සත්‍ය වශයෙන්ම මේ ලෝකයේ අද්භූත බල තිබෙන, අධි මානසික බල තිබෙන මිනිස්සු සිටිත්ද? ඔවුන්ට කළ හැක්කේ මොනවාද? මෙයට විවිධ පුද්ගලයින් තුළ ඇති මත ද විවිධාකාරය.   


අංජලී සරසවි අධ්‍යාපනය හදාරමින් සිටින වයස අවුරුදු විසි දෙකක යුවතියකි. රූමත්කමිනුත් උගත්කමිනුත් නිහතමානී ගතිගුණවලිනුත් හෙබි අංජලී කිසිම දිනෙක පාසල් ගමන කඩකෙරූ අයෙකු නොවීය. ඉගෙනීමට දක්ෂතා දක්වනවා සේම ඉගෙන ගැනීමේ කටයුතු කළේද ඇය බෙහෙවින්ම සතුටිනි. උණක් හෙම්බිරිස්සාවක් විනා මාසික ඔසප් දිනවලදී ද ඇය පංති නොගොස් අධ්‍යාපන කටයුතු කඩ කළේ නැත. එනිසාම සරසවි වරම් ලබා මේ වනවිට සරසවි අධ්‍යාපන කටයුතු කරගෙන යන්නීය.   


එක්වරම අංජලීට බඩේ කැක්කුමක් හැදුණි. දරාගත නොහැකි බඩේ කැක්කුම නිසාම උදරය තෙරපවාගෙන විලාප දෙන්නට පටන් ගත්තාය. ඇගේ හඬ ඇසී දුවගෙන ආ මව දුටුවේ දියණිය ඉතා අපහසුතාවකින් පෙළී සිටින බවයි. වහාම දියණිය කැටුව වෛද්‍යවරයෙකු වෙත ගිය විට වෛද්‍යවරයා දුන් බෙහෙත්වලින් ආබාධය සුව විය.   


අංජලීට කුමන හෝ ගමනක් යාමට පෙර වැසිකිළියට දෙතුන් වරක් යාමේ පුරුද්දක් විය. පාසල් යන කාලයේදී සිටම එය එසේ සිදුවිය. ඇඳ පැලඳගෙන ලෑස්ති වී පොත් බෑගය රැගෙන එළියට යාමට මත්තෙන් ඇය නැවත නැවත වැසිකිළි යන්නීය. කුමන හෝ හදිසි ගමනක් යෙදී තිබූ විටදීද ලෑස්ති වී මිදුලට බැසීමට පෙර දෙතුන් වරක් වැසිකිළි යන්නීය. සරසවියට යන විටදී පවා ඇයගේ මෙම පුරුද්ද එලෙසම පැවතිණි.   


අංජලීට හැදුණ බඩේ කැක්කුම සති දෙකක් යනවිට නැවත සෑදිණි. පෙර සේම ඉතාමත් අපහසුතාවකින් සිටි ඇය වෛද්‍යවරයකු කරා යොමු කෙරිණි. එවිට අංජලීගේ මව විසින් අංජලීගේ වැසිකිළි යාමේ පුරුද්ද වෛද්‍යවරයා හට පවසා සිටි විට අංජලීව මනෝ වෛද්‍යවරයෙකු වෙත පෙන්වන මෙන් වෛද්‍යවරයා අංජලීගේ මව දැනුම්වත් කළේය. එහෙත් එය මානසික රෝගයක් නොවන බව අංජලීගේ මව්පියෝ සිතූහ. දියණියගේ බඩේ කැක්කුමත් සමඟින් ඔවුන් ඇය බලසම්පන්න කපු මහතකු වෙත ගෙන ගියහ.   
“අනේ කපු මහත්තයෝ දුවට මේ ළඟදී හොඳටම බඩේ කැක්කුමක් හැදුණා. දෙපාරක්ම අමාරු වුණා. නිතරම කොහේ හරි යන්න ගියත් තුන් හතර පාරක්ම වැසිකිළි යනවා කපු මහත්තයෝ” අංජලීගේ මව කපු මහතා ඉදිරියේ දියණියගේ අසරණභාවය කියාගෙන ගියාය.   


“හ්ම්... මට පෙන්නුම් කරනවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.. හොඳා බුලත් අතක් පඬුරු සමඟ තිබ්බනම් බලතහැකි මොකක්ද හේතුව කියලා” කපු මහතා පැවසීය. බුලත් පඬුරු තබා කපු මහතා පසෙකින් තිදෙන වැඳගෙන සිටියෝය.   


