දේව ආශිර්වාද පතා කතරගම නොගිය ලාංකිකයකු සොයාගත නොහැකි තරම්ය. අසල්වැසි ඉන්දියාවේ සිට ද අතිවිශාල බැතිමත් පිරිස් කතරගම පැමිණෙති. ලෝකයේ වෙනත් රටවලින් එන සංචාරක විදේශිකයෝද කතරගම යති. පූජා පවත්වති. බහුතරයක් වාර්ෂිකව කතරගම යති. ඇතමෙක් මාස් පතා හා ඇතමෙක් සතිපතා කතරගමට පැමිණ පුද පවත්වා තම ඉල්ලීම්, ඉල්ලීම්, බලාපොරොත්තු, ප්‍රාර්ථනා, ආයාචනා දෙවියන්ට කියති. ඒවා ඉටුවු පසු යළි පැමිණ බාර හාර ඔප්පු කරති.  
 
රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු සොමිපාල ටී. රත්නායක මහතා වසර 62 ක් නොකඩවා මේ දේවාලයේ රාජකාරි කටයුතු සිදු කරයි.   


ඔහු පවසන පරිදි එදා මෙදා තුර කතරගමට පැමිණෙන බැතිමතුන්ගේ වැඩිවීමේ ප්‍රමාණය සිතාගන්නටත් බැරි තරම් විශාලය. දෙවියන් උ‍දෙසා නිසි පරිදි කරන පූජාවන් නිසා දෙවියෝ වරම් දෙන්නෝය. ඒ ශක්තියෙන් බැතිමතුන්ගේ ප්‍රාර්ථනා ඉටු වන්නේය.   


මිනිස්සු අනාගත ප්‍රාර්ථනා පමණක් නොව දෛනික ගැටලු සිත් වේදනා, ලෙඩ රෝග, අපල උපද්‍රව ගැන ද කියන්නේ දෙවියන්ටය.   


ඒවා දිනෙන් දින වැඩි වන තරම කතරගමට පැමිණ දේව පිහිට පතන බැතිමතුන් ප්‍රමාණය වර්ධනය වන අයුරුත් විද්‍යමාන වන්නේය.   


කතරගම දෙවියන් වසර දහස් ගණනකට පෙර එය හඳුන්වා ඇත්තේ ‘කලියුග කාලය’ ලෙසිනි. කතරගම දෙවියන් පිළිබඳව පැරැණිතම ග්‍රන්ථය රචනා කළ අරුණගිරි නාදන් සාමි එය ‘තිරප්පුගර්’ නමැති කෘතියේද එය සඳහන් කර ඇත්තේය.   


සොමිපාල, ප්‍රධාන කපු මහතා අවධාරණය කරන්නේ ඒ කලියුග කාලය දැන් උදාවී ඇති බවය.!   


මේ නිසා කතරගම තරම් ඉක්මනින් සංවර්ධනය වූ ජනාවාස වූ පෙදෙසෙක් නැති තරම්ය. හෝටල්, නවාතැන් පොළවල්, ගෙස්ට් හවුස් දහස් ගණනකි. එපමණක් නොව අලුත් අලුත් කෝවිල් හා දේවාල ද ඉදිවෙමින් පවතී.   
මේ සියල්ල එසේ වෙතත් කතරගම දේව කතාවේ මූලාරම්භය ලෙස සැලකෙන කඳ සුරිඳු-වල්ලි මාතා ප්‍රේමයට පාදක වූ සෙල්ලකතරගම ඉපැරැණි පරිශ්‍රයන් ආරක්ෂා කිරීමට නිසි වැඩ පිළිවෙළක් නොමැතිව ජන මතකයෙන්ද ඈත් වෙමින් තිබේ.   


පුරා විද්‍යාත්මක ආරක්ෂාවක් හෝ නොමැති බැවින් ඉඩම් බලයෙන් අත්පත් කර ගත් සමහරුන් හිතුමතේ ගොඩනැගිලි ඉදිකරමින් පවතී.   


සෙල්ලකතරගම, වල්ලගුහාව- වල්ලි ඉපදුණ, කඳකුමරු හා බින්න විවාහය සිදුකළ හා වැඩ වාසය කළ ගුහාව බව පැවසේ.   


වල්ලිදේවියගේ හා කඳ කුමරුගේ විවාහයට පැමිණි ගණ දෙවියෝ වැඩ වාසය කළ ගණපති ගුහාව නමින් හැඳින්වේ. ගණ දෙවියෝ පරිහරණය කළ ගල් ඇඳ හා මේසයද මෙම ගුහාව තුළ ඇතැයි විහාරාධිපති දේවාලයාධිපති රඹුක්වැල්ලේ සංඝානන්ද හිමියෝ පවසති.   


