන්නාව   
සරම්වත්ත මේකයි.   
මෙහි දනන් දුප්පත්   
ඒ නිසා සිත්හී දුක් බෝමයි.   
අදිරදය දනන්ගේ   
ලේ උරාබොයි   
මස් සපාකයි   
ඒ එසේ වූවත්   
ඒ අස්සෙන් ද‌ානයි සලාකයි.’’

  
 මේ කවි පංතියෙන් පෙන්වා දෙන්නේ කොයිතරම් නැති බැරිකම් තිබුණත් දන්දීම වගේ දේවල් ඒ ජනතාව සිදු කළ බවයි.   


කොලොන්නාවෙන් ගලා ගිය ඇළ ගොතටුවෙන් හරස් කිරීම නිසා කැලණි ගඟේ උතුරු ප්‍රදේශවලටද කරදර ඇතිවුණා. කැලණිය, කිරිබත්ගොඩ, බියගම, ගෝනවල, දළුගම පෑලියගොඩ ප්‍රදේශ දක්වා ගංවතුර තර්ජනය උග්‍රවුණා. පසුව කැලණියේ තවත් වේල්ලක් බැඳීමට පියවර අරගෙන තිබෙනවා. මේ වේල්ල බැඳීමෙන් පස්සේ සේදවත්ත කොලොන්නාව ප්‍රදේශවලට ගංවතුර ගැලීමේ ප්‍රශ්නය තවත් උග්‍ර වෙලා තියෙනවා.   


දෙවැනි ලෝක යුද සමයේ කොලොන්නාවේ ජනතාවට විශාල බලපෑමක් ඇති කළේ කොලොන්නාවේ තිබූ තෙල් ටැංකි සංකීර්ණය නිසයි. ඒ කාලේ කොලොන්නාවේ තෙල් සමාගම් 3ක් තිබිලා තියෙනවා. ඒ ෂෙල්, ඇසෝ හා කැල්ටැක්ස් යන සමාගම් තමයි. මේ සමාගම් දෙකක් ඇමරිකන් සමාගම්වීම හේතුවෙන් තර්ජනය වඩාත් උග්‍රවුණා.   
කොලොන්නාවේ ගමේ මේ තෙල් ටැංකි තිබීම නිසා ගමේ ජීවත් වූ බොහෝ දෙනා ඒකාලෙත් පිට පළාත්වල පදිංචියට ගිහිල්ලා තිබෙනවා.   


ඒකාලේ යුද උපක්‍රමයක් වශයෙන් තෙල් ටැංකි කොළ පාටින් පාට කරලා තියෙනවා. එතකොට සතුරු හමුද‌ාවලට එකපාරටම තෙල් ටැංකි හඳුනාගන්න අමාරුයිනේ. ඒ යුද උපක්‍රමය සාර්ථක වෙලා තියෙනවා. තෙල් ටැංකි කියලා හිතාගෙන ජපන්නු බෝම්බ ද‌ාලා තියෙන්නේ අංගොඩ මානසික රෝහලේ ජල ටැංකිය මතටයි. අංගොඩ මානසික රෝහලේ රෝගීන් මේ බෝම්බ හේතුවෙන් මියගියා. 1942 අප්‍රියෙල් මාසයේ හෙලූ මේ බෝම්බය නිසා 35 දෙනකු මියගිහින් තවත් 75කට පමණ තුවාල සිදුවෙලා තිබෙනවා. අපේ ඉතිහාසය සමඟ බැඳී පවතින ගම් අතර මුල්ලේරියාවේ සටන් පැවැති කාලයේ සටන්කරුවන්ට බත් සැපයූ බත්ගමුව වර්තමානයේ බුත්ගමුව ලෙස හඳුන්වනු ලබනවා.   