“අප්පේ මේ දරුවට බඩට දෙයක් දීලා තියෙනවා. ඒක පැසව පැසව තිබිලා තියෙන්නෙ මෙච්චර කාලයක්ම. ජීවත් වෙලා ඉන්න එකත් පුදුමයි. ඉක්මනින්ම අයින් කරගත්තොත් හොඳයි. මේක කරලා තියෙන්නේ තමන්ගේම ඥාතිවරියක් බවයි පෙන්නුම් කරන්නේ. දරුවාගේ ඉගෙනීම කඩාකප්පල් කරලා දාන්න. අකුරු තුනක නමක් තියෙන ගැහැනු කෙනෙක්” කපු මහතා සාස්තරය කියා අවසන් කොට අංජලීගේ මාපියන්ගෙන් තමන් කීවේ මොනවාදැ”යි ඇසීය.   


අංජලීගේ පියා කපු මහතා ආරූඪයෙන් කියූ සියල්ල පවසා සිටියේය.   


“හොඳ වෙලාවට බඩේ රුජාවක් හැදුණේ. ඒ හින්දනේ මං ළගට ආවේ... නැත්තම් ඉතින් මෙලහටත් දරුවා ජීවත් වෙන එක හිතන්නවත් බෑ. දැන් මොකද මේකට කරන්නේ?’’ කපු මහතා ඇසීය.   


“අනේ කපු මහත්තයෝ කීයක් ගියත් කමක් නෑ කෙල්ලගේ බඩට දීලා තිබෙන දේ අයින් කරලා දෙන්න බුදු බව අත්වෙයි’’ අංජලීගේ මව බැගෑපත් වූවාය.   


අංජලීගේ බඩට දී තිබූ දෙය ඉවත් කිරීමේ කාර්යය කපු මහතා විසින් භාර ගත්තේය. ඒ සඳහා විශාල මුදලක් කපු මහතාට ගෙවීමට අංජලීගේ පියාට සිදුවිය. දියණියගේ තත්ත්වය බරපතළ බව කපු මහතා කී හෙයින් දියණියගේ ජීවිතය බේරා ගැනීම සියල්ලටම වඩා අවශ්‍ය බව මාපියෝ සිතූහ. ඒ අනුව අංජලීගේ බඩට දී තිබූ දෙය කපු මහතා විසින් විරේක කොට විස අයින් කරන ලදි. ඉන්පසු දේව පූජාවක්ද දී ආරක්ෂක යන්ත්‍රයක් ඇගේ උදරයට වටා දැමීය.   


තිදෙනාම නිවසට පැමිණියේ ඉතාම සැහැල්ලුවකිනි. අංජලීගේ තත්ත්වය යහපත් අතට හැරීම ගැන සතුට සේම මෙය කළේ කවුරුන්ද යන්න කුකුසක් ඔවුන් තුළ ඇතිවිය. නමුත් දින සති ගෙවී යද්දී අංජලීගේ තත්ත්වයේ කිසිදු වෙනසක් වී නොමැති බව අංජලීට මෙන්ම මාපියන්ටද වැටහී තිබිණි. සරසවියට යාමට මත්තෙන් කීප විටක්ම වැසිකිළියට යාමේ පුරුද්ද එලෙසම පැවතිණි. කොහේ හෝ ගමනක් යන්නට ගියත් ඇය කීප වරක්ම වැසිකිළි ගියාය.   


මෙම මානසිකත්වයෙන් පීඩා විඳි අංජලී සරසවියට යාමද අත්හළේය. කරපු කිසිම දෙයකින් යහපතක් නොවුණේ තමාගේ කාලකණ්ණිකම නිසා වන්නට ඇතැයි ඇය සිතුවාය. අංජලීගේ මාපියන්ට ඇගේ තත්ත්වය බලා සිටීමට නොහැකි නිසා නොයෙක් දේවාල හා පන්සල්වල සිටින කපු මහත්වරුන් ළඟට ඇයව ගෙන ගියත් වෙනසක් නොවිණ.   
අංජලීගේ පියා තම කාර්යාලයේ මිතුරකු සමඟ දියණියගේ තත්ත්වය ගැන කතා කරන විට මිතුරා කීවේ ඇය වහාම වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත රැගෙන යන ලෙසත් එයට විසඳුමක් වෛද්‍යවරයා විසින් ලබා දෙනු ඇති බවත්ය.   


අංජලි තම මව හා පියා සමඟ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවීමට පැමිණියහ. තිදෙනාගෙන් වෙන වෙනම විස්තර කතා කර වෛද්‍යවරයා අංජලීට ප්‍රතිකාර කිරීම ආරම්භ කළේය. සති කිහිපයක ප්‍රතිකාරවලින් පසු අංජලිගේ එම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව විය.   


