උඩවේරිය කඳු යුගලය
නිතර දෙවේලේ අලුත් අලුත් ඉසව් සොයාගෙන යන මිනින්දෝරු සිතියම් වලද නොමැති කඳු ගූගල් සිතියම් හරහා සොයාගෙන යන සොබාසිරි කණ්ඩායම වන අපට පසුගියදා මෙතෙක් ලංකාවේ තිබූ තවත් මතයක් මිත්‍යාවක් බව හෙළිකර ගැනීමට හැකි වුණි. එනම් තවමත් අන්තර්ජාලය පුරාවට සහ ඌව පළාත තුළින් උසම කන්ද ලෙස හඳුන්වන නමුණුකුළ කන්ද එම පළාතේ උසම කන්ද නොවන වගය. සෞන්දර්යය සහ අපූරු පාරිසරික ලක්ෂණ කැටි වුණු ඌව පළාතේ උසම කන්ද වන උඩවේරිය කඳු මුදුනට අපට යාමට හැකියාව ලැබුණි.
පුරාතනයේ පටන් ලංකාවේ කඳු සහ එම කඳු වලට හිමි ස්ථාන සරල වාචික මත මගින් අන්තර්ජාලයටත් සංචාරකයින් අතරටත් පැතිර ගොස් පවතියි. එකී සම්මත දත්ත වලින් ඔබ්බට ගොස් ලංකාවේ තිබෙන මීටර් 2000 ට වැඩි උසකින් යුත් කඳු සොයා යෑමේ පිපාසය අපට බොහෝ කලකට පෙර ඇතිවුණා. එම නිසාම ගූගල් භූවිෂමතා (Google Terrain Maps) සිතියම් හරහා වෙන්කොට හඳුනාගත හැකි කඳු රාශියක් අපගේ නෙත ගැටුණේ අපවද පුදුමකරවමිනි.
අපගේ දත්තයන්ට අනුව ලංකාවේ මීටර 2000 ට වඩා උස කඳු මුදුන් 30 ක් පමණ ඇති අතර ඉන් බහුතරයක් පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේය. එම කඳු අතර අප නිරායාසයෙන්ම අසා තිබෙන කඳු වනුයේ පිදුරුතලාගල, තොටුපොළ කන්ද, කිරිගල්පොත්ත, සමනළ කන්ද, කිකිළියමාන, හක්ගල, ග්‍රේට් වෙස්ටර්න්, සිංගල් ට්‍රී කන්ද, කොනිකල් කන්ද, එළිබැද්ද, ගොම්මෝලිය, නමුණුකුළ, බෑන සමනළ සහ මහකුඩුගල වැනි කඳුවේ. නමුත් පිදුරුතලාගල, කොනිකල්, සමනල සහ හෝර්ටන් තැන්න රක්ෂිත තුළ සහ ඊට යාබදව තිබෙන තවත් මීටර 2000 ට වැඩි උස කඳු මුදුන් රාශියක් ඇත. කිසිවෙකුටත් මේවා හෙළිදරව් කිරීමට හෝ අධ්‍යයනය කර සොයා ගැනීමට වුවමනාවක් නැති වුවද අප නිරන්තරයෙන් යනෙන මගදිග පරිසරය නිරීක්ෂණයට ලක්කරයි. එම නිසාම අපට උඩවේරිය කන්ද නෙත ගැටුණේ කිහිප වරක්ම අප දැක තිබුණද එහි උස සහ පිහිටීම පිළිබඳ එපමණ අවධානයක් යොමු නොකළ නිසාවෙනි.
නමුත් අද වන විට ඌව පළාතේ උසම කන්ද ලෙස මෙතෙක් පෙරමුණේ පැවති නමුණුකුල දෙවන ස්ථානයට ඇද දැමීමට උඩවේරිය කන්ද සමත්ව තිබේ. උඩවේරිය යනු ඔහිය සතු ඉදල්ගස්හින්නට ආසන්නයේ යක්ෂයාගේ පඩිපෙළ පිහිටි ඉසව්වේ තිබෙන උඩවේරිය ගම කෙළවරේ නැගීසිටින කන්දයි.