රාජසිංහ රජතුමා පෘතුගීසින් පරාජය කොට ජයගත් බව ප්‍රකාශ කිරීමට කොඩිය දැමූ ස්ථානය කොඩිගහවත්ත වූ අතර පසුව එය කොටිකාවත්ත නමින් ප්‍රසිද්ධ වුණා. කොටිකාවත්ත ගමෙන් බිහිවූ ප්‍රසිද්ධ ධර්මදේශකයාණන් වහන්සේ වූ කොටිකාවත්තේ ශ්‍රී සද්ධාතිස්ස නාහිමියන්වත් ​ෙමහිදී සිහිපත් කළ යුතුයි.  

 
වෙහෙරගොඩැල්ල පුරාණ විහාරස්ථානය විජේවර්ධන පරපුරෙන් ශාසනයට ද‌ායාද කළ විහාරස්ථානයක්. හෙලේනා විජේවර්ධන ළමාතැනිය විසින් මේ විහාරස්ථානය පූජා කරලා තිබෙනවා.

  
​ෙකාලොන්නාවෙන් බිහි වූ විද්වතුන් ගැන සඳහන් කිරීමේදී 1905 මාර්තු මස 29 දින කොලොන්නාවේ පැණියගොඩැල්​ලේදී එඩ්වඩ් විනිප්‍රඩ් නමින් උපත ලැබූ පසුව වීරසේකර අදිකාරම් ලෙස ප්‍රසිද්ධියට පත් වූ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතාද ශ්‍රේෂ්ඨ පඬිවරයකු වගේම අවිහිංසාවාදයට මෙන්ම සතුන්ට ගහකොළවලට ආදරය කළ මානව හිතවාදියෙකු වූ මහාචාර්ය ජිනද‌ාස පෙරේරා මහතාද සිහිපත් වෙනවා.   


මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි මහතාද කොලොන්නාවේ උපත ලද සිංහල භාෂාවට සුවිශේෂ මෙහෙවරක් කළ විද්වතෙක්. පැවිදි පඬිවරුන් අතර ​ෙකාලොන්නාවේ සද්ධානන්ද හිමියන්ද අගය කළ යුතු පැවිදි පඬිරුවනක්.   
කොළඹ යුගයේ ජීවත් වූ දීප්තිමත් කවියෙකු වූ උක්වත්ත ආරච්චිගේ සිරිසේන පෙරේරා හෙවත් යූ.ඒ.එස්. පෙරේරා (සිරිඅයියා) ජනහිතකාමී සත් පුරුෂයෙක්. ගුවන් විදුලියේ ‘‘සුරතල් නංගියේ අපේ අම්මා’’ ගීතය ඇතුළු ජනප්‍රිය ගීවලට ද‌ායක වූ ඔහු එද‌ා ගුවන් විදුලියේ ළමාපිටිය පෝෂණය කිරීමට දුන් ද‌ායකත්වය සුළුපටු නැහැ.


 එද‌ා ගැමි සමාජයක සිරිය ගත් කොලොන්නාව අද ජනාකීර්ණ වට පිටාවකින් හෙබි නගරයක සිරිය අරන්. ඒ සමඟ සියලු දේ වෙනස්වෙමින් පවතිනවා” යැයි අවසන් වශයෙන් පොත්තේවෙල විනීත හාමුදුරුවෝ පැවසූහ.   


කොලොන්නාවේ පුරාණය ගැන කතා කළ හිඹුටානේ පදිංචි පැරණි සම සමාජ පාක්‍ෂිකයෙකු මෙන්ම මාධ්‍යවේදියකු වන ජයසිංහ ඕ. ද අල්විස් මහතා:-   


“ඉස්සර කොලොන්නාව අයිතිවෙලා තිබුණේ උතුරු කොළඹට හා අනෙක් පැත්තෙන් අවිස්සාවේල්ල ආසනයටයි. උතුරු කොළඹ රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ මන්ත්‍රීවරයා වුණේ සිරිසඟබෝ වැනි නාට්‍ය නිර්මාණය කළ ටවර්හෝල් යුගයේ දැවැන්තයකු වූ නීතිඥ මාකලන්දගේ ජෝන් ද සිල්වා මහතාගේ පුත්‍රරත්නය වූ මාකලන්දගේ ජෝසප් ද සිල්වා මහත්තය.   