මොවුන් විසින් බලසම්පන්න කපු මහතාට නොයෙක් පුදපූජා සත්කාර සඳහා ලොකු ගණනක් වියදම් කර තිබූ නිසා එයින් යම්කිසි මුදලක් ඉල්ලා ගැනීමට අංජලිගේ පියා සිතීය. එලෙස සිතමින් අංජලිගේ පියා ගොස් කපු මහතා හමුවී තමන් දුවගේ අසනීපයට ලක්ෂ ගණනක් වියදම් කළ බවත් එයින් කිසිදු සහනයක් සිදු නොවූ බවත් එම නිසා කපු මහතා ගත් මුදලින් කොටසක් හෝ තමාට ලබාදිය හැකිදැයි විමසීය.   


“දැන් ළමයට කොහොමද” යනුවෙන් කපු මහතා විමසීය. ඉන්පසු කපු මහතාගේ ප්‍රතිකාරවලින් ළමයාට සුව නොවූ බවත් එම නිසා මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමුකොට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කළ පසු ළමයාට සම්පූර්ණයෙන් සුව වූ බවත් අංජලීගේ පියා විසින් පැවසීය.   


“මොන මනෝ විජ්ජා ප්‍රතිකාරද..? මම විස අයින් කරපු නිසා පහුවෙලා තමයි ළමයට හොඳ වෙලා තියෙන්නේ... බොරුවට දොස්තර ළඟට ගිහිල්ලා මම මහන්සිවෙලා කරපු දේ හෑල්ලුවට ලක්කරනවා..” යනුවෙන් පවසමින් අංජලිගේ පියාට කපු මහතා විසින් චෝදනා කරන්නට විය.   


“පුළුවන් නම් මං මේ කරන දේ සත්‍යයක් නෑ කියලා ඔප්පු කරන්න කියලා ඔය කියන මනෝ විජ්ජාකාරයින්ට කියන්න. මං එතකොට පෙන්නන්නම් මගේ බලේ’’ කපු මහතා අභියෝගාත්මක ස්වරූපයෙන් අංජලීගේ පියාට පැවසීය. කමක් නෑ ඉතිං සල්ලි දෙන්නෙ නැත්තම් මම යන්නම්’’ කියමින් ඉතාමත් අසරණභාවයකින් යුතුව අංජලිගේ පියා පිටව ගියේය.   


මෙම සිදුවීම පිළිබඳව පසුදිනක අංජලීගේ පියා විසින් වෛද්‍ය විද්‍යාකුලපති මහතාට පැවසීය. පසුව වෛද්‍ය විද්‍යාකුලපති මහතාත් මාතර රෝහලේ වෛද්‍ය අසංක සිංහාරගේ මහතාත් විදුල අධි මනෝ විද්‍යා පර්​ෙ‌ය්ෂණ සංගමයේ තවත් පර්​ෙ‌ය්ෂකයින් කිහිපදෙනෙකුත් මාධ්‍යවේදීන්ද සමඟ අරුම පුදුම කපු මහතාගේ බල පරාක්‍රමය සෙවීම සඳහා ඔහුගේ දේවාලය කරා පිටත් විය.   


එම ස්ථානයට ළඟා වූ පිරිස වෙන් වෙන් වශයෙන් බුලත් තබා සාස්තර ඇසීමට පැමිණි මිනිසුන් මෙන් පෝළිමේ සිටියහ. සංගමයේ පළමුව හිටපු සාමාජිකයාට සාස්තරය කියන වාරය එළඹුණි. එවිටම සාමාන්‍ය ඇඳුමකින් සැරසී තොප්පියක් දමා සිටි විද්‍යාකුලපති මහතාද පේනය ඇසීමට පැමිණි කෙනාගේ අයෙකු ලෙස දේවාලයට ඇතුළු විය. කලබලය නිසාම තොප්පිය අතට ගැනීමට අමතක වීම නිසා කපුවා විසින්ම “ඔය හිස්වැසුම් ගලවපල්ලා” යනුවෙන් පැවසීය.   


ඉන්පසු කපු මහතා සාස්තරය අසන්නේ කවුදැ’යි විමසීය. එවිට ‘අපි දෙන්නටම’ යැයි පර්​ෙ‌ය්ෂක මහතා පිළිතුරු දුණි. ‘එක බුලත් අතින් දෙන්නෙකුට කියන්න බෑ. එක්කෙනකුට කියන්නම්. කාටද කියන්න අවශ්‍ය වෙන්නේ. අනිත් කෙනාට වෙනම පඬුරු තියලා එන්න.. දැන් කාටද මුලින්ම කියන්න ඕන’’ කපු මහතා ඇසීය.   