ඌව පළාත යනු විශාල වපසරියක පිහිටි ප්‍රදේශයක වර්ග කිලෝමීටර 8500 ක් පමණ සමන්විත ඌව පළාත තුළ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය පිහිටා ඇත. ප්‍රධානතම නගරය වනුයේ බදුල්ල වන අතර සෙසු ප්‍රධාන නගර වනුයේ බිබිල, මොණරාගල, මහියංගණනය, සියඹලාණ්ඩුව, වැල්ලවාය, බුත්තල, කතරගම සහ ගිරාඳුරු කෝට්ටේය. මෙම පළාත තුළ මාදුරු ඔය ජාතික උද්‍යානය, ගල් ඔය ජාතික උද්‍යානය, යාල ජාතික උද්‍යානය, ලුණුගම් වෙහෙර ජාතික උද්‍යානය, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය, උඩවලව ජාතික උද්‍යානය සහ වික්ටෝරියා - රන්දෙණිගල රන්ටැඹේ රක්ෂිතයද කොටස් හිමිකාරීත්වය දරනු ලබයි.
ලංකාවේ උසම ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ල සහ තෙවන උසම ඇල්ල වන දියලුම ඇල්ලද සොරබොර වැව, උල්හිටිය වැව, දඹරාව වැව, ලෙන්ගල් ඔය, වෙහෙරගල ජලාශය වැනි ස්ථාන වලින්ද සමන්විත වේ. සමස්ත පළාත තුළම සීමාවන් ආශ්‍රිතව බහුල වශයෙන් වන අලි දැකිය හැකි මෙම පළාත තුළ ඓතිහාසික ස්ථානද රාශියක් පිහිටා ඇත.
මේ සියල්ල කැටිවුණු ඌව පළාතේ පිහිටි උසම කන්ද ලෙස අනාදිමත් කාලයක සිට සියල්ලෝම දැනගෙන උන්නේ නමුණුකුල කන්ද (මීටර් 2036) වන නමුත් මෙම ලිපිය මගින් නමුණුකුළ නොව උඩවේරිය කන්ද ඌව පළාතේ උසම කන්ද බව හෙළිදරව් කරන්නෙමු. බඹරකන්ද පිහිටි ඉසව්වේ සිට ඔහියට හෝ හෝර්ටන්තැන්නට සෘජුවම යා හැකි මර්ගය ලෙස ‘යක්ෂයාගේ පඩිපෙළ’ වර්තමානය වන විට දෙස් විදෙස් සංචාරකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත. ඒ සියල්ලෝම නිරායාසයෙන්ම උඩවේරිය කන්ද දකිමින් තම ගමන සිදුකරන නමුත් කිසිවෙක් මෙපමණ කාලයකට එය ඌව පළාතේ උසම කන්ද ලෙස දැන නොසිටියහ.
උඩවේරිය කන්දට ළඟාවිය හැකි ආකාර දෙකකි. ඉන් වාහනයකින් කන්ද අසලටම ළඟාවිය හැකි ආකාරය නම් යක්ෂයාගේ පඩිපෙළ මාර්ගය ඔස්සේ උඩවේරිය වතුයායට පිවිසීමෙනි. ඒ සඳහා හපුතලේ සිට බොරලන්ද හරහා ඔහියට පැමිණ ඔහිය සිට හෝර්ටන් තැන්නට යන මාර්ගයේ අතරමගින් වමට හැරී උඩවේරිය වතුයායට පැමිණිය හැක. නැතහොත් බඹරකන්ද ඇල්ල සිට සංචාරක ජීප්රථ (4WD) හරහා යක්ෂයාගේ පඩිපෙළ දුර්ගය තරණය කරමින් උඩවේරිය වත්තට ළඟාවිය හැක. තවද දුම්රියෙන් පැමිණේ නම් වඩාත් පහසු අනෙක් පිවිසුම වනුයේ ඉදල්ගස්හින්න ග්‍රාමයේ සිට උඩවේරිය වතු යායට තිබෙන වනගත අඩි පාර ඔස්සේ පැමිණීමයි. එහිදී ඉදල්ගස්හින්න නැරඹුම් කඳු මුදුන සහ ඉදල්ගස්හින්න සැබෑ කඳු මුදුන (1960 මීටර්) පසුකරගෙන ක්‍රියාදාම ගමනකින් වුව ළඟාවිය හැකිය.