ඒ මහත්තයා සමඟ තරග කළේ කම්කරු පක්‍ෂයේ ඒ.ඊ. ගුණසිංහ මහත්තයා.  

 
1960 හා හා පුරා කියා පළමු වතාවට කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයක් බවට පත් වෙනවා. 1960 මාර්තු මැතිවරණයේදී කොලොන්නාවේ පළමු මන්ත්‍රීවරයා වීමේ භාග්‍යය ලැබුණේ කොහිලවත්තේ විසූ කොස්වත්තගේ එඩ්මන් පෙරේරා මහතාටයි. උක්වත්ත ආරච්චිගේ සිරිසේන පෙරේරා හෙවත් සිරි අයියා එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කරනවා.   


ඔහු සමඟ විලියම් ගෝනදූවත් තරග කරනවා. ලංකා සම සමාජ පක්‍ෂයෙන් බොරළුගොඩ බෙන්ජමින් රූපසිංහ ගුණවර්ධන හෙවත් රොබට් ගුණවර්ධනගේ බිරිඳ සීලා කල්‍යාණි, රූපා ගුණවර්ධන මහත්මියත් තරග කරනවා.   
නමුත් මහජන එක්සත් පෙරමුණේ කොස්වත්තගේ එඩ්මන් පෙරේරා ජයගන්නවා. 1960 දෙවැනි මැතිවරණයේදී ඩී.එස්. සමරසිංහ මහතා බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් ලබාගන්නවා. පසුව ඡන්ද පෙත්සමකින් ඩී.එස්. සමරසිංහ මහතාට ආසනය අහිමි වෙනවා.   


මේ අවස්ථාවේදී හේවාහැට ආසනයෙන් එජාපයෙන් ඩැනියෙල් අප්පුහාමිට පරාද වී සිටි දක්‍ෂ ලේඛකයෙකු මෙන්ම ප්‍රගතිශීලි දේශපාලනඥයකු වූ ටිකිරි බණ්ඩාර ඉලංගරත්න මහතා කොලොන්නාවේ අතුරු මැතිවරණයට ඉදිරිපත් වී විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.   


එද‌ා ඈත අතීතයේ ඉඳලා රතු බළකොටුවක් වෙලා තිබුණ කොලොන්නාව 1960 ඉඳලා නිල් බළකොටුවක් බවට පරිවර්තනය වෙනවා. 1970 මහා මැතිවරණයෙන් ජයගත් ඉලංගරත්න මහතා කොලොන්නාව ජනතාවට විශිෂ්ට මෙහෙවරක් කළ ජනතා පුත්‍රයෙක් ලෙස දේශපාලන ඉතිහාසයේ සද‌ා අමරණීය නාමයක් බවට පත්වෙනවා.   
ඉලංගරත්න මහතා සමඟ මහජන එක්සත් පෙරමුණෙන් පිලිප් ගුණවර්ධන මහතාගේ බිරිඳ වූ කුසුමා ගුණවර්ධන මහත්මිය තරග කළත් ඇයටත් පරාජයට පත් වීමට සිදුවූ බව මට මතකයි.   


මීගමුවේ ධනවත් පවුලක ඉපදී කොලොන්නාවට සේවය කළ ටෙරන්ස් එන් ද සිල්වා මහතා කොලොන්නාවට සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ ජනතා සේවකයෙක්. ටෙරන්ස්ද සිල්වා මහතා ‘‘සූරිය විදුහල’’ නමින් විදුහලක් ආරම්භ කරලා තියෙනවා.   