“ආ... මේ අපේ අයියට..” විද්‍යාකුලපති මහතාව පෙන්වීය. “හ්ම්.. මොකක් සම්බන්ධවද අහන්න ඕන..” කපුවා ඇසීය. “අසනීපයක් සම්බන්ධව.. මගේ බඩ සමහර වෙලාවට දැවිල්ලක් ඇති වෙනවා. බඩගින්නේ හිටියම තමයි වැඩි” විද්‍යාකුලපති මහතා බොහොම අපහසුවෙන් මෙන් පිළිතුරු දුනි. කපුවා විසින් කුලපති මහතාගේ නළලට අත තබා මොනවදෝ භාෂාවකින් තාලයකට හෑල්ලක් කියමින් උරහිස් දෙකටද උදරයටද අත තැබීය. ඉන්පසු වෙනත් භාෂාවකින් කතා කළ කපු මහතා සිංහලෙන් කතා කරන්නට විය.  


“විසක්... විසක්.... දීපු දෙයක්... ව්‍යාපාර නැති කරන්න තමන්ගේම ඥාතියෙක් විසින් කරපු විනයක්... ඒකට තුන්දෙනෙක් සහභාගි වෙලා තියෙනවා... ප්‍රධාන කෙනා ඉන්නෙ තමන්ගේ වත්ත ආසන්නෙමයි... 


නමට අකුරු හතරක් තියෙන කෙනෙක් තමයි මේක කරලා තියෙන්නේ... මේක නැති කරන්න නම් විරේක කරලා අයින් කරලා ඉන්පසු පූජාවක් කරලා ගෙදරටත් ආරක්ෂාවක් දාන්න ඕනෙ” කපු මහතාගේ පිළිතුර විය.   


ඒ අතරතුර කුලපති මහතා විසින් තම සාමාජිකයාගේ අතට තට්ටු කර සංඥාවක් ලබාදුනි. ඒ සමඟම සාමාජිකයා දේවාලෙන් එළියට ගොස් අනික් වෛද්‍යවරුන් හා අනික් සාමාජිකයන් ද මාධ්‍යවේදීන්ද කුටිය වෙතට කැඳවාගෙන ආවේය.   


“මේ මොකද මේ.. එක සැරේට ඇතුළුවෙන්න පුළුවන් තුන්දෙනෙකුට විතරයි. තමන්ගෙ වාරය ආවට පස්සේ ඇතුළට එන්න” කපු මහතා උස් හඬින් දේවාලය තුළට පැමිණි අයට පැවසීය.   


“ඒ ඔක්කොම මගේ කට්ටිය” විද්‍යාකුලපති මහතා කතා කරන්නට විය. “මම මෙතනට ආවේ සාස්තර අහන්න නෙමෙයි. ඔබ විසින් මට අභියෝගයක් කර තිබුණා පුළුවන් නම් ඔබේ හැකියාව බොරුවක් යැයි ඔප්පු කර පෙන්වන ලෙසට. මෙතනට ඇවිත් ඉන්නේ විදුල අධි මනෝ විද්‍යා පර්​ෙ‌ය්ෂණ සංගමයේ සාමාජිකයින් සහ මාධ්‍යවේදීන්. ඔබ මුලින්ම කළේ මගේ ප්‍රශ්නය ඔබ කියනවා වෙනුවට මගේ ප්‍රශ්නය කුමක්දැයි ඔබම ඇසුවා. ඔබ සතුව ඔය කියන විශේෂිත බලයක් තිබුණා නම් ඔබට මගෙන් ඇසීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඔබටම කියන්න තිබුණා මම ආපු කාරණය සම්බන්ධව. ඔබ මෙතැනට එන බහුතරයක් රෝගීන්ට කෙනෙක් විසින් දීපු දෙයක් නිසා, කවපු විසක් නිසා, බඬේ රැඳීම නිසා රෝගී තත්ත්වයන් ඇති වන බවත් එය කළේ කවුරුන්ද යන්න පවා ඔබ විසින් කියයි. ඒ හැමදේම ඔබට හොඳින් පෙනෙයි. නමුත් ඔබ කියපු හැම කරුණක්ම සම්පූර්ණයෙන්ම බොරුයි. ඇතැම් මිනිසුන් ඔබේ මෙම කීමවල් අසා ගොස් අසල්වාසීන් සමඟ ගැටුම් ඇති කර ගනී. ඔබ සතු බලය සම්පූර්ණ බොරුවක් පමණි” විද්‍යාකුලපති මහතා දිගින් දිගටම පැහැදිලි කරදුනි.   


“උඹලා මගේ තැනටම ඇවිල්ලා මට කෙළවන්න...? හ්ම්.. බැහැපල්ලා එළියට මගේ බලය පෙන්නන්න කලින්..” කපුවාට දෙවියෝ නොව මරුවා ආවේශ වූ බවක් පෙනේ.   
“කලබල වෙන්න එපා.. ඔබට ඔබේ බලය පෙන්වන්න අවස්ථාව අපි දෙනවා. නිකම් නෙමෙයි.. ඔබ මේ රුපියල් තුන්සියයයි ගණනට සාස්තර කිය කිය ඉන්න ඕන නෑ... ඔබට මුදලින් කෝටි ගණනක් අපි දෙනවා ඔබේ බලය පෙන්වුවහොත්” යනුවෙන් පැවසූ කුලපති මහතා සුදු පැහැති කාඩ්බෝඩ්වලින් සෑදූ පෙට්ටි තුනක් ගෙන දේවාලයේ බුලත් තබන මේසය මතම තබා මෙසේ කීය.   