කඳ සුරිඳුන්ට ‍කිරිමෝරු හැදූ ගල්ඔරුව, මෙහි ඇත. වල්ලි කුඩා කල සෙල්ලම් කළ ගල් තලාව, සෙල්ලංගල නමින්ද දුන්නක මොණරපිල් අමුනා වල්ලි රංගනයන් කළ බව කියන ගල්තලාව කාවාඩිගල නමින්ද මෙහිදී දැකිය හැකිය.   


වල්ලිගේ පා සලකුණ බව කියන ගලේ නෙරාගිය පාද සටහන කම්බි වැටකින් ආරක්ෂා කර තිබේ.   


ඊට නුදුරින් වල්ලි දිය නෑ බව කියන පොකුණය. එහි කිසිදිනක ජලය නොසි​ෙඳන බව කියති.   


වල්ලිමාතා දේවාලය හෙවෙත් ගල්ගුහාව පිහිටි ගල්තලාව අක්කර ගණනාවක් ඈතට විහිදෙන අයුරු පෙනෙයි. 

 
දේවාලයාධිපති විහාරාධිපති රඹුක්වැල්ලේ සංඝානන්ද හිමියෝ පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකම ඇති ස්ථාන 40ක් පමණ මෙහි ඇති බවයි. 

 
“මේ බලන්න මහත්තයා, කතරගම දෙවියන්ට වල්ලි විසින් කිරිමෝරු හැදුබව කියන ගල් ඔරුව මේකට කිරි වත්කළාම එක කාණුවක් දිගේ මෝරු හැදෙනවා අනෙක් කාණුව දිගේ ගිතෙල් හැදෙනවා” යැයි උන් වහන්සේ අපුරු පුරා වස්තුවක් පෙන්වමින් පැවසූහ.   

 

 

ගලින්ම නිම වී ඇති එම අපූරුව සැබැවින්ම විශ්මය ජනකය. අප ගල්තලාව දිගේ ඇවිද යද්දී දුටුවේ අපූරු දසුනකි.   


කළුගලේ අගල් 5 ක් පමණ පළල අඩි 30 ක් පමණ දිගැති සුදු පැහැති තීරුවකි.   


ඒ පිළිබඳවද අපුරු කතාවක් ඇතැයි විහාරාධිපති හිමියන් මෙන්ම රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාද පැවැසීය.   


දිනක් සුදු පැහැති නාගයෙක් පැමිණ කතරගම දෙවියන්ට මෝරු සෑදීම සඳහා තිබු කිරි බී තිබිණ. වල්ලි එම නාගයාගේ වලිගයෙන් අල්ලා ගල්තලාවේ ගසා ඇත. නාගයා ගල් විය. එය මේ ස්ථානය යැයි ජනප්‍රවාදයකින් පැවසේ.   


ගල්තලාව කෙළවර වැඩිහිටි කන්ද දිස්වෙයි. එක් කෙළවරක මැණික් ගඟය. ඉරක් ගැසුවාක් මෙන් එක දිගටම වැඩිහිටි කන්ද, වල්ලි මාතා දේවාලය සහ රුහුණු කතරගම දේවාලය පිහිටා තිබෙන බව ද විහාරාධිපති හිමියෝ පැවසූහ.   


උන්වහන්සේ පවසන්නේ මෙම ප්‍රදේශයට ප්‍රාග් ථෙතිහාසික යුගය දක්වා වූ ඉතිහාසයක් ඇති බවයි.   


දකුණු ලක රුහුණේ වාසය කළ නාග නම් (අසුර) වර්ගයාගේ රාජධානීය මෙයයි. හින්දු ඉගැන්වීමෙහි (සුරන් කෝට්ටේ) හෙවත් අසුර බළකොටුවයි.   


මහා සූරන් නමැති මහා අසුරයාගේ බළකොටුවේ නටබුන් අදටත් දක්නට ඇතැයි උන්වහන්සේ පෙන්වූයේ ගල්තලාව වටා ශේෂ වී ඇති නටබුන් පවුරක් පෙන්වමිනි.   


හින්දු පොත පත ඇසුරින් උන් වහන්සේ පැවසුවේ වල්ලි මාතාවගේ සුළුපියා වන මහා අසුරයාගේ රැකවරණය හා ආලත්ති කිරි මව්වරු මත්තහි හැදුණු වැඩුණු වල්ලි මාතාව සහ මෙම බළ කොටුව වටා ආරක්ෂාව පිණිස ගමක් පිහිටුවා තිබූ බවයි.   