මුල් කාලේ මේ විදුහල ආර්ථික පහසුකම් නැති දරුවන්ගේ ඉගෙනුමට අතදුන් විද්‍යායතනයකි.   


දුෂ්කරතා මැද කරගෙන ගිය මේ විදුහල ඉදිරියට පත්වාගෙන යාමේ දුෂ්කර බව හඳුනාගත් කොලොන්නාවේ වැසියෙක් සර් ජෝන් කොතලාවල මහතා හමුවීමට යා යුතු බවට යෝජනාවක් ටෙරන්ස් එන් ද සිල්වාට ඉදිරිපත් කරලා තිබෙනවා.   


පස්සේ ටෙරන්ස් එන්. ද සිල්වා මහතා නියෝජිතයන් කීප දෙනෙකු සමඟ සර් ජෝන් කොතලාවල මහතා හමුවීමට කඳවල වලව්වට ගිහිල්ලා තියෙනවා. මේ මොහොතේදී සර් ජෝන් කොතලාවල මහතා සූරිය විදුහලට රුපියල් 1000/-ක මුදලක් පරිත්‍යාග කරලා තිබෙනවා.   


මේ පරිත්‍යාගයට සර් ජෝන් කොතලාවල මහතාට එහි ගිය නියෝජිතයෙක් ස්තුති කරලා තියෙනවා.   


‘‘හා හා මට ස්තුති කරන්න එපා. ඔයාලගෙ නායකයා වෙන ඩොක්ටර් ඇන්.ඇම්. පෙරේරා ගෙන්නලා එතැන හොඳ රැස්වීමක් තියලා මට හොඳටම බණිනවා නම් මම කැමැතියි’’ සර් ජෝන්ගේ පිළිතුරු එයයි.  

 
ටෙරන්ස් එන්ද සිල්වා මහතා ඇරඹූ මේ විදුහල තුළින් බිහිවූ දේශපාලනඥයන් හා කම්කරු නායකයන් අතර බාලාතම්පෝ, බැටී වීරකෝන්, සෝමා වික්‍රමනායක යන අය මේ විදුහලේ ආචාර්ය මණ්ඩලයේ සේවය කළා.   
‘‘ඒ කාලේ කොලොන්නාවේ දේශපාලන පොරපිටිය හරිම රසවත්. ඒ අතීතය වමේ මිනිහෙක් වශයෙන් අදත් මම හොඳින් රස විඳිනවා’’ යැයි ජයසිංහ අල්විස් මහතා හැඟීම්බරව පැවසුවේය.   


කොලොන්නාවේම ඉපදී කොලොන්නාවේම හැදී වැඩුණ සුනිල් පෙරේරා කොලොන්නාවේ අතීතය ගැන මෙසේ කියයි.   


මගේ ළමා කාලය මුළුමනින්ම ගෙවුණේ කොලොන්නාවේම තමයි. ඒ කාලේ වැල්ලම්පිටිය පාලම ළඟ ඉඳලා සාලමුල්ල දක්වා තිබූ ඇළ මාර්ගය ඒ කාලේ අඩි 55ක් විතර විශාලයි. ඇළේ වතුර හරිම පිරිසිදුයි. අපි කොල්ලෝ එකතුවෙලා මේ ඇළේ හොඳට නානවා. සිංහපුර පහළ ලස්සන වෙල්යායක් තිබුණා. ජෝන් මුදලාලිගේ එළවළු කොරටු ගොඩාක් තිබුණා. හොඳ සරුසාර කුඹුරු තිබුණා.   