“ඔබට මිනිසෙකුගේ ඇඟ ඇතුළේ තිබෙන දීපු දේ පෙනෙනවනම්.. ගෙවල්වල හොරකම් කරපු දේවල් පෙනෙනවනම්... හොරකම් කරපු අය.. කොඩිවින කරපු අය පෙනෙනවනම්... මාගේ මේ පරීක්ෂණය ඔබ වැනි බලසම්පන්න කපු මහතෙකුට බොහොම සරල එකක්.. මහ ලොකු දෙයක් කරන්න නෑ.. ඔබේ ඔය දේව හාස්කමින් මේ කාඩ්බෝඩ් පෙට්ටි තුනේ තියෙන්නේ මොනවාද කියන එක විතරක් මට කියන්න. එහෙම කියූ පසු මෙම මාධ්‍යවේදීන් ඉදිරියේම ඔබේ සගයන් ඉදිරියේම මා මේ පෙට්ටි තුන ඇරලා පෙන්නනවා... ඔබ හරිහැටි කිව්වොත් කෝටි ගණනක මුදල විතරක් නෙමෙයි මා ඔබගෙන් සියලු මාධ්‍ය ඉදිරියේ සමාව ගන්නවා.   


“දැන් ඔබේ වාරය.. ඔබේ තියෙන අත්භූත බලය පාවිච්චි කරලා මේකේ තියෙන දේ කියන්න” විද්‍යාකුලපති මහතාගේ අභියෝගය කපු මහතාට යොමු කෙරිණි. කලබලයට පත් කපු මහතා “මම ඒවට බැඳිලා නෑ. මේක ඒවට වෙලාවක් නෙමෙයි” ආදී දේ පවසමින් ප්‍රශ්නයෙන් පැනයාමට උත්සාහ දැරීය. “ඔබේ හැටිත් ඔබ වැන්නවුන්ගේ හැටිත් මම දන්න නිසා තමයි මා ළඟට ඒමට ඔබට කතා නොකර මා ඔබ ළඟට ආවේ. මීට සුළු මොහොතකට කලින් ඔබේ ආරූඪයෙන් ඔබේ දේවාලය තුළම සාස්තර කිව්වා. දැන් මම කියන්නෙත් එතනම තමයි. තැන වෙනස් වුණේ නැහැනේ. කරුණාකරලා ප්‍රශ්නයෙන් පැනලා යන්නේ නැතිව ඔබේ බලය පෙන්වන්න”.   


කුලපති මහතාගෙත් විදුල අධි මනෝ විද්‍යා සංගමයේ සාමාජිකයන්ගේත් මාධ්‍යවේදීන්ගෙත් බලකිරීම මත කපු මහතා ඇඹරි ඇඹරී “ආ... එහෙනම් බලමුකො” කියමින් පෙට්ටිවලට අත තියමින් කල්පනා කළේය.   


කලින් වගේ වෙනත් භාෂා මුකුත් නැත. ගොත ගසමින් වාගේ පළමු පෙට්ටියේ සල්ලි කොළයක් යනුවෙනුත් දෙවෙනි පෙට්ටියේ මලක් යනුවෙනුත් ඊළඟ පෙට්ටියේ දෙහි ගෙඩියකුත් තිබෙන බව කපු මහතා පැවසීය. “බොහොම හොඳයි.. අපි මේ පෙට්ටි විවෘත කරල බලමු” ඒවා විවෘත කිරීමද කපු මහතාගේ ගෝලයාටම භාර කෙරිණි. කපු මහතාගේ ගෝලයා විසින් සියලුදෙනා ඉදිරියේ මෙම පෙට්ටි විවෘත කළේය. කපුවා කපෝති විය. ඔහු සල්ලි කොළයක් ඇතැයි කිවූ පළමු පෙට්ටිය තුළ තිබුණේ කුඩා සබන් කෑල්ලකි. මලක් ඇතැයි පැවසූ දෙවැනි පෙට්ටිය තුළ තිබුණේ ගල් කැට කීපයකි. තෙවන පෙට්ටිය තුළ දෙහි ගෙඩියක් තිබෙන බව කපුවා පැවසුවද එහි ඇත්තටම තිබුණේ බෝංචි කරලකි.   