නකල්ස් සහ යහන්ගල කඳු වැටි
උඩවේරිය යනු කඳු දෙකකින් සමන්විත ඉසව්වකි. උඩවේරිය කන්ද මීටර 2060 ක් පමණ උස වන අතර උඩවේරිය කුඩා කන්ද මීටර 2012 ක් පමණ වේ. මෙම කඳු දෙක කොපමණ උස වුවද කඳු යුගලයටම ළඟාවීම අතිශය පහසුය. එ් මන්ද යත් කඳු දෙක අතරින් යන කුඩා මාර්ගය පිහිටා තිබෙන්නේ මීටර 1900 ක පමණ උසින්වීම සහ තේ වතු වලින් කඳු අර්ධ වශයෙන් සමන්විත වීමයි. උඩවේරිය කුඩා කන්ද අසල බදුල්ල - රත්නපුර මාර්ගයට වන්නට පිහිටා ඇත්තේ බුමර ඇළ පිහිටි නාරංගොල්ල ඔය දුර්ගයයි.
අනෙක් පසින් ඉඳල්ගස්හින්න කඳුවැටියත් දකුණු පසින් රත්නපුර - බදුල්ල මාර්ගය දක්වා ප්‍රබල බෑවුමක් පිහිටා ඇත. අප මීට වසර ගණනකට පෙර යක්ෂයාගේ පඩිපෙළ ඔස්සේ පැමිණි නිසාවෙන් මෙවර මෙය එක් දිනකදී තරණය කළ යුතු නිසාවෙනුත් අපි ඔහිය හරහා කන්ද පාමුලට යතුරු පැදි මගින් පැමිණියෙමු. උදෑසනම මීදුම් තිර පටල ගෙන නිදි ගැට හරින හෝර්ටන් තැන්න සානුවත්, ගොම්මෝලිය බළතුඩුව හා වංගෙඩිගල කඳුවැටියත් ඉදල්ගස්හින්න සහ යක්ෂයාගේ ආසනය (Devil's Seat) පිහිටි බෙරගල කන්දත් දකිමින් වනගත හරිත පරිසරයේ නැවුම් හුස්ම පොදට සමීප වෙමින් අපි පැමිණියෙමු.
උඩවේරිය කඳුමුදුන (ගූගල් ස්ථානගතවීම 6.794838, 80865475) හොඳින් දැක ගත හැකි වූ අතර කඳු මුදුන කරා යාහැකි තේ වතු හරහා දිවෙන අතුරු අඩි මාර්ග පවා අපට දක්නට ලැබුණි.
වතුයාය කෙළවරේ මාර්ගය අසල යතුරු පැදි නැවතූ අප මීළඟට සූදානම් වූයේ ගම්වැසියන් සමග තොරතුරු දැනගැනීමටය. මොවුන්ට මෙය තවත් කන්දක් පමණක් වූ අතර ඔවුන් හල්දුම්මුල්ලට යාමට ඉදල්ගස්හින්න හරහා පවතින මාර්ගය භාවිතයට ගැනෙයි. මෙම කන්ද පුරාවට අතීතයේ තේ වගාව තිබුණද මේ වන විට එය තරමක් දුරට අඩුව ඇති බව ඔවුන් අපට පැවසීය. නමුත් ලඳු කැලෑව හරහා කන්දට යාහැකි ආකාරයක් ඔවුන් අපට පැවසීය.
උඩවේරිය කන්ද මුදුනට යාමට අප සූදානම් වූ අතර එහිදි අප සමාර්ථ දුරකථනය හරහා මුහුදු මට්ටමේ සිට උස මනිනු ලබන යෙදවුම් (Altimeter) හා ගූගල් සිතියමද භාවිතයට ගත්තෙමු. ප්‍රථමයෙන් ලඳු කැලෑවට අවතීර්ණවීමට තේ වත්ත හරහා ඉහළට ඇදෙන විට අපට තව තවත් අවට පරිසරය දැකගත හැකිවිය.
ලංකාවේ දෙවන උසම කිරිගල්පොත්ත
ලෝකාන්තය
ඊට අමතරව අපට පසෙකින් තිබෙන උඩවේරිය කුඩා කන්දද දැකගත හැකිවිය. එසේම අපි හෝරාවකවත් අඩු කාලයකින් සුන්දරත්වය විඳගෙනම කඳු මුදුනට ළඟාවුණෙමු. කඳු මුදුනේ හොඳින් සිටිය හැකි තරම් ඉඩකඩ ඇති අතර අංශක 360 ක් පුරාවට කඳු මුදුන නැරඹුම් ඉසව්වක් විය. ඒ නිසාම අප හට දසතින් තිබෙන කඳු හා ප්‍රදේශ ගණනාවක් හඳුනාගැනීමට හැකියාව ලැබුණි.