කාචාරි අසුරයන් වාසල කළ කාවඩි හෙවත් (කාවල් හෙවත් රැකි+අඩි හෙවත් පහරදෙන (රැකි පහරදෙන ආයුධය) හෙවත් දුන්නක් අත දරා නිරන්තරයෙන්ම සන්නද්ධව අසුරයන් රාජධානිය වටා ආරක්ෂාව පිණිස හැසිරුණ ගම කාචරි ග්‍රාමය වෙයි. එය පසු කාලයේ උච්චාරණයේ පහසුව පිණිස කතරගම වී තිබේ.   


මෙහි අගරාජිනිය වූ ශ්‍රේෂ්ඨවල්ලි නම් කුමරිය මෙහි පිහිටි සෙල්ලංගලේ මොනර පිල් බැඳි දුන්නක් අතදරා තප්පු ගසන තාලයට අනුව අසුර වර්ගයාගේ ගෝත්‍රික කාවාඩි නර්තනය දක්වා තිබෙනවා.   


ඉන්දියාවේ පලනි කන්දේ සිට පැමිණි ශිව සහා පාර්වතී දෙවියන්ගේ පුතකු වන කඳ කුමරුවන් දණ්ඩයක් රැගෙන මහල්ලකු සේ වෙස් මාරුකරගෙන මෙම අසුර බළකොටුව තුළට රහසිගත ව පැමිණ කාවාඩි නටනා වල්ලි දැක පෙම් බැඳි මුල්ම හා එකම නිවැරැදි ප්‍රාග් ඓතිහාසික ස්ථාන මෙය බවද සංඝානන්ද හිමියෝ පැවසූහ.   


මුළු මහත් ලොවෙහිම කාවාඩි නර්තනයේ මූලාරම්භය මෙම ස්ථානයයි. හින්දු පොත පතෙහි ‍සෝලෛ් යනුවෙන් ද සිංහලයෙන් සෙල්ලේ යනුවෙන් හැඳින්වෙයි. 

 
මුරුගා දණ්ඩපානි දෙවිදු ශ්‍රීමත් කතරගම දෙවියන් නමින් නම් ලබා තිස්තුන් කෝටියක් දේව සමූහයා (ගණදෙවි, සුර අසුර දේවි දේවතා මුනි යෝගීවරු) පිරිවර මැද වල්ලි මාතාව හා අතිනත ගෙන බින්න විවාහය සිදු කළේ මෙම වල්ලි ගුහාව තුළදීය. වල්ලිමාතාව මහා බලගතු කෙනෙක්. ශ්ලෝකවල යාදිනාවල හා මන්ත්‍රවලත් මේ බලගතුකම සඳහන් වනවා යැයිද යැයි උන් වහන්සේ වැඩිදුරටත් විස්තර පැවසීය.   


පුරාවිද්‍යා පිඹුරුපත්වල මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ ‘කතරගම කැලේ’ නමිනි.   


දුරාතීතයේ මාගම සිට කැලේ මැදින් වැඩසිටි කන්ද පසුකර මෙම ගල්තලාව දිගේ සෙල්ලකතරමට පැමිණ මෙම ස්ථානයට පුද පූජා පවත්වා බාර හාර වී ඇති නමුත්, පසු කලෙක කතරගම දක්වා මාර්ග පහසුකම් වැඩිදියුණු වීමත් සමඟ මෙහි එන බැති මතුන් සීමාවී ඇති බව කියති.   


කළුගලේ කොටා ඇති රොටි ගලේ එළඟිතෙල් ගල්වා තණහාල් හා මීපැණි මිශ්‍ර රොටී සකසා ආහාරයට ගෙන ඇති බව සඳහන් වෙයි. එවැනි රොටි ගල් විශාල ප්‍රමාණයක් මේ වනය තුළ ඇතැයි ද උන් වහන්සේ පැවසූහ.   
“මේ ගල් ගුහාව විශාලය පසුකලෙක ගුහා කටේ ඉදිකිරීමක් කරල තියෙනවා ඉස්සර විවෘතව තිබූ මේ ගල් වළේ වල්ලි ප්‍රසූත කළ බව සඳහන් වෙනවා” යැයි ද පැවසූහ.   


මෙහි අනුහස් දැන පූජා වට්ටි ඇතැතිව මෙහි බාරහාරවීම හා ඔප්පු කිරීම සඳහා සමාජයේ විවිධ තලවලට අයත් පිරිසක් පැමිණෙති.   


ඔවුන් කීපදෙනෙක් මට හමුවිය.   