“දැන් කෝ ඔබේ බලය. මොකක්ද ඔබට වුණේ. ඔබ මෙතෙක් කල් කොතරම් මිනිසුන් තමාට විශේෂිත බල ඇති ලෙස පවසා රවටන්නට ඇතිද...” අද සිට හෝ මෙම ප්‍රෝඩාව නවත්වන ලෙස ඔහුගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් මින් ඉදිරියට හරි ධාර්මිකව ජීවත් වන ලෙසටත් විද්‍යාකුලපති මහතා විසින් කපු මහතාට අවවාද කෙරිණි.   


මෙම සිදුවීම වෛද්‍ය විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස විස්තර කර දුණි. අංජලීට තිබුණේ සුළු මානසික රෝගී තත්ත්වයකි. එහිදී සිදුවන්නේ ගමනක් යෑමට ආසන්න වනවිට බොහෝ වාර ගණනක් වැසිකිළි යාමට අවශ්‍ය බවක් දැනීමයි. මේ බය නිසාම මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන්නන් එදිනෙදා කටයුතු අතපසු කරගනී. මෙය මනෝ විද්‍යාවේදී irritable bowel syndrome ලෙස හඳුන්වයි. එයට ප්‍රතිකාර කිරීමෙන් පසු එම තත්ත්වය සුව විය.   


කපුවාගේ අභියෝගය ගැන නම් මෙසේය. මම සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකු අරබයා අභියෝග ඉදිරිපත් කරන්නේ නැත. මට සහ විදුල අධි මනෝ විද්‍යා පර්​ෙ‌ය්ෂණ සංගමයේ සාමාජිකයන්ට ඇත්තේ අදෘෂ්‍යමාන මහා බලසම්පන්න හැකියාවන් මිනිසුන්ට තිබෙනවා කියන මතයත් සමඟ ප්‍රශ්නයකි. එම නිසා එම කපු මහතා ගැනම කියමින් ඔහු අපහසුතාවට පත් කරනු වෙනුවට මා විසින් අප සංගමයේ මෙවැනි පුද්ගලයින්ට තිබෙන අභියෝගවලින් එකක් ඉදිරිපත් කරන්නෙමු.   


“ලංකාවේ හෝ ලෝකයේ මෙවැනි බලයක් ඇතැයි කියන පුද්ගලයෙකුට මා අභියෝග කරනවා. මෙයයි අභියෝගය හැකි කෙනෙක් සිටිනවා නම් ඉදිරිපත් වෙන්න.   
“පොදු ස්ථානයක් තෝරාගන්න. විනිශ්චයකාර මණ්ඩලයක් ඉදිරියේ මාධ්‍යවේදීන් ඉදිරියේ අප සංගමය විසින් කාඩ්බෝඩ් පෙට්ටි තුනක් අභියෝගය භාරගන්නා තැනැත්තාට ලබාදේ. ඔහු විසින් කළ යුත්තේ දේව බලය, අමනුෂ්‍ය බලය, අධි මානසික බලය ආදී ඕනෑම ඔහු සතු අද්භූත බලයක් පාවිච්චි කරමින් එම පෙට්ටි තුන තුළ ඇති ද්‍රව්‍ය වෙන වෙනම කීමයි. මෙහිදී කිසිසේත්ම නවීන විද්‍යාත්මක ක්‍රම, ස්කෑන් යන්ත්‍ර වැනි දේ පාවිච්චි කිරීමට ඉඩක් නැති අතර ඔවුනට හැකියාව තිබෙන්නේ ඔවුන්ගේ බලය පාවිච්චි කිරීම පමණකි. එලෙස යම් කෙනෙක් නිසියාකාරව මෙය පැවසුවහොත් කෝටි ගණනක මුදල් ත්‍යාගය මෙන්ම මමත් අපගේ සංගමයත් ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ එම පුද්ගලයාගෙන් සමාව ගන්නෙමු.   
සත්තකින්ම මනෝ ප්‍රතිකාරය යනු සේවාදායකයින්ගේ ජීවිතයේ ප්‍රශ්න විසඳීම සඳහා පළපුරුදු මනෝ ප්‍රතිකාරකයින් යොදා අන්තර් පුද්ගල සමාජ සම්බන්ධතාත්මක මැදිහත් වීම් සිදු කිරීමකි. මෙහිදී පුද්ගලයාගේ නිරෝගී පැවැත්ම පිළිබඳ හැඟීම් වැඩිදියුණු කිරීම සහ අදාළ පුද්ගලයාගේ අපහසුතාවන් පිළිබඳ අත්දැකීම් අඩු කිරීම සිදු කෙරේ. මේ සඳහා ඔහු විවිධාකාර වූ උපක්‍රම යොදාගනී. ඒවා නම් වාක්‍ය කාණ්ඩ, අදහස් හුවමාරුව සහ හැසිරීම් වෙනස් කිරීම මඟින් රෝගියාගේ නැතිනම් සේවාදායකයාගේ මානසික සෞඛ්‍ය දියුණු කිරීම හෝ කණ්ඩායම් සම්බන්ධතා දියුණු කිරීම සිදු කරනු ඇත.   