උඩවේරියට අසල්වැසි වන ඉදල්ගස්හින්න කන්ද සහ බෙරගල කන්දද අනෙක් පසින් වංගෙඩිගල, බළතුඩුව, ගොම්මොල්ලිය, කුරගල, නමුණුකුළ, හපුතලේ කන්ද, කිරිගල්පොත්ත, තොටුපොළ කන්ද, ආග්‍රාබෝපත්, පිදුරුතලාගල, හක්ගල කන්ද, පල්ගස් තැන්න, රහන්ගල, කුකුළාගල, මහකුඩුගල, නකල්ස්. අලුගල්කන්ද, යහන්ගල, කෙහෙල් පොත්දෝරුවේ ගල, රන්දෙනිගල කඳු ඇතුළු තවත් කඳු ශිඛර ගණනාවක් අපට පැහිදිලිව දැක ගැනීමට ලැබුණි. මෙම කඳු මුදුන තවත් විශේෂත්වයක් පවතියි. එනම් මෙතැන් සිට දකුණු මුහුදු තීරය වනතුරුම කිසිදු උස කන්දක් නොමැති වීමයි.
පැහැදිලි දිනයක දුරදක්නයක් ආධාරයෙන් නිසැකයෙන්ම දකුණු සහ හම්බන්තොට මුහුද පවා දැක ගත හැකිය. තවදුරටත් කිවහොත් මධ්‍යම කඳුකරය අවසන් වන කඳු මුදුන මෙයයි. සරල පෙනුමට මෙය පිළිබඳ එතරම් නැරඹුම් හැකි බවක් නොපෙනුනද කඳු මුදුනට පැමිණි පසු අප දුටු දේ පිළිබඳ අපිද විමතියට පත්වුණෙමු.
හල්දුම්මුල්ලේ පිහිටි මෙම කන්දේ සිට මහනුවර හුන්නස්ගිරියට එහා නකල්ස් වන පෙතේ පිහිටි උසම කඳු පවා පැහැදිලිව දැකගත හැකිවීම විශේෂත්වයකි. මන්ද දළ වශයෙන් නකල්ස් කන්දේ සිට උඩවේරිය කන්දට හිස් අවකාශය තුළ ඇති දුර කිලෝමීටර 70 ක් පමණ වේ. එනම් මෙතැන් සිට නකල්ස් වෙත වාහනයකින් යාමට අවම වශයෙන් කිලෝමීටර් 180 ක් පමණ වැයවේ. එසේනම් කඳු යුගලයක් අතර දැකිය හැකි වැඩිම දුර මෙය නොවේදැයි හැඟේ.
යක්ෂයාගේ පඩිපෙළත් (Devil's Staircase) යක්ෂයාගේ ආසනයත් (Devil's Seat) අතර පිහිටි උඩවේරිය කන්ද ඌව පළාතේ සැඟව ඇති ආභරණයකි. දවසේ වැඩි කාලයක් මීදුමට වැහෙන මෙම කඳු මුදුන මත මෙපමණ පැහැදිලි ලෙස අවට දැක ගත හැකි වීම අතිශය වැදගත්ය. සංචාරකයින් අතර තවමත් ප්‍රචලිත නැති කිසිවෙකුත් නොදන්නා ඌව පළාතේ උසම කන්ද උඩවේරිය වතුයායේ මුරකාවන් සේ නැගී සිටියි.
කඳු මුදුන අවට ඒ මේ අත යමින් එය තවත් පිරික්සන්නට වූ අතර ගම්වැසියන් මෙහි පැමිණි වගට සලකුණු අපට දැක ගත හැකි විය. මන්ද මෙය ඔවුන්ට හුරු පුරුදු ඉසව්වක් වන හෙයිනි. හෝර්ටන් තැන්න මායිමේ පෙනෙන දුරින් මෙම කන්ද දුප්පතාගේ කුඩා ලෝකාන්තයට සෘජුවම පවතියි. ඌව පළාත යනු කඳුකරයේ අවසානය වුවද මෙම පළාත තුළ අලංකාර කඳු, දිය ඇලි සේම උමං සහ ගුහා රාශියක් පවතියි. කඳුකර දුම්රිය මාර්ගයේ පට්ටිපොළ සිට එක එල්ලේ බදුල්ලට බසින දුම්රිය මග මෙන් සුන්දර දෑ හොඳින් බලාගැනීමට අවස්ථාව සලසයි. දකුණු ප්‍රදේශයට වන්නට ඉතා ඈත දුරක් යනතුරු අපට පැහැදිලිව දැක ගත හැකිවිය.