 

 

ඔවුන් පැවසුවේ තම ප්‍රාර්ථනා ඉටුවීම නිසා බාර ඔප්පු කිරීමට පැමිණි බවය. ඔවුන් අතර ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරීන්ද ආරක්ෂක අංශවල ප්‍රධානීහුද වූහ.   


වල්ලි ගුහාව තුළදී පුරාණයේ සිට සිදුකරන පූජාවන් සඳහා එළකිරි සූකිරි, පැණි මීකිරි එක්කළ මෝරු, මුංඇට තණහාල් කවලම් පැණි බත, තණ හාල් පිටි මී පැණි තල ගිතෙල් රොටි, හත්මාළුව සහ බත කලවම් මාළුව බත, පැණි හකුරු හබල පෙති, ප්ලාස්ටික් නොවන මල්මාල, වන ඔසු සහ දුම් පූජා, ආනම සමග කුරක්කන් තලප, සඳුන් තෙල් හන් පිණිදිය පූජා, ආභරණ සථ පලඳනා යනාදිය වේ .   


නිසි පුද පූජා නොමැතිව මෙහි විසීමට දෙවියන් ඉඩ නොදෙන බව කියති. ඒ අනුව මෙහි අයිතිය ලබාගැනීමට පැමිණි කිසිවෙකුට විසීම අසිරු වී ඔවුන් යන්නට ගොස් ඇති බව දැනගන්නට ලැබිණ.   


 මේ අතර 1945 දි මලිත්තේ ඥානානන්ද හිමියන් ඉතා අසීරුවෙන් මෙම ස්ථානය සොයා පැමිණ මෙහි ආරක්ෂාව ස්ථාපිත කර තිබේ ඊට උන්වහන්සේ ගේ එකම ගෝල නම බව කියන රඹුක්වැල්ලේ සංඝනාන්ද හිමියන් විශාල ශක්තියක් වී ඇත.   


නායක හිමියන්ගේ අපවත් වීමෙන් පසු අයිතිය පිළිබඳව ඇතැමුන් ගැටලු මතු කළත් දැන් මෙහි නායක පදවිය දරන්නේ උන්වහන්සේය. එය සනාථ කිරීමේ ලිපිය දින කීපයකට පෙර තමාට ලැබුණු බව උන්වහන්සේ පැවසූහ.   


බොහෝ අනුහස් ඇති මෙම ස්ථානයට අයත් ඉඩ කඩම් ඇතැමුන් බලහත්කාරයෙන් අල්ලාගෙන ගොඩනැගිලි ඉදිකර ඇති බව පෙන්වු සංඝානන්ද හිමියෝ ඒවා බොහොමයක් දැනටමත් වැසී ගොස් ඇති බවත් පැවැසූහ.   
වල්ලි තම තණහාල් හේනට ජලය ලබාගැනීම සඳහා මැණික් ගඟේ සිට කපා තිබූ බව කියන වල්ලි ගඟද වසා ගොඩනැගිලි ඉදිකර තිබෙන අයුරු උන් වහන්සේ පෙන්වූහ. එම ගොඩනැගිලිද අද වැසි ගොසිනි.   
රුහුණු කතරම දේවාලය ඉදිකර ඇත්තේ දුටුගැමුණු රජුන් විසිනි.   


ඒ එළාර රජු සමඟ වූ යුද්ධයෙන් ජය ලබා​ෙදන ලෙසට කතරගම දෙවියන්ගෙන් වරම් ලබා එම බාරය ඔප්පු කිරීම සඳහාය.   


එනයින් බලන කල සෙල්ල කතරගම වල්ලි මාතා ගුහාව රුහුණු කතරගම මහ දෙ​ෙවාලටත් වඩා පැරැණිය.   


අක්කර 10 ක බිමක් පුරා විහිදුණු උමං හතරක් වල්ලි මාතා ගුහාවේ ඇතැයිද වැඩිහිටි කන්ද දක්වා එක් උමගක් විහිදී ඇති බවත් බුත්තල ගල්ගේ දක්වා තවත් උමගක් විහිදී ඇති බවත් විශ්වාසයයි.   


“මම නම් මීටර් 100 ක් විතර ගුහාවේ ඇතුළට ගිහින් දෛනිකව පුද පූජා පවත්වනවා. ඒත් මෙම ස්ථානය ආරක්ෂා කරගත යුතු නිසා පිටස්තර කාටවත් අතුළු වීමට දෙන්නේ නැහැයි සංඝානන්ද හිමියෝ පැවසූහ.

 


මතු සම්බන්ධයි...  

 


චාරිකා සටහන හා ජායාරූප   
බදුල්ලේ පාලිත ආරියවංශ