මනෝ ප්‍රතිකාරයන්හි වාචික අදහස් හුවමාරුව යොදා ගනියි. නමුත් ඇතැම් විට ලිඛිත වචන, චිත්‍ර, නාට්‍ය, කථා, සංගීතය සහ ප්‍රතිකර්ම ස්පර්ශය වැනි දෑ ද යොදා ගත හැක. මනෝ ප්‍රතිකාරයේ දී සේවාදායකයා සහ පුහුණු ප්‍රතිකාර කරන්නා අතර සැලසුම් සහගත හමුවීමක් සිදු වේ. වෙනත් විවිධාකාර ප්‍රවේශන වර්ධනය වෙමින් හා තවමත් නිර්මාණය වෙමින් පවතී. සායනික ලෙස හඳුනාගත හැකි ප්‍රශ්නවලදී මතුවන ලක්ෂණ මෙම ප්‍රතිකාරය මඟින් සුව කළ හැක.   


Carl Rogers ට අනුව දිනපතා ජීවිතයේ දී ඇතිවන ගැටලු සඳහා සිදුකරන ප්‍රතිකාරයන් උපදේශනය ලෙස හැඳින්විය හැක. නමුත් උපදේශනය සහ මනෝ ප්‍රතිකර්මය එකිනෙක බැඳී පවතී.   


අප දන්නා පරිදි මූලික ලෙස නිර්මාණය කර ඇත්තේ මානසික රෝග සඳහා ප්‍රතිකාරයන් ලෙසය. නමුත් සියලුම මනෝ ප්‍රතිකාර ප්‍රවේශනයන් රෝගය සුවකිරීම යන ප්‍රවේශනය පිළි නොපදී. සමහර චිකිත්සකයින් තමා අධ්‍යාපනික හෝ සහායක චරිතයක් ලෙස දකී. මනෝ ප්‍රතිකාරයන් තුළ දී සංවේදී මාතෘකා බොහෝ විට සාකච්ඡාවට බඳුන් වන නිසා ප්‍රතිකාරකයින් සේවාදායකයාට ගරු කිරීම සහ රහසිගතභාවය රැකීමට නීතියෙන් බැඳී සිටී. එය අතිශයින්ම වැදගත්ය.   


අප දන්නා පරිදි තොවිලය යනු එක්තරා අන්දමකින් මනෝ විරේක ක්‍රමයකි. යක්ෂ හෝ දේව ආරූඪයකදී වුවද මෙහිදී බෙර ශබ්ද ගීතිකා යනාදිය මගින් ආතුරයා හෝ රෝගියා ස්වයං මෝහනයකට පත්කෙරේ. තොවිල් ගෙදරකදී දේවාලයක දී හෝ ආතුරයාගේ යක්ෂයන් පිළිබඳව ඇති බිය නැතිකිරීමට යක්ෂයන්ගේ ස්වරූපය සාමාන්‍ය මිනිසුන්ගේ ස්වරූපයට පත්කර ඇත. යක්කු සිනාසෙති, විහිළු කරනු ලබති. තොවිලයකදී පවුලේ ඤාතීන් එක්වේ. ආතුරයාට සැමගේ අවධානය යොමු වේ. ඒ රෝගියාට ඇති දයාව කරුණාව ආදරය නිසාය.   


මෙහි දී ආතුරයා හෝ රෝගියා නැතිනම් දේව දරුවා හෝ දේව දැරිවිය එහිදී විශේෂ පුද්ගලයකු බවට පත් වේ. ආතුරයාට මෙයම මහත් අස්වැසිල්ලකි. මානසික ආතතිය අඩුවන්නට පටන් ගනී. එමෙන්ම මෙයින් පසු තමන් සනීප වන බව සිතන ධනාත්මක සිතිවිල්ලක් යටි සිතට ආරෝපණය වේ. ඉන් පසු එම සිතිවිල්ල සංරක්ෂණ ප්‍රයෝගයක් ලෙසින් ක්‍රියාත්මක වේ. මේ අනුව, ආතුරයා ප්‍රකෘති චර්යාවන් කරා යොමු වීමක් සිදු වේ.   