සීන් අයියා, කොම්මයියා, දිනපාල, යසපාල කියලා හොඳ ගොවියෝ පිරිසක් ගමේ හිටියා. කළු දම්මේ කියලා හොඳ කිරි ගොවියෙක් හිටියා. ඔහුට අපූරු ගව පට්ටියක් තිබුණා. කොම්යියාටත්, සුසිල් පෙරේරාටත් ගවපට්ටි තිබුණා.  
ඉස්සර පොල් අතු සෙවිලි කළ ගොම මැටි ගාන ලද ගෙවල් තමයි වැඩිපුරම කොලොන්නාවේ තිබුණේ. ලෑලිවලින් හදන ලද ගෙවල්ද තිබුණා. ඒකාලේ අද වගේ කොලොන්නාවේ අඩියෙන් අඩිය ගෙවල් තිබුණේ නැහැ.   
ඉස්සර සිංහපුරට කිව්වේ අළුවළ කුඹුර කියලා තමයි. පස්සේ ජී.පී. පෙරේරා මාවත වුණා. ඊටත් පස්සේ වීරසිංහ මල්ලිමාරච්චි මහත්තයා ‘සිංහපුර’ කියලා නම දැම්මා.  


මම ගියෙත් ටෙරන්ස් එන් ද සිල්වා විදුහලට තමයි. ඉස්කෝලේදී බනිස් ගෙඩියයි, කිරි​කෝප්පයයි අපට හම්බවෙනවා. මීතොටමුල්ලෙත් ඒ කාලේ ලොකු ගව පට්ටියක් හිටියා. බාරොන් අයියා සහ ජයා කියලා දෙන්නෙක් මේ ගව පට්ටිවල හිමිකරුවෝ වුණා. ඒ කාලේ කිරිමුට්ටියක් රුපියල් 2යි. පාන් ගෙඩියක් ශත 24යි. ශත 25ක් දුන්නාම ඉතිරි ශතේට නාරන් බික් අහුරක් අපේ ළමා අතට මුදලාලිගෙන් ලැබෙනවා.  


මීතොටමුල්ලේ පොතුවිල් කුඹුර කියන ස්ථානයේ තමයි පහුගිය දවස්වල තිබූ කුණු කන්දට යටවෙලා මිනිස්සු මැරුණේ. ඒ කුඹුර ඉතාම සාරවත් කුඹුරක් වශයෙන් මං ඒ කාලේ දැකලා තිබෙනවා.  

 
කොලොන්නාවෙන් බිහි වූ කලාකරුවන් අතර ප්‍රවීණ සංගීතඥ සෝමද‌ාස ඇල්විටිගල, සිනමා නළු ඩී.ආර්. නානායක්කාර, සිනමා සටන් නළු විල්සන් වාස්, සංගීත් නිපුන් සනත් නන්දසිරි, සිනමා නිළි අනෝජා වීරසිංහ, අග්‍රා සජීවනී, ආතර් - ශ්‍රියානි අමරසේන යුවළ, ගායක ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න, සංගීතවේදී ජගත් වික්‍රමසිංහ, ගීතා කාන්ති ජයකොඩි, රත්නා ලාලනී ජයකොඩි ආදී කලාකරුවන් රැසක් දක්වත හැකියි.  


වීරසිංහ මල්ලිමාරච්චි, භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දුමින්ද සිල්වා, රේණුක පෙරේරා, සෝලංග ආරච්චි, බැනට් කුරේ ආදී දේශපාලනඥයන්ද නියෝජනය කළේ කොලොන්නාව.  


කොළඹට නුදුරු කොලොන්නාව අසුන්දර වී තිබුණත් ඈත අතීතයේ තිබූ සුන්දරම පෙදෙසක් බව අඹතලේ හිඹුටාන ආදි ප්‍රදේශවල සැරිසරද්දී දැක ගැනීමට හැකිවිය.   


කොලොන්නාවේ රජයේ පොදු වැඩපොළ හා ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාරයක්ද පිහිටා තිබේ. අංගොඩ මානසික රෝහල, අංගොඩ උණ රෝහල ඉදිකර ඇත්තේද කොලොන්නාව තුළය.  

 

 


සටහන හා ඡායාරූප 
මහින්ද ආරියවංශ