ඌව පළාතේ උසම කඳු හය වනුයේ පිළිවෙළින් උඩවේරිය (මීටර් 2060), නමුණුකුළ (මීටර 2036) උඩවේරිය කුඩා කන්ද (මීටර 2016) , ඉදල්ගසින්න (මීටර 1960), බෙරගල කන්ද (මීටර 1780) සහ නාරංගල (මීටර 1518) වේ. මෙම කඳු සියල්ලම පාහේ අතිශය සුන්දර කඳුවේ. මේ සියල්ලේම රාත්‍රි කඳවුරු බැඳ සිටිය හැකි අතර කඳුකර කොටියා (Panther a Pardus Kotiya) ගෙන් පරෙස්සම් වැදගත්වේ.
සුරතලී ඇල්ල
කෙසේ හෝ උඩවේරිය නම් වූ ඌව පළාතේ උසම කන්දෙන් සමුගත් අප මිළගට ගියේ මීට යාබදව පිහිටි මෙහි කුඩා කන්දටයි. මෙම කඳු දෙක අඩි පාර මගින් වෙන්වන අතර දෙවැනි කන්දට යාම තරමක් කාලය ගතවනසුළුවිය. කෙසේ හෝ දෙවැනි කන්ද මුදුනට පැමිණියද එහි වූයේද එකම දර්ශන තලයයි. එහි වෙනසකට වූයේ අතරින් පතර බදුල්ල - රත්නපුර මාර්ගය දක්නට ලැබීමයි.
උඩවේරිය කන්දෙන් සමුගත් අපි නැවතත් උඩවේරිය වත්තට පැමිණියෙමු. උඩවේරිය වතුයාය තුළ දමිළ ගම්වාසීන් ජීවත්වන අතර තේ දලු නෙළීම ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වෙයි. කතෝලික දෙව්මැදුරක් හා හින්දු කෝවිලක් තිබෙන මෙම ගම්මානයට අසල්වාසි වන කුඩා ගම් දෙකක් ඇත. ඊට අමතරව වෙනත් කිසිදු පොදු පහසුකමක් මෙහි දක්නට නැත. තේ කර්මාන්ත ශාලාවද වසා දමා ඇති අතර වෙද හෙදකම් වලට මොවුන් ඔහියට ගමන් කළ යුතුය. අපද නැවත ආ මගේම හෝර්ටන්තැන්න ඔහිය මාර්ගයට පිවිස ඔහිය බලා පිටත්වුනණමු.
පසුව ඔහියේ සිට බොරලන්දට පැමිණ අප ඉදල්ගස්හින්නට ළඟාවුණේ අතිශය දුෂ්කර මාර්ගයකිනි. එතැන් සිට අපි ඉදල්ගස්හින්න නැරඹුවේ කඳු මුදුනට ගොස් මීදුමෙන් දසතම වෙලාගන්නා හල්දුම්මුල්ල බලා යාමට පිටත්වුණෙමු. තරමක් දුෂ්කර කඳු බෑවුම් වලින් සමන්විත මෙම මාර්ගයේ ගමන් කිරීම සුන්දරය. මන්ද හතර අතින් වටවුණු කඳු නිසාවෙනි. පැයක පමණ කාලයකින් අප ප්‍රධාන මාර්ගයට පැමිණ රත්නපුර බලා පිටත්වූයේ උඩවේරිය කන්ද දෙස නැවත හැරී බලමිනි. පසුව අපි සුරතලි ඇල්ලේ සුන්දරත්වයද නරඹා ගොම්මන් අඳුරේම බෙලිහුල් ඔය සිට කොළඹ බලා පිටත් වුණෙමු.
සංචාරක සටහන හා ඡායාරූප
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි
ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්
ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික
තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.
පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ
සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ් සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ඌව පළාතේ උසම කන්ද