බෙර හඬට අනුව නැටීමේදී ශරීරයේ රිද්මය හා මනසට දැනෙන බෙර හඬෙහි රිද්මය ආතතිය බොහෝ සෙයින් අඩු කරනු ලබයි. හේවිසි, දවුල, තම්මැට්ටම වැනි තාල භාණ්ඩවලින් නැගෙන ශබ්ද මනසට සුවයක් ඇති කරන ආකාරය ඔබද අත්දැක ඇතිවාට සැක නැත. දහඅට සන්නිය වැනි අප රෙටෙහි පැවැති සාම්ප්‍රදායික කෙම් කොතරම් අපගේ සිත් ගන්නවාද? සැබැවින්ම පෞරාණික බොහෝ ශාන්තිකර්ම මගින් කර ඇත්තේ මානසික විරේකයන්ය. සෙත් පිරිත් ශ්‍රවණය මනසට ගෙන දෙන සුවයෙන්ම එය ප්‍රත්‍යක්ෂය. නූතන මනෝවිද්‍යාව තුළ පවා එවැනි මානසික විරේකයන් ඇති කරනු ලබයි. හිස්ටීරියා වැනි මානසික රෝග සඳහා එම ක්‍රමවේද බොහෝ සාර්ථක වී ඇති බව සඳහන් කළ හැකිය. මෙවැනි ක්‍රම මගින් තමන් සුරක්ෂිත වන බවට දී ඇති සහතිකය යටි සිතෙහි තැන්පත් වීම මගින් තමාට දැනෙන ආරක්ෂිත හැඟීම් වර්ධනය වන්නට හැකියාවක් ඇත.   
ආදරණීය මිනිසුනි, ඇත්ත දැනගන්න. සිංහල ජන සමාජය සතුව ප්‍රත්‍යක්ෂ මනෝ ශාන්තිකර්ම ක්‍රම පැවැති අතර එය සිදු කරන නිවැරදි ක්‍රමවේදය පිළිබඳවද ඔවුන්ට මනා අවබෝධයක් තිබුණි. එමෙන්ම එම විෂය කෙරෙහි හසල දැනුමක් ඔවුන්ට විය. නමුත් වර්තමානයේ ශාන්තිකර්ම නමින් සිදුකරනුයේ මුළා කිරීම් පමණක්ය. දේවාලවල කපුවෝ ද සිදුකරන්නේ කුමක්ද? බොරුවක් නොවේද?   


මෑත කාලයේ සිදු වූ ජනමාධ්‍යවල පළ වූ පුවත් කිහිපයක්ද මෙසේය. එක් කපුමහතකු තරුණියකට යක්ෂ දිෂ්ටිය ඇතැයි පවසා එය සුව කිරීමට යෝනිය මත තෙල් ගල්වා දෙහි කැපිය යුතු බව පැවසූ පුවතක් අසන්නට ලැබිණි. තවත් අපේ කාලයේ දේවාල කපුවකු ආවේශ වන තරුණියට පවසා සිටියේ ඇයගේ පියයුරු මිරිකා ගන්නා කිරි ආවේස වන අමනුෂ්‍යයාට දිය යුතු බවය. තවත් සමහරකු තරුණියන් කාන්තාවන් දූෂණය කළ අවස්ථාද ඇත. එය අතේ මාට්ටු වී කපුවත් කපෝති වූ අවස්ථාද සමාජයේ අසන්නට දකින්නට ලැබේ.   


ආතුරයා හෝ දේව දරුවා හෝ දැරිවිය තමන් දූෂණය වූ බව වටහාගන්නටවත් එම තරුණියන්ට සිහිය නොමැත. ඔවුන් සිතන්නේ ශාන්තිකර්මයක් සිදුකළ බවය. දුම්මල හා වෙනත් සුවඳ දුම් හෝ කට්ටකුමංජල් දුම සමඟ සිහි නැති වන ආකාරයට යම් යම් දේ මිශ්‍ර කර දුම් ඇල්ලීමෙන් පැමිණෙන තරුණියන්ගේ හෝ කාන්තාවන්ගේ සිහි නැති කරන කපුවන්ද දක්නට ලැබේ. ඉන් පසු සිදුවන දේ දන්නේ කපුවා පමණකි. ඇත්තටම මෙය තේරුම්ගන්නා මෙන් කුලපති මහතා ඉල්ලා සිටී.   


මේ අභියෝගය අප සංගමය හරහා මිනිසුනට ඉදිරිපත් කර ඇත. නමුත් මේ වනතෙක් කිසිම පුද්ගලයෙකුට පෙට්ටි තුනම තියා එකකවත් තිබෙන දේ කීමේ හැකියාවක් තිබුණේ නැත යන්න විද්‍යාකුලපති මහතා පැවසීය.   


මෙහිදී රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම උදෙසා නම් ගම් පමණක් වෙනස් කර ඇත. සියලු වාර්තා පරීක්ෂණ සංගමය සතුව ඇති අතර, සත්‍ය සිදුවීමකි.   

 

 


සටහන හා ඡායාරූප 
හබරාදුව නිමල් අල්ගෙවත්ත